(මේ ලිපිය සකසා ගැනුණේ Thamara Deutscuher නමැති ලෝකප්‍රකට ලේඛිකාව ඉංග්‍රීසියෙන් පළ කළ Not by Politics Alone - The Other Lenin යන සම්මානිත ලිපි සංග්‍රහයෙන් තෝරාගත් ලිපි රැසක් සිංහලට නගමින් මා 2019 වසරේ පළ කළ 'ඔබ නොදුටු ලෙනින්' නමැති කෘතියෙහි එන ලිපි දෙකක් ඇසුරෙනි.
'පුද්ගල වන්දනාව' පිළිබඳ ලෙනින්ගේ ආකල්පය විශද කොට දක්වන ලිපිය වූකලී වී.ඩී. බොන්ච් බෲයේවිච් (1873 - 1955) විසින් ලියැවුණකි. ඔහු 1880 පටන් ක්‍රියාකාරී විප්ලව වාදියෙකි. ඉතිහාසඥයෙකි. මානවවංශ ශාස්ත්‍රඥයෙකි. ග්‍රන්ථ කර්තෘ වරයෙකි.1917 සිට 1920 දක්වා සෝවියට් මහජන කොමිසාර්වරුන්ගේ කවුන්සිලයේ
- ක්‍රෙම්ලින් ආයතනයේ - පරිපාලනය පිළිබඳ ප්‍රධාන වගකියයුත්තාද විය.
'ලේඛක මර්දනය' පිළිබඳ ලෙනින්ගේ ආකල්පය හෙළි කරන ලිපිය ලියා ඇත්තේ N. Valentinov නම් ලෙනින්ගේ සමකාලීනයෙකු විසිනි.)
පුද්ගල වන්දනාව
"පුද්ගල වන්දනාවට අදාළ සිද්ධිය වනාහි වෙඩි වැදීමෙන් තුවාල ලද ලෙනින් ඉන් සුවය ලබන කාල සීමාව තුළ සිදුවූවකි. 1918 අගෝස්තු තිස් වැනි දා ඇෆ්.කප්ලාන් නමැත්තිය විසින් ලෙනින්ට වෙඩි තබා තුවාල කරන ලදී. ඇය ලෙනින් විරෝධී සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ සාමාජිකාවකි. ප්‍රකෘති සිහිය ලබන්නට ලෙනින්ට සති දෙකක් පමණ ගත විය.
"ඔහු සැප්තැම්බර් මැද හරියේදී තම කාර්යාලයේ සුපුරුදු වැඩෙහි නිරත විය.
"දහයට පමණ තම කාමරය තුළට පැමිණි ලෙනින් වහා පුවත්පත් බලන්නට පටන් ගති. පැය බාගයක්වත් ගත වූයේ නැත. හදිසියේම ඔහු තම සීනුව කීප වරක්ම එක දිගට නාද කරනු මට ඇසුණි. යම් කිසිවක් සිදුවී ඇතැයි බිය වූ මම වහා නැගිට ඔහුගේ කාමරය තුළට ගියෙමි. එහි ඇතුළු වන මගේ දෑසට ඔහුගේ මුහුණ හසු විය.සුදුමැලි වී ගිය ඔහු මහත් සේ කැලඹී සිටි බවක් පැහැදිලිවම පෙනුණි. ඔහු මා දෙසට හැරී චෝදනා මුඛයෙන් කතා කරන්නට පටන් ගති."
'මොනවද මේ? ඇයි මේවට ඉඩ දුන්නෙ? පේන්නෙ නැද්ද මේ මිනිස්සු පත්තරවල ලියලා තියන දේවල්? මේක ලැජ්ජා නැති වැඩක්! ඒගොල්ලො මං ගැන තොරතෝංචියක් නැතුව ලියනව. මං මේ වගේ කෙනෙක්ලු. අර වගේ කෙනෙක්ලු. අහස උසට වර්ණනා කරල. උත්පත්තියෙන්ම විශේෂ බුද්ධියක් පහළ වුණු අරුම පුදුම පුද්ගලයෙක් හැටියටයි මාව හඳුන්නල තියෙන්නෙ. මේ හැම එකකම ගුප්ත විද්‍යා ලක්ෂණයක් ගැබ් වෙලා. මං නැවතවිද්‍යාලයේ බාගත යුතුයිලු. ඒ අයගෙ සාමූහික පැතුම, ඉල්ලුම, යැදුම ඒකයි. මේ විදියට ගියොත් අන්තිමේදී මේ උදවිය යාච්ඤා කරන්නත් පටන් ගනීවි මාව නැවතත් සුවපත් කර දෙන්න කියල. කොහොම වුණත් මේක මහා භයානක තත්වයක්! මේකෙ මුල කොතැනද? අපි මුළු ජීවිතේම කැප කරමින් සටන් කළේ කුමකට විරුද්ධවද? පුද්ගලයා හුවා දැක්වීමට විරුද්ධව නේද? පුද්ගලයා නමැති වීරයාගේ අවසාන කෘත්‍යය අපේ අතින් සිද්ධ වුණේ බොහෝ කලකට පෙරයි. ඒත් මේ ආයෙමත්
භිස ඔසවාගෙන එන්නේ කුමක්ද? පුද්ගලයා හුවා දැක්වීමම නේද? මේක කොහෙත්ම හොඳ වැඩක් නෙවෙයි! මාත් අනිත් හැම කෙනෙක් වගේමයි. හැබැයි මට ප්‍රතිකාර කළේ හොඳම දොස්තරල. ඒ ඇරෙන්න මොකක්ද වෙනස? මට ලැබුණු විදියෙ විශේෂ අවධානය වගේම හොඳ වෛද්‍ය ප්‍රතිකාර හා ආරක්ෂාව අපේ මහජනතාවට තවම ලැබෙන්නෙ නැති බව ඇත්ත. සියලු පහසුකම් පොදු වරප්‍රසාද බවට පත් කරන්න තවම අපට ශක්තියක් නොලැබීමයි ඒකට හේතුව. ඒත් මේ මිනිස්සු මේ පත්තරවලින් මාව ඉස්මතු කරල පෙන්නන්න හදනව. ඒක ඉතාම භයානකයි!'
"තමා ගැන රට පුරා මෙතරම් කැලඹීමක් හටගැන්ම ඔහුට මහත් සේ හානිකර විය හැකි යැයි බිය වූ ලෙනින් කොතරම් වේගයෙන් කතා කරගෙන ගියේද යත්, ඒ අතරතුර මට වචනයක්වත් කීමට අවකාශයක් නොලැබුණි. ඔහුගේ කතාව නැවතුණ පසුව මම හෙමිහිට මෙසේ පැවසුවෙමි".
'කෙළවරක් නැති විමසීම්, ලියුම්, ටැලිෆෝන් ඇමතුම්, ටැලිග්‍රෑම් ආදිය අපේ කන්තෝරුවටත් පුද්ගලිකව
මටත් ගලාගෙන එන්න පටන් ගත්ත. කර්මාන්තශාලා වෘත්තීය සමිති නියෝජිත පිරිස්ද විශාල සංඛ්‍යාවක් පැමිණියා. ඔබේ පෞද්ගලික ආරක්ෂාව සඳහා යුද නැව් හමුදාවෙන් ආයුධ සන්නද්ධ මුර භට කණ්ඩායමක් එවන්න තීරණය කළ නැවියන් වගේම කම්කරුවන්, ගොවියන් හා සොල්දාදුවන් ආදි හැම කෙනෙකුටම ඕනැ කළේ ඔබේ සෞඛ්‍ය තත්වය දැන ගන්නයි. විශාල වශයෙන් පැතිරුණු මේ ආශාව පුවත්පත් සඟරා ලිපි, වාර්තා, ලියුම් හා සමූහ කම්කරු ව්‍යාපාරවල යෝජනා ආදිය මගින් ප්‍රකාශයට පත් වුණා.'
"ඉන් පසු ලෙනින් කතා කළේය."
'මේ හැම දෙයක්ම සිතේ
බලවත් හැඟීමක් ඇති කරන බව ඇත්ත.මං හිතුවෙ නෑ මං නිසා හැම තැනකම මේ තරම් භීතියක් උද්වේගයක් ඇති වෙලාය කියල. ඒත් දැන් කළ යුත්තක් තියෙනව. එනම් කාගෙවත් හිත නොරිදවා මේ සියල්ලක්ම නැවැත්වීමට පියවර ගැනීමයි.මේක බොළඳ දෙයක්. හානිකර දෙයක්.ඒ වගේම පුද්ගල භාවයට අයත් කාරිය ගැන අපේ මතයටත් විනිශ්චයටත් පටහැනි වූ දෙයක්.ඒ නිසා ඔබ වහාම ඔල්මින්ස්කියි, ලෙපෙෂින්ස්කියි මුණගැහිල තුන් දෙනා එක්ක ලොකු කුඩා සෑම පුවත් පතකම සඟරාවකම කර්තෘ මණ්ඩල කාර්යාලවලට ගිහින් මෙන්න මේ පණිවිඩය දිය යුතුයි.'
'කරුණාකර මා පිළිබඳ සියලුම
ප්‍රචාරයන් ඉතාමත් උපක්‍රමශීලී ආකාරයකින් නවත්වාලීමට පියවර ගනු යෙහෙකි. ඒ වෙනුවට ඔබ හැමගේ ප්‍රකාශනවල පිටු, වඩා අවශ්‍ය වූත් වඩා සිත් ඇදගන්නා සුලු වූත් දෙයින් පුරවා ලනු මැනවි. කරුණාකර මා වෙනුවෙන් මේ ඉල්ලීම හැකි තරම් ඉක්මනින් ඉෂ්ට කර දෙනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වෙමි.'
"ඉන් පසු ව්ලැඩිමීර් ඉලිච් තම ලිවීමේ කටයුතුවල නිරත විය."
ලේඛක මර්දනය
" බොල්ෂෙවික් ලේඛක Mikhail Stepanovich Olminsky වරක් ලෙනින් සහෝදරයාට මෙසේ ප්‍රකාශ කළේය.
'ලෙනින් සහෝදරය, samsonov ලේඛකයාගේ කතාවේ එන කියුම් ඔබට බලවත් සේ අප්‍රිය වන බව මට හොඳටම විශ්වාසයි. ඉඩම් හිමියගෙ පුතා තමන්ගෙ පිටිසර වත්ත ගැන කියන දේවලින් ඔහුගෙ හිත ඇතුළ හොඳටම එළිදරව් වෙනවා. ඒ කියමන්වලින් ඔබට ඇත්ත හොඳට පැහැදිලි වේවි. එයා තමන්ගෙ පිටිසර වත්ත ගැන නන් දොඩවන්න පටන් ගන්නවා. තමන්ගෙ වත්තෙ පිපුණු මලුයි ඒවයෙන් හමන සුවඳයි ගැන එයා කතා කරන්නෙ වයස දාසයෙ පාසල් දැරියක් වගෙයි. ලයිම් හා බර්ච් ගස්වල සුන්දරත්වය ගැන එයා කතා කරන්නෙ සිහිය විකල් වෙච්ච විලාසයෙනුයි. ලයිම් ගස්වලින් සෙවණ වුණු අර සුන්දර පටු පාරවලදි ඉඩම් හිමියන් තම ගොවියන්ට හා ගෙදර වහලුන්ට බර්ච් මුගුරුවලින් තළන්න පුරුදු වෙලා හිටිය බව අමතක කරන්න විප්ලවවාදියෙකුට කිසිම අයිතියක් නෑ. සතුටින් පිරුණු ළමා කාලය වෙත ආපහු යන්න තමන් තුළ ඇති ආසාවෙ තරම Samsonov ගෙ කතාවෙන් මට පැහැදිලිවම පේනවා. ඒ වගේ හැඟීම්වලට වහල් වීම විප්ලවවාදියෙකුට අනතුරුදායකයි. කෙනෙක් ඒ විදියෙ ආසාවකින් පෙළෙන්න පටන් ගත්තහම ඉක්මනින්ම තමන්ටත් පොඩි පහේ වත්තක් සල්ලිවලට ගන්න හිතෙනවා. ඒ වගේම වැඩි කල් නොගිහින් ඔහුටත් වැඩ පළ කර ගන්න ගොවියන් අවශ්‍ය වෙනවා. ඊට පස්සෙ ගොවියන් ලවා වැඩ කරවා ගන්නා ඔහු තමන්ගෙ වත්තෙ ලයිම් ගස්වලින් හෙවණ වුණු පටු පාරෙ තැනක තොටිලි ඇඳක ඇලවීගෙන ප්‍රංශ නවකතාවකුත් අතේ ඇතුව සුවසේ නිදි කිරා වැටෙන්න පුරුදු වෙනවා.'
"තම උඩු කය වසා සිටි කොට කබාය දෑලේ වූ සාක්කු විවර අස්සේ මාපටැඟිලි දෙක රුවා ගත් ලෙනින් පිළිතුරු දීමට පටන් ගති."
'Olminsky සහෝදරය, විකල්ව ඇත්තේ ඔබ හිතන විධිය මිස ඔහු හිතන විධිය නෙමෙයි. Samsonov සහෝදරයා ලයිම් හා බර්ච් ගස්වලින් හෙවණ වුණු පටු පාරවලටත් පිටිසර වතුවල ඇති මල් පාත්තිවලටත් දක්වන ආසාව ඔබ සලකන්නෙ ඔහු තුළට නියත වශයෙන්ම යම් කිසි වැඩවසම් මනෝ විඥානයක් ඇතුළු වීමක් හැටියටයි. ඒ වගේම අවසානයේ ඔහු නිසැකවම ගොවි ජනතාව සූරා කන්නෙකු බවට පත් කිරීමට එය හේතුවක් වෙන බවයි. හොඳයි, ඒ අනුව ඔබ මං ගැන කියන්නෙ මොකක්ද? මමත් මගෙ සීයට අයිති පිටිසර වත්තක ජීවත් වෙලා පුරුදුයි. එක විදියකින් මමත් ඉඩම් හිමි කුලීන වර්ගයකින් පැවත එන්නෙක්. ඒ සේරම සිද්ද වෙලා දැන් අවුරුදු ගාණක් ගත වෙලා. ඒත් අපේ ඒ වත්තෙ ගත කළ ජීවිතයෙ සුන්දර දේවල් මට තාමත් මතකයි. ඒ වත්තෙ තිබුණු ලයිම් ගස් වගේම මලුත් මට මතකයි. ඉතිං මාව මරලා දාන්න එපායැ ! පිදුරු කොළ මත්තෙ එහා මෙහා පෙරළෙන්න, ස්ට්‍රෝබෙරියි රාස්ප්බෙරියි කඩාගෙන කන්න, අලුත් කිරි බොන්න, මං ඒ කාලෙ පුරුදු වෙලා හිටිය හැටි අද මං මතක් කරන්නෙ කොච්චර සන්තෝසෙන්ද ! ඒ පිදුරු කොළ ගොඩ ගැහුවෙ, ස්ට්‍රෝබෙරියි රාස්ප්බෙරියි වැව්වෙ, එළදෙන්නුන්ගෙන් කිරි දෙව්වෙ මං නෙමෙයි. මේ වගේ මතක විප්ලවවාදියෙකුට නොහොබිනා දේවල් හැටියට ඔබ සලකන බවක් ඔබ මේ දැන් Samsanov සහෝදරයා ගැන කියාපු දේවලින් මට වැටහී යනවා. Olminsky සහෝදරය, ඔබ මේ ගැන නැවත වරක් පරිස්සමෙන් සිතා බැලිය යුතුයි. මේක, ඔබ ඕනෑවට වඩා වැඩි දුර යෑමක් නෙමෙයිද?'

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd