අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිටරටින් ගෙනා විලාසිතාවක් හෝ දරුවන් මත බලහත්කාරයෙන් පැටවූ තාක්ෂණික අත්හදාබැලීමක් නොවේ. එය යථාර්ථය විසින් ඉල්ලා සිටිනු ලබන අනිවාර්යය අවශ්‍යතාවකි. අප අධ්‍යාපනය ලැබූ ලෝකයට වඩා, අපගේ දරුවන් අනාගතයේ මුහුණ දෙන ලෝකය වේගයෙන් වෙනස් වෙමින් පවතී.

තාක්ෂණය, අවිනිශ්චිතභාව සහ ගෝලීය තරගකාරීත්වය හමුවේ දැනුම, කුසලතා, රැකියා සහ පුරවැසිභාවය පවා අලු‍තින් අර්ථකථනය වෙමින් තිබේ. එබැවින් අපගේ අධ්‍යාපන ක්‍රමය ඉතා පරෙස්සමින්, සදාචාරාත්මකව සහ සාධාරණව පරිණාමය නොවන්නේ නම්, එයින් සිදුවන්නේ එම ක්‍රමය මගින් ආරක්ෂා කිරීමට බලාපොරොත්තු වන දරුවන්ම අගාධයට ඇද දැමීමකි.

එහෙත්, ප්‍රතිසංස්කරණ යනු හුදෙක් අප වෙනස් කරන්නේ ‘කුමක්ද’ යන්න පමණක් නොවේ. අප එය වෙනස් කරන්නේ ‘කෙසේද’ යන්න ඊටත් වඩා වැදගත් ය.

1 ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන අතරතුර, 6 ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ කල් දැමීමට රජය මෑතක දී ගත් තීරණයෙන් පිළිබිඹු වන්නේ ගැඹුරු සත්‍යයකි. එනම් පාසල් පද්ධතිය තුළ බරපතළ විෂමතා පවතින සමාජයක, කොතරම් හොඳ ප්‍රතිසංස්කරණයක් වුව ද, එය කඩිමුඩියේ ක්‍රියාත්මක කළහොත් නරක ප්‍රතිඵල ගෙන දිය හැකි බවයි.

1 ශ්‍රේණිය සහ 6 ශ්‍රේණිය අතර වෙනස හඳුනා ගැනීම ප්‍රතිපත්තිමය දෙගිඩියාවක් හෝ පසුබෑමක් නොවේ. එය කාලරාමුව, සූදානම සහ සාධාරණත්වය යන සාධක, අපගේ යහපත් අරමුණු තරම්ම වැදගත් බව හිතාමතාම පිළිගැනීමකි. වගකීම්සහගත ප්‍රතිසංස්කරණයක් කළ යුත්තේ, තමන් විසින් නිර්මාණය නොකළ පද්ධතිමය අසමානතා (Systemic inequalitie) සඳහා දරුවන්ට වන්දි ගෙවීමට සිදුවීම වැළැක්වීමයි. කෙටියෙන් කිවහොත්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය ය. එහෙත් එය සාර්ථක වන්නේ යථාර්ථවාදී බව, සදාචාරාත්මක සංයමය සහ සාධාරණත්වය සඳහා වන කැපවීම මත පදනම් වූ විට පමණි. එසේ නොමැති වුවහොත්, වේගය යුක්තියේ සතුරකු බවට පත්වන අතර, ප්‍රතිසංස්කරණවලට එහි සදාචාරාත්මක අරමුණ අහිමි වී යනු ඇත.

ඒ අනුව සමාජීය සූදානම නොසලකා ප්‍රතිසංස්කරණ සිදු කරන විට, ඊට එරෙහි ප්‍රබල විරෝධතා ආඛ්‍යාන (Counter-narratives) ගොඩනැගීමට අවස්ථාව උදා වේ. එනම්, මේවා “විදේශීය ආධාර මත යැපෙන ව්‍යාපෘති”‍ බවටත්, “දේශීය සංස්කෘතියට නොගැළපෙන ආගන්තුක සංකල්ප”‍ බවටත්, “ගුරුවරුන් සහ මවුපියන් ගැන නොසිතා බලහත්කාරයෙන් පැටවූ දේවල්”‍ බවටත් චෝදනා එල්ල වීමට පටන් ගනී. මෙවැනි මතවාද සමාජගත වූ පසු, ඒවා හුදෙක් තර්ක විතර්ක ලෙස පමණක් නොපවතී. ඒවා මගින් මහජන විශ්වාසය ඛාදනය කරයි. ගුරුවරුන් සහ මවුපියන් ධ්‍රැවීකරණය කරමින් දෙපිලකට බෙදා වෙන් කරයි. ඉගැන්වීම් ක්‍රියාවලියේ වෙනසක් දේශපාලන ගැටුමක් බවට පරිවර්තනය කරයි. එවිට ක්‍රියාකාරකම් පාදක ඉගෙනුම “කිසිවක් නොකරන දෙයක්”‍ ලෙසත්, ගුරුවරයාට දෙන වෘත්තීය ස්වාධීනත්වය “අධීක්ෂණයක් නොමැති නිදහසක්”‍ ලෙසත් වරදවා වටහා ගැනේ. අවසානයේ දී ප්‍රතිසංස්කරණ දරුවන්ට රැකවරණයක් වෙනුවට තර්ජනයක් ලෙස හුවාදැක්වීමට පටන් ගනී. මෙවැනි වටපිටාවකදී, කොතරම් හොඳින් සැලසුම් කළ ප්‍රතිසංස්කරණයක් වුවද, ඊට සාර්ථක වීමට අවශ්‍ය කාලය ලැබීමටත් පෙරම එහි පිළිගැනීම අහිමි වී යා හැකිය. මෙම අවදානම් කල්තියා හඳුනාගෙන, ඊට ගැළපෙන පරිදි ප්‍රතිසංස්කරණ වේගය පාලනය කිරීම පසුබෑමක් නොවේ. එය ජාතික හිමිකාරිත්වය, සමාජ විශ්වාසය සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ විශ්වසනීයත්වය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ගනු ලබන වගකීම්සහගත පාලන තීරණයකි.

 

අප පිළිගත යුතු තිත්ත ඇත්ත

දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ විභාග ක්‍රමය, විශේෂයෙන්ම 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, අපගේ සමාජය තුළ ඉටු කළේ පරස්පර විරෝධී කාර්යභාරයකි. එය අවිවාදිතවම අතිශය පීඩාකාරී සහ දැඩි තරගකාරී අත්දැකීමක් විය. සදාචාරාත්මකව ගත් කල එය බොහෝ විට ගැටලු‍කාරී විය. මවුපියන් අසීමිත කැප කිරීම් කළ අතර, දරුවන් දරාගත නොහැකි පීඩනයකට යටත් කළහ. ඊට සමාන්තරව දැවැන්ත ‘ටියුෂන් ආර්ථිකයක් ‘ද මේ වටා ගොඩ නැගුණි. එහෙත්, සම්පත් බෙදී යාමේ විෂමතා පවතින අප රට තුළ, අඩු වරප්‍රසාද සහිත දරුවන්ට දුප්පත්කමෙන් මිදී සමාජයේ ඉහළට යාමට (Social mobility) තිබූ එක ඉණිමගක් වූයේ ද මෙයයි. එබැවින් මෙම විභාගය “රළු නමුත් සමානකරණයක්”‍ ලෙස ක්‍රියා කළේය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ විවාදයේ දී හුදෙක් ළමයින් සඳහා විභාග හොඳද - නරකද යන සරල තර්කයකට ලඝු කළ නොහැක්කේ එබැවිනි. මෙහි සැබෑ ප්‍රශ්නය ‘ව්‍යුහාත්මක සහ දීර්ඝකාලීන‘ එකකි. ගුරු හිඟය, යටිතල පහසුකම්, ඉගෙනුම් ද්‍රව්‍ය සහ අධ්‍යයන අවස්ථා අතින් පාසල් අතර විශාල පරතරයක් පවතී. පළමුව මෙම ව්‍යුහාත්මක පරතර අවම කළ යුතුය. එසේ නොමැති නම් කඩදාසිය මත ‘ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණයක්’ ලෙස පෙනෙන දෙය, ප්‍රායෝගික ලෝකයේ දී නිහඬවම අසමානතාව තවදුරටත් තහවුරු කිරීමට ඉඩ ඇත. මන්ද, අවස්ථා සමාන කිරීමට පෙර තරගය නැති කර ඇති බැවිනි.

 

යහපත් ප්‍රතිසංස්කරණ බිලිගන්නා ‘නොපෙනෙන උගුල’

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව ඇති භයානකම තර්ජනය වන්නේ ප්‍රභූන්ගේ විරෝධය හෝ මතවාදී ගැටුම් හෝ නොවේ. ඊට වඩා සියුම්, එහෙත් විනාශකාරී අනතුරක් තිබේ. එනම්, පන්ති කාමර මට්ටමේදී ඇතිවන ‘වැරැදි වැටහීමයි’. නවීන අධ්‍යාපන විද්‍යාව අවධාරණය කරන්නේ ගුරුවරයා විසින් දැනුම පොම්ප කිරීම වෙනුවට, දරුවාට මග පෙන්වීම, සාකච්ඡා කිරීම, කණ්ඩායම් ක්‍රියාකාරකම් සහ ගවේෂණය මගින් ඉගෙන ගැනීමයි. මෙය ඉතා නිවැරැදි විද්‍යාත්මක ප්‍රවේශයකි. එහෙත් අවාසනාවකට අපේ රටේ බොහෝ මවුපියන් තවමත් “ඉගැන්වීම”‍ මනිනු ලබන්නේ පිරවූ අභ්‍යාස පොත්, ගොඩ ගැසූ ගෙදර වැඩ සහ ගුරුවරයා පන්තිය ඉදිරිපිට සිටගෙන කරන දේශනවල ප්‍රමාණයෙනි.

නව අධ්‍යාපන දර්ශනය නිර්මාණය වී ඇත්තේම භෞතිකව පිටතට නොපෙනෙන ආකාරයට ය. මෙහිදී පැන නගින ප්‍රශ්නය මෙයයි: මෙවැනි සියුම් වෙනසක් බාර ගැනීමට ශ්‍රී ලාංකීය සමාජය සංස්කෘතිකව සහ දාර්ශනිකව සූදානම්ද? එසේ නොමැති වුවහොත් සිදුවන්නේ කුමක්ද?

සමහර පිරිස් මෙම පොදු ව්‍යාකූලත්වය ගුරුවරුන් සහ මවුපියන් අතර ගැටුම්කාරී ආඛ්‍යාන නිර්මාණය කරමින්, රජයේ විශ්වසනීයත්වය බිඳ දමා, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අසාර්ථක බව හුවා දැක්වීමට පාවිච්චි කරනු ඇත. මෑත කාලීන සිදුවීම් ඊට කදිම උදාහරණ සපයයි.

රජය සම්පත් වැය කරයි, පොත් මුද්‍රණය කරයි, උපදෙස් නිකුත් කරයි. එහෙත් ඉගෙනුම් ක්‍රියාවලිය නිහඬවම පැරැණි ක්‍රමයටම ආපසු හැරේ. සමාජය පූර්ණ විශ්වාසයකින් සහ අවබෝධයකින් යුතුව මෙම දර්ශනය වැළඳ ගැනීමට සූදානම් නැති විට, ප්‍රතිසංස්කරණ කඩා වැටෙන්නේ මහා හඬක් නගමින් නොවේ. ඉතා නිහඬවය. විනාශකාරී කටකතා සහ අවිශ්වාසය පරදවා මෙම රික්තකය පිරවීම සඳහා අධ්‍යාපනඥයන් සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාකාරීන් විශාල කාර්ය භාරයක් ඉටු කළ යුත්තේ එබැවිනි. දේශපාලනඥයන් සහ තාක්ෂණික නිලධාරීන් මෙහිදී කටයුතු කළ යුත්තේ හුදු පණිවිඩකරුවන් ලෙස නොව, මෙම ක්‍රියාවලියට පහසුකම් සපයන්නන් ලෙසය.

 

6 වසරේ ප්‍රතිසංස්කරණ මදකට නතර කළේ ඇයි?

6 ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ කල් දැමීමට රජය ගත් තීරණය තේරුම් ගත යුත්තේ මෙම පසුබිම තුළය. 6 ශ්‍රේණිය යනු තවත් එක් සාමාන්‍ය පන්තියක් නොවේ. එය දරුවාගේ අනාගතය තීරණය කරන තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයයි. 10 වසරේ දී දරුවා තෝරාගත යුත්තේ අධ්‍යයන මාර්ගය ද නැතහොත් වෘත්තීය මාර්ගය ද යන්න තීරණය කරන නිපුණතා පාදක ඇගැයීම් ක්‍රියාවලිය ආරම්භ වන්නේ මෙතැනිනි.

මවුපියන්, ගුරුවරුන්, සමාජය සහ පාසල් පද්ධතිය සූදානම් වීමට පෙර මෙම තීරණාත්මක අදියරේ දී හදිසි ප්‍රතිසංස්කරණ සිදු කළහොත්, එය දැඩි කලබලයකට සහ විරෝධයකට අනිවාර්යයෙන්ම මග පාදනු ඇත. ඊටත් වඩා භයානක අනතුරක් තිබේ. සම්පත් හිඟකම නිසා, පන්ති කාමරය තුළ නිසි අවධානයක් නොලැබී යාමෙන්, අති දක්ෂ දරුවකු වුවද වැරැදි ලෙස වර්ගීකරණය වී වෘත්තීය අංශයට යොමු වීමේ අවදානමක් ඇත.

අවසානයේ දී, ගුරුවරුන් තමන්ගේ පැවැත්ම සහ ආරක්ෂාව වෙනුවෙන්, නිහඬවම පරණ ක්‍රමයටම මාරු විය හැකිය. එවිට සිදුවන්නේ ප්‍රතිසංස්කරණ “නිල වශයෙන් ක්‍රියාත්මක වන”‍ අතරතුරම, ප්‍රායෝගිකව බිඳ වැටීමයි. එබැවින් 6 වසරේ ප්‍රතිසංස්කරණ මදකට නතර කිරීම දුර්වලකමක් නොවේ. එය මෙම තාක්ෂණික සහ සමාජීය ගැටලු‍ විසඳා ගන්නා තෙක් ගනු ලැබූ ‘අවදානම් පාලනය කිරීමේ‘ බුද්ධිමත් පියවරකි.

 

1 ශ්‍රේණියේ වෙනස ආරක්ෂිත ඇයි?

1 ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ ඉලක්ක කරන්නේ මුල් ළමාවිය සංවර්ධනයයි. එනම් භාෂාවට හුරු කිරීම, සමාජ අන්තර් ක්‍රියා, හැඟීම් පාලනය, කුතුහලය සහ ආත්ම විශ්වාසය ගොඩ නැගීමයි. මේවා දරුවාගේ අනාගතය තීරණය කරන කඩඉම් නොවේ. විභාග මගින් මනින දේවල් ද නොවේ. යම් ක්‍රමවේදයක් අසාර්ථක නම්, එය ඉක්මනින් වෙනස් කළ හැකිය. පෙළපොත් හෝ ද්‍රව්‍ය වැඩි දියුණු කළ යුතු නම්, දරුවාගේ අනාගතයට හානියක් නොවන පරිදි එය නිවැරැදි කළ හැකිය. ගුරුවරුන්ට පුහුණුව මදි නම්, දරුවාට ස්ථිර අවාසියක් නොවන පරිදි එය ලබා දිය හැකිය. 1 ශ්‍රේණිය යනු දරුවාගේ මනස නිදහසේ වැඩෙන ‘ආරක්ෂිත කලාපයකි’. එබැවින් මෙතැනින් පටන් ගැනීම අධ්‍යාපන විද්‍යාත්මකව නිවැරැදි සේම සදාචාරාත්මකව ද සාධාරණය. සරලව කිවහොත් දරුවා ‘ගවේෂණය කරන ආකාරය‘ වෙනස් කිරීම, දරුවා ‘තරග කරන ආකාරය’ වෙනස් කිරීමට වඩා හාත්පසින්ම වෙනස්ය.

 

සදාචාරාත්මක වගකීම

අවසාන වශයෙන්, 1 ශ්‍රේණියේ වෙනස්කම් සිදු කරන අතරතුර 6 ශ්‍රේණියේ වෙනස්කම් කල් දැමීම යනු වේගය පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. එය “සදාචාරාත්මක පෙළගැස්මක්”‍ පිළිබඳ ප්‍රශ්නයකි. එමගින් කියැවෙන්නේ:

අතීත ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ වැරැදිවලට දරුවන් වන්දි ගෙවිය යුතු නැති බවයි.ඇගයීමට පෙර සාධාරණත්වය ඉටු විය යුතු බවයි.ප්‍රතිසංස්කරණ මගින් සමාජ චලතාව දිරිගැන්විය යුතු මිස එය අවහිර නොකළ යුතු බවයි.

රජයක් මනිනු ලබන්නේ එය කොතරම් වේගයෙන් ප්‍රතිසංස්කරණ කරනවා ද යන්න මත නොව, එම ප්‍රතිසංස්කරණ මගින් ආරක්ෂා කෙරෙන්නේ කාගේ දරුවන් ද යන්න මතය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යනු තරගයක් නොවේ. එය දරුවන්, ගුරුවරුන් සහ රටේ අනාගතය පිළිබඳ වගකීමකි. එය ‘ඉක්මනින්’ කිරීමට වඩා ‘නිවැරැදිව’ කිරීම වැදගත් වන්නේ එබැවිනි.

 

(***)

රුහුණු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

ආචාර්ය චන්දික ගුණසිංහ