පානම පන්සල අවට පරිසරය තවමත් රාත්‍රියේ කළු සළුවෙන් වැසී තිබුණි. නැගෙනහිර අහසේ හිරුගේ පැමිණීම පිළිබඳ කිසිදු ඉඟියක් නොතිබුණි. තරු කිහිපයක් පමණක් අහසේ දුර ඈත නිහඬව දිලිසෙමින් සිටියේ, තවත් මොහොතකින් ආරම්භ වීමට නියමිත භක්තියේ දුෂ්කර ගමනට නිහඬ සාක්ෂිකරුවන් ලෙසිනි.

සුළඟටත් හඬක් නොතිබුණි. ඇසුණේ දුරින් රෑ කෘමීන්ගේ හඬත්, ගසක කොළයක් බිමට වැටෙන සියුම් ශබ්දයත් පමණි. ඒ ගැඹුරු නිහැඬියාව මැද මගේ මැණික් කටුවේ බැඳී තිබූ ඔරලෝසුවේ තත්පර කටුව ”‍ටික්... ටික්...”‍ යන ඒකාකාර හඬින් කාලය මනිමින් ඉදිරියට ගමන් කරමින් සිටියේය. සෑම තත්පරයක්ම ගෙවී යද්දී මට දැනුණේ කාලය නොව, අපගේ ජීවිතයේ අමතක නොවන අත්දැකීමක් ළං වන බවය.

පානම පන්සල අසල සිට ඔකඳ දේවාලය වෙත යාමට එම අලු‍යම් මොහොතේ කිසිදු වාහනයක් ධාවනය නොවීය. අපි කිහිපදෙනකු පාර අයිනේ නිහඬව බලා සිටියෙමු. දින හතරක් පුරා වන මැදින් ඇවිදීමට සූදානම් වූ අපගේ බෑග් උරහිස මත බරව තිබුණත්, ඒවාට වඩා බර වූයේ ඉදිරියේ ඇති අභියෝග පිළිබඳ සිතුවිලි ය.

මා සමඟ සිටියේ මගේ සමීපතම සගයා වූ උපමාල්ය. ඔහු නිහඬව අහස දෙස බලා සිටියේය. ”‍අදින් පටන් ගන්න ගමන අපිව කොහොම වෙනස් කරයි ද?”‍ මම මටම නොදැනීම මිමිණුවෙමි.

ඒ නිහඬතාව එක්වරම බිඳ වැටුණේ දුරින් දිස් වූ ප්‍රධාන ලාම්පු දෙකක ආලෝකයෙනි. අඳුර දෙබෑ කරමින් ජීප් රථයක් සෙමෙන් අප දෙසට ළඟා විය. එහි එළිය පාර පුරා විහිදී ගොස්, මොහොතකට පානම පන්සල අවට පරිසරය දිවා කාලයක් සේ දිස් විය. ජීප් රථය අප අසල නතර විය.

දොර විවෘත කර පිටතට බැස්සේ පානම පොලිස් ස්ථානාධිපති සිල්වාය. එතුමා එම අලු‍යම් යාමයේ ප්‍රදේශයේ ආරක්ෂාව හා නීතිය පිළිබඳ රාජකාරි පරීක්ෂණ චාරිකාවක යෙදී සිටියේය. අප දෙස මොහොතක් බලා සිටි ඔහු සුහද සිනහවක් සමඟ මෙසේ ඇසීය. ”‍මහත්වරු... මේ පාන්දර කොහෙද යන්නේ?”‍

”‍ඔකඳ දේවාලයට. එතැනින් පාද යාත්‍රාව ආරම්භ කරනවා. ඒත් වාහනයක් නැහැ...”‍ යැයි අපි පැවසුවෙමු.

අපගේ වෙහෙසට පත් මුහුණුත්, උරහිසේ එල්ලී තිබූ බෑග් දෙසත් බැලූ සිල්වා මහතා කිසිදු පැකිළීමකින් තොරව, ”‍එහෙනම් නගින්න. මේ වෙලාවේ මෙතන ඉන්න දෙන්න බැහැ. මම ඔකඳ දේවාලය ළඟටම ගෙනිහින් දාන්නම්”‍ යැයි පැවසීය.

ඒ වචන අපට දැනුණේ රාජකාරිය ඉටු කරන පොලිස් නිලධාරියකුගේ වචන ලෙස නොව, මනුෂ්‍යත්වයෙන් පිරුණු ශ්‍රී ලාංකිකයකුගේ ආදරණීය ආරාධනයක් ලෙසය.

ජීප් රථය අලු‍යම් අඳුර කපාගෙන ඔකඳ දෙසට ඇදී ගියේය. ජනේලයෙන් පිටත දිස් වූ වනය තවමත් නිදිගත් යෝධයෙකු මෙන් නිහඬව සිටියේය. එහෙත් අපගේ හදවත් තුළ නම් නොඉවසිල්ලේ රිද්මය වේගයෙන් ගැහෙමින් තිබුණි. මිනිත්තු කිහිපයකින් ඔකඳ දේවාල භූමියට ළඟා වූ අපි, සිල්වා මහතාට ස්තුති කළෙමු. ඔහු සිනහවකින් සමුගෙන නැවත තම රාජකාරිය වෙත පිටත්ව ගියේය. ඔහුගේ ජීප් රථයේ ආලෝකය අඳුරේ නොපෙනී යන තුරු අප බලා සිටියෙමු.

ඔකඳ දේවාලය මේ වන විටත් බැතිමතුන්ගෙන් පිරී තිබුණි. සියලු‍ දෙනාම තම ගමන ආරම්භ කිරීමට පෙර දේවාලයට ගොස් ආශීර්වාද ලබා ගනිමින් සිටියහ. අපද දේවාලය වෙත ගොස් හිස නමා නිහඬව ප්‍රාර්ථනා කළෙමු. ”‍මේ ගමන සාර්ථකව නිමා කිරීමට ශක්තිය ලබා දෙන්න...”‍

ඒ ප්‍රාර්ථනාව අවසන් වූ සැණින් දහස් ගණන් වූ බැතිමතුන් සමඟ අපගේ පළමු පියවර වන මාර්ගය වෙත තැබුණි.

ජනප්‍රවාදයක සඳහන් වන ආකාරයට කතරගම දෙවියන් බවට පත්වූ කඳ කුමරු ඉන්දියාවේ සිට පැමිණ ලංකාවට ගොඩබැස ඇත්තේ ඔකඳ වෙරළෙනි. එහි දී කුමරුන්ට රූමත් වල්ලි නම් වැදි තරුණිය හමුවේ. ඇය සමඟ පෙමින් බැඳුණු කඳ කුමරු, වල්ලි කැටුව කුමන යාල හරහා කතරගමට පැමිණෙන්නේ ඇය විවාහ කරගන්නා බවට පොරොන්දු වෙමිනි. කඳ කුමරුන් සෙල්ලකතරගමට ගොස් වල්ලි විවාහ කරගන්නා අතර ඇය බැතිමතුන්ගේ ගෞරවයට ලක්වන්නේ ‘වල්ලි අම්මා‘ ලෙසිනි.

කඳ කුමරුන් ඉන්දියාවේ සිට මෙරටට පැමිණියේ රන් ඔරුවකින් බව පැවසෙයි. මිනිසුන් මෙම රන් ඔරුව ලබාගැනීමට කලහ කරන්නට වූ නිසා, කඳ කුමරුන් එය ගල් බවට පත් කර කතරගමට පිටත් වූ බව ජනප්‍රවාදයේ සඳහන් වේ. ඔකඳ වෙරළේ පිහිටි ඔරුවක හැඩැති ගල්කුළ එම ගල්ඔරුව බව බැතිමත්හු විශ්වාස කරති. එය හඳුන්වන්නේ ‘රන් ඔරුගල‘ නමිනි. අදත් බැතිමතුන් එතැනට බාරහාර වීම සිරිතකි. පසුව, අදින් සියවස් දෙකකට පමණ පෙර මෙම රන්ඔරුගලට නුදුරින් දේවාලයක් තනා ඇත.

උදෑසන සිසිල් සුළඟ තවමත් මුහුණ පිරිමදිමින් තිබුණි. එහෙත් ඒ සිසිල වැඩි වේලාවක් නොපවතින බව අපි දැන සිටියෙමු. පැය කිහිපයකින් මේ මාර්ගය ගිනිගත් වැලි, දූවිල්ල සහ දරාගත නොහැකි අව් රශ්මියෙන් පිරී යනු ඇත. එහෙත් ඒ කිසිවක් ගැන නොසිතා අපි ඉදිරියටම ඇවිද ගියෙමු.

ඔකඳ දේවාලයේ ආශීර්වාදය ලබාගත් දහස් සංඛ්‍යාත බැතිමතුන් සමඟ අපිද පියවර තැබුවෙමු. මුල් කිලෝමීටර් කිහිපය සිසිල් සුළඟේ පහස විඳිමින් ගෙවී ගියද, හිරු නැගෙනහිර අහසේ හිස ඔසවන්නට පටන් ගත් සැණින් ස්වභාවධර්මය සිය සැබෑ මුහුණ අපට පෙන්වන්නට විය.

අතීතයේ සිටම පාද යාත්‍රිකයන්ට ජලය හා විවේකය ලබාදුන් මේ ස්ථානය එදාද තම ඉතිහාසය ජීවමාන කරමින් තිබුණි. නවතැන්පොළ පුරා බැලූ විට, කූඩාරම් සිය ගණනක් පෙනුණි. ආසන්න වශයෙන් බැතිමතුන් පන්දහසකට අධික පිරිසක් එහි රාත්‍රිය ගත කිරීම සඳහා රැඳී සිටියහ. ගිනිමැල, ආහාර පිසින සුවඳ, දරුවන්ගේ සිනහව, වැඩිහිටියන්ගේ භක්ති ගී කැලෑව මැද කුඩා නගරයක් බිහි වී ඇති බවක් දැනුණි.

 

ටිකෙන් ටික හිරු ගිනි බෝලයක් මෙන් ඉහළට නැගුණේය. ඒ රශ්මිය ගස් අතු පවා විනිවිද පොළොව මතට කඩා වැටුණේ, දහස් ගණනක් රත් වූ ඊතල එකවර පොළොවට විදින්නාක් මෙනි. වැලිතලය ගිනි අඟු‍රු ඇතිරූ බිමක් බවට පත්විය. සෑම පියවරක්ම තැබුවේ ගිනි උඳුනක් මත පා තබනවාක් මෙන් දැනෙමිනි. අපගේ ඇඳුම් දහඩියෙන් තෙත් විය. උරහිසේ තිබූ බෑගය සෑම මොහොතකම තවත් බර විය. හුස්ම ගන්නා වාරයක් පාසා උණුසුම් සුළඟ පපුවට ඇතුළු වූයේ ගිනි දැල්ලක් ගිලිනවාක් මෙනි.

ඒ වන විට ගමන් කළ දහස් ගණනක් බැතිමතුන් අතර තිබුණේ එකම විමසීමකි. ”‍වතුර තියෙනව ද?”‍

ඒ වචන එදා කැලෑව පුරා වැඩිපුරම ඇසුණු වචන වන්නට ඇත. වතුර බෝතලයක් රත්තරන්වලටත් වඩා වටිනා විය. තවත් අයකුට වතුර උගුරක් දෙන මිනිසා, ජීවිතයක් බේරා දෙන දෙවියකු මෙන් පෙනුණි. සමහරු තමන්ගේ අන්තිම වතුර උගුරත් අසල සිටි නොහඳුනන බැතිමතකු සමඟ බෙදා ගත්හ. එතැන ජාතියක්, ආගමක්, භාෂාවක් තිබුණේ නැත. තිබුණේ පිපාසයෙන් පෙළෙන මිනිසුන් පමණි.

මමත් උපමාලුත් වචනයක්වත් නොකියා ඉදිරියටම ඇවිද ගියෙමු. සෑම පියවරක්ම හදවතේ අධිෂ්ඨානයෙන් පමණක් ඉදිරියට ගියේය. එක් අවස්ථාවක මගේ පාදය යට තිබූ වැලි හදිසියේම ලිස්සා ගියේය. සමබරතාව ගිලිහී ගිය මා, කෙණ්ඩා පෙරළී ගොස් මුහුණින්ම දූවිල්ලට ඇද වැටුණෙමි.

”‍අයියේ...!”‍ උපමාල්ගේ කෑගැසීම ඇසුණි. මා නැගී සිටීමට පෙරම තවත් බැතිමතුන් කිහිපදෙනෙක් අත දිගු කළහ. ”‍මහන්සි වෙන්න එපා... සෙමින් එන්න...”‍ යැයි ඔවුහු පැවසූහ.

දූවිල්ල ගසා දමා නැවත ගමන ආරම්භ කළෙමි. නමුත් ස්වභාවධර්මය තවමත් සිය පරීක්ෂණය අවසන් කර තිබුණේ නැත. මීට ටික වේලාවකට පසු නැවතත් ගල් කැටයක් මත පාදය ලිස්සා ගිය අතර, දෙවැනි වරටත් මම බිම ඇද වැටුණෙමි. දෑත් දූවිල්ලෙන් වැසී ගියේය. දණහිස් දැවෙන වේදනාවකින් පිරී ගියේය. ඒ මොහොතේ සිතට නැගුණේ එකම සිතුවිල්ලකි. ”‍මේ ගමන සම්පූර්ණ කරන්න පුළුවන් ද?”‍

එහෙත් ඉදිරියෙන් ඇවිදගෙන යන වයස අවුරුදු හැත්තෑවක් පමණ වූ වන්දනාකරුවකුගේ දෙපා දෙස බැලූ විට ලැජ්ජාවක් ඇති විය. ඔහු සෙමින් සෙමින් ඉදිරියට යමින් සිටියේය. ‘නතර වීම‘ යන වචනය ඔහුගේ ශබ්දකෝෂයේ නොතිබුණා සේය. මම දූවිල්ලෙන් වැසුණු ඇඳුම පිස දමා නැවතත් පියවර තැබුවෙමි.

හිරු මේ වන විට අහසේ අධිරාජයා වී සිටියේය. පොළොවෙන් ඉහළට එන උණුසුමත්, අහසින් කඩා වැටෙන රශ්මියත් අතර අප ගමන් කළේ ගිනි වළල්ලක් මැදිනි. කාලය ගෙවී ගියේය. දුරින් කුඩා පුවරුවක් දිස් විය. ”‍Babura Point 1 ”‍

ඒ අකුරු දුටු සැණින් බැතිමතුන්ගේ මුහුණුවල වෙහෙස මැද පුංචි සිනහවක් මතු විය. මහා කාන්තාරයක දිය උල්පතක් දුටුවා සේ සියලු‍ දෙනා එම ස්ථානය දෙසට ඉක්මන් කළහ. අපිද ගස් සෙවණක වාඩි වීමු. සපත්තු ගලවා බැලූ විට දෙපා රතු වී තිබුණි. දූවිල්ලෙන් වැසුණු ඒ දෙපා මගේ ගමනේ පළමු ජයග්‍රහණයේ සාක්ෂියක් බවට පත්ව තිබුණි. වතුර උගුරක් පානය කළෙමි. එය සාමාන්‍ය වතුර නොවීය; එය මට ජීවිතයම විය.

”‍තව ගොඩක් දුර තියෙනවා...”‍ කෙනකුගේ ඒ වචන සමඟම නැවතත් බෑග් උරහිසට ගත්තෙමු. ඉදිරියේ තිබුණේ කුමන අභයභූමියේ නිහඬ වන පෙතයි.

දහවල වන විට හිරු අහසේ මැද සිට පොළොවට ගිනි වරුසා වක්කරමින් සිටියේය. කැලෑව නිහඬය. කුරුල්ලකුගේ හඬක්වත් ඇසෙන්නේ නැත. දහඩියෙන් තෙත් වූ ඇඳුම් සිරුරට ඇලී තිබුණි. උණුසුම් සුළඟ පවා ගිනි හුස්මක් මෙන් මුහුණට වැදුණේය. ඒ මාර්ගයේ දහස් ගණනක් බැතිමත්හු ඉදිරියට ඇදී යමින් සිටියහ. කිසිවකු කඩිමුඩියක් නොවීය. කිසිවකු ආපසු හැරුණේද නැත. සෑම කෙනකුගේම ඉලක්කය එකකි: කතරගම.

පැය ගණනාවක දුෂ්කර ගමනකින් පසු දුරින් ගස් අතරින් දිලිසෙන ජල තීරුවක් අපගේ නෙත ගැටුණි. ”‍කුඹුක්කන් ඔය...”‍ කෙනකුගේ හඬ නැගුණි. ඒ හඬත් සමඟ වෙහෙසට පත් මුහුණු අතර අලු‍ත් බලාපොරොත්තුවක් ඉපදුණේය.

අපි කුඹුක්කන් ඔය අසල පිහිටි කැබිලිත්ත කඳවුරු භූමියට ළඟා වන විට හිරු බටහිර අහසේ රන්වන් පැහැයට හැරී තිබුණි. දින පුරා ගිනි බෝලයක් වූ හිරු දැන් වෙහෙසට පත් බැතිමතුන්ට සමුදෙන්නට සැරසෙනවාක් මෙන් සෙමින් පහළට බැස යමින් සිටියේය.

කඳවුරු භූමිය මේ වන විටත් ජීවයෙන් පිරී ගොස් තිබුණි. නාවික හමුදාව සහ ශ්‍රී ලංකා යුද හමුදාව බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කඳවුරු පිහිටුවා තිබුණි. නිලධාරීන්ගේ මුහුණුවල දැඩි බවට වඩා දක්නට ලැබුණේ කරුණාවයි. අපිද කූඩාරමක් ගසා බෑග් බිම තැබුවෙමු.

ඒ වන විට ගමන් මහන්සිය සිරුර පුරා පැතිරී තිබුණි. මමත් උපමාලුත් කූඩාරම තුළට ඇතුළු වූ සැණින්ම නොදැනීම නින්දට වැටුණෙමු. කොපමණ වේලාවක් ගතවීදැයි නොදනිමි. ”‍අයියේ... අයියේ...”‍ මෘදු හඬක් ඇසී ඇස් විවර කළෙමි.

කූඩාරම ඉදිරිපිට සිටියේ නාවික හමුදාවේ සහ යුද හමුදාවේ නිලධාරීන් දෙදෙනෙකි. ඔවුන්ගේ මුහුණුවල තිබුණේ අවංක සිනහවකි. ”‍ඔයාලා ගොඩක් මහන්සි වෙලා. ඒ නිසා අපි ඇහැරවන්නෙ නැතුව හිටියා. අද රෑ කෑම හදන්න එපා. කෑම අපි දෙන්නම්.”‍

ඒ වචන ඇසූ මොහොතේ දැනුණු හැඟීම අදටත් වචනවලට පෙරළිය නොහැකිය. නිල ඇඳුමෙන් සැරසුණු ඒ මිනිසුන් එදා අපට පෙනුණේ හමුදා නිලධාරීන් ලෙස නොව, සහෝදරයන් ලෙසය.

රාත්‍රිය සෙමින් කැලෑව මතට බැස තිබිණි. තැනින් තැන ගිනිමැල දැල්වුණි. ලී කැබලි පිපිරෙන හඬ, බත් පිසෙන සුවඳ, පරිප්පු හොද්දේ සුවඳ, තේ උතුරන භාජනවලින් නැඟු‍ණු වාෂ්ප... මුළු කඳවුරම නිහඬ උත්සව භූමියක් බවට පත්ව තිබුණි.

රාත්‍රී ආහාරයෙන් පසු ගිනිමැලයක් වටා වාඩි වී සිටියදී යාපනයේ සිට පැමිණි දෙමළ බැතිමතුන් කිහිපදෙනකු සමඟ කතාබහ කිරීමට අවස්ථාව ලැබුණි. අරුල්කුමාර් (51), සෙල්වරාජා සහ මුරුගේෂන් යන ඔවුන්ගේ මුහුණුවල වෙහෙස තිබුණත්, ඇස්වල තිබුණේ පුදුමාකාර ආලෝකයකි.

අරුල්කුමාර් සිනාසෙමින් පැවසුවේ, ”‍අයියේ... අපි අවුරුද්දක් පුරා මේ ගමන එන දවස බලාගෙන ඉන්නවා. මේ පාරේ දුක වැඩියි. ඒත් හිතේ තියෙන භක්තිය ඊටත් වඩා ලොකුයි.”‍

සෙල්වරාජා වතුර බෝතලයක් අප වෙත දිගු කරමින් කීවේ, ”‍මේ පාරේ සිංහල, දෙමළ කියලා නැහැ. කාට වතුර ඕනද, ඒ කෙනාට දෙනවා. කාට උදව් ඕනද, ඒ කෙනාට උදව් කරනවා. කතරගම දෙවියන් ඉස්සරහ අපි හැමෝම එකම මිනිස්සු.”‍

ඒ වචන ගිනිමැලයේ උණුසුමටත් වඩා හදවත උණුසුම් කළේය. එදා රාත්‍රියේ මට වැටහුණේ, මේ පාද යාත්‍රාව දෙවියන් සොයා යන ගමනක් පමණක් නොව, මනුෂ්‍යත්වය සොයා යන ගමනක් බවය.

රාත්‍රිය ගැඹුරු විය. කැලෑවේ කෘමීන්ගේ හඬ පමණක් නිහැඬියාව බිඳ දමමින් තිබුණි. ගිනිමැල එකින් එක නිවී ගියේය. හෙට දිනයේ අප බලා සිටින්නේ ගමනේ දුෂ්කරම කොටස බව සියලු‍ දෙනාම දැන සිටියහ. රාත්‍රී එකට ආසන්න වන විට අපි කූඩාරමට ඇතුළු වීමු. දෙපා දැඩි වේදනා දුන්නද, හදවතේ තිබුණේ එකම සිතුවිල්ලකි. ”‍හෙටත්... මේ ගමන අවසන් වන තුරු... අපි ඇවිදිනවා.”‍

කුඹුක්කන් ඔය තරණය කිරීමෙන් පසු අපගේ පාද යාත්‍රාවේ තවත් වැදගත් නැවතුමක් වූයේ ගජබාපිටිය කඳවුරු භූමියයි. ගිනියම් අව්ව මැදින්, දූවිලි මාර්ග ඔස්සේ පැමිණි අපට එම ස්ථානය පෙනුණේ කාන්තාරයක මැද හමුවූ ජල උල්පතක් මෙනි.

එහිදී අපගේ අවධානයට ලක් වූ විශේෂ දසුනක් තිබුණි. මඩකලපුව ප්‍රදේශයෙන් පැමිණි ස්වේච්ඡා සංවිධානයක පිරිසක් බැතිමතුන්ට ජලය සැපයීමේ දැවැන්ත මෙහෙවරක නිරතව සිටියහ. ඔවුන්ගේ සේවය සාමාන්‍ය ජල බෙදාදීමක් නොවීය. එය දහස් ගණනක් වූ බැතිමතුන්ගේ ගමනට ජීවය ලබා දෙන මහා පුණ්‍ය කාර්යයක් විය. ට්‍රැක්ටර් දහයක් පමණ නිරන්තරයෙන් ජලයෙන් පුරවාගෙන එහා මෙහා ගමන් කරමින් තිබුණි. දැඩි අව්ව, දූවිල්ල සහ වෙහෙස කිසිවක් නොතකා එම පිරිස තම කාර්යයේ නිරතව සිටියහ.

අප ඔවුන්ගෙන් එක් අයකු වූ අප්පාදොරේගෙන් (56) ”‍ඔබලා මෙතරම් දුරකින් ඇවිත් මේ සේවාව කරන්නේ ඇයි?”‍ යැයි විමසුවෙමු.

ඔහු සිනහවකින් මෙසේ පැවසීය. ”‍අපිත් මේ ගමනේ කොටසක්. අපිට පයින් යන්න බැරි වුණත්, මේ ගමන යන අයට අවශ්‍ය දෙයක් ලබාදීම අපේ වන්දනාවක් වගේ. මේ අව්වේ, පිපාසයෙන් එන මිනිසකුට වතුර ටිකක් දෙන එක ලොකු පිනක් කියලා අපි විශ්වාස කරනවා. මෙතනට එන හැමෝම අපේම අය. කවුරු කොහෙන් ආවත්, මොන භාෂාව කතා කළත්, මේ මාර්ගයේදී හැමෝම එකම බැතිමතුන්.”‍

මිනිස්කමේ විශාල පණිවිඩයකි. කැලෑව මැද, පහසුකම් අඩු පරිසරයක, තමන්ගේ සුව පහසුව අමතක කරමින් තවත් මිනිසුන් වෙනුවෙන් කැප වූ ඒ පිරිස අපට කියා දුන්නේ එක් දෙයකි. වන්දනාව යනු දෙවියන් සොයා යන ගමන පමණක් නොව, මිනිසා තුළ ඇති මනුෂ්‍යත්වය සොයා ගන්නා ගමනක් බවය.

දිවා ආහාරයෙන් පසු නැවතත් අපි බෑග් උරහිසට ගත්තෙමු. ගජබාපිටියේ සිට පැය ගණනාවක් ගිනියම් අව්ව මැදින්, වියළි කැලෑ ඔස්සේ ගමන් කළ අපි සවස් යාමයේ ලිංතුන නවතැන්පොළ වෙත ළඟා වූයෙමු. පාද යාත්‍රාවේ පැරණිම විවේක ස්ථානවලින් එකක් ලෙස සැලකෙන ළිං තුන, එදින බැතිමතුන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබුණි.

අතීතයේ සිටම පාද යාත්‍රිකයන්ට ජලය හා විවේකය ලබාදුන් මේ ස්ථානය එදාද තම ඉතිහාසය ජීවමාන කරමින් තිබුණි. නවතැන්පොළ පුරා බැලූ විට, කූඩාරම් සිය ගණනක් පෙනුණි. ආසන්න වශයෙන් බැතිමතුන් පන්දහසකට අධික පිරිසක් එහි රාත්‍රිය ගත කිරීම සඳහා රැඳී සිටියහ. ගිනිමැල, ආහාර පිසින සුවඳ, දරුවන්ගේ සිනහව, වැඩිහිටියන්ගේ භක්ති ගී“කැලෑව මැද කුඩා නගරයක් බිහි වී ඇති බවක් දැනුණි.

අප්පාදොරේ, අරුල් කුමාර්, සෙල්ව රාජා

නාවික හමුදා නිලධාරීහු කඳවුර අවට ආරක්ෂාව තර කරමින්, බැතිමතුන්ට අවශ්‍ය උපකාර ලබාදෙමින් සිටියහ. අප කූඩාරම සකස් කරන විටද ඔවුන් ජලය, ආරක්ෂාව සහ උපදෙස් ලබාදීමට නොපැකිළුණි. කැලෑව මැද නිල ඇඳුමෙන් සිටියද, ඔවුන්ගේ වචනවල තිබුණේ මනුෂ්‍යත්වයේ උණුසුමයි.

රාත්‍රිය ගැඹුරු වෙමින් තිබියදී, එක්වරම කඳවුරේ එක් පසක කලබලයක් ඇති විය. ”‍අලි... අලි ඇවිල්ලා...!”‍ යන හඬ කඳවුර පුරා පැතිර ගියේය.

දුරින් අඳුර මැද දැවැන්ත සෙවණැලි කිහිපයක් සෙමින් ගමන් කරන අයුරු පෙනුණි. නාවික හමුදා නිලධාරීහු වහාම ක්‍රියාත්මක වී බැතිමතුන් ආරක්ෂිතව කූඩාරම් තුළ රඳවා තැබූහ. කිසිවකු කලබල නොවන ලෙස ඔවුන් ලබාදුන් උපදෙස් නිසා එම අවදානම් මොහොතද සාමකාමීව නිමාවට පත්විය. එවිට අපට වැටහුණේ, අප ආගන්තුකයන් වූයේ මේ කැලෑවට බවය.

එදින රාත්‍රියේ අපට උතුරු පළාතෙන් පැමිණි බැතිමතුන් දෙදෙනකු සමඟ දීර්ඝ ලෙස කතාබහ කිරීමට අවස්ථාව ලැබුණි.

යාපනයේ සිට පැමිණි තිරුනාවුක්කරසු (67) මෙසේ පැවසීය. ”‍අපි අවුරුද්දක් පුරා මේ දවස එනකල් බලාගෙන ඉන්නවා. මේ පාරේ තියෙන්නේ දුක නෙවෙයි, පින. පාද රිදුණත් හිත රිදෙන්නේ නැහැ. මේ ගමන අවසන් වෙලා ගෙදර යනකොට හිතට ලැබෙන සැනසීම වෙන කිසිම තැනකින් ලැබෙන්නේ නැහැ.”‍

කිලිනොච්චියේ සිට පැමිණි සිවරාජන්ද අප සමඟ කතා කරමින් මෙසේ කීවේය. ”‍මේ කැලෑ මාර්ගයේ සිංහල, දෙමළ, මුස්ලිම් කියලා වෙනසක් නැහැ. කවුරු වැටුණත් තවත් කෙනෙක් අත දෙන්න ඉන්නවා. කවුරු පිපාසයෙන් හිටියත් වතුර උගුරක් බෙදාගන්න කෙනෙක් ඉන්නවා. ඒක තමයි කතරගම පාද යාත්‍රාවේ ලොකුම ආශ්චර්යය.”‍

ඔවුන්ගේ වචන මගේ සටහන් පොතේ පමණක් නොව, හදවතේද සටහන් විය.

(ඉතිරිය ලබන සතියට)
නයන තෙන්නකෝන්