සාක්ෂිවලට වඩා පුනරුච්චාරණය මත පදනම් වූ “රජය අසාර්ථකයි”‍ යන ප්‍රකාශය මහජන කතිකාව තුළ ක්‍රමයෙන් දෝංකාර දෙන්නට පටන් ගෙන තිබේ. එය සාකච්ඡා, සමාජ මාධ්‍ය සහ දේශපාලන විග්‍රහයන් තුළ මතු වන්නේ විමර්ශනය කළ යුතු ප්‍රශ්නයක් ලෙස නොව, පිළිගත යුතු නිගමනයක් ලෙසය. එහෙත්, 2022 අර්බුදයෙන් පසු පවතින මෙම තරගකාරී වටපිටාව තුළ විමසා බැලිය යුතු ප්‍රශ්නය වන්නේ මෙය සැබෑ සාමූහික විනිශ්චයක් ද නැතහොත් ඝෝෂාකාරී සහ ගොඩ නැගෙමින් පවතින ප්‍රබන්ධයක් ද යන්නයි.

වර්තමාන ශ්‍රී ලංකාව අත්විඳින්නේ සාමාන්‍ය දේශපාලන පරිවර්තනයක් නොවේ. දශක ගණනාවක් පුරා සීමිත ජන පදනමක් මත ක්‍රියාත්මක වූ ජනතා විමුක්ති පෙරමුණ මූලික කරගත් බහුජන ව්‍යාපාරයක්, 2024 වන විට සියයට 61 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන පාර්ලිමේන්තු ආසන 159ක් සහ විධායක ජනාධිපති ධුරය හිමි කරගෙන ඇත. මෙය හුදු මැතිවරණ ජයග්‍රහණයක් පමණක් නොව, අර්බුදකාරී තත්වය යටතේ ජනතාව තැබූ අතිශය බරපතළ වගකීමකි. සංඛ්‍යාත්මකව මෙතරම් ශක්තිමත් බහුජන ජයග්‍රහණයක් තුළ, විවිධ තරාතිරමේ ජනතාවගේ පුළුල් පරාසයක විහිදුණු අපේක්ෂා ගොනු වී පවතී. පද්ධතිමය වෙනසක් මෙන්ම ක්ෂණික සහන ද අපේක්ෂා කරන මෙම දැවැන්ත ජන පදනම කළමනාකරණය කිරීම පාලන තන්ත්‍රය හමුවේ ඇති අතිශය සංවේදී සහ බැරෑරුම් අභියෝගයකි. බාහිරින් මෙය ඒකීය ජනවරමක් ලෙස පෙනුණ ද, යථාර්ථය නම් එය විවිධ සමාජ ස්ථරයන්ගේ අපේක්ෂාවලින් පෝෂණය වූ සජීවී සහ ගතික සන්ධානයකි. මෙහිදී මතු වන ප්‍රධානතම අභියෝගය වන්නේ, එම විවිධ අපේක්ෂා සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සඳහා ගතවන කාලය අතර පවතින පරතරය තේරුම් ගැනීමයි.

 

