මෙරට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාම විවිධ මට්ටමේ සාකච්ජා ඇතිවූ බව දක්නට ලැබුණි. කෙසේ වෙතත් අධ්‍යාපනය යනු නිරන්තරයෙන් යාවත්කාලීන විය යුතු විෂයය ක්ෂේත්‍රයකි. ඒ සඳහා නව දැනුම දිගින් දිගටම එකතු වේ. අප මෙතෙක් නිවැරැදි යැයි සිතූ දේ හෙට වෙනස් විය හැකිය. ඇතැම් දැනුම් කරුණු භාවිතයෙන් ඉවත් විය හැකිය. අධ්‍යාපනය යාවත්කාලීනවීම අවශ්‍ය වන්නේ එබැවිනි.

කවර පක්ෂයක් බලයේ සිටිය ද අධ්‍යාපනය සම්බන්ධයෙන් වන ප්‍රතිපත්තිමය එකඟතාවක් පවතී. එනම් සෑම වසර අටකට වතාවක්ම පාසල් විෂය නිර්දේශ වෙනස් කළ යුතු බවය. අපේ රටේ බොහෝවිට තෘතීයික අධ්‍යාපනයේ වෙනස්කම් නිසි පරිදි සිදුවීමේ වැඩි සම්භාවිතාවක් පවතී. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපනයේ කලින් කලට විෂය නිර්දේශ වෙනස්වීම්, නව පාඨමාලා හඳුන්වාදීම්, නව අධ්‍යයන අංශ බිහිවීම් ආදිය දැකිය හැකිය. මේ හේතුව නිසාම අලු‍ත් විෂය කරුණු ගලා ඒමේ හැකියාව පවතී. එහෙත් ඊට සමගාමීව පාසල් අධ්‍යාපනය ගෙන බැලු‍වොත් එහි වෙනස්වීම්වල යම් මන්දගාමී බවක් දැකිය හැකිය. වසර අටෙන් අටට පාසල් විෂය මාලා සංශෝධනය විය යුතුව තිබුණත් එහි පූර්ණ විෂය මාලා සංශෝධනයක් අවසන් වරට සිදු වී ඇත්තේ 2013 වසරෙහිය. ඒ අනුව එම පූර්ණ විෂයමාලා සංශෝධනය පාසල්වල ක්‍රියාත්මක වූයේ 2015 වසරේ සිටය. මේ අනුව පාසල්වල තවමත් ක්‍රියාත්මක වන්නේ එම විෂය නිර්දේශයයි. කෙසේ වෙතත් 2020-2023 අතර කාලයේ පාසල් විෂය නිර්දේශවල පූර්ණ සංශෝධනයක් ඇතිවිය යුතුව තිබිණ. එහෙත් එය සිදු වූයේ නැත.

පාසල් විෂය නිර්දේශ සම්පාදනයේ දී එම කා‍ර්යයවල වගකීම් දරන්නේ ජාතික අධ්‍යාපන ආයතනයයි. තෘතීයික අධ්‍යාපනයේ කෙරෙන ප්‍රතිසංස්කරණවලට වඩා රටකට පුළුල් බලපෑමක් කෙරෙන්නේ පාසල් අධ්‍යාපනයේ කෙරෙන ප්‍රතිසංස්කරණ මතය. 2020-2023 අතර කාලයේ පාසල් විෂය නිර්දේශවල සංශෝධනයක් සිදු විය යුතුමය යන මතයේ සිට විවිධ ආණ්ඩුවල අවධානය විවිධ කෝණවලින් යොමු වූ බව පෙනේ. 2017 පමණ කාලය වනවිට පාසල පූර්ණ ප්‍රතිසංස්කරණය විය යුතුය යන සංකල්පයේ සිට එය ඉදිරියට ගිය බව දැකිය හැකිය. විශේෂයෙන්ම 2020 දී පමණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වෙනම අමාත්‍යාංශයක් පවා පිහිටුවා තිබිණ. ඒ අමාත්‍යාංශයට ඇතුළත් වූයේ ජාතික අධ්‍යාපන ආයතනය පමණක්වීම ද වැදගත් කරුණකි. ඊට වෙනම අමාත්‍යවරයකු, ලේකම්වරයකු පත් කිරීමෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා මේ කියන කාලයේ පැවැති අවධානය වටහාගත හැකිය.

ලංකාවේ පාසල් තුළ ඇති කළ යුතු වෙනස්කම් සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් යම් ණය මුදලක් ලබාගැනීම පිළිබඳව ද 2020 පමණ කාලය වනවිට අවධානය යොමු වී තිබිණ. පාසල් විෂය නිර්දේශ වාර්ෂික විෂය නිර්දේශවලින් වෙනස් වී මොඩියුල් ක්‍රමය ඇති කළ යුතුය යන අදහස කෙරෙහි මුලින්ම අවධානය යොමු වූයේත් 2019, 2020 පමණ කාලයේය. එම සංකල්පය තවදුරටත් ඉදිරියට ගෙන යමින් මෙම නව විෂය නිර්දේශ සම්බන්ධ කටයුතු ප්‍රථමයෙන් පාසල් පන්සියයකත් 2023 සිට දිවයිනේ සියලු‍ම පාසල්වලත් ක්‍රියාත්මක කිරීමට මූලික එකඟතාව ඇති වී තිබිණ.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සිදුකිරීමේ දී ප්‍රථමයෙන් එය සමාජය තුළ තහවුරු විය යුතුය. ලංකාව වැනි රටක අධ්‍යාපනය වෙනුවෙන් කරන වියදම්වල ප්‍රතිලාභ ලැබීම සඳහා වසර විස්සක්වත් ගතවේ. කෙසේ වෙතත් 2020 දී පමණ සැලසුම් කළ ක්‍රියාවලිය තුළ තිබුණේ මූලිකව එක වසර, හය ශ්‍රේණිය සහ දහය ශ්‍රේණිය යන අදියර තුනෙහිම විෂය නිර්දේශවල ප්‍රතිසංස්කරණයක් සිදුවිය යුතුය යන අදහසය. ඊට අමතරව සමස්තයක් හැටියට ක්‍රමයේ වෙනසක් පවා යෝජනා වී පැවැති අතර එය ද 2023 සිට ක්‍රියාත්මක කිරීමේ සැලසුමක් පිළිබඳ සාකච්ජා වෙමින් තිබිණ. නව ආණ්ඩුව බලයට පත්වීමත් සමග නැවත මේ කෙරෙහි අවධානය යොමු කෙරුණු අතර, මෙම වැඩපිළිවෙළ තවදුරටත් විග්‍රහ කරමින් මූලිකව එක ශ්‍රේණිය සහ හය ශ්‍රේණියට පමණක් මෙම ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු බව ඔවුහු තීරණය කළහ. එහෙත් මෙම අවස්ථාවේම දහය ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණය ද සිදුකිරීම ප්‍රමුඛ අවශ්‍යතාවක් බව මගේ අදහසයි. එසේ වූවානම් මෙම ප්‍රතිසංස්කරණවලින් ලැබෙන ප්‍රතිලාභ මීට වඩා සාධනීය මට්ටමකින් මෙන්ම ඉක්මනින් ලබාගැනීමට හැකියාව තිබිණ.

එසේම මේ වනවිට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සමාජයෙහි වන කතාබහ සීමා වී ඇත්තේ ගුරුවරයා පන්ති කාමරයෙහි සිදුකරන කාර්ය භාරය කුමක්ද යන්න පිළිබදව පමණි. එහෙත් රටට අවශ්‍ය ප්‍රතිලාභ ගැනීමට නම් ප්‍රතිසංස්කරණ අරමුණු මෙම සීමාවෙන් වෙනස් වී පුළුල් විය යුතුය. අපේ රටේ පවතින අධ්‍යාපන ක්‍රමය සමස්තයක් ලෙස අසමත් යැ‍යි සමහරු සිතති. තවත් සමහරුන්ගේ අදහස වී ඇත්තේ එය අසමත් නොවන බවයි. කෙසේ වෙතත් පාසල් අධ්‍යාපනයේ සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ දී ශිෂ්‍යයාගේ දැනුම මැනීමක් සිදු විය යුතුමය. එම නිසාම විභාග සහ විභාග ක්‍රමය පිළිබඳව ද රටේ මේ වනවිට පුළුල් කතිකාවක් නිර්මාණය වී ඇත. මගේ මතය අනුව නම් අපේ රටේ දෙපාර්තමේන්තු රාශියක් තිබුණත් ලක්වාසීන් අදටත් වඩාත් විශ්වාසය තබන දෙපාර්තමේන්තු දෙකක් තිබේ. එකක් විභාග දෙපාර්තමේන්තුවය. අනෙක මැතිවරණ දෙපාර්තමේන්තුවය. එසේනම් විභාග පැවැත්වීමේ ක්‍රමයේ විශ්වාසය බිද වැටී නොමැති බව මෙයින් පැහැදිලිය. ලංකාවේ විභාග ප්‍රතිඵල නිකුත් කිරීමේ ක්‍රමවේදය හඳුන්වා දුන්නේ 1996 දීය. දශක කීපයක් ගත වී ඇතත් විභාග ප්‍රතිඵල සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක ක්‍රමවේදය අපේ රටේ පාසල් පද්ධතියට ගෙන ඒමට තවමත් නොහැකි වී තිබේ.

විභාග දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ප්‍රතිඵල සටහන පවා ජී.පී.ඒ. අගය මත ලබා දිය යුතුය කියන සංකල්පය මා දන්නා තරමින් මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට ඇතුළත්ව තිබේ. ඒ පිළිබඳව මනා හැදෑරීමක් කර ඉදිරියේ දී එය පාසලට හඳුන්වා දීමේ අවශ්‍යතාව මෙයින් පෙනේ. ඒ අනුව විභාග ප්‍රතිඵල ලබා දීමේ ක්‍රමය වෙනස් කිරීමට වසර ගණාවක් කල් මැරිය යුතු නැත. අවශ්‍ය නම් දැන් පවතින විභාග ක්‍රමයත් සමගම ජී.පී.ඒ. අගය හඳුන්වා දීමට හැකියාව තිබේ. එබඳු ක්‍රමයක් හඳුන්වා දුන්නා නම් දැනට විශාල පරාස සහිතව පවතින ඒ.බී.සී. සහ එස් යන සාමාර්ථය සංකේත වෙනුවට දරුවාගේ දැනුම් මට්ටම තීරණය කරගැනීමට අවස්ථාවක් ලැබේ. මෙම ක්‍රමය මෙරට පාසල්වලට අලු‍තින් හඳුන්වාදීමට සූදානම් වුවත් එය දැනටමත් ලංකාවේ විශ්වවිද්‍යාල සහ ලෝකයේ පිළිගත් අධ්‍යාපන ආයතන රැසක ක්‍රියාත්මක වන්නකි. එබඳු ප්‍රතිසංස්කරණ පාසල් පද්ධතියට එක්කිරීම පැය විසි හතරකින් කළ හැකිය. එහෙත් මෙතරම් පහසුවෙන් කළ හැකි ප්‍රතිසංස්කරණ පවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ පහළට ගලා නොයන්නේ ඇයි ද යන්න ගැටලු‍කාරීය. එබඳු ක්‍රම හඳුන්වා දීමෙන් කිසිම අවස්ථාවක කිසිම ක්ෂේත්‍රයක අර්බුදයක් ඇති නොවේ.

එසේම ලංකාවේ පාසල් අධ්‍යාපනය තුළ තවත් අර්බුදයක් පවතී. වසර 13ක පාසල් අධ්‍යාපනය රාජ්‍ය ප්‍රතිපත්තියක් හැටියට අප පිළිගත් එකකි. පාසල් සිසුවාට මෙම අධ්‍යාපනය ලැබීමට වසර 13කුත් මාස අටක් ගතවේ. මේ සම්බන්ධව දීර්ඝ හැදෑරීමක් කර අධ්‍යාපන කොමිසමේ නිර්දේශ මත 2022 වසරේදී පාසල් පද්ධතියට අලු‍ත් චක්‍රලේඛයක් ගෙනෙන්නට කටයුතු කෙරිණ. ඒ විභාග කාලසටහන් වෙනස් කිරීමෙනි. සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේ ද උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේ ද පවත්වන්නට ඉන් තීරණය විය. ශිෂ්‍යයාගේ පාසල් වසර කාලය තරමක් හෝ සීමාකිරීම මෙමඟින් අපේක්ෂිත විය. එහෙත් ඒ සම්බන්ධයෙන් වන උනන්දුවක් දැන් මෙම ප්‍රතිසංස්කරණවලදී පෙනෙන්නට නැත. එය අවධානයට ලක් විය යුතු කාරණයකි.

ශිෂ්‍යයා පාසලේ ගත කරන අවුරුදු ගණන අඩු කරගැනීම කෙරෙහි අවධානය යොමු කිරීම මෙම ප්‍රතිසංස්කරණයේදී වැදගත්ම අවශ්‍යතාවකි. එහෙත් කිසිවකු මේ දක්වා ඒ සම්බන්ධයෙන් උනන්දුවන බවක් පෙනුණේ නැත. මෙම ප්‍රතිසංස්කරණයට අනුව හය ශ්‍රේණියේ අධ්‍යාපන කටයුතු ආරම්භ කර මොඩියුල ක්‍රමය ක්‍රියාත්මක කර විභාග නැතැයි කියා කීව ද ශිෂ්‍යයාගේ දැනුම යම් ආකාරයකට පාසලෙන් පරිබාහිරව මනින ක්‍රමයක් තිබිය යුතුය. මුලින් සැකසුණු මෙම ප්‍රතිසංස්කරණ යෝජනාවලිය තුළ මගේ දැනීමේ හැටියට වසරකට එක විභාගයක් හෝ පැවැත්විය යුතුය යන කාරණය ඇතුළත්ව තිබිණ. ලංකාවේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග යනු අන්තර්ජාතික වශයෙන් ඉහළින්ම පිළිගැනීමට ලක් වූ විභාග දෙකකි. අප මෙතෙක් කාලයක් අන්තර්ජාතිකව ගොඩනගාගත් විශ්වාසය ප්‍රතිසංස්කරණ නිසා විනාශ වී යාමට ඉඩ නොදිය යුතුය. එම නිසාම සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සම්බන්ධයෙන් කෙරෙන ප්‍රතිසංස්කරණ ඉතාමත් පරෙස්සමින් කිරීමට වගබලාගත යුතුය.

යෝජිත නව ක්‍රමය හඳුන්වා දීම තුළ විෂය‍ය හා අනුවිෂයය ලෙස බෙදී යන අවස්ථා තිබේ. ඉතිහාසය හා සෞන්දර්යය විෂයයන් සම්බන්ධයෙන් ද පසුගිය කාලයේ ඇති වූ කතා බහ නිර්මාණය වූයේ ඒවා විෂයය කියන ගොඩෙන් ඉවත්වීම නිසාය. පාසලේ එම විෂයයන් ඉගැන්වූවත් එය ලබාදෙන්නේ විෂයයක් හැටියට නොව මොඩියුල කිහිපයක් හැටියටය. ඒවායින් නිර්මාණය විය හැකි ගැටුම් අවම විය යුතු අතර මේ සමබන්ධයෙන් පුළුල් සංවාදයක් අත්‍යවශ්‍යය. මගේ දැනීමේ හැටියට දැනට වන තීරණය අනුව සාමාන්‍ය පෙළ විභාගයේ දී විභාග දෙපාර්තමේන්තුවේ විභාගයක් මගින් ලකුණු ලබාදෙන්නේ විෂයයන් පහකට පමණි. එහෙත් විෂයයන් පහක් සහිතව සාමාන්‍ය පෙළ විභාග සහතිකයක් අන්තර්ජාතික වශයෙන් පිළිගැනීමට ලක්වේදැයි යන අර්බුදය ඇති විය හැකිය. අඩුම තරමේ එය විෂයයන් අටක් දක්වාවත් පුළුල් විය යුතුය. එම ගැටලු‍කාරී අවස්ථා සම්බන්ධයෙන් පුළුල් සංවාදයක් තවදුරටත් අවශ්‍ය වේ. 10 ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ තාවකාලිකව පසුපසට තබා ඇත්තේ තවදුරටත් පවතින මේ ගැටලු‍කාරී අවස්ථා නිසා විය යුතුය. එහෙත් 10 වැනි ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ පමා කිරීමෙන් රටට ලබාගත හැකි ප්‍රතිලාභ තවදුරටත් ප්‍රමාද වේ.

දැනට පෙනෙන්නට තිබෙන තත්වය අනුව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කරන බොහෝ දෙනා අවධානය යොමු කරන්නේ මොඩියුල ක්‍රමය පිළිබඳව පමණකි. එහෙත් එය සංකල්පයක් නොව එහි පවතින එක් කාරණයක් පමණි. මොඩියුල ක්‍රමයේ මතුවිය හැකි ගැටලු‍ ද නිවැරැදිව හඳුනාගත යුතුය. විශ්වවිද්‍යාලවලට මොඩියුල ක්‍රම හඳුන්වා දීමෙන් පසු විශ්ව දැනුම සහිත දරුවා බිහිවීමේ යම් ගැටලු‍වක් දැනට දක්නට ලැබේ. වෙනදා තරම් ඔවුන් විෂයානුබද්ධ දැනුමෙන් සන්නද්ධ බවක් පෙනෙන්නට නැත. මොඩියුල හරහා ඇතැම්විට අඩු දැනුම් ලබාදෙන අවස්ථා තිබිය හැකිය. වසර 40කට පෙර මෙරට විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගේ දැනුමත් වර්තමාන විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගේ දැනුමත් අතර විශාල පරතරයක් දැකිය හැකිය. වර්තමානයේ කියැවීමේ රටාව වෙනස්වීම ද මීට හේතු වී තිබේ. මෙබඳු තත්වයක් යටතේ ඉදිරියේ දී 12-13 ශ්‍රේණි සඳහා ප්‍රතිසංස්කරණ සිදුකරන්නේ කෙසේදැයි වඩාත් පුළුල් සාකච්ජාවක් අවශ්‍ය වනු ඇත. මෙම ශ්‍රේණිවලට අදාළ විෂයයන් 70ක් පමණ තිබෙන අතර ඉන් 50ක් පමණ කලා විෂයයන්ය. මේ තරම් විෂයයන් ගණනක් උසස් පෙළ දරුවන්ට ලබා දි‍ය යුතුද? ලෝක ප්‍රවණතාවක් නැති වටිනාකම අඩුවී ගිය විෂයයන් රාශියක් ද මේ අතර දැකිය හැකිය. එබඳු විෂයයන් තවදුරටත් අප පවත්වාගත යුතුද යන්න ඉදිරියේ දී කල්පනා කර බැලීමට සිදුවනු ඇත.

අනෙක් කාරණය නම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා ජාතික ඒකාබද්ධතාව ඇති කරගන්නේ කෙසේද යන කාරණය කෙරෙහි අවධානය යොමු විය යුතුය. සිංහල හා ඉංග්‍රීසි භාෂා මේ රටේ සෑම දරුවකුටම ලබාදීමේ විධිමත් ක්‍රමවේදයක් අවශ්‍ය වනු ඇත. දැනටත් පාසල් අධ්‍යාපනය තුළ මේ භාෂා ඉගැන්වූවත් සිංහල ශිෂ්‍යයන්ට දෙමළ භාෂාවත් සිංහල ශිෂ්‍යයන්ට දෙමළ භාෂාවත් තවදුරටත් දුරස් බව දැකිය හැකිය. ප්‍රතිසංස්කරණවල දී මේ ගැන අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය වේ.

අනෙක් අතින් තාක්ෂණ විෂයයන්වලදී ශීඝ්‍රයෙන් වෙනස්වන දැනුම ‍යාවත්කාලීන කිරීම අත්‍යවශ්‍යය. මේ කරුණු සම්බන්ධයෙන් හරි අදහසක් නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කරගෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙත යොමුවීම වඩාත් වැදගත් වනු ඇත.

(*** සාකච්ඡා සටහන ගාමිණී කන්දේපොළ)