බුදුන් වහන්සේ විසින් දේශිත ධර්මය අන්තර්ගත ත්‍රිපිටකයට අයත් අභිධර්ම පිටකය , ප්‍රකරණ (පොත්) සතකින් සමන්විතය. ධම්ම සංඝණී , විභංග , ධාතු කථා , පුග්ගල පඤ්ඤත්ති , කථා වත්ථු , යමක , පට්ඨාන යනු ඒ සප්තප්‍රකරණයෝ වෙති. බුද්ධ දේශනාවේ දක්වා ඇති ෂඩ් විධ ප්‍රඥප්තීන් අතරෙහි පුද්ගල ප්‍රඥප්තිය විවරණය කරමින් දේශනා කරන ලද ධර්මය ඇතුළත් වන්නේ පුද්ගල ප්‍රඥප්ති ප්‍රකරණයෙහිය. බෞද්ධ සන්නිවේදන මාර්ගය විශද කොට දැක්වෙන ඉතා වැදගත් විවරණ එහි අන්තර්ගත වෙයි. ධර්ම කථිකයන් ගැනද එහි කරුණු විස්තර වෙයි. 

එහිලා බුදුන් වහන්සේ විසින් වර්ග කොට දක්වන ධර්ම කථිකයන් අතර දෙදෙනෙකු කෙරෙහි ඔබගේ අවධානය යොමු කිරීමට රිසියෙමි.

(1) බණ පිරිස වටහාගෙන තැනට සුදුසු වචන භාවිත කරමින් ධර්මය දේශනා කරන ධර්ම කථිකයා.(ත්‍රිපිටක චූලාභය ස්ථවිර නම මෙනි.)

(2) බණ පිරිස වටහා නොගෙන තැනට නුසුදුසු වචන භාවිත කරමින් ධර්මය දේශනා කරන ධර්ම කථිකයා. (ලාලුදායි ස්ථවිර නම මෙනි.). 

ලාලුදායි ස්ථවිරයෝ මංගල අවස්ථාවෙහි අවමංගල (තිරෝකුඩ්ඩ) සූත්‍රයෙන්ද අවමංගල අවස්ථාවෙහි මංගල සූත්‍රයෙන්ද බණ කීමෙහි විපරීත පුරුද්දක් ඇත්තෙකි. (මංගල සූත්‍රය දෙව් මිනිසුන් අරභයාත් තිරෝකුඩ්ඩ සූත්‍රය භූත පිසාචාදීන් අරභයාත් දේශිතය.)

අනෞචිත්‍යය හා හාස්‍යය

"උචිතං ප්‍රාහුරාචාර්ය්‍යාඃ - සදෘශං කිල යස්‍ය යත් 
උචිතස්‍යච යෝ භාවං - තදෞචිත්‍යං 
ප්‍රචක්ෂතේ" 

(යමක් තව එකකට සුදුසු වේද , ගැළපේද , එවිට එය උචිත යැයි ඇදුරන් විසින් පවසන ලදී. මෙම උචිත භාවයට ඖචිත්‍යය යැයි කියනු ලැබේ)

"මිණිමෙවුල ගෙල පැලඳුවොත් හෝ දිමුතු මුතුහර උකුළෙහි පැලඳුවොත් , පාසලඹ අතෙහි දැමුවොත් හෝ වළල්ල පයෙහි දැමුවොත් , පැරදී යටත් වූවන්ට සුරුවිරුකම් දැක්වුවොත් හෝ සතුරන්ට කරුණාව දැක්වුවොත් , කවරෙක් නම් සිනාවට ලක් නොවේද? එසේම ඖචිත්‍යයෙන් තොර වූ කල අලංකාරය , ගුණය හෝ රුචිය ඇති නොවන්නේමය."
("ඖචිත්‍ය විචාර චර්චා" - ක්ෂේමේන්ද්‍ර)

"අනෞචිත්‍යාදෘතේ නාන්‍යද් - රස භංගස්‍ය කාරණම්
ප්‍රසිද්ධෞචිත්‍ය බන්ධස්තු - රසස්‍යෝපනිෂත් පරා"

(ඖචිත්‍යයෙන් තොරවීම තරම් රස භංගයට හේතු වන වෙන කාරණයක් නැත්තේමය. රස නිෂ්පත්තියේ පරම රහස නම් ඖචිත්‍යය පිළිබඳ ප්‍රකට නියමයන් රැකීමයි.)
("ධ්වන්‍යාලෝක" - ආනන්දවර්ධන.)

අවමඟුල් දේශනා

මා කනින් ඇසූ හා ඇසින් කියවූ අවමංගල දේශන කීපයක් ඔබේ පහන් සංවේගය සඳහා මෙහිලා ඉදිරිපත් කිරීම මැනවැයි හඟිමි.

මාර්ටින් වික්‍රමසිංහයන් කළ අවමඟුල් දෙසුමක්.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය කලාවට රාග තාල සැපයීමෙන් හා ගුරුහරුකම් දීමෙන් ප්‍රශස්ත ප්‍රදානයක් කළ චාර්ල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේගේ අවමඟුලේදී මාර්ටින් වික්‍රමසිංහයන් කළ දෙසුමයි මේ.
.
"චාර්ලිස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සෙත් ගැමියෙක්. මමත් ගැමියෙක්. ඒත් අපි දෙන්නගෙ එක වෙනසක් තියෙනවා. ගුණසිංහ ගුරුන්නාන්සෙ තමන්ගෙ කලාවෙන් සන්තෝෂයක් ලැබුවා.අනික් උදවියටත් සන්තෝෂයක් ලබා දුන්නා. හැබැයි මම කරන්නෙ මොකක්ද? නොයෙක් වල්බූත ඔළුවෙ පුරෝගෙන ඒකෙන් දුක් විඳිනවා. අපේ රටේ නාට්‍ය කලාවට විශාල සේවයක් කිරීම ගැන චාර්ලිස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සෙට වගේම සරච්චන්ද්‍ර මහත්මයාටත් අපි ස්තුතිවන්ත වෙන්න ඕනැ."

සමරදිවාකර අවමඟුලේදී මානවසිංහයෝ

ශ්‍රී ලංකා ගුවන්විදුලියේ ප්‍රථම වාද්‍ය වෘන්දාධිපති , අප්‍රතිම ප්‍රතිභාන්විත සංගීතඥ එඩ්වින් 
සමරදිවාකරයන්ගේ අකාල අභාවයෙන් ප්‍රකම්පිත කවීන්ද්‍ර ශ්‍රී ‍චන්ද්‍රරත්න මානවසිංහයන් 
සමරදිවාකර අවමඟුලෙහිදී කළ දෙසුම. 

"මම සංගීතඥයෙක් නෙවෙයි. සංගීතය රස විඳින්නෙක්. 
සමරදිවාකරයන් සංගීත රසය මවන කෙනෙක්. අපි දෙන්නා ඒ අතින් වෙනස් වුණත් එක දෙයකින් සමාන වෙනවා. අපි දෙන්නගෙම ජීවිතවලට වංග සිරිමතියක් සම්බන්ධයි. 
සමරදිවාකරයන්ට මේ වංග සිරිමතිය පළමුවෙන්ම මුණගැහුණු දවසෙ ඔහු කොයි තරම් ආදරෙන් ඈ දිහා බලන්න ඇද්ද ! ඒ දෑස අද වැහිලා. ඔහු කොච්චර ආදරෙන් ඇයට කතා කරන්න ඇද්ද ! ඒ කතා ආයෙ ඇහෙන්නෙ නෑ ! ඇයට පළමු උණුසුම දැනුණු දෑත අද සීතල වෙලා ! සමරදිවාකරයන්ගෙ ඇඟිලි දිව්වෙ සිතාරයෙ තත් උඩ. ඕනැ කෙනෙකුට පුළුවන් තමන්ගෙ ඇගිලි තත් උඩ දුවවන්න. වෙනස මේකයි. වෙන අය තමන්ගෙ ඇඟිලි තත් උඩ දුවවන කොට මොකවත් සිද්ධවෙන්නෙ නෑ. ඒත් සමරදිවාකරයන්ගෙ ඇඟිලිවලින් සංගීතය මැවෙනවා. ආයෙ ඉතින් කවදාවත් ඒ ඇඟිලිවලින් සංගීතය මැවෙන්නෙ නෑ. ඒත් ඒ සංගීතයෙන් රස වින්ද මිනිස්සුන්ගෙ හදවත්වල සමරදිවාකරයන් හැමදාම ජීවත් වේවි.!"

එඩ්වින් සමරදිවාකරයන්ගේ බිරිඳ වූකලී මහාකවි රවීන්ද්‍රනාථ ඨකූරයන්ගේ ශාන්ති නිකේතනයේ ශිල්ප හදාරන සමයේ ඔහුට හමුවුණු වංග (බෙංගාලි) සිරිමතියකි. සෙල්ල කතරගම මැණික් ගංතෙර උස් බිමක වූ කුඩා අසපුව තුළදී හමුවුණු වංග සිරිමතිය නිසා මානවසිංහයන්ට සංස්කෘත කාව්‍ය රසය උරුම විය). 

මාක්ස්ගේ අවමඟුලේදී එංගල්ස් 

Karl Marx(1818 -1883)ගේ අවමඟුලේදී Frederick Engels (1820 - 1895) 1883 මාර්තු 17 වැනි දින ලන්ඩනයේ හයිගේට් සුසාන භූමියේදී පවත්වන ලද මෙම කතාව සිංහලට නැගීම සඳහා මවිසින් උපුටා ගැනුණේ Karl Marx selected works (London - Lawrence and Wishart Limited)Volume1හි 16, 17, 18 පිටුවලිනි.

"ලොව ජීවමානව සිටි ශ්‍රේෂ්ඨතම චින්තකයා මාර්තු 14වැනි දා පස් වරු තුනට කාලක් තිබියදී තම චින්තන ක්‍රියාවලිය නතර කළේය. ඔහුට තනිව සිටින්නට ඉඩ හැරියේ යන්තම් විනාඩි දෙකක් පමණි. අප ආපසු එන විට ඔහුට හාන්සි පුටුව මත ශාන්ත ලෙස නින්ද ගොස් තිබුණි. ඒ සදහටමය. 
"මේ ප්‍රාඥ පුරුෂයාගේ අභාවය නිසා යුරෝපයේ හා ඇ⁣මෙරිකාවේ සටන් කාමී නිර්ධන ජනතාවටත් (Proletariat - මූල ධනයක් අහිමි ශ්‍රම වහල්ලු) ඓතිහාසික විද්‍යාවටත් දරා ගැන්මට සිදුවූයේ නොමිනිය හැකි පාඩුවකි. මේ බලසම්පන්න පෞරුෂ්‍යයේ අභාවය 
කරණකොටගෙන හට ගත් හිඩස වැඩි කල් නොගොස්ම දැනෙනු ඇත.
"චාල්ස් ඩාවින් විසින් ජීව ස්වභාවය පිළිබඳ පරිණාම නියමය අනාවරණය කරන ලද සේම මනුෂ්‍ය ඉතිහාසය පිළිබඳ පරිණාම නියමය අනාවරණය කරන ලද්දේ මාක්ස් විසිනි. අධික ලෙස වැඩී ගිය දෘෂ්ටි වාද මගින් මෙතෙක් වැසී ගොස් පැවති සරල සත්‍යයක් ඔහු හෙළි කළේය. එනම්, දේශපාලනය, විද්‍යාව, ආගම, කලාව යනාදිය ලුහු බැඳ යාමට පළමුව මිනිස් වර්ගයාට කෑම, බීම, ඇඳීම හා වාසස්ථාන අවශ්‍ය බවය. එබැචින් අවශ්‍ය වූ භෞතික ජීවනෝපායන් නිපදවා ගැන්ම මෙන්ම ඒ අනුව ජනතාව විසින් හෝ යුගයක් තුළ දී ඇති කර ගැනෙන ආර්ථික දියුණුවේ මට්ටමද කරණකොටගෙන එක්තරා පදනමක් බිහි වන බවත් ඔහු පෙන්වා දුනි. ජනතාවට අදාළ රාජ්‍ය ආයතන, නීති සංකල්ප, කලාව සහ ආගමික අදහස් පවා පරිණාම වී ආවේ එම පදනම මත පිහිටා යැයි ඔහු හෙළි කර සිටියේය. එබැවින් සියල්ල විවරණය කළ යුත්තේ එය සැලකිල්ලට ගෙන මිස මෙතෙක් කර ගෙන ආ පරිදි ඊට පටහැනි ලෙස නොවන බවද ඔහුගේ මතය විය.
"මෙපමණක් නොවේ. අද පවත්නා ධනවාදී නිෂ්පාදන ක්‍රියාවලියත් එමගින් නිර්මාණය කර ඇති ධනවාදී සමාජයත් පාලනය කරන ගාමික බලවේගයට අදාළ විශේෂ නියමයද මාක්ස් විසින් අනාවරණය කරන ලදී. කලින් සිටි ධනවාදී ආර්ථික විද්‍යාඥයන් මෙන්ම සමාජවාදී විවේචකයන්ද වන සියලුම විමර්ශකයන් අඳුරේ අතපත ගාමින් විසඳුම් සෙවූ ප්‍රශ්නයකට, අතිරික්ත අගය පිලිබඳව මාක්ස් කළ අනාවරණය ආලෝකයක් විය.
"එවැනි අනාවරණයන් දෙකක් පමණක් එක් ජීවිත කාලයකට සෑහේ. එවැනි එක් අනාවරණයක් හෝ කළ හැකි වූ පුද්ගලයාද සතුටට පත් වෙයි. මාක්ස් ක්ෂේත්‍ර රාශියක විමර්ශනයෙහි යෙදුණෙකි. ඒ එකක්වත් උඩින් පල්ලෙන් කළ ඒවා නොවේ. මාක්ස්ගේ විමර්ශනයට ලක් වූ සෑම ක්ෂේත්‍රයකදීම, ගණිත ක්ෂේත්‍රයේදී පවා,ඔහු කළේ ස්වතන්ත්‍ර අනාවරණයන්ය.
"මාක්ස් නම් විද්‍යාඥයාද එවැන්නෙකි. එහෙත් සම්පූර්ණ විද්‍යාඥ වේශය නොදැරුවෙකි. ඔහු විද්‍යාව සැලකුවේ ඓතිහාසික වශයෙන්, සක්‍රිය, විප්ලවීය බලවේගයක් ලෙසිනි. ප්‍රායෝගික භාවිතය කෙසේ විය හැකිද යන්න සිතා ගැනීමට නොහැකි වුවද, ඇතැම් න්‍යායාත්මක විද්‍යාවක් පිළිබඳ නව අනාවරණයක් මාක්ස් ආදරයෙන් වැලඳ ගත්තේ මහත් වූ ප්‍රීතියෙනි. එහෙත් එම අනාවරණය මගින් කර්මාන්ත තුළ මෙන්ම ඉතිහාස ගමන් මගේද ක්ෂණික විප්ලවීය වෙනස්කම් සිදු වූ කල ඔහු ඉන් භුක්ති වින්දේ මුළුමනින්ම වෙනත් ආකාරයක ආනන්දයකි. විදුලි බල ක්ෂේත්‍රය මගින් හා මෑතදී Marcel Deprez විසින් සිදු කෙරුණු අනාවරණයන් පිළිබඳ වර්ධනය ඔහුගේ සියුම් නිරීක්ෂණයට ලක්වීම ඊට නිදසුනක් ලෙස දැක්විය හැකිය.
[Marcel Deprez(1843-1918) වනාහි ප්‍රංශ භෞතික විද්‍යාඥයෙකි.දුර ..සිට විදුලිය සම්ප්‍රේෂණය කිරීම පිළිබඳ පළමු අත්හදා බැලීම් කළේ මොහුය.]
"අන් සියල්ලටම වඩා, මාක්ස් වූකලී විප්ලව වාදියෙකි. ඔහුගේ ජීවිතයේ ඒකායන පරමාර්ථය වූයේ ධනවාදී සමාජයත් එයින් උපන් රාජ්‍ය ආයතනත් පෙරළා දැමීමට කවර ආකාරයකින් හෝ දායක වීමය. තම තත්ත්වය හා අවශ්‍යතාවන් ගැනත් තම ගැලවීම සිදු කර ගත හැක්කේ කවර තත්ත්වයන් යටතේ ද යන්නත් අද වෙසෙන නිර්ධන ජනතාවට පළමු වරට ඒත්තු ගැන්වූයේ මාක්ස්ය. එම ජනතාව මුදවා ගැනීමට දායක වීමද ඔහුගේ පරමාර්ථය විය. මාක්ස්ගේ මූල ධර්මය වූයේ සටන් වැදීමය. ඔහු සටන් වැදුණේ බලවත් හැඟී⁣මෙනි. දැඩි ඇල්මෙනි. අතළොස්සකට පමණක් ළඟා කර ගත හැකි සාර්ථකත්වයකිනි.
"Rheinische Zeitung(1842); Paris Vorwarts(1844); Brussels Deutsche Zeitung(1847); Neue Rheinische Zeitung(1848-49); New York Times(1852-61) යන ප්‍රකාශනයන්ට සම්බන්ධවී කළ සේවයට අමතරව මාක්ස් පළ කළ සටන්කාමී පත්‍රිකා හා පුස්තිකා රාශියකි. ඔහු පැරිසියේ , 
බ්‍රසල්ස්හි සහ ලන්ඩනයේ විප්ලව වාදී සමාජවල කළ සේවයද වැදගත් වෙයි. අවසානයේ ඒ සියල්ලම කුළු ගැන්වුණේ 'අන්තර් ජාතික නිර්ධන ජනතාවගේ සංගමය' (පළමු වැනි ජාත්‍යන්තරය) පිහිටුවීමෙනි. අන් කිසිවක් නොකළද එහි නිර්මාතෘවර මාක්ස්ගේ අභිමානය පිණිස මේ ජයග්‍රහණයම ප්‍රමාණවත්ය.
"මේ සියල්ලෙහි පල විසින් හොඳටම වෛරයට ලක් වූද වැඩියෙන්ම අභූත චෝදනා එල්ල වූද අපේ කාලයේ මිනිසා මාක්ස්ය. ඒකාධිපති ආණ්ඩු මෙන්ම ජනරජ ආණ්ඩුද තම බල ප්‍රදේශවලින් ඔහු පිටුවහල් කළේය. මධ්‍යස්ථ මත ධාරී හෝ අන්ත ප්‍රජාතන්ත්‍රවාදී වුවද සියලුම ධනවාදීහු, චරිත ඝාතක අපහාස කතාවලින් ඔහු වසා ලූයේ තරඟයට මෙනි. පැටලුණු මකුළු දැලක් ගලවා දමන සේ මාක්ස් ඒ සියල්ල පිස හැරියේ ගණනකට නොගනිමිනි. ඔහු පිළිතුරු දුන්නේ අවශ්‍යතාව විසින් බල කෙරුණු කලක පමණි. යුරෝපයේ හා ඇමරිකාවේ සියලු පළාත්වලත් සයිබීරියාවේ සිට කැලිෆෝනියාව දක්වා ඇති පතල්වලත් සිටින කෝටි ගණන් විප්ලවවාදී සහෝදර නිර්ධන ජනතාවගේ ආදරයටත් ගෞරවයටත් ශෝකයටත් පාත්‍ර වුණු ඔහු දැන් මිය ගොසිනි. බොහෝ විරුද්ධවාදීන් සිටිය හැකි වුවද එකද පුද්ගලික සතුරෙකු ඔහුට නොසිටි බව මම නොබියව පවසමි. කාල් මාක්ස් යන නාමය මෙන්ම ඔහු කළ මෙහෙවරද යුගයක් යුගයක් පාසා නොනැසී පවතින්නේමය."

සීසර්ගේ මළසිරුර ඉදිරියේ
මාර්ක් ඇන්ටනි

මහාකවි විලියම් ශේක්ෂ්පියරයන්ගේ ජූලියස් සීසර් නාට්‍යයේදී සීසරයන්ගේ මළ සිරුර ඉදිරියේ මාර්ක් ඇන්ටනි කළ සුප්‍රකට දේශනය මෙසේ හෙළයට පෙරළා දක්වමි.

"Friends , Romans, Countrymen , lend me your ears , 
I come to bury Caesar not to praise him. 
The evil that men do lives after them, The good is oft interred with their bones, 
So let it be with Ceaser.
The noble Brutes hath told you Ceaser was ambitious; 
If it were so , it was a grievous fault, And grievously hath Ceaser answer'd it.
You all did see that on the Lupercal,
I thrice presented him a kingly crown,
Which he did thrice refuse.
Was this ambition !
What cause withholds you then to mourn for him ?
O ! Judgement , thou art tied to brutish beasts,
And men have lost their reason !"

" මිත්‍රවරුනි, රෝමවරුනි , රටවැසියෙනි , මට ඇහුම්කන් දෙන්න. මම ආවෙ සීසර්ගෙ අවසන් කටයුතු කරන්න මිසක් ඔහුගෙ ගුණ ගයන්න නෙමෙයි. මිනිස්සු කරන නරක ඔවුන් මළාට පස්සෙත් පවතිනවා. ඔවුන් කරන හොඳ ඔවුන්ගේ ඇටකටු එක්කම වැළලෙනවා. සීසර් සම්බන්ධයෙනුත් ඒක එහෙමම සිද්ධ වුණාවෙ. බෲටස් උතුමාණන් ඔබට සීසර් හඳුන්වාදී ඇත්තෙ ඉහළ නගින්න ආසාවෙන් පෙළෙන මිනිහෙක් හැටියටයි. එහෙම හැඳින්වීම සංවේග ජනක වරදක් ! සීසර්ට ඒකට පිළිතුරු දෙන්න සිද්ධ වුණේ සංවේග ජනක ලෙසයි ඔබ සියලු දෙනාම දැක්කා ලියුපර්කල් උත්සවයෙදි මම තුන් වරක්ම සීසර්ට රජ ඔටුන්නක් පිරිනමනවා. ඒ තුන් වරම ඔහු ඒ ඔටුන්න ප්‍රතික්ෂේප කරනවාත් ඔබ දැක්කා. ඉහළ නැගීමේ ආසාව කියන්නෙ ඒකටද? එහෙම නම් ඇයි ඔබ ඔහුගෙ මරණය ගැන දුක් වෙන්නෙ නැත්තෙ? මොකක්ද හේතුව? අහෝ ! යුක්ති විනිශ්චය ; අද ඔබ ඉන්නෙ මුරුගයන්ගෙ ග්‍රහණයෙ ! විචාර බුද්ධිය මිනිසුන්ගෙන් අතුරුදහන් වෙලා !