ජනවරම සහ අපේක්ෂාව

අර්බුදයකින් ජනිත වූ ප්‍රබල ජනතා රැල්ලක් ඔස්සේ බලයට පත්වන ප්‍රතිසංස්කරණවාදී රජයක්, ද්විත්ව පීඩනයකට මැදි වේ. එක් පසෙකින්, ඔවුන්ට උරුම වන්නේ අඩපණ වූ ආයතනික පද්ධති, ක්‍රියාපටිපාටික දැඩි බව සහ පරිපාලනමය මන්දගාමිත්වය සහිත බිඳ වැටුණු රාජ්‍යයකි. අනෙක් පසින්, ඔවුන්ට උරුම වන්නේ ක්ෂණික වෙනසක් අපේක්ෂා කරන ඉවසීම පළුදු වූ මහජනතාවකි. මෙම තත්ත්වය පාලන තන්ත්‍රය තුළ මූලික නොගැලපීමක් නිර්මාණය කරයි. පවතින ව්‍යුහමය යථාර්ථය සහ මහජන අපේක්ෂා අතර ඇති මෙම පරතරය ප්‍රයෝජනයට ගන්නා සතුරු ප්‍රභූ කල්ලි, නිලධාරීවාදී බාධක පමුණුවන්නෝ සහ මතවාද හසුරුවන්නෝ (Narrative entrepreneurs), රජය සහ එහි පාක්ෂික පදනම අතර පවතින දේශපාලනික මෙන්ම ආවේගාත්මක සබඳතාව බිඳ දැමීමට උත්සාහ කරති. එබැවින්, යහපත් සමාජයක් ගොඩ නැගීම උදෙසා පෙළගැසී සිටින ජන සමාජය සතු මගහැරිය නොහැකි වගකීමක් වන්නේ, මෙම සංකීර්ණ දේශපාලන යථාර්ථය පිළිබඳව පුළුල් ලෙස දැනුවත් වීමයි.

 

බලය දිනාගැනීම සහ රාජ්‍ය පාලනය

විධායක ජනාධිපති ධුරය සහ පාර්ලිමේන්තු බහුතරය මගින් ව්‍යවස්ථාදායක බාධක ඉවත් කරගත හැකි වුව ද, ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වන්නේ පාර්ලිමේන්තුවේ දී පමණක් නොවේ. එය දශක ගණනාවක් පුරා විවිධ වූ දිරිගැන්වීම් යටතේ ගොඩ නැගුණු අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, නියාමන ආයතන සහ පරිපාලන පද්ධති හරහා ගමන් කළ යුතුය. මෙමගින් ස්ථර කිහිපයකින් යුත් නියෝජිත දාමයක් නිර්මාණය වේ. එහි සෑම ස්ථරයකදීම තොරතුරු අසම්පූර්ණ වීම, දිරිගැන්වීම් නොගැලපීම සහ අවදානම් වෙනස් ලෙස අර්ථකථනය කිරීම දැකිය හැකිය. එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රතිසංස්කරණ ඒකාකාරී ලෙස ඉදිරියට නොයයි. ඒවා ආයතනික ස්ථර හරහා ගමන් කිරීමේ දී මන්දගාමී වීම, පණිවුඩයේ හැඩය වෙනස් වීම හෝ අතරමග නැවැතීම සිදු වේ. මෙම ස්ථර එකිනෙක අන්තර්ක්‍රියා කරන විට, බාහිරට පෙනෙන ප්‍රතිඵලය හුදෙක් මන්දගාමී ප්‍රතිසංස්කරණයක් පමණක් නොවේ. එය ප්‍රතිසංස්කරණය පිළිබඳව මතභේදයක්’ නොව, මතභේදයක් ලෙස ගොඩ නැගුණු අර්ථකථනයකි.

 

ප්‍රමාදය සහ ආඛ්‍යාන යාන්ත්‍රණය

ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වන සැබෑ වේගය සහ ප්‍රතිසංස්කරණ පිළිබඳව සමාජය තුළ පවතින වැටහීම අතර පවතින මෙම හිඩැස තුළ සැබෑ දේශපාලන සටන දිග හැරේ. නූතන දේශපාලන ගැටුම් වඩ වඩාත් ක්‍රියාත්මක වන්නේ ප්‍රතිපත්ති මත පමණක් නොව, එම ප්‍රතිපත්තිවලට ලබා දෙන ‘අර්ථකථන’ මගිනි. ආඛ්‍යාන ව්‍යවසායකයන්ට බොරු නිර්මාණය කිරීමට අවශ්‍ය නැත. බොහෝ විට ඔවුන් කරන්නේ යථාර්ථයේ කුඩා කොටසක් - එනම් ප්‍රමාද වූ ප්‍රසම්පාදනයක්, අසම්පූර්ණ ප්‍රතිසංස්කරණයක් හෝ දෘශ්‍යමාන අකාර්යක්ෂමතාවක් ගෙන, එහි සන්දර්භය ඉවත් කර එය “රජයේ සාමාන්‍ය අසාර්ථකත්වයක්”‍ ලෙස හංවඩු ගැසීමයි. මෙය තොරතුරු අවුල් කිරීමේ සහ අර්ථකථන හැඩගැස්වීමේ උපායමාර්ගයකි. සන්දර්භයෙන් බාහිරව ඉදිරිපත් කරන අසම්පූර්ණ සත්‍යයක්, සංකීර්ණ යථාර්ථයකට වඩා බලවත් විය හැකිය. එහිදී පුද්ගලයන් සැබෑ සාක්ෂි දෙස බැලීම වෙනුවට, සමාජය තුළ පවතින බවට පෙනෙන්නට තිබෙන පොදු එකඟතාවට අනුගත වීම ආරම්භ කරයි.

