ජනතා විමුක්ති පෙරමුණ සිය ඉතිහාසයේ දී මුහුණ දුන් අති බිහිසුණුම මර්දනයෙන් පසු 1990 සිට යළි එම පක්ෂය ගොඩ නැඟීමේ අතිශයින්ම දුෂ්කර වූ කාර්යයේ දී පෙරමුණේම සිට, පසුව එක්සත් ජනතා නිදහස් පෙරමුණ හරහා එක්සත් ජාතික පක්ෂයට ගිය නන්දන ගුණතිලක මහතා රෝගාතුරව සිට පසුගිය 18 වැනිදා අභාවප්‍රාප්ත විය.

තමන්ට ඇති එකම ආදායම් මාර්ගය වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කළහොත් ‘‘මම මැරෙනවා’’ යැයි මාස කිහිපයකට පෙර ෆේස් බුක් සටහනකින් කියා සිටි ඔහු මිය ගියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීමෙන් දින 11කට පසුවය.

අප මෙම ලිපිය ලියන්නට සැරසෙත්ම නන්දන ගුණතිලක මහතා සිහිපත් වූයේ වර්තමානයේ ආණ්ඩුව මුහුණ දී ඇති බරපතළම ගැටලුව සම්බන්ධයෙන් පසුගිය වසරේ ජනවාරි අගදී හෝ පෙබරවාරි මුලදී ඔහු ෆේස්බුක්හි තැබූ තවත් සටහනක් හේතුවෙනි. එම සටහන ගෙන හැර දැක්වීමට පෙර වර්තමානයේ ආණ්ඩුව මුහුණ දී ඇති එම දුෂ්කරතාව ගැන කතා කළ යුතුව ඇත.

කෘෂිකර්ම ඇමැති කේ.ඩී. ලාල් කාන්ත මහතා එම දුෂ්කරතාව ඉතා කෙටියෙන් ගෙන හැර  දැක්වූයේ ජාතික ජනබලවේගයට ආණ්ඩු බලය ලැබුණ ද රාජ්‍ය බලය තවමත් පුර්ණ වශයෙන් ලැබී නැති බව කියමිනි. ඔහු ඉන් අදහස් කළේ පාර්ලිමේන්තුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ වගන්ති පවා සංශෝධනය කළ හැකි තුනෙන් දෙකකට වැඩි බලයක් තමන්ට ලැබුණ ද රාජ්‍ය යන්ත්‍රය තුළ සිටින නිලධාරීන් වෙනස් වන්නට සූදානම් නැති බව හා ඇතැම් නිලධාරීන් කඩාකප්පල්කාරි ලෙස කටයුතු කරන බවය.

ඔහු මෙම ප්‍රකාශය කරන්නේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සකස් කෙරුණු හය වසරේ ඉංග්‍රීසි මොඩියුලයට සිසුන්ට නුසුදුසු වෙබ් අඩවියක සබැඳියාවක් ඇතුළත් කිරීම පිටුපස  ආණ්ඩු අසීරුවට පත් කිරීමේ කුමන්ත්‍රණයක් ඇතැයි ආණ්ඩුවේ ඇතැම් පිරිස් අදහස් පළ කරන වටපිටාවකය.

රාජ්‍ය යාන්ත්‍රණය තුළ සිට ආණ්ඩුවේ ගමනට අඩ තබන මෙම නිලධාරි තන්ත්‍රය ඇතැමුන් හඳුනන්නේ ‘‘පාර රාජ්‍යය’’ (deep state) යනුවෙනි. මෙම බාධකය ගැන සඳහන් කරමින් මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පසුගිය වසර මුලදී සිය ෆේස්බුක් පිටුවේ ‘‘පාර රාජ්‍ය පරාජය නොකළහොත් ලුමුම්බාගේ, සුකර්ණෝගේ, අයන්ඩේගේ ආණ්ඩුවලට වූ දේ මෙහිද වනු ඇතැයි’’ ප්‍රකාශ කර තිබිණි. ඊට පිළිතුරු වශයෙන් නන්දන ගුණතිලක මහතා මෙසේ සඳහන් කර තිබිණි. ‘‘විප්ලවීය නොවන බලය ඇල්ලීමක් තුළ පවතින සිස්ටම් එක තුළ වැඩ කරනවා මිස ඊට වඩා යමක් කළ නොහැකිය. යෝජිත (Clean Sri Lamka වැනි) සංස්කෘතික විප්ලව කළ නොහැකිය.

‘‘එහෙත් ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීම සඳහා විප්ලවීය වෙනස්කම් කළ යුතුව ඇත.

‘‘මෙකී පාර්ශව දෙක අතර ප්‍රතිවිරෝධය දිනෙන් දින වර්ධනය වෙමින් පවතී.

 ‘‘විප්ලවීය වෙනස්කම්වලට යාමට පවතින සිස්ටම් එක බාධා කරමින් පැවැතීම තුළ මේ වර්ධනය වන ප්‍රතිවිරෝධය දිනෙන් දින උත්සන්න වනු ඇත.

‘‘මේ තුළ රාජ්‍යය ඇතුළතින් පටන් ගන්නා නොවළැක්විය හැකි ප්‍රහාරය පිටත සහායෙන් උත්සන්න වේවි.’’

ගුණතිලක මහතාගේ අවසාන අනාවැකිය හැර මෙම ප්‍රකාශය බොහෝ දුරට සත්‍යයකි. ආයුධ සන්නද්ධ විප්ලවයකින් හෝ හමුදා කුමන්ත්‍රණයකින් හෝ යම් පක්ෂයක් හෝ හමුදාවක් හෝ බලයට පත්වුවහොත් නිලධාරීන් නව පාලකයන් සමග ‘‘සෙල්ලම් කරන්නට’’ යන්නේ නැත. ඔවුනට අභියෝග කරන්නට යන්නේ නැත. ආණ්ඩුවට එරෙහිව  කුමන්ත්‍රණය කරන්නට යන්නේ නැත. වැඩ ප්‍රමාද කරන්නේ නැත. එසේ කළහොත් තමන්ට ජීවිතයෙන් වන්දි ගෙවන්නට හෝ සිරබත් කන්නට හෝ සිදුවන බව ඔවුන් දන්නා හෙයිනි. එසේම පැවැති  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළු නීතිරීති විශාල සංඛ්‍යාවක් අත්හිටුවීම හෝ අහෝසිවීම සිදුවන බැවිනි. 

විප්ලවයකින් හෝ හමුදා කුමන්ත්‍රණයකින් බලයට පත් නොවුවද සුදු වෑන් භීතිකාව පැවැති පසුගිය කාලයේ ද නිලධාරීන් අනවශ්‍ය ‘‘සෙල්ලම් දමන්නට’’ ගියේ නැත.

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත් වී මේ වනවිට මාස 16ක් ඉක්ම ගොස් ඇත. ජාතික ජන බලවේගය පාර්ලිමේන්තුවේ බලය අල්ලා මාස14ක් ගතවී ඇත. ඔවුන්ගේ ජන වරම මාස 60කි. ඉන් හතරෙන් එකක් ගතව තිබිය දීත් ඔවුනට රාජ්‍ය බලය ලැබී නැතැයි මැසිවිලි නගන්නට සිදුව තිබේ නම් එය බරපතළ තත්වයකි.

මෙවැනි ගැටලුවක් ඇති බව ඔවුන් තේරුම් ගත්තේ බලයට පත් වූ විගසමය. 2024 දෙසැම්බර් මාසයේ දී ජාතික ජන බලවේගය ආණ්ඩුවේ ඇමැතිවරු දෙදෙනෙක් මෙම තත්වය ගැන සිය කණස්සල්ල පළ කළහ. තම පරණ පුරුදු අත්හැරීමට අකමැති නිලධාරීන් රට ඉදිරියට ගෙන යාමට බාධා කරන බව කෘෂිකර්ම ඇමැති ලාල් කාන්ත මහතාම ඒ දිනවල පවසා තිබිණි. පසුගිය පාලන කාලයේ දේශපාලන බලධාරීන්ගේ දූෂිත ක්‍රියාවලට නිලධාරීන්ගෙන්ද සෑහෙන පිරිසක් දායක වී ඇති බවත්, ඔවුන් තවමත් ක්‍රියා කරන්නේ ඒ  ආකාරයෙන්ම බවත් ඊළඟ සුනාමිය එන්නේ ඔවුන්ට එරෙහිව බවත් ඔහු එදා ප්‍රකාශ කර තිබිණි.

කර්මාන්ත ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා ද ඒ දිනවලම ප්‍රකාශ කර තිබුණේ ඇතැම් නිලධාරීන් තම පරණ පුරුදු අත්හරින්නට සූදානම් නැති බවය. දැන් ආණ්ඩුවට සිදු වී ඇත්තේ එම නිලධාරීන්ට එරෙහිව අරගල කරන්නට යැයි ද ඔහු පවසා තිබිණි.

ඔහු එම ප්‍රකාශය කළ දිනම ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේත් ගුවන් තොටුපොළ හා ගුවන් සේවා අධිකාරියේත් නිලධාරීන් හමුවේ කතා කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද රේගුවේ පවතින සෘණත්මක ආකල්ප අවසන් කළ යුතු යැයි පවසා තිබිණි. පසුගිය අප්‍රේල් මාසයේ දිනෙක ඔහු පැවැසුවේ මැයි මාසයෙන් පසු රජයේ නිලධාරීන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති වෙතට වෙනස් නොවුවහොත් තමන්ට ඔවුන් වෙනස් කරන්නට සිදුවන බවය.

මේ සියල්ලෙන් පෙනෙන්නේ ආණ්ඩුවේ ඉලක්ක ගත කටයුතු නිලධාරීන් ළඟ සිරවී ඇති බවය. සමහර විට ආණ්ඩුව කිසිවක් නොකරන බවට ඇතැමුන් චෝදනා කරන්නේත් මහින්ද දේශප්‍රිය මහතා වැනි අයට ලුමුම්බා සුකර්ණෝ හා අයන්ඩේ ආදින් මතක් වන්නේත් ඒ නිසා විය යුතුය.

නොවැම්බර් අවසන් සතියේ දිට්වා සුළි කුණාටුව නිසා නිවාසවලට හානි වූ සෑම පවුලකටම නිවෙස් පිරිසුදු කරගැනීම් වැනි මූලික කටයුතු සඳහා රුපියල් 25,000ක්ද මුළු තැන් ගෙයි උපකරණ ආදිය මිලදී ගැනීම සඳහා රුපියල් 50,000ක්ද දෙන්ට ආණ්ඩුව තීරණය කළේය. එම මුදල් දෙසැම්බර් මාසය අවසාන වන්නට පෙර දෙන ලෙසද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස්  දුන්නේය.

එහෙත් මේ වනවිට මූලික රුපියල් 25000 පමණක් විපතට පත්වූවන්ගෙන් සියයට 90කට පමණ ලැබී ඇති බවත් රුපියල් 50,000 ලැබී ඇත්තේ ඔවුන්ගෙන් සියයට 30කට පමණ පිරිසකට බවත් මේ සතිය මුලදී පළවූ වාර්තාවල පළවිය. ජනාධිපතිවරයාගේ උපදෙස්වලට පටහැනිව මෙම ප්‍රමාදය සිදුවන්නේ ද සමහරවිට නිලධාරීන්ගේ වරදින් විය හැකිය.

අනෙක් අතට නීතිපති පාරින්ද රණසිංහ මහතාට විරුද්ධවද විරෝධතාවක් පැන නැග තිබේ. ඒ විරෝධතාකරුවන් ආණ්ඩු පාක්ෂිකයන් බවත් ඔහුට පක්ෂව හඬ නගන්නන් විරුද්ධ පාක්ෂිකයන් බවත් ඉතා පැහැදිලිව පෙනේනට තිබේ. එනම් නීතිපතිවරයා ද මහින්ද දේශප්‍රිය මහතා හැඳින් වූ පාර රාජ්‍යයේ පුද්ගලයකැයි ආණ්ඩු පාක්ෂිකයන් සිතන බවත් පෙනේ.

ඔවුන්ගේ මතය කුමක් වුවත් ආණ්ඩුව ක්ෂණිකව පෙරළා දැමීමට තරම් නිලධාරීන්ගේ ක්‍රියාකාරීත්වය ශක්තිමත් බවක් නොපෙනේ. එහෙත් ඔවුන්ගේ කටයුතු ආණ්ඩුවට එරෙහිව ජනමතය ගොඩනගන්නට විරුද්ධ පක්ෂවලම එක්තරා දුරකට උපකාරී වන බවද පෙනේ. එසේ වුවද නන්දන ගුණතිලක මහතා පැවැසූ ආකාරයට ‘‘රාජ්‍යය ඇතුළතින් පටන් ගන්නා නොවැළැක්විය හැකි ප්‍රහාරය පිටත සහායෙන් උත්සන්න’’ වන බවත් නම් පෙනෙන්නට නැත.

ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ විපක්ෂය ඉලක්කයකට යොමුව කටයුතු නොකිරීමය. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ ආණ්ඩුවේ නායකයන්  මැතිවරණයකට පෙර කී දේවල් හා අද රටේ පවතින හා කෙරෙන දේවල් සන්සන්දනය කර  ඔවුන්ව අසීරුවට පත් කර ආස්වාදයක් ලැබීමය. ඔවුන් කරන දෑ ගැන ඔවුන්වත් දන්නේ දැයි විටෙක සිතේ. ඔවුහු ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව උද්ඝෝෂණයක් කළහ. එහෙත් තමන් ඒවාට විරුද්ධ වන්නේ කුමක් නිසාදැයි පැහැදිලිව කියන්නට ඔවුහු අසමත් වූහ.

වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ විරුද්ධ පක්ෂවලට අවබෝධයක් නැති නිසාදෝ ඔවුන් එල්ලුණේ මෙම ප්‍රතිසංස්කරණ යටතේ හය වසරේ ඉංග්‍රීසි මොඩියුලයේ ඇතුළත්ව තිබූ ළමයින්ට නුසුදුසු එක්තරා සැබැඳියාවක (Link)ය. එය වරදක් බව තමන්ද පිළි ගන්නා බව ආණ්ඩුව ඒ ගැන ආන්දෝලනය ඇතිවූ වහාම ප්‍රකාශ කළෙත් ඇත්ත වශයෙන්ම එම කාරණයේ දී විපක්ෂය එතැනින්ම නිරායුද විය.

මුලදීම ආණ්ඩුව වරද පිළිගත් බවත්, අදාළ මොඩියුලය ළමයින් අතට පත්වීම වැළැක්වූ බවත් පමණක් නොව හය වසර සඳහා වූ ප්‍රතිසංස්කරණ වසරකින් කල් දැමූ බවත් රූපවාහිනී සංවාදයකදී පැවසූ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතා ඒ සම්බන්ධයෙන් කළ යුතුව  තිබූ අන් යමක් තිබුණේ දැයි එම සංවාදයට සහභාගි වූ විපක්ෂයේ දේශපාලනඥයන්ගෙන් ඇසීය. ඔවුන්ට ඊට දෙන්නට සාර්ථක පිළිතුරක් තිබුණේ නැත.

අනෙක් අතට හය වසර සඳහා වූ ප්‍රතිසංස්කරණ වසරකින් කල් දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ වහාම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව කෙරුණු උද්ඝෝෂණ එක්වරම නැවතිණි.

 එම ප්‍රශ්නය මුල් කරගෙන අධ්‍යාපන ඇමැතිනිය වන අගැමැතිනි ආචාර්ය අමරසූරියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය කටයුතු කළේය. එසේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ද විපක්ෂය විවාදයක් ඉල්ලා සිටියේය.

 දැන් එම විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කරන්නේ කවදාදැයි කියාත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ විවාදය කරන්නේ කවදාද කියාත් වශයෙන් බිමල් රත්නායක හා නලින්ද  ජයතිස්ස යන ඇමැතිවරු විපක්ෂයෙන් විමසති. සාමාන්‍ය සිදුවන්නේ එවැනි විවාද සඳහා කාලය ඉල්ලා විපක්ෂය ආණ්ඩුවට බල කිරීමය. දැන් විපක්ෂය එම විවාද දෙකටම පසුබාන බවත් පෙනේ. ඉන් පෙනෙන්නේ නිලධාරීන්ගෙන් තරම් ආණ්ඩුවට විපක්ෂයෙන් තර්ජනයක් නැති බවයි. නන්දන ගුණතිලක මහතාගේ අනාවැකිය ඉටු නොවන්නේ ඒ නිසාය.

(*** එම්.එස්.එම්. අයුබ්)