අධ්‍යාපන අවුල සහ විගණකාධිපති අවුල

ආණ්ඩුව සහ විපක්ෂ අතර මේ දිනවල කැපී පෙනෙන අංශ දෙකක් සඳහා අරගලයක් මතුව තිබේ. ඉන් එකක් නම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආශ්‍රිතවය. අනෙක විගණකාධිපති තනතුර සම්බන්ධ කඹ ඇදීමය.

හයවැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට අසභ්‍ය වෙබ් අඩවියක නමක් ඇතුළත් වීම සම්බන්ධයෙන් විපක්ෂය චෝදනා කරන්නේ අධ්‍යාපන ඇමැතිනිය වන අගමැතිනි ආචාර්ය හරිනි අමරසේකර මෙණෙවියටය. මේ පිළිබඳව අධ්‍යාපන ඇමැතිනිය ලෙස හරිනි අමරසේකරට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ද විපක්ෂය තීන්දු කර ඇත්තේ ඇය සිය වගකීම පැහැර හැර ඇති බවට චෝදනා කරමිනි. මේ පිළිබඳ විපක්ෂයේ පක්ෂනායක රැස්වීමක් ඉකුත් බදාදා විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්විණි. විපක්ෂ නායක සජිත් ඇතුළුව දයාසිරි ජයසේකර, චාමර  සම්පත් අජිත් පී. පෙරේරා, මුජිබ් රහුමාන් රංජිත් මද්දුම බණ්ඩාර, නිසාම් කාර්යප්පර්, අනුරාධ ජයරත්න, ජගත් විතාන, ඩී.වී. චානක ඇතුළු විපක්ෂයේ පක්ෂ ගණනාවක මන්ත්‍රීවරු සහභාගී වී සිටියහ.

‘‘අධ්‍යාපන ඇමැතිනිය තමන්ගේ වගකීම පැහැර හැරලා...

“ළමා පරපුරට මෙහෙම අසභ්‍ය දේවල් කාවද්දන්න හදන්නෙ පාසල් පොතෙන්. අධ්‍යාපන ඇමැතිනිය නොදැන මෙහෙම දෙයක් වෙන්න බෑ. අපි මේ වගකීම පැහැර හැරීම ගැන විශ්වාසභංග යෝජනාවක් ගේන්න ඕනෑ.’’ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේය. එහි රැස්ව සිටි සියලු පක්ෂවල නායකයෝ එම යෝජනාව අනුමත කළහ.’’ මෙයාල මුල පටන්ම සමලිංගිකත්වය ප්‍රවර්ධනය කරන වැඩ සටහන්වල ඉන්න බව රටට පෙන්නුම් කළා. ඒක නීතිගත කරන්න තමා පොත්වල පවා ඇතුළු කරල මේ කටයුතු කරන්නෙ. මේකෙ විහිළුව තමයි එයාලම පොත් හදල මේ ගැන  පරීක්ෂණයක් කරන්න අපි නෙවේ මේක කළේ කියල එයාලම සීඅයිඩී යනවා.’’ සජිත් කීවේය.

විශ්වාස භංගයට මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබාගැනීම ඒ මොහොතේම ආරම්භ විය. පළමුවෙන්ම අත්සන් කළේ විපක්ෂ නායකවරයාය. ඉන්පසු සෙසු මන්ත්‍රීවරු තම අත්සන් තැබූහ. මේ පිළිබඳ විධිමත් කෙටුම්පත මෙම සතිය අගවන විට පාර්ලිමේන්තුවට භාරදීමට නියමිතය. විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් දෙමළ සංධානය හැර අන් පක්ෂවල අත්සන් මෙයට ලැබී තිබුණි.

මෙහිදී ජගත් විතාන මන්ත්‍රීවරයා පැවසුවේ වත්මන් ආණ්ඩුව රටේ දරු පරපුරට කරන මෙම හිරිහැරය ගැන කන්නන්ගර ශ්‍රීමතාණන්ට පැමිණිලි කළ යුතු බවය.’’ නායකතුමනි අගමැතිනියට විරුද්ධව විශ්වාසභංගයක් අත්සන් කරනව වගේම රටේ නිදහස් අධ්‍යාපනයේ පියාට මේ ගැන පැමිණිලි කරමු. මතුගම කන්නන්ගර පිළිරුව ළඟ මේ සමලිංගික අධ්‍යාපනයට එරෙහිව කන්නලව්වක් තියමු. ‘‘ජගත් විතාන මන්ත්‍රීවරයා කියා සිටියේය. ‘‘ඒ අදහස හොඳයි... අපි ඒකට සහභාගි වෙමු. ‘‘විපක්ෂනායක සජිත් කීවේය. දයාසිරි ජයසේකර, දිලිත් ජයවීර ඇතුළු මන්ත්‍රීවරුන් ගණනාවක්ම එම අවස්ථාවට සහභාගී වීමට නියමිත අතර කන්නලව්ව සෙනසුරාදා පෙරවරුවට යොදා ගෙන ඇත.

මෙරට දේශපාලන ඉතිහාසය හාරා අවුස්සා බැලීමේදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ සෑම අවස්ථාවකම විපක්ෂයෙන් උද්ඝෝෂණ මතු වූ බව දැක ගත හැකිය. 1980 දශකය ආරම්භ​යේදී එම විරෝධතා ඉදිරියට ගෙන ගියේ ජනතා විමුක්ති පෙරමුණය. ජවිපෙ එදා සිට පැවැති සෑම  ආණ්ඩුවකටම එරෙහිව මේ සම්බන්ධයෙන් විරෝධතා දියත් කළ අතර වර්තමානයේ ජවිපෙ ආණ්ඩුවක් පවතින අවස්ථාවක විරෝධතා මතුව තිබීම දෛවයේ සරදමකි.

මෙම විරෝධතා දේශපාලන අංශ අතර පැතිර යද්දී අගමැතිනිය ඉවත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඇමැති මණ්ඩල සංශෝධනයක් සිදුකිරීමට තීරණය කර ඇති බවටද ආරංචි පළවිය. අධ්‍යාපන ඇමැතිනිය ලෙස අගමැතිනියටත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයාටත් ජනාධිපතිවරයා තදින් දෝෂාරෝපණය කර ඇති බවටද ආරංචි පැතිරුණි. ප්‍රතිසංස්කරණවලට අදාළ මෙම සිදුවීම මගින් රජය දැඩි අපහසුතාවකට පත්වූ බව කියමින් ජනාධිපතිවරයා මෙසේ දෝෂාරෝපණය කළ බව සඳහන් විය.

එහෙත් රජය පවසන්නේ එවැනි අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් දැනට කිසිසේත්ම අවශ්‍ය නොවන බවය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවටද ආණ්ඩුව පෙනී සිටියි. ඒ ඒ වයස් කාණ්ඩවලට අනුව පාසල් සිසුන් සඳහා ලිංගික අධ්‍යාපනය ලබාදෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවට මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අඩංගු කර තිබූ බවද ආණ්ඩුව කියයි. මෙම ගැටලුවට අදාළ පරීක්ෂණවලට ඉඩ සලසමින් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය එම තනතුරෙන් ඉල්ලා අස්වූ අතර විපක්ෂය පවසන්නේ ඇය නොව අගමැතිනිය ඉවත්විය යුතු බවය.

හරිනි ගැන කතානොකර ජනපති පාර්ලිමේන්තුවට

අගමැතිනියට එරෙහිව විපක්ෂය පාර්ලිමේන්තුවේදී විශ්වාස භංග යෝජනාවක් අත්සන් කිරීම ඇරඹූ ඉකුත් හත්වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවට පැමිණියේය. වෙනදා මෙවැනි අවස්ථාවක පාර්ලිමේන්තු සභා ගැබට පැමිණ දිගු කතාවක් කරන ජනාධිපතිවරයා එදින සභා ගැබට නොගොස් තමාගේ අමාත්‍යංශය වන මුදල් ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීමට සහභාගී විය. දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ වැඩ පිළිවෙළ සහ වගා හානි සඳහා වන්දි ලබා දෙන වැඩපිළිවෙළ එහිදී සාකච්ඡාවට ලක්විය. නිවැරදි දත්ත රැස්කර ගනිමින් වන්දි ගෙවීමේ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපතිවරයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

ශ්‍රීලනිපය නියෝජනය කරන මුල්පෙළේ බුද්ධිමතකු වන මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මෙම විරෝධතා උපමාකරන්නේ එකල අගමැති බණ්ඩාරනායකට එරෙහිව රටේ ධනවත් හා බලවත් පංතිය නැගී සිටි ආකාරයටය. “වර්තමාන පාලනය කියන්නෙ රටේ සාමාන්‍ය පංතියට බලය කඩාගෙන වැටුණු අවස්ථාව. මේක ගොඩක් අයට දරාගන්න බැරි ප්‍රශ්නෙ මේ තියෙන්නෙ. බණ්ඩාරනායකට ගැහුව ගස්ගෙඩි කඩන්න හිටිය අයට විශ්වවිද්‍යාලයට යන්න පාර කැපුවා කියලා. ඒ වැඩ පිළිවෙළට ආපු විරෝධය වගේමයි අද මේ ගහන්නෙත් ඒකෙම වෙනම වර්ෂන් එකක්... අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රටට අවශ්‍යයි. ඔය කියන අඩුපාඩු ටික අයින් කරලා අලුත් ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙනියන්න ඕනෑ..’’ මහාචාර්ය පියදාස සඳහන් කරයි.

මෙහිදී වඩාත් අගය කළ යුතු වන්නේ තමන් අතින් වැරැද්දක් සිදුවී නම් එහි වගකීම භාරගැනීමට සූදානම් බවට අගමැතිනිය කළ ප්‍රකාශයයි. අගමැතිවරයකු එවැනි ප්‍රකාශයක් ඉකුත් කාලයේ කළ බවට අපේ මතකයට නොනැගෙයි. එය අගය කළ යුතුය. එලෙසම මෙම ප්‍රතිසංස්කරණ මාලාවට අදාළ පත පොත අගමැතිනිය පිටුවෙන් පිටුව කියවන්නේ නැති බවද එහි වගකීම අදාළ අංශභාර නිලධාරීන්ගේ බවද ඕනෑම පුද්ගලයකුට තේරුම් ගත හැකිය. එසේනම් මෙහි ඇත්තේ විවිධ අංශ හවුල් කරගෙන අගමැතිනිය එම ධුරයෙන් ඉවත් කරන කුමන්ත්‍රණයක් ද? ඒ සඳහා ඇය නියෝජනය කරන කඳවුරෙන්ම යම් සහායක් ලැබෙන්නේ ද යන සැකය ජනමනසට නැගීම ද වැළැක්විය නොහැකිය. එයට හේතුව වන්නේ ජවිපෙ සාමාජිකාවක නොවන අගමැතිනිය ඉවත් කිරීමේ වෑයම් ගණනාවක් ගැනම ඉකුත් කාලයේ වාර්තා වී තිබීමය.

විගණකාධිපති පුටුව හිස්

ආණ්ඩුව සහ විපක්ෂය අතර ඊළඟට ප්‍රධාන ආරවුල මතුව ඇත්තේ විගණකාධිපති පුටුවට සුදුස්සකු පත් කිරීම අරභයාය. මෙම තනතුර සඳහා පත්කිරීම අනුමත විය යුත්තේ පාර්ලිමේන්තුව සමග ක්‍රියාත්මක වන ව්‍යවස්ථා දායක සභාවෙනි. එහෙත් විගණකාධිපති පත්කිරී​මේ බලය ඇත්තේ   ජනාධිපතිවරයාටය. රජය පවසන්නේ   අවස්ථා හතරකදී මෙම සභාවට සිව් දෙනකුගේ නම් ජනාධිපතිවරයා විසින් යවනු ලැබුවත් එම නම් අනුමත කිරීමට ව්‍යවස්ථා සභාව පියවර නොගත් බවය.

ජනාධිපතිවරයාගේ විධායක බලයෙන් යම් අංශුවක් අක්‍රිය කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාව පිහිටුවන ලද්දේ 2001 වසරේදීය. කතානායකවරයා ද ඇතුළත්ව මෙම සභාවට දසදෙනෙක් ඇතුළත් වෙති. අගමැති, විපක්ෂනායක ජනාධිපතිවරයාගේ නියෝජිත, පාර්ලිමේන්තුවේ සුළු පක්ෂවල නියෝජිතයෙක් හා අගමැතිගේ සහ විපක්ෂනායකගේ එකඟතාවෙන් ජනාධිපති විසින් පත් කරනු ලබන සිවිල් සමාජ නියෝජිතයෝ තුන් දෙනෙක් මෙම සභාව නියෝජනය කරති. මෙම සභාවේ දේශපාලකයන් නොවන ඇතැම් සාමාජිකයන් තමන්ගේම න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරන නිසා ජනාධිපතිවරයා යැවූ නාමයෝජනා හතර අනුමත නොවූ බව රජයේ චෝදනාවය.

එහෙත් විරුද්ධ පක්ෂ රජයේ මෙම හැසිරීම දකින්නේ වෙනත් ආකාරයකටය. ඔවුන් පවසන්නේ දෙදහස් විසි දෙකක වර්ෂයේදී මෙම සභාවට පත් කළ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනාගේ ධුර කාලය මෙම ජනවාරි 18 වැනි දින අවසන් වන බැවින් තමන්ට කීකරු සාමාජිකයන් තිදෙනකු පත්කර ගැනීමට අවස්ථාව හිමිවනතුරු රජය විවිධ පුද්ගලයන්ගේ නම් යවමින් සිටි බවය.

සිවිල් සමාජ සාමාජිකයන් තිදෙනාගේ නම් අනුමත කරන ලද්දේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිධුරය දැරූ සමයේය. එසේ පත්කිරීම සිදුවූවත් මෙම සාමාජිකයන් තිදෙනා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් එවන ලද නාම යෝජනා ගණනාවක්ම ප්‍රතික්ෂේප කරමින් සිය ස්වාධීනත්වය පවත්වාගෙන ගිය බව විපක්ෂය සඳහන් කරයි. රජය සහ මෙම සභාවේ සිවිල් සමාජ නි​යෝජිතයන් අතර මත ගැටුම ආරම්භ වූයේ අල්ලස් හෝ දූෂණ  කොමිෂන්   සභාවේ  අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කිරීමේදීය.

මෙම සභාවේ සංයුතිය අනුව රජයට ඍජු බලයක් කිසිදු අවස්ථාවක ලැබෙන්නේ නැත. මේ නිසා පොලිස්පති, විගණකාධිපති, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති වැනි රාජ්‍යයේ ඉහළම තනතුරු සඳහා කරන පත්කිරීම් ජනාධිපතිවරයාගේ හිතූ මනාපයට පත්කිරීම නවතා විපක්ෂයේද එකඟතාවෙන් පත්කිරීමට රජයට සිදුවෙයි. එහෙත් මෑත කාලයේ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයකු වන ශ්‍රීධරන්ද රජය සමග එක්ව මෙම සභාවේදී ඡන්දය ලබාදීම ආන්දෝලනයට තුඩු දුන්නේය. ඒ අනුව රජයට යම් පැහැදිලි බලයක් එමගින් ලැබිණි. මේ වන විට ශ්‍රීධරන්ට එම සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන්නැයි ඔහුගේ පක්ෂයෙන් දැනුම් දී ඇතැයි ද වාර්තා පළවිය. කෙසේ හෝ මේ වන විට ව්‍යවස්ථා දායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනාගේ ධුර කාලයේ අවසන් සති දෙක එළඹී තිබේ. විපක්ෂය චෝදා කරන්නේ විගණකාධිපතිවරයා නොමැතිව පාර්ලිමේන්තුවේ කෝප් සහ කෝපා සභා බල රහිත වන බවය.

නීතිඥ දයාසිරි ජයසේකර ඉකුත් සතියේ පාර්ලිමේන්තුවේ දී එම තත්ත්වය පැහැදිලි කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 119 වගන්තිය අනුව කෝප් සහ කෝපා සභා රැස්විය යුත්තේ විගණකාධිපතිගේ සහභාගීත්වයෙන් බවය. එහෙත් මේ වන විට විගණකාධිපතිවරයකු පත්ව නැති හෙයින්  සභාද රැස්විය නොහැකි බව දයාසිරි ජයසේකර පෙන්වා දුන්නේය. කෙසේ වෙතත් රජයේ ගිණුම් සම්බන්ධ විගණනය කෙරෙන විගණකාධිපති තනතුරට පත්වීම් සිදු කෙරෙන මව් ආයතනය වන ව්‍යවස්ථාදායක සභාවේ ඉරණම තීන්දු වන්නේ මෙම 18 වැනිදායින් පසුවය. අප එසේ කියන්නේ මේ වන විට පවතින දේශපාලන උණුසුම අනුව සිවිල් සමාජ සාමාජිකයන්ගේ නම් තුන සඳහා අගමැති සහ විපක්ෂ නායක එක්ව තීන්දුවක් ගනීදැයි සැක සහිත නිසාය. මෙරට දේශපාලන බලපොරය හේතුවෙන් 2001 වසරෙන් පසු අවස්ථා කිහිපයකදීම ආණ්ඩුව සහ විපක්ෂය අතර මෙවැනි කඹ ඇදීම් දිගින් දිගටම සිදුවිය. මෙවරත් එසේ වේද? විපක්ෂ නායක සජිත් සහ අගමැතිනි හරිනිට එකඟතාවෙන් සාමාජිකයන් තිදෙනකු පත්කිරීමට හැකි වේ ද? එසේ නැති වුවහොත් ව්‍යවස්ථා සභාව දිගින් දිගටම අක්‍රිය වී විගණකාධිපති තනතුරක් දිගටම හිස් වේ ද? යන්න දේශපාලන අංශ අතර කතා බහට ලක්ව තිබේ.

සජබ-එජාප පොදු සංධානයක්?

සජබය ගැන එජාපය එකතුවීම පිළිබඳව පක්ෂ දෙක තුළම අභ්‍යන්තර සාකච්ඡා ඉකුත් සතියේද සිදුවිය. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඉකුත් බදාදා රැස්වී මේ පිළිබඳ දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වූ අතර සජබයට කොන්දේසි හයක යෝජනාවක් එහිදී ඉදිරිපත් කර ඇත. සමගිජන බලවේගය මේ යෝජනා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් මෙම 13 වැනිදාට කැඳවා තිබේ.

මේ වන විට සෑහෙන දුරට සාකච්ඡා වී ඇති යෝජනාවක් වන්නේ පොදු සන්ධානයකට පක්ෂ දෙකම ඒකරාශීකර එම සන්ධානයේ නායකත්වය සජිත් ප්‍රේමදාසටත් සභාපති ධුරය රනිල් වික්‍රමසිංහටත් පැවරිය යුතු බවය. පක්ෂ දෙකේම මැද පෙළ නායකයන්ගේ කැමැත්ත මෙම යෝජනාවට ලැබී ඇතත් නායකත්ව මට්ටමෙන් ඒ පිළිබඳව එකඟ වී දැයි දැන ගන්නට නැත. කෙසේ වෙත් දැනට යම් හෝ එකඟතාවක් ලැබී ඇත්තේ මෙම යෝජනාවටය.

මේ අතර සජබයේම තවත් මන්ත්‍රී පිරිසක් පවසන්නේ එජාපයේ ඉහළ නායකත්වය පක්ෂ දෙක එක්වන යෝජනාවට අකමැති වුවහොත් ඉදිරි කාලයේ දී එජාපයේ ජ්‍යෙෂ්ඨ නායකයන් පිරිසක් සජබය සමග එකතුව දේශපාලන කරනු ඇති බවය. එජාපය පොහොට්ටුව සමග සමීපව කටයුතු කරන ආකාරයට එරෙහිව සිටින මෙම පිරිස පොහොට්ටුවට වඩා සජබ සමග එක්වීමට කැමැත්තෙන් සිටින බවද ඔවුහු කියති. මේ සියලු මතවාද තවමත් යෝජනා පමණකි. පක්ෂ දෙකේම නායකයන් මුහුණ පා සිටින ප්‍රශ්නයක් ද මේ අතර ඉස්මතු වී තිබේ. එනම් පක්ෂ දෙක ඒකරාශී වන විට දෙපාර්ශ්වයේම යම් පිරිසකට දැනට දරන ආසන සංවිධායක ධුර අහිමි වීමය. මැතිවරණ ජයගන්නට නොහැකි වුවත් ඇතැම් දේශපාලකයන් ආසන සංවිධායක ධුර ආභරණයක් ලෙස භාවිත කරන අතර ඔවුන්ගේ විරෝධය සමනය කිරීම දෙපක්ෂයේම නායකයන්ට මතු වී ඇති ප්‍රශ්නයකි. මෙවැනි ප්‍රශ්න විසඳා ගනිමින් එජාප හා සජබ එකමුතුවක් ගොඩනැගීම ලෙහෙසි කර්තව්‍යයක් නොවන බවද සැලකිය යුතුය.

රුපියල බාල්ලු වුණේ ඇයි?

ආර්ථිකය යළිත් සෙලවෙමින් පවතින්නේ ද? ඉකුත් සතියේ ඩොලරයක විකුණුම් මිල රුපියල් තුන්සිය පහළොව දක්වා ඉහළ ගිය අතර එනිසා බොහෝ දෙනා තුළ මතු වූයේ ආර්ථිකය යළිත් සෙලවෙමින් පවතින්නේ ද යන ප්‍රශ්නයය. පසුගිය වසර දෙක පුරාම ඩොලරයේ විකුණුම් අගය පැවතියේ රුපියල් දෙසිය අනූ පහක සීමාවේය. මේ අයුරින් රුපියල අවප්‍රමාණය වීමත් සමග සිල්ලර වෙළෙඳුන් දක්වාම වෙළෙඳ පොළේ පවතින මතයක් වන්නේ ආනයනික සියලු භාණ්ඩ මිල නිතිපතාම ඉහළ නගිනු ඇතිවය.

බංකොලොත්වීමෙන් පසු යම් ආර්ථික ස්ථාවරයක පැවැති රටට මේ තත්වය සුබදායක නැත. 

විපක්ෂයේ මන්ත්‍රී රවි කරුණානායක ඉකුත් සතියේ මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ දී රජයෙන් ප්‍රශ්න කළේ මහ බැංකුවේ ස්වාධීනත්වය රැකීම ගැන කතා කළත් රුපියල වේගයෙන් අවප්‍රමාණය වීම ගැන රජයේ පිළිතුර කුමක්ද යන්නය. සල්ලි අච්චු ගහන්නේ නෑ කීවා. භාණ්ඩාගාරය පිරිලා කීවා... ඒත් නැවතත් ආර්ථිකය වේගයෙන් සෙල වෙනවා...’’ රවි කරුණානායක මන්ත්‍රීවරයා පැවසීය.

දිට්වා සුළි කුණාටුවෙන් පසු විදේශ ආධාර විශාල වශයෙන් ලැබුණු බව රජය කීවද විපක්ෂය පවසන්නේ ලැබී ඇත්තේ ඉතාම සොච්චමක් බවය. එම මතය නිවැරදි බව තහවුරු වන්නේ රුපියලේ අගය පිරිහෙන්නේ රජය සතු ඩොලර් සංචිත ක්ෂය වීම හේතුවෙන් නිසාය. වාහන ආනයනයට පමණක් පසුගිය මාස කිහිපයේ වැය කළ මුදල ඩොලර් බිලියන එකයි දශම අටකි. (1.8) මෙම ඩොලර් ප්‍රමාණය ක්ෂය වීමක් මිස නැවත ඒකරාශී නොවන මුදලකි.

මේ අනුව 2026 වසර උදා වෙද්දීම ආර්ථිකමය වශයෙන් රජයට යම් අභියෝගයක් එල්ල වී ඇති බව පැහැදිලිය. එම තත්ත්වය පාලනය කර ගැනීමට රජය සමත් වන්නේ ද එසේ නැතිනම් ආහාර සහ බෙහෙත් ඇතුළු සියල්ලේම මිල ඉහළ යන අයුරින් ඩොලරය තවදුරටත් ඉහළ නගීද? රජයේ මූල්‍ය ප්‍රධානීන්ගේ අවධානය මේ කෙරෙහි යොමුවිය යුතුය.

නව වසරේ එක්සත් ජාතික පක්ෂ ප්‍රථම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සුපුරුදු ලෙස පැවැත්වුණේ සිරිකොත එජාප මූලස්ථානයේදී ය. 

Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට පැමිණ සිටියේ ලිපිගොනු කිහිපයක් ද රැගෙනය. රැස්වීම ආරම්භයේදීම කිසිවෙකුත් අපෙක්ෂා නොකළ ආකාරයට එක්සත් ජාතික පක්ෂය යළි නඟා සිටුවීමේ සම්පූර්ණ වැඩසටහනක් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කරනු ලැබීය. මේ වැඩ සටහනෙහි මූලික අරමුණ වී තිබුණේ පක්ෂය සම්පූර්ණයෙන්ම යළි ගොඩනැංවීමය. 

මෙම වැඩසටහනට සමගාමීව සමගි ජනබලවේගය සමග කෙරෙන සාකච්ඡා සම්බන්ධයෙන් ද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අවධානය යොමු කෙරිණි. එහිදී එක්සත් ජාතික පක්ෂ නායකයන් කිහිප දෙනෙකු සජිත් ප්‍රේමදාස සමග මෑතකදී පැවැත්වූ සාකච්ඡාව පිළිබඳව කරුණු කෘත්‍යාධිකාරී මණ්ඩලය හමුවේ ප්‍රකාශ කරනු ලැබීය.

සමගි ජනබලවේගයත්, එක්සත් ජාතික පක්ෂයත් ඉදිරියේ දී එකමුතුව කටයුතු කිරීම සඳහා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එකඟත්වය පළ කරන ලදී. ඒ සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළට එකඟත්වය පළ කෙරුණු අතර ප්‍රධාන යෝජනා 6 ක් සම්මත කිරීමට ද කෘත්‍යාධිකාරී මණ්ඩලය පියවර ගත්තේය.

පළාත් පාලන ආයතන වන මහ නගරසභා, නගරසභා සහ ප්‍රාදේශීය සභා වල එක්සත් ජාතික පක්ෂයේත් සමගි ජන බලවේගයේත් සිටින පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ගේ වැඩ කටයුතු සඳහා ඒකාබද්ධ ජාතික වැඩසටහන් කමිටුවක් පක්ෂ දෙකෙන් පත්කිරීමට පළමුවෙන් යෝජනා විය.

දෙවැනි යෝජනාවෙන් කියැවුණේ එජාප සහ සජබ කෘත්‍යාධිකාරී මණ්ඩල විසින් ඒකාබද්ධ වැඩසටහන් 3 කට එළැඹීම සඳහා කමිටුවක් පත් කිරීමේ අවශ්‍යතාව ය.

දැනට වෙනත් දේශපාලන පක්ෂ සමග එක්සත් ජාතික පක්ෂය කටයුතු කරන හෙයින්, එම පක්ෂ වලටද මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමටත්, එමෙන්ම ඒ ගැන සාකච්ඡා කිරීමට පක්ෂ දෙකෙහි නායකයන්ගේ අනුමැතියෙන් කමිටුවක් පත් කිරීමටත්, අනතුරුව යෝජනා කෙරිණි. 

මෙම වැඩසටහනට එකඟ වූ පසු එක්සත් ජාතික පක්ෂ නායකයා සහ සමගි ජන බලවේගයේ නායකයා මුණගැසීමට ක්‍රියාකිරීම කෘත්‍යාධිකාරී මණ්ඩලය මගින් සම්මත වූ තවත් යෝජනාවකින් කියැවිණි. 

පක්ෂ දෙකෙහි කෘත්‍යාධිකාරී මණ්ඩල ඒකාබද්ධ වී සාකච්ඡා කිරීමට  තීරණය වූයේ ඉන් පසුවය. 

එජාපය නැංවීමට රනිල්ගෙන් යෝජනා

එමෙන්ම එක්සත් ජාතික පක්ෂය සහ අනෙකුත් දේශපාලන පක්ෂ ප්‍රමුඛ සන්ධාන අතර පවතින ගිවිසුම්, එජාපය සමග සම්බන්ධ වී කටයුතු කරන පක්ෂ, සමගි ජන බලවේගය සමග එකමුතුව ක්‍රියා කරනු ඇති බවට සියලු‍ පාර්ශ්ව දැනුවත් කිරීම කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු හය වැනි යෝජනාවෙන් ප්‍රකාශ විය.

සමාජ වෙළෙඳ ආර්ථිකය (Social Market Economy) අරමුණු කර ගත් එක්සත් ජාතික පක්ෂ මතවාදය එජාප උපනායක අකිල විරාජ් කාරියවසම් ගේ මූලිකත්වයෙන් සකස් කිරීමට ද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එකඟත්වය පළ කෙරිණි. 

සමාජ නවීකරණය, ආර්ථිකය, සමාජ රටාව, අධ්‍යාපනය, නව තාක්ෂණය සමග එදිනෙදා ජීවිතයට උසස් තත්ත්වයක් උදාකිරීම පොහොසත් රටක් - පොහොසත් පවුලක්, Hand phone  එකක්, Crypto currency  ආදී සංකල්ප යටතේ ඒ වෙනුවෙන් ක්‍රියා කිරීම එජාප මතවාදයේ ප්‍රධාන අරමුණුව පවතී.   

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දීත් ඉන් පසුවත් වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නායකයන් අතර අදහස් රැසක් හුවමාරු විය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ 2025 රජයට එරෙහිව තදබල ක්‍රියාමාර්ග ගැනීමට සුදුසු කාලය නොවුණත්, මේ වසර ඒ සඳහා සුදුසු කාලය වන බවය. එහෙයින් 2026 දී පක්ෂය නඟා සිටුවීමේ වැඩ පිළිවෙළ ආරම්භ කරන බව කියා සිටියේය. 

සමගි ජනබලවේගය සමග සාකච්ඡා කිරීම සඳහා තිදෙනකු පමණක් යාම පක්ෂ බහුතරයගේ අනුමැතියට හේතු වී නැති බව එහිදී ප්‍රකාශ කෙරිණි. හිස් අතින් කිසිදු වැඩ පිළිවෙළකට අවතීර්ණ වීම තේරුමක් නැති බව සඳහන් කළ හිටපු ජනාධිපතිවරයා හැමවිටම ක්‍රියා කළ යුතුව තිබෙන්නේ, වැඩ පිළිවෙළක් සමග වැඩ කළ හැකි කණ්ඩායමක් ද එකතු කර ගනිමින් බව පෙන්වා දුන්නේය. 

සමගි ජනබලවේගයට ආණ්ඩු බලය ගෙන ක්‍රියා කිරීමට සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් එහිදී නම් වශයෙන් අවධානය යොමු කෙරුණු අතර, එක්සත් ජාතික පක්ෂයේ සිටින එවැනි කණ්ඩායම් හඳුනාගැනීමද සිදුවිය. මෙහිදි පැහැදිලිවම පෙන්වා දෙනු ලැබුවේ ආණ්ඩු බලය ගෙන ක්‍රියා කළ හැකි පළපුරුදු කණ්ඩායමක් සිටින්නේ එක්සත් ජාතික පක්ෂය තුළ බවය. 

පක්ෂ-විපක්ෂ කවුරුත් එකතුකළ බන්දුල ගුණවර්ධනගේ විත්‍රපටය

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසුව තවත් සුවිශේෂී අවස්ථාවකට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගී වූයේය. ඒ කොළඹ වන් ගෝල්ෆෙස් හී පුළුල් තිරයේ ප්‍රදර්ශනය කෙරුණු හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ නිෂ්පාදනයක් වූ “සඳ දඩයම” චිත්‍රපටයේ මංගල දර්ශනය නැරඹීමටය. 

භේදයකින් තොරව දේශපාලන නායකයින්, කලාකරුවන්, මාධ්‍යවේදීන්, රැසක් ඒ අවස්ථාවට සහභාගී වී සිටිම විශේෂයෙන් කැපී පෙනුණි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන, ඇමති හිනිදුම සුනිල් සෙනෙවි, මහාචාර්ය ජී.එල්. පීරිස්, දිලිත් ජයවීර, රවුෆ් හකීම්, අනුර ප්‍රියදර්ශන යාපා, මහින්ද අමරවීර ඇතුළු දේශපාලනඥයින් රැසක් ඒ අතර සිටින ආකාරය හඳුනා ගන්නට ලැබිණි. 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ චිත්‍රපටය ආරම්භ වී කෙටි වේලාවකින් පිටව ගියත්, Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ චිත්‍රපටය නරඹා අවසන් වීමෙන් පසුවත් එහි රැඳී සිටිමින් ආචාර්ය බන්දුල ගුණවර්ධන හා පැමිණ සිටි කලාකරුවන්, මාධ්‍යවේදීන් ඇතුළු පිරිස සමග පිළිසඳරේ යෙදී සිටිනු දක්නට ලැබිණි. 

චිත්‍රපටයේ අධ්‍යක්ෂ අශෝක හඳගම සමග ද අදහස් හුවමාරු කර ගැනීමට රනිල් වික්‍රමසිංහ පියවර ගත්තේය. 

වජිර-සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සමග හමුවක

මේ අතර එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු අතර සුහද හමුවක් පසුගිය අඟහරුවාදා කොළඹ දී පැවැත්විණි. රටේ ඉදිරි දේශපාලන ගමන්මග සහ ආර්ථික දිශානතිය සම්බන්ධයෙන් ඉතා හරවත් අදහස් හුවමාරුවක් මෙහිදී සිදුවිණි.

විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ වැටුණු රට බාරගෙන ඉන්ධන, ගෑස්, ගෙන්වාගැනීමට රට තුළ ඩොලර් නැති අවස්ථාවේ දී එය මනා ලෙස කළමනාකරණය කළ ආකාරය වජිර පැවසුවේ නව කතාවක කතාව ගලාගෙන යන ආකාරයටය. 

“ඇත්තටම සර් අපිට මේ පළවෙනි වතාවටයි සර් නුත් එක්ක මේ තරම් වේලාවක් සුහදව කතා බහ කරන්න ලැබුණේ. සර් කියපු කරුණු කාරණා අනුව සර් ගේ තියෙන ප්‍රායෝගික භාවිතාව පිළිබඳ දැනුම ඇත්තටම අපට දැන් තමයි අවබෝධ වෙන්නේ. ඒ විතරක් ද රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති කරවලා - මේ රට ගොඩගැනීම ඇතැම් අය හරිම සරල සිම්පල් කාර්යයක් වගේ පෙනුණත්, හෑල්ලුවට දාලා කිව්වත්, ඒක මොන තරම් විශ්වකර්ම වැඩක් ද කියලා අපිට දැන් තමයි හරියට අවබෝධ වුණේ. බොහෝ අයට එළියේ ඉඳන් විවිධ දේ කියමින් විවේචනය කරන්න පුළුවන්. නමුත් ඇත්තටම මේ කෙරුණේ කොහොමද කියන එක ගැන කිසිම අවබෝධයක් නැති එකනේ ප්‍රශ්නේ. විවේචන කාරයෝ ඔක්කෝම විවේචන කරන්නේ - ඔක්කෝම නිකන් ඉබේ වෙච්ච ගානට.”  එක් අයෙක් වජිරට කීවේ විස්මය මුසු හඬකිනි.

“හැබැයි ඉතින් එක අතකට මේ අය සර්ට ගහන එකෙත් කුමන්ත්‍රණයක් නැතුවම නෙමෙයි. අපි දැන් අහපු කියපු කරුණු කාරණා එක්ක සර්ව මේ අය ටාර්ගට් කරන්නේ ලොකු හේතුවකට. මොකද සර් තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ළඟම කෙනා. ඒ වගේම එතුමාව ජනාධිපති ධූරය දක්වා ගෙන ඒමට ඔබතුමා කළ කාර්ය භාරය දැන් අපිට කරුණු කාරණා ඇතිවම දැනගන්න ලැබුණා. එහෙම බැලු‍වම ඉතින් රනිල්ට ගහන්න තියෙන තවත් එක විදියක් තමයි වජිරට ගහන එක. ඒක ඉතින් පක්ෂයට පිටතින් වගේම පක්ෂය ඇතුළතිනුත් සිදුවෙනවා. ඒක තමයි කනගාටුව.” තවත් අයෙක් කීවේය.

“අපට කවුරුවත් මඩ ගහන ඒවා වැඩක් නෑ. අපිට අවශ්‍ය කරන්නේ මේ රට සහ රටේ ජනතාව ආරක්ෂා කිරීමයි. අපි එදත් ඒක කළා හෙටත් කරනවා. අපේ රටේ සාමාන්‍ය මහජනතාව දැනුම්වත් නොවූවාට මේ සියලු ක්‍රියාකාරකම් සිදුවීම් පිටිපස්සේ ජාත්‍යන්තරය ඉන්න පුලු‍වන්. අපේ රටේ සමහරු ඒවා ගැන නොදන්නා නිසා ඇතැම් අවස්ථාවල දී ජාත්‍යන්තරය අවශ්‍යතාව ඉටුවෙන ආකාරයේ ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වෙනවා. ආධාර උපකාර, ආශීර්වාද කරනවා. ඒ මොනවා වුණත් අවශ්‍ය වෙලාවට අපි රටේත් ජනතාවගේත් උන්නතිය වෙනුවෙන් අපේ සහයෝගය අපි දෙනවා.” 

වජිර එසේ කියමින් පැය දෙකකට අධික කාලයක් තිස්සේ පැවැත්වුණු සුහද සාකච්ඡාව නිමා කළේ ඔහුට වෙනත් කටයුත්තකට සහභාගී වීමට තිබුණු නිසාවෙනි. නැවත දිනෙක යළි මුණගැසෙමු යි කී වජිර- පිරිස ගෙන් සමු ගත්තේය. 

වජිර පිටව යෑමෙන් පසු තවත් සුළු වෙලාවක් එහි රැඳී සිටි මෙම පිරිස වජිරගේ මාධ්‍ය ලේකම්වරයා සමග පවසා තිබුණේ, “මේ ඉන්නේ අපි හිතන් හිටපු වජිර නෙමෙයි. සමාජ මාධ්‍ය ඇතුළේ බැලු‍වම අපි දකින්නේ වෙනම කෙනෙක්. ඒ වුණාට මේ කතාබහ ඇතුළේ අපි නම් දැක්කේ එකම එක දෙයයි, වජිර කියන්නේ නෙක්ස්ට් ලෙවල් පොලිටීශියන් කෙනෙක්...”

රාජ දූත