පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයක් හේතුවෙන් 2024 දී බලයට පත් වූ දා සිටම ජාතික ජන බලවේගය දේශපාලනයේ න්‍යාය හා භාවිතාව අතර පෑහීමක් ඇති කිරීම පිළිබඳව ක්‍රමයෙන් ඉගෙන ගනිමින් සිටී. එය වරදක් නොවුව ද එම ක්‍රියාවලියේ දී එහි නායකයෝ විරුද්ධ පක්ෂවලට ආයුධ සපයමින් ද සිටිති.

බලයට පත් වීමට පෙර විපක්ෂයේ දේශපාලන පක්ෂයක් වශයෙන් ජාතික ජන බලවේගයේ න්‍යාය හා තර්ක අතිශයින් ආකර්ෂණීය විය. එහෙත් දැන් බලයේ සිටින පක්ෂය වශයෙන් ඔවුහු තමන් කාලයක් තිස්සේ ඉදිරිපත් කළ ඇතැම් න්‍යායයන් ප්‍රායෝගික නොවන බවත්, ඒවායින් අතිබහුතරයක් ක්‍රියාත්මක කරන්නට නම් ඒ සඳහා ප්‍රායෝගික දැනුම හා උපක්‍රම අවශ්‍ය බවත් අවබෝධ කර ගනිමින් සිටිති.

උදාහරණයක් වශයෙන්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්මත කරනු ලැබූ දා සිට එය අහෝසි කරන බවට ඔවුහු රටට පොරොන්දු වූහ. එහෙත් දිගු කාලයක් රඳවා ගෙන ප්‍රශ්න කළ යුතු අපරාධකරුවන් හා ත්‍රස්තවාදී කටයුතුවල නිරත වන්නන් සම්බන්ධයෙන් කටයුතු කරන්නට එම පනත හැර වෙනත් නීතියක් නැති බව ඔවුන් දැන ගත්තේ බලයට පත්වීමෙන් පසුය. තම පොරොන්දුව අනුව එම පනත අහෝසි කර අලු‍ත් පනතක් සම්මත කර ගැනීම ද සංකීර්ණ ගැටලු‍වක් බවට පත් වී ඇත්තේ මානව හිමිකම් ප්‍රශ්නය ඊට හරස්වීම නිසාය.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අපහසු බව ඔවුහු දනිති. එහෙයින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරන බවට ඔවුහු පොරොන්දු වූහ. එහෙත් ඒ සඳහා මූලික වශයෙන් රට තුළ ඇති කරගත යුතු එකඟතා, විශේෂයෙන්ම ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් එකඟතාවක් ඇති කරගැනීම ආණ්ඩුවේ පැවැත්මට පවා තර්ජනය කරන අභියෝගාත්මක ගැටලු‍වක් බවට පත් වී තිබේ.

ආණ්ඩුවට න්‍යාය හා භාවිතාව අතර පෑහීමක් ඇති කර ගැනීමේ අලු‍ත්ම අභියෝගය ඉස්මතු වී ඇත්තේ ප්‍රකාශන නිදහස සම්බන්ධයෙනි. ඒ තමිල්නාඩුවේ මුද්‍රණය කරන ලද මෙරට දෙමළ ලේඛකයකුගේ පොත් සිය ගණනක් ශ්‍රී ලංකා රේගුව රඳවා තබාගැනීම හේතුවෙනි.

මෙරට හා තමිල්නාඩුවේ සාහිත්‍යකරුවන් අතර දීප චෙල්වන් යනුවෙන් ප්‍රකට කිලිනොච්චියේ උපන් පාසල් ගුරුවරයකු හා ලේඛකයකු වන බාලේන්ද්‍රන් පිරදීපන් විසින් රචිත පොත් පහක පිටපත් 360ක් මෙරටට ගෙන්වා ගැනීමේ දී ඉකුත් මාර්තු 17 වැනිදා රේගුව එම පොත් නිදහස් කිරීම ප්‍රතික්ෂේප කළේය. ඒ එම කෘතිවල අන්තර්ගතයේ ජාතික සමගියට බාධා වන කරුණු ඇතැයි සඳහන් කරමිනි. දීප චෙල්වන් මෙම පොත් ශ්‍රී ලංකාවේ මුද්‍රණය නොකර තමිල්නාඩුවේ මුද්‍රණය කරවා ඇත්තේ එය වඩාත් ලාබදායී වන හෙයිනැයි කියැවේ.

එම පොත්වල ඇතුළත් ප්‍රශ්නකාරී කරුණු දණ්ඩ නීති සංග්‍රහයේ හා වෙනත් ඇතැම් නීති යටතේ දඬුවම් ලැබිය යුතු කරුණු යැයි රේගුව දීප චෙල්වන්ට දැනුම් දුන්න ද ඔහු අත්අඩංගුවට ගන්නට කිසිදු බලධාරියකු කටයුතු කළේ නැත. ඒ අතින් සිය සාහිත්‍ය කටයුතු හේතුවෙන් 2019 දී අත් අඩංගුවට පත් වූ ශක්තික සත්කුමාර, 2020 දී අත්අඩංගුවට පත් වූ රම්සි රාසික් හා අහ්නාෆ් ජසීම් යන ලේඛකයන් තුන් දෙදෙනාට වඩා දීප චෙල්වන් වාසනාවන්ත විය.

රම්සි රාසික් සිය ෆෙස්බුක් පිටුවේ සටහනක “මතවාදී ජිහාදය” (අරගලය) යන යෙදුම භාවිත කිරීම නිසා 2020 අප්‍රේල් මාසයේ දී සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත, දණ්ඩ නීති සංග්‍රහය හා පරිගණක අපරාධ පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබ මාස ගණනාවක් රඳවා ගනු ලැබ නිදහස් කරනු ලැබීය. ගුරුවරයකු වන අහ්නාෆ් ජසීම් එම වසරේම මැයි මාසයේ දී නවරසම් නම් තම සාහිත්‍ය නිර්මාණ එකතුවකින් මුස්ලිම් අන්තවාදය පැතිරවීයැයි චෝදනා කරනු ලැබ අත්අඩංගුවට ගනු ලැබීය.

දීප චෙල්වන්ගේ පොත් රඳවාගැනීමේ සිද්ධියෙන් පසු ප්‍රකාශන නිදහස පිළිබඳව සමාජ මාධ්‍යය තුළ බරපතළ සංවාදයක් ආරම්භ වී තිබේ. එහිදී ලේඛකයන් හා කලාකරුවන් සම්බන්ධයෙන් කිසිදු වාරණයක් ක්‍රියාත්මක නොවිය යුතුයැයි කියන්නාක් මෙන් ඇතැම් පිරිස් නිරපේක්ෂ නිදහස වෙනුවෙන් පවා පෙනී සිටින අතර තවත් පිරිසක් දීප චෙල්වන්ගේ පොත් රඳවා ගැනීම සාධාරණීකරණය වන ආකාරයට සාපේක්ෂ නිදහස වෙනුවෙන් පෙනී සිටිති.

මෙම පොත් සියල්ලම දෙමළ බසින් ලියවී ඇති හෙයින් මෙම සංවාදයේ නිරත සිංහල පිරිස් අතුරින් අතිබහුතරය එම පොත් කියවා නැති බව අනුමාන කළ හැකිය. මෙම ලියුම්කරු දෙමළ බස දන්නේ වුව ද ඔහුට ද එම පොත් කිසිවක් කියවීමට අවස්ථාවක් ලැබුණේ නැත.

කෙසේ වෙතත්, පසුගිය අප්‍රේල් 27 වැනිදා රේගුව දීප චෙල්වන්ගේ පොත් පහෙන් නඩුකල් (සිලාවත යන නමින් සිංහලෙන් පරිවර්තනය කරනු ලැබ ඇති පොත) සයනයිඩ් හා පයංකරවාදි (ත්‍රස්තවාදියා) යන පොත් තුනක පිටපත් 130ක් නිදහස් කළේය. ඒ ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ නිර්දේශ මත යැයි කියැවිණි. එලු‍ත්තාල් නාන් යුත්තම් සෙයිකිරේන් (අකුරෙන් මම යුද්ධ කරන්නෙමි) හා ඉප්පෝදුම් ඉංගේ ඉරණ්ඩු තේසංකල් තාන් (දැනුදු මෙහි ඇත්තේ ජාතීන් දෙකකි) යන කෘති දෙකේ පිටපත් 230 ක දණ්ඩ නීති සංග්‍රහය හා රේගු ආඥා පනත යටත් දඬුවම් ලැබිය හැකි කැරුණු අඩංගු වී ඇති හෙයින් ඒවා නිදහස් කළ නොහැකියැයි රේගුව ඔහුට දැනුම් දී තිබිණි.

එහෙත් එම පොත්වල ඇත්තේ තමන් මෙරට හා විදේශවල ජනමාධ්‍ය සමග පවත්වා දැනටමත් ප්‍රකාශයට පත් වී ඇති සම්මුඛ සාකච්ඡා හා ලිපියැයි දීප චෙල්වන් පවසන බව ඔහු වෙනුවෙන් පෙනී සිටින පිරිස් පවසති.

මෙම පොත් රඳවා ගැනීම අදාළ බලධාරීන් අතර දෙමළ භාෂාව දන්නා පුද්ගලයන් අඩුවීමෙන් දෙමළෙන් සාහිත්‍ය කටයුතුවල යෙදෙන දෙමළ හා මුස්ලිම් පුද්ගලයන් මුහුණදෙන අනතුරුදායක ගැටලු‍වක් යළිත් කරළියට ගෙනැවිත් තිබේ. විශේෂයෙන්ම ඔවුන් සිය ජන කොට්ඨාසය වාර්ගික වශයෙන් දුෂ්කරතාවලට මුහුණදීමේ අවස්ථා නිරූපනය වන ආකාරයට කරන සාහිත්‍ය කෘති ප්‍රකාශයට පත් කිරීමේ දී අත්අඩංගුවට පත්වීමේ හා සිරගතවීමේ හා එම කෘති තහනම් කරනු ලැබීමේ තත්වය මග හැර ප්‍රකාශන නිදහස භුක්ති විඳින්නේ කෙසේද යන ගැටලු‍ව ඉදිරියට පැමිණ ඇත.

ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාත්වල යුද්ධය අවසන් වී වසර දාහතක් ගතවී ඇතත් එම පළාත්වල දෙමළ ලේඛකයන්ගේ කෘතිවලට තවමත් වැඩි වශයෙන් පාදක වන්නේ යුද්ධය පැවැති සමයේ ඔවුන් මුහුණ දුන් අතිශයින් කටුක අත්දැකීම්ය. යුද්ධය පැවැති තිස් වසරකට වැඩි එම කාලය තුළ එකිනෙකාට සතුරු දෙපිරිසක් භාෂා දෙකකින් ඉදිරිපත් කරන ලද එකිනෙකට හාත්පසින්ම වෙනස් වූ කතාන්දර හා ඒවා පිළිබඳ අර්ථ දැක්වීම් මගින් සිංහල හා දෙමළ ජන කොට්ඨාසවල වත්මන් වින්තනය සකස් කරනු ලැබ තිබේ. එසේ නොවේ නම් එසේ බෙදී තිබූ ඔවුන්ගේ එම වින්තනය යුද්ධය විසින් ප්‍රබල ලෙස තහවුරු කරනු ලැබ තිබේ.

ඒ අනුව එකකුගේ ත්‍රස්තවාදියා අනෙකාගේ විමුක්ති සටන්කාමියාය යන්න ද තවදුරටත් තහවුරු වී තිබේ. යුද්ධය පිළිබඳව එක් පාර්ශ්වයක් කරන ප්‍රකාශ අනෙක් පාර්ශ්වයේ ඇසින් අසත්‍යය. හානිකරය හෝ ද්‍රෝහිකමකි. යුද්ධයේ අවසානය සමරමින් මේ මස මැද භාගයේ දී උතුරේත් දකුණේත් පැවැත්වෙන සැමරුම් පිළිබඳව සිංහල හා දෙමළ පුවත්පත්වල පළවන වාර්තා හා ලිපි ලේඛනවලින් මෙය යළිත් වතාවක් දැක ගත හැකිය.

යුද්ධය පිළිබඳ දෙමළ ලේඛකයන් තම අත්දැකීම් සාහිත්‍ය කෘති මගින් එළිදැක්විය යුතුව ඇත්තේ මෙම පසුබිම තුළය. ඔවුන්ගේ අත්දැකීම්වල ඇත්තේ ගුවනින් බෝම්බ හෙළීම්, බංකර් තුළ සැඟවීම්, ෂෙල් ප්‍රහාරවලින් තමන්ගේ ඇස් ඉදිරිපිටම ගැහැනුන්, පිරිමින් හා ළමයින් මියයාම්, ඔවුන්ගේ සිරුරු කැබලිවලට කැඩීයාම්, අත්අඩංගුවට ගැනීම්, සිරගත කිරීම්, වද දීම්, යුද්ධය සඳහා තම ළාබාල දරුවන් තමන්ගෙන් උදුරාගෙන යාම්, තමන් මිනිස් පළිහක් ලෙස යොදා ගැනීම් වැනි සිදුවීම්ය, ඔවුන්ගෙන් බොහෝ දෙනකුට ඒ කාලයේ බොහෝ දිනවල කන්නට යමක් නැතිව බොන්නට දිය පොදක් නැතිව නිදාගන්නට තැනක් නැතිව හා වසර ගණනාවක් විදුලි එළියක් නොදැක ජීවත්වන්නට සිදුවිය. වරද කාගේ වුවද යුද්ධයේ යථාර්ථය එයයි.

පවුලේ සාමාජිකයකු හෝ සමීප ඥාතියකු හෝ යුද්ධය හේතුවෙන් ඝෝර ලෙස මරණයට පත්වීම දකින්නට හෝ අසන්නට නොලැබුණු අයකු උතුරේ නැත. බොහෝ දෙනකුගේ පවුල් විසිරී ඇතැම් සාමාජිකයන් සිටින්නේ සැතපුම් දහස් ගණනක් ඈත විදේශවලය.

තමන්ගේ අත්දැකීම් විස්තර කරමින් මෑතක දී දීප චෙල්වන් ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදිනි සුලෝචනා රාමයියා මොහන් සමග මෙසේ පවසා ඇත. “උපන් දා සිටම මම කුමන ආකාරයකට හෝ දුෂ්කරතාවලට හෝ පීඩාවට පත් වූයෙමි. ළමයකු වශයෙන් මම වෙඩි හඬට බියේ ජීවත් වූයෙමි. බොහෝවිට මට නින්දක් නැති විය. පසුව මම ගුවන් බෝම්බ ප්‍රහාරවලට බියේ බංකර්වල සැඟවුණෙමි. විශ්වවිද්‍යාල සිසුවකු වශයෙන් යුද්ධය හේතුවෙන් මට අවිනිශ්චිතව හා බියෙන් ජීවිතය ගත කිරීමට සිදුවිය”

නඩුකල්, පයංගරවාදි හා සයනයිඩ් යන තම කතා ප්‍රබන්ධම නොවන බවත්, ඒවා මිනිසුන් අත්දුටු මානසික පීඩා හා භ්‍රාන්තිය, දේශපාලන යථාර්ථය හා ඓතිහාසික ස්මරණ පිළිබිඹු වන මහ පොළොවේ පැළවුණු අත්දැකීම් බවත් ඔහු පවසා තිබිණි. තමන්ගේ නඩුකල් නවකතාවෙන් කියැවෙන්නේ යුද්ධයට බැඳී අහිමි වූ තම පුත්‍රයාගේ මතක සිත් දරාගෙන තම බාල පුත්‍රයා සමග මවක කරන වේදනාබර ගමනක් බව ඔහු පවසයි.

කොටි සංවිධානයට බැඳී යුද්ධයේ දී ඇසක් හා අතක් අහිමි වූ චන්ද්‍රකලා නම් දෙමළ ලේඛිකාව වෙට්‍රිච් චෙල්වි යන ආරූඪ නමින් සාහිත්‍ය කෘති ගණනාවක් මෑතක දී පළ කර ඇත. ඊළප් පොරින් ඉරුදි නාට්කල් (ඊළම් යුද්ධයේ අවසාන දවස්), ආරිප් පෝන කනංගලින් වලි (සුව වූ තුවාලවල වේදනාව) හා පෝරාලියින් කාදලි (සටන්කාමියාගේ පෙම්වතිය) ආදිය මේ අතුරින් මුල් තැනක් ගනී. ඒවා ඇත්ත වශයෙන්ම සෞන්දර්යාත්මක අගයක් සහිතව ජීවිතයේ අතිශය කටුක අත්දැකීම් ගැඹුරින් විනිවිද දකින්නට දැරූ උත්සාහයෝ ය. එසේම ඒවා ඔවුන් යුද්ධය, කොටි සංවිධානය හා කොළඹ පාලකයන් දකින ආකාරය පෙන්නුම් කරන ඉතා වටිනා දර්ශකයෝය.

එහෙත් යුද්ධය විසින් වෙනස් ආකාරයකට තම සිත් හැඩ ගසා ගැනුණු පිරිසකට මෙම අත්දැකීම් එතරම් ආකර්ෂණීය විය නොහැකිය. ඇතැමකුට කොහෙත්ම ආකර්ෂණීය නොවිය හැකිය. එහෙත් ලේඛකයා දුටු යථාර්ථය එයයි. එසේ වුව ද මෙම කෘති සම්බන්ධයෙන් ඇතිවිය හැකි ආන්දෝලනය පිළිබඳව බලධාරීන් බියවන්නේ මෙතැනදීය. ඔවුන්ගේ පහසු විසඳුම වන්නේ වාරණයයි. ඔවුන් තුළ අගතීන් ඇත්නම් ඒවා ද මේ සමග ඉදිරියට එයි.

කෙසේ වෙතත් යුද්ධය පිළිබඳ බොහෝ දෙමළ ලේඛකයන්ගේ අදහස් දෙමළ ජන මනසට ආමන්ත්‍රණය කරන ඒවා වන හෙයින් ජාතික සමගියට හානිකර නොවුණ ද ජාතික සමගියට රුකුලක් වන්නේ ද නැත.

එහෙත් ඩිජිටල් යුගයේ වාරණය ප්‍රායෝගික නොවේ. රේගුව විසින් රඳවා ගනු ලැබ තිබෙන පොත් හෙට තමිල්නාඩුවේ සිට පී.ඩී.එෆ්. පිටපත් වශයෙන් සමාජ මාධ්‍ය පුරා පැතිර යා හැකිය. වාරණය නිසා ඇති වූ කුතුහලය හේතුවෙන් ඒවාට වැඩි ඉල්ලු‍මක් ද ඇති විය හැකිය. අනෙක් කාරණය නම් මෙම පොත්වල අඩංගු කරුණුවලට වඩා බරපතළ කරුණු තවත් සති දෙකකින් මුල්ලිවයික්කාල් දිනය සමරන දෙමළ පුවත්පත්වල දැකගත හැකිවීමයි. මේවා වාරණය වන්නේ දෙමළ නොදන්නා පිරිස් වෙතින් පමණි.

 

(*** එම්.එස්.එම්.අයුබ්)