ජනතාව විශ්වාස කරන ආණ්ඩුවක් දැන් ශ්‍රී ලංකාවේ ඇති බවත් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමේ ක්‍රියාවලිය ශක්තිමත් වී ඇත්තේ විරල හා වටිනා වත්කමකින් බවත් ඒ ජනතාව ආණ්ඩුව කෙරෙහි තබා ඇති විශ්වාසය බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජීවා පසුගිය සතියේ පැවැසුවාය.
එසේම දූෂණය පිටුදැකීම අතින් ශ්‍රී ලංකාව 2025 වසරේදී රටවල් 14ක් පසු කරමින් ඉදිරියට පැමිණ ඇති බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර් නැෂනල් ආයතනයේ අලුත්ම දූෂණ දර්ශක වාර්තාව අනුව පෙනෙන්නට තිබිණි.
මේවා ජාතික ජන බලවේගය ආණ්ඩුවට ජාත්‍යන්තර වශයෙන් ලැබී තිබෙන ඉතා වටිනා චරිත සහතික දෙකකි.
මේ අතර මෙරට ජනතාවගෙන් සියයට 65ක් ජාතික ජන බලවේගය ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් පැහැදී සිටින බව පසුගිය මාසයේ වෙරිටේ රිසර්ච් ආයතනයේ සමීක්ෂණයකින් කියවිණි. එහෙත් එය නම් බොහෝ දුරට විවේචනයට ලක්විය. ආණ්ඩුවේ නායකයන් හෝ ඒ ගැන කිසිතැනක පුරසාරම් දොඩන්නට ගියේ නැත.
එහෙත් ආණ්ඩුවේ දූෂණ විරෝධි කටයුතු සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී හා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ මතය කිසිවකුගේ විවේචනයට ලක්වූයේ නැත. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම යන තේමාව යටතේ විපක්ෂ පක්ෂ කිහිපයක නායකයන් පසුගිය බදාදා කොළඹ දී රැස්වී සාකච්ඡා කළේ එවැනි වටපිටාවකය.
මෙම තේමාව යටතේ විරුද්ධ පක්ෂ මීට කලින්ද විවිධ අවස්ථාවල දී සාකච්ඡා පවත්වා ඇත. එවැනි ඇතැම් අවස්ථාවලදී ආණ්ඩුවට එරෙහිව ගතයුතු ක්‍රියාමාර්ග ද යෝජනා විය. එසේම එවැනි විශේෂ තේමාවක් නැති වුවද සංඛ්‍යාත්මක කරුණු අනුව සලකා බලා ඉදිරි මැතිවරණවලදී ආණ්ඩුව පරාජය කළ හැකි යැයි යන උපකල්පනය මත ද විරුද්ධ පක්ෂ මීට පෙර එක් වී සාකච්ඡා පවත්වා තිබේ.
ඊට අමතරව එක්සත් ජාතික පක්ෂය හා ඉන් කැඩී ගිය එහි බහුතරය වන සමගි ජන බලවේගය අතර සන්ධානයක් ගොඩනැඟීම සඳහා 2024 අවසානයේ සිට සාකච්ඡා වට ගණනාවක් පැවැත්විණි.
එහෙත් ආසන්න වශයෙන් මේ සෑම සාකච්ඡාවක්ම ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ කිසිදු එකඟතාවකින් තොරව අවසන් වී ඇත. විපක්ෂය කරන්නේ එම සාකච්ඡා එසේ අවසන් වූයේ මන්දැයි සොයා බලන්නේ නැතිව, එම සාකච්ඡා අමතක කර සති කිහිපයක් නිහඬව සිට නින්දෙන් අවදි වුවන් මෙන් යළිත් කුමක් හෝ සිද්ධියක් පදනම් කරගෙන මුල සිට සාකච්ඡා ආරම්භ කිරීමයි.
විපක්ෂයේ එකමුතුවක් සම්බන්ධයෙන් මුලින්ම එහි පක්ෂ උනන්දුවක් දැක්වූයේ පසුගිය ජනාධිපතිවරණයෙන් පසුය. ඒ එම ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය ලබාගත් ඡන්ද සංඛ්‍යාව ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාවට වඩා ඡන්ද එකොළොස් ලක්ෂයකින් වැඩිවීම නිසාය. එතෙක් එම පක්ෂ දෙකේ නායකයන් කටයුතු කළේ එකිනෙකාට අපහාස කරමිනි.
මෙම ඡන්ද ප්‍රතිඵලයෙන් මාස දෙකකට පමණ පසු පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදී පක්ෂ දෙක එක්ව තරග කළ යුතුයැයි පක්ෂ දෙක තුළම මතයක් ගොඩනැගිණි. ඒ කිසිදු ප්‍රතිපත්තිමය පදනමකින් නොව හුදු බලය ලබාගැනීමේ අරමුණෙනි. එහෙත් පක්ෂ දෙකේ නායකයන් දෙදෙනාටම එවැනි සන්ධානයක නායකත්වය අවශ්‍ය වූයෙන් එම මතය පරාජය විය.
අනෙක් අතට එජාප නායකත්වය පිළිබඳ එම පක්ෂයේ බහුතර මතය පිළිගැනීමට එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා එකඟ නොවීම නිසා එම පක්ෂය 2020 දී දෙකඩ විය. ඉන් නොනැවතුණු වික්‍රමසිංහ මහතා 2024 දී එජාප තනි පක්ෂයක් වශයෙන් නොව එජාප හා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ වශයෙන් තවදුරටත් දෙකට කඩා මහ මැතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් කළේය. ඉන් සිදුවූයේ එජාප එක් ආසනයක් පමණක් ලබා ගනිමින් නව වැනි තැනට පත්වීමය.
එම මහ මැතිවරණයෙන් පසු යළිත් එජාප හා සජබ එක්විය යුතු යැයි විටින් විට යෝජනා ඉදිරිපත් වූ අතර ඒ අනුව 2025 ජනවාරි, පෙබරවාරි, මැයි, දෙසැම්බර් හා 2026 පෙබරවාරි යනාදී වශයෙන් විවිධ අවස්ථාවල ඒ සඳහා සාකච්ඡා පැවැත්විණි. එහෙත් ප්‍රධාන වශයෙන් නායකත්වය පිළිබඳ ප්‍රශ්නය නිසා එම සාකච්ඡා යළි යළිත් පටන් ගත් තැනටම පැමිනුණේය.
එජාප-සජබ සන්ධානය පමණක් නොව පොදුවේ විරුද්ධ පක්ෂ අතර සන්ධානයක් ගොඩනැඟීමේ උත්සාහයට ද කිසිදු ප්‍රතිපත්තිමය පදනමක් නැත. එම උත්සාහය ද අඛණ්ඩව කෙරෙන්නක් නොව හිටි හිටි ගමන් නින්දෙන් අවදි වී කලබලයෙන් කටයුතු කරන්නා සේ කෙරෙන්නෙකි. විශේෂයෙන්ම එම උත්සාහයට පණ ලැබෙන්නේ ආණ්ඩුවේ කටයුතුවලින් විපක්ෂයට හෝ විපක්ෂයේ නායකයන්ට යම් තර්ජනයක් ඇති වූ විටය. ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමට එම පක්ෂ කිසි විටෙක පෙළැඹුණේ නැත.
උදාහරණයක් වශයෙන් පසුගිය වසරේ අගෝස්තු 22 වැනිදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඒ නිල සංචාරයක් සඳහා කියුබාවට හා ඇමරිකාවට ගොස් පෙරළා එන අතර එංගලන්තයේ වොල්වර්හැම්ස්ටන් විශ්වවිද්‍යාලයේ පැවැති සිය බිරිඳට අදාළ උත්සවයකට යාම සඳහා රුපියල් කෝටි එක හමාරකට අධික රජයේ මුදල් වැය කළේය යන චෝදනාව මතය.
එම කාරණය සම්බන්ධයෙන් එක්සත්ව විරෝධය දැක්වීමට විරුද්ධ පක්ෂවලට අවශ්‍ය බවක් පෙනුණද එවැනි ප්‍රබල විරෝධතාවක් දක්නට ලැබුණේ නැත.
ඉන් මසකට පසු ඉකුත් සැප්තැම්බර් මස ආණ්ඩුව හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අහෝසි කිරීම සඳහා පනතක් සම්මත කළේය. ඒ අනුව එතෙක් රජයේ නිල නිවාසවල රැඳි සිටි චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ හා මෛත්‍රීපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන්ට එම නිවාසවලින් යන්නට සිදුවිය.
මෙම පනතට එරෙහිව හිටපු ජනාධිපතිවරුන් පස් දෙනා නීති මාර්ගයෙන් කටයුතු කරන්නට යන බව ඒ දිනවල කියැවිණි. එවැන්නක් සිදු නොවීය. 2015 දී ජනාධිපතිවරණයෙන් පරාජය වූ පසු ජනතාව විශාල වශයෙන් මැදමුලනේ සිය නිවෙසට ගෙන්වා එය ජනමාධ්‍ය මගින් ප්‍රසිද්ධ කොට අනුකම්පාව දිනාගැනීමට උත්සාහ කළා සේ මහින්ද රාජපක්ෂ මහතා මෙම පනත යටතේ රජයේ සුඛෝපභෝගී නිවෙසෙන් පිට වී ගිය පසුද ජනතාව මැදමුලනට ගෙන්වා අනුකම්පා රැල්ලක් ගොඩ නඟන්නට උත්සාහ කළේය. එයද ටික දිනකින් අවසන් විය.
‘‘මහා ජන හඬ’ යනුවෙන් ඉකුත් සැප්තැම්බර් 21 වැනිදා විපක්ෂය පැවැත්වූ රැස්වීම ද එතැනින්ම අවසන් විය. රනිල් වික්‍රමසිංහ මහතාගේ රැස්වීම් දහස ගැන ඉන්පසු අසන්නට ලැබුණේ නැත.
ආණ්ඩුවේ දූෂණ විරෝධී වැඩසටහන සම්බන්ධයෙන් පෙර සඳහන් කරන ලද පරිදි ආණ්ඩුවට ජාත්‍යන්තර සංවිධානවලින් චරිත සහතික ලැබුණ ද ඉන් අදහස් කෙරෙන්නේ දූෂණය රටෙන් තුරන් වී ඇති බවක් නොවේ. දේශපාලන මට්ටමෙන් රට තුළ දූෂණය කෙරෙන බවට නිශ්චිත හා පැහැදිලි චෝදනා එල්ලවී නැති බව සැබෑය. එහෙත් ඉන් අදහස් කෙරෙන්නේ ආණ්ඩුවට සම්බන්ධ දේශපාලනඥයන් සියලු දෙනාම අවංක පුද්ගලයන් බව නොවේ. එතැනදී සිදුවී ඇත්තේ දේශපාලන පක්ෂයක් මහජන නියෝජිතයන් වශයෙන් සිටින තම සාමාජිකයන් දැඩි ලෙස පාලනය කරගෙන සිටීමය. එම පාලනයේ කොතැන හෝ ලිහිල්වීමක් ඇති වුවහොත් එතැන දූෂණය ඇති වන්නට ඕනෑ තරම් ඉඩකඩ තිබේ.
එසේම පළාත් සභා මැතිවරණ පැවැත්වීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඇතුළත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කිරීම, ග්‍රාමීය බව තුරන් කිරීම ඇතුළු සිය පොරොන්දු සම්බන්ධයෙන් ආණ්ඩුවේ කැපවීම එතරම් පැහැදිලි නැත. මේවා බලයට පත්වී මාසයකින් දෙකකින් කළ හැකි දේවල් නොවන බව සැබෑය. එහෙත් ඒ සඳහා යම් යම් දෑ මේ වනවිට ආරම්භ වී තිබිය යුතුය. එය සිදු නොවේ නම් ඒ සඳහා විපක්ෂයත් සිවිල් සමාජයත් ජනමාධ්‍යයත් ආණ්ඩුවට බලපෑම් කළ යුතුය.
මෙම කරුණුවලදී විපක්ෂය ආණ්ඩුවට යම් යම් බලපෑම් කරන බව සැබෑය. එහෙත් ඔවුන් එය කරන්නේ වැඩපිළිවෙළක් අනුව නොව අහඹු සිදුවීම් වශයෙනි. එම බලපෑම්වල අඛණ්ඩ බවක් පෙනෙන්නේ නැත. ඉන් කියැවෙන්නේ මෙම පොරොන්දු සිහිපත් කොට ආණ්ඩුවේ නායකයන් ඉඳහිට අසීරුවට පත් කිරීමට එහා යමක් කරන්නට විපක්ෂයට අවශ්‍යතාවක් හෝ හැකියාවක් නැති බවය.
ආණ්ඩුව ‘‘කිච කිරීම’’ විරුද්ධ පක්ෂවල එකම අරමුණ බව පෙනේ. සාධාරණ පදනමින් නිශ්චිත වැඩපිළිවෙළක් ඇතිව ආණ්ඩුවට අඛණ්ඩ පීඩනයක් දෙමින් ආණ්ඩුව හසුරුවා ගැනීමට හෝ අඩු තරමින් තමන් පිළිබඳ යහපත් මහජන මතයක් ගොඩ නඟා ගැනීමට හෝ පොදුවේ විපක්ෂයට හෝ විපක්ෂයේ තනි තනි පක්ෂවලට හෝ හැකියාවක් ඇති බවක් නොපෙනේ. ඔවුන්ගේ කටයුතු බොහෝ දුරට කෙරෙන්නේ දේශපාලන ව්‍යාපාරයක් වශයෙන් නොව එදා වේල කෑමක් වශයෙනි.
ඔවුහු පොදුවේ ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව උද්ඝෝෂණ කළහ. ආණ්ඩුව එක් වසරක ප්‍රතිසංස්කරණ පමණක් කල් දැමූ පසු උද්ඝෝෂණ අත්හැර තමන් ප්‍රතිසංස්කරණවලට විරුද්ධ නැතැයි කීහ. එහෙත් එම ප්‍රතිසංස්කරණ මුල් කරගෙන අධ්‍යාපන ඇමැතිනියද වන අගමැතිනි හරිනි අමරසූරියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන්නට සූදානම් වූහ. ආණ්ඩුව එය ගෙන එන ලෙස අභියෝග කළ විට සෙමෙන් එය හකුළා ගත්හ.
දිට්වා සුළි කුණාටුවෙන් රටේ විශාල හානියක් ඇති වූ විට ආණ්ඩුව ඊට සූදානම් නොවූයේ යැයිද එහෙයින් සිය ගණනක් ජීවිත අහිමි වූවේ යැයිද චෝදනා කළ විපක්ෂය ඒ සම්බන්ධයෙන් මනුෂ්‍ය ඝාතන චෝදනාව යටතේ ආණ්ඩුවේ නායකයන්ට එරෙහිව නඩු පවරන බව කීවේය. දැන් ඔවුනට එය අමතකය.
බටහිර ආසියාවේ ඇතිවූ යුද උණුසුම මැද ඇමරිකානු සබ්මැරීනයක් ඉරාන යුද නැවක් ශ්‍රී ලංකාව අසල මුහුදේදී ගිල්වා දැමූ විට සබ්මැරීනය එන බව ආණ්ඩුව නොදන්නේ දැයි විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ප්‍රශ්න කළේය. ඉරාන නැව පිළිබඳව ඇමරිකාවට දැනුම් දුන්නේ ආණ්ඩුව යැයි තවත් මන්ත්‍රීවරයෙක් කීවේය. සබ්මැරීන් පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ විස්තරය තවමත් සමාජ මාධ්‍ය කළඹවයි. ඔවුන්ගේ කතාවල හරය වූයේ මෙම ප්‍රශ්නයේදී ශ්‍රී ලංකාව චීනය හෝ රුසියාව මෙන් කටයුතු කළ යුතුව තිබුණු බවයි.
‘‘කිච කිරීමේ’’ අරමුණෙන් නොව ප්‍රතිපත්තිමය පදනමින් ආණ්ඩුව විවේචනය කරන බවක් පෙනෙන්නේ සජබ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පමණි. ‘‘කිච කිරීම’’ කොහෙත්ම වරදක් නොවේ. එහෙත් එය ප්‍රතිපත්තිමය විවේචනයේ අංගයක් පමණක්ම විය යුතුය. විපක්ෂය වෙතින් රටට අවශ්‍ය වන්නේ ඉඳහිට වචන කෑලි අල්ලාගෙන කරන ඝෝෂා නොව වැඩ පිළිවෙළක් සහිතව කෙරෙන ප්‍රතිපත්තිමය අරගලයකි.
(*** එම්.එස්.එම්. අයුබ්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd