සාහිත්‍ය මාසයේ පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පොත් වෙළෙන්දන් , ප්‍රකාශකයන් , ලේඛකයන් , පාඨකයන් යන සැමගේම වාර්ෂික පොත් මංගල්‍යය බවට පත්ව ඇත සාහිත්‍ය මාසය වන සැප්තැම්බරයේ ලංකාවේ ලොකු කුඩා නගර හැම එකකම වාගේ පොත් ප්‍රදර්ශන පැවැත්වෙන බව මාධ්‍ය මගින් හෙළි වෙයි. පොත් ප්‍රකාශයකයන් හා පොත් වෙළෙන්දන් පමණක් නොව එක් එක් පුද්ගලයන්ද පොත් ප්‍රදර්ශන පවත්වන අවස්ථා දක්නට ලැබේ. සාහිත්‍ය මාසය එළඹෙන්නට පෙරාතුවද අවුරුද්දේ මුල සහ මැද පවා එවැනි පොත් ප්‍රදර්ශන පැවැත්වෙනු දැකිය හැකිය. 

පොත් ගැන කතා කරන විට එක්තරා සංස්කෘත ශ්ලෝකයක් ඉබේම මගේ සිහියට නැගේ. එය මෙසේය.

පුස්තකං වනිතා රත්නං 
පර හස්ත ගතං ගතං
අන්⁣තේ කලහං චෛව 
ශ්වාන මෛථූනමේවච

එහි සරල භාවය මෙන්න.

"පොතත් ගැහැනියත් මැණිකත් අනුන් අතට ගියොත් ගියාමය. එය කෙළවර වන්නේ රැලේ යන බල්ලන්ගේ අවල කෙළි කෝලාහලය වැනි කෝලාහලයකිනි."

   යට දැක්වුණු ශ්ලෝකයේ සඳහන් වන වස්තු තුනෙන් වනිතාවයි මැණිකයි සම්බන්ධයෙන් නම් මට එවැනි අත්දැකීමක් නැත. එසේ වුවත් එම ශ්ලෝකය පොත අරබයා පළ කරන මතය නම් පරම සත්‍යයකි. ඒ සම්බන්ධයෙන් මටද ප්‍රත්‍යක්ෂ අත්දැකීම් සම්භාරයක්ම ඇති හෙයිනි. එකී පරම සත්‍යය සනාථ කරන කල්‍යාණ මිත්‍ර රැලක්ම සංසාර පුරුද්දෙන් දෝ ලැබීමට තරම් මම වාසනාවන්තයෙක්මි. එසේ වුවද කවර භාග්‍යයක් නිසා හෝ පොත් අරබයා මා ලත් ඒ ප්‍රත්‍යක්ෂ අත්දැකීම් කිසිවක් මෙතෙක් බලු අවල කෙළියට සමාන කෝලාහලයකින් නම් කෙළවර වී නැත.
   මට මෙවේලේ විශ්ව විශ්‍රැත ඇනටෝල් ප්‍රාන්ස් නම් ප්‍රංශ ලේඛකයාගේ විශ්ව ව්‍යාප්ත උත්ප්‍රාසාත්මක ආප්ත වාක්‍යයක් සිහියට නැගෙන්නේ ඉබේය. 

Never lend books, for no one ever returns them; the only books i have in my library are books that other folks have lent me.

"කිසි දිනක අනිකෙකුට පොතක් නොදෙනු. ඔහු එය කිසි දිනක ආපසු නොදෙන බැවිනි. මගේ පුස්තකාලයේ ඇත්තේ අනුන්ගෙන් ඉල්ලාගෙන ආපසු නොදුන් පොත් පමණි." 

   පොත් ගැන කතා කරන විට මට කිසි සේත් අමතක නොකළ හැකි පුරුෂශ්‍රේෂ්ඨයෙක් ඇත. ඒ ෆ්‍රැන්සිස් බේකන් විබුධයාය. මා ඔහුගේ නම මුලින්ම දුටුවේ මගේ පැටි වියේදීය. හෝඩියේ සිට පස්වැන්න දක්වා ලයනල් රන්වලයන්ද සමග එක පන්තියේ ඉගෙන ගත් අපේ කළුබෝවිල ගමේ බුද්ධඝෝෂ විද්‍යාල ශාලාවේ වහලේ බාල්කයක එල්ලී සිටි එක් පුවරු කඩක දිස්වුණු ඒ විබුධයාගේ ආප්ත වාක්‍යයක් යටිනි.
"කියවීම මිනිසා සම්පූර්ණ කරයි." 
යනු ඒ පඬි වදනය එදා එවැනි පඬි වදන් පුවරු අපේ දෑසට හසුවන සේ එහි බාල්කවල එල්ලී සිටියේය. කුඩා අපගේ ගුණ නැණ වැඩීම හා සිංහල අක්ෂර වින්‍යාසය මතකයේ රැඳවීම උදෙසා එම පඬිවදන් පාඨයෝ ගුරුවරු සරි වූහ. පාසල් පොත් කතුවරයෙකු හැටියට දිවයින පුරාම කිතු ගොස පතළ පී.රූබන් පීරිස් ලේඛකයාණෝ එකල අපගේ විදුහල්පතිතුමෝය. මේ පඩි වදන් දැක්ම ඔහුගේ නැණ පලයක් යැයි සිතමි. කීර්තිමතෙකු විදුහල්පති පදවිය හොබවන පාසලක සිසුන්ට එයම නිර්මාණ ආවේශ මහිමයක් නොවේද !
   මෙහි ලා මා කීමට බලාපොරොත්තු වන්නේ බේකන් පඬිතුමාගේ Reading maketh a full man යන එකී සුප්‍රකට ඉංග්‍රීසි ආප්ත වාක්‍යයේ අනුසස් නොවේ. ඔහුගේම අප්‍රකට වූ වෙනත් ආප්ත වාක්‍යයක අර්ථ මහිමයයි. ඔහුගේ එකී සුප්‍රකට වාක්‍යය ප්‍රකාශිත මුල් ඉංග්‍රීසි ලිපියේම එන ඊටම අදාළ ඒ අප්‍රකට වාක්‍යයද එක සේ මහාර්ඝ වෙයි. බේකන් පඬිතුමාගේ මේ චිර සම්භාවිත ඉංග්‍රීසි ලිපියේ මාතෘකා පාඨය වූකලී 'of studies' (හැදැරීම පිළිබඳව) යනුයි.. 
බේකන් පඬිතුමාගේ එම අප්‍රකට මහාර්ඝ ආප්ත ප්‍රකාශය මෙසේය.
"Some books are to be tasted, others to be swallowed, and some few to be chewed and digested."
" ඇතැම් පොත් ඇත්තේ දිව ගෑමට පමණි.අනික් පොත් ගිල දැමීමටය. හපා දිරවා ගැනීමට හැකි පොත් තිබෙන්නේ ස්වල්පයකි." 
   බේකන් පඬිතුමාගේ මේ ග්‍රන්ථ
වර්ගීකරණ න්‍යාය මෙකල මෙරට සිටින ඇතැම් සිංහල ලේඛකයන්ගේ ග්‍රන්ථ වර්ගීකරණයටද මැනැවින් යොදා ගත හැක්කක් යැයි සිතමි. 
ඉංග්‍රීසි මහාකවි ජෝන් මිල්ටන්හු 'හොඳ පොත' අරබයා කළ මේ ප්‍රශස්ත ප්‍රකාශයද අසත්වා.

"A good book is the precious
Life - Blood of a Master - Spirit ,
embalmed and treasured up on purpose to a life beyond life."

"හොඳ පොතක් යනු , ජීවිතයට එහා ජීවිතයක් වෙනුවෙන් , උත්තම අධ්‍යාත්මයක් විසින් , සිතාමතාම , සුරක්ෂිතව තැන්පත් කොට ඇති , තම මහාර්ඝ ජීව රුධිරයයි."

   පොත් ප්‍රදර්ශන මෙකල අතිශය සුලභ වුවද අපේ ගැටවර විය මෙන්ම තරුණ වියද ගතවුණු කාලයේ ඒවා අත්‍යන්ත දුර්ලභ විය අප එකල අතට ලැබුණු සුළු මුදල පවා වියදම් කළේ පොත් මිලදී ගැනීමටය. එය විනෝදාංශයක් හා සම විය. ලාබෙට පොත් මිලදී ගත හැකි පොත් ප්‍රදර්ශන හොඳටම හිඟ වූ ඒ දවස් වල ඒ අඩුව පිරිමසාලන තැන් කීපයක් මරදාන ඉස්ටේසම වට කොට සිටි තාප්පය වටේ පිහිටුවා තිබුණි. දැන් දක්නට ඇති කඩ සාප්පු සහිත තට්ටු ගොඩනැගිලි කිසිවක් එකල එහි නොවීය. 
   හිරු මුදුන් වන සමයේ මරදානේ බුහාරි හෝටලයෙන් විහිද යන කුස ගිනි වඩවන ප්‍රණීත බුරියානි සුවඳට දනන් එහි ඇදී යන්නේ ඉබේය. දිවා බොජුනෙන් පසුව ඇතැමුන් එහි අතුරුපස නොගෙන දුව යන්නේ එකල මරදානේ තුඩ තුඩ නම පතළ 'සෝමාපස්ගෝරස' බොජුන් හලේ හබල පෙති කිරි පැණි රස විඳින දොළ දුකිනි. ටවර් රඟ හල එකල සිනමා හලකි. මහේශාඛ්‍ය එල්පින්ස්ටන් සිනමා හල හැර තව සිනමා හල් තුනක් මරදානේ විය. නිව්ඔලිම්පියා , සෙන්ට්‍රල් සහ ගාමිණී යනු ඒ තුනය. එකල මධුර මදිරා ලෝල සලෙලු ජනයා සත් වන සග ලෝ සැප ලබනු පිණිස දිව රෑ කුල්මතින් පිවිසෙන එකම සන්ථාගාරය වූයේ ශාලිමාර් අවන් හලය. ටවර් හෝල් යුගයට මෙන්ම නූතන යුගයටද අයත් බොහෝ සංගීතඥයන් , නාට්‍යකරුවන් හා ගායකයන් බහුල වශයෙන්ද ඇතැම් සාහිත්‍යකරුවන් හා ගුවන්විදුලි ශිල්පීන්ද එකල පදිංචිව සිටියේ මරදානේ පංචිකාවත්ත , මාලිගාවත්ත අවට පෙදෙසෙහිය. කේ.ඩී. ඩේවිඩ් මහතාගේ පැවිලියන් හෝටලයත් හස්තිගිරි හෝටලයත් මරදාන නාමයත් සමග සිහියට නැගෙන ස්මාරක දෙකක් වැන්න. 
   මරදාන පුරවරයේ පිහිටි අනුස්මරණීය සෞන්දර්ය නිකේතනය වූකලී කීර්තිධර සංගීතඥ ආර්.එ්. චන්ද්‍රසේනයන්ගේ සංගීත විද්‍යාලයයි. විශිෂ්ට සංගීතඥයෙකු වන ප්‍ර්‍ෙමසිරි කේමදාසයන් එම සංගීත විද්‍යාලයේ මුල්ම ශිෂ්‍යයෙකු බව මා පළමු වරට දැනගත්තේ චන්ද්‍රසේනයන්ගේ ප්‍රිය භාර්යාව වූ ශ්‍රියානි චන්ද්‍රසේන මැතිනිය ගේ මුවෙනි. ගුවන්විදුලියේ සුප්‍රකට සංගීත නිෂ්පාදකයෙකුව සිටි
එම්. ආරියදාසයන් නිෂ්පාදනය කළ චන්ද්‍රසේන අනුස්මරණ වැඩසටහනක් සඳහා පිටපත ලිවීමට මා ඇය සමග කළ සම්මුඛ සාකච්ඡාවකදීය. ඇය ඒ බව සසාධකව සකාරණව සනාථ කළේ කේමදාසයන්ට එම සංගීත පන්තිය නිකුත් කළ ශිෂ්‍ය හැඳුනුම් පතේ පිටපතක් මගේ ඇසට හසු කිරීමෙනි.
   එකල මරදානේ දක්නට ලැබුණේ ප්‍රසිද්ධ පොත් කඩ කීපයක් පමණි. මාලිගාකන්ද පාරේ පිහිටි සමයවර්ධන පොත්හල පාලි , සංස්කෘත පොත්වලට මෙන්ම බණ පොත්වලටද සින්නක්කර උරුමකරුව සිටියේය. පැරණි සාහිත්‍ය පොතපතට ලොබ බැන්දවුන් සොයා ගියේ කේ.ඒ.ආරියදාස පොත් හල සහ මුදන්නායකයන්ගේ 'විද්‍යාධාර' පොත්හලය. නූතන සාහිත්‍ය හා විචාර පොත් පළ කිරීමට පුරෝගාමී වූයේ රත්ත පොත් ප්‍රකාශකයන්යැයි සිතමි. කොළඹ යුග සාහිත්‍ය ගුරු කුල කඳවුර ප්‍රලය කර පේරාදෙණි ගුරු කුල කඳවුර සමග යුද වැදවීමට උපස්තම්භක වූ නන්දසේන රත්නපාල තරුණ විශ්වවිද්‍යාල කථිකාචාර්ය විචාරකයාගේ සාහසික විෂ විචාර මිසයිල වූයේ මරදානේ රත්න පොත්හල පළ කළ ඔහුගේ සාහිත්‍ය විචාර පොත්ය."නන්දසේන රත්තපාල නමැති අවිචාර විචාරකයාගේ කටී ප්‍රෝථයට පාද ප්‍රහාරය දී ඔහු පර සක්වල ගැසිය යුතුයැ"යි එම ගුරුකුල සටනේදී , 'සිළුමිණ' පුවත්පතින් විරුද්ධවාද නැගුවේ කොළඹ ගුරු කුල සෙන්පතියෙක් වූ 'සිළුමිණ' කතුවර මීමන ප්‍රේමතිලකයන්ය.
   මේ ප්‍රකට පොත්හල් කීපය අතරේ එක්තරා අපූරු චරිතයක් සතු පොත් හලක් කොළඹ ආනන්ද විදුහල ඉදිරිපිට තිබුණි. දිනක් මාත් මගේ 
සන්මිත්‍රයෙකුත් මෙම පොත් සාප්පුව තුළදී මුහුණ පෑ අකරතැබ්බයක් මෙවේල්‍ෙ මගේ මතකයට එයි. මේ අපූරු චරිතය පී.කේ. ඩබ්ලිව්. 
සිරිවර්ධනයන්ය. මිතුරා සුනන්ද මහේන්ද්‍රයන්ය. 
  ආනන්ද විදුහල ඉදිරිපිට පාර දැන් හැඳින්වෙන්නේ පියදාස සිරිසේන මාවත නමිනි. එය කලින් ස්ටේස්  රෝඩ්ය. ආනන්ද විදුහල පැත්තේ සිට එය කෙළින්ම වැටී ඇත්තේ ‍ශ්‍රී ලංකා විද්‍යාලය පිහිටි ඕඩේ පන්සල දෙසටය. එකල සුනන්දයෝ එහි ගුරුවරයෙකි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාද එකල ශ්‍රී ලංකා විද්‍යාලයේ සුනන්දයන්ග්‍ෙ ශිෂ්‍යයෙකි. අමර හේවාමද්දුම , නාමෙල් වීරමුනි , සුගතමුනි ඤාණසිරි යන මා මිතුරෝද එකල එහි ගුරුවරුය. 
සුනන්ද මහේන්ද්‍රයන් හමුවීමට එහි ගිය ඇතැම් දවසක පස්වරුවේ උණු උණු රෝස් පාන් කෑම සඳහා ස්ටේස් පාරේ පිහිටි සල්ගාදු හෝටලයට යෑම අපි දෙදෙනා වතක් කොටගෙන සිටියෙමු. මේ සල්ගාදු හෝටලය යනු වෙනෙකක් නොව එකල වැඩිම අලෙවියක් තිබුණු , එසේ්ම ලංකාව පුරා හැම ගෙයක් නෑරම කියැවුණු නවකතා රාශියක් බිහිකළ පියදාස සිරිසේන නම් කීර්තිමත් ලේඛකයාණන්ගේ වාසභවනය.එය මහේශාඛ්‍ය වලව්වක ප්‍රතාපවත් ස්වරූපය උද්වහනය කළ ඓතිහාසික මන්දිරයකි. ස්ටේස් පාර පියදාස සිරිසේන මාවත වීමටත් ඊට පිවිසෙන තැන පියදාස සිරිසේන ප්‍රතිමාව දක්නට ලැබීමටත් හේතු සාධක වූයේ සිරිසේන සූරීන්ගේ වාසය එහි සිදුවීම බව අද සැඟවුණු රහසක් බවට පත්ව ඇතැයි සිතමි.
   වරක් මෙසේ හමුවුණු දිනක සුනන්ද මහේන්ද්‍රයනුත් මමත් කබල් පොත් ගැරීම සඳහා පී.කේ. ඩබ්ලිව්. සිරිවර්ධනයන්ගේ පොත් සාප්පුවට පිවිසුණෙමු.එකල ඔහුගේ පොත් සාප්පුවේ දුර්ලභ ගණයේ පැරණි පොත් තිබුණු බව අප දැන සිටි හෙයිනි.
ආනන්ද සමරකෝනුන් විසින් රචිත ජාතික ගීතය ඇතුළු ඔහුගේ සෙසු ගීත රචනා ග්‍රන්ථ ස්වරූපයෙන් පළ කිරීමේ හිමිකම් ලබාගෙන තිබුණේ පී.කේ. ඩබ්ලිව් සිරිවර්ධනයන්ය. ආනන්ද සමරකෝනුන්ගේ ගීත සම්බන්ධයෙන් තමාගේ අවසරයක් නොලබා කිසිවක් කිරීමට ආනන්ද සමරකෝනුන්ට අයිතියක් නොමැති බවට සිරිවර්ධනයන් තර්ජනාංගුලිය එසවූ බවත් එවැනි සිද්ධියක් දැන ඊට එරෙහිව සමරකෝන් සංගීතවේදියා උසාවි ගෙනයෑමට සූදානම් වූ බවත් එකල අපට අසන්නට ලැබුණි. සිකීම් ජාතික එස්. මහින්ද හිමියන්ගේ කවි පොත්වල හිමිකමත් ලබාගෙන තිබුණේ සිරිවර්ධනයන්මය. කෙසේ වුවද සුනන්ද මහේන්ද්‍රයන්ගේත් මගේත් අත්දැකීම කියවූ පසු ඔබට පී.කේ.ඩබ්ලිව්. සිරිවර්ධනයන්ගේ චරිත ස්වභාවය කෙබඳුද යන්න වටහා ගැන්ම පහසු වනු හිසැකය. ඔහු උගතෙකි. ලේඛකයෙකි. ගිහි පැවිදි වියතුන් ඉතා සමීපව ඇසුරු කළ කෙනෙකි. 
   සිරිවර්ධනයන්ගේ පොත් සාප්පුවට ඇතුළු වූ අපි දෙදෙනා සාප්පුවේ ඇතුළේ තිබුණු වීදුරු පොත් අල්මාරි ළඟට ගොස් ඒවා තුළ ඇත්තේ කවර කවර පොත්ද යන්න ඇසින් හඳුනා ගනිමින් සිටියෙමු. සුනන්දයන් සිටියේ පොත් සාප්පුවේ එක් පැත්තකය. මම අනික් පැත්තේ ඇති අල්මාරිවල තිබුණු පොත් දිහා බලමින් සිටියෙමි. එවකට මහලු වියේ පසුවුණු සිරිවර්ධනයන්ගේ කටේ උඩු ඇන්දේ ඉස්සරහ වූයේ එකම එක දිරා ගිය දතක් පමණි. ඔහු සිනාසෙනු දැකීම කන කැස්බෑවා විය සිදුරින් අහස දැකීමක් වැන්න.
   පොත් අල්මාරි ළඟ කවුරුන් හෝ සිටින විට සිරිවර්ධනයෝ මේසෙන් නැගිට විත් පොත් බලන්නන් වෙතට තම උකුසු ඇස හෙළමින් ඔවුන් අසලින් එහා මෙහා ඇවිදීමට පුරුදුව සිටියෝය. සාප්පුවේ ඇති පොත් අල්මාරියක් ඇර පොතක් අතට ගෙන බැලීම සපුරා තහනම් විය. යම් කිසිවෙකු එසේ කරනු දුටු කල ඔහු එතැනට කඩා පනින්නේ කෝපයෙන් බැණ වදිමිනි. ඔහුගේ මේ ගතිය දැන සිටි අප ඔහු එහා මෙහා වන වෙලාවක් බලා සිට අපගේ සිත් ගත් පොතක් සද්ද නොවන ලෙසට අල්මාරිය හැර එළියට ගෙන බලන්නේ පණ බයේය. පොත් අල්මාරියක් අසලට වී ටික වෙලාවක් පොත් බලමින් සිටි මට සිරිවර්ධනයන් උස් හඬින් කෑ ගසන සද්දයක් ඇසු⁣ණෙන් මම ඒ දෙසට ගියෙමි. ඒ වන විටත් ඔහු සුනන්දයන් සාප්පුවෙන් එළියට පන්නා දමා හමාරය. වේගයෙන් මා දෙසට ආ ඔහු මාද සාප්පුවෙන් එළියට පන්නා දැම්මේ හොඳටම බැණ වදිමිනි. හොරෙන් අල්මාරියක් හැර පොතක් අතට ගෙන බලන සුනන්දයන් දුටු සිරිවර්ධනයන් ඔහු එළියට එලවා තිබුණේ පොත් හොරෙකු ලෙස සලකමිනි. අප දෙදෙනාද ඔහුට බණිමින් එතනින් පිටව ආවේ යළි කිසි දිනක සිරිවර්ධන පොත් සාප්පුවට අඩියක් නොතබන බවට තීරණය කරමිනි.
  ඊට පෙර දිනක මා සිරිවර්ධන පොත් සාප්පුවේ පොත් බලමින් සිටින අවස්ථාවක එක්තරා ශිෂ්‍යයෙක් පොතක් මිලදී ගැනීමට එහි පැමිණියේය. ඔහු සිරිවර්ධනයන්ගෙන් මෙසේ ඇසීය.
"සිරිවර්ධන මහත්තය මීමන ප්‍රේමතිලකගෙ 'නවීන පද්‍ය රචනා' පළමුවෙනි කාණ්ඩය තියෙනවද?"
"ඔව්. තියෙනව. ඕනද ?"
   ඉන්පසු සිරිවර්ධනයන් නවීන පද්‍ය රචනා පළමු වන කාණ්ඩය 
ගෙනැවිත් ශිෂ්‍යයා අතට දුන් පසු ඔහු මඳ වේලාවක් එය පෙරළමින් සිට යළි සිරිවර්ධන මහතාගෙන් මෙසේ ඇසීය.
"සිරිවර්ධන මහත්තය 'නවීන පද්‍ය රචනා' දෙවැනි කාණ්ඩයත් තියෙනවද?"
"මේ ළමය ඉස්සෙල්ල. පළමුවෙනි කාණ්ඩය ගෙනිහිල්ල කියවල හිටිනවා"
එසේ කියමින් සිරිවර්ධනයන් ශිෂ්‍යයා වෙතට කඩා පැන්නේ කෝපයෙනි.
   පී.කේ.ඩබ්ලිව්.සිරිවර්ධනයන්ගෙන් මාර්ටින් වික්‍රමසිංහයන්ද බේරී නොමැති බව මා දැනගත්තේ ඔහු කී තොරතුරු මගිනි. ඊට අදාළ එක් සිද්ධියක් මාර්ටින් වික්‍රමසිංහයන් තම 'උපන්දා සිට' පොතෙහිලා පවසන්නේ මෙසේය.
"'ලීලා' පිටවූ කාලයෙහි පී.කේ. ඩබ්ලිව්.සිරිවර්ධන ඒ පොත කියවන්නට එපායැයි තරුණයන්ට කියන්නට වීය."
    එකල මරදාන ඉස්ටේසම වටා බැඳි තාප්පය වටේ පදික වේදිකාව දිගේ තැන් තැන්වල තාප්පයටම අල්ලා පොඩි ලෑලි කඩ කීපයක් හා පෙට්ටි කඩ කීපයක් තනා තිබුණි..මරදානේ බුහාරි හෝටලය ඉදිරිපස හරියේ ඉස්ටේසමේ තාප්පය දිගේ කුඩා ලෑලි ගෙවල් කීපයක් විය. එවැනිම ගෙවල් කීපයක් එකල ඩ්‍රිබර්ග්ස් පටු මග (දැන් ජයන්ත වීරසේකර මාවත) දිගේත් මරදාන හන්දියේ සිට ටෙක්නිකල් හන්දියට දිවෙන පාරේත් දක්නට තිබුණි. 
මරදාන ඉස්ටේසමේ තාප්පය වටේ තිබුණු ලෑලි කඩවලින් දෙක තුනක් පරණ පොත් කඩය. කබල් පොත් ගැරීම සඳහා අප වැඩිපුර ගියේ මේ පොත් කඩ වෙතය. එක්තරා කබල් පොත් ගරන්නෝ රැලක් ඒ අවධියේ සතියකට දින දෙක තුනක් නොවරදවාම මරදානේ පරණ පොත් කඩ පීරන්නට පුරුදුව සිටියෝය. තනි තනිවම මෙන්ම දෙතුන් දෙනා එකට පැමිණද මේ කබල් පොත් ගැරීමේ කාරියෙහි ඔවුහු නියැලුණහ. සුනන්ද මහේන්ද්‍ර , ජයසුමන දිසානායක , අශෝක කොළඹගේ , හේමරත්න ලියනආරච්චි , තිලක සුධර්මන් ද සිල්වා , ආනන්ද . කේ . විජයතුංග (පසුව බණ්ඩාර විජයතුංග) , ස්වර්ණ ශ්‍රී බණ්ඩාර , රංජිත් ධර්මකීර්ති , පාලිත පෙරේරා , ඩී..එස් .දයාරත්න , සුමන ආලෝක බණ්ඩාර , 
සුගතපාල ද සිල්වා , ලෙස්ලි බොතේජු , එස් , කරුණාරත්න සහ මා ඇතුළු පිරිසකගෙන් එදා ඒ කබල් පොත් ගරන්නන්ගේ සමාජය සජ්ජිත විය. මගේ ගෙදර බිහිවූවා සේම යට නම් සඳහන් සියලු වයස්‍යයන්ගේම නිවෙස්වල දෙස් විදෙස් පොත් දහස් ගණනින් සපිරි හොඳ පොත්ගුල බැගින් බිහිවීම කවර අරුමයක්ද! එමතුද නොවේ.. ඒ පොත්ගුල් හැම එකකම පාහේ ඇති පොත්වලින් වැඩි හරියක්ම එදා අප මරදානේ පරණ පොත් කඩවලින් කුණු කොල්ලයට ගරා ගත් ඒවා බව ඉඳුරා පැවසිය හැකිය.
     කබල් පොත් ගරන්නන් වූ අප සියලු දෙනාම වාගේ නොවරදවාම ගිය එක්තරා පොත් කඩයක් මරදානේ ඉස්ටේසම වටා ඇති තාප්පය අයිනේ විය. එය අයිතිකාර පුද්ගලයා කළුවර මෙන් කළුය . ඔහු අත කොට මනුස්සයෙකි. ඔහු කබල් පොත් ගරන්නට එන අප හැමදෙනාගේම සුහද මිතුරෙක් විය. අප එකිනෙකාට අවශ්‍ය පොත් කවරේද යන්න ඔහු හොඳින් දැන හැඳින සිටියේය. ඒවා සොයාගෙනැවිත් අප එනතුරු මග බලා සිටීමද ඔහුගේ සිරිත විය. . ඔහුගේ ප්‍රසන්න ස්වභාවය අප ඔහුගේ පොත් කඩයට අද්දවන කාන්දම වී තිබුණි. ඔහු
කාරණාකාරණාද හොඳින් දැන සිටි පුද්ගලයෙක් විය. අපිද පොත් ගැරීමට ගිය අවස්ථාවල ඔහු සමග බොහෝ වේලා පිළිසඳර කතාවේ යෙදී සිටීමට පුරුදුව උන්නෙමු. මගේ ගෙදර පොත් රාක්කයක ඇති ඇතැම් පරණ පොතක් එළියට ගෙන කියවන අවස්ථාවක එදා ඔහු සමග කළ සුහද ඇසුර මගේ සිහියට නැගෙන්නේ ඉබේය.
    එදා මරදාන ඉස්ටේසමේ තාප්පය වටේ වූ පොඩි ලෑලි කඩ සොයා ගියේ පොත් ලෝලයන්ය. එහෙත් එහි තැන් තැන්වල වූ ඇතැම් කුඩා ලෑලි ගෙවල් සොයා ගියේ අබිසරු ලිය ලෝල සලෙලුන්ය.
සංස්කෘත සාහිත්‍යයට අයත් ප්‍රාමාණික කෝෂ ග්‍රන්ථයක් වන අමරකෝෂයෙහි අභිසාරිකා හෙවත් අබිසරු ලිය අරබයා දක්වා ඇති විග්‍රහ වාක්‍යය මෙසේය.

"කාන්තාර්ථිනී තු යා යාති සංකේතං 
සාභිසාරිකා"
(අමරකෝෂය)

"කාන්තයෙකු හෙවත් පුරුෂයෙකු කී සලකුණට යන කාන්තාව 'අභිසාරිකා' නම් වෙයි."

අභිසාරිකාවෝ තිදෙනෙකි. දහවලට හමුවන්නී දිවාභිසාරිකායි. හඳපානේ හමුවන්නී ජ්‍යෝත්සනාභිසාරිකා නම් වෙයි. සකු බසින් 'ජ්‍යෝ්ත්සනා' යනු සඳ රැස්ය. අන්ධකාරාභිසාරිකා නම් අඳුරෙහි යන්නීය.

   විග්‍රහ වාක්‍යයෙහි දැක්වෙන පරිදි පිරිමින් කී සලකුණට උන් සොයා ගිය අබිසරුලියන් කම් ගින්නෙන් දැවුණු කාමිනියන් විය හැකිය. එහෙත් එදා මරදානේ සලෙලුන්ට හමුවුණු අබිසරු ලියෝ කුස ගින්නෙන් දැවුණු අන්ත අසරණියෝය. 
   ගුණදාස අමරසේකරයන් විසින් රචිත එසේම එකල මුළු සිංහල සාහිත්‍ය ලෝකයේම මහත් ආන්දෝලනයකට තුඩු දුන් 'යළි උපන්නෙමි'' නවකතාවේ එන නායක චරිතය වන රණතුංග දිනක් මරදානේ අර කුඩා ලෑලි ගෙයක සිටි අබිසරු ලියක සමග කරන රමණය කතුවරයා විසිතුරු බසින් වර්ණනය කරන අයුරු එය කියවූ අයට තවමත් මතක ඇතැයි සිතමි.
   අප කබල් පොත් ගැරීමට නිතර නිතර මරදානේ සැරි සැරූ කාලය ගැන ලියද්දී මගේ හිතේ නොමැකී රැඳී ඇති සිද්ධියක් එක් වරම සිහියට නැගේ. මරදානේ කුඩා ලෑලි ගෙවල සිටි අබිසරු ලියන් අතර සුප්‍රකට පටබැඳි නාමයකින් හැඳින්වුණු එක්තරා අභිරූපිනියක් සිටියාය. ඕ තොමෝ සලෙලුන් ප්‍රලය කරන්නියක ලෙස කිතු දද නංවා සිටි විලාසිනියකි. ස්ත්‍රී ධූර්තයන් මේ චාරු දේහිනිය සොයා ඇදුණේ මධුර මකරන්ද පිරි 
තාමරසයක් සොයා ඇදෙන මත්ත මධුකරයන් මෙනි. 
   06වන දශකයේ එක්තරා දිනක හවස් යාමයේ මමත් මගේ ළෙන්ගතු කුලුපග මිත්‍ර කීර්තිමත් සංගීතඥ දයාරත්න රණතුංගයනුත් මරදානේ පොලිසිය ඉදිරිපිට තිබුණු පැරිස් හෝටලයෙන් තේ බී එළියට බැස පදික වේදිකාව දිගේ මරදාන හන්දිය දෙසට ගමන් කරමින් සිටියෙමු. එවේලේ අහසේ වැහි බර ගතියක් විය. සැඩ හිරු රැස් නිවී ගිය කලක සේය. අප දෙදෙනා යා යුතු වූයේ නිව් ඔලිම්පියා සිනමා හල පිහිටි සුදු වැල්ල පාරේ පදිංචි වී සිටි මිතුරෙකුගේ ගෙදරටය. ඒ මිතුරා වූකලී නාට්‍ය සංගීත නිර්මාණකරුවෙකු වශයෙන් ඒ යුගයේ වේදිකා නාට්‍යවේදීන් බොහෝ දෙනෙකුගේ නිෂ්පාදනයන් තම අපූර්ව කුසලතා මගින් ඔෆ් නැංවූ ජයතිස්ස අලහකෝන්හුය. 
  දයාත් මාත් මරදාන හන්දියෙන් සුදු වැල්ල පාරට හැරෙනවාත් සමගම අප ඇස් දිව ගියේ පාර පනින අභිරමණී නාරි රුව දෙසටය .ඕ අර සුප්‍රචලිත පට බැඳි නාමයෙන් හැඳින්වුණු , මද විකල සලෙලු කැල ප්‍රලය කරන චාරු දේහිනියයි. වැස්සක් ළඟ ළඟම එන බැව් සැල කරන දූතයෙකු මෙන් එවේලේ ශීතල සුළඟක් වේගයෙන් හමා ගියේය. සුළං වේගයට අර විලාසිනිය ඇඳ සිටි රෙදි පටක් එසවී ගියේය. එවේලේ ඇගේ දකුණතින් එය වහා වසා ගැනුණේ ඉබේය. ප්‍රසිද්ධියේ සලෙලුන් පිනවන්නියක ලෙස මුළු පෙදෙසම දැන සිටි ගැහැනියක අතින් එවැන්නක් සිදුවූයේ කෙසේද ? සමාජ ලජ්ජාව දුරු වුවද ඈ තුළ සහජ ලජ්ජාව ඉතිරිව තිබුණු හෙයිනැයි සිතමි. සහජ ලජ්ජාව උරුම කොට සිටි ඇගේ පියකරු මුහුණ පසු කලක ගොරතර ඊර්ෂ්‍යාවේ කුරිරු පලයක් වශයෙන් එල්ල වුණු ඇසිඩ් පහරකින් විරූප වී ගියේ සදහටම නොමැකෙන බියකරු කැලලක් ඉතිරි කරමිනි.