
ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු මෙන්ම වර්තමානයේ පොදු ජන එක්සත් පෙරමුණ නියෝජනය කරන එම ප්‍රාදේශීය සභාවේම මන්ත්‍රීවරයකු වන ජගත් සමන්ත පෙරේරාට වසර පහ හමාරක කාලයකට බරපතළ වැඩ සහිතව සිරදඬුවම් නියම කෙරිණ.
රාජ්‍ය නිලධාරියකුගේ රාජකාරියට බාධා කරමින් අඩන්තේට්ටම් කිරීම ඔහුට තිබූ චෝදනාවයි. සිරදඬුවමට අමතරව රුපියල් ලක්ෂ දහයක වන්දියක් මෙන්ම රුපියල් තිස් දහසක දඩ මුදලක් ද නියම කරනු ලැබුවේ හලාවත පූරෝගාමී මහාධිකරණ විනිසුරු නයෝමි තමරා වික්‍රමසේකර විසිනි.
මෙසේ සිර දඬුවම් නියම වූයේ එසේ මෙසේ කෙනෙකුට නොව ශ්‍රී ලංකා පොදු ජන එක්සත් පෙරමුණේ හිටපු ඇමතිවරයකු වූ අභාවප්‍රාප්ත සනත් නිශාන්ත පෙරේරාගේ වැඩිමල් සොහොයුරාටය.
නඩුවේ පළමු චූදිතයා වූ හිටපු ඇමති සනත් නිශාන්ත පෙරේරාට එරෙහිවද ඉහත චෝදනා අනුව අධිකරණයේ නඩුව විභාග වුවත් ඔහු හදිසි අනතුරකට ලක්වී අභාවප්‍රාප්ත වීම නිසා දෙවැනි විත්තිකරුට එරෙහිව මහාධිකරණයේ නඩුව විභාග විය.
එවකට ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් වරයාව සිටි මේ වන විට විශ්‍රාම ලබා සිටින ධනසේන සූරසිංහ ප්‍රධාන නිලධාරීන් කණ්ඩායමක් එම ප්‍රදේශයේ විහාරස්ථානයක අනවසරයෙන් කපා ඉරා තිබූ ලෑලි තොගයක් තම භාරයට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට ගිය අවස්ථාවේ මේ පහර දීම සිදු විය.
නීතියට කනේ පහරක්
දේශපාලකයන් මෙම කනේ පහර ගැසුවේ ප්‍රාදේශීය ලේකම්වරයාට නොව නීතියේ දෙවඟනට යැයි කිව්වොත් එය වඩාත් නිවැරදිය.
සූරසිංහ මහතා මේ වනවිට පදිංචිව සිටින්නේ නාත්තණ්ඩිය වැලිපැන්නගහමුල්ල ප්‍රදේශයේය.දේශපාලඥයන් වන සහෝදරයන් දෙදෙනකුගේ අඩන්තේට්ටම්වලට ලක්වූ සූරසිංහ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු දක්වා ආ ගමන අතිශය කටුක එකක් විය.
ගොවිතැන් කිරීමෙන් සහ ගොන් බැඳි කරත්තයකින් කුලී වැඩ කර දුක් මහන්සියෙන් හම්බ කරගත් දෙයින් දරුවන් නව දෙනකුගේ කුස පිරවූ සූරසිංහගේ පියා අරනෝලිස් සිංෙඤා් හදිසියේ රෝගාතුරව මිය යෑමෙන් පසු එම දරුවන් නව දෙනා ජීවත් කර අධ්‍යාපනයක් ලබාදීමේ මහා වගකීම දෙඋර මතට ගත්තේ ඔවුන්ගේ මව වන මේරි නෝනාය.
පරිපාලන සේවයේ ඉහළ තනතුරුවලට පසුකාලීනව පත්වුවත් ධනසේන සූරසිංහ එදා සිටි ගැමියාම විය. උසස් තනතුරු දරන වකවානුවේ පවා ඔහු උයන පිහන කටයුතුවලට දර පලා දීම හා පොල්ගෑම ආදියෙන්ද බිරිඳට සහාය වෙමින් ගෙදර දොරේ සෑම වැඩපළක්ම නිවාඩු අවස්ථාවලදී කළේ ඔහු ගැමිකම අමතක කර දමා නොතිබූ නිසාය.
ඔහු කවදාවත් නිලතලවලින් හිස උදුම්මා ගෙන සිටියේ නැත.
මේ වන වන විට විශ්‍රාම ලබා ජීවිතයේ සැඳෑ සමය ගෙවා දමමින් සිටින ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සූරයෙකි.