 

නිහඬතාව සහ සමාජ පිරිවැය

විපක්ෂ ආඛ්‍යානයන් තීව්‍ර වන විට, ප්‍රතිසංස්කරණවලට සහාය දක්වන වෘත්තිකයන්ට, විශ්ලේෂකයන්ට සහ මධ්‍යස්ථ හිතවතුන්ට රජයේ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටීමේ ‘සමාජ පිරිවැය’ ඉහළ යයි. ඒවිට සිය හඬ අවදි කිරීම සිය වෘත්තීය ප්‍රතිරූපයට එල්ල විය හැකි අවදානමක් ලෙස ඔවුන්ට පෙනී යා හැකිය. මෙහිදී නිහඬතාව යනු මතය වෙනස් වීමක් නොව, සමාජ පීඩනය හමුවේ අනුගමනය කරන මනාප ව්‍යාජ ලෙස පෙන්වීමේ තාර්කික උපාය මාර්ගයකි. මෙලෙස නිහඬතාවයේ සර්පිලයක් (Spiral of Silence) ආරම්භ වේ. දෘශ්‍යමාන සහයෝගය අඩුවන විට, පොදු එකඟතාව රජයට විරුද්ධව වෙනස් වී ඇති බවට වැරැදි වැටහීමක් ඇති වන අතර, එම නිහඬතාව රජය පිළිබඳ විශ්වාසය බිඳ වැටීමක් ලෙස විපක්ෂය විසින් වැරැදියට අර්ථකථනය කරනු ලබයි. එහෙත් සාමූහික පසුබැසීමක් ලෙස පෙනෙන දේ සැබවින්ම සමාජ පීඩනය හමුවේ ඇති වූ සාමූහික පැකිලීමක් පමණක් විය හැකිය. එකී මොහොතේම, රජයේ හිතවාදීන් ‘සම්බන්ධීකරණ ගැටලු‍‍වකට’ මුහුණ දෙයි. අනෙක් අය රජය වෙනුවෙන් තර්ක කරනු ඇතැයි යන උපකල්පනය මත සෑම කෙනකුම නිහඬව සිටින විට, පොදු අවකාශය වඩාත් දැඩි හා ආක්‍රමණශීලී ආඛ්‍යානයන් විසින් අත්පත් කර ගනු ලබයි. එහි ප්‍රතිඵලය විරුද්ධාභාසයකි: ප්‍රතිසංස්කරණ සැබවින්ම ඉදිරියට ගියද, ප්‍රතිසංස්කරණ පිළිබඳ විශ්වාසය පෙනෙන ලෙස පළුදු වේ.

 

ක්‍රමික ඛාදනය කිරීමේ උපායමාර්ගය

දේශපාලන සංක්‍රාන්ති සමයකදී පද්ධතියේ පවතින දිරිගැන්වීම් ප්‍රතිනිර්මාණය වේ. එහෙත් පැරණි ක්‍රමය තුළින් වරප්‍රසාද ලැබූ පාර්ශ්ව බලය මාරු වූ පමණින් අතුරුදන් නොවේ. ඔවුන් කරන්නේ නව තත්ත්වයට අනුවර්තනය වීමයි. මෙවැනි සන්දර්භයක දී, රජයට එරෙහි වඩාත්ම ඵලදායී උපාය මාර්ගය වන්නේ සෘජු ගැටුමකට යාම නොවේ. ඒ වෙනුවට ඔවුන් අනුගමනය කරන්නේ පුනරාවර්තන දේශපාලන අන්තර් ක්‍රියා මගින් රජයේ ජන පදනම ක්‍රමයෙන් ‘ඛාදනය කිරීමේ’ උපාය මාර්ගයයි. ඔවුන්ගේ මූලික අරමුණ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නතර වී ඇති බව ඔප්පු කිරීම නොවේ. ඒ වෙනුවට ඔවුන් උත්සාහ කරන්නේ මහජනතාවගේ ඉවසීම ක්‍රමයෙන් හීන කිරීමය, සමාජය තුළ පවතින අතෘප්තිය තවදුරටත් වර්ධනය කිරීමය. එමගින් පද්ධතිමය වෙනසක් සඳහා අවශ්‍ය වන සාමාන්‍ය කාල ප්‍රමාදය රජයේ අසාර්ථකත්වයක් ලෙස අර්ථ ගැන්වීමය.

මෙම උපායමාර්ගය සාර්ථක වුවහොත්, ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය දුර්වල වන්නේ එය නතර වීම නිසා නොවේ. ප්‍රතිසංස්කරණවල සැබෑ ප්‍රතිඵල ලැබීමට පෙර මහජනතාව ඉදිරියේ එහි සදාචාරාත්මක වලංගුභාවය අහිමි වන බැවිනි. මෙය අනිවාර්යයෙන්ම සැලසුම්ගත කුමන්ත්‍රණයක් ලෙස හැඳින්විය නොහැකිය. එය තරගකාරී තොරතුරු වටපිටාවක් තුළ ක්‍රියාත්මක වන එකිනෙකට ප්‍රතිවිරුද්ධ අවශ්‍යතාවල ස්වාභාවික ව්‍යුහාත්මක ප්‍රතිඵලයකි.

 

ප්‍රතිසංස්කරණ ඇගැයීම සහ පුරවැසි වගකීම

ඕනෑම බැරෑරුම් ඇගැයීමකදී පහත දැක්වෙන මැනිය හැකි සංඥා කෙරෙහි අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය වේ. මෙහි දැක්වෙන්නේ තෝරාගත් මිනුම් කිහිපයක් පමණි. මෙම සියලු‍‍ම මිනුම් ඓතිහාසික කාර්ය සාධනයන් වාර්තා කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.

• සාර්ව ආර්ථික ස්ථාවරත්වය: ආර්ථික වර්ධනය, උද්ධමනය, මුළු රාජ්‍ය ණය ගෙවීම්, සේවා ව්‍යුක්ති අනුපාතය සහ විදේශ සංචිත රැස් කිරීම

• මූල්‍ය විනය: රාජ්‍ය ආදායම් බලමුළු ගැන්වීම, ප්‍රාථමික ශේෂය සහ හිඟය පාලනය

• දූෂණ විරෝධී ක්‍රියාකාරිත්වය: නීතිය බලාත්මක කිරීමේ ප්‍රගතිය

• ඩිජිටල්කරණය හා විනිවිදභාවය: ඩිජිටල්කරණය රජයේ උපායමාර්ගික න්‍යාය පත්‍රයේ කේන්ද්‍රස්ථානයයි. නිලධාරීවාදී අකාර්යක්ෂමතා අබිබවා යාමටත්, මහජන අපේක්ෂාවලට අනුකූලව සංවර්ධන ක්‍රියාවලීන් වේගවත් කිරීමටත්, විද්‍යුත් ප්‍රසම්පාදන (e-procurement) මගින් තරගකාරී සහ විවෘත ක්‍රියාවලියකට ප්‍රවිෂ්ට වීම, ආදායම් එකතු කිරීමේ ජාලය පුළුල් කිරීම, දූෂණය හා අක්‍රමිකතා මැඩපැවැත්වීම සඳහා විනිවිදභාවය ඉහළ නැංවීමටත් එය සැලසුම් කර ඇත.

රජය අසාර්ථකයි යන නිගමනය පිළිගැනීමට පෙර, ඕනෑම විමර්ශනශීලී පුරවැසියකුම තමාගෙන්ම මෙසේ ප්‍රශ්න කළ යුතුය:

1. මහජන කතිකාව තුළ කියැවෙන අසාර්ථකත්වය’ සැබැවින්ම පවතින්නේද? එසේ නම් එය සැබවින්ම ප්‍රතිපත්තිමය අසාර්ථකත්වයක්ද? නැතහොත් ක්‍රියාත්මක කිරීමේදී මතු වූ අවහිරතාවක්ද?

2. මෙම ප්‍රකාශය පදනම් වී ඇත්තේ සාක්ෂි මතද? නැතහොත් හුදු පුනරුච්චාරණය මතද?

3. මෙම ගැටලු‍‍ව අයත් වන්නේ ප්‍රතිසංස්කරණයේ කුමන ස්ථරයටද? එය ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයක් ද, ආයතනික ප්‍රතිරෝධයක් ද නැතහොත් එහි අවසන් ප්‍රතිඵලයේ දෝෂයක්ද?

4. මහජනතාවගේ ඉවසීම බිඳ වැටුණහොත් ඉන් සැබෑ ලෙසම ප්‍රතිලාභ ලබන්නෝ කවුරුද?

5. අප ඇගැයීමට ලක් කරන්නේ පද්ධතියේ ව්‍යුහාත්මක වෙනසක්ද? නැතහොත් හුදෙක් දෘශ්‍යමාන වන දේට පමණක් ප්‍රතිචාර දක්වන්නෙමුද?

මෙම ප්‍රශ්න මගින් අපේක්ෂා කරන්නේ රජය සමග එකඟවීම ම නොවේ. එමඟින් අපේක්ෂා කරන්නේ පද්ධතිය පිළිබඳ විනය ගරුක විනිශ්චයකි.

 

නිගමනය

ශ්‍රී ලංකාවේ වත්මන් මොහොත හුදු පාලනය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නොවේ. එය දීර්ඝකාලීන අකාර්යක්ෂමතාවෙන් සහ දූෂණයෙන් හැඩගැසුණු පද්ධතියක සිට, ආයතනික ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා උත්සාහ කරන පද්ධතියක් දක්වා සිදුවන ‘සංක්‍රාන්තියක්’ පිළිබඳ කතාවකි. මෙවැනි සංක්‍රාන්ති ස්වභාවයෙන්ම අසමාන වේ. ඒවා තුළ ප්‍රගතිය මෙන්ම ප්‍රමාදය ද, සාර්ථක ප්‍රතිඵල මෙන්ම දැඩි කලකිරීම් ද එකට පවතී.

ප්‍රජාතන්ත්‍රවාදය යනු හුදෙක් නායකයන් තේරීම පමණක් නොවේ. එය සමාජයක් යථාර්ථය කෙසේ කියවන්නේ ද යන්න පිළිබඳ ප්‍රශ්නයකි. එනම්, ප්‍රමාදය සහ බිඳවැටීම අතරත්, ඝර්ෂණය සහ පසුබැසීම අතරත්, ඝෝෂාව සහ සැබෑ සංඥාව අතරත් පවතින වෙනස හඳුනා ගැනීමට සමාජයට ඇති හැකියාවයි. එම අර්ථයෙන් ගත් කල, පවතින ප්‍රශ්නය රජය අසාර්ථක වී තිබේද යන්න නොව, සමාජයක් ලෙස අප ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කෙසේ කියවන්නේ ද යන්නයි.

 

(***)

රුහුණු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව

පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය

චන්දික ගුණසිංහ