පසුගිය කාලය පුරාම අපට සමාජයක් ලෙස හා රටක් ලෙස විවිධ හැලහැප්පීම්වලට මුහුණ දෙන්නට සිදු විය. ස්වාභාවික ව්‍යසන මෙන්ම ස්වාභාවික නොවන ව්‍යසන ද ඒ අතර දක්නට ලැබිණ. පසුගිය කාලය පුරාම සමස්ත ලෝකයට දැඩි බලපෑමක් එල්ල කළ ඊශ්‍රායල් - ඇමෙරිකා - ඉරාන යුද්ධය ආර්ථික දේශපාලනික වශයෙන් අපේ රටට ද දැනෙමින් තිබේ. එහි කෙටි කාලීන ප්‍රතිඵල මෙන්ම දිගු කාලීන ප්‍රතිඵල ද අපට අත්විඳින්නට සිදුවනු ඇත.
ඒ අනුව වක්‍රාකාරව එහි වින්දිතභාවයට අපි ද පත්ව සිටිමු. ලෝකයේ කිසියම් රටක යුදමය තත්වයක් ඇතිවුවහොත් එම රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් ද එම වින්දිතභාවයට මුහුණ දෙනු ඇත. ස්වාභාවික ව්‍යසන හෝ ස්වාභාවික නොවන ව්‍යසනවල ඍජු බලපෑම ඇතිවන්නේ රටේ ආර්ථිකයටය. රටක ආර්ථිකය කඩා වැටීම ඒ රටේ අපරාධ වැඩිවීමට හේතුවකි. ශ්‍රී ලංකාව එබඳු අත්දැකීම්වලට මුහුණ දී ඇති රටකි. ලංකාව කොරෝනා වසංගතයට මුහුණ දුන් අවධිය ගත්තොත් පොදු සමාජයේ අපරාධවල යම් වර්ධනයක් දැකගත හැකි විය. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය ආදියට ඇබ්බැහිවූවන් ද වැඩි පිරිසක් මේ අපරාධවලට සම්බන්ධ බව පෙනේ. අනෙක් අතින් තමන්ගේ ජීවිකාව පවත්වාගෙන යාමට ආර්ථික වශයෙන් ශක්තියක් නොමැති අවස්ථාවලදී ද යම් කෙනකු යම් යම් අපරාධ සඳහා යොමුවීමේ ප්‍රවණතාව වැඩිය. එම නිසා අපරාධ වර්ධනය විය හැකි පසුබිම තේරුම් ගෙන රටක ආර්ථිකය මනා ලෙස කළමනාකරණය කර ගැනීමේත් අනෙක් පැත්තෙන් විය හැකි අපරාධ අවම කර ගැනීමේත් පැහැදිලි වැඩපිළිවෙළක් හා යාන්ත්‍රණයක් සකස් විය යුතුව තිබේ.
මේ අනුව බලද්දී දැනට අපට ඇති බරපතළ ප්‍රශ්නයක් නම් අපරාධ කල්ලි සමග සම්බන්ධ වී කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරමයි. මේ නිසාම පසුගිය කාලය පුරා ලංකාවේ වෙඩි තැබීම්වල වර්ධනයක් දක්නට ලැබිණ. ගිය වසරේ පමණක් එවැනි වෙඩි තැබීම් සියයකට වැඩි සංඛ්‍යාවක් වාර්තා විය. එම වෙඩි තැබීම්වල දී පුද්ගල මරණ 60කට වැඩි ගණනක් වාර්තා වී තිබේ. මේ කියන අපරාධවලට යොදාගන්නා ආයුධ අත්අඩංගුවට ගැනීම් ද නිරන්තරයෙන් සිදුවන බව පෙනේ. ඒ කුමන මර්දනකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුවත් ඝාතන සංස්කෘතිය වගේම මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ ද වැඩි වී තිබෙන බවක් පෙනෙන්නට තිබේ.
රටේ ආර්ථිකයට ද මේවායින් යම් බලපෑමක් ඇතිවන බව පැහැදිලි කරුණකි. එහෙත් ආර්ථිකයට වඩා මෙබඳු අපරාධ මගින් සමස්ත සමාජයට, සංස්කෘතියට, ආරක්ෂාවට, තරුණ පරපුරට සිදුවන බලපෑම වඩාත් සංකීර්ණ වේ. එමෙන්ම ව්‍යසනකාරී වේ. මේ අනුව අද වන විට අපරාධ සඳහා බලපාන ප්‍රමුඛ කාරණය බවට මත්ද්‍රව්‍ය හා ඒ ආශ්‍රිත වැරැදි පත් වී තිබේ. මේ අපරාධ සම්බන්ධයෙන් වැඩි වශයෙන්ම අත්අඩංගුවට ගැනීම් වී ඇත්තේ දකුණු පළාතෙනි.
අනෙක් අතින් මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධවල දී ගිනි අවි භාවිත කිරීම් යම් වෘත්තීයකරණයකට ලක්ව ඇති බවත් පෙනෙන්නට තිබෙන කාරණයකි. කල්ලි අපරාධ සංවිධානාත්මක අපරාධවලින් ප්‍රචණ්ඩත්වය කියන කාරණය වෘත්තීයකරණයක ස්වභාවයක් ගන්නා බවක් පෙනේ. ඒ අනුව පැහැදිලි වන්නේ අවි ආයුධ භාවිතයත් ප්‍රචණ්ඩත්වයත් සාමාන්‍ය දෙයක් බවට පත් වී ඇති බවයි. ඒවාට ඔවුන් විසින්ම යම් වටිනාකමක් දෙනු ලැබීමට උත්සාහ ගන්නා බවක් පෙනෙන්නට තිබේ.
ඕනෑම අපරාධයක දී බාහිරින් බැලූවිට පෙනෙන්නේ එයින් වින්දිතයන් බවට පත් වූ එක් අයකු හා දෙදෙනකු පමණි. එහෙත් එක් අපරාධයක් පිටුපස බොහෝ දෙනකු වින්දිතයන් බවට පත් විය හැකිය. ඒ තත්වය සමාජ අර්බුදයක් දක්වා වර්ධනය වීමට ඉඩකඩ පවතී. මත්ද්‍රව්‍ය මර්දනය කිරීමට රජය විවිධ උත්සාහ ගනිමින් සිටියි. පොලිසිය, හමුදාව දිගින් දිගටම මේ සඳහා විවිධ උත්සාහ ඒ සම්බන්ධයෙන් ගන්නා බව පෙනේ. මේ අනුව මත්ද්‍රව්‍ය විනාශ කිරීම, මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම නිරන්තරයෙන් සිදු වේ. ඒ කොපමණ මෙහෙයුම් කළ ද නැවත නැවතත් මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අපරාධ යළි යළිත් හිස ඔසවන බව පෙනෙන්නට තිබේ. එබැවින් එසේ සිදුවන්නේ ඇයි ද යන්න සොයා බැලෙන විධිමත් විමර්ශන ක්‍රියාවලියක් අවශ්‍ය වෙයි. අපරාධකරුවන්ගේ ජාල නිවැරැදිව හඳුනාගන්නා පුළුල් වැඩපිළිවෙළක් සකසා ගැනීම වැදගත් වේ.
එසේම අපරාධ මර්දනය කිරීමට නම් අපට හොඳ මට්ටමේ පුළුල් දත්ත පද්ධතියක අවශතාව පවතී. අපරාධ කල්ලි අතර ගිනි අවි කොපමණ තිබේද එම ගිනි අවි ලැබුණේ කෙසේද ආදී නිශ්චිත දත්ත එමගින් හඳුනාගැනීමේ හැකියාව තිබිය යුතුය. ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ජාත්‍යන්තරය සමග පවත්නා සබඳතා කවරේද යන්නත් එය ජාලගතව පවතින්නේ කෙසේද යන්නත් මේ දත්ත ඇසුරින් සොයාගැනීමේ අවස්ථාව තිබිය යුතුය. ජාත්‍යන්තර ජාවාරම් අතර ප්‍රධාන වශයෙන් හඳුනා ගැනීමට ලැබෙන්නේ මිනිස් ජාවාරම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්ය. මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ මර්දනයේදී විශේෂයෙන්ම වෙරළබඩ ආශ්‍රිත නිරීක්ෂණ වඩාත් විධිමත්ව කිරීම වැදගත් වේ. භූගෝලීය වශයෙන් දකුණු වෙරළබඩ තීරය තුළ කෙනකුට පහසුවෙන් ළඟා විය හැකි ප්‍රදේශ හඳුනාගෙන ඒ කෙරෙහි අවධානය යොමු කිරීම මත්ද්‍රව්‍ය අපරාධ මර්දනයට හේතු වනු ඇත. මෙහිදී චන්ද්‍රිකා තාක්ෂණය වැනි නවීන තාක්ෂණ මාර්ග භාවිත කළ හැකිය.
දකුණු පළාතේ පමණක් නොව වෙරළබඩ බොහෝ ප්‍රදේශවල කුඩා ධීවර වරාය රැසක් පිහිටා තිබේ. මෙම ධීවර වරායවල සිදුවන සංසිද්ධි මොනවාද යන්න නිරන්තරයෙන් නිරීක්ෂණය කිරීම ඉතාම වැදගත් වේ. මත්ද්‍රව්‍ය ජාවාරම සහ මත්ද්‍රව්‍ය අපරාධ මර්දනය කිරීම සඳහා ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් දිගින් දිගටම ක්‍රියාත්මක කිරීමද වැදගත් වේ. ගම් මට්ටමින්, සමිති සමාගම් මට්ටමින් ආයතන මට්ටමින් මෙන්ම පාසල් මට්ටමින් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළ හැකිය. ඒ කෙසේ වෙතත් මහා පරිමාණයෙන් රටට එන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නැවැත්වීම සඳහා ජාතික වශයෙන් නිශ්චිත ක්‍රියාවලියක් සකස් කිරීමය වඩාත් වැදගත් වන්නේ. ඒ සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කරගැනීමේ අවශ්‍යතාව පවතී.
අපරාධ පාලනය හා වැළැක්වීම පිළිබඳව දැනට අපේ රටේ ජාතික ප්‍රතිපත්තියක් දැකිය නොහැකිය. එහෙත් දැනට පොලිසිය ඇතුළු ආයතන මට්ටමින් වඩාත් තියුණු ක්‍රමෝපාය භාවිත කරමින් මේ අපරාධ මර්දනයට කැප වී සිටින බවක් පෙනේ. එහෙත් ඔවුනට නවීන තාක්ෂණය ආදී කාරණා තවදුරටත් සමීප වුවහොත් මෙම ක්‍රමෝපාය මීටත් වඩා විධිමත් කළ හැකිව පවතී. එක් එක් ආයතන තමන්ගේ ක්‍රමෝපාය ප්‍රතිපත්ති මෙම අපරාධ මර්දනය සඳහා ක්‍රියාත්මක කරන අන්දම අපි දකිමු. එහෙත් මේවා සියල්ල ඒකරාශී විය යුතුය. එසේ ඒකරාශී කරගෙන පොදු ප්‍රතිපත්තියක් ඇති කරගෙන පැහැදිලි ක්‍රියාවලියක් වෙත යොමුවීමය වඩාත් වැදගත් වන්නේ. මහජන ආරක්ෂාව සම්බන්ධ සියලු ආයතන ද බන්ධනාගාර ද ඇතුළුව අපරාධ යුක්ති පද්ධතියේ සිටින සියලු සාමාජිකයන්ගේ සහයෝගය ඇතිව ඒ සියලු දෙනා ඇතුළත් කමිටුවකින් මෙම ප්‍රතිපත්තිය සකස් කළ යුතුය. එසේ නොමැතිව පොලිසියට හමුදාවට පමණක් අපරාධ මර්දනයේ වගකීම පවරා නිහඬ විය නොහැකිය. එබැවින් රටක අපරාධ මර්දනය සාමූහික ක්‍රියාවලියක් බව අප තේරුම් ගත යුතුය. මෙය බැලූ බැල්මට කෙටි කාලීන වැඩපිළිවෙළක් නොවේ. පොදුවේ අපරාධ මර්දනයට දිගු කාලීන වැඩපිළිවෙළක් සකස් කළ හැක්කේ කෙසේද යන්න අප මුලින් කී සියලු පාර්ශ්ව ඒකාබද්ධව සාකච්ඡා කර ප්‍රතිපත්ති සම්පාදනයට දායක වීම වැදගත්ය. අපරාධ නිවාරණය හා වැළැක්වීම වගේම මේ රටේ දරුවන්ගේ අනාගතය ගැන සාධනීය බලාපොරොත්තුවක් තැබීමට එය හේතු වනු ඇත.
එබැවින් මුලින් කී පරිදිම පාසල් සිසුන් මත්ද්‍රව්‍ය, පාතාලය හා පොදුවේ අපරාධ මර්දනය සම්බන්ධයෙන් දැනුවත් කිරීමත් ඒවායේ පවත්නා විනාශකාරී බව හා සමාජ ඛේදවාචකය පෙන්වා දීමත් ඉතාම වැදගත්ය. විශේෂයෙන්ම තරුණ පරපුර මත්ද්‍රව්‍ය වෙත ගොදුරු කර ගැනීමට මාන බලන පුද්ගලයන් සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් පසුවීම දරුවන්ගේ හැසිරීම් රටා, සමාජ ඇසුර, ගමන් බිමන් ආදිය පිළිබඳව නිරන්තරයෙන් සාවධාන වීම මවුපියන්ගේ ද වගකීමකි.
බන්ධනාගාර සම්බන්ධයෙන් ඇතිවී තිබෙන තත්වය ද අපගේ අවධානයට යොමුවිය යුතුය. වර්තමානය වනවිට මෙරට බොහෝ බන්ධනාගාරවල අනවශ්‍ය තදබදයක් දැකිය හැකිය. රිමාන්ඩ් බන්ධනාගාරවල රැඳවියන්ගේ වැඩිවීමක් තිබේ. ඊට හේතු වී ඇත්තේ මත්පැන් මත්ද්‍රව්‍ය වැරැදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත වන පිරිසේ වැඩි වීමයි. මත්ද්‍රව්‍ය භාවිත කරන්නෝ පොලිසිය විසින් බොහෝ අවස්ථාවල අධිකරණයට ඉදිරිපත් කෙරෙති. අධිකරණයෙන් චෝදනා ලැබූවෝ බන්ධනාගාර ගත කෙරෙති. මෙසේ මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන් දැනට පවතින අතර මෙම වැඩසටහන් ඉතාම විධිමත්ව සිදු කළ යුතුව තිබේ. ඔවුන් බන්ධනාගාරයෙන් පරිබාහිරව රඳවා තැබීම ද වැදගත් වේ. මන්ද යත් මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් බන්ධනාගාරය තුළම රඳවා සිටින විට ඔවුන් නැවත බන්ධනාගාරයෙන් පිටතට පැමිණෙන විට අපරාධ ඉගෙන ගන්නා ප්‍රවණතාවක් පවතී. එමගින් මත්ද්‍රව්‍ය ව්‍යාපාර සඳහා ඔවුන් යොමුවීමට ද ඉඩ ඇත. මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනයේ දී විකල්ප දඬුවම් ක්‍රම කෙරෙහි අවධානය යොමු කිරීම මෙහිදී වැදගත් වෙයි. විශේෂයෙන්ම සැකකරුවන් පදිංචි ගමේම එම පුනරුත්ථාපන ක්‍රියාවලිය කළ හැකිය. ඔවුන් ගෘහාශ්‍රිතව රඳවා තබාගනිමින් මනා අධීක්ෂණයක් යටතේ සමාජයෙන් කොන් නොකර රඳවා තබා ගනිමින් පුනරුත්ථාපන වැඩසටහනකට යාම යහපත් වේ. එම පුනරුත්ථාපනයෙන් පසුව ඔවුන් යහපත් පුද්ගලයන් ලෙස නැවත සමාජගත කිරීමේ වැඩපිළිවෙළක් සොයා බැලිය යුතුය. ගම් මට්ටමින් සිදුකළ හැකි මෙම පුනරුත්ථාපන වැඩසටහන්වලදී විශේෂයෙන්ම ආගමික නායකයන්ගේ සහ ප්‍රජා නායකයන්ගේ සහයෝගය ලබා ගත හැකිය.
එබඳු වැඩපිළිවෙළක් විධිමත්ව සකස් කළහොත් රටේ පිරිවැය අවම කර ගැනීමට ද එය හේතුවක් වනු ඇත. මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ පුද්ගලයා පිටත සමාජයේ සිටියත් පිරිවැයකි. නිවෙසේ ආර්ථිකයට ද ඒ කාරණය බලපායි. ඔවුන් බන්ධනාගාරගත වූ පසු ද එම බන්ධනාගාර නඩත්තු කිරීමට ඉහළ පිරිවැයක් දැරීමට රජයට සිදු වෙයි. රැඳවියන්ගේ ගණන අධික වීම නිසා ඔවුන්ගේ කායික සෞඛ්‍යය සම්බන්ධයෙන්ද මානසික සෞඛ්‍යය සම්බන්ධයෙන් ද අවධානය යොමු කිරීමට සිදු වෙයි. රැඳවියන්ගේ වැඩිවීම නිසා ඔවුනොවුන් අතර විවිධ සංවිධානාත්මක හැසිරීම් සහ අභ්‍යන්තර කැරැලි ආදිය ද හටගැනීමේ අවස්ථා නිර්මාණය විය හැකිය. අප මුලින් දැන්වූ පුනරුත්ථාපන වැඩසටහන් ආදිය මගින් එම තත්වය අවම කර ගැනීමේ යම් හැකියාවක් ලැබෙනු ඇත.
කෙසේ වෙතත් සමස්තයක් ලෙස සලකා බලන විට ආර්ථික සහ සමාජමය වශයෙන් රටක් යම් යම් අර්බුදවලට පත්වන විට එම අර්බුද මැදින් අපරාධ වර්ධනය විය හැකි බව අප තේරුම් ගත යුතු සත්‍යයකි. සොර මැරකම්, ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම් වෙනුවෙන් යම් යම් කණ්ඩායම් සංවිධානගත විය හැකිය. ඒ සම්බන්ධයෙන් නිරන්තර අවධානය අවශ්‍ය වන අතර අපරාධ මර්දනයට දිගු කාලීන නිසි වැඩපිළිවෙළක් සකස් විය යුතුය.
(*** සටහන - ගාමිණී කන්දේපොළ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd