'සැළමුතු' පෙම යනු කිම? 'සැළමුතු' පදරුත නොදැන එය කෙලෙස වටහාගනුද? 'සැළමුතු' වදන සිංහලට බිඳෙන්නේ සංස්කෘත 'ඡලමුක්ත' වචනයෙනි. ඇතැම්හු එය 'ශඨමුක්ත' යන්නෙන් බිඳුණු බවක් කියති.

එහෙත් සකු 'ඡල' සහ හෙළ 'සැළ' යන දෙවදනෙහි සාම්‍යය එසේ සිතන්නට අනුබල නොදෙයි. සංස්කෘත 'ඡල' සහ 'ශඨ' යන දෙවදනම වංචාකාරී, කපටි, වංක යන අරුත් එක සේ පළ කරයි. ඒ අනුව 'සැළමුතු' යන්න 'ශඨමුක්ත යන්නෙහි තද්භවයක් ලෙස ගැනීමටද ඉඩ නැත්තේ නොවේ. එහෙත් ශබ්ද සාම්‍යය අනුව හෙළ 'සැළ' යනු සකු 'ඡල' යන්නෙහි තබව පදයක් සේ ගැන්ම වඩා යුක්ති යුක්තය.
    'මුක්ත' යනු මිදුණු, තොර වුණු, රහිත යන අරුත් ඇත්තකි. ඒ අනුව 'ඡලමුක්ත' යනු වංචාවෙන් කපටිකමෙන් රැවටිල්ලෙන් වංකකමෙන් තොර යන අරුත් පළ කරයි. අවංක ප්‍රේමය 'ඡලමුක්ත' ප්‍රේමය නමින් හැඳින්වෙන්නේ එනයිනි. ඒ අනුව 'සැළමුතු පෙම' යන යෙදුම අවංක ප්‍රේමය යන අරුත පළ කරයි.  
    දඹදෙණි පුර රජව සිටි දෙවන පැරකුම්බා මහ කිවිඳු තම 'කව්සිළුමිණ' මහා කාව්‍යයෙහිදී කුස කුමරු තුළ පබවත කෙරෙහි උපන් බද්ධ ප්‍රේමය හඳුන්වන්නේ 'සැළමුතු නුගි නුරා' යනුවෙනි. 'නුගි' යනු 'අනුගතා' යන සකු වදනින් බිඳුණු හෙළ පදයයි. 'අනුගතාව' නම් සැමියා අනුව පවතින තැනැත්තියයි. ඒ අනුව 'සැළමුතු නුගි නුරා' යනු අව්‍යාජ, අවංක පත්නී ප්‍රේමයයි.

    ඉංග්‍රීසි ජාතික Thomas Hardy (1840-1928) ලෝ පතළ උසස් නවකතා කරුවෙකි. කවියෙකි. අසූ විය පිරී සිටි ඔහු දිනක් තම ලියන මේස ලාච්චුවක් අස් කරමින් සිටියේය. කඩදාසියක ඔතා තිබුණු කුඩා දෙයක් ඔහු⁣ගේ ඇස ගැසුණි. ඔහු එය දිග හැර බැලීය. රන්වන් අක් බඹුරු කෙස් රොදකි. මෙය වනාහි තම බිරිඳ පළමු වරට ඇගේ පෙම පැවසූ දින පිරිනැමූ බැති පුදකි. ඔහුගේ හද සැලුණි. ඇය එලොවට වැඩ බොහෝ කල්⁣ ගොස් තිබූ හෙයිනි. සැණින් ඔහු හද පත්ලෙහි On a discovered curl of hair නම් මේ කවි කඳුළ උපන.

When your soft welcomings were said,
This curl was waving on your head 
And when we walked where breakers dinned
It sported in the sun and wind 
And when I had won your words of grace
It brushed and clung about my face.

Then, to abate the misery
Of absentness, you, gave it me.
Where are its fellows now? Ah , they
For brightest brown have donned a grey,
And gone into a caverned ark,
Ever unopened, always dark!

Yet this one curl, untouched of time,
Beams with live brown as in its prime,
So that it seems I even could now
Restore it to the living brow
By bearing down the western road
Till I had reached your old abode.

    එදා Thomas Hardy කිවිඳුන් තම ආංගල බසැසින් හෙළූ ඒ කවි කඳුළ මම මෙසේ මගේ හෙළ බසැසින් හෙළමි. දෙබස වෙනස් වුවද කඳුළ මිනිස් හෙයිනි.

ඉස්සර දිනක ඔබ පළමුව 
දකින ස⁣ඳේ
ලස්සන වතට පායපු අඩ 
නළල් හ⁣ඳේ
රැස් කලබක් සදිසි මේ කෙස්     
 රොදින් ළ⁣ඳේ
වස් ගණනකට පසු ඔබ සිහි
 ගිරෙහි ඇ⁣ඳේ

අඳුරු බබා ඇති ගොම්මන් 
හවස් කල
ඔබත් සමඟ ඇවිදින විට 
උයන්වල 
එන මුදු පවනෙ දැවටී මේ 
කියඹු වැල 
දුන් රඟ සොබා සිහි වෙයි ඔබ 
නළල් තල

ඇසි පිය හෙළන තරු එළියෙන්
 එළිය ලද
පටු මග අසල නැවතී අඩ
අඳුර මැද
පළමු ව ඔබේ පෙම පැවසූ 
එදින ළඳ
මගෙ වත වැලඳ ගති මේ මුදු
 කියඹු රොද

ඔබ නළලතේ රන් කියඹුව 
සමග එදා
ඔබ වරලසේ දිළි රන් කෙඳි
 කොහිද මෙදා
අළු පැහැ ගැනී ඒවා රන් 
පැහැය මුදා
ඇත බිං ගැබේ ගන අඳුරින් 
වැසී සදා

එනමුදු ⁣මේ එකම කියඹුව 
ළඳුන්නේ
විපතට හසු නො වී කාලයෙ 
මරුන්නේ
යොවුන් දවස නළලත සිටි 

ලෙසින්නේ
රන් කෙඳි සේම මේ මොහොතෙත් දිළෙන්නේ

ඔබ උන් ගෙට ඇවිත් හුරු 
මග දිග ඇවිද 
විඳිමින් මහද හඳුනන 
සුපුරුදු සුවඳ 
දකිමින් නළලෙ සැලෙනා 
රන් කියඹුවද 
පෙර මෙන් රූ අසිරියෙන්
 සැනසෙනු බැරිද?

උපදින දුකට ළඟ නැති කල 
සිවුමැලිය
මගෙ සැනසුමට ඔබ පිරිනැමු 
කියඹු ලිය
පෙර දින හදේ අඳුරට දුනමුත් 
එළිය
නිරතුරු ළ⁣ඳේ අද මට ඉන් 
ළතැවුලිය

    'රඝු වංශය' හා 'කුමාර සම්භවය' යනු මහාකවි කාලිදාස විරචිත උභය මහා කාව්‍යයෝ වෙති. ඒ දෙකෙහි එන 'අජ විලාපය' හා 'රති විලාපය' යන වියෝග කාව්‍ය රචනාවෝ වනාහි මිනිස් හදවතේ ගැඹුරුම හැඟීම වන ප්‍රේමයේ මහිමය විචිත්‍ර ලෙස ප්‍රතීයමාන වන අප්‍රතිම ප්‍රතිභා ප්‍රාතිහාර්ය දෙකක් ලෙස හැඳින්වීම කවර වරදද? 
    ඊශ්වර තෙමේ තම ලලාටාක්ෂියෙන් විහිදාලූ අග්නි ජාලාවෙන් දවා හළු කළ තම ප්‍රාණ ප්‍රිය සැමියා වන අනංගයා වෙනුවෙන් රතිය නැගූ හෘද්ගත රෝදන රාවය රති විලාපයයි. 
    අජ කුමරු තම කුසුම කෝමල ප්‍රියාම්බිකා ඉන්දුමතිය සමග ඒක මාලා මාලනීව දිස්නා තුරු පෙළින් හොබනා ‍උද්‍යාන ශ්‍රීය නරඹමින් කෙළි දෙළෙන් පසු වෙද්දී හදිසියේ අහසින් ආ මල් දමක් ඉන්දුමතියගේ ළය මත පතිතව ඇගේ ප්‍රාණය නිරුද්ධ වෙයි. ඉන් ප්‍රකම්පිතව ගිය අජ කුමරු ඇගේ සිරුර තම ඇකය මත හොවාගෙන ගැයූ වියෝග ගීතය අජ විලාපයයි. එය වූකලී පත්නී විප්‍රයෝගය නිසා පති හදවතින් නොනැවතී ගලා ගිය වදන් කඳුළු නදියක් වැන්න. මේ ඉන් එක් කඳුළු බිඳුවකි. 

ගෘහිණී සචීවඃ සඛී මිථඃ
ප්‍රිය ශිෂ්‍යා ලලිතේ කලා විධෞ
කරුණා විමුඛෙන මෘත්‍යුනා
හරතා ත්වාං වද කිං න මේ හෘතම්"
(කාලිදාස - රඝු වංශය - 8 සර්ගය - 67 වන පද්‍යය)

   ඒ කඳුළු බිඳ හෙළ බසැසින් හෙළමි.

මගෙ ගෙය රැක බලා ගත් 
බිරිඳද ඔබය
උපදෙස් දුන් පුරෝහිත 
මැතිනිද ඔබය
රහසක් පණ සෙ රැක ගත් 
යෙහෙළිද ඔබය 
ලලිත කලාවෙහි මගෙ
සිසුවිද ඔබය

ඇවිදින් කුරිරු මරුවා නැති 
කුලුණු ගුණ
උදුරන් ගිය පසුව මෙලෙසින් 
ඔබගෙ පණ
ගෙන යන්නේ නැතුව මගෙ ළඟ 
ඉතුරු වුණ
තව යම් දෙයක් විය හැකිදැයි 
කියනු මැන

    මහාකවි කාලිදාස කවීන්ද්‍ර විරචිත හෘදයහාරී 'මේඝදූත' භාව ගීත කාව්‍යය වූකලී ඡළමුක්ත ප්‍රේමයේ මහිමය වර්ණිත සනාතන සාහිත්‍ය ස්මාරකයකි. එහි ගැබ්වුණු ජීවන ප්‍රවෘත්තිය අනුව අලකා පුරයට අධිපති කුවේර තෙම තම සේවක එක්තරා යක්ෂ ගෝත්‍රික තරුණයෙකු කිසියම් වරදකට දඬුවම් වශයෙන් පුරා වසරකට රාමගිරි අසපු පියසට පිටුවහල් කරයි. අලුත විවාපත් ඔහුට බද්ධ ප්‍රේමයෙන් යුත් තම කුසුම කෝමල භද්‍ර යෞවන ප්‍රිය ප්‍රණයිනියගෙන් වෙන්ව ගතකරන පුරා වසරක විප්‍රවාසය හද දෙදරවන අසනි පාතයක් වැන්න. අට මසක් කල් දුක සේ ගෙවූ පසු මේඝ ඍතුව එළඹෙයි. අසපුව උඩින් පාවෙන මේඝ වලාවක් හදිසියේ ඇස ගැසෙන ඔහු එම වලාව අත තම ප්‍රණයිනිය වෙත සන්දේශයක් යවයි. තමා සමග බද්ධ ප්‍රේමයෙන් දිවි ගෙවූ නිවස තුළ දැන් හුදකලාව ළසොවින් වෙසෙන තම පියඹගේ අනූපම රුසිරු රුව ඔහු මේඝයට හඳුන්වා දෙන භාව ගීතයයි මේ.

තන්වී ශ්‍යාමා ශිඛර දශනා පක්ව බිම්බාධරෝෂ්ඨී
මධ්‍යේ ක්ෂාමා චකිත හරිණී ප්‍රේක්ෂණා නිම්න නාභිඃ 
⁣ශ්‍රෝණිභාරාදලස ගමනා ස්තෝක නම්‍රා ස්තනාභ්‍යාං
යා තත්‍ර ස්‍යාද් යුවති විෂයේ සෘෂ්ටිරාද්‍යේව ධාතුඃ 

(කාලිදාස - මේඝදූතය - උත්තර මේඝය - 21 වන පද්‍යය.) 

ඒ භාව ගීතය හෙළ බසින් ගයමි.

සිහින් අඟපසඟ තලෙළලු පැහැ 
ඇත්තී
මිණි කැට දසන් බිඹු පල දෙඅදර
ඇත්තී
තැති ගත් මුව දෙනක නෙත් සැලුමද ඇත්තී 
ගැඹුරු නැබ මඬල හා සිහිනිඟ
ඇත්තී

උකුළු බර නිසා ලැසි ගමනින් 
යන්නී 
දෙතන බර නිසා බඳ නමමින් 
යන්නී
පළමුව බඹු මැවූ ලිය එළඳුන් 
වන්නී
ඒ මා සොඳුර ගෙතුළෙහි ළසොවින්
ඉන්නී

     සැළමුතු පෙම් මහිමය යුග යුග නිහඬව ගයන අචේතන සනාතන ප්‍රේම ගීතයකි ටාජ් මහලය. තම ප්‍රාණ ප්‍රිය, ස්නිග්ධ ස්නේහාර්ද්‍ර ප්‍රණයනිය කෙරෙහි ළෙහි උපන් සැළමුතු ප්‍රේමය වෙනුවෙන් පරම පරාර්ථීව මෙවන් උදාර ප්‍රේම ප්‍රදානයක් කළ හැක්කේ 'මම' නසා ගත්තෙකුට හැර අන් කවරෙකු හටද? අප හැමගේම 'මම' මටම පමණක්ආදරය කරන බැවිනි.
    දිනක් මහාකවි රබීන්ද්‍රනාථ ඨකූර කවීන්ද්‍රයාණෝ තම ආංගල දේශ මිත්‍රයෙකු සමග ටාජ් මහලය නැරඹීමට යති. එකල ඔහු දිවියේ අට වන දශකයේ පමණය. ආරෝහ පරිණාහ දේහ සම්පත්තියෙන් යුක්ත කිවිඳාණෝ සුධා ධවල කේශ කලාපයෙන් සහ රැවුලෙන් අලංකෘතයහ. අතිශය උපශාන්තයහ. ඔහු දිගු වෙලාවක් ටාජ් මහලය දෙස ඇස දල්වා බලා හිඳී. මිතුරු තුමෝ මෙසේ අසති.

"My dear great poet what do you feel when you behold this marvellous monument of eternal love?"

  මගේ ආදරණීය ශ්‍රේෂ්ඨ කිවිඳුනි! මේ විස්මයජනක සනාතන ප්‍රේම ස්මාරකය දෙස බලා සිටින කල ඔබට කිනම් හැඟීමක් දැනෙන්නේද?

    කිවිඳු නිහඬව ටාජ් මහලය දෙසම බලා හිඳී. මිතුරු තුමෝ යළි ඒ පැනයම නඟති. පිළිතුරක් නොඑයි. තෙවන වරටද එම පැනයම ඇසේ. එවේලේ මහාකවි රබීන්ද්‍රනාථ ඨකූරයෝ මුනි වත බිඳ ටාජ් මහල අරබයා තම අත්‍යුත්කෘෂ්ට විශ්වවිශ්‍රුත අප්‍රතිම සදාතන ක්ෂුද්‍ර මහා භාව ගීතය ගැයූහ. එම විශ්ව විස්මිත ක්ෂුද්‍ර මහා භාව ගීතය අභිභවනය කළ හැක්කක්, අතික්‍රමණය කළ හැක්කක් පිළිබඳව ඉතිහාසයේ තවමත් අසන්නට නැත. අඛිල අන්තර්ජාලයම ඊට සාක්ෂාත් සාක්ෂියකි. එකම පාදයකින් යුත් ඒ ක්ෂුද්‍ර භාව ගීතයයි මේ.

"A TEAR DROP OF LOVE ON THE CHEEK OF TIME"
"කාලයේ කොපුල මත වතළ ප්‍රේමයේ කඳුළු බිඳුවක්!"

    කාලිදාස කිවිඳුන්ගේ දුර්ලභ ප්‍රතිභා කෞශල්‍යයෙන් පසුව සංස්කෘත සාහිත්‍ය ලෝකයට තම නිර්මාණ නෛපුණ්‍යයේ ඉෂ්ට ඵල වශයෙන් විශිෂ්ට කෘති තුනක් බිහි කළ කවියා භර්තෘහරිය. 'නීති ශතකය' ; 'වෛරාග්‍ය ශතකය' ; 'ශෘංගාර ශතකය' යන ශතක ග්‍රන්ථ ත්‍රිකය ඊට ප්‍රත්‍යක්ෂ සාක්ෂි වෙයි. ශතකයෝ වනාහි ශ්ලෝක සියයකින් සමන්විත කොට නිබන්ධිත ග්‍රන්ථයෝය. අපේ පුරාණ 'අකුරු කරණය' පොත් පෙළට වැටෙන 'ප්‍රත්‍යය ශතකය'; 'සූර්ය ශතකය' ; 'අනුරුද්ධ ශතකය' ; 'භක්ති ශතකය' වැනි කෘතීහු ඊට නිදර්ශනයෝ වෙති.
    භර්තුහරි කවියාගේ 'නීති ශතකය' ප්‍රඥා ප්‍රදීපයකි.උතුම් ගුණ නැණ දල්වා ලන්නක් වන හෙයිනි. ඉන්ද්‍රිය විෂය විෂයෙහි උපේක්ෂා චිත්තයෙන් යුක්තව ක්‍රියා කරන ආකාරය අරබයා උපදෙස් දීම 'වෛරාග්‍ය ශතකයේ' විෂය පථයට අයත් වෙයි. 'ශෘංගාර ශතකය' වූකලී විවිධ විචිත්‍ර ප්‍රේම ජවනිකා රසික ජන මනසේ පුබුදුවා ලන සෞන්දර්ය රසාකරයකි. 
    භර්තෘහරි කවියා තම 'නීති ශතකය' ග්‍රන්ථය මගින් මවා දක්වන අපූරු සැළමුතු පෙම් ජවනිකාවකි මේ.
    දිනක් බමුණෙක්,සදා තරුණබව රැක දෙන, දිගා වඩන බලැති ගෙඩියක් රජෙකුට පුද පඬුරු කළේය. රජු එය තම ප්‍රාණ ප්‍රිය බිසවට පරිත්‍යාග කළේය. ඇය එය තම ප්‍රාණ ප්‍රිය ප්‍රේමවන්තයාට පරිත්‍යාග කළාය. ඔහු එය තම ප්‍රාණ ප්‍රිය ප්‍රේමවන්තියට පරිත්‍යාග කළේය. ඇය එය තම ප්‍රාණ ප්‍රිය රජුටම පරිත්‍යාග කළාය. 
    හෘද්ගත අප්‍රමාණ භක්තියෙන් තම ප්‍රාණ ප්‍රිය බිසවට පරිත්‍යාග කළ එම, නිත්‍ය යෞවනය හා දීර්ඝායුෂ ලබා දෙන දිව්‍යමය බලය ඇති, ඵලය යළි තමා අතටම පත්වීමේ ආශ්චර්යාද්භූත සිද්ධිය නුවණින් මෙනෙහි කළ රජු තුළ පහළ වූ ප්‍රඥා ඵලයේ ප්‍රතිඵලය වූයේ සියලු රජ සැප පමණක් නොව ගිහි සැපද අත් හළ රජු තවුස් පැවිද්දෙන් චිත්ත ශාන්තිය ලැබීමය. රජුගේ ඒ කලකිරීම භර්තෘහරි කවීන්ද්‍රයන් තම 'නීති ශතකය' ග්‍රන්ථයෙහි චිත්තාහ්ලාද ජනක ශ්ලෝකයකට නඟා ඇත්තේ මේ අයුරිනි.

"යාං චින්තයාමි සතතං මයි
සා විරක්තා
සාප්‍යන්‍යමිච්ඡති ජනං
සජනෝන්‍යසක්තඃ
අස්මත් කෘතේ ච පරිතුෂ්‍යති
කාචිදන්‍යා
ධික් තාං ච තං ච මදනං ච
ඉමාං ච මාං ච"

   ඔබගේ රසාස්වාදය උදෙසා මම එය මෙසේ සිංහල පැදියට නංවමි.

එකියකට මා කළත් පෙම් 
අනිකෙකුටමයි ඇගේ පෙම්

ඔහුත් ඇය හට නොකර පෙම් 
වෙන එකියකට කරයි පෙම්

නොලබනා මුත් මගේ පෙම් 
මටය තව එකියකගෙ පෙම් 

ඇයට ඔහු හට මැයට මට හා 
මල්සරාටත් නිගා දෙම්