අද අප නිදහස සමරන මේ යුගය විද්‍යුත් තාක්‍ෂණයෙන් මෙහෙයවා හසුරුවා පාලනය කරන යුගයකි. අනෙක් අතට සොබාදහමේ කුරිරු වද හිංසාවලට ද අපි ලක්ව සිටියෙමු. තාක්ෂණික පැත්තෙන් බලතොත් 1948 තරම් ඈත කාලයක අප බ්‍රිතාන්‍ය පාලකයන්ගෙන් නිදහස ලබාගත් අවධියට වඩා නූතනයේ ඉහත දැක්වූ විද්‍යුත් තාක්ෂණය විසින් බරපතළ වෙනස්කම්වලට ලක් කරනු ලැබ ඇති බව නොරහසකි.
එදා නිදහස වෙනුවෙන් නැගූ සටන් සහ ව්‍යාපාර අද නිදහස ලබා දිගු කලක් ගත වූ තැන අපට පෙනෙන්නේ වෙනස් ආකාරයකට වීම ස්වාභාවිකය. එයට මූලික හේතුව නිදහස හා එදා බැඳී තිබුණු සංස්කෘතිය ද තාක්ෂණය විසින් වෙනස් කරනු ලැබ තිබීමය. අද අප ජීවත් වනුයේ ද තාක්ෂණික මෙවලම් සංස්කෘතියක බව අපි පිළිගත යුතු වෙමු. මෙමගින් වාස්තවික යාන්ත්‍රික පසුබිමක නිදහස අප තේරුම් ගන්නේ කෙසේද?
ඇත්තෙන්ම රටක නිදහස සැමරෙන අවස්ථාවේ අප මූලිකව තේරුම් ගත යුතු වැදගත්ම කරුණ නම් නිදහස යනු කුමක්ද යන්නයි. ලෝක ඉතිහාසය පරීක්ෂා කර බැලුවොත් මානව වර්ගයාගේ නිදහස යනු ඉබේ පහළ වුවක් නොවේ. ශක්තිවන්තයා ප්‍රබල වේය යන තර්කය මත සෑමවිටම සිදුවන්නේ ප්‍රබලයා විසින් දුබලයා පාලනය කරනු ලැබීමය. මානව ඉතිහාසයේ ඛේදය ලෙස සැලකෙන්නේ ද මෙම කරුණමය. මෙම තත්වය නිදහස යනු කුමක්ද යන්න පැහැදිලි කරගැනීම සඳහා වඩාත් බලපාන කරුණකි.
ලෝක ඉතිහාසය තුළ මේ ගමන්මගේ ඇතිවූ තීරණාත්මක අවස්ථාවක් නම් 1889 දී ඇතිවූ ප්‍රංශ විප්ලවයයි. මේ විප්ලවයත් සමගම ලෝක සමාජයට ලැබුණු ප්‍රමුඛ දායාදයක් නම් මානව නිදහසයි. මානව අයිතීන් ගරු කරන සමාජයක් වෙත යාමට අවශ්‍ය පදනම් මේ හරහා ගොඩනැගුණු බව පොදුවේ පිළිගැනෙන කරුණකි. ලොව පුරා වෙසෙන සෑම ගැහැනියකටම මිනිසකුටම නිදහසේ ජීවත් විය හැකි මානව නිදහසක් හා අයිතියක් ඇති බව පළමු වරට නිශ්චිතව අවධාරණය වූයේ මේ අනුවය.
එසේම 1945 දී මානව අයිතිවාසිකම් පිළිබඳව විශ්ව ප්‍රකාශනයේ පළමුවැනි වගන්තියේ ඇතුළත් වන්නේ සියලු මිනිසුන් සමානය යන්නය. මේ අනුව අපට පැහැදිලි වන්නේ නිදහස යනු වඩාත් විශ්වීය හා පුළුල් දෙයක් බවය. යටත්භාවයට පත්වූ පසු පරාදීන ජාතියක් හැටියටත් යටත්විජිතභාවයෙන් මිදුණු පසු නිදහස් ජාතියක් හැටියටත් සැලකීම පමණක් නිදහස ලෙස අර්ථ ගැන්විය නොහැකි බව අවධාරණයට ගත යුතුය. අපේ නිදහස ගැන අප කතා කළ යුතු වන්නේ මේ පසුබිම තේරුම් ගැනීමෙන් පසුවය.
ක්‍රිස්තු වර්ෂ 1815 සිට 1948 දක්වා කාලය අපේ රට ඍජුවම බ්‍රිතාන්‍ය යටත්විජිතයක් බවට පත්ව තිබූ බව අපි දනිමු. ඒ කාලය තුළ මෙරට වැසියන්ගේ නිදහස සම්පූර්ණයෙන්ම අහිමිව තිබූ බව හෝ එසේ නොවූ බව සංවාදයට භාජන වන කාරණයෙහි යටත්විජිතභාවයෙන් හෝ බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබීම යන අර්ථයෙන් ගතහොත් මෙහි අදහස පැහැදිලිය. එහෙත් යටත්විජිතකරණයට මේ රට ලක්වීමට පෙර වුවත් මෙරට ජනතාවගේ ස්වීයත්වය, තමන් කැමැති රැකියාවක් කිරීමේ නිදහස ආදිය එවකට රාජකාරි කිරීම යටතේ සීමාවලට භාජන වී පැවතුණි. රැල්ෆ් පීරිස් මහතා තම සිංහල සමාජ සංවිධානය නමැති කෘතියේ සඳහන් කරන්ගේ ඉඩම් අයිතිය ප්‍රභූන් සතු වූ බවය. ඒ අනුව යටත්විජිතකරණයට පෙර පවා නිදහස් මිනිසකු මෙරට සමාජය තුළ සිටියේ ද යන්න අපට සැක සහිතය. තමන්ට රිසි සේ නිවෙසක් තනා ගන්නට, තම දුවා දරුවන්ට විධිමත් අධ්‍යාපනයක් ලබාදීමට සාමාන්‍ය වැසියකුට යටත්විජිතකරණයට පෙර පවා නිරවුල් පරිසරයක් බිහි වී තිබූ බවට සාධක නැත.
මේ මොහොතේ බුද්ධිමත් සමාජයක් ලෙස අප කළ යුතු වන්නේ අපගේ සැබෑ නිදහස කුමක්ද යන්න තේරුම් ගැනීමය. අනෙක් අතට ඒ තේරුම් ගැනීම තුළ මතුවන නිදහස්, ස්වාධීන ස්වීයත්වය ගොඩනගා ගත් මිනිසා 1948 දී ලැබූ නිදහසෙන් පවා බිහිකර ගැනීමට නොහැකි වූවා නොවේද යන ප්‍රශ්නය අද අප හමුවේ ඇති බව තේරුම්ගත යුතුය. එම නිසා අපි නිදහස් ද යන ප්‍රශ්නය අපි අපෙන්ම සිය දහස් වර ප්‍රශ්න කරගන්නා තැනට මානසික මට්ටම ගොඩනැගී තිබේ. එදා මෙදා කාලය තුළ ඇතිවූ ඇතැම් පටු දේශපාලන තීන්දු තීරණ හා ක්‍රියාකාරකම් නිසා මේ තත්වය ඇතිවී තිබෙන බව අපි අපගෙන්ම ප්‍රශ්න කරමින් සිටිමු.
ඉන්දියාව උදාහරණයට ගනිමු. තම රටේ වෙසෙන සියලු ජනවර්ගවලට අයත් මිනිසුන් එකම කොඩියක් යටතට ගෙන අපි සියල්ලෝ ඉන්දියානුවෝ වෙමු යන හඬ ලෝකයට රැගෙන යාමට ඔවුහු සමත් වූහ. ඉන්දියාව යනු විශාල භූමි ප්‍රදේශයක් සහිත ජාතීන් වශයෙන් ජන වර්ග අසූ හතරක් පමණ වෙසෙන ආගම් වශයෙන් හැට ගණනක් සහිත ඉතාම සංකීර්ණ සමාජ ජාලයක් සහිත රටකි. එහෙත් එබඳු තත්වයක් තුළ පවා ඉන්දියානුවෝ එකම හඬක් ලෝකය හමුවට ගෙන ඒමට සමත් වූහ. එය සත්‍යවශයෙන්ම ඉන්දියානු නිදහස් අරගලයේ ප්‍රබල ජයග්‍රහණයකි.
එහෙත් ශ්‍රී ලංකාවේ සිදුවූයේ කුමක්ද? අපි ජාතීන් - ජාතීන් වශයෙන් වෙන්ව සිරගතව සිටිමු. ආගම් අතර සිරවී සිටිමු. ඒ සංකල්ප මත සීමා වී එකිනෙකා අවිශ්වාස කරමින් කෝලාහල කර ගතිමු. ඒ නිසාම නිදහසින් පසු නිදහස් මිනිසා බිහිකර ගැනීමට අපට නොහැකි විය. අප අද භුක්ති විඳින්නේ ඒවායේ ප්‍රතිඵල බව ද පැහැදිලිය. විශාල මුදලක් වියදම් කර දැකුම්කලු නිදහස් උත්සවයක් පැවැත්වීමට අපට බැරිකමක් නැත. එහෙත් දරුවකුට සැබෑ අධ්‍යාපනයක් ලබා ගැනීමට නිදහස් පරිසරයක් ගොඩනැගී නැත්නම් කලට වේලාවට පෝෂණීය ආහාර වේලක් ගැනීමට වත්කමක් ඇති ආර්ථික නිදහසක් නැත්නම් පැහැදිලි දේශපාලන නිදහසක් නැත්නම් නිරවුල් ආගමික නිදහසක් නැත්නම් අප සමාජයක් වශයෙන් රටක් වශයෙන් ලබන නිදහස කුමක්ද? එබැවින් දැන් අපගේ අවධානය දැඩිව යොමුවිය යුත්තේ නිදහසින් පසු නිදහස් මිනිසා බිහිකර ගැනීමේ අභියෝගයට මුහුණදීමය. අප ඉදිරියේ ඇති නිදහස් අභියෝගය කුමක්ද? ප්‍රධාන වශයෙන් එබඳු නිදහස් අභියෝග පහක් අප ඉදිරියේ ඇති බව මගේ අදහසයි.
අප ඉදිරියේ ඇති ප්‍රධානතම අභියෝගය වන්නේ ජාතිය ගොඩනැගීමේ අභියෝගයයි. මේ ගැන සාකච්ඡා කිරීමේ දී මෙහි යම් ජාතිවාදී අදහසක් ගැබ්ව ඇතැයි බාහිරව මේ දෙස බලන කෙනකුට පෙනෙන්නට පුළුවන. ඒත් මෙහි ගැබ් වන්නේ එවැනි අදහසකට එහා ගිය ගැඹුරු අරුතකි. රටක ස්ථිරසාර නිදහසක් ස්ථාපිත කර ගැනීමට නම් ඒ රටේ ජන වර්ග අතර බහුවාර්ගික සුහදත්වයක් ඇතිකර ගැනීම අත්‍යවශ්‍යය.
අපි තවමත් මේ ප්‍රශ්නයේ දී අසමත්ව සිටිමු. ඒ හේතුව නිසාම මෙරට තුළ සැබෑ සාමයක් නිදහසක් ජනිත වී ද යන ගැටලුව ඉතිරිව පවතී. අප ජාතිය ගොඩනැගීමේ අභියෝගය දිනාගත යුත්තේ කෙසේද? එය හුදු භෞතික සාධක මත පමණක් පදනම් නොවේ. මෙහිදී අත්‍යවශ්‍ය වන්නේ අන් ජාතිකයන් සමග සැබෑ බැඳීමක් ඇතිකර ගැනීමය. එය කළ හැක්කේ බලය බෙදා ගැනීම පිළිබඳ අදහසකිනි. එසේම ඒකීයත්වය රකින ගමන් ගෝලීය විවිධත්වය ද ආරක්ෂා කර ගැනීමේ හැකියාව පැවතිය යුතුය. සදාචාරය ආචාරධර්ම වැනි ධර්මතා විවිධ අණ පනත් මගින් පමණක් සම්මත කර ගැනීමට නොහැකිය.
අධ්‍යාපනය මුළුමනින්ම වෙනස් කළ යුතුය යන අදහස දිගු කලක සිට මෙරටේ පවතින්නකි. නූතනයෙහි යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඒ සඳහා ගනු ලැබූ ප්‍රශංසනීය ප්‍රයත්නයකි. මෙහිදී පළමු කොට පෙන්වා දිය යුතු කරුණක් ඇත. එනම් නිදහස් සමාජයක් අපේක්ෂා කරන රටකට අධ්‍යාපනික නිදහස ද අත්‍යවශ්‍ය බවයි. ඇත්තවශයෙන්ම මෙරට වත්මන් සමාජය තියුණු තරගයකින් උගෙන ගැනීමට වැර දරන සමාජයක් බව කිව යුතුය. ශිෂ්‍යත්ව විභාගයේ පටන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වාම මේ තියුණු තරගය පැතිරී පවත්නා බව පෙනේ. නිදහස් අධ්‍යාපනය පිළිබඳ පනත සම්මත කරගන්නා අවස්ථාවේ ආචාර්ය කන්නන්ගර මහතා පැහැදිලි ප්‍රකාශයක් කළේය. එනම්, මම අධ්‍යාපනය නමැති වසා දමා තිබුණු පොත විවෘත කළෙමි යන්නයි.
එහෙත් අද සිදුව ඇත්තේ කුමක්ද? අධ්‍යාපනයේ නිදහස අද වන විට පටු වී තිබේ. සත්‍යවශයෙන් අද සමස්ත සමාජය තුළ අධ්‍යාපනික නිදහස දැකිය හැකිද? නාගරික ජාතික පාසල් සහ ගම් මට්ටමේ දුෂ්කර පාසල් අතර පවත්නා විසමතාව විශාලය. අප මොන තරම් ව්‍යාපෘති රැගෙන ආවත් ගම්බද පාසල් දරුවන්ට අධ්‍යාපනයේ දී විඳින්නට සිදුවී ඇති දුෂ්කරතා සුළුපටු නොවේ. මෙකල දුරස්ථ අධ්‍යාපනයේ දී වුවත් තාක්ෂණික පහසුකම් නොමැතිව ගම්බද දරුවන් විඳි දුෂ්කරතා කොතෙකුත් පසුගිය දිනවල දක්නට ලැබිණ. එහෙත් ඔවුන්ට ද නාගරික දරුවන් හා සමානව තියුණු තරගයකට විභාගවලදී මුහුණ දෙන්නට සිදුව ඇත. නිදහස් අධ්‍යාපනයක දී නම් මෙබඳු විසමතාවක් ඇතිවිය හැකිද?
කාල් මාක්ස්ගේ අදහසට අනුව සමාජයේ ප්‍රබලම සාධකය වන්නේ ආර්ථික සාධකයයි. සංස්කෘතිය ඇතුළු සෙසු කාරණා විසින් ආර්ථික පදනම් මත රඳා පවතින බව ඔහු පෙන්වා දුන්නේය. ඒ කෙසේ වෙතත් සමාජයක ස්ථාවරභාවය රැක ගැනීමට මානව නිදහස තහවුරු කර ගැනීමට ආර්ථිකය අත්‍යවශ්‍ය යන කාරණයක් බව පැහැදිලිය. තමා උපයා ගන්නා කුසලතාවට සමානුපාතික රැකියාවක් කිරීමටම පුද්ගලයකුට ඇති අයිතිය තහවුරු කිරීමය. මෙහිදී වැදගත් වන්නේ අප ප්‍රශ්න කළ යුත්තේ අපේ රටේ ඇත්තවශයෙන් මේ නිදහස පවතී ද යන්නයි. එය අද දේශපාලනය විසින් ඩැහැගනු ලැබ අවසන්ය. එසේ නම් සැබෑ ආර්ථික නිදහසක් අප සමාජය තුළ ගොඩනැගෙන්නේ කෙසේද?
රටක සංස්කෘතික හා මානසික නිවහල්භාවය හා නිදහස ඉතා වැදගත් අංශයකි. 1948 නිදහසින් පසු මේ දක්වා සමාජයේ මේ තත්වය බරපතළ අභියෝගයක් බවට වර්ධනය වෙමින් ඇති බව රහසක් නොවේ. සමාජය තුළ ගොඩනැගී ඇති පවුල් ඇතුළු ප්‍රධාන සංස්ථා සියල්ලටම ආවේණික වූ ක්‍රියාදාමයක් පැවැතිණ. අපගේ සමස්ත සමාජයට ජීවය ලබා දුන්නේ එම ක්‍රියාකාරිත්වයයි. අද වන විට එම සියලුම සංස්ථා විපරීත බවට පත්ව තිබීම එක්තරා අතකින් ඛේදවාචකයකි. පොදුවේ සමාජ ආර්ථික ව්‍යුහයට මේ විපත තද බලපෑමක් කර තිබේ. අද දරුවන් සහ මවුපියන් අතර පුළුල් දුරස්ථ බවක් දැකිය හැකිය. දරුවෝ යන්ත්‍ර සමග ජීවත්වන දැනුම් සොයා වේගයෙන් ගමන් කරන නොසන්සුන්කාරී පිරිසක් බවට අද පත්ව සිටිති.
ආගමික නිදහස අතින් බැලුවත් සැබෑ බෞද්ධ දර්ශනය යට කරගෙන ජනප්‍රිය බුදුදහම ඉස්මතු වන සමාජයක් අද දක්නට ලැබේ. මේ සියල්ල අවසානයේ දියුණුව ලබා ඇතැයි කියන සමාජය ගමන් කරන්නේ සැබෑ නිදහසක් වෙතද? සියලු වරප්‍රසාද භුක්ති වින්දත් අද බොහෝ දෙනා පුන පුනා කියන්නේ ඔවුන්ගේ සිතේ සතුටක් නොමැති බවය. එසේ නම් සමාජයකට අවශ්‍ය මානසික නිදහස අප සතුව තිබේද? ඇතැම් අය මානසික පීඩා හේතුවෙන් දිවි නසාගන්නා තැනට පත්ව ඇත්තේ ඇයි? මානසික සතුටක් හා නිදහසක් නොමැති නිසාය.
සැබෑ නිදහස් සමාජයක නිදහස් මිනිසා යනු කවුදැයි පළමුව හඳුනාගත යුතුය. එබඳු සමාජයකට මග තැනීම නිදහස සමරන මේ මොහොතේ රටක් හැටියට අප ඉදිරියේ ඇති බරපතළම අභියෝගයක් වනු ඇත. නිදහසින් පසු අප ලබන සැබෑ නිදහස අර්ථ පූර්ණත්වයට පත්වන්නේ මේ අභියෝග දිනා ගතහොත් පමණි. එසේ නොමැතිව නිදහස හුදු වචනාර්ථයකට හෝ සංදර්ශනාත්මක ප්‍රවේශයකට පමණක් සීමා වේ නම් සැබවින්ම නිදහස් රටක් හෝ නිවහල් ජනතාවක් පිළිබඳව අපට කතා කළ නොහැකිය.
(***)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd