දශක ගණනාවක් තිස්සේ සිට ප්‍රමුඛ පෙළේ වෘත්තිකයන්ට විශේෂයෙන් වෛද්‍ය වෘත්තිකයන්ට සමාජය තුළ හිමිව ඇත්තේ අතිමහත් ගෞරවයකි. ඔවුන්ගේ සේවය සහ කැපවීම නිසාම අපේ රටේ මිනිසුන් බොහෝ විට ඔවුන් හැඳින්වූයේ “දෙවියන් වැනි මිනිසුන්”‍ යන උත්කෘෂ්ඨ නාමයෙනි. එහෙත් වර්තමාන මොහොත අපට බල කර සිටින්නේ ඉතා ගැඹුරු සහ අසීරු ප්‍රශ්නයක් අපගෙන්ම විමසා සිටීමටයි.

මෙය හුදෙක් එක් වර්ජනයක් එක් වෘත්තීය සමිතියක් හෝ එක් නායකත්ව කණ්ඩායමක් පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. මෙය මෙම වෘත්තිකයන් බිහි කළ “නිෂ්පාදන ක්‍රියාවලිය”‍ පිළිබඳ ප්‍රශ්නයකි. සැබෑ ප්‍රශ්නය තිබෙන්නේ වර්ජනය තුළ නොව අපගේ රටේ දක්ෂතම පුරවැසියන්ගේ මනස හැඩගැස්වූ අධ්‍යාපන ඉණිමග තුළ ය.

 

මහා මගහැරීම: ඉහළ බුද්ධිය සහ පහළ සංවේදීතාව

ඓතිහාසිකව, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය නිර්මාණය වී ඇත්තේ ‘බුද්ධිමය තරගකාරිත්වය‘ සඳහා වූ කර්මාන්ත ශාලාවක් ලෙසය. 5  ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ සිට උසස් පෙළ කඩඉම් ලකුණු දක්වාම, මෙම පද්ධතිය සකසා ඇත්තේ බුද්ධි ඵලය (IQ) පෙරීමට, ශ්‍රේණිගත කිරීමට සහ ඊට සම්මාන දීමට ය. එමගින් අතිවිශිෂ්ට මතක ශක්තියක්, විශ්ලේෂණාත්මක හැකියාවක් සහ තාක්ෂණික නිපුණත්වයක් ඇති පුද්ගලයන් බිහි කර ඇත. ශල්‍යාගාර තුළ හාස්කම් කළ හැකි වෛද්‍යවරුන් සහ සංකීර්ණ යටිතල පහසුකම් ගොඩ නැගිය හැකි ඉංජිනේරුවන් අප සතුය. එහෙත් මෙම බුද්ධිමය දීප්තියට සමාන්තරව ඉතා වැදගත් යමක් නිහඬවම නොසලකා හැර තිබේ. එනම් භාවමය බුද්ධිය (EQ), සමාජ වගකීම සහ සිවිල් පරිණතභාවයයි. මේවා අධ්‍යාපනයේ මූලික ප්‍රතිඵල ලෙස අප කිසිදා සැලකුවේ නැත. දරුවා වැඩෙන විට මේවා ”‍ඉබේම හැදෙයි”‍ කියා අපි උපකල්පනය කළෙමු.

එහෙත් එය එසේ නොවුණු බවට සාක්ෂි අද අප හමුවේ ඇත. ප්‍රශ්න පත්‍රයේ “නිවැරැදි පිළිතුරට”‍ පමණක් ලකුණු දීමෙන්, අප වක්‍රාකාරව නිර්මාණය කළේ අවිනිශ්චිතතා මතවාදී වෙනස්කම් හෝ සමාජීය ප්‍රතිවිපාක හමුවේ කටයුතු කිරීමට නොදන්නා වෘත්තිකයන් පිරිසකි. තාක්ෂණිකව විශිෂ්ට නමුත් තමන්ව පෝෂණය කළ සමාජය වෙනුවෙන් තමන්ට ඇති වගකීම සහ තමන්ගේ අයිතිවාසිකම් සමබර කර ගැනීමට අපොහොසත් පිරිසකි.

 

විවේචනාත්මක චින්තකයන් වෙනුවට “එහෙයි කියන සංස්කෘතියක්”‍

මෙහි ප්‍රතිඵලයක් ලෙස, වෘත්තීය සමිති නායකත්වය කියන ඕනෑම දෙයක් ප්‍රශ්න කිරීමකින් තොරව පිළිගන්නා “අනුගාමී සංස්කෘතියක්”‍ බුද්ධිමතුන් අතර පවා නිර්මාණය වී ඇත. විෂය නිර්දේශයට කීකරු වීම සදාචාරාත්මක විනිශ්චයට වඩා අගය කරන අධ්‍යාපන ක්‍රමයක් මගින් බිහි කරන්නේ ”‍අනුගත වීමේ සංස්කෘතියකි”‍ (Culture of conformity). අද ශ්‍රී ලංකාවේ බොහෝ වෘත්තීය ආයතන තුළ අප දකින්නේ පන්ති කාමරයේ දිගුවකි. ගුරුවරයාගෙන් ප්‍රශ්න නොකිරීමට පුහුණු කළ දරුවා, වෘත්තිකයකු වූ පසු “වෘත්තීය සමිති නායකත්වයෙන්”‍ ප්‍රශ්න නොකිරීමට පුරුදු වී සිටී.

නායකයෝ මතවාදය පාලනය කරති.

සාමාජිකයෝ යාන්ත්‍රිකව තීරණ අනුගමනය කරති.

අභ්‍යන්තර විරෝධය දැක්වීම ද්‍රෝහීකමක් ලෙස සලකයි.

මෙම තත්වය වඩාත් භයානක සහ විනාශකාරී වන්නේ, වෘත්තීය සමිති නායකත්වය පැරණි දේශපාලන බල කඳවුරු සමග පටු දේශපාලන න්‍යාය පත්‍ර පවත්වන විටදී ය. එවිට මහජනතාව මුළු වෘත්තීය ප්‍රජාව දෙසම බලන්නේ මෙම දූෂිත කවුළුවෙනි. යථාර්ථයේ දී බහුතර සාමාජිකයන් නිර්දෝෂී වුව ද, නායකත්වයේ මෙම ක්‍රියා කලාපය නිසා පොදු සමාජය ඉදිරියේ මුළු වෘත්තීය ප්‍රජාවම වැරැදිකරුවන් බවට පත්වෙති.

ගෞරවනීය ආයතන සිය සදාචාරාත්මක පදනම්වලින් ඈත් වන්නේ මේ ආකාරයට ය. එය හිතාමතා කළ නපුරක් නිසා නොව, නිර්මාණාත්මකව එකිනෙකා සමග එකඟ නොවීමට හෝ ධ්‍රැවීකරණයකින් තොරව අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කිරීමට අපගේ අධ්‍යාපනය විසින් දක්ෂතම මනස් පුහුණු නොකළ නිසා ය.

 

නිදහස් අධ්‍යාපනයේ සදාචාරාත්මක බිල්පත ගෙවන්නෝ කවුරුද?

ශිෂ්ට සම්පන්න සමාජයක අප කලාතුරකින් කතා කරන නමුත් මෙම සදාචාරාත්මක අර්බුදයේ හදවතේ තිබෙන අමිහිරි ආර්ථික සත්‍යයක් තිබේ. ශ්‍රී ලංකාවේ බදු ව්‍යුහය දැඩි ලෙස ප්‍රතිගාමී (Regressive) එකකි. රටේ මුළු බදු ආදායමෙන් සියයට 75 කට ආසන්න ප්‍රමාණයක් ලැබෙන්නේ වක්‍ර බදු ( VAT වැනි) හරහා ය.

නුවරඑළියේ වතු කම්කරු කාන්තාවක සීනි ටිකක් ගන්නා විට ඇය බදු ගෙවයි. කටුනායක ඇඟලු‍ම් සේවිකාවක කිරිපිටි පැකට් එකක් ගන්නා විට ඇය බදු ගෙවයි. මේසන් බාස් කෙනකු බස් රියේ යන විට ඔහු රජයේ ආදායමට දායක වෙයි. මෙම අඩු ආදායම්ලාභී පවුල්, ධනවතුන්ට සාපේක්ෂව තම ආදායමෙන් විශාල ප්‍රතිශතයක් බදු ලෙස ගෙවයි. වඩාත් වැදගත් කාරණය නම්, නිදහස් අධ්‍යාපනයට සහ නිදහස් සෞඛ්‍ය පද්ධතියට මුදල් පොම්ප කරන්නේ මේ මුදල්වලින් වීමයි. වෛද්‍යවරයා, ඉංජිනේරුවා සහ විශ්වවිද්‍යාල ආචාර්යවරයා ඉගෙන ගත්තේ මේ දින කූලී උපයන මිනිසුන්ගේ කර මතිනි. එතැන තිබූ සමාජ සම්මුතිය ඉතා පැහැදිලිය. සමාජය ඔබ වෙනුවෙන් ආයෝජනය කරයි. ඒ ඔබ නැවත සමාජයට සේවය කරනු ඇතැයි යන බලාපොරොත්තුවෙනි.

දුප්පතාගේ මුදලින් ඉගෙන ගත් ඉණිමගේ ඉහළට ගිය වෘත්තිකයන්, එම ඉණිමග තැනීමට මුදල් දුන් දුප්පත් මිනිසුන්ම පීඩාවට පත් කරන වර්ජන දියත් කරන විට, බරපතළ සදාචාරාත්මක බිඳ වැටීමක් සිදුවේ. ධනවතුන්ට වර්ජනයක් ඇති විට පෞද්ගලික රෝහලකට යාමට හෝ සිංගප්පූරුවට යාමට හැකියාව ඇත. දුප්පතුන්ට විකල්පයක් නැත. ඔවුන් ප්‍රාණ ඇපයට ගනු ලබන්නේ ඔවුන්ට ඉගැන් වූ මිනිසුන්ය. රාජ්‍ය ආයෝජනයේ ප්‍රතිලාභ ලැබූවන්, එම ආයෝජකයන්ටම (දුප්පතාට) එරෙහිව සිය බලය අවියක් කර ගැනීම සදාචාරාත්මකද? මෙය නීතිමය ප්‍රශ්නයක් නොවේ; මෙය අපගේ විභාග කේන්ද්‍රීය විෂය මාලාව විසින් දරුවාට කියා දීමට අසමත් වූ “කෘතගුණ සහ සංවේදීතාව”‍ පිළිබඳ ප්‍රශ්නයකි.

වෛද්‍ය වෘත්තිය යනු අනෙක් වෘත්තීන් මෙන් සාමාන්‍ය රැකියාවක් නොවේ. එය මිනිස් ජීවිතය සහ ගෞරවය සමග සෘජුව බැඳී පවතී. වෛද්‍යවරයාගේ වගකීම හුදෙක් රෝගයට ප්‍රතිකාර කිරීමෙන් පමණක් අවසන් නොවන බව, 2017 වසරේ දී චිකාගෝ හි පැවැති ලෝක වෛද්‍ය සංගමයේ මහා සභා රැස්වීමේ දී සම්මත කරගත් ජිනීවා ප්‍රකාශනයේ නූතන සංශෝධනය මගින් පැහැදිලිව තහවුරු කර ඇත. 1948 මුල් ප්‍රකාශනයේ තිබූ ‘සෞඛ්‍යය‘ පමණක් යන්න පුළුල් කරමින්, 2017 දී ඊට ‘යහපැවැත්ම‘ (Well-being) යන්න ද එක් කරන ලදී. ඒ අනුව වත්මන් ප්‍රතිඥාව වන්නේ “මගේ රෝගියාගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම මගේ පළමු සැලකිල්ල” විය යන්නයි. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ද පිළිගනු ලබන මෙම මූලධර්මය මගින් අවධාරණය කරන්නේ, රෝගියාගේ මානසික සහ සමාජීය සුරක්ෂිතතාව ද වෛද්‍යවරයාගේ වගකීමක් බවයි. එබැවින් හදිසි ප්‍රතිකාර ලබාදීමෙන් පමණක් වර්ජන කාලසීමාවක දී සදාචාරාත්මක වගකීම ඉටු නොවන්නේ, එමගින් රෝගියාගේ ‘යහපැවැත්මට‘ බරපතළ හානි සිදුවන බැවිනි.

 

සමානුපාතික බව සහ දුක් ගැනවිලි

වෛද්‍යවරුන්ට තම අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට ඇති අයිතිය කිසිවෙක් ප්‍රශ්න නොකරති. මින් අදහස් වන්නේ වෘත්තිකයන්ට සාධාරණ දුක් ගැනවිලි නැති බව නොවේ. බදු, වැටුප් සහ ආයතනික ස්වාධීනත්වය පිළිබඳ ගැටලු‍ සැබෑ ය. දේශපාලන වාසි අවාසි නොසලකා වගකිවයුතු රජයක් ඊට ඇහුම්කන් දිය යුතුය. එහෙත් ලෝකයේ දියුණු රටවල වෛද්‍ය වර්ජන කරන්නේ රෝගී ජීවිත අනතුරේ නොදමමිනි. ඔවුන්ගේ සටන පවතින්නේ පාලකයන් සමග මිස රෝගීන් සමග නොවේ. රෝගීන් ප්‍රාණ ඇපයට ගනිමින් කරන අරගලවලින් ”‍රෝගියාට හානියක් නොකිරීම”‍ (Non-maleficence) යන මූලික වෛද්‍ය සදාචාරය බිඳ වැටේ.

කෙසේ වෙතත්, පරිණත අධ්‍යාපන ක්‍රමයක් උගන්වන පාඩමක් තිබේ. ඒ ”‍සමානුපාතික බව”‍යි. වර්තමාන බොහෝ දුක්ගැනවිලි පරිපාලනමය හෝ කාර්ය පටිපාටිමය ඒවා ය. සමහර ඒවා විනිවිදභාවය වැඩි දියුණු කිරීම සඳහා හඳුන්වා දුන් යහපාලන ක්‍රියාමාර්ගවලට (නියමිත සේවා කාලය සම්පූර්ණ වූ විට සේවා ස්ථාන මාරු කිරීම් වැනි) දක්වන ප්‍රතික්‍රියා ය.

සාකච්ඡා, බේරුම්කරණ හෝ පියවරෙන් පියවර විරෝධතා දැක්වීමකින් තොරව, මෙවැනි පරිපාලනමය ආරවුල් එකවරම ‘අඛණ්ඩ වැඩ වර්ජන‘ දක්වා ගෙන යාමෙන් පෙන්නුම් කරන්නේ සිවිල් බුද්ධියේ අසාර්ථකත්වයයි. ඉන් පෙන්නුම් කරන්නේ ‘ප්‍රශ්නය විසඳීමට‘ වඩා ‘තර්කය දිනීමට‘ පුහුණු කළ මානසිකත්වයකි. එසේත් නැතිනම් ගැටලු‍වේ මූලාරම්භය විසඳනවා වෙනුවට, යම් දේශපාලන උරුමයක් තෘප්තිමත් කිරීමට දරන උත්සාහයකි.

 

අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක අනිවාර්ය අවශ්‍යතාව

දශක ගණනාවක අධ්‍යයන විශිෂ්ටත්වයෙන් පුහුණු වූ ඉහළ උගත් වෘත්තිකයන්ට පවා මෙතරම් නම්‍යශීලී නොවන, ධ්‍රැවීකරණය වූ හෝ සමාජයෙන් වියෝ වූ හැසිරීම්වලට ඇදී යා හැකි නම්, ප්‍රශ්නය ඇත්තේ ඔවුන්ගේ බුද්ධියේ නොවේ. ප්‍රශ්නය ඇත්තේ ඔවුන්ගේ බුද්ධිය අධ්‍යාපනය ලැබූ ආකාරය තුළ ය. එම බුද්ධිය මෙහෙයවන ”‍හික්මවීමේ”‍ ය.

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හුදෙක් විෂය නිර්දේශ යාවත්කාලීන කිරීමක් හෝ තාක්ෂණය එකතු කිරීමක් පමණක් නොවන්නේ එබැවිනි. එය අපගේ ජාතික චරිතය (National Character) නිවැරැදි කිරීමේ ශල්‍යකර්මයකි.

සැබෑ ප්‍රතිසංස්කරණයක් විසින් පහත දේ හිතාමතාම වගා කළ යුතුය.

1. සදාචාරාත්මක තර්කනය: ”‍නීතිය කුමක්ද?”‍ යන්නෙන් ඔබ්බට ගොස් ”‍නිවැරැදි දේ කුමක්ද?”‍ යන්න විමසීම.

2. සහකම්පනය: තම ක්‍රියා වඩාත් අවදානමට ලක්විය හැකි අයට බලපාන්නේ කෙසේද යන්න තේරුම් ගැනීම.

3. සම්මත ධර්ම ඇගැයීම: විභාග ලකුණු තරම්ම චරිතය, නායකත්වය සහ සමාජ දායකත්වය අගය කිරීම.

රටක් කඩා වැටෙන්නේ එහි මිනිසුන් මෝඩ නිසා නොවේ. ශ්‍රී ලාංකිකයෝ බුද්ධිමත්හුය. ජාතීන් කඩා වැටෙන්නේ බුද්ධියට වඩා ප්‍රඥාව, සදාචාරය සහ සමාජ වගකීම පමා වූ විට ය.

පරිස්සමින් සහ සදාචාරාත්මකව සිදු කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, අපගේ සම්ප්‍රදායයට හෝ වෘත්තිකයන්ට තර්ජනයක් නොවේ. එය අනාගතයේ බිහිවන “දෙවියන් වැනි මිනිසුන්ට”‍, සුවපත් කිරීමට හෝ ගොඩනැගීමට ඇති හැකියාව පමණක් නොව, මිනිසුන් ගැන සිතීමට හදවතක් සහ මග පෙන්වීමට ප්‍රඥාවක් ඇති බව තහවුරු කිරීමට සමාජය විසින් ගනු ලබන ප්‍රමාද වූ උත්සාහයයි.

වෛද්‍යවරු සාමාන්‍ය සේවකයෝ පිරිසක් නොවෙති. ඔවුන් සතු සදාචාරාත්මක බලය පවතින්නේ ඔවුන් අතින් ජීවිත රැකෙන නිසාය. එම ජීවිතම තම අයිතිවාසිකම් දිනා ගැනීමේ තුරුම්පුවක් ලෙස භාවිත කරන මොහොතේ, ඔවුන් දශක ගණනාවක් තිස්සේ රැකගත් මහජන විශ්වාසය බිඳ වැටේ. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ දී තමන්ගෙන්ම ඇසිය යුතු සරලම ප්‍රශ්නය මෙයයි. මෙහි ගොදුර බවට පත්වන්නේ මගේම මව, පියා හෝ දරුවා නම් මා මෙය කරනවාද? යන්නයි.

(*** ආචාර්ය - චන්දික ගුරුසිංහ)