
ශ්‍රී ලංකා ජනරජය ගැන ප්‍රශස්ති ගීතයක් ලිවීමට වරක් ඔහු ආරාධනා ලැබුවේය. ජනරජ ව්‍යවස්ථාවට තනුවක් යොදා ගැයීම වඩා ප්‍රශස්ත නොවේදැයි ඔහු පෙරළා ඇසුවේය.
පස් වන දසකයේ අග භාගයේ එක්තරා දිනක මා මගේ සන්මිත්‍ර සුනන්ද මහේන්ද්‍රයන් සමග හේවුඩ් කලායතනයේ චිත්‍ර හා මූර්ති අංශයට ගියේ ඔහුගේ කිසියම් අවශ්‍යතාවක් නිමිත්තෙනි. එම අංශය පිහිටා තිබුණේ කොළඹ කුරුඳුවත්තේ හෝර්ටන් පෙදෙසේ අද එය ඇති තැනමය. එදා අප දෙදෙනා එහි කොරිඩෝවේ වාඩිවී සිටින විට සුදු වේට්ටියකින් සහ සුදු ජාතික බැනියමකින් සැරසුණු ආරෝහ පරිණාහ සම්පත්තියෙන් යුක්ත මඳ කළුවට හුරු සමක් ඇති තරුණයෙකු කලායතනයට ඇතුළු වනු පෙනුණි. සුනන්දයන් දුටු ඔහු ඉතා සුහද ලෙස කට පුරා සිනාසෙමින් ඔහු සමීපයට ආවේය. එය ප්‍රසන්න සිනාවකි.
"කොහොමද , මොකද මේ පැත්තෙ?"
සුනන්ද ඇසීය.
"මේක මගේ නිජ භූමියනෙ. ඉතින් මෙතනට නෑවිල්ල කොහොමද!
ඔහුගේ පිළිතුර විය.
"කරූ , මේ තමයි මහගම සේකර."
මවෙතට හැරුණු සුනන්දයෝ කීහ.
මදෙස බැලූ ඔහුගේ ප්‍රසන්න සිනාව පිපි වනමය.
ඒ මා මහගම සේකරයන් රූප
කායෙන් දුටු පළමු වතාවය. ඔහුගේ කාටුන් චිත්‍ර මගින් මෙන්ම විවිධ සාහිත්‍ය රචනා මගින්ද මා ඉන් පෙර ඔහු හැඳින ගෙන සිටි හෙයිනි. එවේලේ මා ඇස ඇඳි සේකරයන්ගේ රූපය දැනුදු ඒ අයුරින්ම මගේ මනසේ නොමැකී රැඳී ඇත. ජාතික ඇඳුම අඳින බොහෝ අය නොකරන දෙයක් සේකරයන් කර තිබෙනු එදා මම ඔහු කෙරෙන් දුටුවෙමි. ඔහු තම බැනියමෙහි අත් දෙක බාගෙට නමා ගෙන උන්නේය. ඒ ඈත දිනෙක මා මුලින්ම දුටු ඔහුගේ රුව අදද මට ඒ හැටියෙන්ම සිහියට නගා ගත හැක්කේ එදා මා ඔහු වතෙහි දුටු සුහද ප්‍රසන්න සිනාව මෙන්ම ගතෙහි දුටු බැනියම් අත්වල වෙනස නිසාද විය හැකිය.
මුල් පාසල් අධ්‍යාපනයෙන් පසු මහගම සේකරයන් තම උසස් අධ්‍යාපනය ඇරඹුවේ මරදානේ ටෙක්නිකල් කොලීජියේ චිත්‍ර පාඨමාලා ශිෂ්‍යයෙකු වශයෙනි. කොළඹ කුරුඳුවත්තේ හේවුඩ් කලායතනයේ චිත්‍ර හා මූර්ති අංශය මරදානේ ටෙක්නිකල් කොලීජියේ පුනරුත්පත්තියකි. ඔහු අප ඉදිරියේ එය තම නිජ භූමිය වශයෙන් හැඳින්වූයේ එහෙයිනි. ඔහුගේ චිත්‍ර කරණය සහ සාහිත්‍ය කරණය ඇරඹුණේ රාජගිරියේ හේවාවිතාරණ විද්‍යාලයේ ගුරු වෘත්තියේ යෙදී සිටින සමයේය. පළමු වන රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලාභී කීර්තිමත් ලේඛක පණ්ඩිත අශෝක කරුණාරත්නයෝද එම විද්‍යාලයේ ගුරු මණ්ඩලයේ සිටි ඔහුගේ සමකාලීනයෙකි.
මහගම සේකරයන් ගුරුවරයෙකු වශයෙන් පුහුණුව ලැබුවේ මහා පඬි මුනිදාස කුමාරතුංගයන්ගේ ඥාන රශ්මියෙන් ජ්වලමාන වූ කීර්තිමත් නිට්ටඹුව ගුරු අභ්‍යාස විද්‍යාලයෙහිය.
මහාචාර්ය මැන්දිස් රෝහණධීර සහ ප්‍රශස්ත ලේඛක ජයදාස කුමාරගේ
දෙදෙනාද එකල එහි ඔහු සමඟ එකට ගුරු පුහුණුව ලැබූ ගුරු ශිෂ්‍යයෝ වූහ. සේකරයන් කිරිඳිවැල මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සමයේ මහා ගත්කරු කේ. ජයතිලකයෝ , සුප්‍රකට ලේඛකයෙක් හා පුවත්පත් කලාවේදියෙක් වූ දො.ඩ.ඩයස් සූරීහු සහ ප්‍රශස්ත කවීන්ද්‍ර ජයවඩු විතානයෝ සේකරයන්ගේ සමකාලීන පාසල් සගයෝය.
රදාවානේ මහවත්තේ උපන් එම් , ජී , (මහගමගේ) සමරසේකරයන් චිත්‍ර ශිල්පියෙකු හා සාහිත්‍යකරුවෙකු වශයෙන් පුනරුත්පත්තිය ලැබුවේ මහගම සේකර යන ප්‍රතිසංස්කෘත අභිනව නාමයෙනි. එසේ යළි උපන් මහගම සේකරයන් තම නිසර්ග සිද්ධ ප්‍රතිභානයේ විවිධ විචිත්‍ර පල සම්පත රැගෙන නමෝ විත්තියෙන් පාඨක රසික ජනයා වෙතට නිරන්තරයෙන් පැමිණියේ 'ලංකාදීප' පුවත්පත සහ 'රසවාහිනී' සඟරාව ඔස්සේය. මා මුලින්ම ඔහුගේ නිර්මාණ අනන්‍යතාව , සාහිත්‍ය ලාවණ්‍යය හා සෞන්දර්ය රසය හඳුනා ගත්තේ ඔහු 'ලංකාදීප' පුවත්පතට ඇඳි 'සේකරගේ ජරමර' කාටූනය , 'රසවාහිනී' සඟරාවට පරිවර්තනය කළ රුබයියාට් පැදි හා සීගිරි ගී ඇසුරෙන් බැඳි නව පැදි යන තෙවැදෑරුම් රචනා මගිනි.
සේකරයන්ට ගීත රචකයෙකු වීමේ මනෝ ප්‍රණිධානය පළමුව පහළ වූයේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් දේශනයකදී කළ ප්‍රකාශයක් ඇසීමෙනි. පසු කලෙක මගේ කුලුපගයෙකු වීමෙන් පසු එළඹි එක් අවස්ථාවක ඔහු එබැව් මා සමග පැවසූ අයුරු මගේ සිහියට නැගේ. "ගීත රචකයෙකු වීම මගේ ප්‍රාර්ථනයක් සමෘද්ධ වීමකි." මානවසිංහයන්ගේ අර ආවේශ ජනක ප්‍රකාශය එයයි.
එකල විශිෂ්ට ගණයේ ශාස්ත්‍රීය සගරාවක් ලෙස කිරුළු පලන් 'රසවාහිනී' යේ ආරම්භක සංස්කාරක වූයේ 'ලංකාදීප' පුවත්පතේද කතුවරව සිටි මහානාම දිසානායක සූරීහුය. ඔහු මුනිදාස කුමාරතුංග පඬිවරයා ඉතා සමීපව ඇසුරු කළ කෙනෙකි. මහගම සේකරයන් සහ මහානාම දිසානායකයන් අතර පැවතුණේ දැඩි මිත්‍රත්වයකි. මහගම සේකරයන් තුළද හෙළ හවුල කෙරෙහි මහත් වූ බැති සිතක් පැවති බව මුල් අවධියේ ඔහු අතින් ලියැවුණු ඇතැම් පද්‍ය රචනාවල බසින් හෙළි වේ. මුනිදාස කුමාරතුංගයන්ගේ හෙළ බස් අසිරියෙහි රැසින් උදුල නිට්ටඹුව ගුරු විදුහලෙහි හෙළ බස හදාළ මහගම සේකරයන් තුළ එම බස් ආර කෙරෙහි පිළිබඳ සිතක් හට ගනු කවර අරුමයක්ද!
මහගම සේකරයන් තම ඉංග්‍රීසි භාෂා සාහිත්‍ය ඥානය වර්ධනය කරගත්තේ මහාකවි ශේක්ෂ්පියරයන්ගේ කාව්‍ය හා නාට්‍ය සාහිත්‍යය පිළිබඳ හසළ දැනුමක් ඇති වයෝවෘද්ධ ඥානවෘද්ධ විශ්‍රාම ලත් ඉංග්‍රීසි ගුරුතුමෙකු ඇසුරෙනි.
මේ බව මා අසා දැනගත්තේ සේකරයන්ගේම මුවිනි. එහි විපුල පලයක් වූයේ The White Company ඉංග්‍රීසි නවකතාවට
ධවල සේනාංකය නමින් සේකරයන් කළ සිංහල පරිවර්තනයයි. රාජගිරියේ හේවාවිතාරන විද්‍යාලයේ සිටි චිත්‍ර ගුරුවරයා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ භාෂා පරිවර්තක තනතුරක් ලද්දේ එහි අනුහසිනි.
වෙනත් මිතුරෙකු මුණගැසීමට වරක් දෙවරක් එහි ගිය අවස්ථාවලදී පෙර මෙන්ම මට මුණගැසුණේ නවා ගත් අතින් යුත් ජාතික ඇඳුම ඇඳ සිටි පුරුදු සේකරයන්මය. අතීතයේ දිනක හේවුඩ් කලායතනයේ චිත්‍ර හා මූර්ති අංශයේදී අහම්බෙන් මුණ ගැසී සුනන්ද මහේන්ද්‍රයන් මගින් හඳුනා ගැනීමෙන් පසු සේකරයන් සමග එසේ ඉඳ හිට මුණගැසී කතාබහ කළද ඔහු සමග සමීප ඇසුරක් ඇරඹීමට ඒ වන විට මට මඟ පෑදී නොතිබුණි.
06 වන දසකයේ මුල් භාගයේ දිනක මම නාට්‍යයක් පටිගත කිරීම සඳහා ගුවන්විදුලියට ගියෙමි. ගුවන්විදුලි කාර්යාලයට ඇතුළුව සිංහල අංශය දෙසට ගමන් කරමින් සිටි මට පුරුදු මුහුණක් ඇති උස මහත පුද්ගලයෙකු සිංහල අංශයේ සිට මා ඉදිරියට කට පුරා සිනාසෙමින් එනු පෙනුණි. කළු දිග කලිසමකින් සහ කලිසමට පිටින් වැටෙන සේ ඇඳි ක්රීම් පාට බුෂ් ෂර්ට් එකකින් යුත් මේ මූණ පුරුදු පුද්ගලයා දෙස මම ඕනෑ කමෙන් බැලුවෙමි.
"කොහොමද කරූ , දැන් මං මෙහෙනෙ. අපිට එකතු වෙලා මොනවා හරි කරන්න පුළුවන් වෙයි. සුනන්දත් ඉන්නවනෙ."
ඒ මහගම සේකරයන්ගේ අතිශය හෘදයංගම ගැඹුරු කටහඬය. මා ඔහු හොඳින් හැඳින ගත්තේ මට ළං වූ පසුවය.මා එවේලේ ඔහුට අතට අත දී සුබ පැතුවේ අපමණ සතුටකිනි. ඒ වන විට මහගම සේකරයන් ගුවන්විදුලියේ නිබන්ධ සම්පාදක තනතුරට පත් වී වැඩි දවසක් ගතව නොතිබුණි. මහගම සේකරයන් මට වඩාත් සමීප වන්නට පටන් ගත්තේ ඔහු එසේ ගුවන්විදුලියේ නිබන්ධ සම්පාදක තනතුරට පත්ව ඒමෙන් අනතුරුවය. ඔහු ගුවන්විදුලියට බැඳීමත් සමගම ගුවන්විදුලි ගීත වංශයේ අලුත් යුගයක් උදා විණැයි යන්න අවිවාදයෙන් පිළිගත යුත්තකැයි සිතමි.
මහගම සේකරයන් මුලින්ම මෙරට පොදු රසිකයන්ගේ හදවත් තුළට පිවිසුණේ ඔහු විසින් බිහි කරන ලද කාව්‍ය , නාටක , නවකතා , කෙටිකතා හා චිත්‍රපට මගින් නොව මට සිලිටි මුදු වදනින් හා අපූරු අරුතින් ළකල් කොට ඔහු විසින් පබැඳුණු 'මධුවන්ති' ගීතාවලිය ඔස්සේය යනු මගේ කල්පනාවයි. මහගම සේකරයන්ගේ සහ අමරදේවයන්ගේ සුප්‍රණීත
සාහිත්‍ය -සංගීත රස සමවාය කරණ කොට ගෙන බිහිවුණු 'මධුවන්ති' නමැති ගුවන්විදුලි ගීත මංජරිය ගුවන්විදුලි ගීත වංශයේ යුග ස්මාරකයක් වැන්න!
මහගම සේකරයන්ගේ නිර්මාණ පරිශීලනය කොට ඇති කවරෙකුගෙන් හෝ මේ ප්‍රශ්නය අසන්න.
"මහගමසේකරයන්ගේ පළමු වන නවකතාව කුමක්ද?"
ඊට කෙළින්ම ලැබෙන පිළිතුර ඔබ නිසැකවම දන්නෙහිය 'තුංමංහන්දිය', 'තුංමංහන්දිය', 'තුංමංහන්දිය' යැයි පිළිතුරු සපයන්නා තුන් වරක්ම හඬ ගා කියනු නියතය. එහෙත් එය එසේ නොවන බව පසක් ලෙසම දන්නේ සේකරයන්ගේ පරම කුලුපග සමකාලීන මිතුරන් දෙදෙනෙකු පමණි. ඔවුහු දෙදෙනාම තවමත් ජීවතුන් අතරය. එක් අතකින් ඒ දෙදෙනාම තවම ජීවත් වීම වාසනාවකි. යම් හෙයකින් ඒ දෙදෙනාගෙන් එක් අයෙක් අනිකාට පෙර මිය පරලොව ගොස් සිටියේ නම් පුවතේ සත්‍යතාව සනාථ කිරීමට අවශ්‍ය සාක්ෂියක් නොමැති බැවින් එය සැකයට භාජනය වන තත්වයක් උද්ගත වීම කාට නම් වැළකිය හැකිද?
ඒ දෙදෙනාටම 'තුංමංහන්දිය' සේකරයන්ගේ පළමු නවකතාව නොවන්නේ ඇයි? සේකරයන්ගේ පළමු නවකතාව ඔහුගේ කටින්ම හඬ නගා කියවනු රෑ එළි වෙන තුරුම අසා සිටියේ ඔවුන් දෙදෙනාම මිස අන් කිසිවෙක් නොවූ බැවිනි. මගේ සන්මිත්‍ර සුනන්ද මහේන්ද්‍රයෝ ඒ දෙදෙනාගෙන් එකෙකි. අනෙකා අස්මත්හුමය.
එකල සේකරයෝ අවිවාහකයෙකි. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ රාජකාරියෙන් සමු ගත් සේකරයන් ගුවන් විදුලියේ සේවයට පැමිණියේ 1960 අවුරුද්දේය. 'සක්වා ළිහිණි' නමින් ඔහුගේ පළමු වැනි කාව්‍ය සංග්‍රහය 1962 පළ වූයේ ඔහු ගුවන් විදුලියේ 'නිබන්ධ සම්පාදක' තනතුර දරන කාලයේය.
එකල සුනන්ද මහේන්ද්‍රයෝ සහ මම නිතර නිතර නානාවිධ ගුවන් විදුලි වැඩසටහන්වලට එකට මෙන්ම වෙන් වෙන්වද සහභාගි වන්නෝ වීමු. ඒ ගිය හැම වාරයකම වාගේ නොවරදවාම මහගම සේකරයන්ගේ මේසය ළඟට ගොස් ඔහු සමග අල්ලාප සල්ලාපයේ පසුවීම අප දෙදෙනාගේම අනිවාර්ය චර්යාවක් විය. සුනන්දයන් මගින්ම පළමුව දැන හැඳින ගත් සේකරයන් පසුව සුනන්දයන් සමග මෙන්ම මා සමගද අතිශයින් කුලුපග වීම ඊට හේතු විය. මෙසේ සේකරයන් හමුවී කතා බහෙන් පසු වූ එක් දවසක ඔහු අප දෙදෙනාට මෙසේ යෝජනාවක් කළේය.
"මේ සති අන්තෙ සුනන්දටයි කරූටයි බැරිද අපේ ගමේ එන්න. අපේ මහගෙදර රැයක් ගත කරන්න. මං නවකතාවක් ලිව්ව. මට ඕනැ ඒක ඔය දෙන්නට කියවන්න. කොහොම ලියවිලාද දන්නෙ නෑනෙ."
සේකරයන්ගේ ඉල්ලීමට එකඟ වූ අප ඒ සති අන්තයේ රදාවානට ගියේ බසයෙනි. සුනන්දයනුත් මාත් රදාවානේ සේකරයන්ගේ මහගෙදරට ළඟා වන විට ඉර අවරට යමින් තිබුණි.
එදා රෑ නාලිකේර මධු මද මුුදිතව බත් කෑ අපි ඉස්තෝප්පුවේ පැදුරු එලා ගත්තෙමු. ඒ සේකරයන්ගේ අම්මා අතින්ම රටා දමා වියූ පන් පැදුරුය. සේකරයෝ චිමිනි ලාම්පුවක් රැගෙන විත් ඉස්තෝප්පුවේ කොට තාප්පය උඩ තැබූහ. අනතුරුව ඊට ළං කොට ගත් ඇඳි පුටුවක දෙකකුල් උඩට ගෙන වාඩිවූ සේකරයන් තම ඔඩොක්කුවේ තබාගත් නවකතා අත්පිටපත කියවන්නට පටන් ගත්තේ සිගරැට්ටුවක්ද දල්වා ගනිමිනි. රදාවානේ සේකරයන්ගේ මහගෙදර පලේ බාපු ඉස්තෝප්පුවේ බිම පැදුරුවල දිග ඇදීගත් අපි දෙදෙන ගන අඳුර මඳ අඳුරට හැරවූ චිමිනි ලාම්පු එළියෙන් එදා ඔහු තම පළමු නවකතාව කියවද්දී රෑ බෝ වන තුරු ආසාවෙන් හා පිබිදුණු සිතින් ඊට සවන් දී සිටියෙමු.
එය රමණීය ප්‍රේම වෘත්තාන්තයකි. සේකරයන් අතින් එය ලියැවී තිබුණේ අතිශය හෘදයංගම කාව්‍යමය බස් වහරකිනි. සම්භාව්‍ය සාහිත්‍ය සිංහලයේ වාග් ලාවණ්‍යයෙන් සහ ධ්වනිමාධූර්යයෙන් මහගමසේකරයන් ලත් තීව්‍ර ආස්වාද පරිචයේ විපුල ඵලයක් ලෙස එය හැඳින්විය හැකිය. එම නවකතාව හුදු ප්‍රේම කතාවක්ම නොවේ. එය වූකලී නේත්‍රාභිරාම නර්තන ශිල්පිනියකගේ සහ මඳ මුදු නලිනිදු සැලෙන වීණා තතක් වන් හදවතක් ඇති කවියෙකුගේ භාවමය ජීවිතය ආත්ම කොට ගත් සංකීර්ණ චෛතසික සංඝට්ටනයක් සෞන්දර්යාත්මක නිර්මාණයකට හැරවීමේ කලාත්මක තැතක් වැන්න. එම නවකතාව මහත් වූ ප්‍රසාදයෙන් අගය කළ අපි දෙදෙනාම එය පළ කරන්නැයි සේකරයන්ට අනුබල දුන්නෙමු.
පසු දා උදේ සුනන්දයන් සහ මා සේකරයන්ගෙන් සමු ගෙන
රදාවානේ මහ ගෙදරින් පිට වුණේ
සේකරයන්ගේ අම්මා පිළියෙල කර දුන් පාතරාසයද අනුභව කොටය.
එදා අප දෙදෙන සේකරයන්ගේ මහගෙදර වත්තෙන් තාර පාරට
පැමිණ බස් නැවතුම්පළට වී කොළඹ බසය එන තුරු බලා සිටියදී එක් වරම සුනන්දයන්ගේ කටින් පිට වුණේ මේ වදන්ය.
"කරූ , සේකරගෙ නවකතාව අපූරුවට ලියවිලා තියෙනවා නේද? මම ආසාවෙන් අහගෙන හිටිය. අපි හොඳට දන්න චරිතනෙ ඒ නවකතාව ඇතුළෙ ඉන්නෙ! කතානායිකාව නං මට පණ පිටින් පෙනුණ. හැබැයි සේකර ඔය නවකතාව පළ කරයිද කියන එක ප්‍රශ්නයක් කරූ!"
"මටත් ප්‍රශ්නයක්!
මගේ හිතේ මැවුණේද හුරු පුරුදු කතා නායිකාව අප ඉදිරියේ නැඟී සිට ඇස දල්වා හස නංවා අප දෙස බලා සිටින්නා සේය. ඕ අප අවට ඒමේ අත සැරි සරන්නා සේය. දුර්ලභ ප්‍රතිභාවකින් ප්‍රභාවිත සේකරයන් අප්‍රමාණ ප්‍රේමයෙන් ප්‍රමුදිතව ස්නිග්ධ ස්නේහාර්ද්‍ර වචන වර්ණ කොට ගෙන චිත්‍රණය කළ පරම රමණීය ප්‍රණයිනියගේ මනෝ රූපය එතරම්ම ජීවමානය. එදා සුනන්දයනුත් මාත් අනුමාන කළ සේම සේකරයෝ ඔහුගේ ඒ පළමු නවකතාව කිසි දා පළ නොකළහ.
ඒ මා 07 වන දසකයේ පමණ
'අද ලියැවෙන කවි' නමැති ගුවන්විදුලි වැඩසටහන සම්පාදනය කොට ඉදිරිපත් කරමින් හුන් කාලයයි. එකල මහගම සේකරයෝද ගුවන්විදුලි ශාස්ත්‍රීය සංග්‍රහය ඔස්සේ 'කල්පනා' නමින් සාහිත්‍ය කලා සංග්‍රහයක් ඉදිරිපත් කළෝය. ඒ ඔහු අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞන්දර්ය ඒකකයේ ප්‍රධාන අධ්‍යාපන නිලධාරි තනතුර හෙබවූ සමයයි..
දිනක් මා මගේ වැඩසටහන පටිගත කිරීමට ගුවන්විදුලි සංස්ථාවට ගොස් සිටියදී 'කල්පනා' වැඩසටහන පටිගත කිරීම සඳහා පැමිණි මහගම සේකරයෝ ගුවන්විදුලි කොරිඩෝවේ සිටි මා දැක ළඟට ආහ. 10 වන මැදිරිය අසල නැවතී අප දෙදෙනා කතාබස් කරමින් සිටින අතර හදිසියේ කතාව මගදී නැවතූ සේකරයන් එක් වරම යමක් මතක් වූ කලක මෙන් පැවසූ බස් මෙසේය.
"කරූ හොඳ අනාගතයක් තියෙන හාදයෙක් ඉන්නව නන්ද රත්නපාල විජේසිංහ කියල. මිනිහා ලියන කවි මට නිතර එවනව අඩුපාඩු අහල.
මං ඒව මිනිහට දන්නල අරිනව. මං මිනිහගෙ ඇඩ්රස් එක කන්තෝරුවෙ ගෙනල්ල තියන්නං. වෙලාවක අමාත්‍යාංශයට එන්න. මිනිහට ලියල කවි ගෙන්න ගෙන බලල ඔයාගෙ වැඩසටහනින් ප්‍රචාරය කරල මිනිහට ඉදිරියට යන්න උදවු කරන්න."
සේකරයන්ගෙන් මට ලැබුණු ලිපිනය මෙසේයි.
"නන්ද රත්නපාල විජේසිංහ,
'සිතාරා'
හිවල මළහේන,
තෙල්ලඹුර,
නාකියා දෙණිය.
මම ඔහුට වහා තැපැල්පතක් යැවීමි. මේ අංකුර කවියාගෙන් 1975/02/03 දිනය සඳහන් පිළිතුරු ලිපියක් හැරෙන තැපෑලෙන් මට ලැබුණේ කාව්‍ය රචනා කීපයකුත් සමගය. ඔහු එකල විද්‍යා අංශයෙන් උසස් පෙළ සමත්ව විශ්වවිද්‍යාලයට පිවිසීමේ අපේක්ෂාවෙන් සිටි විසි වියේ ශිෂ්‍යයෙකි. ඔහුගේ උපනිශ්‍රය දුටු මම ඔහු විසින් එවන ලද හොඳ කාව්‍ය රචනා මගේ 'අද ලියැවෙන කවි' වැඩසටහන මගින් නොනවතා ඉදිරිපත් කළෙමි.
නන්ද රත්තපාල විජේසිංහ නමැති මේ අංකුර කවියා 1975 / 07/ 29 වන දින සහිතව මට එවූ ලිපියෙන් දන්වා තිබුණේ තමාට විද්‍යා / ගණිත ගුරු පත්වීමක් ලැබුණු බව පමණක් නොවේ. ඔහුගේ නමද වෙනස් කළ බවය. ඉන් පසු මා මගේ 'අද ලියැවෙන කවි' ගුවන්විදුලි වැඩසටහනින් ඉදිරිපත් කළේ රත්න ශ්‍රී විජේසිංහ නමැති අංකුර කවියාගේ රචනාය. ඔහු වනාහි මෙකල ජනප්‍රිය ගීත රචකයෙකු ලෙස ප්‍රකටව සිටින රත්න ශ්‍රී විජේසිංහයන් මිස අන් කිසිවෙක් නොවේ.
මහගම සේකරයන්ගේ ඇරයුම පරිදි ඔහු හමුවී නන්ද රත්නපාල විජේසිංහ නමැති අංකුර කවියාගේ ලිපිනය ඉල්ලා ගැනීමට මා එදා කොම්පඤ්ඤවීදියේ මැලේ වීදියේ අධ්‍යාපන අමාත්‍යාංශයට ගියද මගේ බලාපොරොත්තු සුන් වුණි. මක්නිසාද යත් එය ඔහු කන්තෝරුවට ගෙනැවිත් නොතිබුණු හෙයිනි. ඒ ගැන එවේලේ මා හට කනගාටුව පළ කළ සේකරයෝ මෙසේ තම රිසි දැක්වූහ.
"කරූ , අද යං අපි ගම්පහ අපේ ගෙදර. එහෙදි අර හාදයගෙ ඇඩ්‍රස් එකත් ගන්න පුළුවන්. කාලෙකින් අපිට හම්බ වෙලා නිදහසේ කතා කරන්නත් බැරි වුණානෙ. අනිත් එක මං 'රිද්මය' ගැන ලියාපු පොත මේ දවස්වල සකස් කර ගෙන යනව. ඒකත් ටිකක් කියවන්න ආසයි."
"දැන් සේකර වැඩක් නේද? මං ඇවිල්ල බාධා කෙරුවනෙ!"
"මං මේ මහවැලිය ගැන සිංදුවක් ලිය ලිය ඉන්නෙ. මේ ප්‍රචාරක සින්දු ලියන එක කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. මතකනෙ වගා සංග්‍රාමය ගැන සින්දු ලිවිල්ල. මේව ලියන්න පුළුවන් මිනිස්සුත් ඉන්නව. ජන රජය වර්ණනා කරලා සින්දුවක් ලියන්න කිව්වහම ව්‍යවස්ථාවට තනුවක් දාලා සින්දුවක් හදන්න කියලා.මං කිව්වේ ඒකයි"
එදා හවස රාජකාරි නිම වීමෙන් පසු සේකරත් මමත් කොටුව දුම්රිය පොළට ගොස් කෝච්චියෙන් ගම්පහ බලා පිටත් වීමු. ගම්පහ දුම්රිය පොළෙන් බැස්ස පසු සේකරයන් මාද කැටුව කෙළින්ම ගියේ මදිරා මැදුරකටය. එයින් ගත් වස්තුව පැසෙයි ලා ගත් සේකරයනුත් මාත් ඔහු එකල පදිංචි වී සිටී ශ්‍රී බෝධි පාරේ නිවසට ළඟා වන විට කළුවර වැටෙමින් තිබුණි.
ඔහු ගෙට ගොස් ඇඳුම් මාරු කොට එන තුරු මම ගෙමිදුලේ සක්මන් කරමින් උන්නෙමි. සරමක් හැඳ බුෂ් ෂර්ටයක් උඩින් දා ගෙන ඉස්තෝප්පුවට ආ සේකරයන් ගෙතුළින් ගෙනැවිත් තැබූ පුටුවෙහි මම හිඳ ගත්තෙමි. අත්පිටු කීපයක්ද ගෙන ඉස්තෝප්පුවේ කොට තාප්පය මත වාඩි වුණු ඔහු බිත්තියට පිට දී දෙපා දිගු කර ගති.මඳ මඳ මධු රසද විඳ විඳ අපි දෙදෙන පිළිසඳර ඇරඹීමු. ඒ වන විට නිවස අවට අඳුර ඝන වෙයි. කළුවරේ අඬන පළඟැටියන්ගේ රැවු මෙන්ම අන් නන් සතුන්ගේ හඬද කෙමෙන් කෙමෙන් නැගී එයි.
රිද්මය අරබයා තමා ලියමින් සිටි නිබන්ධය ගැන නොයෙක් විස්තර මා සමග පැවසූ සේකරයෝ එයින් ඇතැම් කොටසක් දෙකක් කියවා මගේ අදහස්ද විමසුවෝය. රිද්මය විෂය කර ගෙන නිබන්ධයක් රචනා කිරීමට තමා තුළ සිතිවිල්ලක් පහළ වූ හැටි සේකරයෝ එවේලේ මා සමග පැවසූහ.
"කරූ දන්නවද රිද්මය ගැන නිබන්ධයක් ලියන්න මට හිතුණෙ කොහොමද කියල. මම බොහෝම ආසාවෙන් කියවපු පොතක් තමයි ආනන්ද කුමාරස්වාමිගෙ The dance of Shiva. ඒ පොතේ තියෙන The dance of Shiva කියන නිබන්ධය තමයි රිද්මය ගැන නිබන්ධයක් ලියන්න මගේ කල්පනාව පුබුදු කළේ. ආනන්ද කුමාරස්වාමි ඒ
නිබන්ධයෙන් විචිත්‍ර විධියට වර්ණනා කරන්නෙ ශිව තාණ්ඩව නෘත්‍යයයි. එයාගෙ මතයෙන් පෙන්නන්නෙ ශිව දෙවියන් තමා වාසය කරන කෛලාස කූටය පිට නටන නැටුම මුළු විශ්වයේම චලන රිද්මය ධ්වනිත කරන විශ්ව නෘත්‍යයක් හැටියටයි."
එසේ පැවසූ සේකරයෝ එක් වරම කතාව නවතා මඳ වේලාවක් නිහඬව කල්පනාවේ නිමග්නව සිටියහ. ඉන් පසු යළිත් කතාව ඇරඹූහ.
"කරූ , අතේ නාඩිවලට ඇඟිලි තියා ගන්න. නාඩි වැටෙනව දැනෙනව නේද? දැන් අහගෙන ඉන්න අර පළගැටියන්ගෙ හඬ. එකම රිද්මයක් නේද තියෙන්නෙ? කාගෙ හරි පපුවට කන තියල හද ගැස්ම අහගෙන ඉන්න ගමන් ඒ හඬත් එක්ක පිටින් ඇහෙන එක එක සත්තුන්ගෙ හඬවල් එකට අහගෙන ඉන්න. එකම රිද්මයක් දැනෙන්නෙ. මං ඒක අත්හදා බලල තියෙනව. මට ඒ වෙලාවට හිතෙනව.ආනන්ද කුමාරස්වාමි කොච්චර හරිද කියල. මේ විශ්වයේ හැම වස්තුවක්ම චලනය වෙන්නෙ එකම රිද්මයකටය කියන මතය නිසා මිනිසා , සතා , ගහ කොළ , ඇළ දොළ , ගංගා සේරම එකම ස්වාභාවික උරුමයක කොටස් කාරයන් කියන හැඟීම අපේ හිත්වල තහවුරු වෙනව. අන්‍යෝන්‍ය වශයෙන් ඒ සේරම අතරේ පවතින ඥාති සම්බන්ධය දන්වන සංඥාව තමයි රිද්මය. මුළු විශ්වයම එකම හදවතක්. ඒ හදවතේ රිද්මය තමයි අපි කාගෙත් පැවැත්මේ රිද්මය. ගද්‍යයේ රිද්‍මයට පද්‍යයේ රිද්මයට නර්තනයේ රිද්මයට චිත්‍රයේ රිද්මයට සංගීතයේ රිද්මයට ආත්මය වෙන්නෙ අර විශ්ව හදවතේ රිද්මය මිසක් වෙන මොකක්ද ? "
රිද්මය අරබයා එදා සේකරයන් තම නිවසේ ඉස්තෝප්පුවේ කොට තාප්පය උඩ හිඳගෙන කළ දාර්ශනික විවරණය අසා සිටි මට කාලය ගෙවී යනවා බිඳකුදු නොහැඟුණි. මධුවද සිඳී යනු නොදැනුණි. වේලාව රාත්‍රී 10 ට ආසන්න බව ගෙට ගොස් පැමිණි සේකරයෝ පැවැසූහ. ගම්පහ සිට කිරිබත්ගොඩට එන ගමන ගැන මගේ සිහියට නැඟුණේ එවිටය.
ගම්පහ සිට යක්කලට එන අන්තිම බසය අල්ලාගත හැකි යැයි කී සේකරයෝ මා ගම්පහ යක්කල පාරට ඇරලනු පිණිස තම මොරිස් මයිනර් රිය පණ ගැන්වූහ. මා එහි නැඟුණු පසු සේකරයන්ගේ බිරිය කුසුමලතාද ඊට ගොඩ වුණාය. ගම්පහ යක්කල පාරට පැමිණ කාරය පාර අයිනේ නැවතූ සේකරයෝ මා සමගම බස් නැවතුම්වලට ආහ. කුසුමලතාවෝ කාරයේ වාඩිවී සිටියෝය. බසය එන තුරු ඔහු බස් නැවතුම් පොළේ සිට ගෙන මා සමග නොයෙක් දේ කතා කළේය.
ගම්පහ යක්කල අන්තිම බසය එනතෙක් එදා රෑ බොහෝ වේලා බස් නැවතුම් පොළේ බලා සිටියද එය නොආවේය. සේකරයෝ කුසුමලතාවන්ද සමග තම රියෙන් මා යක්කලට ඇරලුවෝය. මා කොළඹ බස් නැවතුම් පළෙහි බස්සා කාරය හරවා ගෙන ආපසු ගම්පහ බලා යද්දී පාරේ එහා පැත්තේ එය නැවතූ ඔහු තම අත වනා මගෙන් සමුගත් හැටි මට මේ දැන් පෙනෙන්නා සේය. ඒ අප දෙදෙනා හමු වූ අවසාන දවසය.
"අපාර වූ ආකාසේ
වලා සිඳුණු බොල් එළියේ
ඔබේ දෑස නිවී දිලී
නිසොල්මනේ බලා හිඳී"

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd