
(2026 ජනවාරි 28 වන දාට යෙදෙන මගේ සන්මිත්‍ර සුනන්ද මහේන්ද්‍රයන්ගේ 88වන ජන්ම දිනය නිමිත්තෙන් 2026 ජනවාරි 29වන දා බොරැල්ලේ නාමෙල් මාලිනී පුන්චි තියටර්හිදී 33 වසරකට පසු යළි වේදිකාගත වන 'චෙකෝෆ් සන්ධ්‍යාව' රංගන ප්‍රසංගයේ පුරාවත)
පාසල් වියේ පටන් පැවති අපගේ සප්ත මිත්‍ර සංසදයේ සාමාජිකයන් අතරින් තවමත් භුවංගතව සිටින්නේ අප තිදෙනෙකු පමණි. ඒ වූකලී අපගේ ජ්‍යේෂ්ඨයා වූ මගේ සන්මිත්‍ර සුනන්ද මහේන්ද්‍රයෝ , දයාරත්න රණතුංගයෝ සහ මේ ලේඛක අස්මත්හුය. අශෝක කොළඹගේ , අජන්තා රණසිංහ , බණ්ඩාර විජයතුංග , ස්වර්ණ ශ්‍රී බණ්ඩාර යන සෙසු සතර මිතුරෝ දිවංගතයහ.
මගේ රූපකාය මවුපිය මැවුමක් වුවද මගේ ගුණකාය සාමූහික මැවුමකි. එහෙයින් මා තුළ වෙසෙන 'මම' කිසි සේත් ඒක සත්වයෙක් නොවන්නේය. සාමූහික සත්වයෙක්ම වන්නේය. මගේ ඒ 'මම' නමැති සාමූහික සත්වයා මැවීමට මූලාධාර වූ අනන්ත අප්‍රමාණ භාවමය හා බුද්ධිමය පෝෂණාංග සම්භාරය තුළ විශාල උරුමයක් මගේ සන්මිත්‍ර සුනන්ද මහේන්ද්‍රයන් සන්තක බව මා මෙහි ලා ප්‍රකාශ කර සිටින්නේ අත්‍යන්ත කෘතවේදී චිත්තයෙනි.
පස් වන දසකයේ මුල හරියේ පමණ එක්තරා දවසක ලංකා ගුවන් විදුලි මධ්‍යස්ථානය දොරකඩදී නමෝවිත්තියෙන් හමුවුණු සුනන්ද මහේන්ද්‍රයන් සමග මිත්‍ර සන්ථවයක් ඇතිකර ගැනීමෙන් පසු සතියකට වරක් දෙවරක් ඔහු මුණගැසීමට ගෙදරට යාම මම වතක් කර ගතිමි . ඒ ගමන්වලදී නිතර මා කැටුව එහි ගිය මගේ පාසල් මිතුරෙක්ද විය. ඔහු ගිල්බට් ද කෝස්තාය. සුනන්දයෝ ගිල්බට්හුගේ සාතිශය ප්‍රියයෙකි. මට පෙරාතුව සිටම ඔහු හා සුනන්දයන් අතර පයුරුපාසනය සිදුව ඇති හෙයිනි. ගිල්බට්හු සුනන්දයන්ගේ පුවත්පත් ලිපි හා ගුවන්විදුලි ළමා වැඩසටහන් නිතර කියවා හා අසා ඔහු කෙරෙහි මහත් වූ බැති පෙම් උපදවාගෙන සිටියෙකි. එකල මා ගිල්බට්හු සමග සුනන්දයන් හමුවීමට ඔහුගේ ගෙදර ගිය අවස්ථාවලදී ඔහු අප සමග සතුටු සාමීචියේ යෙදුණේ ගෙතුළ නොවේ. ගරාජය තුළය. ඔහුගේ පොත්ගුල හා ලියන කාමරය කරගෙන තිබුණේ ගරාජය හෙයිනි.
කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ පටන්ම සුනන්දයෝ කිතු ගොස පතළ ලේඛකයෙකි. ගුවන්විදුලි ළමාපිටියේ ශිල්පියෙකි.
එකල සතියේ දවස් හතේම සවස පහේ සිට හය දක්වා නම් හතකින් යුතුව ළමා පිටි හතක් ප්‍රචාරය විය. ගුවන්විදුලි ශ්‍රාවකයන් අතර තුඩ තුඩ නම රැන්දූ ප්‍රශස්ත ගුවන්විදුලි නිෂ්පාදක කෝවිදයන් හත් දෙනෙකුගේ නිෂ්පාදකත්වයෙනි. එකල සුනන්ද මහේන්ද්‍රයෝ කරුණාරත්න අබේසේකර සූරීන්ගේ 'සරස්වතී මණ්ඩපය' නමින් දන්නා ළමාපිටිය එකලු කළ අග්‍රේසර නව යොවුන් ගුවන්විදුලි ශිල්පියා වූහ. එකල පැවති ප්‍රධාන පෙළේ ජාතික පුවත්පත්වල මෙන්ම විවිධ සඟරාවලද ඔහුගේ ලිපි , පරිවර්තන , කවි හා කෙටිකතා නිරන්තරයෙන් පළ වුණි.
පාසල් සමයට මගේ සිත දිවෙයි. නාවල පාර එදා ගල් තාර දැමූ පටු පාරකි. නුගේගොඩ තරුණ බෞද්ධ සමිති ශාලාව පිහිටියේ නාවල පාරට යාබදවය. එය ඉදිරියෙන් වූ පටු හරස් පාර 'ඇල්බට් පෙරේරා මාවත' නම් විය. සුනන්ද මහේන්ද්‍රයන්ගේ මහගෙදර පිහිටියේ එම මාවතේ පළමු වංගුව ළඟය. එකල ඇතැම් සවස් යාමයක අජන්තා රණසිංහයන් , ආනන්ද කේ. විජයතුංගයන් (පසුව බණ්ඩාර විජයතුංග) සහ මා සුනන්දයන්ගේ ප්‍රිය සමාගමය පතා ඔහුගේ ගෙදරට යන්නේ එම පාර අයින දිගට වවා තිබුණු ඇට්ටේරියා පඳුරුවලින් විහිදෙන , සිත මත් කරන ඉමිහිරි මල් සුවඳ ආසාවෙන් විඳිමිනි.
ඒ හය වන දසකයයි. සම්භක්ත සාහිත්‍ය ලෝලීන් හා මාධ්‍ය ලෝලීන් වශයෙන් අප භද්‍ර යෞවනයේ පසුවුණු සුන්දර අවධියයි. එකල අපි එක සේ දිවාචරයන් මෙන්ම නිශාචරයෝද වීමු. මගේ දිවාචර දිවියේත් නිශාචර දිවියේත් කුලුපග සගයන් අතර සුනන්ද මහේන්ද්‍රයෝ අග තැන් ගත්හ. නර කෙස් පහළව ගිය මෙකල ජීවිතයේ දසක දසකයේ අට වන දසකය හෙවත් 'පවංක' (වක ගැහෙන) දසකය ගෙවන අප දෙදෙනාගේ දීර්ඝ සන්මිත්‍ර සන්ථවයෙන් මා සන්තක වුණු අභීෂ්ට ඵල සම්පත වූයේ සාහිත්‍ය නිර්මාණ වින්දන විෂය බද්ධ අප්‍රමාණ ආවේශ කදම්බයයි.
සාහිත්‍ය පරිවර්තන කාර්යෙහිලා මා කෙරෙහි බල පෑ උත්තේජන මූලාශ්‍රය තුනක් විය. ළමා වියේදී රෑ කෑමෙන් පසු මා මේසය ළඟ හිඳුවා ගන්නා මගේ තාත්තා පුංචි චිමිනි ලාම්පුවේ එළියෙන් මට Bright Story Readers පොත් පෙළේ රසාලිප්ත ඉංග්‍රීසි කතන්දර සිංහලට පෙරළා කියා දුන් අවස්ථාව ඉන් පළමු වැන්නයි. තාත්තාගේ ගැඹුරු හඬත් රුවත් කතා පොතේ ඉංග්‍රීසි අකුරු දිගේ දිවූ ඔහුගේ දබරැඟිල්ලත් මේ පවංක දසකයේ පවා මගේ මතකයෙන් මැකී ගොස් නැත.
ලංකා ගුවන්විදුලිය , පස් වන දසකයේ මැද භාගයේ පමණ සිට රාත්‍රී කාලයේ විකාසනය කළ එක්තරා ඥාන පෝෂක ආස්වාද ජනක වැඩසටහනක් විය. . 'ශාස්ත්‍රීය සංග්‍රහය' නමින් හැඳින්වුණු එම වැඩසටහන යටතේ ප්‍රචාරය කෙරුණු විශේෂ වැඩසටහනකි 'යෞවන සමාජය.' එය වූකලී යෞවනෝදයට එළඹ සිටි ශ්‍රෝතෘ ජනයාගේ නිසර්ග සිද්ධ කුසලතා ලතාව ලියලවන පෝෂක තෝතැන්නක් ලෙස සම්පාදිත වූවකි. එහෙත් එය වෘද්ධ ශ්‍රෝතෘ ජනයාට මෙන්ම ශිෂ්‍ය ශ්‍රෝතෘ ජනයාටද මහාර්ඝ ඥාන නිධානයක් විය.
එකී 'ශාස්ත්‍රීය සංග්‍රහය' ආරම්භ වූයේ ලංකා ගුවන්විදුලියේ ප්‍රථම ලාංකික අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරට පත් එම්.ජේ.පෙරේරා මහතාණන්ගේ ආරාධනයෙන් බාහිර වැඩසටහන් නිෂ්පාදකයෙකු වශයෙන් ගුවන්විදුලියට එක්වුණු එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ පුරෝගාමිත්වයෙනි. උත්තර භාරතීය රාගධාරී සංගීතය ඇසුරින් එම වැඩසටහනට උචිත සංඥා වාදනය සම්පාදනය කරන ලද්දේද ඔහු විසිනි. අනතුරුව සරච්චන්ද්‍රයන් 'ශාස්ත්‍රීය සංග්‍රහය' යටතේ සඟරා ආකෘතියෙන් ඉදිරිපත් කළ 'යෞවන සමාජය' නම් වැඩසටහන නිර්මාණාත්මක නව තරුණ පරම්පරාවකට භාග්‍යෝදයක් වූ ආකාස තක්සලාවක් විය. ප්‍රශස්ත ගුවන්විදුලි නාට්‍යවේදී පී.වැලිකලයෝ සහ කීර්තිමත් ලේඛක ගුණදාස අමරසේකරයෝ එම තක්සලාවෙන් බිහිවුණු අග්‍රගණ්‍ය ඵල සම්පත් දෙකකි.
සරච්චන්ද්‍රයන් වේදිකාවෙන් මතු වුණු නාට්‍යවේදියෙකු හැටියට බොහෝ දෙනා සිතා සිටියද ඔහු නාට්‍ය ක්ෂේත්‍රයට පළමුව පිවිසුණේ ගුවන්විදුලි නාට්‍ය රචකයෙකු හා නිෂ්පාදකයෙකු වශයෙනි. ඊට කරළිය වූයේ ඔහු විසින් ගුවන්විදුලි 'ශාස්ත්‍රීය සංග්‍රහය' යටතේ ඉදිරිපත් කළ 'යෞවන සමාජය' වැඩසටහන මිස අනිකක් නොවේ. එදිරිවීර සරච්චන්ද්‍රයන් එමගින් ප්‍රචාරය කළ ස්වතන්ත්‍ර ගුවන්විදුලි නාට්‍ය මෙන්ම අනුවර්තිත ගුවන්විදුලි නාට්‍යද කරණකොටගෙන පාසල් වියේ සිටි අපගේ වින්දන ශක්තිය තියුණු වීමත් නිර්මාණ පරිකල්පනය පිබිදීමත් එක සේ සිදුවීම කවර අරුමයක්ද ?
පාසල් වියේදීම මා හා හපුරා කියා ඉංග්‍රීසි , ප්‍රංශ , රුසියානු ලේඛකයන් ගැන අසා දැනගත්තේ මේ 'යෞවන සමාජය' ගුවන්විදුලි වැඩසටහන ඔස්සේය. එම බටහිර සාහිත්‍යකරුවන්ගේ කෙටිකතා පාදක කරගෙන සරච්චන්ද්‍රයන් එමගින් ඉදිරිපත් කළ ගුවන්විදුලි නාට්‍ය ඇසීමෙනි. සාහිත්‍ය පරිවර්තන කාර්යයෙහිලා මට බලපෑ දෙවන උත්තේජන මූලාශ්‍රය මෙය යැයි කීම කවර වරදද ? සරච්චන්ද්‍රයන් එම ගුවන්විදුලි නාට්‍යවලට වස්තු කරගත් මුල් ඉංග්‍රීසි පරිවර්තන කියවීමේ ආසාව වැඩීම නිසා ඉක්මනින් ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කිරීමේ උද්‍යෝගයද මා තුළ උත්සන්නව ගියේ ඉබේය. එකල මෙරට වූ එකම ගුවන්විදුලියේ අර්ථවත් ආවේශය , ආභාසය හා ආලෝකය ඒ සා මහාර්ඝය.
බටහිර සාහිත්‍යය පුළුල් ලෙස පරිශීලනයටත් ඒවා සිංහලට පරිවර්තනයටත් මා තුළ උග්‍ර උද්‍යෝගයක් උත්පාදනයෙහිලා මට බල පෑ තුන් වන උත්තේජන මූලාශ්‍රය වූකලී මගේ උපකාරක, සමාන සුඛ දුක්ඛ, අත්ථක්ඛායී, අනුකම්පක සඛී චන්ද්‍ර සුනන්ද මහේන්ද්‍රයෝය. පස් වන දසකයේ පළමු වරට දැන හැඳින කුලුපග වීමෙන් පසු ඔහු මට පිළිගැන්වූ මංගල සාහිත්‍ය පඬුර වූයේ භාරතීය මහා කවීන්ද්‍ර රබීන්ද්‍රනාථ ඨකූරයන්ගේ The cresent moon (අඩ සඳ) නමැති ක්ෂුද්‍ර ඉංග්‍රීසි භාව කාව්‍යයයි. තම සුපුරුදු සොඳුරු බසින් එහි රසභාව මතු කරමින් සුනන්දයන් එවේලේ මහා කවීන්ද්‍ර ඨකුරයන්ට මා හෘදය මන්දිරයෙහි වාසය සැලසුවේ එම භාව කාව්‍යයෙහි අන්තර්ගත ඇතැම් පද්‍ය රචනා සිංහලට පරිවර්තනය කිරීමට ඉත සිතින් ආරාධනා කරමිනි. එම මංගල ආරාධනයෙහි අභීෂ්ට ඵලප්‍රාප්තිය වූයේ විශිෂ්ට විශ්ව කෙටිකතා පරිවර්තන සංග්‍රහයන් සතරක් , විශ්ව කාව්‍ය සංග්‍රහයක් සහ විශ්ව නාට්‍ය ග්‍රන්ථයක් මා අතින් සිංහල සාහිත්‍යයට දායාද වීමය.
පගතානුගතික විශ්ව කෙටිකතා කලාව උඩු යටිකුරු කරමින් අභිනව කෙටිකතා කලාවක් බිහිකළ විශ්ව කීර්තිධර රුසියානු ලේඛක ඇන්ටන් චෙකෝෆ්හු මගේ අධ්‍යාත්ම බන්ධුවරයෙකු කළේ සුනන්ද මහේන්ද්‍රයන්ය. ඔහු එය කළේ ඇන්ටන් චෙකෝෆ් ලේඛකයාණන්ගේ කෙටිකතා බහුලව කියවීමට මා නිරන්තරව පොලඹවමිනි. අනතුරුව ඔහු චෙකෝෆ් ලේඛකයාණන් විසින් රචිත නාට්‍ය කෙරෙහි මා තුළ බද්ධ ප්‍රේමයක් ඇති කළේ ඔහුගේ මහා නාට්‍ය පහෙන් එකක් වන Three Sisters නාට්‍යය සිංහලට පරිවර්තනය කිරීමට අප්‍රමාණ ලෙස අනුබල දෙමිනි. ඔහුගේ ඒ අප්‍රමාණ අනුබලය අරභයා මා ඔහුට කෘතවේදිත්වය පළ කළේ එම Three Sisters කෘතිය 'සොහොයුරියන් තිදෙනා' නමින් සිංහලට පරිවර්තනය කරමිනි.
එම පරිවර්තනය පළමු වරට මුද්‍රණයෙන් පළ වූයේ 1995 වසරේය. සිරිසුමන ගොඩගේ මහතුන්ගේ ප්‍රකාශනයක් වශයෙනි. ප්‍රකාශකයන්ගේම අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වුණු දොරට වැඩුමේ උළෙලේදී පුමුඛ දේශනය කළේ කීර්තිමත් විශ්ව සාහිත්‍ය පරිවර්තක මගේ කළුබෝවිල ගමේ භූමිපුත්‍ර සිරිල් සී පෙරේරා ලේඛකයාණන්ය.එහිදී 'චෙකෝෆ් සන්ධ්‍යාව' නමින් විශේෂයෙන් වේදිකාගත කළ නාට්‍යමය ප්‍රසංගයකි. චෙකොෆ් ලේඛකයාණන්ගේ කෙටි නිර්මාණ කීපයකින් සමන්විත එම නාට්‍යමය ප්‍රසංගය සුනන්ද මහේන්ද්‍රයන්ගේම ප්‍රශස්ත නිෂ්පාදනයකි. එකල එය ලංකාව පුරාම නොයෙක් පෙදෙස්වලට ගොස් වේදිකාගත කළ නාට්‍යමය ප්‍රසංගයකි. එහි ප්‍රධාන භූමිකාව , එනම් , මගේ අධ්‍යාත්ම බන්ධුවර ඇන්ටන් චෙකෝෆ් ලේඛකයාණන්ගේ චරිතය නිරූපණය කිරීමේ දුර්ලභ භාග්‍යය මට හිමිවීම මගේ ජීවිතයේ මා ලද අමරණීය අනුභූතියකි. එහිදී චෙකෝෆ් ලේඛකයාණන්ගේ රසිකයන් දෙදෙනාගේ චරිත නිරූපණය කළේ විශිෂ්ට කවියෙකු වන ආරියවංශ රණවීරයන් හා කීර්තිමත් ලේඛක මහාචාර්ය සෝමරත්න බාලසූරියන්ය.
'චෙකෝෆ් සන්ධ්‍යාව' වූකලී එකල ටවර්හෝල් පදනමේ උසස් නාට්‍ය පාඨමාලාව හැදෑරූ ශිෂ්‍ය ගණයා සහභාගී කරගෙන නිෂ්පාදනය කරන ලද ආදර්ශ අභ්‍යාස රංගන ප්‍රසංගයකි. එම පාඨමාලාව පැවැත්වුණේ සුනන්ද මහේන්ද්‍රයන්ගේ අධ්‍යක්ෂකත්වයෙනි. සුනන්දයන්ගේ ආරාධනයෙන් එහි සම්පත් දායකයෙකු වීමට ලැබීම මගේද භාග්‍යයකි. අපේ ඒ ශිෂ්‍යයන් පිරිස අද නාට්‍ය ලෝකයේ කෘතහස්තයන් විලස එකී 'චෙකෝෆ් සන්ධ්‍යාව' රංගන ප්‍රසංගය 2026 ජනවාරි 28 වන දාට යෙදෙන සුනන්ද මහේන්ද්‍රයන්ගේ 88 වන ජන්ම දින අනුස්මරණය අරභයා 2026 ජනවාරි 29 වන දා බොරැල්ලේ නාමෙල් මාලිනී පුංචි තියටර්හිදී යළි වේදිකාගත කිරීම මගේ සන්මිත්‍ර සුනන්ද මහේන්ද්‍ර මහාශයන්ට කරන මහාර්ඝ සම්භාවනාවකි !
ඇසු පිරු බව නිසා සිතිවිලි
නිවහල්ය
ගල් මල් දෙකම ඉවසන ගුණ
සුවිසල්ය
දුහුනන් දැනුම් වඩවන රඟ
මනකල්ය
මහලුව නොයන සිත තවමත් කෙළිලොල්ය
සරසවි සරසනා ඇසිදිසි
වෙසරදය
දිය හැර කිරි රසය උරනා
හසරදය
හැසි උවහස් රසය ගලනා
මදුවදය
එබැවින් සුනන්දය යන නම
මනනඳය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd