සැෆෝ (sappho) නම් ලෝක ප්‍රකට ග්‍රීක කිවිඳිය හැඳින්වෙන්නේ භාව ගීතාත්මක කවි (Lyric Poetry) රචනා කළ තැනැත්තියක වශයෙනි. ඇය ජීවත් වූයේ ලෙස්බෝස් (lesbos) නමැති ග්‍රීක දූපතේය. ඇය තුළ කාන්තා පක්ෂය කෙරෙහි පැවති කාමරාගය හා ආදරය ඇගේ කවිවල ආත්මය විය.

    කාන්තාවන් කෙරෙහි කාන්තාවන් තුළ හටගන්නා කාමරාගය Lesbianism යන නමින් හැඳින්වීමට මුලාශ්‍රය වූයේද ග්‍රීසියේ ලෙස්බොස් (Lesbos) දූපතේ විසූ සැෆෝ කිවිඳියගේ කවි මගින් ප්‍රකට වූ ලලනා ලෝලය හා ලලනා ආලය බැව් පිළිගැනේ.
   ලෝක ප්‍රකට සැෆෝ කිවිඳියගේ අනුරාගී කවි පළමු වරට සිංහල රසිකයන් දෙදෙනෙකු ඉදිරියේ ගයා ඇත්තේ ඉංග්‍රීසි ඇතුළු කිසිම බටහිර බසක් නොහදාළ එහෙත් දුර්ලභ කවි ශක්තියක් උරුම කොට සිටි විශිෂ්ට සිංහල කවියෙකු විසින් බව ඔබට ඇදහිය හැකිද? එහෙත් එය සත්‍යයකි. ඒ 1950 අවුරුද්දේ තරම් ඈත කලකය. ඉන්පසු සැෆෝ කිවිඳියගේ කවි සිංහලයට පෙර⁣ළනු කෙසේ වෙතත් ඇය ගැන නාම මාත්‍රයක්වත් සිංහල රසිකයන්ට අසා දැන ගන්නට අවස්ථාවක් එළඹියේද යන්න සැක සහිතය.
   මා ඉහත සඳහන් කළ විශිෂ්ට සිංහල කවියා එදා සැෆෝගේ ග්‍රීක කවි සිංහලෙන් ගයනු අසා සිටියෝ සාමාන්‍ය ගණයේ රසිකයෝ දෙදෙනෙක් නොවෙති. බටහිර සම්භාව්‍ය ගද්‍ය පද්‍ය සාහිත්‍යය පිළිබඳ හසළ දැනුමක් ඇතිව සිටි එක්තරා කුලුපග මිතුරෝ දෙදෙනෙකි. සුවසේ මධු මද මුදිතව සිටි අවස්ථාවක අපගේ ඒ විශිෂ්ට සිංහල කවියා සැෆෝ කිවිඳියගේ කවි ගයනු ඇසූ බටහිර සම්භාව්‍ය භාෂා සාහිත්‍ය විශාරදයන් දෙදෙනා එවේලේ මහත් සේ මවිතයට පත්ව ඇත්තේ සිංහල කවියා බටහිර භාෂා කිසිවක් ප්‍රගුණ නොකළ තැනැත්තෙකු බව ඔවුන් නියත ලෙස දැනසිටි බැවිනි .
   සැෆෝගේ භාව ගී සිංහලෙන් ගැයූ ඒ විශිෂ්ට සිංහල කවියා කවරෙක්ද? ඔහු වූකලී සෞන්දර්ය මූර්තියක් වන් ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් මිස අන් කවරෙක්ද? එකල සිටි කෘතහස්ත ඉංග්‍රීසි පුවත්පත් කලාකරුවෙක්වූ ජයසේන පුංචිහේවා සහ අතීත අධ්‍යාපන හා සංස්කෘතික ඇමතිවරයෙක්වූ අයි.ඇම්.ආර්.ඒ.ඊරියගොල්ල යන දෙදෙනා මානවසිංහයන්ගෙන් එදා පළමු වරට සිංහලෙන් සැෆෝගේ කවි ඇසූ රසික මිතුරෝ වූහ .
    බටහිර භාෂා හදාරා නොතිබුණු මානවසිංහයන් ග්‍රීක සැෆෝ කිවිඳියගේ කවි කියවා ඒවා හැඳිනගෙන තිබුණේ වංග පරිවර්තන කෘති ඇසුරිනි . ඈත කලක සෙල්ල කතරගම මැණික් ගං ඉවුරේ ගල්තලාවක් මත වූ කෘෂ්ණ දේවාලය අසල සිතාරයක් වයමින් ගීත ගෝවින්ද ගී ගයමින් කෘෂ්ණ ප්‍රණාම පූජාවන්හි නිරතව සිටි වංග සිරිමතියකගෙන් වංග භාෂාව ප්‍රගුණ කළ මානවසිංහයෝ තත් භාෂාවෙහි සූව්‍යක්තව සිටියහ. එකල වංග භාෂාවට පෙරළී තිබුණු සැෆෝගේ භාව ගීත මානවසිංහයන්ගේ මුවින් ගිලිහීම කවර අරුමයක්ද?

  ඇගේ හෘදයංගම පද්‍ය රචනා කිහිපයක් හුදී ජන පහන් සංවේගය සඳහා මෙසේ සිංහලයට නඟා පළ කරමි. සැෆෝ යනු ආදරය, ගැහැනිය සහ සොබාදහම යන ත්‍රිමූර්තියෙහි ලාවණ්‍යයට සහ  මාධූර්යට කියන තවත් නමක් ලෙස හැඳින්වීම කවර වරදද?

මිහිරි අමිහිරි පෙම

ඉඳුරන්ට ලිහිල        දෙන
මෙමට මිදුමක් නොදෙන
මිහිර අමිහිර          මවන
පෙම යළිදු සලයි        මන

තනිව නිදමි

සඳ අතුරුදන්      වෙලා 
හත්දින්න      සැඟවිලා
මැදියමත්         එළඹිලා
මගෙ යහන තනිවෙලා

සිත පෙළන පෙම

හමන කඳු පෙදෙස හිඳ
බමන තුරු මුඳුන    වැද
සුළං කඳ විලස        තද
පෙම යළිත් සැලී      හද

නව යොවුන් දැරියකට

කලඹා ලූ මගේ හද අනුරා
මතින
ඔබ හස කැලුම් හා මුදු බස රස 
විඳින 
ඔහු ඇස ගැසෙන කල ඔය ඔබ ළඟහිඳින
දෙව් වරමක උරුම ලද එකෙකැයි 
හැඟිණ 

මුවගුලු වැටේ හැම මොහොතෙම 
ඔබ දකින 
නිසැකින දිවද පණ නැති වී
යයි සැණින
දැල්වෙයි ගිනි සිළක් සියොලඟ 
සම යටින
නොපෙනෙයි සියලු දෙය අමුතුයි
හඬ ඇසෙන 

තෙමා වැටේ ඩා දිය වැල්
මුළු ගතින
වෙවුලයි සැලෙයි හැම 
අඟපසඟම නිතින
සුදුමැලි වෙයි සිරුර වියැළුණ
තණ ලෙසින 
තව මොහොතකින් මා මිය යන
බව පෙනිණ

(2026 ජූනි19 වැනි දිනට යෙදෙන ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ 113 වනි ජන්ම දිනය නිමිත්තෙනි.)