
ආණ්ඩුව බලයට පත්වූ පසු වේගවත් සංවර්ධන ක්‍රියාවලියක් ආරම්භ වූයේ නැත. පැවැති ආණ්ඩුවල ක්‍රියාපටිපාටිය හදාරමින් දූෂණ වංචාවලට තිත තබමින් සංවර්ධන ක්‍රියාවලිය සෙමින් ඇරඹීමට රජය අදහස් කළා වන්නට ඇත. වසර අවසන් වෙද්දී රජය ග්‍රාමීය මාර්ග හැත්තෑහයක් සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කළ අතර එම කටයුතු සඳහා රුපියල් මිලියන 5000ක් රජය වෙන් කර ඇත.
එසේ වුවත් ජනතාවගේ අතමිට සරුවීමක් සිදුවී නැතැයි දිගින් දිගටම චෝදනා නැගෙයි.
වත්මන් රජය බලයට පත්වූ පසු තමාගේ පසුම්බිය වේගයෙන් පිරී යනු ඇතැයි බලාපොරොත්තු තබාගෙන සිටි ඡන්දදායකයින් දිගින් දිගටම සිටින්නේ එම බලාපොරොත්තු කඩකරගත් මුහුණින් යුතුවය. ජනතාවට දැනෙන සහන එදිනෙදා ජීවන වියදම් ප්‍රශ්නයේදී ලැබී නැත. ජනතාව ඒ පිළිබඳව අතෘප්තිකරව සිටියදී රජය සිටින්නේ ඉතිහාසයේ වැඩිම බදු ආදායම එකතුකර ගැනීමේ ප්‍රීති ප්‍රමෝදයනි. වසර අනූ තුනක දේශීය ආදායම් දෙපාර්තමේන්තු ඉතිහාසයේ රැස්කළ වැඩිම බදු ආදායම වූ රුපියල් බිලියන 2203ක් උපයා ගත් බව රජය සඳහන් කරයි.
ජනතාවගේ ජීවන වියදම් බර ඉහළ යාම සහ රජයේ බදු ආදායම ඉහළ යාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝගවල ප්‍රතිඵලයකි. විදුලි බිලද යළිත් සියයට 15%කින් ඉහළ නැංවීමට විදුලිබල මණ්ඩලය අවසර ඉල්ලා ඇත. විදුලි බිල වැඩි කිරීම මූල්‍ය අරමුදලේ නිර්දේශයකි. වැටුණු ආර්ථිකය සුවපත් කිරීමට මූල්‍ය අරමුදලේ පිහිට පැතුවද එයින් සුවපත් වන්නේ පොදු ජනතාවගේ ආර්ථිකය නොවන බව එයින් පෙනෙයි.
ආර්ථිකය බංකොලොත්වීමේ අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මග පෙන්වීම මත රටේ ආර්ථීකය හසුරුවන අතර මූල්‍ය අරමුදල ලබාදුන් ණය පහසුකමේ පස්වැනි වාරිකය මෙරටට ලැබී තිබේ. රට බංකොලොත් වූ අවස්ථාවේ ඉහළ නැග තිබූ බඩු මිල සෑහෙන දුරකට අඩුවී ඇතත් මෙයටත් වඩා ඇතැම් බඩු වර්ගවල මිල අඩු කළ හැකි බව ජනතාවගේ අදහසය. ඇතැමුන් විමසන්නේ බඩු මිල වැඩිවීම හා බදු වැඩි කිරීම සිදුවන්නේ මූල්‍ය අරමුදලේ මෙරට ව්‍යාපෘතිය අසාර්ථක නිසා ද යන්නය.
මේ වනවිට කෘෂිකාර්මික අපනයනවලින් ශ්‍රී ලංකව යම් සාධනීය ප්‍රතිඵල ලබමින් පවතී. ඉතිහාසයේ පළමු වතාවට පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් මෙරට උපයන ලද විදේශ විනිමය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවා ගොස් ඇත. මෙය සුවිශේෂී ජයග්‍රහණයකි. මෙරට නිෂ්පදනය කෙරෙන කාර්මික නොවන අමුද්‍රව්‍ය යොදා ගන්නා අපනයන සඳහා වැඩි ඉඩකඩක් ජාත්‍යන්තරයෙන් ලබාගත හැකිය. තේ සහ පොල් එයින් ප්‍රධාන අපනයන දෙකකි. පොල් අපනයන ආදායම තරමටම පලතුරු අපනයනය මෙයට වඩා දියුණු කළහොත් ජාතික ආදායමට එය මහත් රුකුලක් වනු ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සීමා කිරීම් නිසා ජනතාවට එදිනෙදා පාරිභෝජන භාණ්ඩ මිල අඩු කිරීමට රජයට නොහැකි නම් තෝරාගත් දේශීය අපනයන තව තවත් වැඩිදියුණු කිරීමේ ක්‍රියාමාර්ගයකටවත් රජය යා යුතුය.
එදිනෙදා ජීවන වියදම අඩු කරදීමට රජය මැදිහත්වීමේ ක්‍රියාමාර්ගයක් ජනතාව බලාපොරොත්තු වෙති. රජයට ඡන්දය දුන් පාක්‍ෂිකයා පමණක් නොව විරුද්ධ පාක්‍ෂිකයාද ජීවන වියදම අඩු වන්නේ නම් කැමැත්තෙන් සිටියි. ඍජු බදු හා වක්‍රබදු මගින් රජයේ ආදායම් වැඩි කරගැනීම ගැන උදම් අනන ආණ්ඩුවට ජනතාවගේ එදිනෙදා කෑම වේලේ වියදම අඩු කරදීමට ක්‍රියාමාර්ගයක් නොමැත්තේ ද?
නොඑසේනම් ඒ බව නොදන්නේ ද? අලුත් පාසල් වාරය ඇරඹෙද්දී පාසල් යන දූ දරුවන් සිටින මව්පියන්ට පාසල් පොත් ලැයිස්තුව හා ඇඳුම් පැලඳුම් සපයාදීමද විශාල බරක් බවට පත්ව තිබේ. ඖෂධ හා ඇඳුම් පැළඳුම්ද ඇත්තේ ඉහළ මිලකය. ජීවන බර අඩුකිරීම යනු ආහාර මිල අඩු කිරීම පමණක් නොව මේ සියල්ලමය. එහෙත් ආණ්ඩුව එවැනි වෑයමක් දරන බවක්වත් නොපෙනේ.
ලෝක බැංකුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සැලකෙනුයේ තුන්වැනි ලෝකයේ රටවල රෝගී ආර්ථීකය ගොඩ නැංවීමට ස්වේච්ඡාවෙන් උපදෙස් ලබාදෙන වෛද්‍යවරුන් දෙදෙනා හැටියටය. ණය ලබා ගැනීමට ඔවුන් දෙන උපදෙස් පිළිපැදීම 1965 සිට දිගටම ලංකාවේ අත්දකින්නට ලැබිණි. 1972න් පසු අයවැය ලේඛන සැකසුණේ නිතරම මූල්‍ය අරමුදලේ උපදෙස් මතය. එජාපය 1994 බලයෙන් ඇද වැටීමට පෙර 1992 හා 1993 අයවැය ලේඛන දකම සැකසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඍජු උපදෙස් මතය. එමගින් ණය ලබා නොගත් බොහෝ අවුරුදුවලත් මුදල් අමාත්‍යංශ නිලධාරීන් සෑදී මෙයට පෙරද අවස්ථා ගණනාවක්ම මූල්‍ය අරමුදල ලංකාවේ ආර්ථිකය ගොඩ ගැනීම සඳහා අනවශ්‍ය වියදම් සීමා කරන මාර්ගෝපදේශන නිකුත් කළේය. 1977 දී ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය සඳහා මූල්‍ය අරමුදලේ පිහිට පැතූ අවස්ථාව ඉන් එකකි. මහවැලි සංවර්ධන කඩිනම් සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා යුරෝපීය රටවල් ගණනාවක්ම ජයවර්ධන රජයට සහාය පල කළ අතර ඔවුන්ගේ ඉල්ලීම වූයේ මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව ලංකාවේ ආර්ථික කටයුතු ගැන සහතිකයක් ලබා දිය යුතු බවය. එම රටවලට අවශ්‍ය වූයේ තමන් ලබාදෙන ආධාර අපතේ නොයන බවට සහතිකයක් සහ ඉන්පසු ශ්‍රී ලංකා රජයේ අනවශ්‍ය වියදම් නතර කිරීමේ සහතිකයකි.
1977 එජාප රජයේ මංගල අයවැය යෝජනාවලියෙන් මහා පරිමෘණ සංවර්ධනයකට පාදම දැමුණි. කටුනායක නිදහස් වෙළෙඳ කලාපය ආරම්භ කිරීම, මහවැලිය වසර හයකින් නිම කිරීම, ගම්උදා වැඩපිළිවෙළ ඇතුළු මහා සංවර්ධන යෝජනාවලියක් එමගින් ආරම්භ විය. විපක්‍ෂය පෙරලා චෝදනා කළේ මෙම ව්‍යාපෘති සඳහා ලෝකයට ණය වීම මගින් රටේ උද්ධමනය වැඩිවන බවටය. සියයට 25%කින් උද්ධමනය වැඩි වූ බවටද චෝදනා නැඟුණි. කෙසේ හෝ සංවර්ධනයද සිදුවිය. උද්ධමනයද වැඩිවිය.
ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිසිම අවස්ථාවක සහනාධාර ලබාදීම අනුමත කළේ නැත. මෙරට ආණ්ඩු ලෝක බැංකුවේ සරණ ගිය 1960 දශකයේ සිට දිගටම සිදුවූයේ එම ප්‍රතිපත්තියය. එයට පෙර 1953 දී ජේ.ආර්. මුදල් ඇමැති සමයේ නොමිලේ ලබාදුන් හාල් සේරු දෙක කපා හැරීමේ සිදුවීමද ලෝක බැංකුවේ උපදෙස් මත ඩඩ්ලි සේනානායක රජය මගින් ක්‍රියාත්මක කළ ප්‍රතිපත්තියක් විය. 1972දී සමගි පෙරමුණු රජය විදේශයෙන් කළ ආනයන නතර කළ අවස්ථාවේ ලෝක බැංකුව එයට සතුට පළ කළා මිස විරුද්ධ වූයේ නැත. එම රජයට විශාල වශයෙන් ණය ආධාර ලබාදීමට ද ලෝක බැංකුව කටයුතු කළේය.
1977 එජාප රජය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළේ ලෝක බැංකුවේ වුවමනාව මත සැකසූ ආර්ථික ප්‍රතිපත්තියකි. මුදල් ඇමැති රොනී ද මැල් ඉදිරිපත් කළ මංගල අයවැය සම්පූර්ණයෙන්ම ලෝක බැංකුවේ උපදෙස් මත සැකසූ අයවැයක් විය. ණය ආධාර ලබාදීමට නම් ජනතාවට ලබාදී ඇති සහනාධාර කපා හැරිය යුතු බවට කොන්දේසි ලෝක බැංකුවෙන් පනවා තිබිණි. 1977 සිට වසර දහහතක් තිස්සේම එජාප රජය ක්‍රියාත්මක කළේ ලෝක බැංකුවේ හා මූල්‍ය අරමුදලෙන් සකසා දුන් අයවැය යෝජනාවලියකි. එහෙත් ඒ රජය දෙපැත්ත සමබර කර ගැනීමට සමත් විය.
මූල්‍ය අරමුදල රටේ ආර්ථිකය ගොඩ දමනතුරු බලා සිටියාට රට සංවර්ධනය වන්නේ නැත. ඒ සඳහා ජනතාවගේත් රජයේත් කැපවීම අත්‍යවශ්‍යය. ලෙඩකුට දොස්තර බෙහෙත් දුන් පමණින් ලෙඩය සුව නොවන්නේය. ලෙඩය සුවවීමට නම් ලෙඩා බෙහෙත් පානය කළ යුතුය. මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ආර්ථීකය හැසිරවීමට මග පෙන්වූ පමණින් ආර්ථීකය ශක්තිමත් වන්නේ නැත. ඒ සඳහා රජයට ආදායම් උපදවන වැඩපිළිවෙළක් අවශ්‍යය. අද වනතුරුත් ශ්‍රී ලංකා රජය ආදායම් උපදවන කටයුතුවල නිරත නොවේ. ලබන එකම ආදායම ජනතාව සූරා ලබා ගන්නා බදු පමණය. ඛනිජ තෙල් ආනයනය කර විකිණීමෙන් රජය ලබන අතිවිශාල ලාභය තවමත් මෙම රජය යටතේත් නොවෙනස්ව පවතී. වත්මන් රජය විපක්‍ෂයේ සිටියදී එවකට පැවැති ආණ්ඩුවලට එරෙහිව ප්‍රබල මහජන මතයක් ගොඩනගන ලද්දේ රජය වැඩි මිලට තෙල් විකුණා අධික ලාබයක් ලබන බවත් තම රජයක් යටතේ ඛනිජ තෙල් සඳහා පනවා ඇති බදු අඩු කරන බවත් පවසමිනි. වත්මන් රජයේ ජනප්‍රිය සටන් පාඨයක්වූ එය රජය බලයට පත්වූ පසු ඉටු නොකළ පොරොන්දුවක් බවට පත්විය. පැවසූ පරිදි ඉන්ධන මිල අඩු කළහොත් එදිනෙදා ජීවන වියදම අඩු කිරීම සඳහා ජනතාවට එය මහත් සහනයක් වනු ඇත. මූල්‍ය අරමුදල එවැනි සහන ලබාදීමට විරුද්ධය. එම විරුද්ධතාව ප්‍රයෝජනයට ගනිමින් රජය තෙල් මිල අඩු නොකරන අතර එමගින් ජනතාව දැඩි පීඩනයකට පත්ව සිටියි.
මෙරට දේශපාලනය හැඩගැසී තිබුණේ මන්ත්‍රීවරයා ජාවාරම්කාරයකු කරනු පිණිසය. ඇමැති පදවිවල වාසි ඇමැති පදවි සහ වාසි නොවන අමැති පදවි යැයි දෙවර්ගයක් තිබේ. මහා පරිමාණයෙන් මුදල් සංසරණය වන විදුලිය, ඛනිජ තෙල්, වෙළෙඳ, සෞඛ්‍ය, කෘෂිකර්ම, ධීවර හා මහා මාර්ග වැනි ඇමැති පදවි වාසි අමාත්‍යාංශය. බුද්ධශාසන, සංස්කෘතික, සමුපකාර, පළාත් සභා වැනි අමාත්‍යාංශ අවාසි ඇමැති පදවිය. එම අමාත්‍යංශවලට මහා පරිමාණයෙන් මුදල් සංසරණය වන්නේ නැත. බොහෝ දේශපාලකයන් බලාපොරොත්තු වන්නේ වාසි අමාත්‍යාංශයක් ලබා ගන්නටය. මෑත වසර තිහක පමණ කාලය තුළ විශේෂයෙන්ම ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට පසුව පත්වූ ජනාධිපතිවරුන් දැඩි අසීරුතාවට පත්වූයේ මැතිවරණය ජයගැනීමේදී නොව මැතිවරණය ජයගෙන ඇමැති මණ්ඩලය සැකසීමේදීය. පක්‍ෂ නායකයාට වඩාත් සමීප එමෙන්ම ඔහුට මිල මුදලින් වැඩියෙන්ම උපකාර කර තිබෙන දේශපාලකයන් බලාපොරොත්තු වන්නේ තමාට ලැබෙන අමාත්‍යාංශය වාසි අමාත්‍යාංශයක් විය යුතු බවය. එවැනි අමාත්‍යාංශයක් නොලැබෙන්නේ නම් ලැබෙන අමාත්‍යංශය භාර නොගෙන සිටි බලපුළුවන්කාර දේශපාලකයන් ගැන අවස්ථා කීපයක්ම ජනමාධ්‍යයේ පළ විය. එම දේශපාලකයන් තමන්ගේ හිතවතුන්ට රැකියා ද හිතවත් ව්‍යාපාරිකයන්ට බදු ලිහිල් කර ආදායම් වැඩිකර ගන්නා මාර්ග ද පොරොන්දු වී සිටින්නේ තමාට ලැබෙන අමාත්‍යංශයේ ආනුභාවයෙනි. එය නොලැබෙන විට පක්‍ෂ නායකයා සමග අමනාප වන අතර විපක්‍ෂය ආණ්ඩුව පෙරැළීමට උත්සාහ ගන්නා විට මුලින්ම විපක්‍ෂයට යන්නේ මෙවැනි දේශපාලකයන්ය. ඔහුගේ ජාවාරමට විපක්‍ෂ නායකයා එකඟ වූ විට ඔහු තමා සිටි ආණ්ඩුව පෙරළා දැමීමට ඡන්දය පාවිච්චි කරයි. අලුතෙන් බිහිවන නව රජයේ වාසිදායකම අමාත්‍යංශය ඔහුට ලැබෙයි. අප මෙසේ පවසන්නේ ඉකුත් මහා මැතිවරණයේදී නිවී ගිය මෙවැනි දේශපාලක බලවේග යළිත් ගිනි පුළිඟු විහිදමින් සිටින නිසාය. රජය අයි.එම්.එෆ්. සරණං ගච්ඡාමි යන සික්ෂා පදය දිනපතාම මතුරමින් සිටියහොත් ජන විඥානය අවුස්සා යළිත් මහා ගිනි ගොඩක්ව දැල්වීමට මෙම ගිනිපුළිඟුවලට හැකියාව තිබේ. මෙරට ජනතාව මෙන්ම දේශපාලකයන්ද සැමදාම බැලුවේ බඩ ගැන මිස රට ගැන නොවේ. බඩ ගැන බලමින් සිටින ජනතාවට අභිධර්මය දේශනා කිරීමෙන් ප්‍රතිඵලයක් නැත. පළමුව ඔවුන්ගේ බඩ පුරවා සිටිය යුතුය. අභිධර්මය දේශනා කළ යුත්තේ එය තේරුම් ගත හැකි අයටය. මූල්‍ය අරමුදල සතුටු කරවීම පමණක් රජයේ ප්‍රතිපත්තියක් වුවහොත් ජනතාවගේ කුස ගින්න නමැති ගින්න ඉතා ඉක්මනින් ඇවිළී යා හැකිය.
එවැනි ගින්නක ප්‍රතිඵලය දේශපාලන වශයෙන් අති භයංකර වනු ඇත. රජයට ඒ පිළිබඳ අවබෝධයක් ඇති බවක් නම් පෙනෙන්නට නැත.
ප්‍රේමකීර්ති රණතුංග
COMMENTS