“මම ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ හලාවත අධ්‍යාපන කොට්ඨාසයට අයත් අතුවන සේනානායක රජයේ විද්‍යාලයෙන්.උසස් පෙළ බිංගිරිය සරණංකර මහා විද්‍යාලයෙන් හැදෑරුවා. මුලින්ම මීගමුව මහ නගර සභාවේ ලිපිකරුවකු වශයෙන් 1970 වසරේ පත්වීමක් ලැබුවා.ඊට පස්සේ නාත්තන්ඩිය, යටකලන් පත්තුව ගම් සභාවේ සහ මාදම්පේ ගම් සභා කාර්යාලයේ ද රැකියාව කළා. මගේ ජීවිතය ආරම්භ කළේ පොඩිම තැනක ඉඳලා.”
ගැමි උරුමය
ධනසේන සූරසිංහ අතීතය සිහිපත් කළේය.ඔහුගේ දිවිසැරිය අසා සිටීම ප්‍රියජනකය.
“මගේ තාත්තා ගොවියෙක්. තාත්තාට ගොන් කරත්තයක් තිබුණා. තාත්තා ඒ කරත්තයෙන් කුලී වැඩ කළා.මට සහෝදර සහෝදරියන් නව දෙනකු සිටියා. මම පවුලේ අටවෙනියා. මම හයවෙනි පන්තියේ ඉගෙන ගන්නා කාලයේ තාත්තා රෝගාතුරුව මියගියා .ඒ වෙනකොට අපි පදිංචිව සිටියේ අතුවන හේන් යාය කියන ගම්මානයේ. තාත්තා මියගියාට පස්සේ අම්මා තමයි පවුල් බර කරට ගත්තේ. අම්මා ගමේ තැන් තැන්වල ඇවිදලා දෙල් ගෙඩි, කොස් ගෙඩි, කෙසෙල් කැන් සහ කරපිංචා වගේ දේවල් එකතු කරගෙන හලාවත මාකට් එකට අරගෙන ගිහින් විකුණලා තමයි අප ජීවත් කළේ .අපිට ඉගැන්නුවේ.අම්මා අපි වෙනුවෙන් නොවිඳිනා දුක් වින්දා. අම්මා එකතු කරගෙන විකුණන්න යන දේවල් ගෝනිවල දමාගෙන මමත් උස්සාගෙන ගිහින් බස් එකට පටවලා අම්මාට උදව් කර තිබෙනවා .
1969 වසරේ මම උසස් පෙළ කරලා ගෙදර ඉන්න අතරවාරයේ ජනතා විමුක්ති පෙරමුණේ පන්ති පහටද සහභාගි වුණා. ඊට පස්සේ රට ජාතිය ගැන ලොකු ඇල්මක්, ආදරයක් ඇතිවුණා. එම පන්ති පහ මගේ ඉතිරි රාජකාරි ජීවිතය හැඩගස්වා ගැනීමට මහෝපකාරී වුණා. පසුකාලීනව මම ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයට බැඳුණා. පරිපාලන සේවයට එක්වීමත් සමඟම මම දේශපාලන කටයුතුවලින් ඉවත් වුණා.
1970 වසරේදී මට මීගමුව මහ නගර සභාවේ ලිපිකරු පත්වීමක් ලැබුණා. වසර පහක් එහි රාජකාරි කළා. ඊට පස්සේ නාත්තන්ඩිය යටකලන් පත්තු ගම් සභාවේ ද ඊට පසුව මාදම්පේ ගම්සභා කාර්යාලයේ ද රැකියාව කළා.
දේශපාලන පළිගැනීම්
කොළඹ මහ නගර සභාවේ වසර දහයක් පරිපාලන සේවයේ නිලධාරියකු ලෙස රාජකාරි කළා. ඒ අතරවාරයේ එංගලන්තයට යන්න ශිෂ්‍යත්වයක් ලැබුණා. වසරක පමණ කාලයක් මම එංගලන්තයේ මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයෙන් පළාත් පාලන පරිපාලන ඩිප්ලෝමාවක් හැදෑරුවා.
සූරසිංහ මහතා ප්‍රාදේශීය ලේකම්වරයකු වශයෙන් මුල්ම පත්වීම ලබා පැමිණියේ හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටය. ඒ 1998 වසරේය.
හලාවත ප්‍රාදේශීය ලේකම් වශයෙන් කටයුතු කරමින් සිටියදී ඔහුට ස්ථාන මාරුවක් ලැබිණ.
“එවකට පැවති රජයේ දේශපාලඥයකුගේ මැදිහත්වීම මත මා අනුරාධපුර, හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම්වරයා වශයෙන් මාරු කර යැව්වා. දේශපාලන පළිගැනීම් කමිටුවට පැමිණිලි කළා. එම කමිටුව විමර්ශනයක් සිදුකර දේශපාලන පළිගැනීමකට ලක්කර මාව ස්ථාන මාරු වීම් කර යවා තිබෙන බව තීන්දු කළා. ඒ අනුව මගේ ස්ථාන මාරුව අවලංගු කළා.”
“එවකට පැවති රජයේ දේශපාලඥයකුගේ මැදිහත්වීම මත මා අනුරාධපුර, හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම්වරයා වශයෙන් මාරු කර යැව්වා. දේශපාලන පළිගැනීම් කමිටුවට පැමිණිලි කළා. එම කමිටුව විමර්ශනයක් සිදුකර දේශපාලන පළිගැනීමකට ලක්කර මාව ස්ථාන මාරු වීම් කර යවා තිබෙන බව තීන්දු කළා. ඒ අනුව මගේ ස්ථාන මාරුව අවලංගු කළා.”
පසුකාලීනව ඔහු නවගත්තේගම ප්‍රාදේශීය ලේකම්වරයා වශයෙන් වැඩ භාර ගත්තේය. එහි රාජකාරි කළ වකවානුවේ ද එවකට ආනමඩුව ප්‍රදේශයේ සිටි ඇමතිවරයකුගෙන් සහ එම ප්‍රදේශයේ සිටි වයඹ පළාත් සභාවේ මන්ත්‍රීවරයකුගෙන්ද සූරසිංහ වෙත නිතර තර්ජන එල්ල වී ඇත.
විශ්‍රාමික ප්‍රාදේශීය ලේකම්වරයා ඒ හා සම්බන්ධයෙන් තොරතුරු හෙළි කළේ මේ අන්දමිනි.
“දවසක් සම්බන්ධීකරණ රැස්වීමකට ඇමතිවරයාද පැමිණ සිටියා. ඔහු නියෝජනය කළ පක්ෂයේම ප්‍රාදේශීය සභා සභාපතිවරයාද ඊට සහභාගී වුණා. මම ස්තූති කතාව ප්‍රාදේශීය සභා සභාපතිවරයාට දුන්නා. ඔහුට ස්තුති කතාව දුන්නැයි කියා ඇමතිවරයා මා එක්ක තදබල විදිහට වෛර බැඳගත්තා. නොයෙකුත් කෙනෙහිලිකම් කළා. මම මේ කිසිවකගෙන් නොසැළී මගේ රාජකාරිය අවංකව, නීතිගරුකව සිදු කරගෙන ගියා. මම පස්සේ කාලෙක තමයි දැනගත්තේ එකම පක්ෂයක් නියෝජනය කළත් මේ දෙන්නා අතර විරසකයක් තිබුණා කියා. ඊට පස්සේ ප්‍රාදේශීය සභා සභාපතිවරයාද මාත් සමග අමනාප වුණා. සභාපතිවරයා නීතියට පටහැණි ක්‍රියා සිදුකිරීමට යෝජනා කළත් මම ඒවාට එකහෙළා අකමැති වූ නිසා තමයි ඔහු මාත් එක්ක අමනාප වුණේ.
නැති බැරි අයගේ නිවසටම ගොස් සේවය කිරීම
“මම ප්‍රාදේශීය ලේකම්වරයකු වශයෙන් සේවය කරන කාලය පුරා අවංකව නීතිගරුකව රාජකාරිය කළා. නැති බැරි දුප්පත් අයට හැකි පමණ උදව් උපකාර කළා. වංචාවට දූෂණයට සම්බන්ධ වූ නිලධාරීන් සහ නිලධාරිනියන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්න මම කිසි සේත් පසුබට වුණේ නැහැ.
රජයෙන් ආධාර ලබන, එහෙත් රෝගී තත්ත්වයෙන් පසු වන නිසා යන්න එන්න බැරි අයගේ නිවෙස්වලටම ගොස් එම ආධාර ලබා දීමද සිදු කරගෙනගියා.ඒ වගේම දුප්පත් අසරණ ජනතාව වෙනුවෙන් හැකි උපරිම අයුරින් දිවා රෑ නොබලා කැපවී කටයුතු කළා. ඒ ගැන මට අදටත් ඇත්තේ ලොකු ආත්ම තෘප්තියක්.
නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩිපුරම සිටියේ හරිම අහිංසක දුප්පත් මිනිස්සු. ඒ අයගේ වාසකම් වර්තමාන සමාජයට කොහෙත්ම ගැළපෙන්නේ නැති බව මට තේරුම් ගියා. ඒ නිසා එවැනි වාසකම් සහ නම් තිබෙන අයගේ සම්පූර්ණ කැමැත්ත ඇතිව ඒ වාසගම් සහ නම් වෙනස් කර දුන්නා. විශාල පිරිසකගේ නම් සහ වාසගම් මේ විදිහට මම වෙනස් කිරීමට කටයුතු කර තිබෙනවා.
