“ජෙන්-සී” යැයි දැන් කතා කරන්නේ නූතනයේ බිහිව ඇති අති විශිෂ්ට තරුණ පරම්පරාවක් ලෙසිනි. ඒ අලුත් පරම්පරාව කලින් පරම්පරා දෙස බලන්නේ කෞතුක වස්තුන් දෙස බලන්නාක් ලෙසින්ය. පසුගිය 2025 වසර ගෙවී යන විට ඇමෙරිකානු එක්සත් ජනපදයේ “ජෙන්-සී” ජනගහනය මිලියන 69 ක් යැයි වාර්තා කෙරිණ.
“ජෙන්-සී” පරම්පරාව යැයි ඇමෙරිකානුවන් සලකනු ලැබුවේ වයස අවුරුදු 13ත් 28ත් අතර අලුත් තරුණ පරම්පරාවය. මේ සැවොම අලුත් තාක්ෂණය හා අලුත් තාක්ෂණික මෙවලම් සමගින් ඉපිද ඒ සමගින්ම හැදී වැඩුණු සහ මේ වනවිට “කෘත්‍රිම බුද්ධි” මෙවලම් (AI - Applications) භාවිත කිරීමේ විශාල නිපුණතාවක් ඇති පරම්පරාවක් යැයි අර්ථ දක්වනු ලැබේ.
අපේ නාගරික මධ්‍යම පන්තික දුක් ගැනවිලි සමග 2022 අප්‍රේල් පළමු දෙසතියෙහි කොළඹ ගාලු මුවදොර ආරම්භ වූ Gota Go Home විරෝධය කොරෝනා වසංගතයෙන් පසු ඉතිරි වූ ආර්ථික අහේනිය ගැන කතාවක් විය. එහි ආරම්භයේ වැදගත් තරුණ සහභාගිත්වයක් තිබුණත් “අරගලය” ලෙසින් එය අවසන් වනවිට ද “ජෙන්-සී” විරෝධයක් ලෙස ඒ ගැන කතා නොවුණි. නවීන තාක්ෂණය ඔවුන්ගේ සන්නිවේදනයෙහි ලක්ෂණයක් වූවත් එය තීරණාත්මක සාධකයක් ලෙස අවධාරණය නොවුණි.
බංග්ලාදේශයේ හා විශේෂයෙන් නේපාලයේ රාජ්‍ය පාලන පෙරළා දැමුවේ “ජෙන්-සී” පරම්පරා යැයි වන ලෝක මතයකට ඉඩ පවරා ඇත්තේ බටහිර ලෝකයේ විද්වත් සංවාද තුළය. බංග්ලාදේශයේ 2024 “ජුලි අරගලය” විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතාවකි. සිසු අරගලයට හේතු වූයේ රැකියා ලබාදීමේ පැවැති ඌනතාය. එය නොපමාව සමාජ අසාධාරණය, ආර්ථික විෂමතා, ඒකාධිකාරී පාලනය හා මැතිවරණ දූෂණවලට එරෙහි අගමැතිනී ෂෙයික් හසිනාගේ වසර 15 ක ආණ්ඩු පාලනයට එරෙහි ප්‍රචණ්ඩ, විනාශකාරී විරෝධයක් බවට පත් විය. අගමැතිනි හසිනා රටින් බැහැරවූ පසු ජනාධිපති මොහොමඩ් ෂහාබුඩීන් විසින් නොබෙල් ත්‍යාගලාභියකු යැයි වර්ණනා කෙරුණු ඇමෙරිකානු ගැත්තකු යැයි ප්‍රසිද්ධියක් තිබූ මොහොමඩ් යූනුස්ගේ ප්‍රධානත්වයෙන් 2024 අගෝස්තුවේ දී තාවකාලික ආණ්ඩුවක් ප්‍රකාශයට පත් කෙරුණි. එහි සාමාජිකයන් වශයෙන් විශ්වවිද්‍යාල විරෝධයේ කැඳවුම්කරුවෙක් ද නම් කරනු ලැබීය.
ඉන් වසරකට පසු 2025 ජූලියේ දී නේපාලයේ “ජෙන්-සී” පරම්පරාව සැප්තැම්බරය ආරම්භයේ කත්මණ්ඩු නුවර පාරවලට පැමිණියහ. නේපාල අධිකරණය විසින් අපහාස නඩු විභාගයක් අතර විදේශීය හා දේශීය සමාජ මාධ්‍ය ජාල ලියාපදිංචි කරන මෙන් ආණ්ඩුවට දැනුම් දෙනු ලැබූ පසු අගෝස්තු අවසානය වනවිට ලියාපදිංචි නොවුණු ෆේස්බුක්, යූ-ටියුබ්, ටික් ටොක් වැනි සමාජ මාධ්‍ය වේදිකා 26 ක් තහනම් කිරීම ඊට හේතු විය. ඒ අතර වාරයේ නාගරික මැද පන්තික තරුණයන් අධිසුඛෝපභෝගී ජීවිත ගත කරන ධනවත් වරප්‍රසාදිත පෙළැන්තියේ දරුවන්ට එරෙහි NepoKids (ඥාති ගැටව්) යැයි විරෝධයක් සමාජ මාධ්‍ය ජාලවල ගොනු කරමින් තිබිණ.
අප වැනි රටවල දේශපාලනයේ පොදු අවලක්ෂණයක් වන දූෂණය, ඥාති සංග්‍රහය හා පහළ සමාජ ස්ථර අත්විඳින ආර්ථික පීඩනය නිරන්තරව සමාජ විරෝධයක් ලෙස ප්‍රකාශ වන්නකි. එය නේපාලයේ NepoKids විරෝධයට එකතුවීමත් සමග සමාජ මාධ්‍ය ජාල තහනමට හවුල් වූ පිරිස් සැප්තැම්බර් 08 වැනිදා උදේ කත්මණ්ඩු නගර මධ්‍යයට සාමකාමීව ගොනු වූහ. ඔවුහු බහුතරයක් පාසල් හා උසස් අධ්‍යාපන සිසු සිසුවියෝ වූහ. ඔවුන්ගේ බැනර කිහිපයේ වූයේ “දූෂණයට එරෙහි තාරුණ්‍යය” යන්න පමණි. කත්මණ්ඩු විරෝධය “ජෙන්-සී” විරෝධයක් යැයි පිළිගනු ලැබුවේ එනිසාවෙනි. එය ජනතා විරෝධයක් බවට පත්වීමෙන් සැප්තැම්බර් අවසානය වනවිට, 76 ක් පමණ මිය ගොස් 2,000 ක් පමණ රෝහල්ගතව සිටියහ. අගමැති ශර්මා ඔලි සහ ඇමැතිවරු කිහිප දෙනෙක් ඉල්ලා අස් වූහ. ජනාධිපති නිවස, අගමැති ඔලිගේ සහ තවත් ඇමැතිවරුන්ගේ නිවාස, විශ්‍රාමික අගමැති ශීර් බහදූර් ඩොයිබාගේ නිවස, රාජ්‍ය ගොඩනැගිලි, පාර්ලිමේන්තු සහ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයට බරපතළ අලාභ හානි කර ඇතැම් ඒවා ගිනි තබා තිබිණ.
ඒ විනාශය සමග අපගේ Gota Go Home විරෝධයේ ප්‍රකාශකයන් ලෙස තරුණයන් කිහිප දෙනකු ගාලු මුවදොර පිටියේ මතු වූ අයුරින් නේපාලයේ ද NepoKids විරෝධය ඔස්සේ තරුණ කල්ලි කිහිපයක් ඉස්මතු වූහ. භෞතිකව සංවිධානගත නොවුණු ඔවුහු අන්තර්ජාල “ඩිස්කෝඩ්” මෙවලම යොදා ගනිමින් “මාර්ග ගත” ජාල මාලාවක් සමග කත්මණ්ඩු විරෝධයේ ප්‍රකාශකයන් හා තාවකාලික ආණ්ඩුවක් නම් කිරීමේ හවුල්කරුවෝ වූහ.
“ඩිස්කෝඩ්” මෙවලමෙහි හදාගත් “දූෂණයට එරෙහි තාරුණ්‍යය” නම් ගිණුම මගින් තාවකාලික ආණ්ඩුවේ අගමැති පත්කර ගැනීම “ජෙන්-සී” පරම්පරාවට සීමා කෙරුණු “මාර්ග ගත” මැතිවරණයක් ඔවුහු පැවැත් වූහ. සාමාජිකයන් ලෙස ලියාපදිංචි වූ 1,45,000 ක් අතුරින් ලක්ෂයකට වැඩි තරුණ තරුණියන් වාර කිහිපයක් ඡන්දය දීමෙන් අවසාන ඡන්ද විමසීමට 05 දෙනෙක් තෝරා ගනු ලැබූහ. අනතුරුව පැවැති “මාර්ග ගත” ඡන්දයෙන් විශ්‍රාමික අගවිනිසුරු ශුෂිලා කාර්කි සියයට 50 ක ජන්දයක් ලබාගත්ත ද, ඇය අගමැතිනිය ලෙස පත් කිරීම සම්බන්ධයෙන් “ජෙන්-සී” කණ්ඩායම් අතර මතභේද තිබිණ.
ව්‍යවස්ථාවට පිටතින් තීන්දුගත නොහැකි යැයි ඒ අතර ජනාධිපති රාම් චන්ද්‍රා පොව්ඩෙල් විසින් නේපාල ව්‍යවස්ථාවේ 61(4) වගන්තිය යටතේ විශ්‍රාමික අගවිනිසුරු ශුෂිලා කාර්කි තාවකාලික ආණ්ඩුවේ අගමැතිනිය ලෙස පත් කරනු ලැබුවාය. ඇය නේපාලයේ පළමු රාජ්‍ය නායිකාව වූවාය. ඇයගේ පත්වීම, ව්‍යවස්ථාවේ 132(2) වගන්තිය සමග මූලික පරස්පරයක් ඇතැයි මතභේදයක් ඉස්මතු විය. එම වගන්තියෙහි අපට ද ඉතා වැදගත් කාරණාවක් තිබිණ. එයට අනුව විනිසුරුවරයකු හෝ අගවිනිසුරුවරයකු ආණ්ඩුවේ ධුරයකට පත් කිරීමට නොහැකිය. එහි මුඛ්‍ය පරමාර්ථය වන්නේ එවැන්නන්ට ආණ්ඩු විසින් මතු බලපොරොත්තු දී අයථා ලෙස කටයුතු කරවා ගැනීමට ඉඩ නොතැබීමය. එහෙත් ජනාධිපති වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවරා ඇති ස්ථාවර ආණ්ඩු පාලනයක් පවත්වා ගැනීමේ වගකීමට වෙනත් විසඳුමක් දැන් නැතැයි තර්කයක් විය. එනිසා එම තීන්දුව, “අවශ්‍යතාවේ භාෂිතය” අනුව, ව්‍යවස්ථානුකූල යැයි ද තර්ක කෙරුණි.
ලංකාව ගැන ද සඳහන් කෙරුණු, බංග්ලාදේශයේ සිට ඉන්දුනීසියාව, පිලිපීනය හරහා නේපාලය දක්වා වන තරුණ නැගිටීම් “ජෙන්-සී” පරම්පරාවේ “දැනුම හා බුද්ධිය” පිළිබඳ නැවුම් සංවාදයකට හේතුවී ඇත. 2025 සැප්තැම්බර් 24 වැනිදා “බී.බී.සී” වාර්තාවකට අනුව, ඒ සියලු විරෝධතා තරුණ පරම්පරාව අත්දකින දූෂණ වංචාවලට එරෙහි විරෝධතාවලින් ආරම්භ වූ නැගිටීම්ය. එවැනි විරෝධතා සතු අපැහැදිලි අථාර්කික අරමුණු ප්‍රචණ්ඩ අරාජිකත්වයකට ඉඩ දීමේ අවදානමක් ඇතැයි කලාපීය ආණ්ඩු පාලකයන් කියා සිටියත්, නේපාලයේ “ජෙන්-සී” ක්‍රියාධරයකු වන අධිත්‍යා කියා තිබුණේ, “වත්මන් ශිෂ්‍ය හා තරුණ පරම්පරාවට නොකළ හැකි දෙයක් නැතැයි, අපි ඉගෙන ගත්තා” යැයි කියාය.
“කත්මණ්ඩු පෝස්ට්” පුවත්පතට 2026 ජනවාරි 29 වැනිදා “නේපාලයේ උමතුවට පත් ජෙන්-සී පරම්පරාව ඩිස්කෝඩ් මෙවලම දේශපාලන පිටියක් බවට පත්කර ගත් අයුරු” මැයෙන් ලිපියක් ලියූ ආරතී රේ කියන්නේ, නේපාල “ජෙන්-සී” පරම්පරාව විසින් සැප්තැම්බරයේ දී “ඩිස්කෝඩ්” මෙවලම සහමුලින් කණපිට හැරවූ බවය. “ඩිස්කෝඩ්” මෙවලම සෙල්ලම් කිරීමට, කයිවාරු ගැසීමට හා විනෝදය සඳහා වූ නම් දැරූ මෙවලමකි. එහෙත් සැප්තැම්බරයේ නේපාල “ජෙන්-සී” පරම්පරාව එයට ගොඩවැදුණු පසු, එහි වූ නේපාලී බහුතරය විනෝදයට එහි ගොඩවූවන් නොව, සිය මව්බිමේ අනාගතය ගැන කනස්සල්ලක් උනන්දුවක් දැක්වූවන් යැයි ඇය කියන්නීය.
“නිව්යෝක් ටයිම්ස්” වාර්තා කර තිබුණේ දැන් නේපාලයේ පාර්ලිමේන්තුව කියන්නේ “ඩිස්කෝඩ්” මෙවලමට යැයි කියාය. “අල් ජසීරා” වර්තාවකින් කියැවුණේ, නේපාලයේ “ජෙන්-සී” පරම්පරාව වඩා සමානාත්මතාවාදී ලෙස අගමැති පත් කිරීමට විනෝදාංශය සඳහා වූ “ඩිස්කෝඩ්” මෙවලම යොදා ගත්තේ යැයි කියාය.
නේපාලයේ “ජෙන්-සී” විරෝධතා ව්‍යාපාරයේ ඉදිරි පෙළ ක්‍රියාකාරිනියක වූ තනුජා පාණ්ඩේ “කත්මණ්ඩු පෝස්ට්” පුවත් පතේ ආරතී රේ සමග කියා තිබුණේ, “ඩිස්කෝඩ්” මෙවලම මගින් පමණක් අගමැතිනිය තෝරා ගත්තේ යැයි කීම, අධිතක්සේරුවක් යැයි කියාය. “ඩිස්කෝඩ්” මෙවලම විසින් ජනප්‍රිය අදහස හඳුනා ගැනීමට සහායක් ලබා දුන්නා යැයි ද ජනතාව ෆේස්බුක්, ඉන්ස්ටග්‍රම්, රෙඩිට් වැනි සමාජ මාධ්‍ය සමග ද ගනුදෙනු කළ බැව් පාණ්ඩේ කියා තිබුණි.
ආරතී රේ උපුටා තිබූ “X” සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන නිකො රොබින් නේපාල “ජෙන්-සී” පරම්පරාව ගැන කියා තිබුණේ “මේ ගැටවුන්ගේ හදවත නිවැරැදි තැන තියෙනවා. එහෙත් ඔවුන්ට දේශපාලන දැනුවත්වීමක් අවශ්‍යයි. මට පිස්සු හැදුණේ නේපාලයේ පෙරළිය සජීවීව දැකගන්නට ඔවුන් කටයුතු කර තිබීමයි” කියාය.
අලුත් ගමනක් යෑමට, විකල්ප විසඳුම් හදා ගැනීමට “ජෙන්-සී” පරම්පරාවට හැකියාවක් නොමැත්තේ මන්දැයි කලක් ගුරුවරයකුව සිටි මානව අධ්‍යාපනය වෙත අවධානය යොමුකර ඇති ඥානය සම්බන්ධ ස්නායු විද්‍යාඥයකු හා පර්‌යේෂකයකු වන ආචාර්ය ජැරඩ් කූනි හෝවාත් ඇමෙරිකානු කොංග්‍රස් සභාව හමුවේ ළමයින්ගේ ඥාන ශක්තිය වර්ධනය කිරීම ගැන අදහස් දක්වමින් කියා සිටියේ, “අපේ පරම්පරාව මුහුණ දිය යුතු කනගාටුදායක සත්‍ය නම්, අපේ දරුවන්ට අප ඒ අයගේ වයසේ සිටියදී අපට තිබූ තරම් තාර්කික ඥාන ශක්තියක් ඔවුන්ට නොමැති වීමය”. ඔහු තවදුරටත් සඳහන් කර ඇත්තේ, 1800 ගණන්වල සිට අප මානවයාගේ ඥාන වර්ධනය ප්‍රමිතිගත මැනීමකට හසුකර තිබුණෙන් සෑම පරම්පරාවක්ම තම මවුපිය පරම්පරාවට වඩා වැඩි වර්ධනයක් ලබා තිබුණු බව අප දන්නේ යැයි කියාය. අපට අවශ්‍ය එය බවත් අපට වඩා තියුණු බුද්ධියක් ඇති දරුවන් බවත් ඔහු කියා ඇත. ඔහුට අනුව වර්තමාන දරුවන්ගේ බුද්ධිමය බාලවීම 2010 පමණ සිට සිදුව ඇත්තේ පන්ති කාමරයේ වැඩි කාලයක් “විද්‍යුත් තිර” මත කාලය වැය කිරීමට ඉඩ තැබීමෙන්ය. රටවල් 80 ක දත්ත පිරික්සීමෙන් එය හෙළි වන්නේ යැයි ඔහු කියා තිබිණ.
එලෙසින් රටකට අනාගතය ගැන සිතිය නොහැකි යැයි ඩෙන්මාකය, ඔවුන්ගේ පාසල් අධ්‍යාපනය නැවත ආපස්සට කර කවා ඇත. “විද්‍යුත් තිර” භාවිතය පන්ති කාමරයෙහි තහනම් කර, ඒ වෙනුවට මවුපියන් කියවන්නට, දැනුම ලබන්නට, තොරතුරු විශ්ලේෂණය කරන්නට පුරුදු පුහුණුව සිටි පන්ති කාමරය නැවත රැගෙන විත් ඇත. පොත්පත් භාවිතය ද හඳුන්වා දෙන්නේය.
දැන් කතාව කෙටි කරමු. “කෘත්‍රිම බුද්ධි” මෙවලම් මගින් තොරතුරු හා දැනුම තාර්කිකව විශ්ලේෂණය කිරීමේ පුරුද්ද සමග කුසලතාව අත්හරින්නේය. එනිසා “ජෙන්-සී” පරම්පරාව යැයි කියන්නේ විද්‍යුත් තාක්ෂණික දැනුමෙන් සියල්ල විසඳන්නට හැකි යැයි විශ්වාස කරන අලුත් පරම්පරාවකි. මානව ඉතිහාසයේ පළමු වරට මවුපිය පරම්පරාවේ අත්දැකීම් හා බුද්ධි මට්ටම මත අලුත් වර්ධනයක් නොලැබූ පරම්පරාවක් වන්නේ නම්, ඒ වර්තමාන “ජෙන්-සී” පරම්පරාවය. “ජෙන්-සී” යනු පවතින දෙය විනාශ කිරීම මිස, පවතින දෙය දියුණු කිරීමක් ගැන නොදන්නා මැටි මෝල් පරම්පරාවක් යැයි ලංකාවේ සිට නේපාලය දක්වා රටවල් ගණනාවක ඔප්පු කෙරුණකි.
(*** කුසල් පෙරේරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd