ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේදී ජන රැලි යනු හුදෙක් ජනතාව එකතු කිරීමක් නොව, දේශපාලන සංඥාවකි. ඒවා මගින් පක්ෂයක සංවිධානාත්මක හැකියාව, බිම් මට්ටමේ ජාලය, නායකත්වය සහ ජනතාව අතර සම්බන්ධතාව, සහ එම දේශපාලන ව්‍යාපෘතිය තවමත් මහජන මනස තුළ ජීවමානද යන්න කියවාගත හැකිය. මැතිවරණ ප්‍රතිඵල ජනවරම මනින අතර, ජන රැලි එම ජනවරම තවමත් ක්‍රියාකාරී සමාජ බලයක් ලෙස පවතිනවාද යන්න පෙන්වයි.

විශේෂයෙන් අර්බුදයකින් පසු ඇති වූ දේශපාලන පරිවර්තනයකදී, මෙවැනි රැලිවල අර්ථය තවත් ගැඹුරු වේ. ඒවා සටන් පාඨ පමණක් නොව, ජනතාව කුමන දේශපාලන බලවේගයක් සමග චිත්තවේගීය, සංවිධානාත්මක සහ විශ්වාසමය සම්බන්ධතාවක් තවමත් රඳවාගෙන සිටින්නේද යන්න පෙන්වයි. ඒ අර්ථයෙන්, 2026 මැයි 01 වැනිදා ජාතික ජන බලවේගය දිවයින පුරා දිස්ත්‍රික්ක 21කදී මැයි දින රැලි පැවැත්වීම, හුදෙක් පක්ෂ ක්‍රියාකාරකමක් නොව, වර්තමාන ශ්‍රී ලංකා දේශපාලනයේ බලතුලනය, මහජන විශ්වාසය, සංවිධානාත්මක හැකියාව සහ විපක්ෂයේ විශ්වාස අර්බුදය කියවාගත හැකි ජන සලකුණකි.

 

‍ජන රැලි දේශපාලන සංඥා ලෙස

දේශපාලන ආර්ථික විග්‍රහයකදී මෙවැනි මහජන එක්රැස්වීම් හුදෙක් රැලි නොව, ජනවරම, ආර්ථික විශ්වාසය සහ රාජ්‍ය ක්‍රියාකාරිත්වය පිළිබඳ සංඥා ලෙස කියවිය හැකිය.

ඒ නිසා රැලි මැතිවරණ ප්‍රතිඵල නොවුවද, ඒවා ජනමනස කියවන දේශපාලන උෂ්ණත්වමාන වේ. විශේෂයෙන් ආණ්ඩු පක්ෂයකට එය තවත් වැදගත්ය. බලය ලබාගත් පසු ජනතාව දුරස් වන්නේද, නැත්නම් පක්ෂය සහ ජනතාව අතර සම්බන්ධතාව තවමත් පවතින්නේද යන්න පරීක්ෂා වන අවස්ථාවක් වන්නේ මෙවැනි ජන රැලි වේ. එම අර්ථයෙන්, 2026 මැයි දිනයේ රැලි 21 මගින් මාලිමාව පෙන්වූයේ තමන් තවමත් බිම් මට්ටමේ ජීවමාන සංවිධානාත්මක බලයක් බවය.

 

ජන පණිවිඩය

මෙම රැලිවල දේශපාලන අර්ථය පළමුවෙන්ම පෙනෙන්නේ ඒවායේ භූගෝලීය ව්‍යාප්තිය තුළය. එක් නගරයකට ජනතාව රැස් කිරීම වෙනුවට, උතුර, දකුණ, කඳුකරය, බස්නාහිර සහ නැගෙනහිර යන විවිධ දේශපාලන භූගෝල තුළ එකම දිනයක ජන සම්බන්ධතාවක් පෙන්වීම මෙහි විශේෂත්වයයි. එය ප්‍රාදේශීය හෝ නගර මධ්‍යස්ථ බලයක් නොව, දිවයිනම ආවරණය කරන සංවිධානාත්මක ජන සම්බන්ධතාවක් බවට සංඥා කරයි.

මෙය වැදගත් වන්නේ පසුගිය මාස කිහිපය තුළ “රජය අසාර්ථකයි” යන ආඛ්‍යානය විවිධ මාධ්‍ය වේදිකා, සමාජ මාධ්‍ය වටපිටාව සහ දේශපාලන කතා තුළ පුනරුච්චාරණය වූ නිසාය. එහෙත් මැයි දිනයෙන් පෙනුණේ එම ආඛ්‍යානය තවමත් මහජන මට්ටමේ අවසාන තීන්දුවක් බවට පත්වී නොමැති බවය.

 

විශ්වාසය හිස් හැඟීමක් නොවේ

මැයි දිනයේ ජන සහභාගීත්වය හිස් දේශපාලන උණක් ලෙස කියවිය නොහැකිය. එය 2022 ආර්ථික බිඳවැටීමෙන් පසු රට නැවත ස්ථාවර මාර්ගයකට ගෙන යාමට ආණ්ඩුව ගෙන ඇති උත්සාහය ජනතාව සම්පූර්ණයෙන් අමතක කර නොමැති බවට සංඥාවකි. ජනතාවට ජීවන වියදම, ආදායම් පීඩනය සහ රාජ්‍ය සේවාවේ දුර්වලතා දැනේ. එහෙත් ඒ සමඟම, ආර්ථිකය සහ රාජ්‍යය නැවත පාලනය කළ හැකි මට්ටමකට ගෙන ඒමේ උත්සාහයද ඔවුහු දකිති.

 

ප්‍රතිසංස්කරණයට ජන පිළිගැනීමක්

මැයි දිනයෙන් පෙනුණේ ආණ්ඩුව සියලු‍ ප්‍රශ්න විසඳා ඇති බව නොවේ. එහෙත් රට නැවත ගොඩනැගීම සඳහා ආණ්ඩුව ගෙන යන ප්‍රතිසංස්කරණ උත්සාහය මහජනතාව හඳුනාගෙන ඇති බවය. රාජ්‍ය ආදායම් ශක්තිමත් කිරීම, අනවශ්‍ය වියදම් පාලනය, ප්‍රසම්පාදන විනිවිදභාවය, ඩිජිටල්කරණය, රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිසංස්කරණය, ණය බර අඩු කිරීම, නීතියට යටත් පාලනතන්ත්‍රයක් ස්ථාපිත කිරීම, දූෂණයට එරෙහි ක්‍රියාමාර්ග, ජාත්‍යන්තර විශ්වාසය නැවත ගොඩනැගීම සහ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි සටන වැනි ක්ෂේත්‍රවල පෙනෙන උත්සාහය ජනතාවගේ සිත් තුළ ඉහළ දේශපාලන අර්ථයක් දරයි.

මෙය සම්පූර්ණ ජයග්‍රහණයක් පිළිබඳ ප්‍රකාශයක් නොව, රට ගොඩනැගීමේ දිශාව පිළිබඳ සංඥාවකි. ප්‍රතිසංස්කරණ බොහෝ විට වේදනාකාරී වන අතර, ඒවායේ ප්‍රතිඵල සැණෙකින් නොපෙනේ. එහෙත් පාලනයක් සත්‍ය උත්සාහයක නිරතද, නැත්නම් පැරණි පාලන සංස්කෘතියම වෙනත් නාමයකින් පවත්වාගෙන යන්නේද යන්න මහජනතාව මැනීමට පටන් ගනී.

මෙහි තවත් ගැඹුරු අර්ථයක්ද ඇත. මහජනතාව තේරුම් ගනිමින් සිටින්නේ, ආණ්ඩුව දුර්වල වූ රාජ්‍යයක් ජනවරමේ අපේක්ෂා සපුරාලිය හැකි රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීමට අවංක හා විශ්වාසදායක අරගලයක නිරත වන බවය.

 

අර්බුද මැද පාලන හැකියාව

ජනතාව ආණ්ඩුවක් මනින්නේ ආර්ථික දත්තවලින් පමණක් නොව, තම දෛනික ජීවිතය බිඳවැටෙනවාද නැද්ද යන්නෙන්ය. දිට්වා සුළි කුණාටුව, මැදපෙරදිග යුද තත්වයෙන් ඇති වූ ඉන්ධන හා බලශක්ති පීඩනය, සහ අවුරුදු සමයේදී ජන ජීවිතය බිඳවැටීමට ඉඩ නොදී පවත්වාගෙන යාම වැනි කරුණු ජනතාවට නිහඬව දැනෙන පාලන සංඥා වේ. 2022 අර්බුදයේ ඉන්ධන පෝලිම්, විදුලි කප්පාදු, විදේශ විනිමය හිඟය, ආහාර හා ඖෂධ හිඟය සහ පාලනය අහිමි වූ රාජ්‍යයක අත්දැකීම තවමත් ජන මතකයේ පවතී. එවැනි මතකයක් ඇති සමාජයක, අවුරුදු සමය සාපේක්ෂව සාමාන්‍යව ගත කිරීමට හැකිවීම, බලශක්ති පීඩනය තිබියදී සමාජ ජීවිතය පූර්ණ බිඳවැටීමකට නොයෑම, සහ විශාල ආපදා පසුබිමේ රාජ්‍යය සම්පූර්ණයෙන් අඩපණ නොවීම, ජනතාවගේ දේශපාලන විශ්වාසයට බලපාන ප්‍රබල නිහඬ සාධක වේ.

 

විපක්ෂයේ විශ්වාස අර්බුදය

මෙම මැයි දින පණිවිඩය වඩාත් පැහැදිලි වන්නේ විපක්ෂයේ තත්වය සමග සසඳන විටය. පැරැණි පක්ෂවලට තවමත් වේදිකා තිබේ. කථිකයෝ සිටිති. මාධ්‍ය අවකාශයද තිබේ. ආණ්ඩුවට එරෙහි චෝදනාද තිබේ. එහෙත් 2022 අර්බුදයෙන් පසු බිඳවැටුණු මහජන විශ්වාසය නැවත ගොඩනගා ඇති බව පෙන්වීමට තරම් ශක්තිමත් සමාජීය රැල්ලක් ඔවුන් වටා තවමත් පැහැදිලිව දක්නට නොලැබේ.

ආණ්ඩුවට එරෙහි අසතුටක් තිබීම, විපක්ෂය පිළිබඳ විශ්වාසයක් ඇති බවට සාක්ෂියක් නොවේ. විවේචනය සහ විශ්වාසය එකම දෙයක් නොවේ. ජනතාව ආණ්ඩුවේ ප්‍රමාද, දෝෂ සහ පරිපාලන දුර්වලතා විවේචනය කළ හැකිය. එය ප්‍රජාතන්ත්‍රවාදයට අවශ්‍යය. එහෙත් එයින් විපක්ෂය ස්වයංක්‍රීයව විශ්වාස කළ හැකි විකල්පයක් බවට පත්වන්නේ නැත.

 

ආණ්ඩුවට ඇති අනතුරු ඇඟවීම

එහෙත් මෙම ජන විශ්වාසය ආණ්ඩුවට සදාකාලිකව හිමි වූ තෑග්ගක් නොවේ. එය දිනෙන් දින ප්‍රතිඵල මගින් නැවත උපයාගත යුතු දේශපාලන ධනයකි. රැලිවලින් ජන විශ්වාසය පෙන්විය හැකි වුවද, එය දිගටම රැකගත හැක්කේ ජන ජීවිතයට දැනෙන වෙනසකින් පමණි.

එහිදී ජීවන වියදම පිළිබඳ ගැටලු‍ව විශේෂයෙන් වැදගත්ය. උද්ධමනය පහළ යාම යනු ජීවන වියදම පහළ යාම නොවේ; එයින් අදහස් වන්නේ භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යන වේගය අඩු වී ඇති බව පමණි. 2022 අර්බුදයෙන් පසු මිල මට්ටම ඉහළ ස්ථරයක රැඳී ඇති බැවින්, ආහාර, ඖෂධ, ප්‍රවාහනය, බලශක්තිය, අධ්‍යාපනය සහ සෞඛ්‍ය වැනි මූලික අවශ්‍යතා වැඩි කාර්යක්ෂමතාවයෙන් සහ ඵලදායිතාවයෙන් ලබාදීම අත්‍යවශ්‍යය.

බදු ප්‍රතිපත්තිය තුළද වඩාත් ජන හිතකාමී හා වර්ධන හිතකාමී සමතුලනයක් අවශ්‍ය වේ. ඩිජිටල්කරණය මගින් බදු පදනම පුළුල් කිරීම සහ බදු පරිපාලනය කාර්යක්ෂම කිරීම සාර්ථකව ඉදිරියට ගියහොත්, එකම සීමිත බදු ගෙවන පිරිස මත බර වැඩි කිරීම වෙනුවට, මෙතෙක් බදු ජාලයට නොපැමිණි ආදායම් මාර්ග සාධාරණව ඇතුළත් කළ හැකිය. එවිට මූල්‍ය ස්ථාවරත්වය රැකගනිමින්ම, බදු අනුපාත සාධාරණ ලෙස පහළ දැමීමට අවකාශයක් නිර්මාණය වේ. එය සාමාන්‍ය පුරවැසියන්, වෘත්තීයවේදීන් සහ ආර්ථිකයේ නිෂ්පාදන හා සේවා අංශවල නිරත පිරිස් මත පැටවී ඇති බදු බර සැලකිය යුතු ලෙස අඩු කිරීමටද උපකාරී වේ.

ඒ නිසා මැයි දිනය ආණ්ඩුවට උදම් ඇනීමට පමණක් නොව, අනතුරු ඇඟවීමටද හේතුවකි. ජනතාව ප්‍රතිසංස්කරණ මාර්ගය අත්හැර නැත. එසේ වුවත් ඔවුන් අසීමිත ඉවසීමක් ඇති ජනතාවක්ද නොවේ. රාජ්‍ය ආදායම්, වියදම් කළමනාකරණය, ප්‍රසම්පාදන විනිවිදභාවය, ඩිජිටල්කරණය, රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිසංස්කරණය සහ දූෂණයට එරෙහි ක්‍රියාමාර්ග ජනතාවට දැනෙන ප්‍රතිඵල බවට පත් විය යුතුය. නැතිනම් අද ජීවමාන ලෙස පෙනෙන විශ්වාසය හෙට නිහඬ සැකයක් බවට පත්විය හැකිය.

 

අවසන් ජන පණිවිඩය

එබැවින් 2026 මැයි දිනයේ රැලි 21කින් කියැවුණු පණිවිඩය සරල ජයග්‍රාහී සටන් පාඨයක් නොව, ගැඹුරු දේශපාලන සංඥාවකි. එය පෙන්වූයේ මාලිමාව තවමත් ජනතාව අතර ජීවමාන සංවිධානාත්මක බලයක් බවත්, “රජය අසාර්ථකයි” යන ආඛ්‍යානය තවමත් මහජන මට්ටමේ තීන්දුවක් වී නොමැති බවත්ය.

මෙම මැයි දිනයෙන් පෙනුණේ රට නැවත ගොඩනැගීමේ ප්‍රතිසංස්කරණ උත්සාහය මහජන මනස තුළ තවමත් අර්ථයක් දරන බවය. ජනතාව එම මාර්ගයට තවමත් අවස්ථාවක් දී ඇත. එය ආණ්ඩුවට විශාල දේශපාලන ශක්තියක් වන අතරම, විශාල වගකීමක්ද වේ. මැයි දිනයේ අවසන් ජන පණිවිඩය මෙයයි. ජනවරම තවමත් ජීවමාන වේ. එහෙත් එය රැකගැනීමට අවශ්‍ය වන්නේ සටන් පාඨ නොව, ජන ජීවිතයට දැනෙන අඛණ්ඩ ප්‍රතිඵලය.

 

(***)

රුහුණු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව

පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය

චන්දික ගුණසිංහ