සුප්‍රසිද්ධ සාහිත්‍යකරුවකු වූ සයිමන් නවගත්තේගමගේ ආතාද නවගත්තේගම උපත ලැබූ කෙනෙක්.සයිමන් යන නමට ඉදිරියෙන් ඔහු ගමේ නම ද පසුකාලීනව එකතු කරගෙන තිබෙනවා. නවගත්තේගම ගමේ හිටපු සමහර උදවිය සයිමන් කියන නමට ගමේ නම යොදා ගැනීම ගැන විරෝධය පළ කර තිබෙන බව මට තොරතුරු ලැබුණා. මීට විරෝධය පළ කරමින් පුත්තලම කච්චේරියට ගොස් දිසාපතිවරයාද හමුවී නවගත්තේගම යන කොටස සයිමන්ගේ නමින් ඉවත් කිරීමට මැදිහත් වෙන ලෙස එම පිරිස ඉල්ලීමක් කර තිබුණු බවත් මට වැඩිදුරටත් දැන ගැනීමට ලැබුණා.”
“මම වැඩබාර ගන්න එනවිට නවගත්තේගම ප්‍රාදේශීය ලේකම්වරයා වශයෙන් කටයුතු කළ (ඔහුගේ නම කියයි) මහත්තයා ඔහුගේ නිල නිවස තුළ වැලි පිරවූ බෝතල් සැලකිය යුතු ප්‍රමාණයක් සඟවා ගෙන සිටින බව මාත් එක්ක පැවසුවා. මම ඒ ඇයිද කියා විමසුවා. ඇමතිතුමාගෙන් සහ ඔහුගේ ගෝලයන්ගෙන් මට තර්ජන තියෙනවා. ඒ වෙන කිසිවක් නිසා නොවේ ඔහු කරන අනීතික ක්‍රියා මම සිදු නොකරන නිසා. කොයි වෙලාවෙ හරි ඇමතිවරයාගේ ගෝල බාලයන් මට පහර දෙන්න ආවොත් මේ වැලි බෝතල්වලින් ගහන්න තමයි මම ඒවා සූදානම් කරගෙන සිටියේ.ඔහු මා සමග පැවසුවා.”
ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයා වශයෙන් සිටියදී අඩන්තේට්ටම්වලට ලක් වූ සූරසිංහ මහතා තවදුරටත් එහි සේවය කිරීමට නොහැකි නිසා ස්ථාන මාරුවක් ඉල්ලා සිටි අතර ස්ථාන මාරුවීම ලැබුණේ පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යාංශය වෙතය.
එහි ජ්‍යෙෂ්ඨ ලේකම්වරයකු වශයෙන්ද අතිරේක ලේකම්වරයෙකු වශයෙන්ද සේවය කළ ඔහු විශ්‍රාම ලැබුවේ 2011 වසරේදීය.
“ආරච්චිකට්ටුව ප්‍රදේශයේදී මට කම්මුලට ගැසීම සම්බන්ධයෙන් හලාවත එවකට සමථ මූල මණ්ඩලයේ සභාපතිවරයා දුරකථනයෙන් කතා කරලා ඇමතිතුමා සමථයකට ඒමට කැමති නිසා සමථ මණ්ඩලයෙන් මෙය බේරුමක් කර ගනිමු යැයි යෝජනා කළා. මෙය අපරාධමය කරුණක් නිසා සමථ මණ්ඩලය මගින් සමථයකට පත්විය හැකි දෙයක් නොවන බව මම කරුණු පැහැදිලි කළා. ඊට පස්සේ ඒ සභාපතිවරයා මට කතා කරන්න ආවේ නැහැ. මම ජීවතුන් අතර සිටියදීම මට සිදුවුණු කරදරය ගැන නඩු තීන්දුව ගැන ඇසීමට ලැබීම ගැන සතුටු වෙනවා.”
විශ්‍රාමික සුවයෙන් පසු වන සූරසිංහගේ බිරිඳ මාලනී තමරා නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ ගුරුවරියක ලෙස සේවය කර විශ්‍රාම ලැබූ අතර මීට වසර දෙකකට පමණ ඉහතදී ඇය මිය ගියාය.
ඔවුන්ගේ පුතුන් දෙදෙනාගෙන් එක් අයකු රාජ්‍ය බැංකුවකද අනෙක් පුතා පෞද්ගලික ආයතනයක ද රැකියාවේ නිරතව සිටිති.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd