නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පක්ෂව හා විපක්ෂව විවිධ සාකච්ජා මේ දිනවල ඇතිවෙමින් තිබුණත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මූලික කරගත් විධිමත් කතිකාවක් මෙතෙක් ගොඩනැගී නැති බව පැහැදිලි කරුණකි. අඩුම තරමේ මේ සම්බන්ධයෙන් යමක් විධිමත්ව සාකච්ජා කළ හැකි ලේඛනයක් හෝ ප්‍රසිද්ධියට පත් කර ඇති බවක් දැකිය හැකි නොවේ.
මෙම ප්‍රතිසංස්කරණවල ඉලක්ක අරමුණු කවරේදැයි දැන ගැනීමට ඒ පිළිබද අදහස් දැක්වීමට පැහැදිලි සාක්ෂියක් අවශ්‍ය වේ. කෙසේ වෙතත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අවශ්‍ය මූලික පසුබිම සැකසෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේ සිටය. ජාතික ජන බලවේගය පාලන බලයට පැමිණි පසු ඔවුන්ගේ ප්‍රතිපත්තිවලට ගැළපෙන පරිදි මෙම සැලැස්ම සකසාගෙන ක්‍රියාවට නැංවීම අරමුණු කරගෙන ඇති බව පෙනේ. මේ අනුව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසලේ දැනට අධ්‍යාපනය ලබාදෙන ක්‍රමය වෙනස් කිරීමට ද යෝජනා කෙරෙයි. මොඩියුල් ක්‍රමය ඉන් ප්‍රධාන වේ. මොඩියුල් ක්‍රමය මගින් දරුවාගෙන් අපේක්ෂිත හැකියාව, කුසලතා මැන බැලීමට අපේක්ෂා කරන බව පෙනේ. ඇගැයීම් ක්‍රමවේදයේ ද යම් වෙනසක් ඇති කිරීමට මෙම ප්‍රතිසංස්කරණවලදී යෝජනා කෙරේ. දැනට අධ්‍යාපන ක්‍රමය තුළ පවත්නේ විභාග ක්‍රමයකි. මේ නව ක්‍රමයෙන් යෝජනා කෙරෙන්නේ විභාග අවම කර සියයට 70ක් පාසලේ කරන අඛණ්ඩ ඇගැයීම් මගින් ලකුණු පිරිනැමීමටය. ශිෂ්‍යයාගේ ස්වයං අධ්‍යයනයක් මින් අපේක්ෂා කෙරේ. ඇතැම් විෂය නිර්දේශවල ද යම් යම් සංශෝධන අපේක්ෂා කරන බව ද පෙනේ.
එහෙත් මේ වනවිට වී ඇත්තේ පුදනකොටම කාපි යකා කියන්නාක් මෙන් 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ ගැටලුවක් කරළියට පැමිණීමය. එහෙත් මේ සම්බන්ධයෙන් වන කතාබහ පවා දැන් තල්ලු වී තිබෙන්නේ දේශපාලන සාකච්ජාවක් හැටියටය. මගේ මතය නම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකට පෙර පැහැදිලි හා විධිමත් මහජන සංවාදයක් අවශ්‍ය බවයි. මේ ප්‍රතිසංස්කරණවලින් අපේක්ෂිත කුලුනු පහක් පවතින බව ආණ්ඩුවම කියා තිබේ. කුලුනු පහෙන් එකක් නම් මහජනයා දැනුවත් කිරීමය. එය හරියාකාරව කළා නම් මේතරම් කලබලයක් ඇති වන්නේ නැත. දැනුවත් කිරීම් හැටියට තවදුරටත් සිදුවන්නේ පක්ෂ විපක්ෂ දේශපාලකයන් රැස්වීම්වල දී හෝ මාධ්‍ය සාකච්ජාවල දී එහි හොඳ නරක ගැන කතා කිරීමයි. එය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මහජනයා දැනුවත් කිරීමක් නොවේ. අවසානයේ සිදුවන්නේ දේශපාලන මත ගැටුමක් වර්ධනය වීමය.
අධ්‍යාපනයේ අරමුණු විග්‍රහ කිරීමේ දී මොකද්ද, කාටද, කොහොමද, වැනි ප්‍රශ්නවලට සාධනීය පිළිතුරු ලැබිය යුතුය. ඒවායේ ප්‍රතිලාභ යහපත්, ගුණාත්මක හා සාර්ථක ලෙස භුක්ති විඳීමට හැකියාව තිබිය යුතුය. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් සැමට සම අවස්ථා ලබාදීම කෙරෙහි උනන්දුවන බව මේ ඇතිවන කතාබස්වලදී සාකච්ජාවට ගැනෙන්නකි. එහෙත් ලංකාවේ නාගරික හා ග්‍රාමීය පාසල්වල විෂමතා සලකා බැලූ විට මේ සම තත්වය ඇති කිරීම හිතන තරම් පහසු කාරණයක් සේ සැලකිය නොහැකිය. සාමාන්‍යයෙන් සිදුවන්නේ පහසුකම් සහිත පාසල් සහ හැකියාව ඇති අය මේ ක්‍රමය අල්ලා ගැනීමය. දැනට අපේ රටේ පවත්නා පාසල් යනු සමාජයේ අසමානත්වය ප්‍රතිනිර්මාණය කරන තැනකි. ඒවා ආදි ශිෂ්‍ය සංගම්වලින් නඩත්තු කරයි. ජාතික පාසල් පළාත් පාසල් වශයෙන් බෙදෙමින් මේ අසමානත්වය නඩත්තු කරයි. පළාත් සභා ක්‍රමය සකසන විටම පළාත් සභාවලට අයත් වූයේ පහසුකම් අඩු දුෂ්කර පාසල් ය. සම්පත් බෙදී යන්නේත් මේ අසමානත්වය වර්ධනය වන පරිදිය. මේ පසුබිම තුළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ වැඩසටහන ද ලංකාවේ සෑම පාසලකටම එක හා සමානව රැගෙන යාම දුෂ්කර කාර්යයක් බව පිළිගත යුත්තකි. කවරාකාරයෙන් ප්‍රතිපත්ති සකස් කළත් යථාර්ථය දකින්නට හැකිවන්නේ එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන විටය.
අධ්‍යාපනයේ හැමවිටම පවත්නා අභියෝගයක් වන්නේ නව තත්වයට නව වෙනස්කම්වලට ගැළපෙමින් ක්‍රියාත්මක කිරීමය. ජාත්‍යන්තර වශයෙන් ගෝලීය වශයෙන් සිදුවන වෙනස්කම් පිළිබඳ නව දැක්ම හා අවබෝධය අධ්‍යාපනය හා සමපාත විය යුතුය. දරුවෝ පාසල් අධ්‍යාපනය අවසානයේ රැකියා සඳහා යොමු වෙති. නැත්නම් උසස් අධ්‍යාපනය සඳහා යොමු වෙති. එසේත් නැත්නම් විදේශගත වෙති. ඒ සියල්ලට ඔරොත්තු දෙන ලෙස ගැළපෙන ලෙස දරුවා සකස් කිරීම අධ්‍යාපනයේ වගකීම විය යුතුය. වර්තමාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල දී අවධානයට ගත යුතු ප්‍රධානතම කාරණයක් නම් ගෝලීය පුරවැසියා නිර්මාණය කිරීමය. දැනට පවත්නා පෙළ පොත ගුරු අත්පොත වෙනුවට නව මොඩියුල් ක්‍රමය හරියාකාරව ක්‍රියාවට නැංවුවහොත් අපට මේ අභියෝගය ජයගත හැකි වනු ඇත. අප තවදුරටත් ළිං මැඩියන් නිර්මාණය කළ යුතු නැත. වර්තමාන වැඩිහිටි පරම්පරාවේ බොහෝ ක්‍රියාකාරකම්වලින් අපේ රටේ පවත්නා ඒ ළිං මැඩි චින්තනය මනාව ඔප්පු වී පෙනේ. අනාගත දරුවා ද එතැනට තල්ලු කළ යුතු නැත. දරුවාගේ කුතුහලය වර්ධනය කර ප්‍රශ්න අසන සාකච්ජා කරන පසුබිමක් මෙමගින් නිර්මාණය වේ. එයින් දැනුම හා කුසලතා වර්ධනය වේ. ඊට ඉඩ දිය යුතුය. එබැවින් එය සාධනීය තත්වයකි. ඇගැයීම් අනුව ලකුණු ලබාදීමේ දී දරුවාට දැනුම එකතු කර ගැනීමට අවස්ථාව සැලසේ. එහෙත් මේ ලකුණු ලබාදීම ඉතාම නිවැරැදිව හා අපක්ෂපාතීව සිදුවිය යුත්තකි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විධිමත්ව ඉදිරියට ගෙන යාමට නම් සුදුසුකම් ලත් විද්වත් මණ්ඩලයක්, කාර්ය සාධක බළකායක් අවශ්‍ය වේ. මේ සකස් කළ මොඩියුල ක්‍රමයම පරීක්ෂා කර බලා විමසා ඒ පිළිබද වාර්තාව ලබාදෙන්නැයි ඒ විද්වත් මණ්ඩලයට කාර්ය සාධක බළකායට බාර දී තිබුණා නම් මේ අර්බුදය මතුවන්නේ නැත. එසේ වූවා නම් එම විද්වත් මණ්ඩල නිර්දේශය රට පිළිගනු ඇත. මේ ඇතිවූ සංවාදයේ දී විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය පවා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට විරුද්ධව මත ප්‍රකාශ කර තිබිණ. මේ නව ක්‍රමය තුළ ද අසමානත්වය නඩත්තු කිරීමේ ප්‍රවණතා පවතින බව ඇතැම්හු පෙන්වා දුන්හ. යමක් අලුතින් ආරම්භ කිරීමේ දී සාමාන්‍යයෙන් අපේ රටේ සිදුවන්නේ මහා හඬක් දී බෙර ගසා උත්සවාකාරයෙන් පටන්ගෙන කෙටි කලක් යන විට ඒවා ආරම්භ කළ නායකයන් දක්නට නොලැබීමය. අවසානයේ සිදුවන්නේ ඉතිරි වී සිටින්නන් එම කටයුතු ඇදගෙන යාමය. මෙම යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වුවද කෙටි කලක් යනවිට ඒවා හරියාකාරව ක්‍රියාත්මක වනවාදැයි සොයාබැලීමේ වැඩපිළිවෙළක් අධික්ෂණයක් අවශ්‍ය වන්නේ ඒ නිසාය. ඒවාට අවශ්‍ය සැලසුම් සකස් කිරීමය මුලින් කළ යුතු වන්නේ. යමක් ආරම්භ කර එය පවත්වාගෙන යාමේ අයිතියක් තිබෙන අතර ඒ අයිතිය දේශපාලන අයිතියක් නොවේ. එය ජාතික වශයෙන් පවතින අයිතියකට පැවරිය යුතුය.
එම නිසා දැන් කළ යුත්තේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් කලබලයෙන් දිවීම නොවේ. ගෝලීය දැනුම සොයන දරුවකු නිර්මාණය කිරීමට මෙම ප්‍රතිසංස්කරණවලින් යම් උත්සාහයක් ගැනීම සම්බන්ධයෙන් මම එකඟ වෙමි. අදාළ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී එහි අධික්ෂණයක් අවශ්‍ය වේ. ඒවා ඉලක්ක කරගත් සැලැස්මක් මුදල් අමාත්‍යාංශය සහ තවත් අදාළ අමාත්‍යාංශ එකතු වී ක්‍රියාවට නැංවිය යුතුය. ජාතික සැලැස්මක් තිබිය යුතුය. මෙය කෙසේ හෝ කළ යුතු යැයි කලබලයට දුවමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කළ නොහැකිය. අප මේ ප්‍රතිසංස්කරණය කොහොම හරි කරනවා යැයි ආණ්ඩුව මතයක සිටිනවා නම් සිදුවිය යුත්තේ කොහොම හරි කිරීම නොවේ. කාලය ගෙන විධිමත්ව කිරීමය. දැන් අවශ්‍ය වන්නේ විධිමත් මහජන කතිකාවකි. කතිකා හැටියට රැස්වීම් පවත්වා දේශන දීමේත් අනෙක් අය අසා සිටීමේත් තේරුමක් නැත. අවශ්‍ය වන්නේ අදහස් බෙදාගත හැකි සංවාදයකි.
කැබිනට් තීරණයක් අනුව මේ වන විට හය ශ්‍රේණිය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම වසරකින් කල් දමා තිබේ. එයින් පෙන්වන්නේ තවදුරටත් මේ ප්‍රතිසංස්කරණ පිළිබදව හොඳට සොයා බැලිය යුතු බවයි. සාකච්ජා, සංවාද කළ යුතු බවයි. මගේ අදහසේ හැටියට නම් එය යහපත් තත්වයකි. එහෙත් මේ කල් දැමීම පාවිච්චි කළ යුත්තේ දේශපාලන විරුද්ධවාදීන්ගේ මතවාදවලට පිළිතුරු දීම සඳහා යොදාගැනීමට නොව ප්‍රතිසංස්කරණවල විධිමත් අධ්‍යයනය සඳහායි. දැන් පක්ෂ විපක්ෂ දේශපාලකයෝ බොහෝ දෙනා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව කතා කරති. එහෙත් ඔවුන් මීට පෙර ඒ සම්බන්ධයෙන් පෙනී සිටියේ නැත. සිටියේ අගමැතිනිය පමණි. දැන් අනෙක් දේශපාලකයන් කරළියට පැමිණ කතා කරන්නේ අධ්‍යාපනය ගැන නොව වෙනත් දේශපාලන කාරණාය. ඇතැම්විට මේ කතා කරන ඇතැම් දේශපාලකයෝ මොඩියුල් ක්‍රමය හෝ ඇගැයුම් ක්‍රමය යනු කුමක්ද කියාවත් නොදනිති.
ඒ නිසා දැන් කළ යුත්තේ මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ස්වාධීනව ක්‍රියා කරන විද්වත් මණ්ඩලයකට බාර දීමය. ඒ සඳහා අවශ්‍ය කාර්ය සාධක බළකායක් ඇති කිරීමය. එම ඇගැයීම් ගුරු විද්‍යාලවලට, විශ්වවිද්‍යාලවලට යොමුකර ඔවුන්ගේ මතය ප්‍රකාශ කිරීමට ඉඩ සැලසීමය. එවැනි පසුබිමක් මේ සදහා ලබා දුන්නොත් රටේ ඊට පිළිගැනීමක් ඇතිවනු ඇත. එසේම දේශපාලකයන්ට මේ සඳහා කළ හැකි ඇඟිලි ගැසීම් නැවැත්විය යුතුය. දේශපාලකයන් බොහෝවිට අල්ලාගන්නේ අදාළ කාරණයේ වලිගයයි. එහෙත් සාකච්ජාවට ගැනීමට අල්ලාගත යුත්තේ අදාළ කාරණයේ හිසයි. එය කළ හැකිවන්නේ මේ කටයුතු විද්වත් මණ්ඩලයකට බාර කිරීමෙනි.
(*** සාකච්ඡා සටහන - ගාමිණී කන්දේපොළ )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd