මැදපෙරදිග කලාපයේ අර්බුදය වේගයෙන් උත්සන්න වෙමින් පවතින අතර, ගැටුම් ඇවිළෙන දේශ සීමා කිසිදු මානුෂීය හෝ ආර්ථික සීමාවකට ගරු නොකරන තත්වයක් නිර්මාණය වී ඇත. මෙහි කම්පන තරංග ගෝලීය වෙළෙඳපොළ හරහා ශ්‍රී ලංකාව වැනි රටවලට ද දැඩි ලෙස බලපාමින් තිබේ.

විශේෂයෙන්ම බංග්ලාදේශය වැනි රටවල බලශක්ති අර්බුදය හේතුවෙන් විශ්වවිද්‍යාල පවා වසා දැමීමට සිදුව ඇති පසුබිමක, ලංකාවට ද මෙම බලපෑම විවිධ ක්ෂේත්‍ර ඔස්සේ දැනෙන්නට පටන්ගෙන ඇත.

ඉන් ප්‍රධාන සාධකයක් ලෙස ඉන්ධන හඳුනාගත හැකිය. ගෝලීය තෙල් මිල දැනටමත් සියයට 35කින් පමණ ඉහළ ගොස් ඇති අතර, යම් යම් උච්චාවචනයට ලක්වෙමින් පවතින බැවින් තෙල් මිල යම් අවිනිශ්චිතතාවකට පත්ව තිබේ. එමෙන්ම, ලෝක තෙල් පරිභෝජනයෙන් සියයට 20ක් පමණ ප්‍රවාහනය කෙරෙන හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත අවහිරතා ආනයන මත යැපෙන ශ්‍රී ලංකාව වැනි ආර්ථිකයකට ප්‍රබල පහරකි. ප්‍රවාහන පිරිවැය ඉහළ යෑම නිසා නිෂ්පාදන පිරිවැය වැඩි වී නිෂ්පාදකයන්ගේ ලාභාන්තික හැකිළෙන අතර, එය පාරිභෝගිකයාට ඍජුවම බලපායි. මහ බැංකුව මීට පෙර උද්ධමනය සියයට 1.6ක් ලෙස පුරෝකථනය කළ ද, පවතින තත්වය හමුවේ එය සියයට 5ක් දක්වා ඉහළ යා හැකි බවත්, එය අවශෝෂණය කරගැනීමට තරම් ශක්තියක් වර්තමාන ආර්ථිකයට ඇති බවත් බලධාරිහු පවසති. 2022 වසරේ පැවැති ආර්ථික අර්බුදයට සාපේක්ෂව වර්තමානයේ ඇමෙරිකානු ඩොලර් බිලියන 7කට ආසන්න විදේශ සංචිත ප්‍රමාණයක් පවත්වාගෙන යාම තීරණාත්මක සාධනීය සාධකයකි. එය පෙර අර්බුද සමයට සාපේක්ෂව හොඳ සූදානම් තත්වයකි.

වර්තමාන ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකා මහ බැංකුව අනුගමනය කරන නම්‍යශීලි උද්ධමන ඉලක්කකරණ රාමුව යටතේ විනිමය අනුපාතිකය ප්‍රධාන ‘කම්පන අවශෝෂකයක්’ ලෙස ක්‍රියා කරයි. මෙයින් අදහස් කරන්නේ, බාහිරින් එල්ල වන ආර්ථික පීඩනවලට සරිලන පරිදි රුපියලේ අගය ස්වාභාවිකව වෙළෙඳපොළ බලවේග අනුව සකස් වීමට ඉඩ හැරීමයි. එමගින් විදේශීය කම්පන දේශීය ආර්ථිකයට ඍජුවම එල්ල වීම පාලනය කරමින් සාර්ව ආර්ථික ස්ථාවරත්වය රැක ගැනීමට අවස්ථාව සැලසේ.

මහ බැංකුවේ නිල ප්‍රක්ෂේපණවලට අනුව, ඉදිරි මාස කිහිපය තුළ උද්ධමනය ක්‍රමයෙන් ඉහළ ගොස් 2026 වසරේ මැද භාගය වන විට සියයට 5ක ඉලක්කගත මට්ටම කරා ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ. 2026 පළමු කාර්තුව අවසානයේදී සමස්ත උද්ධමනය සියයට 2.3ක් ලෙසත්, ආහාර උද්ධමනය සියයට 3ක් ලෙසත් සටහන් විය. වසරේ දෙවැනි භාගය වන විට පවතින උද්ධමන පීඩනය කළමනාකරණය කරමින් එය මධ්‍ය කාලීන ඉලක්කය වන සියයට 5 සීමාව තුළ රඳවා ගැනීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග දැනටමත් ක්‍රියාත්මක කර ඇත.

ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකයේ ප්‍රධානතම විදේශ විනිමය ප්‍රභවය වන්නේ විදේශ සේවක ප්‍රේෂණය. 2025 වසරේදී වාර්තාගත ලෙස ඇමෙරිකානු ඩොලර් බිලියන 7ක සීමාව ඉක්මවා ගිය මෙම ප්‍රේෂණ ප්‍රමාණය මෙරට ආර්ථික ස්ථාවරත්වයට දැවැන්ත ශක්තියක් විය. කෙසේ වෙතත්, මෙම ප්‍රේෂණවලින් සියයට 50කටත් වඩා වැඩි ප්‍රමාණයක් ලැබෙන්නේ වර්තමානයේ නොසන්සුන්කාරි තත්වයක පවතින මැදපෙරදිග කලාපයේ සේවය කරන ලාංකිකයන්ගෙන් වීම විශේෂත්වයකි.

විශේෂයෙන්ම, මාතර, කුරුණෑගල සහ බදුල්ල වැනි ප්‍රදේශවල පදිංචිව සිටින, ඩුබායි සහ දෝහා වැනි නගරවල සේවය කරන ශ්‍රමිකයන් මත යැපෙන දහස් සංඛ්‍යාත පවුල් ඒකක වෙත මෙම අර්බුදය ඍජුවම සම්ප්‍රේෂණය වෙමින් පවතී. එහි ප්‍රතිඵලයක් ලෙස විදේශවල සිටින තම ආදරණීයයන්ගේ ආරක්ෂාව පිළිබඳව පවතින බියට අමතරව, ඔවුන්ගේ මූල්‍ය ස්ථාවරත්වය පිළිබඳව ද බරපතළ ගැටලු‍ පැනනැගී ඇත. මැදපෙරදිග කලාපයේ පවතින අස්ථාවරත්වය හේතුවෙන් බොහෝ රටවල් සිය පරිභෝජන රටා අත්‍යවශ්‍ය භාණ්ඩවලට පමණක් සීමා කර ඇති අතර, කුඩා පරිමාණ ව්‍යවසායකත්ව පවා මේ වන විට අඩාළ වී තිබේ.

ගෘහ සේවයේ නියුතු ශ්‍රමිකයන්ට සිය වැටුප් අහිමි වීමේ අවදානමකට වඩා, අර්බුදකාරි තත්වය මත එම වැටුප් ලැබීම ප්‍රමාද වීම සහ අතිකාල දීමනා අහිමි වීම වැනි ගැටලු‍වලට මුහුණ දීමට සිදු වී ඇත. එමෙන්ම, බොහෝ දෙනකුට සිය කොන්ත්‍රාත් කාලය අවසන් වීමට පෙර මෙරටට පැමිණීමට සිදු වුවහොත් එය දේශීය ග්‍රාමීය ආර්ථිකයට එල්ල වන දැඩි පහරකි. මහ බැංකු දත්ත අනුව මෙම ප්‍රේෂණවලින් සියයට 10ක පමණ ප්‍රමාණයක්, එනම්, ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 800කට ආසන්න විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට අහිමි වීමේ අවදානමක් පවතී. මෙය තවදුරටත් පෞද්ගලික මට්ටමේ ගැටලු‍වක් නොව ජාතික මට්ටමේ ආර්ථික ගැටලු‍වක් ලෙස හඳුනාගෙන, ඊට මුහුණ දීමේ විකල්ප මාර්ග සහ උපායමාර්ගික ක්‍රියාමාර්ග කෙරෙහි වහාම අවධානය යොමු කළ යුතුය.

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති නොසන්සුන්කාරි තත්වය මෙරට ප්‍රධාන අපනයන භාණ්ඩ වන තේ, රෙදිපිළි සහ අනෙකුත් වෙළෙඳ ද්‍රව්‍ය කෙරෙහි බරපතළ බලපෑමක් එල්ල කරමින් තිබේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සමස්ත තේ අපනයනයෙන් සියයට 20ක් පමණ ගමනාන්තය වන්නේ මැදපෙරදිග කලාපයයි. ඉරාකය, ඉරානය සහ සෞදි අරාබිය වැනි රටවල් මෙරට තේ සඳහා විශාල ඉල්ලු‍මක් පවතින ප්‍රධාන වෙළෙඳපොළ වුව ද, පවතින ගැටලු‍කාරි වාතාවරණය හමුවේ එම ඉල්ලු‍ම සහ සැපයුම් දාමය අඩාළ වී ඇත. මෙහි ඍජු ප්‍රතිඵලයක් ලෙස සුළු හා මධ්‍ය පරිමාණ තේ වතු හිමියන්ගේ අස්වනු මිලදී ගැනීම් දැනටමත් සමහර ප්‍රදේශවල අවහිර වී ඇති අතර, අපනයනය කළ නොහැකි තොග සුරක්ෂිතව තබාගැනීමට විධිමත් ක්‍රමවේදයක් රජය මැදිහත් වී වහා සකස් කළ යුතුව ඇත.

මෙම අර්බුදයේ බලපෑම ජාත්‍යන්තර වෙළෙඳාමට පමණක් සීමා නොවී, සාමාන්‍ය ජනතාවගේ මුළුතැන්ගෙය දක්වාම ව්‍යාප්ත වෙමින් පවතී. සීනි, පරිප්පු සහ ලූනු වැනි අත්‍යවශ්‍ය ආනයනික ආහාර ද්‍රව්‍යවල මිල දැනටමත් සියයට 5 සිට සියයට 10 දක්වා ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත. ආනයන වියදම් ඉහළ යාම සහ නාවික ප්‍රවාහන ගාස්තු වැඩි වීම හේතුවෙන් ඉදිරියේදී මෙම මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි අතර, එය මෙරට පාරිභෝගික මිල දර්ශකය කෙරෙහි ද දැඩි පීඩනයක් එල්ල කරනු ලබයි. එම නිසා සැපයුම් දාම බිඳවැටීම වැළැක්වීමටත්, අත්‍යවශ්‍ය ආහාර සුරක්ෂිතතාව සහතික කිරීමටත් රජය කඩිනම් උපායමාර්ගික පියවර ගත යුතුය.

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට ද ඍජු හා වක්‍ර බලපෑම් එල්ල කරමින් තිබේ. විශේෂයෙන්ම යුරෝපය සහ අනෙකුත් බටහිර රටවල සිට පැමිණෙන සංචාරකයන්ගෙන් බහුතරයක් ශ්‍රී ලංකාව වෙත ළඟා වන්නේ මැදපෙරදිග කලාපීය ගුවන් සේවා මධ්‍යස්ථාන හරහාය. එමෙන්ම, එම කලාපය හරහා ක්‍රියාත්මක වූ අඩු පිරිවැය ගුවන් ගමන් වාර සංචාරකයන්ට විශාල සහනයක් වූ අතර, පවතින ආතතිය හමුවේ බොහෝ ජාත්‍යන්තර ගුවන් ගමන් වාර අවලංගු කිරීමට හෝ වෙනත් මාර්ග ඔස්සේ මෙහෙයවීමට සිදුව ඇත.

මෙම තත්වය හමුවේ මෙරට සංචාරක කලාපවලට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස අඩු වෙමින් පවතින අතර, බොහෝ පූර්ව ඇණවුම් අවලංගු කිරීම් ද වාර්තා වේ. ගුවන් ගමන් අවහිර වීම සංචාරක කර්මාන්තයේ නිරත ව්‍යවසායකයන්ට දැඩි මූල්‍ය පීඩනයක් ගෙන දෙන කරුණකි. ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සඳහා මැදපෙරදිගට විකල්ප වූ ඍජු ගුවන් ගමන් මාර්ග සහ නව ගුවන් සේවා හවුල්කාරිත්ව සොයා ගැනීම මේ මොහොතේ අත්‍යවශ්‍ය වේ.

සංචාරක ව්‍යාපාරය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා රජය සහ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය එක්ව ගෝලීය ගුවන් සමාගම් සමග සාකච්ඡා කර, සංචාරකයන්ට බාධාවකින් තොරව මෙරටට පැමිණිය හැකි ආරක්ෂිත විකල්ප ක්‍රමවේද සැකසීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය. සාර්ව ආර්ථික මට්ටමින් ගත් කල, සංචාරක ක්ෂේත්‍රයෙන් ලැබෙන විදේශ විනිමය අඩු වීම මෙරට ගෙවුම් ශේෂය කෙරෙහි ද අහිතකර ලෙස බලපානු ඇත.

මැදපෙරදිග කලාපීය නොසන්සුන්තාව හමුවේ මෙරට ආර්ථික ස්ථාවරත්වය රැක ගැනීම සඳහා රජය ඉහළ පෙළේ අධීක්ෂණ යාන්ත්‍රණයක් පවත්වාගැනීම අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන්ම ඉන්ධන, ගෑස් සහ අත්‍යවශ්‍ය ආහාර සංචිත පිළිබඳව නිරන්තරයෙන් අවධානය යොමු කරමින්, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කණ්ඩායමක් මගින් හදිසි සැලසුම් ක්‍රියාත්මක කිරීම කාලීන අවශ්‍යතාවකි. ලංකාවේ ඉන්ධන අවශ්‍යතාවෙන් වැඩි ප්‍රමාණයක් ඉන්දියාව, සිංගප්පූරුව, මැලේසියාව සහ දකුණු කොරියාව වැනි මැදපෙරදිගින් බැහැර රටවලින් ආනයනය කරන බැවින් ඍජු සැපයුම් බාධා ඇති වීමේ අවදානම අවම වුව ද, ගෝලීය මිල ඉහළ යාමට මුහුණ දීමට සිදු වේ.

බලශක්ති සුරක්ෂිතතාව සහ පිරිපහදු ධාරිතාව වැඩි කිරීම සඳහා කෙටි කාලීනව ප්‍රමාණවත් ඉන්ධන තොග රැස් කිරීම, අනවශ්‍ය ලෙස තොග රැස් කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සහ අවශ්‍ය වුවහොත් නැවත ‘QR ඉන්ධන කෝටා’ ක්‍රමය හඳුන්වා දී ජනතාව තුළ පවතින අවිශ්වාසය දුරු කළ යුතුය. මධ්‍ය කාලීනව කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ නව ටැංකි 6ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය කඩිනම් කිරීම සහ හම්බන්තොට වරායේ LP ගෑස් ගබඩා පහසුකම් උපරිමයෙන් භාවිත කිරීම වැදගත් වේ. දීර්ඝ කාලීන විසඳුම් ලෙස පොසිල ඉන්ධන මත යැපීම අවම කර පුනර්ජනනීය බලශක්තිය සහ විද්‍යුත් වාහන (EV) ප්‍රවර්ධනය කිරීමත්, හම්බන්තොට ‘සයිනොපෙක්’ පිරිපහදු ව්‍යාපෘතිය සහ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධන කටයුතු කඩිනම් කිරීමත් සිදු කළ යුතුය.

සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ මූල්‍ය විනය පවත්වාගැනීම සඳහා 2026 අයවැයෙන් හඳුන්වා දුන් ප්‍රධාන කුලු‍නු 6 මත පදනම්ව තිරසර ආර්ථික වර්ධනයක් කරා ගමන් කිරීම අතිශය තීරණාත්මක වේ. එහිදී බාහිර කම්පන අවශෝෂණය කරගැනීම සඳහා නම්‍යශීලි විනිමය අනුපාතික පද්ධතියක් පවත්වාගැනීමත්, සම්ප්‍රදායයික අපනයනවලින් ඔබ්බට ගොස් නව වෙළෙඳපොළ සොයා ගැනීමත් අවශ්‍ය වේ. විශේෂයෙන්ම හඳුනාගත් තීරුබදු කේත 2,634ක් සඳහා 2026-2029 කාලය තුළ ‘සෙස්’ (SES) බදු ඉවත් කිරීමේ කැබිනට් තීරණය කඩිනමින් ක්‍රියාත්මක කර අපනයන තරගකාරිත්වය වැඩි කළ යුතු අතර, දත්ත මධ්‍යස්ථාන සහ නව තාක්ෂණික ව්‍යාපෘති සඳහා සහන පැකේජ හඳුන්වා දීමට පියවර ගත යුතුය.

ආහාර සුරක්ෂිතතාව සහ සැපයුම් දාම කළමනාකරණය සඳහා ආනයනික ආහාර ද්‍රව්‍ය වන සීනි, පරිප්පු සහ ලූනු මිල ඉහළ යාම පාලනය කිරීමට දේශීය නිෂ්පාදකයන් දිරිමත් කිරීම සහ ජාතික ආහාර සුරක්ෂිතතා කමිටුව හරහා නිරන්තර අධීක්ෂණය කිරීම අත්‍යවශ්‍ය වේ. මුහුදු මාර්ග අවහිර වීමෙන් ඇති විය හැකි සැපයුම් බාධා කළමනාකරණයට කටයුතු කරන අතරම, උපායමාර්ගික අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ගත යුතුය. කලාපීය ගැටුම් හේතුවෙන් නාවික මාර්ග වෙනස් වී කොළඹ වරායට පැමිණෙන නැව් සංඛ්‍යාව ඉහළ යාම මනා ලෙස කළමනාකරණය කර වාණිජමය වාසියක් ලබා ගැනීමත්, ගල්ෆ් කලාපීය රටවල ශ්‍රම ඉල්ලු‍ම ඉහළ ගියහොත් එම අවස්ථාව ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ලබා දීමට රාජ්‍යතාන්ත්‍රිකව මැදිහත් වීමෙනුත් මෙම අර්බුදකාරි සමයේ ස්ථාවර ආර්ථික මාවතක ගමන් කිරීමට මග සැලසෙනු ඇත.

(*** සටහන - ශෂිකා අබේරත්න)