මෙවර කිවිදා දැක්ම ලියැවෙන්නේ රටක් ලෙස අප මුහුණ දෙන ගැටලු එකක් දෙකක් නොව, එකිනෙකට බැඳී ගැටුණු සංකීර්ණ ජාලයක් බවට පත්ව ඇති මොහොතකය. අද ශ්‍රී ලංකාවේ දේශපාලන, ආර්ථික, අධ්‍යාපන සහ රාජ්‍ය පාලන ගැටලු වෙන් වෙන්ව විශ්ලේෂණ කළ හැකි මට්ටම ඉක්මවා ගොස් ඇත. ඒවා එකිනෙකට ඇලී, එකක් විසඳන්න ගිය විට තවත් එකක් තදින් ගැටෙන “ගැටලු” පද්ධතියක් බවට පත්ව ඇත.
එවන් තත්වයක් විස්තර කිරීමට බුදුන් වහන්සේ භාවිත කළ “අන්තෝ ජටා - බහි ජටා” යන රූපකය මෙවර වඩාත් නිවැරැදිව ගැළපෙයි. අභ්‍යන්තරයෙන් විසඳා නොගත් ගැටලු, බාහිර ලෝකයට තවත් විශාල අර්බුද ලෙස පෙනී යන ආකාරය අද අපි දේශපාලන ක්ෂේත්‍රයේ පැහැදිලිවම දකින්නෙමු.
ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ප්‍රායෝගිකව බිඳ වැටීමත් සමග, යළිත් වරක් “මේ ආණ්ඩුවට ඇත්තෙන්ම වැඩ කරන්න පුළුවන්ද?” යන ප්‍රශ්නය සමාජය තුළ දැඩිව මතුවී තිබේ. මෙය අධ්‍යාපනයට පමණක් සීමා වූ ගැටලුවක් නොවෙයි. එය ආණ්ඩුවක් ලෙස බලය භාවිත කිරීම, රාජ්‍යය මෙහෙයවීම සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පිළිබඳ මූලික ගැටලුවකි.
බලය තිබුණත්, ක්‍රියාශීලීත්වය නැති ආණ්ඩුවක් යන්න අද බොහෝ දෙනා භාවිත කරන විවේචන වාක්‍යයකි. බැරිම වුණොත්, ආණ්ඩුව කරන එකම දෙය වන්නේ ජනාධිපතිවරයා ලවා හොඳ කතාවක් කරවීමයි. සෑම මාසයකම වගේ ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව අමතන්නට සිදුවී තිබෙන්නේ මේ නිසාය. ඒ කතා ඉතා හොඳය. වචන නිසි තැන යොදා ගනී. හොඳ අවධානයක් ඒවාට ලබා ගත හැකි ආකාරයේ බර තැබීමක් ඒවා තුළ තිබේ. එහෙත් ප්‍රශ්නය එතැනින් පසුය. එම කතා රාජ්‍ය ක්‍රියාවලියකට පරිවර්තනය වෙන්නේ කෙසේදැයි කවුරුවත් දන්නේ නැති ගානය. කතාවෙන් පසුව ආයිත් කතාවක් කරන තෙක් ඒ මුල් කතාවේ තිබූ කිසිවක් ක්‍රියාත්මක වන්නේ නැති ගානය.
රාජ්‍ය පාලනය කියන්නේ රාජයයක් ලබා ගැනීමට අරගල කිරීමට වඩා සංකීර්ණ ක්‍රියාවලියක් බව තේරුම් ගැනීම මෙහිදී ඉතාමත් වැදගත්ය. එහිදී තේරුම් ගත යුතු ප්‍රධාන කාරණයක් වන්නේ රටට අවශ්‍ය ප්‍රතිපත්ති දිශානතිය’ හෙවත් (policy guidance) එකක් ලබාදීම ආණ්ඩුවක ප්‍රධානතම වගකීමක් බවයි. වත්මන් ආණ්ඩුවේ මම දකින එක දුර්වලකමක් වන්නේ ප්‍රතිපත්ති දිශානතිය ගැන හුඟක් දේවල් කතා කළාට එක ප්‍රතිපත්තියක් තුළට යන්නට යම් ආකාරයක බියක් සිතේ තියාගෙන වැඩ කරන බවයි.
උදාහරණයක් ලෙසින් ආර්ථික කාරණය ගන්න. මේ වන විට රටේ ක්‍රියාත්මක වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා විසින් හඳුන්වා දුන් අයිඑම්එෆ් ප්‍රතිපත්ති මගින් හසුරුවන ආර්ථික ක්‍රියාදාමයකි. 2022 වන විට රට තිබූ තත්වය සමග සසඳන විට ඒ වැඩසටහනින් තොරව ඉදිරියට යාම අමාරු කාරණයක් විය. ඒ නිසා ඒ ආණ්ඩුව ඒ ආර්ථික වැඩසටහනට ගමන් කළ බව පැහැදිලිය. එහෙත් වත්මන් ආණ්ඩුව ජනතාවට පොරොන්දු වූයේ රනිල්ගේ ආර්ථික වැඩසටහනින් එළියට ගොස් අලුත් ආර්ථිකයක්, පොහොසත් රටක් හදන බවයි. ඒ සඳහා ජනතාවගේ ජන වරම ලැබූ නමුත් ඒ කියන අලුත්’ වැඩ එකක්වත් බිමට වැටෙන්නේ නැති තරමට ආණ්ඩුවේ ප්‍රතිපත්ති දිශානතිය අවුල් සහගතය.
හදිසියේ අයිඑම්එෆ් එකෙන් එළියට යා නොහැකි යැයි මොහොතකට කල්පනා කළත් රටේ ඉදිරි ආර්ථිකය සම්බන්ධයෙන් හෝ ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් හෝ නව අදහසක් ගෙන එන්නට ආණ්ඩුවට තවමත් හැකියාවක් ලැබී නැත. මෙයට හේතුව අරයා - මෙයා නිසා’ යැයි කීමේ කිසිදු වැඩක් නැති බව මගේ අදහසය.
ආණ්ඩුවේ “ලයින් එක”
“ආණ්ඩුව ලැබුණාට රාජ්‍යය ලැබුණේ නැහැ” යනුවෙන් ආණ්ඩුවේම ප්‍රධානීන් ප්‍රසිද්ධියේ කතා කිරීම, එක් අතකින් බැලූ විට ඉතාම බරපතළ ප්‍රකාශයකි. මෙය තමන්ගේම අසාර්ථකත්වය පිළිගැනීමක් ද, නැතිනම් රාජ්‍ය යාන්ත්‍රණය පිළිබඳ දුර්වල අවබෝධයක් ද යන්න ගැඹුරු ප්‍රශ්නයකි. පසුගිය දිනක ලාල් කාන්ත ඇමැතිතුමා ද මේ කාරණය කියා තිබුණි. මේ කියන්නේ බලයක් තිබුණාට රාජ්‍යයේ අය ඒ බලයට අවනත නැතැයි කියන එකදැයි දන්නේ නැත. ඒත් මේ කාරණය ගැන යම් අදහසක් ප්‍රකාශ කිරීම ඉතාමත් වැදගත් ය.
රාජ්‍යය කියන්නේ කැබිනට් මණ්ඩලය හෝ මන්ත්‍රී මණ්ඩලය පමණක් නොවේ. එය නීතිමය ව්‍යුහය, පරිපාලන සේවාව, මූල්‍ය ආයතන, විගණන පද්ධති සහ ජනතා විශ්වාසය එකට බැඳුණු සංකීර්ණ ව්‍යුහයකි. ආණ්ඩුවක් ලෙස බලයට පැමිණෙන විට ඒ සියල්ල එකවර වෙනස් කළ නොහැකි බව සත්‍යයකි. එහෙත් ඒ තුළ වැඩ කිරීමේ හැකියාව, ඒවා පරිවර්තනය කිරීමේ දේශපාලන දක්ෂතාව සහ පැහැදිලි දිශානතියක් තිබිය යුතුය.
අද දකින්නේ, ආණ්ඩුවට තමන්ගේම “ලයින් එකක්” නොතිබීමයි. එක් දිනක් රාජ්‍යය ප්‍රතිසංස්කරණය කරන කතා කරයි. තවත් දිනක් රාජ්‍යය ඉවසාගෙන යා යුතු බව කියයි. මේ දෙබිඩි පණිවිඩ නිසා, රාජ්‍ය නිලධාරීන්ටත්, සමාජයටත් ආණ්ඩුව කරන්න යන්නේ කුමක්දැයි පැහැදිලි වන්නේ නැත.
එක වෙලාවක ආණ්ඩුව වටේට රටේ සිටින ප්‍රබලම ව්‍යාපාරිකයෝ සහ තැරැව්කාරයෝ කැරකෙති. ඒ අය එකතු කරගනිමින් බරපතළ ආර්ථික වර්ධනයක් හදන ආකාරයේ දේවල් කරන බවක් පෙන්නුම් කරයි. ඊළඟ දිනයේ ඒ පැත්තට සම්පූර්ණයෙන්ම වෙනස් කතාවක් කොහේ දී හරි කියා දායි. මේ අවුල්සහගත තත්වය නිසා ආණ්ඩුව කරන්නේ කුමක්දැයි ඒ අයට හෝ රටේ අනෙක් අයට තේරෙන්නේ නැත.
එක නායකයකු කියන්නේ කවුරු විරුද්ධ වුණත් මේ ප්‍රතිසංස්කරණ කරනවා’ කියාය. ඊළඟ පැයේ අනෙක් නායකයා කියන්නේ ‘ප්‍රතිසංස්කරණ වසරකට කල් දානවා’ කියාය.
කැබිනට් මණ්ඩලයේ සමහර තීරණ සමාජ සුබසාධනය ඉහළින්ම පෙන්නුම් කෙරෙන ඒවාය. ඊළඟ සතියේ සමහරක් කැබිනට් තීරණ ඒ පදනමට සම්පූර්ණයෙන්ම විරුද්ධ ඒවාය. මේ පැටලුම ලිහා ගන්නේ නැතිව ආණ්ඩුව කරන්නට යන්නේ කුමක්දැයි කාටවත් තේරෙන්නේ නැත.
ජනාධිපතිතුමාගේ උතුරේ කතාව
ජනාධිපතිතුමා උතුරේ කළ කතාවට විශාල ලෙස පහර වැදෙමින් තිබේ. මෙහි විශේෂත්වය වන්නේ එම විවේචන එකම දේශපාලන කණ්ඩායමකින් පමණක් නොව විවිධ මතවාද නියෝජනය කරන පිරිස්වලින් එල්ල වීමයි. මේ කතාවේ ඇති බරපතළම කාරණය වන්නේ උතුරට එකක් - දකුණට වෙන එකක්’ කියන්නට යාම ගැන සමාජයේ ඇති වී තිබෙන විවේචනයයි. ආණ්ඩුව එක වෙලාවක පෙනී සිටින්නේ ඉතිහාසයේ පහළ වූ ‘ඉතාමත් භක්තිමත් බෞද්ධ පාලනය’ තිබෙන්නේ තමන්ගේ ආණ්ඩුවේ වගේ හැඟීමක් ජනිත වන ආකරයටය. පොඩි දෙයක් වුණත් මල්වතු - අස්ගිරි නාහිමිවරුන්ට ඒ කාරණය සැළ කරන ආකාරයේ සුපේෂල බෞද්ධ පාලනයක් තිබෙන බවක් එක පැත්තකින් පෙන්වනවාය. අනෙක් පැත්තෙන් පෙන්වන්නේ ආණ්ඩුව එක ආගමකට විශේෂයක් දක්වන්නේ නැති සර්ව ආගමිකවාදී’ එකක් බවය. ආණ්ඩුවේ තවත් සමහරුන් පෙන්නුම් කරන්නේ ඒ අය කිසිම ආගමකට අයිති නැති නිරාගමික’ පන්නයේ අය බවයි. මේ පරස්පරය හිතේ තියාගෙන මහනුවරට එකක්, යාපනයට තව එකක්’ කියන්නට ගිය විට සිදු වන්නේ මේ වගේ අලකලංචි ය.
රටේ ජනවර්ග අතර ගැටලුකාරීත්වයක් යළි ඇති වෙන්නට ඉඩ නොදිය යුතු යැයි කියන එක හොඳය. එවැනි ජනවර්ග ගැටුමක් යළි ඇති වෙන්නට ඉඩ දිය යුතු නැත. එසේම සියලු ජන වර්ගවල අපේක්ෂා ගැටුමකින් තොරව ඒකීය රටක් තුළ ස්ථානගත කිරීමත් අවශ්‍යය. මෙය අපි හැමෝගෙම රටක් බවට ඒත්තු යන පරිදි වැඩ කිරීමත් අවශ්‍ය ය. එහෙත් උතුරට එකක් කියා දකුණට තව එකක් කියමින් චාටු කතාවලට දැන් දේශපාලනයේ කිසිම ඉඩක් නැති බව තේරුම් ගැනීම ඉතාමත් වැදගත් ය. අද විශ්වාසය ගොඩනැගෙන්නේ කතාවෙන් නොව ක්‍රියාවෙන්ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන
ආණ්ඩුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ කතාව ද මේ වන විට නැවතත් සාකච්ජාවට එක් වෙමින් තිබේ. ඒ අය ස්වකීය පොරොන්දු පත්‍රයේ කියා ඇත්තේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනෙන බවයි. එහෙත් ඒ සඳහා සූදානමක් තිබේ දැයි කවුරුවත් සම්පූර්ණයෙන්ම දන්නේ නැත. පසුගිය දිනක අගමැතිනිය පාර්ලිමේන්තුවට කියා තිබුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවයි. ඒත් එතුමිය එසේ කීවාට ඇත්තටම වෙන්නේ කුමක්දැයි රටට පැහැදිලි නැත. එසේම රජයේ සමහර නායකයෝ එක් අවස්ථාවකදී බලය බෙදාහැරීම ගැන කතා කරති. තවත් අවස්ථාවකදී ශක්තිමත් මධ්‍යම රාජ්‍යයක් ගැන කතා කරති. මෙම දෙක එකවර කරගත හැකි ද යන්න පිළිබඳ පැහැදිලි දේශපාලන “ලයින් එකක්” නොපෙනේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නීති ලේඛනයක් පමණක් නොවේ. එය දේශපාලන සමාජ ගිවිසුමකි. එවන් ගිවිසුමක් සකස් කිරීමට නම්, ආණ්ඩුව තුළම පැහැදිලි එකඟතාවක් තිබිය යුතුය. එහෙත් අද දකින්නේ, එම එකඟතාව නොමැති අස්ථිර ගමනකි.
මේ තත්වය තුළ රටේ සමහර සිවිල් සංවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නිර්මාණයක් ගැන අලුත් කතිකාවක් පටන් ගෙන තිබීම ඉතාමත් වැදගත් ය.
විගණකාධිපති පත් නොකිරීම
රාජ්‍ය මූල්‍ය ස්වාධීනත්වය (Fiscal sovereignty) ගැන කතා කරන ආණ්ඩුවක්, එය ක්‍රියාත්මක කරන ප්‍රධාන ආයතනයක් වන විගණකාධිපති දෙපාර්තමේන්තුවට නායකත්වය පත් කිරීමට අසමත් වීම, හුදු පරිපාලන ප්‍රමාදයක් ලෙස බැලිය නොහැකිය. විගණකාධිපතිවරයා වගකියන්නේ අයිඑම්එෆ්වලට නොව, පාර්ලිමේන්තුවට සහ ජනතාවටය.
එක් පැත්තකින් දූෂණයට එරෙහිව සටන් කරන කතා කරමින්, තවත් පැත්තකින් රාජ්‍ය මුදල් විගණනය කරන මූලික තනතුර හිස්ව තැබීම, විකාරසහගත දේශපාලන ක්‍රියාවකි. මෙය COPE, COPA වැනි පාර්ලිමේන්තු කමිටු දුර්වල කරයි. අයිඑම්එෆ් වැඩසටහනේ transparency සහ accountability යන වචන කඩදාසි මට්ටමට පත් කරයි.
මෙයත් අන්තෝ ජටා - බහි ජටාය. අභ්‍යන්තරව රාජ්‍ය මුදල් පාලනය ශක්තිමත් කිරීමට අසමත් වීම, බාහිර ලෝකයට පෙනෙන්නේ රටක් ලෙස අපටම අපගේ මුදල් පාලනය කර ගත නොහැකි බවක් ලෙසය.
අද ශ්‍රී ලංකාව මුහුණ දෙන ප්‍රධාන ගැටලුව වන්නේ, ගැටලු නොමැතිවීම නොව, ගැටලු විසඳා ගැනීමට අවශ්‍ය දේශපාලන ක්‍රමවේදය නොමැති වීමය. බලය ඇත. කතා ඇත. නීති ඇත. එහෙත් ඒවා එකම දිශාවකට ගලායන ක්‍රියාකාරීත්වයක් බවට පත් වී නැත. “අන්තෝ ජටා - බහි ජටා” යනුවෙන් කියන්නේ මේ තත්වයයි.
අභ්‍යන්තර ජටා කපන්නේ නැති ආණ්ඩුවක්, බාහිර ජටා නිර්මාණය කිරීමෙන් මිස, රට ගොඩ නගන්නේ නැත.
(***)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd