හෙළයේ මහගත්කරු ලෙස සම්භාවනාවට හා ගෞරවයට පත් වූ මාර්ටින් වික්‍රමසිංහ මහතා මෝඩයකුයැයි අවලාද නගමින් සිරි රහල් හිමියන්ගේ සැළලිහිණි සන්දේශයේ එන පද්‍යයක් විකෘති කරමින් තම ශිෂ්‍යයන් ඉදිරියෙහි ප්‍රකාශයක් කළ එක්තරා ටියුෂන් ගුරුවරයකුගේ වීඩියෝ පටයක් පසුගිය දිනවල සමාජ මාධ්‍යයයෙහි සංසරණය විය.
එය එතෙර මෙතෙර සුවහසක් රසික ප්‍රජාවගේ හා විද්වතුන්ගේ දැඩි විරෝධයට හා අප්‍රසාදයට ලක්විය. ඒ බොහෝ දෙනා කියා සිටියේ එම සිද්ධිය කේවල සිද්ධියක් ලෙස බැහැර කළ නොහැකි බවත් එය නූතන සමාජයේ එක්තරා හරස් කැපුමක් පෙන්වන්නක් බවත් ය. කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය අගලකඩ සිරිසුමන නාහිමියන්ගෙන් මේ පිළිබදව අප විමසා සිටි අතර මෙම සංවාදය සකස් වන්නේ ඒ ඇසුරිනි.
ප්‍ර හෙළයේ මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මෝඩයකු යැයි ගුරුවරයකු විසින්ම තම ශිෂ්‍යයන් ඉදිරියේ ප්‍රකාශ කරනු ලැබීම උගත් බුද්ධිමතුන්ගේත් රසික ප්‍රජාවගේත් දැඩි විරෝධයට හේතු වුණා. වික්‍රමසිංහ වැනි චින්තකයකු සම්බන්ධයෙන් නූතන සමාජයේ ඇතැමුන් තුළ ඇති අනවබෝධය ගැන ඔබ වහන්සේ මොකද හිතන්නේ ?
විශ්වවිද්‍යාලයීය ශාස්ත්‍රීය කාර්ය භාරයක් ඉටුකරන්නන් වශයෙන් අපට මේ සම්බන්ධයෙන් තියෙන්නේ බරපතළ විවේචනයක්. මාර්ටින් වික්‍රමසිංහ යනු ලංකාවේ බොහෝ විශ්වවිද්‍යාලවලින් ආචාර්ය උපාධිවලින් පිදුම් ලැබූ මහා විද්වතෙක්. ඔහු හෙළයේ මහගත්කරුවා නොවුණා නම් එවැනි පිදුම් ලැබීමට හැකිවන්නේ නෑ. ඒ පිළිගැනීමට ඔහු ලක්වන්නේ අපේ සාහිත්‍ය මනස මුළුමනින්ම සෑම පැත්තකින්ම පෝෂණය කළ පුද්ගලයා නිසයි. මේ යුගයේ බිහි වූ බොහෝ සාහිත්‍යධරයන් ප්‍රමුඛ කොට පවතින්නේ එක් විෂය ක්ෂේත්‍රයක් හෝ දෙකක්. ඒත් මාර්ටින් වික්‍රමසිංහගේ දැනුම චින්තනය පැතිරී ගිය අංශ රාශියක් තිබෙනවා. දිනපතා ලංකාදීප පුවත්පත ජනවාරි මස 22 වැනිදා ඉතාම සාරගර්භ කතුවැකියක් පළ කරමින් මේ සම්බන්ධයෙන් දැක් වූ අවධානය මේ රටේ විද්වතුන්ගේ නොමද අවධානයට ලක්විය යුතු යැයි සිතනවා.
මාර්ටින් වික්‍රමසිංහ කියන්නෙ එක්තරා යුගයක සාහිත්‍ය වංශයක්. අපි පොලොන්නරු යුගය සිහිපත් කරන විට අපට මතක් වෙන්නෙ ගුරුළුගෝමී සහ විද්‍යා චක්‍රවර්තී මහා පඩිවරු. දඹදෙණි යුගයට එනකොට ධර්මසේන හාමුදුරුවෝ, බුද්ධපුත්‍ර හාමුදුරුවෝ, විල්ගම්මුල හාමුදුරුවෝ වගේ අය මතු කරනවා. ඒ වගේ හැම යුගයකටම ආවේණික වූ සාහිත්‍ය පෞරුෂයක් සර්වකාලීන අගයකින් බැබලෙනවා. ඔවුන් අනාගතය වෙනුවෙන් පවතින මහා මිනිස්සු. ඒ අය සාහිත්‍ය යුග පුරුෂයෝ. ඒ යුග පුරුෂයන්ගේ නාමාවලියට වර්තමානය වෙනුවෙන් අනාගතයේ දී එකතු කරන්නේ මාර්ටින් වික්‍රමසිංහ.
ප්‍ර වික්‍රමසිංහයන් විවිධ අංශවලින් පතළ කළ චින්තනය ඔබවහන්සේ දකින්නේ කොහොමද?
ඔහුගේ නිර්මාණ සාහිත්‍ය අරගෙන බැලුවොත් වික්‍රමසිංහ රචනා කළ නවකතාවලිය, කෙටිකතාවලිය අසමසමයි. ලීලාගෙන් පටන් අරගෙන භවතරණයෙන් අවසන් කළ ඔහුගේ ප්‍රබන්ධ කලාව ලංකාවේ එක්තරා යුගයක එනම් 20වැනි සියවසේ නවකතා ක්ෂේත්‍රයේ මහා පෞරුෂයක් ලෙස දක්වන්න පුළුවන්. ගම්පෙරළිය අදටත් හෙටටත් අපේ සිංහල නවකතා ඉතිහාසය අධ්‍යයනය කරන්නට තිබෙන විශිෂ්ට ආදර්ශයක්. අපට පැහැදිලිව දැනුණු සමාජ පෙරැළිය, සමාජ වෙනස්කම්, මිනිසුන්ගේ චින්තන ප්‍රවාහයන් කඩා වැටෙන හැටි, අලුත් චරිත ගොඩනැගෙන හැටි වෙෙළඳ ලෝකයට අපි අවතීර්ණය වෙන හැටි, ජාත්‍යන්තරයත් එක්ක එක්ව ඒ වෙළෙද ලෝකය නිර්මාණය කරගන්නා හැටි, පැරැණි සාම්ප්‍රදායික සමාජය පවුල බිඳ වැටෙන හැටි මේ සියල්ල ඔහු දාර්ශනික ඇසකින් දකිනවා. 21වැනි සියවසේදී මේ සමාජයේ විය හැකි දේ 1944දී ඔහුට දකින්න පුළුවන්නම් ඔහු මොනතරම් අනාගත වක්තෘ වරයෙක්ද? ඔහුට ඔහුම කියවා ගොඩනගාගත් මොනතරම් ප්‍රබල දැක්මක් චින්තනයක් තිබෙන්නට ඇද්ද?
වික්‍රමසිංහගේ විරාගය වගේ නවකතාවකට සමකළ හැකි නවකතාවක් අද දක්වාම නවකතා කලාව තුළ නිර්මාණය වී නැති බවයි මගේ අදහස. එහෙම කීමෙන් අපේ විශිෂ්ට වෙනත් නවකතාකරුවන්ට කිසිම අපහාසයක් වෙන්නෙ නෑ. මම නම් හිතන්නේ සිංහල නවකතාවේ සිළුමිණ විරාගයයි. එ්ත් විරාගය හරියට තේරුම් ගන්න මේ රටේ බොහෝ දෙනකුට බැරි වුණා. ඒ නිසාම විරාගයට පහර දුන්නා. විරාගය යනු අකර්මණ්‍ය චරිත නිර්මාණය කරපු එකක් බවට සමහරු චෝදනා කළා. ඒත් මාර්ටින් වික්‍රමසිංහ ගොඩ නැගෙන්නෙ බෞද්ධ සංස්කෘතියත් එක්ක. ඔහු ත්‍රිපිටකය කියෙව්වා. එය නැවත නැවත කියවා අධ්‍යයනය කළා. බුදුන් වහන්සේ පෙන්වන චරිතයක පැවතිය යුතු පරමාදර්ශය තමයි අරවින්දය. අරවින්දය මඩෙන්ම හටගෙන මඩ නොගෑවී ඉහළට පැමිණෙන්නක්. අරවින්දයකින් නිරූපනය කරන්නෙ එක්තරා විදියකින් අරහත්වයක්. ඒත් ඒ අරහත්වයට පෙර මානව සමාජයේ දී කිසියම් කෙනකුට පුළුවන්නම් තමා හා ගැටෙන බැඳීම්වලින් නිදහස් වෙලා ජීවිතයක් ගොඩනගා ගන්න ඒ ස්වරූපය තමයි විරාගයේ අරවින්දගෙන් පෙන්වා දීමට උත්සාහ කළේ. ඒත් ඇත්තටම ඒක මානසික සංකීර්ණතාවක්. ඒක ලේසි පහසු කාරණාවක් නොවෙයි.
මේ චරිත ස්වභාවයන් පසුකාලීන විචාරකයන්ටවත් තේරුම් ගන්න බැරිවුණා. ඒ නිසා මාර්ටින් වික්‍රමසිංහටම සිද්ධ වුණා විරාගයේ විචාරය කියලා වෙනමම ග්‍රන්ථයක් ලියල තමන් අපේක්ෂා කළ දර්ශනය මොකද්ද කියලා පෙන්වා දෙන්න. එබඳු දර්ශනයක් චින්තනයක් මතු කළ වික්‍රමසිංහ හෙළයේ මහගත්කරු නොවනේද ?
වික්‍රමසිංහගේ කෙටිකතා අරගෙන බැලුවත් ගැහැනියක් කෘතියේ පටන් සෑම කෙටිකතා සංග්‍රහයකම පාහේ ගොඩනගන මනෝවිද්‍යාත්මක චරිතවල පරිකල්පනය පිටිපස්සෙ ඉන්නෙ සැබෑ මානවවාදී මිනිස්සු. සමහර වෙලාවට මේ අපිමයි අපිමයි කියලා පොදු සමාජයට දැනෙන විදියට තමයි වික්‍රමසිංහ මේ චරිත ගොඩනගන්නෙ.
ඊට අමතරව මාර්ටින් වික්‍රසිංහයන්ගේ විශිෂ්ට විචාර කලාව ඇතුළෙ පොතක් විතරක් අරගෙන බැලුවත් සිංහල සාහිත්‍යයේ නැගීම තමයි මම හිතන්නෙ නූතන සාහිත්‍ය විචාර කලාවේ සිළුමිණ. එම කෘතියෙහි එතුමා අනුරාධපුර සාහිත්‍යයේ පටන්ම ඉදිරියට බිහිවුණු සාහිත්‍යයේ ගැඹුරු තැන් බටහිර සාහිත්‍යයත් සමග සංසන්දනය කරමින් විමසන්නට උත්සාහ ගත්තා. ඒ අනුව එතුමා අපේ කතා කලාවේ තිබුණු විශිෂ්ටත්වය, දුර්වලතා, වෙන්කර හඳුනාගනිමින් අපේ සාහිත්‍ය මිණි මුතු ගෙනහැර පාන්නට සමත් වුණා. සිංහල සාහිත්‍යයේ නැගීම කෘතියේ ආරම්භයේ ඔහු මෙසේ සඳහන් කරනවා.
‘ජනතාවකගේ සභ්‍යත්වයත් බුද්ධි විකාශයත් විනිශ්චය කිරීමට ඔවුන්ගේ සාහිත්‍ය කලා උපකාරී වේ. සාහිත්‍ය වූ කලී සභ්‍යත්වයෙහි වැඩීම බස දන්නවුන්ට පමණක් ඇසෙන සේ කියන්නකි. චිත්‍ර ප්‍රතිමා කලා සභ්‍යත්වයෙහි උපත හා වැඩීම ලොව සියල්ලන්ට ඇසෙන සේ හුදු බසකින් කියයි.
‘ඔහු ඒ විදියට ප්‍රවේශය අරගෙන තමයි අමාවතුර වගේ කෘතියක් බුත්සරණ වගේ කෘතියක් සද්ධර්මරත්නාවලිය වගේ කෘතියක් විමසුමට ලක් කරන්නෙ. ජාතක පොතේ තියෙන සුවිශේෂතා චරිත විග්‍රහ කරමින් පෙන්වා දෙන්නෙ. ඔහු ඒ චරිත විග්‍රහ කර දෙන තුරු මෙච්චර කාලයක් කළේ එහි තියෙන ධර්මය විවරණය කිරීම පමණයි. ඒවායේ නිරූපිත ගැඹුරු චරිත විග්‍රහ කරන්න ධර්ම දේශකයන් වහන්සේලාටත් බැරිවුණා. ඒක කළේ වික්‍රමසිංහ. ජාතක කතා දිහා අපි අලුතින් බලන්න පුරුදු වුණේ සිංහල සාහිත්‍යයේ නැගීම කෘතියෙන් පස්සෙ. සද්ධර්මරත්නාවලියේ කතා වස්තුවල තියෙන විද්‍යාත්මක බව, මනෝවිද්‍යාත්මක දෘෂ්ටිය , නිර්මාණාත්මක ලක්ෂණ මේ සියල්ල අපි දකින්න පටන් ගත්තෙ සිංහල සාහිත්‍යයේ නැගීම කෘතියෙන් පස්සෙ. එතුමා ඒවා ආවාට ගියාට එක දවසින් දෙකින් ලියපුවා නොවෙයි. මේ සියල්ල ඔහු මුල සිට අග දක්වා හදාරා විචාරා ඒවා තම බුද්ධියෙන් චින්තනයෙන් විමසා බලා තමයි ලිව්වෙ. ගුත්තිල ගීතය බැලුවත් , සාහිත්‍යෝදය කතා බැලුවත්, විචාර ලිපි බැලුවත් , කාව්‍ය විචාරය බැලුවත් ඒ කාරණය වඩාත් පැහැදිලියි. ගුරුළුගෝමේන්ගේ ලේඛන රීතිය අපේ සම්භාව්‍ය ලේඛන රීතියක් ලෙස හදුනාගෙන වික්‍රමසිංහ එහි අගය පැහැදිලි කළා.
අනෙක් පැත්තෙන් මානව විද්‍යා ක්ෂේත්‍රය අරගෙන බැලුවොත් සිංහල ලකුණ, සිංහල සිරිත් විරිත් වගේ පොත් පත්වල වික්‍රමසිංහ ඉදිරිපත් කළ කරුණුවලින් ඔහුගේ චින්තනය කවරාකාරදැයි වටහාගන්න පුළුවන්. අපේ ඓතිහාසිකත්වය, අපේ සංස්කෘතියේ තිබෙන අදීනත්වය, උදාරත්වය, ඔහු මේ පොත්වල ඉදිරිපත් කරන්නෙ බාහිර නිරීක්ෂණයකින් නොවෙයි. ඔහුගේ ගැඹුරු චින්තනයත් එක්කයි ඔහු ඒක කරන්නෙ. ඔහුගේ කළුනික සෙවීම වගේ පොතකින් ලංකාවේ පුරාවිද්‍යාත්මක අධ්‍යයන ක්‍රමවේදය පිළිබඳව අලුත් ප්‍රවේශයක් ලබා දෙනවා. මේ හරහා ඔහු විද්‍යාත්මක සාහිත්‍යයක් විද්‍යාත්මක විචාර වාදයක් ගොඩනගන්නට සමත් වෙනවා. සත්ව සන්තතිය, බුදු සමය සහ සමාජ දර්ශනය, බුදු සමය හා මානව විද්‍යාව , තෙරණි ගී මේ කවරාකාර ග්‍රන්ථයක් අරගෙන බැලුවත් විවිධ විෂයයක හා දැනුමක අග්‍ර ඵලය තමයි මාර්ටින් වික්‍රමසිංහ කියන්නෙ.
ප්‍ර ඉතින් එබදු විශිෂ්ටයකු, චින්තකයකු, පිළිබඳව නූතන සමාජයේ ඇතැමුන් තුළ තිබෙන අනවබෝධය අතිශය කනගාටුවට කාරණයක් නොවේද?
එබදු විශිෂ්ට චින්තකයකුට මෝඩයා යැයි අවලාද නගන්න යම් කිසි ගුරු නාමයෙන් පෙනී සිටින කෙනෙකුට පුළුවන්නම් ඒ මිනිහා මේ මහපොළොවේ උපන් මිනිහෙක් වෙන්න බෑ. ඒ මිනිහා මේ සමාජයේ ජීවත් වූ මිනිහෙක් වෙන්න බෑ. ඒ මිනිහා මේ රටේ පාසලක ගිය මිනිහෙක් වෙන්න බෑ. ඒ මිනිහා මේ රටේ අපේ අධ්‍යාපනයෙන් පෝෂණය වූ මිනිහෙක් වෙන්න බෑ. ඒ මිනිහා අඩුම වශයෙන් රජයේ විභාග දෙපාර්තමේන්තුවකින් ඉදිරිපත් කරන ප්‍රශ්න පත්‍රයකට ලියා විභාගයක් සමත් වෙච්ච මිනිහෙක් වෙන්න බෑ. කොහෙන්දෝ පාත් වුණු, අපේ සංස්කෘතිය නොහඳුනන, අපේ අධ්‍යාපනය නොහඳුනන සංස්කෘතික ද්‍රෝහී කඳපණුවෝ මේ සමාජයේ ඇතැම් විට ඉන්න පුළුවන්.
අඩුම තරමේ පස්වැනි ශ්‍රේණියේ දරුවකුටවත් මාර්ටින් වික්‍රමසිංහ බැහැර කරලා යන්න බෑ. එවැනි දරුවකුත් මඩොල්දූව රසවිඳිනවා. මඩොල්දූව නොකියවපු දරුවෙක් අපේ රටේ ඉන්න බෑ. වික්‍රමසිංහ පිළිබඳව මෙබඳු ප්‍රකාශයක් ටියුෂන් පන්තියකදී කිරීමෙන් පෙනෙන්නේ මේ රටේ අධ්‍යාපනයේ ඛේදවාචකයයි. කවදාවත් පාසලක පන්ති කාමරයක මේවගේ මිථ්‍යා දෘෂ්ටි කතාවක් වෙන්න විදියක් නෑ. ඒත් මෑත යුගයේ කිසිම සුදුසුකමක් නැති වාචාලකම පමණක් ඇති මිනිස්සුන්ට ටියුෂන් අධ්‍යාපනය බාරදීලා අම්මලා තාත්තලා හොයන්නෙ ගුරුවරයාගේ අධ්‍යාපන සුදුසුකම් නොවෙයි. කුණුහරුප කියලා අසභ්‍ය වචන කියලා ආකර්ෂණය දිනා ගන්න තමයි මේ අය බලන්නෙ. චරිතවලට මඩගහන්න පුළුවන්නම්, කුණුහරුප කියන්න පුළුවන්නම්, සංස්කෘතියට හිනාවෙන්න පුළුවන්නම් ඒ වාචාලකමේ හැකියාව ටියුෂන් ඉගැන්වීමේ ප්‍රධාන සුදුසුකම කියල සමහරු හිතනවා.
ප්‍ර අපි දැන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කරනවා. අපේ සංස්කෘතික කාරණා පිළිබඳ වැඩි අවධානයක් නොදී මේ ප්‍රතිසංස්කරණ කළ හැකිද? නූතන සමාජයේ මෙවැනි උදාහරණවලින් ඊට යම් පාඩමක් කියා දෙනවා නේද?
ආණ්ඩු ඇතිවෙනවා. නැති වෙනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කරනවා. කිසිම වෙලාවක අපට බැරිවුණා මේ දේවල්වලට නියාමනයක් ඇති කරන්න. හරිනම් ටියුෂන් ගුරුවරයා රජයේ ලියාපදිංචි කෙනෙක් වෙන්න ඕනෙ. අධ්‍යාපනය කියන්නෙ ජාතියේ ඥානය හදන තැන නම් එක පැත්තකින් රජය පාසල් අධ්‍යාපනය වෙනුවෙන් සුවිසල් මුදලක් ආයෝජනය කරලා ගොඩනැගිලි හදලා ගුරුවරු පුහුණු කරලා කැපකිරීමක් කරද්දී තව පැත්තකින් දරුවො ටික එළියට ගිහින් කිසිම සුදුසුකමක් නැති ජාතිභ්‍රෂ්ටයන්ගෙන්, උම්මත්තකයන්ගෙන් නැවත වරක් වෙනත් දෙයක් ඉගෙන ගන්න වටපිටාවක් හදල තියෙනව නම් ඒකට ආණ්ඩු වගකියන්න ඕනැ. ඒ විෂයන්වලට අදාළ ඇමතිවරු අන්ධයන් ගොළුවන් බිහිරන් සේ ඉදලා හරියන්නෙ නෑ. ඒ තත්වය අදත් එහෙමයි. එදත් එහෙමයි. මේ වගේ විකෘතීන්ට එරෙහිව තවදුරටත් පියවර ගත්තේ නැත්නම් හෙට දවසේත් මේ වගේ මිනිස්සු එළියට ඇවිත් මිථ්‍යාව සමාජගත කරනවා. ඒවාට ඉඩ දෙන්න පුළුවන්ද? බෑ.
රටේ නායකයොත් දැනගන්න ඕනෑ. සංස්කෘතියට ආගමට ගෞරවය ඇතිවෙන විදියට හැසිරෙන්න. කතා කරන්න. එහෙම නොවුණොත් රටේ ඉන්න මිනිස්සුත් ඒ මග යනවා. සංස්කෘතිය වැනසෙන්න දොරටු ඇරලා තියෙනවනම් ඒක විනාශයක්. ඇත්තම කියනවනම් අපේ රටට සංස්කෘතික ද්‍රෝහිවාදය කියන එක තදින්ම බලපාල තියෙනවා. ඒක පෝෂණය කරන ඩයස් පෝරාවක් ඉන්න බවයි පේන්නෙ. ඔවුන් සල්ලි විසි කරලා අපේ රටේ සංස්කෘතික දේහය විනාශ කරන්න උල්පන්දම් දෙනවා.
මේ වගේ වාචාල ප්‍රකාශ එක මිනිහෙකුගේ කේවල වැඩ නොවෙයි. වික්‍රමසිංහට පහරදෙනව කියන්නෙ ඒ පහර දෙන්නෙ වික්‍රමසිංහ කියන පෞද්ගලික චරිතයට නොවෙයි. මේක සමස්ත කලාවට සාහිත්‍යයට කරපු නිග්‍රහයක්. මේක අපේ සංස්කෘතියට ගහපු හෙණයක්. මේ වෙනුවෙන් සමාජයේ තද සංවාදයක් විවේචනයක් අවශ්‍යයි.
ප්‍ර අපේ පුරාණ සම්භාව්‍ය සාහිත්‍යය හිතා මතා විකෘති කරමින් ඒවා හෑල්ලු කිරීමටත් ඇතැමුන් උත්සාහ දරන බව පෙනෙන්නට තිබෙනවා නේද?
ඔව් දැන් අපි මේ උදාහරණයම අරගෙන බැලුවොත් අපි දැක්කා ඔහු සැළලිහිණි සන්දේශයට කළ නිග්‍රහය. එය කුණුහරුපයක් බවට පෙරළා ගනිමින් විකෘති කළ හැටි. ඒක දරුවෝ ඉදිරියේ කියද්දී දරුවො හඩනගා හිනාවෙනවා. ඇත්තටම වැඩිහිටියන්ට වෙන්නෙ හිනාවෙන්න නොවෙයි අඩන්න. මේ වගේ මිනිස්සු මෙහෙම බඩ පිනුම් ගහන ඒකෙන් පේන්නෙ මේ රටේ රසවින්දනය කඩාවැටී ඇති තරමයි. අපේ සම්භාව්‍ය ග්‍රන්ථාවලිය අරගෙන බැලුවොත් ඉංග්‍රීසින් අපේ රට ඇවිත් අපට පාසල් විශ්වවිද්‍යාල හඳුන්වා දෙන්නට පෙර අපේ ජාතිය හදපු තක්සලාව තමයි අපේ සම්භාව්‍ය ධර්ම කතා සාහිත්‍යය. මේ තරම් දියුණු සමාජයේත් අදටත් අපි මේ කෘති විෂය මාලාවට එකතු කරලා තියෙන්නෙ. එයින් ගලා එන ඥානය හරිම අපූරු නිසායි. ඒවායින් මානව ජීවිතය කියා දෙන නිසා. මේ නිර්මාණවලට පහර දීම යනු අපේ මුල් උදුරා දැමීමට දරන උත්සාහයක්. අපේ සවිමත් මුල් ගලවලා දැම්මට පස්සෙ මුල් නැති ජාතියක් මුල් නැති සංස්කෘතියක් බිහිවෙන්නෙ. ඒක ඕනෑම තැනකට පෙරළා දමන්න පුළුවන්. මේ හෑල්ලු කිරීම සොළීන් කරන්න හැදුවා. බටහිර ජාතීන් කරන්න හැදුවා. ඒ හැමෝම අවසාන වශයෙන් කරන්න උත්සාහ කළේ දේශපාලන අරමුණු පෙන්වමින් අපේ මූලයන් වනසන්නයි. අපේ උරුමයන්ට පහර දීලා ඒවා නොවැදගත් යැයි සලකලා මේ දේ කරන්න බැරිවෙද්දි ජාත්‍යන්තර වශයෙන් මේවාට උත්සාහ ගත්තා. එවැනි උත්සාහයන්ට අපි කිසි විටෙකත් ඉඩ නොතැබිය යුතුයි.
ප්‍ර එහෙත් මේ රටේ විද්වතුන් බොහෝ දෙනා මෙවනි කාරණාවල දී මුනිවත රකින බවක් පෙනෙන්නට තිබෙනවා නේද?
ඔව්. මාර්ටින් වික්‍රමසිංහට පහර දෙනකොටත් මම දැක්කෙ නෑ එකම විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්වත් මේ වෙනුවෙන් විධිමත්ව පෙනී ඉන්නව, මම හිතන්නෙ මේවා ගැන අපි අවධියෙන් ඉන්න ඕනැ. අපට නිද්‍රාශීලීව ඉන්න බෑ. මේවට හිනාවෙලා මෝඩයන්ගෙ කතා කියලා පැත්තකට දාන්න බෑ. එහෙම උණොත් මේ ත්‍රස්තවාදීන් දිගටම මේ වැඩේ කරනවා. විශාල වැටුප් දීල පෝෂණය කරන සරසවි ඇදුරන් සමාජ ප්‍රශ්නයක දී මුනිවත රැක්කොත් මෝඩයන්ට පුළුවන් බඩ පිනුම් ගහන්න. ඒ නිසා සරසවි ඇදුරන් කළ යුත්තේ දේශන පවත්වලා දරුවන්ට උපාධි දීම විතරක් නොවෙයි. සමාජ මැදිහත්වීම අවශ්‍යයයි.
ප්‍ර රටේ සංස්කෘතික චින්තනයට පහර දී තමන් රැඩිකල් බව පෙන්වීමට යම් පිරිසක් උත්සාහ දරන බව මේ යුගයේ පෙනෙන්නේ නැද්ද?
අධ්‍යයාපන ප්‍රතිසංස්කරණවල දී වුණත් මේ ගැන කල්පනා කරන එක හොඳයි. දැනට උණත් අපේ සංස්කෘතිය පිළිබඳව වැඩි ආකල්පයක් දක්වන බවක් පෙනෙන්නට නැහැ. සංස්කෘතිය තමයි රටකට වටිනාම දේ. ඒක අපේ අනන්‍යතාව. මේ සංස්කෘතිය නොයිවසන ජාති භෂ්ටයෝ ඉන්නවා. ආගම දහම හෑල්ලු කරල සංස්කෘතිය හෑල්ලු කරලා යම් යම් දේ කියපුවාම කරපුවාම ඒ අය හිතනවා රැඩිකල් කියලා. එහෙම සංස්කෘතික භෂ්ටයන්ට රාජ්‍යයෙන් ඉඩක් තියෙන්න බෑ. අන්තර්ජාලය සමාජ මාධ්‍යය සීමාවකින් තොරව දරුවන්ට සමීප වීමත් මේ අර්බුදයට හේතු වී තිබෙනවා. ඒක ඛේදවාචකයක්. හැම රටකම දියුණුව තියෙන්නෙ තමන්ගෙ ජාතිකත්වය සංවර්ධනය කර ගැනීම තුළ. ජාතිකත්වය කියන්නෙ සංස්කෘතිය. අපේ සමහරු අද ජාතිකත්වයත් දීනකමක් හැටියට සලකනවා.
කොහොම වුණත් අපි සාහිත්‍යය කලාවට භාෂාවට නිසි තැනක් නොදුන්නොත් අනාගතයේ අඳුරු අත්දැකීම්වලට මුහුණ දෙන්න සිදු වේවි. සංස්කෘතික කාරණා ගැන මීට වඩා හිතන්න වේවි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදීත් මේවාගැන මීට වඩා කල්පනා කරන්න වේවි. මම ආරාධනා කරනවා මේ විද්වතුන්ට 1960 දශකයේ මේ රටේ පාසල් අධ්‍යාපනයේ විෂය නිර්දේශය අරගෙන බලන්න කියලා. කොච්චර පරිපූර්ණ ද කියලා. ඒ විෂය නිර්දේශයෙන් දරුවාගේ ජීවිතය පරිපූර්ණ තැනකට අරගෙන ගියා. ඒ අධ්‍යාපනයෙන් බිහිවූ මේරටේ උගත් බුද්ධිමතුන් කවුරුන්දැයි සොයා බලන්න යැයි මම නූතන බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
(***)
සටහන - ගාමිණී කන්දෙපොළ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd