ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන කරළිය තුළ වඩාත්ම කතාබහට ලක්වන මාතෘකාව බවට නැවත වරක් බලශක්ති අර්බුදය පත්ව තිබේ. එම අර්බුදයේ ජනතාවට ඇඟට පතට වහා දැනෙන මිල වැඩිවීම් දැනටමත් සිදුව තිබේ. ඉදිරියට තවත් මෙය උත්සන්න වීමට නියමිත ය.
පසුගිය දින කිහිපය පුරා රජයේ වගකිවයුතු නිලධාරීන් සහ ප්‍රකාශකයන් අවධාරණය කළේ රට තුළ මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බවත්, මිල වැඩි කිරීමේ අවශ්‍යතාවක් මතු නොවන බවත්ය. එහෙත් එම ප්‍රකාශ නිකුත් වී දින තුනක් යන්නටත් මත්තෙන්, මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට රජය පියවර ගත්තේය.
මෙම මිල වැඩි කිරීම හුදෙක් ආර්ථික තීන්දුවකට වඩා දේශපාලනික වශයෙන් ප්‍රශ්න කළ යුතු කරුණක් බවට පත්ව ඇත්තේ වත්මන් පාලකයන් බලයට ඒමට පෙර ජනතාවට දුන් පොරොන්දු හේතුවෙනි.
පසුගිය ආණ්ඩු සමයේ ඉන්ධන මිල ඉහළ යන සෑම අවස්ථාවකම වත්මන් පාලක පක්ෂය ප්‍රධාන වශයෙන් චෝදනා කළේ ඉන්ධන මත පනවා ඇති අධික බදු පිළිබඳවයි. ”ඉන්ධන ලීටරයකින් රජය විශාල ලාබයක් ලබන බවත්, එම බදු ඉවත් කළහොත් ජනතාවට ඉතා සහනදායී මිලකට ඉන්ධන ලබා දිය හැකි බවත්” එදා ඔවුහු වේදිකාවල හඬ තලා කීහ. එහෙත් අද බලයේ සිටින විට එම ‘බදු බර‘ ඉවත් කර සහනයක් දීමට වඩා, පවතින මිල තවත් ඉහළ දැමීම දක්වා ඔවුන්ගේ ප්‍රතිපත්තිය වෙනස් වී ඇති බව පෙනේ.
තොග තිබියදී මිල ඉහළ දැමුවේ ඇයි?
මෙහි ඇති බරපතළම ගැටලුව වන්නේ මිල සංශෝධනයේ කාලයයි. ගෝලීය වෙළෙඳපොළේ මිල උච්චාවචන පෙන්වා දෙමින් රජය මිල ඉහළ දැමීම සාධාරණීකරණය කිරීමට උත්සාහ කළ ද, ප්‍රශ්නය මතු වන්නේ දැනට බෙදා හරින ඉන්ධන සම්බන්ධයෙනි. මේ වන විට වෙළෙඳපොළේ ඇති සහ තොග වශයෙන් පවතින ඉන්ධන ඇණවුම් කර මෙරටට ගෙන්වා ඇත්තේ මීට මාස කිහිපයකට පෙරය. එනම්, වත්මන් ලෝක වෙළෙඳපොළ මිල ඉහළ යාමට පෙර අඩු මිලට ගෙන්වූ තොග මත ද නව ඉහළ මිලක් නියම කර තිබීම ජනතාවගේ දැඩි විවේචනයට ලක්ව තිබේ.
දින තුනකට පෙර ”මිල වැඩි නොකරන බවට” සහතිකයක් දුන් රජය, ක්ෂණිකව මිල වැඩි කිරීම හරහා ජනතාව තුළ තිබූ විශ්වාසය පළුදු කරගෙන ඇත. තොග පවතින බව පවසමින් ජනතාව නොමග යවා, පසුව ‘මධ්‍යම රාත්‍රී ගැසට් පත්‍ර‘ හරහා බර පැටවීම සුපුරුදු දේශපාලන ක්‍රමයම දැයි බොහෝ දෙනා ප්‍රශ්න කරති.
ඉන්ධන මිල වැඩිවීම යනු හුදෙක් වාහන හිමියන්ට පමණක් බලපාන කරුණක් නොවේ. එය ප්‍රවාහන ගාස්තු, භාණ්ඩ මිල සහ සමස්ත ජීවන වියදම කෙරෙහි දාම ප්‍රතික්‍රියාවක් ඇති කරයි. මැතිවරණ වේදිකාවල දුන් පොරොන්දු සහ සහන පිළිබඳ බලාපොරොත්තු සුන් කරමින්, පරණ බදු ව්‍යුහයම පවත්වා ගනිමින් ජනතාව තවදුරටත් අමාරුවේ දැමීම යුක්ති සහගත නොවේ.
හදිසි ගල්අඟුරු මිලදී ගැනීම් සහ බෙදී ගිය විදුලිබල මණ්ඩලය
ඉන්ධන සහ ගෑස් මිල වැඩි කරමින් ජනතාව කබලෙන් ළිපට වැටෙන විට ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය නැවත වරක් දැඩි අවිනිශ්චිතතාවකට මුහුණ දී සිටී. පසුගිය ආණ්ඩු සමයේ විදුලි කප්පාදුවලට සහ බදු බරට එරෙහිව හඬ නැගූ වත්මන් පාලකයන්, අද එම තීරණම වෙනත් මුහුණුවරකින් ජනතාව මත පටවමින් සිටින බවක් පෙනෙන්නට තිබේ. විශේෂයෙන්ම හදිසි ගල්අඟුරු මිලදී ගැනීම් සහ විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා සාමාන්‍ය ජනතාවගේ විදුලි බිලට එල්ල වීමට නියමිත බලපෑම පිළිබඳව බරපතළ සංවාදයක් මතු වී ඇත.
බාල ගල්අඟුරු සහ ‘හදිසි’ මිලදී ගැනීම්
නොරොච්චෝලේ බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු සම්බන්ධයෙන් පසුගියදා මතු වූ ගැටලුව ජනතාවට අලුත් දෙයක් නොවේ. එහෙත් මෙවර තත්වය වඩාත් බරපතළ වී ඇත්තේ, රජය විසින් ආනයනය කරන ලද ගල්අඟුරු තොගවල ප්‍රමිතිය බාල බවට මහජන උපයෝගිතා කොමිසම පවා අනතුරු අඟවා තිබියදීය. මෙම බාල ගල්අඟුරු භාවිතය නිසා බලාගාරයේ යන්ත්‍ර සූත්‍රවලට හානි සිදු වීමේ අවදානමක් පවතින අතර, එයින් ජනනය කළ හැකි විදුලි ප්‍රමාණයද සීමා වී ඇත.
මෙම අර්බුදය සමනය කර ගැනීමට රජය දැන් ‘හදිසි මිලදී ගැනීම්’ (Emergency Purchases) වෙත යොමු වී තිබේ. සාමාන්‍ය ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව මෙවැනි මිලදී ගැනීම් සිදු කිරීමේ දී ඒවායේ පිරිවැය ඉතා ඉහළය. මෙම හදිසි මිලදී ගැනීම්වලට යාමට සිදු වූයේ රජය ගෙන්වූ ගල්අඟරුවල බාල ප්‍රමිතිය නිසා බව අමතක නොකළ යුතු ය. එහෙත් ආණ්ඩුව එහි වගකීම නොගන්නා අතර විදුලිබල ඇමැතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව නිහඬ ය. අවසානයේදී මෙම අධික පිරිවැය ජනතාවගේ විදුලි බිලට ‘ඉන්ධන ගැළපුම් ගාස්තු’ හෝ වෙනත් නමකින් එකතු වනු නොඅනුමානය.
විදුලිබල මණ්ඩලය අහෝසි වීම සහ ජේ.වී.පී. පරස්පරය
වසර 50කට අධික ඉතිහාසයක් තිබූ ලංකා විදුලිබල මණ්ඩලය (CEB) දැන් ඉතිහාසයට එක් වී ඇත. එය සමාගම් හයකට (Successor Companies) බෙදා වෙන් කර තිබේ. මෙහි ඇති විශාලතම උත්ප්‍රාසය නම්, පසුගිය දශක කිහිපය පුරා විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමට හෝ බෙදා වෙන් කිරීමට එරෙහිව දැඩිව පෙනී සිටියේ ජනතා විමුක්ති පෙරමුණ (JVP) වීමයි.
එදා වීදි බැස උද්ඝෝෂණය කරමින්, ”ජාතික සම්පත් විකුණා දැමීමක්” ලෙස මෙය හැඳින්වූ පිරිසම අද පාලන බලයේ සිටිමින් එම ප්‍රතිසංස්කරණම ක්‍රියාත්මක කිරීම මහජනයා මවිතයට පත් කරවන කරුණකි. මීට පෙර ආණ්ඩු මෙවැනි ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට උත්සාහ කළ සෑම අවස්ථාවකම ඒවා කඩාකප්පල් කිරීමටත්, රටට පැමිණීමට තිබූ විදේශ ආයෝජන උද්ඝෝෂණ හරහා හරවා යැවීමටත් ඔවුන් කටයුතු කළ ආකාරය අමතක කළ නොහැකිය.
පොදු ජනයාට වන බලපෑම
විදුලිබල මණ්ඩලය සමාගම් හයකට කැඩීමෙන් පසු ඒ ඒ අංශ ලාබ ලැබිය යුතු ව්‍යාපාර ලෙස පවත්වාගෙන යාමට සිදු වේ. මෙහිදී:
පිරිවැය මත පදනම් වූ මිල සූත්‍රයක් ක්‍රියාත්මක වීම නිසා සහනදායී විදුලි බිලක් පිළිබඳ බලාපොරොත්තු අත් හැරීමට සිදුවනු ඇත.
හදිසි මිලදී ගැනීම් සඳහා වැය වන අතිවිශාල මුදල පියවා ගැනීමට නිතර නිතර විදුලි බිල සංශෝධනය වීමේ අවදානමක් පවතී.
බාල ගල්අඟුරු නිසා සිදුවන විදුලි බිඳ වැටීම් හමුවේ පීඩා විඳීමට සිදුවන්නේ සාමාන්‍ය පාරිභෝගිකයා සහ කුඩා කර්මාන්තකරුවාටය.
දේශපාලන බලය ලබා ගැනීම සඳහා එදා ප්‍රතිසංස්කරණවලට සහ විදේශ ආයෝජනවලට එරෙහි වූවන් අද එම මාවතේම ගමන් කිරීමෙන් පෙනී යන්නේ, එදා ඔවුන් කළ විරෝධතා රටේ අභිවෘද්ධියට වඩා පටු දේශපාලන අරමුණු වෙනුවෙන් කළ ඒවා යන්නයි.
වත්මන් ආණ්ඩුවට සේම ඉදිරි ආණ්ඩුවලට ද කිවයුතු සහ අමතක කළ නොහැකි එක සත්‍යයක් තිබේ. ඒ නම් රාජපක්ෂ ආණ්ඩු විසින් රටට දායාද කරන ලද විදුලි ව්‍යාපෘති නැති වන්නට බාල ගල්අඟුරු ගෙනැවිත් වංචාවල නියැලෙමින් වුව රටට විදුලිය සැපයීමට හැකියාවක් ලැබෙන්නේ නැත. විවිධ පදනම් විරහිත චෝදනා සහ අවලාද මැද අදත් රටට ආලෝකය සපයන්නේ එදා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බොහෝ දුරදිග බලා රටට හඳුන්වා දුන් ජල හෝ ගල්අඟුරු බලාගාරය.
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව 2015න් මෙපිටට පැවැතියේ නම් ලංකාවේ විදුලි අර්බුදයක් යළි කිසි දිනෙක ඇති නොවන ලෙස මේ වන විට විසඳුම් දී අවසන් ය. එහෙත් බලයේ සිටින වත්මන් ආණ්ඩුවේ ජවිපෙ එදා සාම්පූර් බලාගාරය ගොඩ නැගෙන්නට ඔන්න මෙන්න තිබිය දී ඒ ගැන විවිධ කතන්දර ගොතා එය රටට අහිමි කළේ රටට විදුලි සුරක්ෂිතතාව පිළිබඳ කටඋත්තර නැති කරමිනි. උමාඔය ව්‍යාපෘතිය ද රටට අහිමි කිරීමට නොගත් උත්සාහයක් නැත.
සෝචනීය කරුණ නම් 2015න් පසු කිසිදු විදුලි බලාගාරයක් මේ පොළොව මත ඉදි නොවීමයි. 2020-2022 අතර කාලයේ ගෝඨාභය ආණ්ඩුව නැවත වරක් වර්තමානයට ගැළපෙන ලෙස සුළං සහ සූර්ය බලාගාර ඉදිකිරීම සඳහා රටට ආයෝජන රැගෙන ආව ද වර්තමාන මාලිමා ආණ්ඩුව කළේ එම ආයෝජන ද පදනම් විරහිත චෝදනා කර රටින් බැහැරවන තැනට කටයුතු කිරීමයි.
ඕනෑම රජයක වගකීම වන්නේ ජනතාව මත බර පටවන්නේ නැතිව බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීමයි. එහෙත් එම කාර්යයේ දී වත්මන් ආණ්ඩුවේ පිරිස් විපක්ෂයේ සිටින විට ද අවසානයේ ආණ්ඩුව ලබාගත් විට ද සිදු කර ඇත්තේ පොදු ජනතාවට අත්‍යවශ්‍ය බලශක්ති සුරක්ෂිතතාව ඔවුන්ට අහිමි කරන සියලු ක්‍රියාමර්ග ගැනීම ය. වර්තමාන ආණ්ඩුවේ පිරිස් පසුගිය කාලය පුරාම වේදිකාවල දෙඩ වූ නියම 76 අවුරුදු ශාපය මෙය නොවේදැයි තවදුරටත් කිසිවකුට අපැහැදිලි නොවිය යුතු ය.
(***)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd