"ආනන්දයෙන් ප්‍රඥාවට" යන කියමන  මෙකල තම පණ්ඩිතමානය පෙන්වන සෘෂි භාෂිතයක් ලෙසට නිතර භාවිත වන්නකි.

එහෙත් මෙය වත්මන් සිංහල  වාග් ව්‍යවහාරයට ප්‍රවිෂ්ට වූ ආකාරය පිළිබඳ නිදාන කතාව දන්නා අය වෙත්දැයි  යන්න සැක සහිතය. එහි ඉතිහාසය 06 දශකයේ මුල් භාගය කරා දිව යයි. 

   එකල මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයෝ අභිනවයෙන් ආරම්භ කරන ලද විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ ප්‍රථම උපාධිඅපේක්ෂක කණ්ඩායමේ විද්‍යාර්ථියෙකි. ඔහු හැදෑරුවේ සිංහල විශේෂ වේදී උපාධි පාඨමාලාවය. ඔහුගේ අනුවිෂය වූයේ ඉංග්‍රීසි භාෂාවය. එසමයේ 'භාවිත විචාරය' ( Practical Criticism) නමැති බටහිර විචාර මාර්ගය සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයෙහි ප්‍රචලිත කිරීමේ කාර්යෙහි අභිරුචියෙන් නිරතව සිටි, එසේම ඉංග්‍රීසි භාෂා සාහිත්‍යය විෂයෙහි පෘථුල දැනුමක් ඇති, ඒ.එම්. ජී. සිරිමාන්න ආචාර්ය තුමා සුනන්ද මහේන්ද්‍ර විශ්වවිද්‍යාල විද්‍යාර්ථියාගේ ඉංග්‍රීසි ආචාර්වරයා විය. එකල සිරිමාන්නයෝ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අංශයේ ප්‍රධානයාය. ඔහු ඉංග්‍රීසි කාව්‍යය ඇතුළු බටහිර කාව්‍ය සාහිත්‍යය විෂයෙහි හසළ දැනුමක් ඇත්තෙකි. ඔහු තම ශිෂ්‍යයන් තුළ ඉංග්‍රීසි කාව්‍යය ඇතුළු බටහිර කාව්‍ය රසාස්වාදය කෙරෙහි බලවත් උනන්දුවක් හා ඇල්මක් හටගැන්වීමට මහත් සේ උත්සුක විය. මෙහිලා විපුල ඵල අත්පත් කොටගත් විද්‍යාර්ථියා වූයේ සුනන්ද මහේන්ද්‍රයන්ය.
    සිරිමාන්න ආචාර්ය තුමා තම ශිෂ්‍යයන් ලවා විශිෂ්ට ගණයේ බටහිර කාව්‍ය රචනා සිංහලට පරිවර්තනය කරවීමට දැඩි ප්‍රයත්නයක් දැරීය. ඒ කාර්යේදී සුනන්ද මහේන්ද්‍රයෝ පෙරමුණ ගත්හ. එකල ඔහු අතින් බටහිර කාව්‍ය නිර්මාණ රාශියක් සිංහලට නැගුණි. සුනන්ද මහේන්ද්‍රයන් විසින් සිංහලට පෙරළන ලද බටහිර කාව්‍ය රචනා බිහි කළ කවියන් අතරින් ඔහුගේ සිත විශේෂයෙන් ඇද බැඳ ගැනීමට සමත්වූ විශිෂ්ට ගණයේ කවියෙක් විය. ඒ වනාහි විශ්ව කීර්තිධර
Robert (Lee) Frost (1874-1963) නම් ඇමෙරිකානු කවියාය.
    'The Figure a Poem makes' (කවියෙන් මැවෙන සිත්තම) යන මැයෙන් Robert Frost කවියා විසින් ලියන ලද උත්කෘෂ්ට නිබන්ධයක් 1957 වසරේ ප්‍රකාශයට පත් 'Literary Criticism in America' නමැති පොතෙහි  පළ කොට තිබුණි. මේ අගනා ලිපිය පළමු වරට කියවන්නට සුනන්ද මහේන්ද්‍රයන්ට අවස්ථාව උදා කරදුන්නේ ඒ පොතය. කාව්‍ය නිර්මාණයක් සතු අපූර්වත්වය (Originality) යනු කුමක්ද යන්න විශද කොට දක්වන ව්‍යක්ත අර්ථ විවරණයක් හැටියට සැලකිය යුතු මේ විශිෂ්ට ඉංග්‍රීසි නිබන්ධය සුනන්ද මහේන්ද්‍රයෝ එකල සිංහලට නගා  විද්‍යාලංකාර විශ්වවිද්‍යාල සිංහල සඟරාවෙහි පළ කළහ. එය වූකලී කාව්‍ය නිර්මාණයක පමණක් නොව හැම සාහිත්‍ය හා කලා නිර්මාණයකම අපූර්වත්ව  ලක්ෂණය පිළිබඳ සර්වකාලීන විවරණයක් වූ හෙයිනි. 
   Robert Frost කවියාගේ විවරණයෙහි මේ ප්‍රකාශය හමුවෙයි.  

  "For myself originality need be no more than the freshness of a poem run in the way I have described. 'From delight to wisdom'. Read it a hundred times. It will forever keep it's freshness. It can never lose it's sense of a meaning that once unfolded by surprise as it went". 

එහි සිංහල අර්ථය මෙසේය.

"අපූර්වත්වය වනාහි කාව්‍යයක නැවුම් බවට වැඩි දෙයක් නොවේය යනු මගේ හැඟීමයි. මා විවරණය කළ ආකාරයට එය 'ආනන්දයෙන් ප්‍රඥාවට' දිව යන්නකි. කාව්‍යයක් සිය වරක් කියවන්න. එය එහි නැවුම් බව සදා රැකගනී. චමත්කාරය දනවමින් වරක් ඉන් ප්‍රකාශයට පත්වුණු අරුත කිසි දා එයින් අතුරුදහන්ව නොයයි."

     Robert frost කවියාගේ මේ නිබන්ධය සිංහලට නැගීමේදී 'From delight to wisdom' යන ඉංග්‍රීසි පාඨය සිංහලට නැගිය යුතු ආකාරය ගැන සුනන්ද මහේන්ද්‍රයෝ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගෙන් විමසූහ. එවේලේ සරච්චන්ද්‍රයන්ගේ මුවින්  'ආනන්දයෙන් ප්‍රඥාවට' යන සිංහල පාඨය ගිලිහුණේ තත් ක්ෂණයකිනි. මෙකල සුලභ ලෙස අසන්නට ලැබෙන 'ආනන්දයෙන් ප්‍රඥාවට' නමැති ආප්ත පාඨය කාලයාගේ ඇවෑමෙන් පණ්ඩිතමානී ප්‍රකාශයක් ලෙස සිංහල වාග් ව්‍යවහාරයේ ව්‍යාප්තව ගියේ ඉන් අනතුරුවය. 
   Robert Frost කවියාගේ එකී ප්‍රකාශයෙන්  උත්තම ගණයේ සාහිත්‍ය හා කලා නිර්මාණ තුළ තිබිය යුතු විශිෂ්ට ලක්ෂණ දෙකක් ගම්‍යමාන වෙයි. 'ආනන්දයෙන් ප්‍රඥාවට'  යන ප්‍රකාශයෙන් විශද වන්නේ කවර සෞන්දර්ය නිර්මාණයක් වුවද වින්දනයේ සිට චින්තනය වෙත ගමන් කළ යුතු බව නොවේද? එය අර විශිෂ්ට ලක්ෂණ දෙකින් එකකි. මෙකල බිහි වන බොහෝ නිර්මාණ තුළ අවිද්‍යමාන වන්නේද එයමය. 
   Frostගේ ප්‍රකාශයෙන් ප්‍රතීයමාන වන අනික් විශිෂ්ට ලක්ෂණය  'අපූර්වත්වය' මිස අන් කුමක්ද? 
   මින් පෙර නුදුටු විරූ නෑසූ විරූ අපූර්වත්වයක් හෙවත් නැවුම් බවක් උද්වහනය කරන නිර්මාණය සියක් වර ඇසූ දුටු මුත් එය කිසි දා පැරණි නොවන්නකි. මුල් දින දැනවූ චමත්කාරය සැම දා එලෙසින්ම දනවන්නකි. එවැනි නිර්මාණ මුළු ලෝකයේම අතිශය දුර්ලභය. එවැනි නිර්මාණ බිහි කිරීමෙහි සමත් නිර්මාණ කරුවෝ සුදුර්ලභය. 

"අපූර්ව වස්තු නිර්මාණක්ෂමා ප්‍රඥා ප්‍රතිභා"

" ප්‍රතිභාව යනු පෙර නුවූ විරූ වස්තු අලුතෙන් නිර්මාණය කිරීමට සමර්ථකම ලබා දෙන නුවණයි."

        ('ධ්වන්‍යාලෝක ලෝචන'  අභිනවගුප්ත.)

   මුලින් විඳි චමත්කාරය සියක් වරක් එලෙසින්ම විඳීමට අවස්ථාව සැලසිය හැකි සර්ව කාලීන සාහිත්‍ය නිර්මාණ අප රටේ සාතිශය දුර්ලභය. ඒ බව සසාධකව සනාථ වන්නේ මෙකල සුලභ ලෙස සම්මාන ප්‍රදානයට පාත්‍ර වන අන්ත ගර්හිත  සාහිත්‍ය කෘති මගිනි.