ආණ්ඩුව ජනමතයට එරෙහිව කටයුතු කරන්නේ නම් ඒ බව කරුණු සහිතව පෙන්වා දී ජන මතයට අවනතව කටයුතු කරන්නට ආණ්ඩුවට බල කිරීමත් ආණ්ඩුව දිගින් දිගටම ඊට ඇහුම් කන් නොදේ නම් ඒ බවද ජනතාවට කරුණු සහිතව පෙන්වා දී ජනතාව තමන් වෙතට හරවා ගෙන ඊළඟ මැතිවරණයකදී ආණ්ඩුව පරාජය කිරීමත් විපක්ෂයේ කාර්යභාරය විය යුතුය.

එහෙත් වර්තමාන විපක්ෂයේ කටයුතු දෙස බලන විට රා බිව් මීයාගේ තර්ජනය සිහිපත් වේ. දිට්වා සුළි කුණාටුව පිළිබඳ කාරණයේදී ආණ්ඩුව ජන ජීවිත ආරක්ෂා කිරීමට අසමත් වූ බව කියමින් ආණ්ඩුවේ නායකයන්ට එරෙහිව මිනීමැරුම් චෝදනා යටතේ නඩු පවරන බව කී විපක්ෂය දැන් ඒ ගැන නිහඬය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් ළමා පරපුරේ අනාගතය විනාශ කරන  බවට චෝදනා කරමින් විපක්ෂය උද්ඝෝෂණයක් කළේය. එම උද්ඝෝෂණය එක්තරා ආකාරයක ආගමික මුහුණුවරක් ගැනීමත් සමගම ආණ්ඩුව හය වසර සඳහා වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පමණක් වසරකට කල් දැමීය. ඒ සමගම තම උද්ඝෝෂණද අත්හැර දැමූ විපක්ෂය තමන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරුද්ධ නොවූ බවත් හය වසරේ ප්‍රතිසංස්කරණ කල් දැමීමට තමන් ඉල්ලා නොසිටි බවත් එම ප්‍රතිසංස්කරණද දැන්ම ක්‍රියාත්මක කළ යුතු බවත් කියා සිටියේය.

එම ප්‍රතිසංස්කරණ මුල් කරගෙන  අධ්‍යාපන ඇමැතිනියද වන අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරියට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කරන්නට අත්සන් එකතු කළ විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගය දැන් එම විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කරන පාටක් නැත. මින් පෙනෙන්නේ විපක්ෂය කළ යුත්තේ කුමක්දැයි නොදැන එදිනෙදාට කුමක් හෝ කරන බවකි. වෙනත් වචනවලින් කියන්නේ නම් එදා වේල කෑමකි.

විපක්ෂය සාධාරණ පදනමින් ආණ්ඩුවට බල කළ යුතු බොහෝ දෑ ඇත. ආණ්ඩුව එම බලපෑම අනුව කළ යුතු දේ කරන්නේ නම් රටට යහපතක් වනු ඇත. එසේ නොකරන්නේ නම් ඒ මත ආණ්ඩුවට එරෙහිව  ජන මතයක් ගොඩ නගා ඊළඟ මැතිවරණයේදී ආණ්ඩුව පරාජය කරන්නට කටයුතු කළ හැකිය.

සාධාරණ  පදනමින් ආණ්ඩුවට බල කළ යුතු යැයි අප මෙහිදී පැවැසුවේ සැබැවින්ම ජනමතයට දැනෙනු ඇත්තේ එසේ කිරීම නිසාය. උදාහරණයක් වශයෙන් නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත්  කර සම්මත කර ගන්නා බවට ජාතික ජනබලවේගය ඉකුත් මැතිවරණ කාලයේදී දුන් පොරොන්දු තවමත් ඉටු කර නැතැයි ආණ්ඩුවට චෝදනා කිරීම සාධාරණ නොවේ. එහෙත් ඒ සඳහා කිසිදු සූදානමක් ඇති බවක් ආණ්ඩුවේ කටයුතුවලින් පෙනී නොයාම ප්‍රශ්න කළ හැකිය. කළ යුතුය.

මන්දයත් රට මුහුණ පා සිටින ප්‍රධාන ප්‍රශ්න ගණනාවක් හේතුවෙන් වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමේ අවශ්‍යතාව ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබෙන හෙයිනි.

විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳව ජනතාව තුළ ඇත්තේ ප්‍රසාදයක් නොවේ. 1994 දී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය බලයට පත්වීමේදීත්, 2005 දී මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වීමේදීත්, 2015 දී මෛත්‍රීපාල සිරිසේන මහතා හා රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත්වීමේදීත්, ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වූ පසු 2022 දීත්  එම ක්‍රමය අහෝසි  කරන බවට එම නායකයන් පොරොන්දු වූයේ ඒ නිසාය.

දැනට ක්‍රියාත්මක මැතිවරණ ක්‍රමය පිළිබඳ තත්වයද එයයි. 2001 සිටම විවිධ ආණ්ඩු පාර්ලිමේන්තු තේරීම් කාරක සභා පිහිටුවමින් විශේෂඥ කමිටු පත් කරමින් අලුත් මැතිවරණ ක්‍රමයක් සොයයි. මිශ්‍ර මැතිවරණ ක්‍රමය සාර්ථක වනු ඇතැයි ඒ අතර කාලයේ මතයක් ගොඩ නැගුණද පළාත් පාලන මැතිවරණ සඳහා එම ක්‍රමය යොදා ගැනීමෙන් පෙනෙන්නේ එමගින් අලුත් ප්‍රශ්න ගණනාවක් මතුවන බවයි.

ජනවාර්ගික ප්‍රශ්නයද විසඳිය හැක්කේ ආණ්ඩුක්‍රම වෙනසකින්ය යන්න පොදුවේ පිළිගනු ලැබ ඇති මතයයි. ඒ සඳහා 1995 සිටම විවිධ ආණ්ඩු යටතේ ඉදිරිපත් කරනු ලැබූ විවිධ ව්‍යවස්ථා සංශෝධන විවිධ කණ්ඩායම්වල විරෝධතා නිසා හකුළා ගන්නට වීම වෙනම කාරණයකි. 

කෙසේ වෙතත් එමගින්ද නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව ප්‍රකාශ වේ. ජාතික ජන බලවේගය ද පසුගිය ජනාධිපතිවරණය හා මහ මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කළ ‘‘පොහොසත් රටක් ලස්සන  ජීවිතයක්’’ යන මැතිවරණ ප්‍රකාශනයෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක කරන බවට පොරොන්දු වී තිබේ.

එය ක්ෂණික  අවශ්‍යතාවක් සේ එම පොරොන්දුවෙන් හැඟී ගියද තමන්ගේ ආණ්ඩුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන්නේ වසර තුනකින් යැයි 2024 දෙසැම්බර් මාසයේදී එවකට කැබිනට් ප්‍රකාශක වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ජනමාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි. ආණ්ඩුව නව ව්‍යවස්ථාව කෙටුම්පත් කරන්නේ කවදාදැයි 2025 අප්‍රේල් 9 වැනිදා ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂයේ මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් මහතා පාර්ලිමේන්තුවේදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අගමැතිනි හරිනි අමරසූරිය පැවැසුවේ පළාත් සභා මැතිවරණ පැවැත්වීමෙන් පසු නව ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේ කටයුතු ආරම්භ කරන බවය.

තම පක්ෂය බලයට පත්වූ විට තමන්ගේ ක්ෂණික අවශ්‍යතාව වූයේ රට ආර්ථික හා දේශපාලන වශයෙන් ස්ථාවර කිරීම බවත් එය දැනට (2025 අප්‍රේල්) කරගෙන යන බවත් අගමැතිනිය එහිදී ප්‍රකාශ කළාය. එය සාධාරණ කරුණු දැක්වීමකි. රටක් බංකොලොත් වූ තත්වයක් තුළ හෝ එම තත්වයෙන් ගොඩ එන තත්වයක් තුළ ආණ්ඩුවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට මුල් තැන දිය යුතුයැයි කීම සාධාරණ නොවේ.

මන්දයත් 1972 දී හා 1978 දී හැර අනෙක් සෑම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියක්ම අවසන් වූයේ දැඩි මතභේදකාරී තත්වයක් නිර්මාණය කරමිනි. 1987 දී 13 වැනි ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූයේ බරපතළ  දේශපාලන අර්බුදයක් ද නිර්මාණය කරමිනි. සෑම අවස්ථාවකදීම ව්‍යවස්ථා සංශෝධන මගින් ජනවාර්ගික ප්‍රශ්නයට  ඉදිරිපත් කළ විසඳුම දැඩි ලෙස මතභේදයට ලක්විය. වර්තමානයේදී ද එය එසේ නොවනු ඇතැයි කිව නොහැකිය. එහෙයින් දැන්ම මෙම කාරණයට අතනොගැසීම සාධාරණය.

එහෙත් බලයට පත්වී වසර තුනකින්, එනම් තවත් වසර දෙකකට අඩු කාලයකින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන්නට නම් ඒ පිළිබඳ මූලික කටයුතු මේ වනවිට ආරම්භ වී තිබිය යුතුය. පසුගිය ආණ්ඩු මහජන සංවාද මගින් ආරම්භ කරන ලද ව්‍යවස්ථා කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලිය තමන් ඉදිරියට ගෙන යන බව රාසමානික්කම් මහතාගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අගමැතිවරිය පැවැසුවාය. එසේ නම් පසුගිය ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධනය සඳහා පත් කළ  කමිටු, පාර්ලිමේන්තු තේරීම් කාරක සභා ආදියේ වාර්තා හා අත්දැකීම් අධ්‍යයනය කිරීම සඳහා වූ යාන්ත්‍රණයක් මේ වනවිට ආරම්භ වී තිබිය යුතුය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ කටයුතු 2025 ජනවාරි මාසයේදී ආරම්භ කරන බව අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර මහතා පැවසුවේ 2024 දෙසැම්බර් මාසයේදීය. නව ව්‍යවස්ථාව පිළිබඳව සමගි ජන බලවේගයේ මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා ඇසූ  ප්‍රශ්නයකට පිළිතුරු දුන් අගමැතිනිය එම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේ මූලික කටයුතු  ආරම්භ කරනු ලැබ ඇතැයි පසුගිය වසරේ ජූලි 25  වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.

යළිත් එම කාරණය පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් පසුගිය දෙසැම්බර් 19 වැනිදා ඇය පාර්ලිමේන්තුවේදී පැවැසුවේ මීට පෙර නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා පත් කෙරුණු කමිටුවල වාර්තා හා වෙනත් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනා  ඒ වනවිට අධ්‍යයනය කෙරෙමින් පවතින බවය.

එය විය යුත්තක් බවට විවාදයක් නැත. විය යුතුමය. එහෙත් එය කරන්නේ කවුරුන්දැයි අගමැතිනිය එහිදී ප්‍රකාශ කළේ නැත.

විය යුතු පරිද්දෙන්ම පසුගිය සෑම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියකදීම ප්‍රධාන කාරණා තුනකට ප්‍රමුඛස්ථානය දෙනු ලැබූ අතර ඒවා බොහෝ දුරට මතභේද කාරී ද විය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, සරල හා සාධාරණ මැතිවරණ ක්‍රමයක් සකස් කර ගැනීම හා ජනවාර්ගික ප්‍රශ්නයට  විසඳුම් සෙවීම මෙම ප්‍රධාන කරුණු තුනයි. මේවායින් සෑම විටම සංවේදී කාරණාව වන්නේත් අර්බුදකාරී වන්නේත් අතීත ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලි නතර කිරීමට බලපෑවේත් ජනවාර්ගික ප්‍රශ්නයයි. 1980 ගණන්වල  මුල සිට මේ දක්වා වැඩිම සාකච්ඡා ගණනාවක් පවත්වනු ලැබ ඇත්තේත් කමිටු, පාර්ලිමේන්තු තේරීම් කාරක සභා ආදිය පත් කරනු ලැබ ඇත්තේත් වාර්තා ඉදිරිපත් කරනු ලැබ ඇත්තේත් එම ප්‍රශ්නය සම්බන්ධයෙනි.

ඒවා අතරින් වඩාත් පූර්ණ ලියැවිල්ලක් ඉදිරිපත් කළේ හිටපු  ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියයි. ඒ 2000 අගෝස්තු 3 වැනිදා ඇය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතයි. එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුව තුළදීම එහි පිටපත්වලට ගිනි තැබීය.

2016 දී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා මෛත්‍රී-රනිල් ආණ්ඩුව පාර්ලිමේන්තුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක්  බවට ප්‍රකාශයට පත් කළේය. එම වැඩ පිළිවෙළ යටතේ ලාල් විජේනායක මහතාගේ ප්‍රධානත්වයෙන් රටේ විවිධ ප්‍රදේශවල  මහජන මතය විමසනු ලැබ වාර්තාවක් ඉදිරිපත් කරනු  ලැබීය. උප කමිටු හයක් විවිධ ක්ෂේත්‍ර පිළිබඳව සාකච්ඡා කර ඉදිරිපත් කරන ලද වාර්තා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වූ මෙහෙයුම් කමිටුවකින් සම්පිණ්ඩනය කෙරිණි. එම මෙහෙයුම්  කමිටුව 2017 අගදී අතුරු වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

සමස්ත ක්‍රියාවලියම කඩාකප්පල් කිරීමේ යෝජනාවක් එම වාර්තාවේ ඇතුළත් විය. එනම් ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් ලෙස සිංහලෙනුත් ඔරුමිත්ත නාඩු යනුවෙන් දෙමළෙනුත් හැඳින්වීමය. සිංහල ජාතිකවාදී නායකයන් මෙන්ම දෙමළ ජාතිකවාදී නායකයන්ද එය හැඳින්වූයේ වංචනික ක්‍රියාවක් ලෙසය.

ජනවාර්ගික ප්‍රශ්නය විසඳීමේදී මුහුණ දෙන්නට සිදුවන සංකීර්ණ ගැටලුව නම් සිංහල ජාතිකවාදී කණ්ඩායම් අතරත් දෙමළ ජාතිකවාදී කණ්ඩායම් අතරත් ඇති දේශපාලන තරගයයි.

මේ තරගය නිසා තමන්ගේ ජන කොට්ඨාසයට අයත් අනෙක් කණ්ඩායම් තමන් ද්‍රෝහීන් ලෙස හඳුන්වනු ඇතැයි බියෙන් කිසිදු කණ්ඩායමක් කිසිදු යෝජනාවකට එකඟ නොවේ. යම් කණ්ඩායමක් යම් හෙයකින් යම් යෝජනාවකට එකඟ වුවහොත් එම ජන කොට්ඨාසයටම අයත් අනෙක් කණ්ඩායම්වලට අවශ්‍ය වන්නේ ඊට වඩා  තමන්  දේශප්‍රේමීන් බව තම ජන කොට්ඨාසයට පෙන්වා ගැනීමයි. මේ නිසා මෙම ප්‍රශ්නය පිළිබඳව සිංහල  හා දෙමළ නායකයන් අතර කිසිදු එකඟතාවක් ඇති කර ගන්නට නොහැකිව තිබේ.

කෙසේ වෙතත්, මේ වනවිට සිවිල් සමාජය තුළ නව ව්‍යවස්ථාවක් පිළිබඳ එක්තරා උනන්දුවක් ඇති වී තිබෙන අතර යම් යම් සාකච්ඡාද පැවැත්වේ. වන් ටෙක්ස්ට් ඉනිෂියටිව් (One Text Initiative)නම් ආයතනය මේ සඳහා  පසුගිය සති කිහිපය තුළ විවිධ කණ්ඩායම් සමග සාකච්ඡා පවත්වා ඇති අතර පෙබරවාරි 10 වැනිදා කොළඹදී විශේෂ විවෘත  සම්මන්ත්‍රණයක්ද සංවිධානය කරනු ලැබ තිබේ. අතීත යෝජනා, කෙටුම්පත් හා වත්මන් සාකච්ඡා ආදියේ අදහස් කෘත්‍රිම බුද්ධිමය මෙවලම් මගින් සම්පිණ්ඩනය කර ආදර්ශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීම තම  ආයතනයේ අරමුණ බව එම ආයතනය පවසයි. ප්‍රශ්න බැරෑරුම් ලෙස සලකන්නේ නම් ආණ්ඩුවට මෙවැනි කටයුතුද තම අරමුණ සඳහා යොදාගත හැකිය.

 

(*** එම්.එස්.එම්. අයුබ්)