
මාදුගඟ සුන්දරය. නැතහොත් ලස්සනය. සුන්දරවූත්, ලස්සනවූත් මේ මාදු ගඟ ගැන අද නොදන්නා කෙනෙක් නැති තරම්ය.
රටවැසියන් පමණක් නොව දේශදේශාන්තරයන්හි වෙසෙන වැසියෝ පවා මාදුගඟ ගැන අද දනිති. ඒ විදෙස් සංචාරකයන්ට සංචාරයකදී නවමු ස්වාභාවික ආකෘතියක අත්දැකීම මාදුගඟ හා ඒ ආශ්‍රිත පරිසර පද්ධතිය නොඅඩුව ලබාදෙන නිසාය. ඒ නිසාම අද මාදුගඟ දෙස් විදෙස් සංචාරකයන්ගෙන් පිරී පවති. කෙටියෙන් කීවොත් මාදුගඟ කාර්යබහුල පරිසර පද්ධතියක් වී හමාරය.
මීට දශක කීපයකට පෙර මාදුගඟ මෙතරම් කාර්ය බහුලවී නොතිබුණේය. එකල මේ මහා පරිසර පද්ධතිය බලන්න කවුරුත්ම පැමිණියේ නැත. ඒ නිසාම මාදුගඟෙන් මෙරටට ඩොලර් ඇදී නොආවේය. මාදුගඟ මේ වෙනවිට එම තත්ත්වයෙන් මිදී රටට ඩොලර් උනන උල්පතක්වීම පිළිබඳ සිදුවීම පිටුපස අප්‍රකට කතාවක් තිබේ.
මේ මාදුගඟ සංචාරක පාරාදීසයක් කරන්නට - සිය කාලය, ශ්‍රමය හා ධනය වැය කළ අපූරු මිනිසකුගේ කතාවයි.
ඔහු බළපිටියේ ප්‍රදීප් චන්දන ද සිල්වා ය. නැතහොත් බළපිටිය “කැප්ටන් බෝට් හවුස්” අධිපති චන්දනය. චන්දනලා නොවන්නට අදටත් මාදුගඟ රටට ඩොලර් ගේන සම්පතක් නොවන්නට බොහෝදුරට ඉඩ තිබුණි. චන්දනලාගේ මොළයෙන් මාදුගඟට ගහපු ගේම නිසා අද බළපිටියට ඩොලර් එනවා පමණක් නොව, සංචාරක ව්‍යාපාරයෙන් අද බළපිටිය හා ඒ අවට සිය දහස් සංඛ්‍යාත ජනකායක් දිවි රැකගනිති.
“මම නැවක වැඩ කළේ. විවාහයෙන් පස්සේ ගෙදර අය මට නැවට යන්න දුන්නේ නැහැ. ඒ අවිවේක ජීවිතයට ගෙදර අය කැමතිම වුණේ නැහැ. මම එතකොට කල්පනා කළා ගෙදර ඉඳගෙනම කරන්න දෙයක් තිබුණොත් හොඳයි කියලා. ඒ ඔස්සේ මගේ හිත දිව ගියා. අපිට තිබුණා බළපිටිය මහ පාලම ආසන්න ඉඩම් කෑල්ලක්. ඒක මාදුගඟ අද්දරයි තිබුණේ. මගේ හිතට ආවා මෙතන තොටුපොළක් හදලා සංචාරකයන්ට මාදුගඟ නැරඹීමට තැනක් හැදුවොත් හොඳයි කියලා. එහෙම හිතලා පොඩි මෝටර් බෝට්ටුවකුත් අරගෙන වැඩේට ලෙහෙස්ති වුණා. එතැන පාර අයිනේ දැන්වීමකුත් දැම්මා. මාදුගඟ සංචාරය කරන්න යන අයට එන්න කියලා. වැඩේ හරි ගියේ නැහැ. කවුරුත්ම ආවේ නැහැ. මම සාමාන්‍යයෙන් දෙයක් අතහරින කෙනෙක් නෙමෙයි. මේ කුඩා ව්‍යාපාරය දියුණු කරන්නේ කොහෝමද කියලා හිතුවා. ඒ අනුව මම අලුත් වැඩපිළිවෙළවල් කීපයක්ම දියත් කළා.”
“ඉරිදා ලංකාදීප”ය සමග කතාව අරඹමින් ප්‍රදීප් චන්දන ද සිල්වා එසේ කීවේය.
ප්‍රථමයෙන් හිතවතුන් දෙතුන්දෙනෙක් ද සමග තමන් මිලදීගත් මෝටර් බෝට්ටුවේ නැගී ප්‍රදීප් චන්දන මාදුගඟේ සංචාරයක් ගියේ මාදුගඟේ සොඳුරු තැන් ඡායාරූපගත කිරීමටය. පසුව එම දර්ශනීය ඡායාරූප ඇතුලත් කොට අපූරු ඇල්බමයක් සාදා ගැනීමට ක්‍රියා කළේය.
ඒ කුමන අරමුණකින් දැයි ඔහුගේ වචනයෙන්ම අසා දැන ගනිමු.
“මම මාදුගඟේ සුන්දර ස්ථානවලින් සාදාගත් ඡායාරූප ඇල්බමය අරගෙන දෙස් විදෙස් සංචාරකයන් ගැවසෙන රටේ එක එක තැන්වලට ගියා. ගියේ පාරේ බස් එකේ. දවසක් මීගමුවට ගිහින් විදෙස් සංචාරකයන්ට මගේ ඇල්බමය පෙන්නලා මාදුගඟේ සංචාරයක් කරන්නට එන්නැයි ඉල්ලා හිටියා. මගේ උත්සාහය සාර්ථක වුණා. කට්ටියක් මාදුගඟේ සංචාරයකට කැමතිවුණා. ඒ කාලේ දැන් වගේ දුරකථන පහසුකම් තිබුණේ නැහැ. කට්ටිය ගඟේ යන්න එනවනම් දින කීපයකට පෙර මට ටෙලිග්‍රෑම් එකක් එවනවා මෙදා එනවා කියලා. මම ඉතිං බෝට්ටුව ලැහැස්ති කරලා තියාගෙන ඉන්නවා. එහෙම එනවා කියලා නොපැමිණි වාර අනන්තයි. මම ඒත් මේක අතහැරියේම නැහැ.”
“මාදුගඟේ යෑමට එන හැම කෙනෙක් එක්කම මම සුහදව කතා කළා. මට හැකි උපරිම අයුරින් ඔවුනට සංග්‍රහ කළා. ගඟ ගැන, අවට පරිසර පද්ධතිය ගැන හොඳ අවබෝධයක් දුන්නා.මගේ සුහදශීලීත්වය හා කථන ශෛලිය බොහෝ අයගේ ඇගයුමට ලක් වුණා. එක වතාවක් මාදුගඟේ සංචාරයක කළ අයෙක් ආයෙත් ආවේ තවත් අලුත් පිරිසක් එක්ක. මුලින් මුලින් ආවේ අපේ රටේ අය විතරයි. ටික දවසක් යද්දී විදෙස් සංචාරකයනුත් එක්කෙනා දෙන්නා එන්න පටන් ගත්තා. අද කාලේ වගේ ඒ කාලේ මුහුණු පොත වට්ස් ඇප් ගෲප් තිබුණේ නැහැනේ. සියල්ල සිදුවුණේ කට වචනයෙන්. එහි විශ්වාසය අංක එකට ගියා.අපි කවදාවත් ආපු සංචාරකයා කවුද කියන්න සොයන්න ගියේ නැහැ. ඒ අයට අවශ්‍ය සේවාව ඔවුන්ට උපරිම තෘප්තියක් ලැබෙන ආකාරයෙන් ලබා දුන්නා.” එසේ කියූ ප්‍රදීප් චන්දන දිගු කල්පනාවකට වැටුණේය.
චන්දන සිය සංචාරක තොටුපොළ “කැප්ටන් බෝට්ටු” යන නමින් නම් කළේය. කැප්ටන් බෝට්ටු තොටුපොළ ටිකෙන් ටිකම ලංකාවේම ජනප්‍රියවීමට පටන් ගත්තේය. මාදුගඟේ යාමට නම් යායුත්තේ බළපිටියේ කැප්ටන් බෝට්ටු සේවයෙනැයි යන මතය ජනගත වුණේය.
එක් පිරිසක් මාදුගඟේ සංචාරකයක් නිමාකොට එනතෙක් බලා සිටීමට තවත් පිරිසකට ගොඩට වී බලා සිටීමට සංචාරකයන්ට එදා සිදුවිය. ඒ එක් මෝටර් බෝට්ටුවක් මේ කාර්යය සඳහා තිබීම හේතුවෙනි. ප්‍රදීප් චන්දනට තවත් බෝට්ටුවකට යාමට සිදුවිය. අනුක්‍රමයෙන් තවත් එක එක බැගින් වැඩිවී අද මෝටර් බෝට්ටු විසි තිස් ගණනක් තෙක් මේ වෙන විට වැඩීවී තිබේ. සේවය කරන පිරිස ද සිය ගණනකි.
එයින් නොනැවතුණු චන්දන සිය කැප්ටන් මෝටර් බෝට්ටු තොටුපොළ වෙත එන සිය දහස් ගණන් දෙස්විදෙස් සංචාරකයන්ට පහසුකම් සැපයීමේ මධ්‍යස්ථානයක් ලෙස “කැප්ටන් බෝට් හවුස්” ලෙස සංවර්ධනය කළේ මහල් කිහිපයක ගොඩනැගිල්ලක් ඉදිකරවමිනි.
සංචාරකයන්ට සහ ඔවුන්ගේ මගපෙන්වන්නන්ට නැවතී ගිමන් හරින ස්ථාන, මාදුගඟේ රමණීය සථානවල චායාරූප ඇතුළත් කෞතුකාගාරයක් ද එහි තිබේ. රට රටවල භාවිත වන මුදල් වර්ග ද එහි දක්නට ලැබේ. ඒ අනුව එදා කැප්ටන් බෝට්ටු තොටුපොළ අද දෙස් විදෙස් සංචාරකයන්ට දැනුම ලබාදෙන විශ්වවිද්‍යාලයක් බදුය. මාදුගඟේ සංචාරයට යන දෙස්විදෙස් සංචාරකයන්ට කැප්ටන් බෝට් හවුස් කෞතුකාගාරයෙන් ලබාගත හැකි දැනුම බොහෝය.
මේ දියුණුවත් සමගම ප්‍රදීප් චන්දන තවත් කාර්යයකට අත ගැසුවේය. ඒ තමාගේ කැප්ටන් බෝට් හවුස් ආයතන පරිශ්‍රයට ආසන්නයේම දෙස් විදෙස් සංචාරක නිවාඩු නිකේතනයක් ආරම්භ කිරීමය.
ඔහුගේ දියුණුව පිටුපස ඔහුගේ භාර්යාව වන ඩී. චම්පිකා ද සොයිසා මෙන්ම - දියණිය ඕෂධී ද සිල්වාත්, පුතු යෙහාන් ද සිල්වා ත් යදමක් මෙන් සිටිති. ඔවුන් ඔහුට යෝධ සවියක් නොවුණානම්, මේතරම් දුරක් ඒම අපහසුවන්නට ඉඩ තිබිණ.
මේ රට දියුණු කිරීමට නම් ප්‍රදීප් චන්දන ලා බඳු අලුතින් හිතන නව ව්‍යවසායකයන් තව තවත් බිහිවීම අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තකි.
කරන්දෙණිය
එම්. සුසිල් ප්‍රියන්ත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd