රටක විශාලතම වාද විවාද බොහෝවිට උපත ලබන්නේ කුඩාම උපමා රූපයකිනි. 2026 මාර්තු 3 වැනිදා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී භාවිත කළ “හුණ්ඩුව” යන උපමාව ක්ෂණිකව දේශපාලන සංවාදයේ කේන්ද්‍රය බවට පත් විය.

විවේචකයන් මෙය ජාතික අභිමානයට කළ හානියක් ලෙස දුටුව ද, ක්ෂණික ප්‍රතිචාරවලට එහා ගිය ගැඹුරු පාඩමක් මෙම උපමාව තුළ ගැබ්ව ඇත. මන්ද ”‍හුණ්ඩුව”‍ යනු පුද්ගල කතාවක් නොව, ආර්ථික පාලනයේ හදවත බඳුධාරිතාව (Capacity) පිළිබඳ ප්‍රශ්නයයි.

කුඩා භාජනයකට දැරිය හැක්කේ සීමිත ප්‍රමාණයක් පමණි. එහි අඩංගු විය හැකි ප්‍රමාණයට වඩා වැඩි යමක් වත් කළහොත්, අතිරික්තය නොවැළැක්විය හැකි ලෙස පිටාර ගලනු ඇත. මෙම මූලධර්මය වස්තුවලට පමණක් නොව, ආයතනවලට, ආර්ථිකයට සහ සමස්ත පාලන පද්ධතියකටම අදාළ වේ. පද්ධතියක් මත පටවන පීඩනය එහි ධාරිතාව ඉක්මවා ගිය විට, අස්ථාවරත්වය මතු වීමට පටන් ගනී.

මෙම දෘෂ්ටි කෝණයෙන් බලන විට, ”‍හුණ්ඩුව”‍ උපමාව මගින් රාජ්‍ය ධාරිතාව, ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව සහ බාහිර කම්පන හමුවේ රටක් ස්ථාවරව පවතින්නේ ද නැතිනම් කඩා වැටෙන්නේ ද යන්න තීරණය කරන ”‍ආයතනික ආරක්ෂිත යාන්ත්‍රණ” පිළිබඳ පුළුල් සංවාදයක් විවෘත කරයි.

 

ධාරිතාව පිළිබඳ ආර්ථික විද්‍යාව

ආර්ථික විද්‍යාවේ දී, අර්බුද හදිසියේ මතුවන්නේ කලාතුරකිනි. බොහෝ විට ඒවා වර්ධනය වන්නේ කම්පන අවශෝෂණය කර ගැනීමට ධාරිතාවක් නොමැති පද්ධති තුළ පීඩනය ක්‍රමයෙන් ගොඩ ගැසීමෙනි. රජයක් මූල්‍ය ප්‍රතිපත්තිය, රාජ්‍ය ණය, මූල්‍ය රෙගුලාසි, ජාත්‍යන්තර වෙළෙඳාම සහ සමාජ ආරක්ෂණය ඇතුළු සංකීර්ණ ව්‍යුහ කළමනාකරණය කළ යුතුය. මෙම සෑම අංශයකටම විශාල ආර්ථික ක්‍රියාකාරකම් සහ අවදානම් හැසිරවිය හැකි ආයතන අවශ්‍ය වේ.

මෙම ආයතන දුර්වල, විසිරුණු හෝ දුර්වල ලෙස සම්බන්ධීකරණය වී ඇත්නම්, මධ්‍යස්ථ මට්ටමේ කම්පනයකින් පවා මුළු පද්ධතියම අස්ථාවර කළ හැකිය. මේ හේතුව නිසා නූතන ආර්ථික කළමනාකරණය ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ ආරක්ෂිත යාන්ත්‍රණ ගොඩ නැගීමටය. ඒ මගින් පද්ධතියේ ධාරිතාව වැඩි කරන අතර, ගෝලීය වෙළෙඳපොළ උච්චාවචනය වන විට හෝ අනපේක්ෂිත බාධා ඇති වූ විට ආර්ථිකය කඩා වැටීමකින් තොරව පවත්වා ගැනීමට ඉඩ දෙයි.

 

ශ්‍රී ලංකාවේ අත්දැකීම්

ධාරිතා සීමා නිසා බරපතළ ප්‍රතිවිපාක ඇති විය හැකි ආකාරය ශ්‍රී ලංකාවේ මෑතකාලීන ආර්ථික අර්බුදය මගින් මනාව පැහැදිලි කරයි. 2020 දශකයේ මුල් භාගය වන විට, ආර්ථික දුර්වලතා කිහිපයක් එකවර ගොඩ ගැසී තිබුණි. රාජ්‍ය ණය ඉතිහාසයේ ඉහළම මට්ටමට ඉහළ ගොස් තිබූ අතර, මූල්‍ය ආදායම රජයේ වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් නොවීය. විදේශ විනිමය සංචිත ද ශීඝ්‍රයෙන් පහත වැටුණි.

මෙම දුර්වලතාවල තේරුම වූයේ රටේ ආර්ථික පද්ධතිය සතුව ඉතා සීමිත ආරක්ෂිත යාන්ත්‍රණ පැවැති බවයි. ගෝලීය සැපයුම් දාම බිඳවැටීම් සහ මූල්‍ය පීඩනය ඇතුළු බාහිර කම්පන මතු වූ විට, එම පද්ධතියට ඒවා දරා ගැනීමට නොහැකි විය. උපමා රූපයෙන් කිවහොත්, බඳුන එය දරා සිටීමට අපේක්ෂා කළ පරිමාවට වඩා කුඩා වී තිබුණි.

 

”‍හුණ්ඩුව”‍ දෘශ්‍යමාන වන අවස්ථා

ධාරිතා සීමා ආර්ථිකයේ සැබෑ ක්ෂේත්‍ර තුළ දිස්වන ආකාරය දෙස බලන විට මෙම උපමාව තවත් පැහැදිලි වේ. බලශක්ති සැපයුමෙන් ආරම්භ කර පොදු යටිතල පහසුකම්, සමාජ සේවා සහ රාජ්‍ය පරිපාලනය දක්වා බොහෝ පද්ධති අදත් ක්‍රියාත්මක වන්නේ ඉතා සීමිත ධාරිතා තුළය. එම නිසා කුඩා පීඩනයක් හෝ බාහිර කම්පනයක් මතුවූ විට පද්ධතියේ දුර්වලතා ඉක්මනින්ම මතු වීමට පටන් ගනී.

ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය යනු ඉතා පටු සීමා තුළ ක්‍රියාත්මක වන පද්ධතියකට හොඳම උදාහරණයකි. බොහෝ රටවල් උපාය මාර්ගික ඉන්ධන සංචිත පවත්වාගෙන යන අතර, ශ්‍රී ලංකාව ඓතිහාසිකව ක්‍රියාත්මක වී ඇත්තේ ඉතා සීමිත ගබඩා ධාරිතාවක් සහිතවය. අප තවමත් රඳා පවතින්නේ වසර 90ක් පැරැණි, දශක ගණනාවක නඩත්තු පැහැර හැරීම්වලින් පීඩා විඳින ඉන්ධන නළ මාර්ග මතය. ජාතික තෙල් ටැංකි ධාරිතාව වසර 47ක් තිස්සේ සැලකිය යුතු ලෙස වැඩි කර නොමැති අතර, එමගින් අපට ඉතිරි වී ඇත්තේ යන්තම් මාසයකට ප්‍රමාණවත් ගබඩා කාල සීමාවක් පමණි. ගෑස් ගබඩා කිරීමේ පහසුකම් දින 5කට සීමා වී ඇති අතර, ඉල්ලු‍ම සපුරාලීම සඳහා මාලදිවයිනේ නතර කර ඇති නැවකින් දින 5න් 5ට ගෑස් ගෙන ඒමට සිදුවන වෙහෙසකර සැපයුම් ක්‍රියාවලියකට රට තල්ලු‍ වී ඇත.

දෛනික යටිතල පහසුකම් තුළ ද ධාරිතා සීමා දැකගත හැකිය. බොහෝ ප්‍රදේශවල මාර්ග පද්ධති සැලසුම් කර ඇත්තේ පදිකයන්ගේ ඉඩකඩ, ආරක්ෂිත සීමා හෝ නවීන ගමනා ගමන කළමනාකරණය පිළිබඳ අවම සැලකිල්ලක් දක්වමිනි. පදික වේදිකා, නිසි ආලෝකකරණය සහ ආරක්ෂිත මාරුවීම් නොමැතිකම නිසා බර වාහන සමග පාරේ යාමට මිනිසුන්ට සිදුවේ. මෙය හුදෙක් දුර්වල කළමනාකරණයකට වඩා පද්ධතියේ ධාරිතාව සහ සැලසුම් පිළිබඳ ගැටලු‍වකි.

අධ්‍යාපනය සහ සෞඛ්‍යය වැනි සමාජ සේවා තුළ ද ධාරිතා බාධා දැක ගත හැකිය. පාසල් පන්ති කාමර බොහෝවිට අතිශයින් තදබදයට ලක්ව ඇති අතර, රෝහල්වල වාට්ටු රෝගීන්ගෙන් පිරී ඉතිරී යයි. සමහර අවස්ථාවල ඇඳන් කොරිඩෝවලට දමන තත්වය ද දක්නට ලැබේ. දිගුකාලීන සැලසුම් මගින් ධාරිතාව පුළුල් කිරීම වෙනුවට මෙහිදී සිදුවන්නේ තාවකාලික විසඳුම් යෙදීමයි. එය ”‍හුණ්ඩුව”‍ විශාල බඳුනකින් ප්‍රතිස්ථාපනය නොකර එයට තව තවත් යමක් පිරවීමට උත්සාහ කරනවා හා සමානය.

රාජ්‍ය පරිපාලන පද්ධති තුළ ද ධාරිතා සීමා පැහැදිලිව පෙනේ. අද ලෝකයේ බොහෝ රටවල් රාජ්‍ය සේවා ඩිජිටල් පද්ධති මගින් ක්‍රියාත්මක කරමින් කාර්යාක්ෂමතාව වැඩිකර ගෙන ඇත. එහෙත් ශ්‍රී ලංකාවේ බොහෝ ආයතන තවමත් කඩදාසි පදනම් වූ ක්‍රියාවලි මත රඳා පවතී. එසේ නැතහොත් ව්‍යාපාරික අනුමැතියක් ලබා ගැනීමට බොහෝ විට ආයතන කිහිපයක් හරහා ගමන් කළ යුතුව තිබේ. මෙය කාලය සහ සම්පත් දෙකම නාස්ති කරන ක්‍රියාවලියක් බවට පත් වේ. මෙවැනි පද්ධතියක් වේගයෙන් වර්ධනය වන ආර්ථික ක්‍රියාකාරකම් හැසිරවීමට සූදානම් නොවන විට එය ද සීමිත ‘හුණ්ඩුවක්“ වැනි පද්ධතියක් බවට පත්වේ.

 

ප්‍රතිසංස්කරණය යනු ධාරිතාව පුළුල් කිරීමයි

මෙම උපමාව පිටුපස ඇති සැබෑ පාඩම නම්, ආර්ථික ප්‍රතිසංස්කරණ යනු පද්ධතියේ ධාරිතාව පුළුල් කිරීමේ ක්‍රියාවලියක් බවයි. මේ සඳහා රජය දැනටමත් ක්ෂේත්‍ර කිහිපයකම ප්‍රධාන ප්‍රතිසංස්කරණ පියවර ආරම්භ කර තිබේ. මෙම පසුබිම තුළ ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික ප්‍රතිසංස්කරණ මාර්ගය ද තේරුම් ගත හැක්කේ හුණ්ඩුවේ උපමාව හරහාය. එය මූලික වශයෙන් “හුණ්ඩුවෙන්” එහා ගොස්, අනාගත කම්පන දරාගත හැකි විශාල බඳුනක් ගොඩ නැගීමේ උත්සාහයකි.

රාජ්‍ය මූල්‍ය විනය සහ ණය තිරසාරභාවය: තිරසාර මූල්‍ය රාමුවක් පවත්වා ගැනීම දිගු කාලීන ස්ථාවරත්වයට ඉතා වැදගත් වේ. රජය දැනටමත් රාජ්‍ය මූල්‍ය අංශය තුළ විනය නැවත ස්ථාපිත කිරීම, ණය තිරසාරභාවය සහ මූල්‍ය අතිරික්තයක් ගොඩ නැගීමට අවශ්‍ය පියවර ගෙන ඇත. එවැනි ශක්තිමත් ආයතනික ආරක්ෂිත යාන්ත්‍රණයක්, එනම් 2025 දී රු. බිලියන 1,782ක ප්‍රාථමික අතිරික්තයක් (ඇ.ඩො.බි.5.92 පමණ) පැවැතීම නිසාම, දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ ඇ.ඩො.බි. 4කට ආසන්න (දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4.3 ක් තරම් වූ) දැවැන්ත ආර්ථික කම්පනය පවා කිසිදු බිඳ වැටීමකින් තොරව දරාගැනීමට රටට හැකියාව ලැබුණි.

ආයතනික ශක්තිමත් කිරීම: කාර්යක්ෂම සහ විනිවිද පෙනෙන රාජ්‍ය ආයතන මගින් ප්‍රතිපත්ති ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට රාජ්‍යයට ඇති හැකියාව වැඩි කරයි. ගල්අඟු‍රු මිලදී ගැනීමේදී හඳුන්වා දුන් ද්විත්ව පරීක්ෂණ ක්‍රමවේදය මගින් දැනටමත් රුපියල් බිලියන 1.3 කට වඩා වැඩි දඩ මුදලක් අයකර ගැනීමට හැකි වීම මෙවැනි ආයතනික ආරක්ෂිත යාන්ත්‍රණයන්ගේ සාර්ථකත්වය පිළිබඳ හොඳම උදාහරණයකි. ඉන්ධන ගබඩා ධාරිතාව පුළුල් කිරීම, නව බලශක්ති ව්‍යාපෘති සහ විකල්ප බලශක්ති මූලාශ්‍ර හඳුන්වා දීම වැනි පියවර මගින් බලශක්ති පද්ධතියේ ධාරිතාව සහ ආරක්ෂිත යාන්ත්‍රණ වැඩි කිරීම ද මෙහි වැදගත් අරමුණකි.

ඩිජිටල් ආර්ථික පාලනයට මාරුවීම: රාජ්‍ය පරිපාලන ක්‍රියාවලීන් ඩිජිටල් කිරීම මගින් කාර්යක්ෂමතාව සහ වේගය වැඩි කිරීම ප්‍රධාන අරමුණක් බවට පත්ව ඇත. අනුමැති වේගවත් කිරීම සඳහා හඳුන්වා දීමට උත්සාහ කරන තනි කවුළු ක්‍රමය (Single Window) වැනි ප්‍රතිසංස්කරණ පියවර මගින් ආයෝජකයන්ට ආයතන කිහිපයක් හරහා ගමන් කළ යුතු දිගු ක්‍රියාවලිය සරල කිරීමට උත්සාහ කෙරේ. මෙවැනි පද්ධති පරිපාලන ධාරිතාව පුළුල් කරමින් ආයෝජන පරිසරය වඩාත් කාර්යක්ෂම කරයි.

නීතිය සහ සමාජ ආරක්ෂාව ශක්තිමත් කිරීම: ආර්ථික සංවර්ධනය සහ සමාජ ස්ථාවරත්වය අතර සම්බන්ධය ඉතා ගැඹුරුය. නීතිය හා සාමය ශක්තිමත් කිරීම, සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාලයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීම වැනි පියවර සමාජ පද්ධතියේ ආරක්ෂිත යාන්ත්‍රණ ශක්තිමත් කරයි. ආරක්ෂිත සහ විශ්වාසනීය සමාජ පරිසරයක් නිර්මාණය වීම ආයෝජන ආකර්ෂණය කිරීමටත්, ආර්ථික ක්‍රියාකාරකම් සුව පහසු ලෙස ක්‍රියාත්මක වීමටත් අත්‍යවශ්‍ය වේ.

අවදානම් තත්වයේ ජනතාව ශක්තිමත් කිරීම: ආර්ථික පද්ධතියේ ධාරිතාව පුළුල් කිරීම යනු ආයතන ශක්තිමත් කිරීම පමණක් නොව, ජනතාවගේ ආර්ථික ශක්තිය වැඩි කිරීම ද වේ. දිළිඳුකම අඩු කිරීම, සමාජ ආරක්ෂණ වැඩසටහන් ශක්තිමත් කිරීම සහ අඩු ආදායම් කණ්ඩායම්වලට අවස්ථා පුළුල් කිරීම මගින් ආර්ථිකයේ පුළුල් පදනමක් ගොඩනැගිය හැකිය. එමගින් ආර්ථිකය අභ්‍යන්තරව වඩාත් ශක්තිමත් හා ඔරොත්තු දෙන පද්ධතියක් බවට පත්වේ.

 

උපමාවෙන් ඔබ්බට

දේශපාලන උපමා රූප බොහෝ විට හැඟීම්බර ප්‍රතිචාර ඇති කරයි. එහෙත් ඒවායේ ගැඹුරු වටිනාකම ඇත්තේ ඒවා මගින් මතු කරන ප්‍රශ්න තුළ ය. ”‍හුණ්ඩුව”‍ උපමාව අවසානයේ අවධානය යොමු කරන්නේ ආර්ථික පාලනයේ මූලික ප්‍රශ්නයක් වෙත ය. ඒ අද ශ්‍රී ලංකා රාජ්‍යයේ ධාරිතාව කොතරම් ශක්තිමත්ද? යන්නයි. ශ්‍රී ලංකාව ස්ථාවර සහ සමෘද්ධිමත් අනාගතයක් අපේක්ෂා කරන්නේ නම්, ජාතික අවධානය යොමු විය යුත්තේ උපමාව පිළිබඳ විවාද කිරීමට නොවේ. සැබෑ කාර්යය ඊට වඩා බෙහෙවින් වැදගත් ය. ඊළඟ අර්බුදය පැමිණෙන විට අපට බේරෙන්නට උපකාරී වන්නේ අප කළ කතා නොව, අප ගොඩ නගා ඇති බඳුනේ ධාරිතාවයි.

 

(***)

රුහුණු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව

පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය

චන්දික ගුණසිංහ