
මා ඉපදුණේ ගුවන්විදුලිය ඉපදී තුදුස් වසකිනි. මා නමෝ විත්තියෙන් ගුවන් විදුලියට පා තැබුවේ මගේ වසු වියේය. මම දැන් අසූ වියේය. ගුවන්විදුලියේ වයස දැන් 100 යකි. මගේ ගුවන් විදුලි වයස 69 යකි.
ඒ 1956 අවුරුද්දේ මුල භාගය විය යුතුය. මම එකල නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලේ එස්.එස්.සී. පන්තියේ ඉගෙන ගනිමින් සිටියෙමි. මා හෝඩිය පන්තියේ සිට පස් වැන්න දක්වා සිප් සතර හැදෑරූ කළුබෝවිල බුද්ධඝෝෂ විද්‍යාලයේ සිසුවෙකු කාලයේ පටන්ම ගුවන්විදුලිය මට අතිශය හෘදයංගම විය. ඊට හේතු වූ අගනා වැඩසටහන් දෙකක් එකල සතිපතා ගුවනින් ප්‍රචාරය වුණි. ඉන් එකක් සිරි අයියාගේ ළමා උයනයි. අනික ගුවන්විදුලි නාට්‍යයයි.
කුඩා වියේ සිටි මට මේවා අසන්නට ගෙදර ගුවන්විදුලි යන්ත්‍රයක් නොතිබුණි. එකල ගුවන්විදුලි යන්ත්‍රය වනාහි අද මෙන් ගෙයක් ගෙයක් නෑර තිබුණු සුලබ මෙවලමක් නොවීය. මා ඉහත කී ගුවන්විදුලි වැඩසටහන් ආසාවෙන් ඇසුවේ මගේ මවගේ බාල සොහොයුරා වන පුංචි මාමා විසින් තනන ලද අති සරල පරිපථයක් සහිත ප්‍රාථමික මෙවලමකිනි. කුඩා හතරැස් ලෑල්ලක් මස සවි කරන ලද එම පරිපථයට කොයිලයක් සහ මිනිරන් පැහැති කඩතොලු කුඩා ගල්කැටයක් අයත් විය. ඒරියලයක් සහ අර්ත් වයරයක්ද සහිතය. එම මෙවලම හැඳින්වුණේ 'ඉයර් ෆෝන්' සෙට් හෝ 'ක්‍රිට්ස්ල් සෙට්' යන නමිනි. පාසල් වියේදීම ගුවන් විදුලි ළමා පිටියෙන් පළමුව මුණගැසී හඳුනාගෙන මගේ බඩ බැඳගත් මිතුරෙකු බවට පත්ව මගේ මාධ්‍ය හා සාහිත්‍ය ජීවිතයට ආවේශ උල්පතක්ද වූ සුනන්ද මහේන්ද්‍රයන්ද නමෝ විත්තියෙන් ගුවන්විදුලියට සවන් දුන්නේ ක්‍රිට්ස්ල් සෙට් මෙවලමින් බව මම හොඳින්ම දනිමි.
මෙම මෙවලමට ඉයර් ෆෝන් යැයි කීවේ ඉයර් ෆෝනයකින් ඇසූ නිසාය. ක්‍රිට්ස්ල් යනු මිනිරන් පාට කඩ තොලු කුඩා ගල් කැට විශේෂයකි.එවැන්නක් මෙහි සවි කොට තිබූ නිසා එය ක්‍රිට්ස්ල් සෙට් නම් වුණි. එදා පැවති එකම විද්‍යුත් ප්‍රචාරක මාධ්‍යය වූ 'කොළඹින් කතා කරමි' යනුවෙන් ඇරඹූ ලංකා ගුවන්විදුලි සේවයේ මීටරය අල්ලා ගැනීමට සිදුවූයේ එම ඉයර් ෆෝන් මෙවලමේ සවිකොට තිබුණු කඩතොලු කුඩා ගල් කැටයේ සිදුරු තුළට තඹ කම්බි තුඩක් ගෑවීමෙනි. එය විය සිදුරෙන් අහස දක්නට පතන කණ කැස්බෑ තැතට අසමාන නොවේ. බොහෝ වේලා තඹ කම්බි තුඩ එසේ ගෑවීමෙන් ගුවන්විදුලි මීටරය දුකසේ අල්ලා ගත් පසු එය දිගු වේලාවක් වෙනස් නොවී නිසි තැන රැඳී සිටීම වාසනාව උඩම සිදුවන්නකි. එය එතරම්ම දුෂ්කර ක්‍රියාවකි. මීටරය හසු වන තැන අමාරුවෙන් පිහිටුවා .ගත් තඹ කම්බි තුඩ වහා ඉවතට පනින හෙයිනි..
අද මෙරට ජනයාගේ රුචිය අරුචිය කරමින් , දැනුම නොදැනුම කරමින් , ගුණදම් අගුණදම් කරමින් , විනය අවිනය කරමින් පවත්වාගෙන යන එෆ්.එම් ගුවන්විදුලි සේවා ගැන සිතන විට මා කුඩා වියේ සිටියදී පුංචි මාමා තැනූ ක්‍රිට්ස්ල් සෙට් මෙවලමෙන් දුකසේ ඇසූ ගුවන් විදුලිය කෙරෙහි මගේ හද බැතිබර වන්නේ ඉබේය. ඉන් එදා පැතිරුණු ගුණ සුවඳ හා නැණ එළිය සිහිවීමෙනි.මගේ සිත තුළ පළමු වරට ගුවන්විදුලි මාධ්‍යය කෙරෙහි හෘදයංගම හැඟීමක් ජනිත කිරීමෙහිලා උපකාරී වුණු ඒ අචේතන ප්‍රාථමික ක්‍රිට්ස්ල් රේඩියෝවට පින් සිදු වේවා!
අපේ මහගෙදර මා විසූ ඉස්තෝප්පු කාමරයේ ලොකු ජනේලය බලා සිටියේ මිදුල පැත්තය. මගේ ක්‍රිට්ස්ල් රේඩියෝවේ ඒරියලය බැඳ තිබුණේ ඒ ජනේලය අසල වූ වැලි ආත්තා ගසේ ගැට ගැසූ උස් රිටකය. ඒ අචේතන කම්බිය ඔස්සේ මගේ ක්‍රිට්ස්ල් ගුවන් විදුලියෙන් මා නෑඹුලින් ඇසුවේ සුනිල් සාන්තයන්ගේ 'හඳපානේ' නමැති හද නිවන ගීතයයි. කුඩා වියේ උන් මා හට සංගීතයේ මිහිර හා හපුරා කියා ඉඳුල් ගැන්වූ ඒ ළතෙත් මොහොත කෙසේ සිතින් මැකී යාද?
කඩ තොලු කුඩා ගල් කැටයේ සිදුරු තුළට තඹ කම්බි තුඩකින් ඇන ඇන දුකසේ මීටරය අල්ලා ගත් විට එදා මෙරට පැවති එකම ගුවන්විදුලිය මට ප්‍රදානය කළ මහාර්ඝ ඥාන දායාදය කෙබඳුද? එකල මෙලක වූ එකම ගුවන්විදුලියෙන් ඇසුණේ ඇසූ පිරූ උගතුන්ගේ හෘදයංගම කට හඬය ඔවුන්ගේ වියත් බසය. කල්පනාව පොබයා ලන අදහස්ය. සහජ කුසලතා ආවේශ ගන්වන නිර්මාණයන්ය. මානව ප්‍රේමය වඩවන ගුණ දහම්ය. අවිදු මගින් විදු මගට හරවන මතය. ඒ සදාදරණීය අචේතන ක්‍රිට්ස්ල් රේඩියෝව එදා මා ගෙන ගියේ අඳුරෙන් ආලෝකයටය. ඒ ආලෝක ධාරාව මගේ මුළු දිවියම ඒකාලෝක කළේ යැයි පවසනු කවර වරදද?
මා නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ ඉගෙනුම ලබද්දී ගුවන්විදුලි ළමා පිටියට ලිපි ලියූ ළෙන්ගතු මිතුරෙක් මගේ පන්තියේ සිටියේය. ඔහු වෝල්ටර් කල්දේරාය. ඔහුද මගේ ගම වන කළුබෝවිලම එකෙකි. දිනක් උදේ මා පන්තියට ගිය විට ඔහු මා ළඟට පැමිණ අම මිහිරි ආරංචියක් මගේ කනෙහි තැබුවේය.
"කරූ , මම ගුවන්විදුලි බදාදා ළමා පිටියට ලිපියක් ලියලා යැව්වා. මට ලියුමක් එවලා තියෙනවා ලබන බදාදා ගුවන්විදුලියට ඇවිල්ලා ඒක ළමා පිටියෙන් මටම ඉදිරිපත් කරන්න කියලා. යමුද අපි දෙන්නම ?
පස්වනක් ප්‍රීතිය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න අර්ථ වශයෙන් මා තේරුම් ගත්තේ පසු කලක වුවද මා එය පළමු වරට ප්‍රත්‍යක්ෂ වශයෙන් අධ්‍යාත්මයෙන් විඳගත්තේ වෝල්ටර්ගේ ආරාධනය කන වැකුණු මොහොතේ යැයි සිතමි. කළුබෝවිල මගේ මහගෙදර පිහිටි තැන සිට ගුවන්විදුලි මධ්‍යස්ථානය පිහිටි තැනට ඇත්තේ සැතපුම් හතකට කිට්ටු තරමේ දුරක් වුවද මා ඒ වන විට ගුවන්විදුලියට පා තබා තිබුණේ නැත. එවන් කලක මගේ සිත පස්වනක් ප්‍රීතියෙන් පිනා නොයේද?
දිනය එළඹියේය. මා වෝල්ටර් කල්දේරා සමග ගුවන්විදුලි මධ්‍යස්ථානයට ගියේ නමෝ විත්තියෙන් පරම පූජ්‍යස්ථානයක් දැක බලා ගන්නට යන්නාක් වැනි හැඟීමක් ඇතිව බැව් මට අද මෙන් මතකය.
බදාදා ගුවන්විදුලි ළමා පිටිය මෙහෙයවීම කලින් බාරව සිටියේ කෘතහස්ත ගීත රචකයෙකු , ගුවන්විදුලි නාට්‍ය , විචිත්‍රාංග ආදි විවිධ වැඩසටහන් නිෂ්පාදනයෙහිලා අති ශූරයෙකු මෙන්ම ප්‍රශස්ත ගුවන්විදුලි නිවේදකයෙක්ද වූ සරත් අයියාය. එනම් ආනන්ද සරත් විමලවීරයන්ය. මා සහ වෝල්ටර් ගුවන්විදුලියට ගිය දා බදාදා ළමා පිටිය මෙහෙයවීම භාරව සිටියේ අති ශූර නිවේදකයෙකු , ප්‍රශස්ත ගීත රචකයෙකු , නවකතාකරුවෙකු මෙන්ම නිර්මාණාත්මක ගුවන්විදුලි වැඩසටහන් නිෂ්පාදකයෙක්ද වූ සුධර්මන් අයියා හෙවත් තිලක සුධර්මන් ද සිල්වා නමැති අති විශිෂ්ට මාධ්‍ය විශාරදයාණන්ය. පසු කලක ඔහු ගුවන්විදුලි සිංහල අංශ.යේ අධ්‍යක්ෂ තනතුරද ඉසිලීය.ඒ වන විට සරත් අයියාට අඟහරුවාදා සවස ඉදිරිපත් කරන ළමා නාට්‍ය නිෂ්පාදනය පවරා තිබුණි.
කොට කලිසම් ඇඳි මාත් වෝල්ටර් කල්දේරාත් ගුවන්විදුලියේ දහ වන මැදිරියට ඇතුළු වන විට ශුද්ධ
භූමියකට පිවිසෙන්නාක් වැනි බැතිබර හැඟීමකින් සිත වෙළී යනු මට දැනුණි. දහ වන මැදිරිය එදා එතරම්ම පවිත්‍රය. ප්‍රසන්නය. පියකරුය. සිහින් සුවඳකුත් විහිදෙනු දැනෙන්නා සේය. මැදිරියේ බිත්ති සතරම අලංකාර මල් මෝස්තර සහිත විල්ලුද කර්ටන්වලින් වැසී තිබුණි. පොළොව මත එලා තිබුණේ මනරම් කලාත්මක ගනකම් කලාලයකි.
මෙකල මෙන් නොව එකල පටිගත කිරීම් නොසිදුවිය. වැඩසටහන් ඉදිරිපත් කළේ සජීව ලෙසිනි. ළමා පිටිය ගුවනින් ප්‍රචාරය කිරීමට පැය දෙකකට පමණ පෙර සුධර්මන් අයියා එදින ඉදිරිපත් කරන ලිපි , ගී , කතා , කවි හා වෙනත් දේ ගැන සහභාගී වන ළමයින්ට කරුණු විස්තර කර දී ඒ ඒ අංග පුහුණුවීමට සලස්වයි.
මගේ මිත්‍ර වෝල්ටර් කල්දේරා බදාදා ළමා පිටියට ලියා යවා තිබුණේ සර් අයිසෙක් නිව්ටන් ගැන ලිපියකි. එය හඬ නගා කියවන ලෙස නොව යමෙකුට පැහැදිලිව කියා දෙන ලෙස ඒ ඒ තැනට සුදුසු ආකාරයට හඬ උස් පහත් කරමින් ඉදිරිපත් කරන්නැයි සුධර්මන් අයියා වෝල්ටර්ට උපදෙස් දුන්නේය. ඔහු එය එසේ කියවාගෙන යද්දී එහි අතරමැද අයිසෙක් නිව්ටන්ගේ කටින් කියවෙන කියමනක්ද ඇති බැව් දුටු සුධර්මන් අයියා ඒ අසල වූ මා ඇමතීය.
"මල්ලි , මේ අයිසෙක් නිව්ටන්ගෙ දෙබස කියවන්න බලන්න."
මා එවේලේ එය කියවූයේ අනාගතයේ දිනක මා ගුවන්විදුලි ශිල්පියෙකු වෙතියි තුන් හිතකින්වත් නොසිතමිනි. ඒ දෙබස මා නාට්‍යාකාරයෙන් ඉදිරිපත් කළ විලාසයෙන් සුධර්මන් අයියා අතිශයින් තෘප්ත වූ බව මට වැටහී ගියේ ඔහුගේ කටින් වහා පිටවුණු මේ වදන් ඇසීමෙනි.
"හරි ෂෝක්නෙ මල්ලි. මීට ඉස්සෙල්ලා රඟ පාලා තියෙනවද?"
මම නැහැයි කීවෙමි.
"මල්ලිට හොඳ අනාගතයක් තියෙනවා."
මගේ ගුවන්විදුලි මාධ්‍ය පදවීතිහාරයේ මුල්ම නියත විවරණය ලත් මංගල මොහොතයැ ඒ. එසේම මගේ කටහඬ , මගේ පළමු හුස්ම පොද දුන් මගේ මව් බිමේ වා තලයට පළමු වරට සජීව ලෙස පිවිස සහෘද ජන සවනට ඇසී ඔවුන්ගේ හද වැලඳගත් මංගල මොහොතද එය මැ වේ මැයි.
1957 වසරේ එක්තරා රාත්‍රියක මගේ ක්‍රිට්ස්ල් සෙට් රේඩියෝවේ ඉයර් ෆෝනයෙන් එක් වරම ඇසී ගියේ පරම සුභග පණිවිඩයකි. සතුට නිම් හිම් නැති විය. ගුවන්විදුලි නාට්‍ය ශිල්පී පරීක්ෂණයකට ඉල්ලුම්පත් කැඳවා ඇති හෙයිනි.
ගුවන්විදුලි නාට්‍ය ශිල්පී මූලික පරීක්ෂණයෙන් මා සමත් වූ බව දන්වා එවූ ලිපියේ සඳහන් වූයේ 1957 අප්‍රේල් 12 වැනි සිකුරාදාය.1957 මැයි 01 වන බදාදා පෙරවරු 09 යට අවසාන නාට්‍ය ශිල්පී පරීක්ෂණය පැවැත්වෙන බව එහි සඳහන්ව තිබුණි. අංකය 90 වය. එම අවසාන පරීක්ෂණයෙන් සමත් වූ බව දන්වන ලිපිය එවා තිබුණේ 1957 ජූනි 10 වන සඳු දිනය සහිතවය. මේ සියලු ලිපි අග වූයේ එකල සිංහල අංශයේ සංවිධායක තනතුර දැරූ තේවිස් ගුරුගේ මහතාගේ අත්සනය.
නාට්‍ය පරීක්ෂණයෙන් තෝරා ගත් ගුවන්විදුලි ශිල්පියෙකු වීමෙන් පසු මා හා හපුරා කියා සහභාගි වුණු පළමු වන ගුවන්විදුලි වැඩසටහන වනාහි "මහියංගණය' නමැති විචිත්‍රාංගයයි. එය ගුවන්විදුලියේ පටිගතකිරීම් ඇරඹී නොතිබුණු සමයක් බැවින් එදා මගේ ළමා පිටිය වැඩසටහන මෙන්ම මේ විචිත්‍රාංග වැඩසටහනද ප්‍රචාරය කළේ සජීව ලෙසය. ඒ 1957 සැප්තැම්බර් 05 වන දාය. 'මහියංගණය' විචිත්‍රාංගය වූකලී එකල ගුවන්විදුලියේ සිටි අති ශූර වැඩසටහන් නිෂ්පාදක වරයෙකු වන ආනන්ද සරත් විමලවීරයන්ගේ නිෂ්පාදනයකි.
එදාා සිට අද දක්වාම මම ගුවන්විදුලි නාට්‍ය ශිල්පියෙක්මි. මගේ ගුවන්විදුලි ජීවිතය තුළ මා නාට්‍ය රචකයෙකු , ගීත හා විචිත්‍රාංග රචකයෙකු , වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු මෙන්ම බාහිර නිෂ්පාදකයෙකු වශයෙන්ද
කාර්යෙහි නිරත වූ බව මෙහි ලා සටහන් කර තබමි.
එදා ගුවන්විදුලි නාට්‍ය ශිල්පී පරීක්ෂණ විනිශ්චය මණ්ඩලය සැදුම් ලද්දේ අයිලිින් සරච්චන්ද්‍ර , ඩී.බී.අයි.පී. සිරිවර්ධන සහ ජේ.එච්. ජයවර්ධන යන කෘතහස්ත ගුවන්විදුලි නාට්‍ය ශිල්පීන් තිදෙනාගෙනි.
එකල ගුවන්විදුලි නාට්‍ය සම්පාදක තනතුර ඉසිලූ පී. වැලිකල මහතා අභ්‍යාස ශිෂ්‍යත්වයක් ලැබ බ්‍රිතාන්‍ය ගුවන්විදුලි මධ්‍යස්ථානයට ගොස් බැවින් එම තනතුරට අනුයුක්තව සිටියේ ජේ.එච්.ජයවර්ධනයන්ය.
( 1957 අවුරුද්දේ මා මුහුණ දුන් මූලික ගුවන්විදුලි නාට්‍ය ශිල්පී පරීක්ෂණයෙන් සමත් වූ බව දැන්වූ ලිපියත් , ඊට පසු අවසාන පරීක්ෂණයෙන් සමත් වූ බව දන්වා සිටි ලිපියත් , අනතුරුව , තෝරා ගත් ගුවන්විදුලි ශිල්පියෙකු වීමෙන් පසු හා හපුරා කියා සහභාගි වුණු පළමු වන ගුවන්විදුලි වැඩසටහන වන "මහියංගණය' නමැති විචිත්‍රාංගයට අයත් පිටපතේ පළමු වන පිටුවත් පහත පළවෙයි.)



2025 දෙසැම්බර් මස 04
586
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
502
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
427
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගුවන්විදුලියේ වයස 100 මගේ ගුවන්විදුලි වයස 69