ඉරානයට අයත් යුද නෞකාවක් ගිලි යමින් තිබියදී එහි ඉතිරිව සිටි පුද්ගලයන් ශ්‍රී ලංකා නාවුක හමුදාව බේරා ගැනීම සහ එහිදී ආණ්ඩුව කටයුතු කළ ආකාරය පිළිබඳව පසුගියදා විශාල සංවාදයක් ඇතිවිය.
එසේ වුවද මෙහිදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන්නේ එම සංවාදයට අදාළ කරුණු පිළිබඳව නොවේ. පසුගිය දිනවල ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණේ ඉරාන නාවුක බලය විනාශ කිරීමට ඇමරිකාවට හැකිවූ බවය. ඉරාන නෞකාවේ පිරිස් ශ්‍රී ලංකාව විසින් බේරා ගනු ලැබීමෙන් පසු ඇමරිකානු ආරක්ෂක ලේකම් පෙටේ හෙග්සෙත් (Pete Hegseth) ලෝකයටම ප්‍රකාශ කළේ ඇමරිකාව ඉරානයට අයත් යුද නෞකාවක් ශ්‍රී ලංකාවට ආසන්නයේදී සබ්මැරීන ප්‍රහාරයකින් විනාශ කර ඇති බවය. මේ පිළිබඳව ඇමරිකාව තවදුරටත් ප්‍රකාශ කර තිබුණේ දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ඇමරිකාව සබ්මැරීන මගින් යුද නෞකාවක් විනාශ කළ ප්‍රථම අවස්ථාව මෙය බවය.
මෙම යුද නෞකාව සම්බන්ධයෙන් හෙළිදරව් වූ කරුණුවලින් පැහැදිලි වුයේ ඉන්දියාව විසින් කරන ලද ආරාධනාවකට අනුව ඉන්දියාවේ පැවැති යුද අභ්‍යාසයකට සහභාගී වීම සඳහා එය ඉන්දියාවට පැමිණි බවය. එය ආයුධ කිසිවක් නැතිව ආරාධනයට අනුව යුද අභ්‍යාසයට සහභාගිවීමට අවශ්‍ය පුද්ගලයන් ප්‍රවාහනයට යොදවා ගත් නෞකාවකි. ට්‍රම්ප් ඉරානයේ නාවුක බලය විනාශ කළ බව ප්‍රකාශ කළද විනාශ කළ එකම නෞකාවක් පිළිබඳව හෝ තොරතුරු ඒ දක්වා ප්‍රකාශයට පත්කර නොතිබුණි. තොරතුරු ප්‍රකාශයට පත්කළ එකම නෞකාව වූයේ ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේදී විනාශ කළ ඉරාන අයිරිස් ඩෙනා (IRIS Dena) නෞකාව පිළිබඳව පමණි. යුද්ධයකට සහභාගි නොවූ නිරායුධ නෞකාවක් ගිල්වා දමා ඒ පිළිබඳව මුළු ලෝකයටම දැනෙන පරිදි උදම් ඇනීමෙන් පැහැදිලි වන්නේ සත්‍ය තොරතුරුවලට වඩා විකෘති තොරතුරු යුද්ධයේ ප්‍රධාන පාර්ශ්වකරුවන්ම ප්‍රකාශයට පත් කරන බවය.
මුහුණු පොත සහ යුටියුබ් ඇතුළු සියලු සමාජ මාධ්‍ය ජාලවල යුද්ධය පිළිබඳ තොරතුරු අධික වේගයකින් ප්‍රචාරය වන නමුදු ඒ කිසිවක් විශ්වාස කළ හැකිද යන තත්වයට සමාජ මාධ්‍ය ග්‍රාහකයන් පත්ව ඇති බව පෙනේ. ඒ අතරම යුද කටයුතු වෙනතකට හැරවීම සඳහා දරන උත්සාහය පිළිබඳවද වාර්තා වේ. සෞදි අරාබියට සහ අසර්බයිජානයට ප්‍රහාර එල්ල කර ඇත්තේ ඉරානය නොව,ඉරානය බව හැඟවීම සඳහා ඊශ්‍රායලය විසින් බවද ප්‍රකාශ විය. බටහිර මාධ්‍ය සියල්ලම පාහේ ඊශ්‍රායලය මුහුණදී සිටින තත්වය සැඟවීමට උත්සාහ කරන බවටත්, ඉරානයට එල්ල වන ප්‍රහාර පිළිබඳව පමණක් ප්‍රචාරය කරන බවටත් චෝදනා නැගේ. ඇතැම් සමාජ මාධ්‍යවලට අනුව දැන් ඉරානය වැනසී ඇත. එහෙත් අනෙක් පාර්ශ්වය ප්‍රකාශ කරන්නේ ඊශ්‍රායලය වැනසී ඇති බවයි. මේ ආකාරයට ඇමරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර යුද්ධය පිළිබඳව සැබෑ තොරතුරු හෙළි නොකිරීම සහ තොරතුරු විකෘති කිරිම හේතුවෙන් අද යුද්ධයේ සැබෑ තත්වය පිළිබඳව අවබෝධ කර ගැනීම දුෂ්කර වී ඇත.
ඩොනල්ඞ් ට්‍රම්ප් මුලදී ප්‍රකාශ කළේ සති දෙකකින් පමණ යුද්ධය අවසන් වනු ඇති බවයි. අද වනවිට යුද්ධය ආරම්භ වි දින 12ක් ගතවි ඇති නමුදු යුද්ධය කවදා අවසන් වේද යන්න කිසිවකුටත් ප්‍රකාශ කළ නොහැකි තත්වයකට සියලු පාර්ශ්ව මුහුණදි සිටිමිනි. වෙනිසියුලාවේ ජනාධිපති මධුරෝ පැහැරගෙන ඇමරිකාවට රැගෙන ගොස් වෙනිසියුලාවේ පාලනය වෙනස් කිරීමට ගතවුයේ පැය කිහිපයකි. ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමෙනි ඇතුළු දේශපාලන සහ යුද නායකයන් හතළිස් ගණනකට වැඩි පිරිසක් ඝාතනය කිරීමෙන් ඇමරිකාව සහ ඊශ්‍රායලය යුද්ධය ආරම්භ කළේය. ඉරානය දේශපාලන සහ යුද නායකයන් නොමැති රටක් බවට පත්වුවද ඊශ්‍රායලයට පමණක් නොව ඇමරිකාවේ යුද කඳවුරු ඇති ගල්ෆ් කලාපයේ සියලුම රටවලට පහරදීමට එයට හැකිවි තිබේ. කල් පවත්නා යුද්ධයක ප්‍රතිඵලය විය හැක්කේ පසුගිය සතියේ මෙම ලිපියෙන් ප්‍රකාශ කළ පරිදි ලෝකය සහ ශ්‍රී ලංකාව දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණදීමට සිදුවන තත්වයක් ඇතිවීමයි.
මේ වනවිට ලෝක ගෑස් මිල දෙගුණයකින් පමණ ඉහළ ගොස් තිබේ. තෙල් බැරලයක මිල ඩොලර් 150 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. නිව්‌යෝර්ක් ඇතුළු ලෝකයේ ප්‍රධාන කොටස් වෙළෙඳපොළ රැසක් දරුණු ලෙස පසුබෑමකට ලක්වී තිබේ. හෝමෝස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් ප්‍රවාහනය කිරීමට නොහැකි වීම නිසා ඉන්ධන සැපයුම් ජාල අඩපණ වී ඇති අතර තෙල් මිල පිළිබඳව මෙන්ම සැපයුම් පිළිබඳ අර්බුදයකට මුහුණදීමට ද ලෝකයට සිදුවනු ඇත. රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීම හේතුවෙන් ට්‍රම්ප් පසුගියදා ඉන්දියාවට ඉහළ තීරුබදු පැනවුයේය. එසේ වුවද යුද්ධය හේතුවෙන් ලෝක තෙල් සැපයුම අඩුවන බව වටහා ගත් ට්‍රම්ප් ඉන්දියාවට අවශ්‍ය නම් රුසියාවෙන් තෙල් ලබාගත හැකි බව ප්‍රකාශ කළේය. මේ ආකාරයටම රුසියාවේ තෙල් හා ගෑස් මිලදී ගැනීමෙන් වැළකි සිටින යුරෝපා රටවලට ද රුසියාවෙන් ඒවා මිලදී ගැනීමට සිදුවනු ඇත. අනෙක් බොහෝ රටවලට යුද්ධය නිසා ආර්ථික අර්බුදයකට මුහුණදීමට සිදුවන විට රුසියාවට තමන් මුහුණදී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට අවස්ථාව සැලසී තිබේ.
දැනටමත් ලෝක ආර්ථිකය කෙරෙහි යුද්ධය සැලකිය යුතු ආකාරයකින් බලපා තිබේ. යුද්ධය ආරම්භයේදී ලෝක ගුවන් ගමනාගමනය සැලකිය යුතු මට්ටමකින් බිඳ වැටුණු අතර ගතවූ දවස් දොළහ තුළ සැලකිය යුතු මට්ටමකින් ඒවා යථා තත්වයකට පත්වීමක් පිළිබිඹු වුයේ නැත. කාර්ය බහුල ඩුබායි වැනි ලෝක ගුවන්තොටුපොළ තවමත් වසා දමා ඇත. එහි ඊළඟ ප්‍රතිඵලය විය හැක්කේ ලෝක සංචාරක ව්‍යාපාරයේ බිඳ වැටිමක් ඇතිවීමයි. ලෝකයේ ප්‍රධානම සංචාරක රටක් වන ඇමරිකාවේ ගුවන්තොටුපොළ මිනිසුන්ගෙන් හිස්වී ඇති බව සමහර සමාජ මාධ්‍ය ජාල විසින් වාර්තා කර තිබුණි. ලෝක සංචාරක ඉල්ලුමෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ඉදිරිපත් වන්නේ ඇමරිකාවෙනි. එයට යුද්ධය බලපා ඇති ආකාරය අද තත්වය නිරීක්ෂණය කරන විට වුවද වටහා ගත හැකිවේ.
ශ්‍රී ලංකාව බංකොළොත්භාවයට පත් වීමෙන් පසු මුහුණදුන් ආර්ථික අර්බුදය හේතුවෙන් බිඳ වැටුණු සමහර ආර්ථික අංශ සහ සාර්ව ආර්ථික ඉලක්ක හොඳ තත්වයකට පත් වෙමින් තිබුණි. මේ වනවිට ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 7 දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කර ඇත. එසේම ජනවාරි සහ පෙබරවාරි මාස දෙකේ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන 1.48 ක් වු බවද සංචාරකයන් එම මාස දෙකේදි පන්ලක්ෂ පනස්හය දහස් හයසීය පනස් පහක් පැමිණි බවද වාර්තා විය. එසේ වුවද යුද්ධය තවදුරටත් ඇදී යන්නේ නම් දැන් පවතින සුබදායක තත්වය ආරක්ෂා කර ගැනීම ගැටලුවක් බවට පත්වේ. තෙල් සහ ගැස් මිල ඉහළ යෑම නිසා ඒ වෙනුවෙන් රටට වැය කිරීමට සිදුවන විදේශ විනිමය ප්‍රමාණය විශාල ලෙස ඉහළ යනු ඇත.
යුද්ධය හේතුවෙන් විදේශ ප්‍රේෂණ ලැබීම් පිළිබඳව අවිනිශ්චිතතාවක් ගොඩ නැගේ. විදේශ සේවා නියුක්තිකයන් ආපසු පැමිණීමට තිබෙන ඉඩකඩ පිළිබඳව නිශ්චිතව යමක් ප්‍රකාශ කළ නොහැකි නමුදු යුද්ධය හේතුවෙන් ඇතිව තිබෙන තාක්ෂණික බිඳ වැටීම් නිසා ප්‍රේෂණ එවීම පිළිබඳව ගැටලු ඇතිවිමට ඉඩ තිබේ. මැදපෙරදිග යුද්ධය බලපා ඇති රටවල් ඉදිරියේදී කුමන පියවරක් ගනු ඇත්ද යන්න පිළිබඳව තවමත් පැහැදිලි බවක් දක්නට නොලැබේ. බටහිර රටවල් සමහරක් යුද්ධය හෙළා දැක ඇති අතර සමහර රටවල් ඇමරිකාවට සහායදීමට ඉදිරිපත් වී තිබේ. තුන්වැනි ලෝක සංග්‍රාමයක් දක්වා ඇමරිකානු, ඊශ්‍රායල සහ ඉරාන යුද්ධය ඇදී යෑමට ඇති ඉඩකඩ පිළිබඳව සමහර දේශපාලන නායකයන් සහ යුද විශ්ලේෂකයන් අදහස් දක්වා තිබුණි. ඒ අතරම ඉතාලිය සහ මැද පෙරදිග රටවල් කිහිපයක් සාම සාකච්ඡා පවත්වාගෙන යෑම සඳහා අතරමැදි ක්‍රියාදාමයක් ආරම්භ කර ඇති බවද වාර්තා විය.
ට්‍රම්ප් ප්‍රකාශ කරන්නේ ඉරානය කොන්දේසි විරහිතව යටත් විය යුතු බවය. එයට ඉරානය පිළිතුරු දි තිබුණේ එම අවස්ථාව ඇමරිකාවට සොහොනේදී ඉටුකර ගත හැකි බවය. දෙපාර්ශ්වය සාම සකාච්ඡා පිළිබඳව මේ ආකාරයට ප්‍රතිචාර දක්වන නමුදු යුද්ධය වහාම නතර කර ගැනීමෙන් එම දේශපාලඥයන්ට පමණක් නොව ලෝවැසි ජනතාවට ද සැනසීමක් ලැබෙනු ඇත. බ්‍රසීල ජනාධිපති ලූලා ප්‍රකාශ කර තිබුණේ යුද්ධ කර ගන්නේ නායකයන් විසින් වුවත් එයින් මිය යන්නේ එයට කිසිදු සම්බන්ධයක් නැති අසරණ ජනතාව බැවින් දෙපාර්ශවයම යුද්ධය නතර කර වහාම සාම සාකච්ඡාවලට එළැඹිය යුතු බවයි.
(***)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd