ලංකාවේ සංචාරක කර්මාන්තය විදේශ විනිමය උපයන ප්‍රධානතම මූලාශ්‍රයක් ලෙස සැලකේ. ස්වාභාවික සම්පත්, සංස්කෘතික උරුමය සහ භූගෝලීය විවිධත්වය මත පදනම්ව එය දිගුකාලීනව ලෝක සංචාරකයන් ආකර්ෂණය කරගන්නා ගමනාන්තයක් ලෙස පවතී.
මෙම ක්ෂේත්‍රය රැකියා උත්පාදනය, ප්‍රදේශීය සංවර්ධනය සහ සේවා ක්ෂේත්‍රයේ වර්ධනයට සෘජු සහ වක්‍ර දායකත්වයක් ලබා දෙයි. එසේ වුව ද, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය, COVID-19 වසංගත තත්වය සහ මෑතකාලීන ආර්ථික අර්බුදය වැනි අහිතකර සිදුවීම් හේතුවෙන් මෙම කර්මාන්තය දැඩි ලෙස කඩා වැටී, සංචාරක පැමිණීම් හා ආදායම් සැලකිය යුතු ලෙස පහළ ගියේය. එහෙත් කෙටි කාලයක් තුළ එය ක්‍රමයෙන් යථා තත්වයට පත්වීම ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසාධන හැකියාව පෙන්නුම් කරන යහපත් තත්වයක් ලෙස සැලකිය හැකිය.
කෙසේ නමුත් වර්තමානයේ මැද පෙරදිග කලාපයේ ඇති වී තිබෙන ආරක්ෂක අස්ථාවරතා හේතුවෙන් ගුවන් ගමන් ක්‍රියාවලියට ද බාධා ඇති වෙමින් පවතී. ශ්‍රී ලංකා ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්වයට පත් වෙමින් පවතින අවස්ථාවක, විදේශ විනිමය උපයන ප්‍රධාන මාර්ගයක් ලෙස සංචාරක කර්මාන්තය මත ඇතිවිය හැකි නව වටයක බලපෑම් පිළිබඳව ක්ෂේත්‍රයේ විද්වතුන් අතර දැඩි සංවාදයක් පවතී. එසේම, සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කරන දායකත්වය සහ එහි තිරසාරභාවය සම්බන්ධයෙන් ද මේ වනවිට ගැඹුරු සාකච්ඡාවක් නැවත වටයකින් ඇති වෙමින් පවතී. මෙම ලිපිය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ආර්ථිකයට කරන සැබෑ දායකත්වය සහ එහි තිරසාරභාවය විමර්ශනය කරයි.
සංචාරක ගමනාන්තයක් ලෙස ගෝලීය පිළිගැනීම
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය විධිමත්ව සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව සහ ඒ සඳහා ගනු ලැබූ පියවර නිදහස ලැබීමට පෙර කාලය තුළ සිටම දක්නට ලැබේ. කෙසේ වෙතත්, විවිධ ආර්ථික හා ගෝලීය දේශපාලන තත්වයගේ බලපෑම හේතුවෙන් මෙම ක්ෂේත්‍රය සැලසුම්ගත හා විධිමත් ආකාරයෙන් සංවර්ධනය වීම ආරම්භ වන්නේ 1960 දශකයේ මැද භාගයෙන් පසුව බව පැහැදිලිය. 2005 නව සංචාරක පනත අනුව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පිහිටුවීමෙන් මෙම ක්ෂේත්‍රය නව ආයතනික හා නීතිමය ව්‍යුහයකට ගෙන යමින් සංවර්ධන ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කර ඇත.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සංචාරක වෙළෙඳපොළේ තරගකාරී ලෙස ස්ථානගත වීමට උත්සාහ කරමින් සිටිය ද, ප්‍රධාන තරගකාරී ගමනාන්තවල සංචාරක වියදම් ආකෘති සමග සැසඳීමේ දී වැදගත් වෙනස්කම් දැකිය හැකිය. විශේෂයෙන් මාලදිවයින වැනි දූපත් රාජ්‍යවල ඒක පුද්ගල සංචාරක වියදම ඉහළ මට්ටමක පවතී. එමගින් සංචාරක සංඛ්‍යාව අඩු වුව ද, එක් සංචාරකයකුගෙන් උපයන ආදායම ඉතා ඉහළ වේ. අනෙක් අතට, ඉන්දියාව සහ මැලේසියාව වැනි රටවල් සාපේක්ෂව අඩු වියදම් සංචාරක ආකෘති මත ක්‍රියාත්මක වේ. මෙම ආකෘති එම රටවල භූගෝලීය ප්‍රමාණය, යටිතල පහසුකම් සහ වෙළෙඳපොළ හැකියාවට ගැලපෙන නමුත්, දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවට එය සෘජුවම ගැළපෙන ආකෘතියක් නොවේ. එබැවින් ශ්‍රී ලංකාව සඳහා සුදුසුවන්නේ සංඛ්‍යාත්මක වර්ධනයට වඩා ගුණාත්මක සහ ඉහළ වටිනාකම් සහිත සංචාරක ආකෘතියක් මත පදනම් වූ තිරසාර ප්‍රවේශයකි. එබැවින් සංචාරක සංඛ්‍යාව වැඩි කිරීම පමණක් ආර්ථික වශයෙන් ප්‍රමාණවත් නොවන අතර, එය සීමිත යටිතල පහසුකම් සහ ස්වාභාවික සම්පත් මත ඇතිවන පීඩනය පාරිසරික හා සමාජීය ගැටලු වර්ධනය කිරීමට හේතු වේ.
මෙම තත්වය දිගටම පැවැතියහොත් සංචාරක කර්මාන්තය තිරසාර නොවන මංපෙතකට යොමුවීමේ අවදානමක් පවතී. ඒ අනුව, සංචාරක සංඛ්‍යාව වැඩි කිරීම පමණක් නොව, උසස් වටිනාකම් සහිත සංචාරකයන් ආකර්ෂණය කිරීම සහ තිරසාර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ.
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ආශ්‍රිත අභියෝග
තිරසාර සංචාරක සංකල්පය ප්‍රවර්ධනය කිරීම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ දිගුකාලීන පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වේ. මෙම ක්ෂේත්‍රය හුදෙක් විදේශ විනිමය උපයන මූලාශ්‍රයක් පමණක් නොව, සමාජ, ආර්ථික හා පාරිසරික පිරිවැයක් ද දරන ක්ෂේත්‍රයකි. බලශක්තිය, යටිතල පහසුකම් සහ ස්වාභාවික සම්පත් මත ඇතිවන පීඩනය නිසා පිරිවැය කළමනාකරණය සහ දේශීය වටිනාකම් ඉහළ නැංවීම වැදගත් වේ. සීගිරිය, නුවර, ඇල්ල, ගාල්ල වැනි ප්‍රධාන ගමනාන්තවල අධික සංචාරක ඝනත්වය හේතුවෙන් පාරිසරික හා සමාජීය ගැටලු ඉහළ යමින් පවතී. එබැවින් සංඛ්‍යාත්මක වර්ධනයට වඩා ඉහළ වටිනාකම් සහිත සංචාරක ආකෘතියක් මත පදනම් වූ තිරසාර සංවර්ධනයක් අත්‍යවශ්‍ය වේ.
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ආශ්‍රිත මූලික අභියෝග ගණනාවකි. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රධාන අභියෝගයක් වන්නේ ප්‍රතිපත්තිවල ස්ථාවරභාවයක් නොමැති වීමයි. ආණ්ඩු වෙනස් වීමත් සමග ප්‍රතිපත්ති වෙනස් වීම දිගුකාලීන සංවර්ධනයට බාධා කරයි. එමෙන්ම ආයතන අතර සම්බන්ධීකරණය අඩුවීම සහ අවිධිමත් ක්‍රියාකාරකම් කර්මාන්තයේ කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය අඩු කරයි. සංචාරක කර්මාන්තය තිරසාර ලෙස සංවර්ධනය කිරීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණය තවදුරටත් ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන් මධ්‍යම රජය අයත් සංචාරක සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන සහ පළාත් මෙන්ම ප්‍රාදේශීය මට්ටමේ සංචාරක කළමනාකරණ යාන්ත්‍රණ අතර සාර්ථක සම්බන්ධීකරණයක් පවත්වා ගැනීම ඉතා වැදගත් වේ.
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය බහුජාතික සමාගම් සහ මහා පරිමාණ ආයතන මත අධික ලෙස යැපීම සුදුසු තත්වයක් නොවේ. එවැනි ආකෘතියකින් ආර්ථිකයට ලැබෙන ප්‍රතිලාභ සීමිත වන අතර, දේශීය ජනතාවට ලැබෙන ආදායම් අවස්ථා ද අඩු වේ. එබැවින් දේශීය එකතු කළ අගය වර්ධනය කිරීම සංචාරක ආර්ථිකයේ ප්‍රධාන අවශ්‍යතාවක් වේ. මෙම තත්වය තුළ, දේශීය ව්‍යාපාර සංචාරක වටිනාකම් දාමයට ඒකාබද්ධ කිරීම, ප්‍රාදේශීය සහභාගිත්වය වැඩි කිරීම සහ කුඩා -මධ්‍යම ව්‍යාපාර ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ අනුව සංචාරක කර්මාන්තය තිරසාර, සමබර සහ දිගු කාලීන ආර්ථික වටිනාකමක් ඇති ක්ෂේත්‍රයක් ලෙස සංවර්ධනය කළ හැකිය.
ප්‍රතිපත්ති සහ විසඳුම්
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ අභියෝග විසඳා ගනිමින් එය තිරසාර ලෙස සංවර්ධනය කිරීමට දේශීය ආර්ථිකය, යටිතල පහසුකම්, සංස්කෘතික වටිනාකම් සහ පාරිසරික ආරක්ෂාව සැලකිල්ලට ගත යුතුය. ඒ අනුව තිරසාර සංචාරක ප්‍රතිපත්ති ශක්තිමත් කිරීම, දේශීය ජනතාවගේ සහභාගිත්වය වැඩි කිරීම, ඩිජිටල්කරණය, පුහුණු මානව සම්පත් සංවර්ධනය සහ සංචාරක කලාප සමබරව ව්‍යාප්ත කිරීම වැනි ක්‍රියාමාර්ග අත්‍යවශ්‍ය වේ. මෙවැනි පියවර මගින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තිරසාර හා ගෝලීය තරගකාරී ක්ෂේත්‍රයක් ලෙස ඉදිරියට ගෙන යා හැකිය.
කෘෂි සංචාරක අත්දැකීම්
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ මූලික ගැටලු සඳහා විසඳුමක් ලෙස තිරසාර සංචාරක සංකල්පය ප්‍රවර්ධනය කිරීම අත්‍යවශ්‍ය වේ. වාරි තාක්ෂණය සහ කෘෂිකර්මාන්තය පදනම් කරගත් දේශීය ආර්ථිකය සමග සංචාරක කර්මාන්තය ඒකාබද්ධ කිරීමෙන් ආර්ථිකයට එකතු කළ වටිනාකම ඉහළ නැංවිය හැකිය. එමගින් ප්‍රාදේශීය ජනතාවගේ ආර්ථික හා සමාජීය තත්වය ද වර්ධනය කරගත හැකි පසුබිමක් නිර්මාණය වේ. මෙම ප්‍රවේශයෙන් වර්තමානයේ සංචාරක කර්මාන්තය අඩුවෙන් ව්‍යාප්ත වී ඇති උතුරු, නැගෙනහිර සහ වියළි කලාපවලට ද සංවර්ධන අවස්ථා පුළුල් කළ හැකිය. කෙසේ වෙතත්, මෙවැනි ක්ෂේත්‍ර ව්‍යාප්තිය සඳහා පෞද්ගලික අංශයේ ආයෝජන දිරිගැන්වීම අත්‍යවශ්‍ය වේ.
හෝම්ස්ටේ (Home stay) සංචාරක අත්දැකීම්
හෝම්ස්ටේ සංචාරක අත්දැකීම් නොහොත් නිවාසස්ථ සංචාරක අත්දැකීම ප්‍රවර්ධනය කිරීම ශ්‍රී ලංකාවේ තිරසාර සංචාරක සංවර්ධනය සඳහා වැදගත් විසඳුමකි. මෙම සංකල්පයෙන් ග්‍රාමීය ප්‍රජාව සංචාරක කර්මාන්තයට සෘජුව ඒකාබද්ධ කරමින් ප්‍රාදේශීය ආර්ථික සංවර්ධනයට දායකත්වයක් ලබා දෙයි. ආසියාව සහ යුරෝපය ඇතුළු බොහෝ රටවල මෙය සාර්ථක සංචාරක ආකෘතියක් ලෙස ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාවේ ද මෙම වැඩසටහන් වසර ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වුව ද, එහි ප්‍රතිඵල අපේක්ෂිත මට්ටමට වඩා පහළ මට්ටමක පවතී. දැනට හෝම්ස්ටේ ව්‍යාපාර ආසන්න වශයෙන් 2,000ක් පමණ ක්‍රියාත්මක වන අතර ආර්ථිකයට ලැබෙන දායකත්වය සීමිතය.
එහෙත් මෙම ක්ෂේත්‍රය තවදුරටත් පුළුල් කිරීමේ විශාල විභවතාවක් පවතී. හෝම්ස්ටේ මගින් දේශීය ජනතාවගේ තම නිවෙසෙහි අතිරේක කාමර සංචාරකයන්ට ලබා දීමෙන් ආදායම් මාර්ග පුළුල් වන අතර, සංචාරකයන්ට දේශීය සංස්කෘතිය සමීපව අත්විඳීමට අවස්ථාව ලැබේ. එමගින් ශ්‍රී ලංකාවේ සංස්කෘතික වටිනාකම් ජාත්‍යන්තරයට ප්‍රවර්ධනය කිරීම ද සිදුවේ. කෙසේ වෙතත් මෙම ක්ෂේත්‍රයේ ප්‍රධාන ගැටලු වන්නේ දැනුවත්භාවය අඩුවීම, සේවා ගුණාත්මකභාවය සීමිත වීම සහ නියාමන ක්‍රමවේද ප්‍රමාණවත් නොවීමයි.
ඩිජිටල් ප්‍රවණතා සමග සංචාරක කර්මාන්තය ඒකාබද්ධ කිරීම
වර්තමාන ගෝලීය සහ ඩිජිටල් යුගයේ දී සංචාරක කර්මාන්තය තාක්ෂණය සමග ඒකාබද්ධ කිරීම අත්‍යවශ්‍ය කරුණකි. බොහෝ රටවල් මාර්ගගත පද්ධති, ඩිජිටල් ටිකට්පත් නිකුත් කිරීම සහ ස්මාර්ට් සංචාරක සේවා භාවිත කරමින් සංචාරක අත්දැකීම් වේගවත් හා කාර්යක්ෂම කරමින් සිටී. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ සීගිරිය සහ ජාතික වනෝද්‍යාන වැනි ජනප්‍රිය ගමනාන්තවල අවසරපත් නිකුත් කිරීමේ දී තවමත් දිගු පෝලිම් සහ ප්‍රමාදය වැනි ගැටලු පවතී. මෙය සංචාරක අත්දැකීමේ ගුණාත්මකභාවය අඩු කිරීමට හේතු වේ. එබැවින්, මාර්ගගත පද්ධති සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම, ඩිජිටල් ගෙවීම් පහසුකම් පුළුල් කිරීම සහ තොරතුරු තාක්ෂණය සංචාරක කළමනාකරණයට ඒකාබද්ධ කිරීම අත්‍යවශ්‍ය වේ.
මානව සම්පත් සංවර්ධනය
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ දිගු කාලීන සංවර්ධනයට බාධා කරන ප්‍රධාන ගැටලුවක් වන්නේ පුහුණු ශ්‍රමිකයන්ගේ හිඟයයි. තරුණ පරපුර මෙම ක්ෂේත්‍රයට ආකර්ෂණය කර ගැනීම, වෘත්තීය කුසලතා වර්ධනය කිරීම සහ ජාත්‍යන්තර මට්ටමේ සේවා ප්‍රමිතීන්ට ගැළපෙන මානව සම්පත් සංවර්ධනය කිරීම, ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ තිරසාර සංවර්ධනය සඳහා මූලික අවශ්‍යතාවකි.
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ජාත්‍යන්තර සන්නාමයක් ලෙස තවදුරටත් ඉහළ නැංවීමට තිරසාර සංචාරක සංකල්පය මත පදනම් වූ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ. එමගින් ප්‍රාදේශීය ජනතාවට ප්‍රතිලාභ ලබා දිය හැකි අතර රටේ සමස්ත ආර්ථිකයට ද සැලකිය යුතු දායකත්වයක් ලබාගත හැකිය. එබැවින් සංචාරක කර්මාන්තයේ සාර්ථකත්වය තීරණය වන්නේ වර්ධනය පමණක් නොව තිරසාරභාව හා ගුණාත්මකභාව මත බව අවධාරණය කරනු කැමැත්තෙමි.
(***)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd