උපුල් වික්‍රමසිංහ

කසිප්පු පානය කිරීමෙන් පුද්ගලයන් හත්දෙනකු මිය යෑමේ සිද්ධියත් සමග ඉදිරියේ දී කසිප්පු ඇතුළු සියලු නීතිවිරෝධී මත්ද්‍රව්‍ය නිෂ්පාදන කෙරෙහි දැඩි අවධානය යොමුකර මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.

දැනට සක්‍රිය කර ඇති මහජන ආරක්ෂක කමිටු, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ ත්‍රිවිධ හමුදාවේ සහාය එම කටයුතුවලට ලබා ගන්නා බව කී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිවේදී එෆ්.යූ. වුට්ලර් එම මෙහෙයුම්වලදී කසිප්පු පමණක් නොව අනිත් සෑම නීතිවිරෝධී මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන ස්ථාන වැටලීමටත් ජාවාරම්කරුවන් නීතිය හමුවට ගෙන ඒමටත් පියවර ගන්නා බව ද ප්‍රකාශ කළේය.

වසර 2025 ඔක්තෝබර් 30 වැනිදා ‘මතට තිත රටම එකට’ මෙහෙයුම ආරම්භ කිරීමෙන් පසු විෂ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන නීතිවිරෝධී ස්ථාන වැටලීම් කළ බවද බොහෝ ඒවා වසා දැමූ බවද විෂ මත්ද්‍රව්‍ය නිෂ්පාදනයෙන් හා භාවිතයෙන් බැහැර වෙන ලෙස නොයෙක් අවස්ථාවල ජනතාවගෙන් ඉල්ලා සිටි බවද හෙතෙම කීවේ ය.

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්නන්ට හා බෙදාහරින්නන්ට සහාය වෙන පොලිසියේ ඇතැම් නිලධාරීන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි පොලිස්පතිවරයා මේ වෙනවිට අදාළ සියලු ඉහළ නිලධාරීන්ට උපදෙස් දී ඇති බව ද ඒ අනුව විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහාය දෙන පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමත් සේවයෙන් පහකිරීමත් සිදු වෙනු ඇති බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. 

මේ අතර මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ඉරිදා ලංකාදීපයට පැවසුවේ ආපදා තත්ත්වය හේතුවෙන් අඩපණ වී තිබූ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් යළි සක්‍රිය කර ඇති බව ය.

“කසිප්පු විතරක් නෙවෙයි අනිත් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම් දිගටම කරගෙන යනවා. පසුගිය දවස්වල ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් ඒ මෙහෙයුම් යම් ප්‍රමාණයකට අඩපණ වෙලා තිබුණත් දැන් නැවත වේගවත් කරලා තියෙන්නෙ. නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු දැනුම්දීම සඳහා හඳුන්වාදුන් 1717 අංකයට එකදිගට තොරතුරු ජනතාවගෙන් ලැබුණා. ඒ තොරතුරු අපි අදාළ පොලිස් ස්ථානවලට ලබා දුන්නා. ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට අදාළ ජාතික සභාව ගිය සතියෙ කැඳවන්නත් කටයුතු කළා” අමාත්‍යවරයා පැහැදිලි කළේ ය.

විෂ මත්ද්‍රව්‍ය පාලනය සම්බන්ධ තොරතුරු දැන ගැනීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ ප්‍රධානියා දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගැනීමට උත්සාහ ගත්ත ද එය ව්‍යවර්ත විය. සුරාබදු කොමසාරිස්වරයා දුරකථනයට සම්බන්ධ වෙමින් ඊට අදාළ තොරතුරු විමසීමට දෙපාර්තමේන්තුවේ මාධ්‍ය කටයුතු භාරව සිටින රොෂාන් යන අයගේ දුරකථන අංකය ලබා දෙමින් ඔහු සම්බන්ධ කරගන්නා ලෙස පැවසු  අතර අප රොෂාන් යන අයගේ දුරකථන අංකයට කිහිපවරක් ඇමතුම් ලබා දුන්න ද ඔහු ප්‍රතිචාර දැක්වූයේ නැත.