මාස ගණනාවක් පුරා එල්ලවූ මහජන විරෝධය සහ විවිධ පාර්ශවවල අනතුරු ඇඟවීම් සනාථ කරමින්, මාලිමාව රජය යටතේ මතභේදාත්මක ටෙන්ඩරයක් හරහා ආනයනය කරන ලද ගල් අඟුරු බාල මට්ටමේ පවතින බවත්, ඒවා නියමිත අවම පිරිවිතර සපුරාලීමට අපොහොසත්වී ඇති බවත් රජය අවසානයේ පිළිගෙන තිබේ.
මෙම පාපෝච්චාරණය විනිවිදභාවය ලැබූ ජයග්‍රහණයක් නොව තම ජනතාව නොසලකා හැරීමටත්, විශ්වසනීය සාක්ෂි බැහැර කිරීමටත් කටයුතු කළ පාලනයකට එල්ල වූ බරපතළ චෝදනාවකි. රජයේ මෙම අදූරදර්ශී මූල්‍ය හා මෙහෙයුම් වැරැදිවල බරපතළ ප්‍රතිඵල අද මුළු රටටම විඳීමට සිදුවී ඇත.
මෙම සිද්ධියේ සුලමුල දිවයන්නේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසය දක්වාය. එවකට පුරවැසියන්, බලශක්ති ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති සහ විපක්ෂ කණ්ඩායම් මුලින්ම මේ පිළිබඳව අනතුරු ඇඟවිය. දූෂණය සහ ගුණාත්මකභාවය පිළිබඳ බරපතළ ගැටලු පෙන්වා දෙමින් ඔවුහු මෙම සැක සහිත ගල් අඟුරු ගනුදෙනුවට එරෙහිව සිය විරෝධය පළ කළහ. එහෙත් රජයේ ප්‍රතිචාරය වූයේ කරුණු විචාරාත්මකව විමසා බලා මහජනතාවට සත්‍ය කීම නොව, එය වසන් කිරීමයි. ගල් අඟුරු බාල බව පෙන්වා දුන් මෙරට රසායනාගාර වාර්තා බලධාරීන් විසින් සෝපහාසයෙන් ප්‍රතික්ෂේප කරනු ලැබීය. ජනතාවගේ හඬ නොසලකා හරින ලද අතර ඔවුන්ගේ සාධාරණ කනස්සල්ල හුදු ඝෝෂාවක් ලෙස පමණක් සලකන ලදී.
කෙසේ වෙතත්, එල්ල වූ දැඩි පීඩනය හමුවේ මෙම සාම්පල ඉන්දියාවේ ස්වාධීන රසායනාගාරයක් වෙත යැවීමට රජයට සිදු වූ අතර, එහිදී රජයේ සත්‍ය වසන් කිරීමේ උත්සාහය පරාජයට පත් විය. එම පරීක්ෂණ ප්‍රතිඵල ද මෙරට වාර්තාවලට සමාන වූ අතර, ගල් අඟුරු නියමිත ප්‍රමිතියට වඩා බෙහෙවින් පහළ මට්ටමක පවතින බව නිසැකවම තහවුරු විය. තමන්ට හිතකර දෙවැනි මතයක් ලබා ගැනීමට රජය දැරූ උත්සාහය ද මෙසේ අසාර්ථක වූයේ ඔවුන් ප්‍රතික්ෂේප කිරීමට උත්සාහ කළ විපක්ෂයේ චෝදනා යළිත් තහවුරු කරමිනි.
මෙම අසාර්ථකත්වයේ ප්‍රතිවිපාක හුදෙක් කඩදාසිවලට පමණක් සීමා නොවේ. ඒවා ප්‍රායෝගිකව ඉතා විනාශකාරී මෙන්ම දැවැන්ත වියදම් සහිත ඒවා වේ.
පළමුවෙන්ම, මෙම බාල ගල් අඟුරු භාවිතය අපගේ විදුලි උත්පාදන යන්ත්‍රෝපකරණවලට සෘජු තර්ජනයක් එල්ල කරයි. ගල් අඟුරු බලාගාර සැලසුම් කර ඇත්තේ නිශ්චිත ගුණාත්මකභාවයකින් යුත් ඉන්ධන භාවිතය සඳහාය. අඛණ්ඩව බාල ගල් අඟුරු භාවිත කිරීමෙන් බොයිලේරු සහ ටර්බයින තුළ මලකඩ කෑම (slagging and fouling) සහ විඛාදනය වැඩිවේ. මෙලෙස යන්ත්‍රෝපකරණ බරපතළ ලෙස බිඳ වැටීමේ අවදානම ඉහළ යන අතර, ඒවා අලුත්වැඩියා කිරීමට මහජන මුදල් මිලියන ගණනක් වැයවේ. මෙය වළක්වා ගත හැකිව තිබූ දැවැන්ත අපතේ යාමක් වන අතර, එහි බර අවසානයේ ශ්‍රී ලාංකික බදු ගෙවන්නා මත පැටවේ.
දෙවැනුව, යන්ත්‍ර බිඳවැටීම් මඟ හරවාගත්ත ද, බාල ගල් අඟුරු කාර්යක්ෂමව දැවෙන්නේ නැත. ඉන් නිපදවන තාපය අඩු බැවින් ජනනය වන විදුලි ප්‍රමාණය ද අඩුවේ. මෙය විදුලි හිඟයකට සෘජුවම බලපායි. ජල විදුලි නිෂ්පාදනය නියඟය හමුවේ අඩාළ වනවිට, අපගේ ප්‍රධාන විදුලි සැපයුමේ පදනම විය යුත්තේ ගල් අඟුරු බලාගාරයි. ඒවායේ ක්‍රියාකාරිත්වය අඩාළවීම නිසා ඇතිවන හිඟය පියවීමට ලංකා විදුලි බල මණ්ඩලයට (CEB) සිදුවන්නේ ඉතා මිල අධික ඩීසල් සහ දැවි තෙල් බලාගාර ක්‍රියාත්මක කිරීමටයි.
තෙවැනුව, මහජනතාවට එල්ලවන සෘජු ප්‍රහාරය වන්නේ මූල්‍යමය පාඩුවයි. ඩීසල් මගින් නිපදවන සෑම විදුලි ඒකකයකටම ගල් අඟුරුවලට වඩා වැඩි පිරිවැයක් වැයවේ. රජයේ අදූරදර්ශී ක්‍රියාකලාපය නිසා විදුලිය සැපයීම වෙනුවෙන් අධික පිරිවැයක් සහිත තාප විදුලිය මිලදී ගැනීමට දැන් සිදුවී ඇත. මෙම අතිවිශාල පිරිවැය එක්කෝ විදුලි බිල හරහා ජනතාව මත පැටවෙනු ඇත. නැතහොත් සෞඛ්‍ය හා අධ්‍යාපනය වැනි පොදු අවශ්‍යතා සඳහා යෙදවිය හැකි මහා භාණ්ඩාගාරයේ මුදල් මගින් පියවීමට සිදුවනු ඇත.
මාලිමා රජයේ මෙම ප්‍රමාදවී කළ පිළිගැනීම හිස් ප්‍රකාශයක් පමණි. එය සිදුවූයේ විදේශීය පරීක්ෂණ වාර්තා මගින් තවදුරටත් කරුණු සැඟවිය නොහැකි වූ පසුවය. මෙම සිදුවීම් දාමයෙන් පෙනී යන්නේ නොසලකා හැරීම හෝ චේතනාන්විත දූෂණයකි. එනම් විරෝධතා නොසලකා හැරීම, දේශීය විශේෂඥ දැනුම බැහැර කිරීම සහ තීරණාත්මක ජාතික යටිතල පහසුකම් සමග සෙල්ලම් කිරීමයි.
ආණ්ඩුව කියා සිටින්නේ, මීට කලින් ද මේවැනි බාල ගල් අඟුරු ආනයනය කර තිබෙන බවයි. එය සම්පූර්ණ බොරුවකි. මීට පෙර මේවැනි සිදුවීමක් කිසිදා වී නැත. අනෙත් කාරණය නම් එවැන්නක් සිදුව තිබුණ ද එසේ වූ පමණින් එය නැවත සිදු කිරීම සාධාරණීකරණය කළ නොහැකි ය. ආණ්ඩුව මෙවන් කතා කියන්නේ, එක් අතකින් තමන් බලයට පැමිණියේ අන් සියලු ආණ්ඩු විසින් කරන ලද වංචා, දූෂණ සහ රාජ්‍ය මුදල් අවභාවිතාවෙන් තමන් වැළකෙන බවට දුන් පොරොන්දුව ද එම වේදිකාවේ සිටම නැවත නැවතත් කියමින් වන අතර අනිත් අතින් අනිත් අය කළා නම් අපත් කළාම මොක ද යන්න අසමිනි.
මේ වැනි ටෙන්ඩර් මගඩියක් තාමත් සිදු වෙමින් පවතී. ඒ අනෙකක් නොව, ඉතිහාසයේ පළමු වරට අති දැවැන්ත මුදලක් වියදම් කරමින් මන්ත්‍රීවරුන්ට හා රජයේ ආයතනවලට කැබ් රථ ආනයනය කිරීමයි. එම ගනුදෙනුව සඳහා සමස්ත වියදම රුපියල් බිලියන 40 ඉක්මවා යයි. එය වටිනාකමින් කොතරම් ඉහළ මුදලක් ද යත් කොළඹ - කටුනායක අධීවේගී මාර්ගයට ගිය මුදලයි. ඔබට එහි තරම සිතාගත හැකි ය. ආණ්ඩුව එසේ කරන්නේ රත්නපුර අධිවේගය අවලංගු කරමිනි. එය අවලංගු කරමින් මන්ත්‍රීවරුන්ගේ භාවිතයට වාහන ගෙනැවිත් දෙයි. ඇත්තටම මෙහි දූෂණය එය නොවේ. මේ ටෙන්ඩර් ක්‍රියාවලියේ ය. සාමාන්‍යයෙන් මෙවැනි ගනුදෙනුවක දී අන්තර් ජාතික ටෙන්ඩරයක් නිකුත් කරන අතර ඊට ඉල්ලුම් කිරීම සඳහා දින 42ක් ලබා දිය යුතු ය. කෙසේ වෙතත්, මෙම ටෙන්ඩරයට ලබා දුන්නේ දින 12ක තරම් ඉතා කෙටි කාලයකි. වාහන යනු මේ තරම් හදිසියේ ගෙන්විය යුතු වහා කල් ඉකුත්වන භාණ්ඩ නොවේ. වාහන අවශ්‍ය නම් නියමිත කාල සීමාව ලබා දී එය කළ හැකිව තිබුණි.
එහෙත් ආණ්ඩුව තෝරා ගත්තේ නිවැරැදි මාර්ගයමදැයි සැක සහිතය.
සදාචාරාත්මක ප්‍රශ්න නිසා කිසිවකු කතා නොකරන තුන්වැනි බරපතළ වංචාවක් ආණ්ඩුව විසින් කරමින් ඇත. ඒ වතු කම්කරුවන්ට රජයේ මුදලින් මසකට රුපියල් 6000 බැගින් ලබා දීමයි. වතු කම්කරුවෝ රජයේ සේවකයෝ නොවෙති. ඔවුහු ලාබ ලබන සාමගම්වල සේවකයෝය. ඔවුන්ට වැටුප් දිය යුත්තේ එම සමාගම්ය. එහෙත් ජනාධිපති අනුර කුමාර දිසානායක කම්කරු වැටුප වැඩි කරන මැතිවරණ පොරොන්දුවක් දී, එම වැටුප අදාළ සමාගම්වලින් ගෙවීමට එකඟ නොවූ විට රජයෙන් දීමට එකඟ වෙයි. මෙය ඉබ්බා දියේ දැමූ විට ඇන්නෑවේ කීමකි. මාලිමා මැතිවරණවලට මුදලින් ආධාර කළ සමාගම්වලට රජය ගානේම අල්ලසක් දුන්නාක් මෙනි. දැන් අදාළ සමාගම්වලට තමන්ගේ ලාභයෙන් සේවක වැටුප් ගෙවිය යුතු නැත. ආණ්ඩුව රටේ සෙසු ආයතනවල සේවය කරන අයටත් රජය ගානේ අමතර වැටුප් ගෙවනවා ද?
මේවා හුදු ටෙන්ඩර් දෝෂ හෝ කම්කරුවන්ට යුක්තිය ඉටුකිරීම් නොවේ. මහජන විශ්වාසය පාවාදීම් සහ රටේ ආර්ථික ස්ථාවරත්වයට එල්ල කළ සෘජු ප්‍රහාරය. විශේෂයෙන්ම බාල ගල් අඟුරු සම්බන්ධයෙන් හුදු පැහැදිලි කිරීමක් පමණක් නොව, පූර්ණ වගවීමක් ද අවශ්‍යවේ. ටෙන්ඩර් ප්‍රදානය කිරීමේ සිට සත්‍ය වසන් කිරීමට දැරූ උත්සාහය දක්වා මෙම දූෂිත දාමයේ සෑම පුරුකක්ම අනාවරණය කර ගැනීමට ස්වාධීන පරීක්ෂණයක් වහාම ආරම්භ කළ යුතුය. මෙයට වගකිව යුතු සියලු දෙනාට තරාතිරම නොබලා දඬුවම් දිය යුතුය. සැප්තැම්බර් මාසයේ විරෝධය පෑ, දැන් ඊළඟ වසරේ ජනවාරියෙන් අවසානයත් වී සහ ඉන් ඉදිරියටත් මේ සඳහා වන්දි ගෙවන ශ්‍රී ලාංකික ජනතාවට සාධාරණය ඉටු විය යුතුය. නිවෙස්වල විදුලි බුබුළු තවමත් දැල්වෙමින් තිබුණ ද, රජයේ විශ්වාසනීයත්වය නම් මේ වන විටත් සම්පූර්ණයෙන්ම බිඳ වැටී අවසන්ය.
සියල්ල එකට ගත් විට, ගල් අඟුරු වංචාව, කැබ් රථ ගනුදෙනුව සහ පෞද්ගලික සමාගම් වෙනුවෙන් සේවක වැටුප් ගෙවීම ද එකම වළල්ලක ඈඳී ඇති බවක් පෙනී යයි එහෙත් අවසානයේ සියල්ලේම බර දැරීමට සිදුවන්නේ මෙරට ජනතාවටයි.
(***)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd