ලංකාවේ සරසවියකින් මුල්ම උද්භිද විද්‍යා ආචාර්ය උපාධිය ලැබූ 
ආචාර්ය කුමාර හිරිඹුරේගම

අව්ව – වතුර – පස තියෙනවා නම් ඕනෑ දෙයක් වැවෙනවා. ඒත් ඒක හරියට කරගන්න බැරිකම තමයි අපට තියෙන්නෙ. අතීතයේ ඉඳලම අපි සාම්ප්‍රදායික ක්‍රමවලට පුරුදු වෙලා. ඒක තමයි පරිසරය එක්ක ගැළපෙන හොඳම ක්‍රමය. වසර දහස් ගණනක් පරිණාමය වෙලා, පරිසරයට හිතකරව තිබූ ක්‍රමවේදය වෙනුවට රසායනික ක්‍රමවේදයක් කෘෂිකර්මයට අනුගත වුණා. ඒ වස විස පාලනයකින් තොරව භාවිත කිරීම නිසා දැන් අපි ඔක්කෝම වස – විස වෙලා. ඕනෑවට වැඩිය රසායනික දේ යෙදුවාම පසෙහි ජීව ක්‍රියාව අඩු වෙනවා. ජීවීන්ටත් එය බලපානවා. එවිට ඵලදාවත් අඩු වෙනවා. පාලනයකින් තොරව, කෘෂිකර්මය වගේම වෛද්‍ය (සෞඛ්‍ය) අංශයේත් ඕනෑවට වඩා රසායනික දේ භාවිත වෙනවා. කිසිම පාලනයක් නැහැ. ඒ නිසා තමයි මුළු රටම ‘වස – විස’ සහිත රටක් බවට පරිවර්තනය වෙලා තියෙන්නෙ.

ඒ විදිහට පවසන්නේ ආචාර්ය කුමාර හිරිඹුරේගමය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උද්භිත විද්‍යාව අංශයෙන් PhD උපාධිය ලැබූ ප්‍රථම ලාංකිකයා ඔහුය. දෙස් විදෙස් අත්දැකීම් ඇති, අධ්‍යාපනයට බොහෝ දේ ප්‍රායෝගික කළ, ජංගම පුස්තකාලයක් බඳු විද්වතෙකි. විශ්‍රාමික වුව ද, විශ්‍රාමික නොවූ ඔහුගේ විසල් දැනුමෙන් බිඳක්, විශ්‍රාමික සුපිරි තරු විශේෂාංගයට උකහා ගනිමු.

කැමතියි සම්පූර්ණ නම දැන ගන්න?

විජය කුමාර හිරිකුඹුරේගම. මගේ පවුලේ සහෝදරයන් හැමෝගෙම නම්වලට ‘කුමාර’ නම ඇතුළත්.

ගම් පළාත එහෙම?

ගාල්ල.

ඉගෙන ගත්තෙ ?

ගාල්ලෙ රිච්මන්ඩ් විද්‍යාලයෙන්.

මොන වගේ පවුලක කෙනෙක් ද?

අපේ තාත්තා ගමේ රාලහාමි. ඒ කියන්නෙ ගම්මුලාදෑනි. ගමේ හොඳ පිළිගැනීමක් තිබුණෙ. බොහොම සාධාරණ, නීතිගරුක කෙනෙක් වෙච්ච නිසා මිනිස්සු තාත්තාට සැලකුවේ බොහොම ගරුත්වයෙන්.

පවුලේ ඔබ කී වැනිය ද?

මම වැඩිමලා. මල්ලිලා දෙදෙනයි, නංගිලා දෙදෙනයි.

අම්මා මොනවද කළේ?

රැකියාවක් කළේ නැහැ. වතුපිටි තිබුණ නිසා, ඒ ගැන බලන්නයි, ගෙදර වැඩ කටයුතුවලටයි මුල්තැන දුන්නා. 

ළමා කාලයේ මතක මොන වගේ ද?

අපේ තාත්තා එයාගේ රාජකාරියේ දී බොහොම තදින් හිටියෙ. ගෙදරදී අපටත් ඒ විදිහයි. නිදහස උපරිමයෙන් අපට තිබුණත්, එක එක වැඩ පවරලා තිබුණෙ. නිවාඩු දවස්වල ඒ වැඩ කරන්න තිබුණා. ඒ පුරුදු අපට පසුකාලීනව ගෙන දුන්නෙ පන්නරයක්. ගෙදර වතුපිටි - හරක් බලන්න මිනිස්සු හිටියට, අපටත් වැඩ කොටසක් පවරලා තිබුණෙ. කුඹුරු කරද්දි ඒවාට සහභාගි වෙන්නත් සිදු වුණා. ඒ කියන්නෙ පොඩි කාලයේ ඉඳලම බරක් දරන්න – වගකීම් දරන්න පුරුදු පුහුණු කළා.

අරමුණ වුණේ ?

එහෙම අපට ලොකු අරමුණු තිබුණෙ නැහැ. පාසල් ගියා. ඒ වැඩ ටික වගකීමකින් කළ යුතු වුණා. හෝඩියේ පන්තියේ ඉඳලම සෑම දෙයකටම දක්ෂ ළමයකු ලෙස ත්‍යාගත් ලැබුණා. ඒ දිනවල පාසලේ තිබූ හොඳ ක්‍රමයක්. ඒ කාලයේ ටියුෂන් කියලා දෙයක් තිබුණෙ නැති නිසා තාත්තා ගෙදර එනකල් අපි කළේ සෙල්ලම් කිරීම. පොත් පත් - පත්තර වගේ අතට අහුවෙන සෑම දෙයක්ම කියෙව්වා.

උසස් පෙළට හොඳින් මුහුණ දුන්න ද?

අපි කිහිප දෙනෙක්ට සිලබස් හරියට කවර් කරගන්න බැරි වෙච්ච නිසා, පළමු වතාවේ කළේ නැහැ. දෙවැනි වතාවේ ලියලා විෂයන් තුනකට A-B-C සමාර්ථ ගත්තා. මාව තේරුණේ ජීව විද්‍යා අංශයට.

වෛද්‍යවරයකු වීමේ අරමුණ ද තිබුණෙ?

එහෙම කිසිම අරමුණක් තිබුණෙ නැහැ. කැම්පස් යන්න ඕනෑය කියලා හිතුවෙත් නැහැ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා අංශයට ඇතුළත් වුණේ. වෛද්‍ය විද්‍යාලයේ වගේ මැරීගෙන පාඩම් කරන්න, වැඩ කරන්න අවශ්‍ය වුණේ නැහැ. කැම්පස් එකේ පළමු වතාවේ විභාග දවස්වල අසනීප වෙලා විභාගය කරන්න බැරි වුණා. ලෙක්චර්ස් එහෙම මිස් වෙලා, මගේ ගමන අඩාළ වුණා. හැබැයි ඊළඟ අවුරුද්දෙ ඉඳලා මොන දේ වුණත් අපි ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගන්නවාය කියලා අපි කිහිප දෙනෙක් අරමුණු කර ගත්තා. සිංහලෙන් කරලා ෆර්ස්ට් ක්ලාස් එකක් අරගත්තට, ඉංග්‍රීසි බැරිනම් වැඩක් නැහැනෙ කියලා හිතුවා. ගමේ ඉඳලා පේරාදෙණිය යුනිවර්සිටි එකට ගිය එක ජීවිතයට ලොකු අත්දැකීමක් ගෙන දුන්නෙ. ලොකු සමාජ අවබෝධයක් ලැබුණෙ.

අයිතිවාසිකම් එක්ක යුතුකම් ඉටුකරන පිරිසක් නිර්මාණය කළ යුතු වෙනවා. ව්‍යවසායකත්වයේ මානසිකත්වයක් ඇති පිරිසක් බිහිකළ යුතු වෙනවා. එතකොට එයාලා ස්වාධීන වෙලා තමන්ගෙ ව්‍යාපාර කරන්න පටන් ගන්නවා.

යුනිවර්සිටි එකෙන් පිටවෙලා?

පිටවෙන්න කලින් රිසල්ට්ස් එනකල් අපි හතර පස් දෙනෙක් හොරණ විද්‍යාරතන පිරිවෙනේ, විෂයන් ඉගැන්නුවා. මම ඉගැන්නුවෙ සත්ව විද්‍යාව. ඒක අමුතු අත්දැකීමක්. ප්‍රතිඵල ආවාම මාස්ටර්ස් එක කරන්න අවශ්‍ය වුණා. ඒ අතරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ව්‍යාපෘතියකට මාව තේරුණා. පර්‌යේෂණ අංශයට ආවේ ඒ විදිහට. පර්‌යේෂණ අංශයේ සම්පූර්ණ නිදහසක් තිබුණෙ. ඒ විදිහට දිගටම කටයුතු කරගෙන යද්දි, මාස්ටර්ස් එක Mphil දක්වා අප්ග්‍රේඩ් වුණා. ඒ සියල්ල එක්ක විවිධ අංශවල පර්‌යේෂණ කරන්න ලැබීම නිසා පරිසරය – ජෛව විවිධත්වය, ඇතුළු බොහෝ විෂය පථයන් ගැන ලොකු අවබෝධයක් ලැබුණෙ. PhD එක වෙනුවෙන් යන ගමනේදි ‘වියානා’ වලට ගිහින් පරමාණුක ශක්ති අධිකාරිය යටතේ, මගේ අධීක්ෂක නිසා පර්‌යේෂණයකට සම්බන්ධ වෙන්න පුළුවන් වුණා. අවුරුදු එකහමාරක් විතර වියානාවල සිට පර්‌යේෂණ කරමින් ඉගෙනගෙන PhD එක සම්පූර්ණ කළේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන්. ලංකාවේ විශ්වවිද්‍යාලයක උද්භිත විද්‍යා අංශයෙන් පළමු PhD එක ලැබුණෙ මට. එහිදී මා ඉදිරිපත් කළ පර්‌යේෂණ නිබන්ධය පරීක්ෂණය කළ විභාග පරීක්ෂක විසින් ඊශ්‍රායලයට ඉදිරිපත් කළා. ඒ නිසා ඊශ්‍රායලයට යාමටත් අවස්ථාවක් ලැබුණා. ආචාර්ය උපාධිය සම්පූර්ණ කරලා තිබුණත් ස්ථිරව නිසි රස්සාවක් තිබුණෙ නැහැ. ඒ කාලයේදීයි තමයි විවාහය සිදු වුණේ.

ජොබ් එකක් නැතුව විවාහය සිදු කළේ කොහොම ද?

ඒ වෙලාවේ ජොබ් එකක් කරන්න අපේක්ෂාවෙන් සිටියෙ. හැබැයි නොකළ එක හොඳට ගියා. මම විවාහ වුණාට පස්සෙ බිරිඳ ක්ෂණිකා එක්ක බෙල්ජියමට යන්න ලැබුණා. මෙහේ රැකියාවක් කරමින් හිටිය නම් යන්න වෙන්නෙ නැහැ. එයා එහේ යුනිවර්සිටි එකේ PhD එකට ඉගෙන ගනිද්දි මම PhD එකෙන් පසුව තියෙන පර්‌යේෂණ අංශයේ විද්‍යාඥයකු ලෙස එහි විද්‍යාගාරවල පර්යේෂණවලට සම්බන්ධ වුණා. ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් ලැබුණෙ. ක්ෂුද්‍ර ජීව විද්‍යා අංශයෙන් පර්‌යේෂණත් කළා. ක්ෂණිකා කළේ පටක රෝපණ විද්‍යා අංශයෙන්.

ලංකාවට ඇවිත් කොතැනින් ද යළි පටන් ගත්තෙ?

වයිෆ්ට කොළඹ විශ්වවිද්‍යාලයේ ජොබ් එකක් ලැබුණා. මට ජොබ් එකක් නැහැ. ටික දවසක් යද්දී මගේ විෂයට අදාළව ඇබෑර්තුවක් තිබුණා. ඒත් දෙන්නම එකම යුනිවර්සිටි නිසා මම බැහැ කියලා කිව්වා. හැබැයි අනෙක් අය කිව්වෙ එහෙම ප්‍රශ්න වෙන්නෙ නැහැ, ඒ නිසා එන්න කියලා. කොළඹ කැම්පස් එකේ එකම දෙපාර්තමේන්තුවෙ වයිෆ් සහ මම වැඩ කරන්න පටන් ගත්තා. එකට සිටියාම අනෙක් අය ප්‍රශ්න ඇතිකරන නිසා, හැකිතාක් ප්‍රශ්න නොවෙන විදිහට කටයුතු කරගෙන ගියා.

ආචාර්ය-මහාචාර්ය යුවළ

එතකොට ඔබ රාජ්‍ය සේවයේ නෙවෙයි ද නිරත වුණේ?

අර්ධ රාජ්‍ය සේවයෙනෙ. ඒ නිසා විශ්‍රාම ගිය දවසට වැටුප් ලැබෙන්නෙ නැහැ. අර්ථසාධක අරමුදල විතරයි විශ්‍රාම ගියාම ලැබෙන්නෙ. විශ්වවිද්‍යාල පද්ධතියේ තවමත් ඒ විදිහයි. හැබැයි රජයට වගේ බැඳීම් අඩුයි.

PhD එක ලබා සිටිය ඔබට ලැබිය යුතු නිසා තනතුර ලැබුණ ද?

නැහැ. විශේෂ උපාධියක් කරලා නැහැ, Class එකක් නැහැ, කියලා විවිධ හේතු ඉදිරිපත් කරලා, නිසි තනතුර දුන්නෙ නැහැ. ජාත්‍යන්තර මට්ටමින් PhD එකකුත් කරලා හිටපු මට ප්‍රමෝෂන් ඉල්ලන එකත් එපා වුණා. ඒ නිසා පර්‌යේෂණ කරගෙන සතුටින් ඉන්නයි මට අවශ්‍ය වුණේ. හැබැයි ඒ අතරේ මානව සම්පත් අභිවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ලෙස තනතුරක් ලැබුණා.

ඇයි පෞද්ගලික අංශයට නොගියේ?

සමාජයේ ඔලු හැදිලා තිබුණෙ, සමාජවාදී ආකල්ප එක්කනෙ. පෞද්ගලික අංශය කියන්නෙ අනෙක් අය සූරා කන වගේ මතයක්නෙ තිබුණෙ. දේශපාලකයෝ සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන්, ඡන්ද වෙනුවෙන්, අනෙක් අය ඒ හිඟන මානසිකත්වයට ගෙනල්ලා තිබුණෙ. ඒ අයට එතකොට ලෙහෙසියෙන්ම බලය ලබාගන්න පුළුවනි. ශිෂ්‍ය සංගම් ව්‍යාපාර ඔක්කෝම ගොඩනැගිලා තියෙන්නෙ වාමාංශික ආකල්ප එක්ක. ඒකට කාටවත් දොස් කියන්න බැහැ. රටේ හැදිලා තියෙන විදිහ ගැනයි මම කිව්වෙ.

ආචාර්ය කුමාර හිරිඹුරේගම ගැන සමාජය කතා කරන්න පටන් ගත්තෙ?

විද්‍යාභිවර්ධන සංගමයේ සඟරාවේ, පත්‍රිකා සංස්කරණ කිරීමේ කටයුතු කාලයක් මම අතින් වියදම් කරගෙන කළේ. මට අවශ්‍ය වුණේ උසස් තත්වයක් නිතර තබාගන්න. ඒත් සමහර අය ඒ නිසා අමනාපත් වුණා. නීතියට වැඩ කරද්දි සමහරුන්ට එය ගැළපෙන්නෙ නැහැ. හැබැයි එහෙමයි කියලා මම ඒ ක්‍රමය වෙනස් කළෙත් නැහැ. කොහොම වුණත් මා ගැන වැඩි දෙනෙක් කතා කරන්න ඇත්තෙ මානව සම්පත් අභිවර්ධන ආයතනයේ අධ්‍යක්ෂව සිටි කාලයේදි කළ වෙනස්කම් නිසා වෙන්නැති. සිංහල භාෂාව කතා කරන 3000ට දෙමළ භාෂාව ඉගැන්වීම සංවිධානය කරලා රාජ්‍ය භාෂා සහතික විභාගයේදී, ඒ තත්වය ලබාදෙන්නත් කටයුතු කළා. ඒ වගේම රැකියා ලබාගන්න හොඳ මාර්ගයකුත් හදලා දුන්නා. ප්‍රශ්න රැසක් මැද්දෙ අපි ඒක ජය ගත්තෙ. දමිළ අයට යාපනයට ගිහිල්ලා සිංහලත් ඉගැන්නුවා. ඒ විදිහට වැඩ කොටසක් කළා. ඒ වගේම මම සහ ක්ෂණිකා මුල් වී හම්බන්තොට පටක රෝපණ පර්‌යේෂණ විද්‍යාගාරය බිහි කිරීමට දායකත්වය ලබා දුන්නා. විෂය සම්බන්ධයෙන් ක්ෂණිකා කටයුතු කරද්දි, ඒ සංකීර්ණ සැලැස්ම නිර්මාණය කිරීමට කටයුතු කළේ මම. එය කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ ආයතනයක් විදිහට සම්බන්ධ කළා. මගේ බිරිඳ තමයි එය දියුණු කළේ. මම ඉදිකිරීම් කටයුතු සහ සැලැස්ම ඇතුළු සියලු දේ වෙනුවෙන් මූලිකත්වය ගෙන කටයුතු කළා. දිවා රාත්‍රී නොබලා අතින් වියදම් කරගෙන ගිහින් ඒ වැඩ ගැන සති අන්තයේ සොයා බැලුවා.

හැබැයි ඔබ එහෙම කිව්වට, සමහර අය කිව්වෙ ඔබ රාජපක්ෂ හිතවාදී කෙනෙක් කියලයි?

හම්බන්තොට ගිහින් වැඩ කටයුතු කරද්දි එහි සිටින දේශපාලන චරිත එක්කත් අපට කටයුතු කරන්න වෙනවනෙ. ඉතින් අපි කළේ ඒ විදිහ මිසක් දේශපාලනය නෙවෙයි. එහෙම කරද්දි ඒ ‘ලේබල්’ එක වදිනවා. අනෙක ඒ වගේ දේ කරද්දි පවතින රජය එක්ක ඒ රජයේ ප්‍රතිපත්ති එක්ක වැඩ කරන්න වෙනවා. එහිදී ප්‍රතිපත්තිවලින් රටට සෙතක් වන විදිහට තමයි කටයුතු කරන්න වෙන්නෙ. එදා අපි කළේ ඒ විදිහට. රජයේ සේවකයන් කටයුතු කරන්න ඕනෑ ඒ විදිහට. රජයේ සේවකයා තමන්ගේ වැඩ කොටස හරියට නොකරනවා නම්, ඒක රජයේ වරද නෙවෙයිනෙ. සම්බන්ධතා හදාගෙන අපි හරි දේ කළා. රාජපක්ෂලා විතරක් නෙවෙයි, ඒ කාලයේ හිටපු සජිත් ප්‍රේමදාස එක්කත් වැඩ කළා. සමහරු ඇමැතිවරු - පක්ෂ එක්ක කටයුතු කළත්, එළියට පෙනුණෙ රාජපක්ෂවරු එක්ක තිබූ සම්බන්ධය.

අන්තිමට ඔබ සක්‍රියව කටයුතු කළේ?

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ, ලොජිස්ටික් මැනේජ්මන්ට් පීඨය අලුතින් ස්ථාපිත කරවීමට කටයුතු කළා. එහි පළමු පීඨාධිපති ලෙස වැඩ කළේ මම. ඒ අතරතුර උප කුලපති ධුරයට ඇබෑර්තු ආවාම ඒකට අයැදුම් කළා. කිසිම දේශපාලන සහායක් ලබාගත්තෙ නැහැ. ඒ වගේම බලධාරීන්ට මගේ වයිෆ් කිව්වෙ සුදුසුකම් තියෙනව නම් දෙන්න, නැත්නම් එපා කියලයි. මාත් හිටියේ ඒ මතයෙ. හැබැයි මට වඩා ඡන්ද දෙකක් විතර අඩු වූ පාර්ශ්වයෙන්, ඒක මට ලැබුණෙ දේශපාලන සහායෙන් කියලා කතාවක් හැදුවා.

කළ සේවය ගැන ඔබ තෘප්තිමත් වෙනව ද?

ඇත්තෙන්ම ඔව්. විශ්වවිද්‍යාල පද්ධතියේ සේවය කරද්දි අපි දැනුම බෙදලා, අපටත් දැනුම ලබාගෙන, විදේශවලට ගිහින් දැනුම ලබාගෙන අත්දැකීම් රාශියක් ජීවිතයට එකතු කර ගත්තා. මුදල් බලාගෙන නෙවෙයි, මමයි මගේ බිරිඳයි වැඩ කළේ. ඊට වඩා අපට අවස්ථා ලැබුණා. ඒත් එතැනදිත් අපි දෙන්නා විදේශ සංචාර පවා ගියේ එකට නෙවෙයි, තනි තනිව. ළමයින්ගෙ වැඩ පාඩු කරන්න අවශ්‍ය වුණේ නැහැ.

විශ්වවිද්‍යාල කොපමණ ඇති කළත්, ඒවායින් බිහි කරන්නෙ යාචක මානසිකත්වයක් තියෙන අය නම්, ප්‍රශ්නය තියෙන්නෙ එතැනයි. 

ඇයි ඔබ මහාචාර්ය නාමයට අයැදුම් නොකළේ?

මගේ බිරිඳ මහාචාර්ය ක්ෂණිකා නිසා, මගේ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ලෙස හිටපු මම ඒකට අයැදුම් කළේ නැහැ. එහෙම වුණොත් එයා නිසා ලැබුණෙ කියලා මිනිස්සු කියාවි. උප කුලපතිව සිටියදීත්, ඒ වෙනුවෙන් අයැදුම් කළ හැකි ලකුණු ප්‍රමාණය තිබියදීත් මම අයැදුම් කළේ නැහැ. අඩු තරමින් පර්‌යේෂණ පත්‍රිකාවලදි අපි දෙන්නගෙ නම එකට දාගත්තෙ නැහැ. අපි දෙන්නට නමට කැළලක් කරගන්න අවශ්‍ය වුණේ නැහැ. ඒ නිසා අදටත් අපට තියෙන්නෙ යහපත් පිළිගැනීමක්.

ඔබගේ සේවා කාලයේදි, රටට ඔබගෙන් ලැබුණු හොඳම සේවය ලෙස දකින්නෙ?

අධ්‍යාපනයේදි මම හිතන්නෙ හොඳම දේ ලබාදීමට කටයුතු කළා. විශ්වවිද්‍යාලයේ ආචාරධර්ම, මගේ විෂයේදී ඉගැන්වීමේදී, මම හිතන්නෙ සියල්ලට පෙර මම පරමාදර්ශී වුණා.

උසස් පෙළ විශිෂ්ට ප්‍රතිඵල ලබලා, විශ්වවිද්‍යාලවලදි විශිෂ්ට ලෙස උපාධි අරගෙන පිටව යන පිරිස වෙතින් රටට වැඩක් වෙනවාය කියලා ඔබ විශ්වාස කරනව ද? බොහෝ දෙනෙක් විදෙස්ගත වෙනවා?

ඔබ කියන විදිහට, ඒ අය පිටරට සේවයට ගියාට, ගිහින් රටට මුදල් එවනවනෙ. ඉතින් ඒ එවන විනිමය රටට වැදගත් වෙනවනෙ. ඒ නිසා එතැනදී රටට යහපතක් වෙන්නෙ. ඊළඟට අපි ‘නිදහස් අධ්‍යාපනය’ කියන දේ මූලික කරගෙන කතා කළොත්, නිදහස් අධ්‍යාපනය ලබන්න පුළුවන් වෙන්නෙ, ටැක්ස් ගෙවන අය, පෞද්ගලික අංශය වගේම, අපි මිලදී ගන්න සෑම භාණ්ඩයකටම ටැක්ස් ගෙවන නිසයි. රජයේ සියලුම වියදම් පියවා ගන්නේ ඒ බදු මුදල්වලින්. නමුත්, ඒක මිනිස්සුන්ගෙ මනසට දාලා තියෙන්නෙ වංචනික විදිහට. ඒ කියන්නෙ, ඒක මිනිසුන්ගෙ අයිතිවාසිකමක් විදිහට. ‘අයිතිවාසිකම්’ කියන හැඟීම එක්ක මිනිසුන්ගේ මනස යාචක හෙවත් හිඟන මානසිකත්වයට පත් වෙනවා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගෙ මනස හැදෙන්නෙත් ඒ විදිහට. රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධති සියල්ල වෙතින් ඔවුනට සියල්ල නොමිලේ දෙනවා. ඒ නිසා ඒ විදිහට ප්‍රතිලාභ ලබන අයටත් තේරුමක් නැහැ, හරියටම මොකද වෙන්නෙ කියලා.

එය කොතැනින් ද වෙනස් වෙන්න ඕනෑ?

ඉහළින්ම ආ යුතු දෙයක්. පහළින් වෙනස් කරන්න බැහැනෙ. ‘දේශපාලන’ මිෂන් එක සහ විෂන් එකනෙ අන්තිමට ක්‍රියාත්මක වෙන්නෙ. ඒ නිසා, එතැනින්ම ඒ වෙනස ආ යුතුයි. දේශපාලකයා කියන චරිතය පරාර්ථකාමී නොවන තාක්, ඒ වෙනස ඇතිවෙන්නෙ නැහැ. ඉහළින් ආදර්ශය ආවොත් විතරයි පහළින් හැදෙන්නෙ. ආචාරධර්ම පද්ධති හරියට වෙනවා නම්, මිනිස්සු ඒවා හරියට ප්‍රායෝගික කරනවා නම්, නීතිය අත්‍යාවශ්‍ය වෙන්නෙ නැහැ.

ඔබගෙ අත්දැකීම්වලට සමගාමීව කතා කළොත් මොන වගේ විෂය පථයන් ගැන කතා කළ හැකිද? අධ්‍යාපනය ගැන විතර ද?

මගේ අත්දැකීම් ගත්තොත්, අධ්‍යාපනය එක් පැත්තක්. අනෙක් පැත්තෙන් කෘෂිකර්මය වගේම සමාජයීය වශයෙනුත් කතා කරන්න පුළුවනි.

මේ රටේ මේ පවතින අධ්‍යාපන ක්‍රමය ගැන ඔබ සෑහීමකට පත් වෙනව ද?

ලෝකය ගෝලීයකරණය වෙලා යද්දි අපට ඊට එරෙහිව ගමනක් යන්න බැහැ. අපට තියෙන්නෙ පොඩි ආර්ථිකයක්. ඒ නිසා ඒ ගෝලීයකරණ ස්වභාවයට එරෙහිව ගියොත්, අපි නැතිවෙලා යනවා. ඒ නිසා ගෝලීයකරණයට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් අපට අවශ්‍යයි. අපට තියෙන්නෙ තවමත් යැපෙන අධ්‍යාපන ක්‍රමයක්. එයින් හැදෙන්නෙ යැපෙන මානසිකත්වය ඇති පිරිසක්. අයිතිවාසිකම් ඉල්ලමින් නිතර උද්ඝෝෂණ කරන පිරිසක්.

එහෙම නම් මොන වගේ ක්‍රමයක් ද ඇති කරන්න වෙන්නෙ?

අයිතිවාසිකම් එක්ක යුතුකම් ඉටුකරන පිරිසක් නිර්මාණය කළ යුතු වෙනවා. ව්‍යවසායකත්වයේ මානසිකත්වයක් ඇති පිරිසක් බිහිකළ යුතු වෙනවා. එතකොට එයාලා ස්වාධීන වෙලා ගමන්ගෙ ව්‍යාපාර කරන්න පටන් ගන්නවා. තමුන්ගෙ ව්‍යාපාර තියෙන කෙනා ඉදිරියක් ගැන හිතන්න පෙලඹෙනවා. රට අස්ථාවර වෙන දේ කරන්න යන්නෙ නැහැ. ඒ නිසා ගෝලීයකරණය එක්ක අනෙක් රටවලින් අපට ඉගෙනගන්න දේ තියෙනවා. නමුත් අපි ඒවා ඉගෙන ගන්නෙ නැහැ, ඉගෙනගන්න උත්සාහ කරන්නෙත් නැහැ.

නිදහස් අධ්‍යාපනය යටතේ ඉගෙන ගත්ත ආචාර්ය – මහාචාර්ය වෙච්ච සමහර අය නිදහස් අධ්‍යාපනයේ තරම ගැන අභිමානයෙන් කතා කළත්, රටට එයින් උත්පාදනයක් කරන්න පෙලඹෙන්නෙ නැහැනෙ? ඇයි ඒ?

මොන විදිහට අධ්‍යාපනය ලැබුවත්, පිටරට තියෙන දේ ගැන දැනුම්වත් වෙලා නැත්නම්, ළිඳේ සිටින මැඩියන් වගේ අවට ලෝකයේ ස්වභාවය ගැන දන්නෙ නැහැනෙ. දැනගන්න අද ඕනෑ තරම් අවකාශය තියෙනවා. ඒ නිසා උවමනාව, උනන්දුව ඇති අයට ලෝකය සොයා යන්න පුළුවනි.

මේ රටේ තියෙන විශ්වවිද්‍යාල ප්‍රමාණය ප්‍රමාණවත් ද ගෝලීයකරණ ස්වභාවයට සරිලන අධ්‍යාපනයක් ලබා දෙන්න?

විශ්වවිද්‍යාල කොපමණ ඇති කළත්, ඒවායින් බිහි කරන්නෙ යාචක මානසිකත්වයක් තියෙන අය නම්, ප්‍රශ්නය තියෙන්නෙ එතැනයි. විශ්වවිද්‍යාල පද්ධතියේදි අපි අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ යුතුය කියන දේ මූලික කරගෙන උගන්වන අය උගන්වනවා නම්, ශිෂ්‍යයන් ඊළඟට කරන්නෙත් ඒ දේමනෙ. උගන්වන අය අතරින් ව්‍යාපාර කරලා සාර්ථක වෙන විදිහ පෙන්වනවා නම්, මෙන්න මේ විදිහටයි ව්‍යවසායකත්වයට යන්නෙ කියලා, ඒක වඩා ප්‍රායෝගික වෙනවා. පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් ඒ ආදර්ශය එනවා. ඒ කියන්නෙ ව්‍යාපාර හෙවත් ව්‍යවසායකත්වය කරන විදිහ ගැන. ලංකාවේ තියෙන්නෙ බදු ගෙවන්නා මත යැපෙමින්, බදු ගෙවන්නාට අපහාස කරන ක්‍රමයක්. අයිතිවාසිකම් කතා කරන යැපෙන තත්වයක්. යැපෙන විට ව්‍යවසායකත්වයක් ගැන හිතන්න අවශ්‍ය නැහැනෙ.

ඇයි මේ රටේ පෞද්ගලික විශ්වවිද්‍යාල කෙරෙහි, ඒවා අලුතින් බිහිවීම කෙරෙහි භීතිකාවක් පවතින්නෙ?

අන්තර්ජාතික මට්ටමින් තමුන්ගෙ සුදුසුකම් සහ ප්‍රායෝගික වී නැත්නම් මොකද වෙන්නෙ? එතකොට එයාලගෙ රස්සා නැති වෙනවනෙ. ඒක සාධාරණ මිනිස් ගතියක්. එතැන තියෙන්නෙ භීතියක් නෙවෙයි, අහිමිවීමේ අනියත ස්වභාවයක්. අනෙක අපි යටත්විජිතවාදීව තිබූ රටක් නිසා, මිනිස්සු කපටි වුණා, දෙපිට කාට්ටු වුණා, කුහක වුණා. මේ විකාශය වීම් බලපානවා ඇති. රජු ළඟට ගිහින් එකක් කියලා, ඇමැතිට වෙන එකක් කියනවා. ඒක තමයි අපට ජානගත වෙලා තියෙන්නෙ.

සාකච්ඡා සටහන
සඳුන් ගමගේ


ඔබත් රාජ්‍ය සේවයේ යෙදී සිටි මෙවැනි අවංක අත්දැකීම් ඇති නිලධාරී මට්ටමේ, පරිපාලන අංශයේ චරිතයක් නම්? මෙවැනි අත්දැකීම් ඔබට ඇත්නම් ඉරිදා ලංකාදීප අපට කතා කරන්න. එවැනි විශ්‍රාමික සුපිරි තරු ගැන විස්තර දන්වන්න. 

0112479261
[email protected]
අපගේ ඊමේල් ලිපිනයයි.