(2026 ජූලි මස 23 වන දා  සැමැරුණු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ අඩ සියවස් අභාව සංවත්සරය නිමිත්තෙනි)

[කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Joseph Needham  (1900  -  1995 )   බ්‍රිතාන්‍ය ජෛව රසායන විද්‍යාඥයෙකි.  චීන ශිෂ්ටාචාරය  හා තාක්ෂණ ඉතිහාසය පිළිබඳ විශ්ව කීර්තිධර  පර්යේෂකයෙකි.  චීනය විද්‍යාවට සහ තාක්ෂණයට කළ විශිෂ්ට දායකත්වය ලෝකයට හඳුන්වා දුන්නේ ඔහුය.  ඔහුට පෙර බොහෝ බටහිර විද්වතුන් සිතුවේ විද්‍යාවේ ප්‍රගතිය යුරෝපයෙන් පමණක් ආරම්භවූ බවකි. 
විද්‍යාව, ඉතිහාසය සහ සංස්කෘතිය එකට සම්බන්ධ කරමින්  පර්යේෂණ සිදු කළ ඔහු  අපරදිග  හා  පෙරදිග ශාස්ත්‍ර ලෝකය අතර සම්බන්ධතා බලවත් කිරීමට දායක විය. ඔහුගේ පර්යේෂණ නිසා ලෝක විද්‍යා ඉතිහාසය පිළිබඳ පැවති බොහෝ  මත  යළි සලකා බැලීමට සිදුවිය.  Joseph Needham   වූකලී විද්‍යා ඉතිහාසයේ වඩාත්ම බලපෑම් කළ විද්වතෙකු  ලෙස සැලකේ. මවිසින් මේ ලිපිය සකසන  ලද්දේ Joseph Needham  ගේ Within The Four Seas: Dialogue  Of East And  West යන කෘතියෙහි එන  Psychology and Scientific Thought in East and West යන නිබන්ධය ඇසුරෙනි.]

     බුද්ධිවාදයට එරෙහි  වදනින් 
      මසිත සසල කළ  බුද්ධිමතා

   1958 අවුරුද්දේ වසන්තය හා ගිම්හානය මම ලංකාවේ ගත කළෙමි. එහි සිටි කාලය තුළ මා වඩාම සන්තෝෂයක් ලැබූ එසේම අගය කළ දේවලින් එකක්  වූකලී  මාර්ටින් වික්‍රමසිංහ නම් කොග්ගල ප්‍රාඥයා (Sage  of Koggala) දැන හැඳින ගැනීමට ලැබීමයි. ලංකාවේ බුද්ධිමතුන් අතරින් අග්‍ර ගණ්‍ය  ප්‍රාඥයෙකු වන ඔහු සැබවින්ම ස්වාධීන  චින්තකයෙකි. සාහිත්‍යය හා සමාජාන්වේෂණය පිළිබඳ ලේඛකයෙකි.      
    රුසියානු ජනයාගේත් ඉන්දියාවේ හා ලංකාවේ ජනයාගේත් ගූඪ  මනෝ විඥානයේ සමානත්වය ඔප්පු කිරීම පිණිස වික්‍රමසිංහ තම The Buddhist Jataka stories and the Russian Novel  නමැති පොතෙහිලා දක්වන හේතුවලට වඩා ප්‍රත්‍යක්ෂ ඓතිහාසික හේතු තිබිය හැකිය. පෙරදිග ක්‍රිස්තියානි නිකාය සමූහයට අයත් පුරාණ මතවාදී ක්‍රිස්තියානි සභා කෙරෙහි ඇතිවූ ඇතැම් බලපෑම් ගැන වඩා හොඳ දැනුමක් ලබන්නා වික්‍රමසිංහ විසින් ගොගොල් සන්නාසියෙකු ලෙසත් සොසිමා පියතුමා බෝධිසත්වයෙකු ලෙසත් චිත්‍රණය කරනු ලැබීම ගැන එතරම් පුදුම නොවේ. එහෙත් ඔහු වික්‍රමසිංහගේ  සූක්ෂ්ම දෘෂ්ටිය ගැන වඩා පැහැදෙයි.
   මෙි කොග්ගල ප්‍රාඥයා විසින් ප්‍රකාශිත හැම මතයක් ගැනම කෙනෙකුට සන්තෝෂ විය නොහැකිය.  එහෙත් බුද්ධිවාදයට විරුද්ධව ඔහුගෙන් ප්‍රකාශිත  වචනවලින් මගේ සිතද චංචලව ගිය බව අවංකව පවසනු කැමැත්තෙමි. 'ආශාව මැඩගැනීමෙන් හා බුද්ධිය බැහැර කිරීමෙන් සොසිමා පියතුමා ශාන්තුවරයෙකුගේ අධ්‍යාත්මයක් ලැබීය' යන Andre Gide (විශිෂ්ට ප්‍රංශ නවකතාකරු) ගේ කියමන වික්‍රමසිංහ උපුටා දක්වන්නේ එය අනුමත කරමිනි.  ජාතක කතාවල හමුවන සියලුම බෝධිසත්ව චරිතයන් බුද්ධිය බැහැර කිරීමෙන් හා පුද්ගල භාවය නැසීමෙන් එවැනි අධ්‍යාත්ම ලැබූහයි ඔහු පවසයි. දුකින් මිදිය හැකි වන්නේ ආශාව නැසීමෙන් හා බුද්ධිය බැහැර කිරීමෙන් පමණක් යැයි ඔහු කියයි. වික්‍රමසිංහ තම Aspects of Sinhalese Culture නම් කෘතියෙහිලා වේදාන්තවාදයේ සහ ආයුර්වේදයේ එන කෝෂවාදය කෙරෙහි අවධානය යොමු කරයි. රසායන ද්‍රව්‍ය කෝෂය , ජීව කෝෂය ,  මනෝ කෝෂය , විඥාන කෝෂය , ආනන්ද හෙවත් ආත්ම කෝෂය නමින් දන්නා කෝෂ පංචකයක් එම වාදයේ වෙයි. ලෝකය ලූනු සිවි වැනි සිවි රාශියකින් සැදුණක් වැන්න. ඒ එක් එක් සිවිය අන්තිමටම ගලවා දැමීමෙන් පසු මනුෂ්‍යයා හා ප්‍රකෘතිය පිළිබඳ වැදගත්ම පදාර්ථය පසක් කළ හැකි වෙයි. මේ කෝෂ වාදයේ අන්තර්ගත අදහසකි.
    වික්‍රමසිංහ මෙම අදහස අවකාශ කෝෂ පිළිබඳ නවීන විද්‍යාත්මක සංකල්පයට සම කරයි. ඉලෙක්ට්‍රෝනය පරමාණුව තුළද  පරමාණුව අණුව තුළද  අණුව කලීල අංශුව තුළද  අංශුව ඉන්ද්‍රියිකාව තුළද  ඉන්ද්‍රියිකාව සෛලය තුළද  සෛලය ඉන්ද්‍රිය තුළද  ඉන්ද්‍රිය ශරීරය තුළද  ශරීරය සමාජ ඒකකය තුළද  පවතින බව පිළිගැනීම නිසා අවකාශ කෝෂ පිළිබඳ නවීන විද්‍යාත්මක සංකල්පය පහළ විය.
ඉන්දියාවේ හා ලංකාවේ සංස්කෘතික අවකාශයන්ට අයත් පුරාතන දර්ශන ක්‍රමයන් තේරුම් ගැනීමෙහි මෙන්ම ඒවායේ වැදගත්කම තහවුරු කිරීමෙහිලා මාර්ටින් වික්‍රමසිංහ විසින් දරන ලද තැත පැසසිය යුතුය. 
   ගණිත ශාස්ත්‍රය , රසායන විද්‍යාව හා ජීව විද්‍යාවද විශේෂයෙන් ඒවා ඇසුරෙන් පහළ වූ සිද්ධාන්තද ඇතුළු චීනයේ විද්‍යා ඉතිහාසය අරබයා මෑතදී කරන ලද විමර්ශනයන්හිදී අරුම පුදුම දේ හෙළිපෙහෙළිව ගියේය. මෙවැනි අපූරු දේ ඉන්දියාවේ විද්‍යා ඉතිහාසය විමසීමෙන්ද සොයාගත හැකි බව මම විශ්වාස කරමි.   
   මේ සිතිවිල්ලත් සමග මම  කොග්ගල ප්‍රාඥයාට මගේ ආචාරය පුද කරමි. පෑළ දිගින් හිරු බැස යන හැන්දෑවේ ඒ දර්ශන වාදියාගේ ගෙදර දොරකඩ හිඳගෙන  ලංකාවේ ගැමි පරිසරය දෙස බල බලා ඔහු සමග  සාකච්ඡා කිරීමටද සුදුසු සිතිවිල්ලකි එය.

ඇදුරෙකි පියෙකි  සොයුරෙකි
මිතුරෙකි කලන

සිරිකත ඔබට පිටු පෑ මුත් 
පැටි කලම 
තනිවම පොත පතින් ගති 
සරසවි වරම 
අගයා ඔබේ සාහිත මෙහෙයෙහි
තරම
දුනි ආචාරි පට තිබු 
සරසවි තුනම 

නොමගෙන ආචාරි අබිමන 
තම සිතට 
නොදමන ලෙසට එම ගරු පට 
නම මුලට 
දැන්විය එදා ඔබ පත් කතුවර 
හැමට
පස් වැන්නට එහා නොගියත් 
පාසලට

මගෙ සරසවි සමයෙ ඔබ 
පළමුව හැඳින
බැඳුණයි හදින් ළඟ  ඇසුරක
පල ලෙසින 
නිවහල් සිතුම් මසිතෙහි 
පොබ කළ නිතින
ඇදුරෙකි පියෙකි සොයුරෙකි 
මිතුරෙකි කලන

පරගැති නැති සිහල සලකුණෙහි 
විසිතුරූ
දිවි හිම් තෙක් වැනූ පොත පතින්
නිරතුරූ
ඔබ හට දිගා පැතු රසවතුන් 
පිරිවැරූ
සිහිවෙයි උපන්දින  පස් 
අසූ වස් පිරූ