
මම ඒ කුඩා මේසයේ මෙහා පැත්තේ වාඩිවීගෙනය. ඔහු මේසයේ අනිත් පැත්තේ ඉඳගෙන කඩදාසියක් සහ පෑනක් අතැතිව මා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු සොයයි. කරබාගෙන ගණන් සෑදීමක නිරත වූ ඔහු මඳ වේලාවකින් හිස ඔසවා මදෙස බලා මඳ සිනාවක් පායි.
"අමරසිංහ මහත්තයො , මට පේන විදියට නං මේ දෙවෙනි එක්කෙනා ජීවතුන් අතර ඉන්න බෑ."
ඔහු නිවැරදිය. මම ඔහුට මා දන්නා පුද්ගලයන් දෙන්නෙකුගේ නම් දුනිමි. උන්ගෙන් එකෙක් මිය ගොසිනි. අනිකා දිවමන්ය. මට අවශ්‍ය වූයේ මළ එකා කවුරුන්දැයි දැනගැන්මටය. මා ඇසූ ප්‍රශ්නයට මෙසේ නියත අනාවැකියක් පළ කිරීමට ඔහු සමත් වූයේ කෙසේද? ජ්‍යෝතිර් විද්‍යාවට අයත් තත්කාල බැලීම ගැන මා පළමුවරට අසා දැනගත්තේ එදා ඔහුගෙනි. ප්‍රශ්නය අසන වේලාවේ පවත්නා ග්‍රහචාරය ගැන බලා අනාවැකි පළ කිරීම තත්කාල ශාස්ත්‍රය නමින් හඳුන්වනු ලැබේ.
බොහෝ කලකට පෙර මේ සිද්ධිය වූයේ මරදානේ ආනන්ද විදුහල් මාවත අසල වූ කුඩා කඩ කාමරයක් තුළය. එදා එහි වූයේ නමක් නැති කුඩා පොත්හලකි. තත්කාලය බලා සාස්තර කී සාස්තරකාරයා ඒ කුඩා පොත්හල හිමි සිරිසුමන ගොඩගේ මහතාය.
"ගොඩගේ මහත්තය කොහොමද ජ්‍යෝතිෂ ශාස්ත්‍රය ඉගෙන ගත්තෙ?"
"මම කොලුගැටයෙක් විදියට කොළඹට ආව මුල් කාලෙ ඉඳලම මාලිගාකන්දෙ විද්‍යෝදය පිරිවෙනත් එක්ක සම්බන්ධකම් පැවැත්තුවා. ඒ කාලේ පිරිවෙනේ හිටිය පණ්ඩිත හාමුදුරුවරු සේරම ළඟින් ආශ්‍රය කරන්න මට වාසනාව ලැබුණා. ඒ හාමුදුරුවරුන්ගෙන් මම වැඩියෙන්ම ළෙන්ගතුව ආශ්‍රය කළේ බලන්ගොඩ ආනන්ද මෛත්‍රේය හාමුදුරුවොයි.
එතකොට උන්වහන්සේ වැඩ හිටියෙ විද්‍යෝදය පිරිවෙනේ. ආනන්ද විද්‍යාලයෙ ගුරුවරයෙක්. ආනන්ද මෛත්‍රේය හාමුදුරුවො භාෂා ශාස්ත්‍ර වගේම ජ්‍යෝතිෂයත් හොඳට ඉගෙන ගත්ත කෙනෙක්. උන්වහන්සෙගෙන් තමයි මට තරමක් දුරට ජෝතිෂය ඉගෙන ගන්න පුළුවන් වුණේ. අපේ පැරණි සාහිත්‍ය පොත පතට මගේ හිතේ ඇල්මක් ඇතිවුණෙත් විද්‍යෝදය පිරිවෙනේ සම්බන්ධෙ හින්දයි. මට පොත් බඳින රස්සාව දියුණු කර ගන්නත් හුඟක් උදව් කළේ ආනන්ද මෛත්‍රේය හාමුදුරුවොයි."
"ගොඩගෙ මහත්තය ඇයි ජ්‍යොතිෂය දිගට ඉගෙන ගත්තෙ නැත්තෙ?
"ආසාවට ටිකක් ඉගෙන ගත්තට මං ජෝතිෂයට වහල් වුණේ නෑ. මං විශ්වාස කළේ අධිෂ්ඨාන පාරමිතාවයි. වීරිය පාරමිතාවයි. කිසි දේකින් කම්පා නොවී ඉන්නයි මිනිස්සු තේරුම් අරගෙන උපේක්ෂාවෙන් කටයුතු කරන්නයි මං ඉගෙන ගත්තෙත් ආනන්ද මෛත්‍රේය හාමුදුරුවන්ගෙ චරිතයෙන්. මට භාෂා ශාස්ත්‍ර ඉගෙනගෙන පොත් ලියන්න ආසාවක් ඇති වුණත් ඒකට අවස්ථාවක් ලැබුණෙ නෑ. ජීවිතය රැක ගන්න රස්සාවක් කරන්න වුණානෙ."
ගොඩගේ මහතාගේ මෙබස් ඇසූ කල විශ්ව කීර්ති ධර දාර්ශනිකයෙකුගේ හා ශ්‍රී ලංකාවේ බිහිවුණු දුර්ලභ ගණයේ බුද්ධිමතෙකුගේ ප්‍රශස්ත ප්‍රකාශ දෙකක් මගේ සිහියට නැගුණේ ඉබේය.
"Not to weep , Not to laugh , But to understand."
(නොවැලපෙනු. සිනා නොවෙනු. තේරුම් ගනු.) යන ස්පාඤ්ඤ දාර්ශනික Spinoza ගේ අගනා ආප්ත වාක්‍යය ඉන් එකකි. අනික නම් සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය එන්.එම්.පෙරේරා සහෝදරයා වරක් අප ඉදිරියේ කළ මේ ප්‍රශස්ත ප්‍රකාශයයි.
"සහෝදරයා , ආනන්ද විද්‍යාලයෙදි මට සිංහල ඉගැන්නුවෙ ආනන්ද මෛත්‍රේය හාමුදුරුවොයි. උන්වහන්සෙ උගන්නපු කවියක් මම තාමත් පාඩමට ගන්නවා."
"තමන් හට නොසමයන් වන
කලට සම
මුවෙන් නොබැන ඉවසනු සුදන
ගරුකම."
ගොඩගේ මහතාගේම යෝජනාවක් අනුව මහාචාර්ය සුචරිත ගම්ලතුන් ,
සිරි තිලකසිරි සූරින් සහ මා එක්ව නව සිංහල ව්‍යාකරණ ග්‍රන්ථයක් සම්පාදනය කිරීමේ කාර්යේ නිරතව සිටි කාලයයි ඒ. එහි පළමු පිටපත ලිවීමෙන් අනතුරුව එය යළි කියවා බලා සම්පූර්ණ සංස්කරණයක් කිරීමට අපි තීරණය කළෙමු. ඒ කාර්ය බාධාවකින් තොරව කිරීම සඳහා කොළඹින් පිටව සිටීම මැනවැයි යන්න ගම්ලතුන්ගේ අභිමතය විය. ගම්ලත්හු ඒ සඳහා තම මිතුරෙකුගේ සහායෙන් පොල්ගොල්ලේ ජලාශය අසල පිහිටි මහවැලි නිවාඩු නිකේතනයද වෙන් කරගත්හ.
ගම්ලතුන් , සිරි තිලකසිරීන් සහ මා සමග ගොඩගේ මහතාද ගමනට එක් විය. අපි පුරා සතියක්ම එහි නැවතී පොතේ අත් පිටපත සංස්කරණය කිරීමේ කාර්යෙහි නියැලුණෙමු. ඉතා වෙහෙසකර ශාස්ත්‍රීය කාර්ය භාරයක් වූ එය ඉතා ප්‍රසන්න ආස්වාද ජනක විනෝදාත්මක කාර්යක් බවට පත්කළේ ගොඩගේ මහතාය.
ගොඩගේ මහතා තුළ සැඟව සිටි කෙළිලොල් රසවතා අප තිදෙනා පළමු වරට හැඳින ගත්තේ එහිදීය. ගොඩගේ මහතා වැනි ධනවත් ව්‍යාපාරිකයෙක් ධන මදයෙන් හා මාන මදයෙන් දර්පිත ගර්විත නොවී එතරම් සැහැල්ලුව හා කෙළිලොල්ව හැසිරීමට සමත් වූයේ ඔහුගේ සහජ රසිකත්වයේ මහිමයෙනැයි සිතමි. පොල්ගොල්ලේ නිවාඩු නිකේතනයේ අප තිදෙනා රාත්‍රී මධු සාද විඳින වේලාවට සියලු අඩුම කුඩුම සපයා දීම සඳහා එහි සිටි සේවකයා නොකැඳවූ ගොඩගේ මහතා මද මත් නොවීම වේටර් භූමිකාව රඟ පාමින් කුඩා දරුවෙකු සේ විනෝද වූ අයුරු දැනුදු මට මැවී පෙනේ.
08 වන දශකයේ එක්තරා සති අන්තයක මට ගාල්ලේ පුරහලේ පැවති සාහිත්‍ය සම්මන්ත්‍රණයකට සහභාගි වීමට සිදු විය. ඒ සිරිසුමන ගොඩගේ මහතාණන්ගේ ආරාධනයෙනි. එම සාහිත්‍ය සම්මන්ත්‍රණයට සහභාගි වීමට ප්‍රකට ලේඛකයෝ දෙදෙනෙක් සහ තරුණ චිත්‍ර නිර්මාණකරුවෙක්ද ඔහුගෙන් ආරාධනා ලැබූහ. ඒ වූකලී මගේ ඉතා කුලුපග මිතුරන් වූ සුනන්ද මහේන්ද්‍ර , එච්.එම්. මොරටුවගම සහ ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වාය.
අප සිවු දෙනා ගාලු ගමන ගියේ
ගොඩගේ මහතාගේ වාහනයෙනි. මේ සාහිත්‍ය සම්මන්ත්‍රණය වූකලී ගාලු පුරහලේ පැවති ගොඩගේ පොත් ප්‍රදර්ශනයක් හා පොත් දොරට වැඩුමක් නිමිති කරගෙන සංවිධානය කරන ලද්දකි. එබැවින් ගොඩගේ මහතාද එදා අප සමග ඒ වාහනයේම ගමන් ගති. ගොඩගේ මහතාගේ කතාව සන්සුන්ය ඔහු හඬ නගා සිනාසෙන්නේද කට ඇතුළෙනි. ඔහු කිසි විටක අප මෙන් උස් හඬින් අට්ටහාස නගන්නෙක් නොවේ. ඔහුට ඇත්තේ නිත්‍ය සිනාවක් රැඳි මුහුණකි. ඔහු නිතර අඳින ධවල වර්ණ ජාතික ඇඳුම නිසා එය වඩාත් ප්‍රසන්නව දිස්වේ. හාස්‍යය උපහාසය මුසු මුකරි කියමන් ඔහුගේ මුවින් පිටවන්නේ ඇඟට පතට නොදැනීය.
"මං මහත්තයො පොත් කත්තුරුලත් දන්නව පොත්කාරයොත් දන්නව.'
මේ දිනක් ඔහු අප කීප දෙනෙකු ඉදිරියේ පැවසූ බසකි. පොත්කාරයො යන යෙදුමෙහි ගැබ්ව ඇත්තේ 'කපුටා සහ කේජු කෑල්ල' නමින් පතළ ඊසොප්ගේ උපමා කතාවේ එන නරියා සිහියට නගන අරුතකි.
ගොඩගේ මහතාගේ අති නිහතමානී කමත් විනීතාචාරයත් කෙනෙකුට ඔහුගේ නෝංජල් කමක් සේ පෙනිය හැකිය. ඒ නිසාම ඔහු පහසුවෙන් රවටා ලිය හැකි පුද්ගලයෙකු සේ දැකිය හැකිය. එහෙත් එය මුළාවකි. ගොඩගේ මහතා සෑම පුද්ගලයෙකුම ඇසුරු කරන්නේ ඔහුගේ අභ්‍යන්තරය මනාව තේරුම් ගනිමිනි. ඔහු අත්දැකීමෙන් ලත් පාරිණත්‍යය එතරම්ම තීක්ෂ්ණය.
ගොඩගේ මහතා ඇතුළු අප පිරිස ගාල්ලට රැගෙන යන වාහනය පයියාගල පසුකොට වයියා කරද්දී සුනන්ද මහේන්ද්‍රයන්ගේ මුවින් මෙබස් ගිලිහුණේ ඉබේය.
"කරූ රාමඤ්ඤ දේශයට නං ආවා. මොකද කරන්නෙ ?"
"හැබෑ නේන්නං. ගොඩබැහැල ගියොත් නරකද ?
මොරටුවේගමයන්ගේ කටට පණ ආ බව පමණක් නොව ඔහුට රස තෘෂ්ණාවද පහළව ගිය බව ඔහු ක්ෂණික උද්‍යෝගිමත් ස්වරයෙන් නැගූ පැනයෙන් මොනවට පසක් වුණි.
"රාමඤ්ඤ දේසෙ?"
ගොඩගේ මහතා අන්දුන් කුන්දුන්ව නිහඬ බව බින්දේය.
ගාලු යන ගමනේදී රාමඤ්ඤ දේශයට ගොඩ බට අපි එහි වූ එකල අපට නිතර හුරු පුරුදු තැනකට සැපත් වීමු. සුනන්ද මහේන්ද්‍රයන්ගේ අණින් නියම තැන නැවතුණු වාහනයෙන් අපි බිමට බැස්සෙමු. ගොඩගේ මහතාට රාමඤ්ඤ සඤ්ඤා නාමය ගැන විඤ්ඤාණය පහළ වූයේ අප ගොඩ බට තැන පරිසරය දුටු කලය. මූදු වෙරළ අසල පොල් රුප්පා හෙවණේ පිහිටි අප චිර කාල සගයාගේ පැලට රිංගූ අපි ගහෙන් බෑ ගමන් පෙණ දමමින් තිබුණු මධුර නාලිකේර මදිරාවෙන් සහ දුම් දමමින් තිබුණු මඤ්ඤොක්කා හා කොච්චි සම්බෝල කට ගැස්මෙන් රස නහර පිනවූයේ මූදු සුළඟින් ගත සතපවමිනි. ගොඩගේ මහතා අප සමගම ලෑලි බංකුවේ වාඩිවී ඇති පදම් මඤ්ඤොක්කාවලට වග කියන්නට පටන් ගති.
පැලෙන් එළියට බට මධු ලෝල රැළ මූදු සුළඟේ හිඳ මධු රස විඳිද්දි නොදැනුවත්වම උඩ බැලුණු මගේ කටින් එවේලේ එක්තරා අප්‍රකට තේරවිලි ජන කවියක් ගිලිහුණේ ඉබේය.
ලෙඩක් නැතුව බේතක් බඳිනවා දුටිම්
වරදක් නැතුව දණ්ඩෙන් තළනවා දුටිම්
දුකක් නැතුව කඳුළැලි හලනවා දුටිම්
කළයක් නැතුව ජලයක් මනිනවා දුටිම්
ගොඩ ගේ මහතා එවේලේ වචනයකුදු නොතෙපලමින් තේරවිල්ල විසඳුවේ රා මැදීම සඳහා අවට පොල් ගස් හරහා බැඳ ඇති අතුරු දෙසට අත දික් කරමිනි.
ගොඩගේ මහතා මුළු ජීවිත කාලයටම මධු විතක් මුවගට ගෙන ඇත්තේ එකම එක වරක් පමණි. ඒ තම ප්‍රාණය රැක ගනු පිණිසය. වරක් ඔහු කීර්තිමත් ලේඛකයන් දෙදෙනෙකු වන කේ.ජයතිලකයන් සහ ගුණසේන විතානයන් සමග ඉන්දියාවට ගියේ පොත් ප්‍රදර්ශනයකට සහභාගී වන අටියෙනි. අධික සීත කාලයක් වූ එකල තද සීතලෙන් මිරිකුණු ගොඩගේ මහතා තුළ තමා සීතලෙන් මැරේය යන ප්‍රාණ බිය හටගත්තේ තම සකල ශරීරයම දරුණු ලෙස වෙවුලන්නට වූ බැවිනි. එදා ඔහු බ්රැන්ඩි පානය කළේ මිතුරන්ගේ පෙරැත්තය නිසාම නොවේ. හටගත් හුදු ප්‍රාණ බිය නිසාමය. ඉන් පසු යළිත් ඔහු පරණ අමද්‍යප වීරයා බවටම පත්වුණි.
ගොඩගේ මහතා අලුත මිලදී ගත් වෑන් රියෙන් දිනක් අපි දෙදෙනා ගමනක් යමින් සිටියෙමු.
"මොකද ගොඩගේ මහත්තය කාර් එකක් ගන්නෙ නැත්තෙ? හොඳ සුඛෝපභෝගී කාර් එකක් ගත්ත නං මීට වඩා සැප පහසුවට ගමන් බිමන් ගියෑකිනෙ."
"අමරසිංහ මහත්තයෝ එතකොට මට තනියමනෙ යන්න වෙන්නෙ. වෑන් එකේ හුඟ දෙනෙක් එක්ක කතා කර කර යන්න පුළුවන්නෙ.'"
ගොඩගේ මහතා නිතරම සිනාමුසු ප්‍රසන්න මුහුණකින් සැදී සිටියේ ඔහුගේ මේ අපිස් සතොස් දිවිය නිසා ලත් සන්සුන් බව නිසා යැයි සිතමි.
ගොඩගේ මහතා මරදානේ තම පොත්හල සුළුවෙන් අරඹා සිටි කාලයේ ර්ෂ්‍යා පරවශ පොත්හල් හිමියෙක් මැරයන් ලවා ඔහු දරුණු පහරදීමකට ලක් කරවීය. එහිදී ඔහුගේ ජීවිතය ගැලවුණේ අනූ නවයෙනි. ඔහුට වින කළ සතුරා හදිසියේ අකාලයේම මිය ගියේය. ගොඩගේ මහතා ඔහුගේ විපතේදී පිහිට වූයේ සියල්ල අමතක කරමිනි.
පොත්හල් සහ පොත් ප්‍රකාශන ව්‍යාපාර ඇරඹීම සඳහා ගොඩගේ මහතා තම හිතවතුන් සේ විශ්වාස කළ ලේඛකයන්ට නොමසුරුව ආධාර උපකාර කළේය. එහෙත් එසේ උදව් ලැබූ ඇතැමෙක් ඔහුට කළ ගුණ සැලකුවේ නොමසුරුව නින්දා පරිභව කිරීමෙනි. තම ප්‍රකාශන ආයතනය මගින් පොත් පළ කළ ඇතැම් ලේඛකයන් රැකියා අහිමිව අන්ත අසරණව සිටි කලක ගොඩගේ මහතා ඔවුන්ට මාස් පතා වැටුප් පවා ගෙවීය. එවැන්නවුන්ද ගොඩගේ මහතාට කළ ගුණ පිණිස පුද පඬුරු කොට පිරිනැමුවේ ගැරහුම් අවමන්මය.
මවිසින් ලියන ලද පොත්වලින් වැඩිම සංඛ්‍යාව ගොඩගේ ප්‍රකාශන විය. මට හිමි කර්තෘ භාග ඔහු ගෙව්වේ පොත පළ පළවීමත් සමගමය. මගේ සියලු දුක් විපත්වලදී ගොඩගේ මහතා අතිශය ළෙන්ගතුව මට පිහිට වූ අයුරු මා සිහි කරන්නේ අප්‍රමාණ කෘතගුණ පූර්වකවය.
අසීමිත ධනස්කන්ධයකින් ආඪ්‍ය වූ එක් ව්‍යාපාරිකයෙකු බිහි කරනු පිණිස බොහෝ ජනයාට දුප්පත් වීමට සිදුවන්නේ යම් සේද අසීමිත ධනස්කන්ධයකින් ආඪ්‍ය වූ එක් පොත් ප්‍රකාශකයෙකු බිහිකිරීමේදී බොහෝ ලේඛකයන්ටද දුප්පත් වීමට සිදුවන්නේ එසේමයැයි පවසනු කවර වරදද? ධනාඪ්‍ය වීම අසීමිත ලාභ ලෝභයේ උත්කෘෂ්ට පල සම්පතයි. ව්‍යාපාරිකයන් සේම පොත් ප්‍රකාශකයෝද අසීමිත ලාභ ලෝභියෝය. ගොඩගේ මහතාද අසීමිත ලාභ ලෝභියෙකි. ඔහු ධනාඪ්‍ය වූයේ එබැවිනි.
එහෙත් සමකාලීන පොත් ප්‍රකාශකයන් අබිබවන උදාර ගුණාංගයක් ගොඩගේ මහතා සතු විය. එනම් , ආධුනික ලේඛක ලේඛිකාවන්ට අත දීමේදී මෙන්ම දුර්ලභ ගණයේ ශාස්ත්‍රීය පොතපත අනාගත පරපුර උදෙසා පුනර් පුකාශනය කිරීමේදීද ඔහු ඒ අසීමිත ලාභ ලෝභය දුරුකර දැමීමය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd