
සංචාරයක් යනු ස්ථානයක සිට තවත් ස්ථානයකට යන ගමනක් පමණක් නොවේ. එය ස්වභාවධර්මය, අත්දැකීම් සහ මිනිස් ජීවිත එකිනෙක සමපාතවන අපූරු නිමේෂයකි. ඇතැම් සංචාර සිත් නිවාලන සොඳුරු මතක ඉතිරි කරන අතර, තවත් සංචාර ජීවිතයේ කිසිදා අමතක නොවන ත්‍රාසය, සංතාපය හෝ කුතුහලය මුසු ජුගුප්සාජනක අත්දැකීම් බවට පත්වෙයි.
එබඳු අත්දැකීම් සංකලනයක් එකවර අත්විඳිය හැකි සුවිශේෂ සංචාරක ගමනාන්තයක් ලෙස කිතුල්ගල හැඳින්විය හැකිය. සංචාරක ලෝකයේ දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් කිතුල්ගලට අද අප පියනැගුවේ, මේ වන විට සංචාරක කර්මාන්තය මුහුණ දී ඇති සැබෑ තත්ත්වය සොයා බැලීමටය.
කිතුල්ගල යනු - සබරගමු පළාතේ, යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඩා ගමකි. එය එක් පසෙකින් නුවරඑළිය දිස්ත්‍රික්කයට මායිම් වන අතර, සබරගමුව කඳුපන්තිවලින් වටවී ඇත. අවිස්සාවේල්ල - ගිනිගත්හේන මාර්ගය හෙවත් කොළඹ හැටන් A7 මාර්ගය දිවෙන්නේ කිතුල්ගල හරහාය. දෙස් විදෙස් සංචාරකයකුට මෙහි පිවිසීමට හේතු ඕනෑවටත් වඩා ඇත.
වේගයෙන් ගලා බසින ගඟ, සශ්‍රීක වනාන්තර, දිය ඇලි සහ ස්වාභාවික සුන්දරත්වය එක්ව කිතුල්ගලට සුවිශේෂ අනන්‍යතාවක් ලබාදී ඇත. එම සුන්දරත්වයට තවත් අරුතක් එක් කරන්නේ ලොව පුරා සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්ව ඇති White Water Rafting, Canyoning සහ Abseiling වැනි ත්‍රාසජනක ක්‍රියාකාරකම්ය.
ස්වාභාවික තැන් වෙනස් කරලා විනාශ කරනකොට පිටරට සංචාරකයොම අපෙන්, "ඇයි උඹලා මේ ලස්සන තැන් මේ විදිහට වෙනස් කරන්නේ " කියලා අහනවා.
විශේෂයෙන් White Water Rafting යනු ගඟේ වේගවත් දියපහර සමග ගමන් කරන සාමාන්‍ය බෝට්ටු සවාරියක් නොව- ස්වභාවධර්මයේ බලය, කණ්ඩායම් හැඟීම, අභියෝගය සහ විනෝදය එකම මොහොතක අත්විඳිය හැකි සුවිශේෂී අත්දැකීමකි. ගඟේ දියපහර මැදින් ඉදිරියට ඇදෙන සෑම මොහොතක්ම සංචාරකයා තුළ අලුත් ජවයක්, කායික මානසික උද්දීපනයක් ජනිත කරවයි. එම නිසාම කිතුල්ගලට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ ක්‍රියාකාරකම් ලැයිස්තුවේ අනිවාර්යයෙන්ම ඇතුළත් වන අයිතමයක් බවට White Water Rafting පත්ව තිබේ.
එහෙත් මේ ත්‍රාසජනක අත්දැකීම්වල සාර්ථකත්වය රඳා පවතින්නේ ගඟ පිළිබඳ මනා අවබෝධයක්, ආරක්ෂාව පිළිබඳ වගකීමක් සහ සංචාරකයාට අමතක නොවන අත්දැකීමක් ලබාදීමට කැපවුණු මාර්ගෝපදේශකයන් මතය. කැලණි ගඟ සිය ජීවිතයේ කොටසක් බවට පත්කරගත් එවැනි මාර්ගෝපදේශකයෙකු වන අකිල නුවන් කරුණාසේන, වසර දහහතරකට අධික කාලයක් තිස්සේ දෙස් විදෙස් සංචාරකයන්ට කිතුල්ගල සැබෑ අත්දැකීම සමීප කරවමින් සිටින්නෙකි.

කැලණි ගං කොමලියේ කිතුල්ගල අසිරිමත් දිය දහරා සිපගනිමින් පෙණ කැටි නංවන ඒ සුදු දියරළ White Water මතින් ඔරුවක් පදවාගෙන යාම හුදෙක් විනෝදයක්ම නොව - සොබාදහම සමග පානා ආලවන්තකමකි. නොඑසේ නම් ජීවිතයේ සමතුලිතතාව උරගා බලන අභියෝගයකි. රාෆ්ටින් Rafting කියූ සැණින් බොහෝ දෙනෙකුට මතක් වන්නේ වතුරෙන් තෙමීගෙන කෑ ගසා ලබන වින්දනයක් පමණ වුවත්, සැබවින්ම එහි ඊට එහා ගිය ගැඹුරු ජීවිත පරිකල්පනයක් ගැබ්ව ඇති බැව් අකිලගේ අදහසයි.
“මම කිතුල්ගල Paddle lanka Adventure නමින් මගේ සමාගම පවත්වාගෙන යනවා. මේ ආයතනය පටන් අරගෙන අවුරුදු දහයක් විතර වෙනවා. ගෙදර ඉන්න කාලේ Ceylon Adventure ආයතනයේ ප්‍රියන්ත මහත්මයා මට රැකියවකට කතා කළා. මගේ මුල්ම රැකියාව වුණෙත් වොටර් රාෆ්ටින්. ඒ දවස්වල ගඟේ බෝට්ටු හැදුවෙත් බැරල් කපලා. අපිට වඩා වයසින් වැඩි අයියලා ඒ බෝට්ටු හදලා ගඟට දානවා. ඒක අපිට හරිම ලොකු විනෝදයක්.හැබැයි එදා ඒ බෝට්ටුවල නැගලා ගිය මම, දවසක මේ ගඟම මගේ රස්සාව වෙයි, මේකෙන් මගේ ජීවිතේ ගොඩනඟා ගන්න පුළුවන් වෙයි කියලා නම් කවදාවත් හිතුවේ නැහැ. මට රැකියාව දීලා හොඳ පුහුණුවක් දීපු ප්‍රියන්ත අයියා එක්ක මම අවුරුදු හතරක් විතර වැඩ කළා. ඊට පස්සේ කැනේඩියානු ජාතිකයෙක් යටතේ තවත් අවුරුදු හයක් විතර රැකියාව කළා.”
“Adventure ක්‍රීඩාව ගැන මට මුලින්ම කියලා දුන්නෙත්, මේ ක්ෂේත්‍රයට අත හුරු කළෙත් ප්‍රියන්ත අයියා. හැබැයි රාෆ්ටිං ක්‍රීඩාව ගැන ජාත්‍යන්තර මට්ටමේ දැනුම, ආරක්ෂක ක්‍රම, සංචාරකයන් එක්ක වැඩකරන විදිය වගේ ගොඩක් දේවල් මම ඉගෙන ගත්තේ ඒ කැනේඩියානු මහත්මයාගෙන්. අද මම මේ ක්ෂේත්‍රයේ කරන හැම දෙයක්ම පිටිපස්සේ ඒ දෙන් ගෙන් ලබාගත්ත අත්දැකීම් සහ දැනුම ලොකු හේතුවක් වෙලා තියෙනවා.”
අකිල නුවන් “ඉරිදා ලංකාදීප”යට එසේ පැවසීය.
“කිතුල්ගල කියන්නේ ත්‍රාසජනක (Adventure )ක්‍රීඩාවලට ලංකාවෙම නමක් දිනගත්ත තැනක්. අපේ ආයතනයෙනුත් කිතුල්ගලට එන කණ්ඩායම්වලට පුහුණු වැඩසටහන් පවත්වනවා. ඒ විතරක් නෙවෙයි, ජලය ආශ්‍රිත Adventure ක්‍රියාකාරකම් ගොඩාක් අපි කරනවා. හැබැයි ඒ හැම එකක් අතරින්ම කිතුල්ගලට එන වැඩිම පිරිසක් තෝරගන්නෙ White Water Rafting කරන්න.

මාර්ගෝපදේශකයකු සංචාරකයින්ට උපදෙස් දෙමින්
White Water Rafting කියන්නේ වචනවලින් විස්තර කරන්න අමාරු අත්දැකීමක්. ඒක අත්විඳින්නම ඕනේ.අපේ රටේ වගේම පිටරටින් එනගොඩක් අය මුලින් බයයි. හැබැයි ගමන ඉවර වෙද්දී හැමෝම කියන්නේ 'තව පාරක් යමු' කියලා. සමහරු කිහිප වතාවක්ම ආයෙත් බෝට්ටුවට නගිනවා."
යැයි අකිල white water rafting පිළිබඳව අත්දැකීම් පැවසුවේ එලෙසිනි.
එම අත්දැකීමෙන් පසු සංචාරකයන්ගේ තේරීමක් වන්නේ Canyoning ය. එය දිය පහරක් මත පාවී යන ගමනක් නොව, ස්වභාවධර්මය මැදින් අභියෝග ජය ගනිමින් ඉදිරියට යන අපූරු සංචාරයකි.
මෙම අත්දැකීම ආරම්භ වන්නේ සශ්‍රීක වනාන්තරයක් මැදින් ඇවිද යාමෙනි. ගස් අතරින් රිංගා එන හිරු කිරණ, කුරුල්ලන්ගේ නාදය සහ ගලා හැලෙන දිය ඇල්ලක හඬ ක්‍රමයෙන් ළං වන විට, නගරයේ කලබලකාරී ලෝකයෙන් සම්පූර්ණයෙන්ම ඈත් වූ හැඟීමක් ඇති වේ. ඉන් අනතුරුව හමුවන්නේ ස්වභාවධර්මය විසින්ම නිර්මාණය කළ ගල් පර්වත, දියඇලි සහ පැහැදිලි ජලයෙන් පිරුණු ස්වභාවික කුහර ය.
"අද කිතුල්ගල රාෆ්ටින් කරන තැන් වැහි වැහැලා. මේවා මෙහෙයවන සමහර අයට කිසිම වෘත්තීය පුහුණුවක් Professional training නැහැ. ගඟ ගැන, වතුරේ හැසිරීම ගැන, ජල ගැලීම් මට්ටම් ගැන කිසිම වැටහීමක් නැති අය සල්ලි විතරක් බලාගෙන මිනිස්සුන්ව ගඟට දානවා.
ඉන්පසු ඇතැම් ස්ථානවල ගල් පර්වත මතින් පැනීමට සිදුවන අතර, තවත් තැන්වල දිය ඇලි ඔස්සේ ලිස්සා පහළට බැසීමට සිදුවේ. ස්වාභාවික ජල කුහර වෙත පනින සෑම අවස්ථාවකදීම හදවත වේගයෙන් ගැහෙයි. මුල් මොහොතේ ඇතිවන චකිතය, එක් අභියෝගයක් ජය ගන්නා සෑම වාරයකදීම ආත්ම විශ්වාසයක් බවට පරිවර්තනය වෙයි.
"White Water Rafting විතරක් නෙවෙයි, කිතුල්ගලට එන ගොඩක් දෙනෙක් Canyoning අත්දැකීමත් විඳින්න කැමතියි. ඒකත් හරිම ත්‍රාසජනකAdventure එකක්. දිය ඇලි දිගේ බැහැලා, ගල් තරණය කරලා, ස්වාභාවික වතුර වළවල්වලට පැනලා යන මේ අත්දැකීම විඳින අය ආයෙත් ආයෙත් එන්න හිතනවා. ස්වභාවධර්මය එක්ක ගොඩක් ළඟින් ඉඳලා, අභියෝගයකුත් එක්ක විනෝදයක් විඳින්න පුළුවන් නිසා Canyoningවලටත් අද හොඳ ඉල්ලුමක් තියෙනවා."

Adventure මාර්ග උපදේශක අකිල නුවන් කරුණාසේන
- Abseiling කඹ ආධාරයෙන් දිය ඇල්ලෙන් පහළට බැසීමේ ක්‍රීඩාවට කිතුල්ගලින් සහතිකයක් දිය හැකිද?
“Abseiling කියන්නේ උස ගල් පර්වතයක් හෝ දිය ඇල්ලක් වගේ තැනක ඉඳලා ලණුවලින් පාලනය වෙලා පහළට බිහින එක. ඇබ්සලින් කරන්න හොඳ මානසිකත්වයක් තිබිය යුතුමයි. මේ ක්‍රිඩාව ඉතාම ත්‍රාසජනක ක්‍රීඩාවක්. අපිට එන සංචාරකයෙකුට Abseiling එකක් කරන්න ඕන කිව්වොත් අනිවාර්‌යයෙන්ම මම යනවා. මට තවත් කෙනෙක් විශ්වාස කරන්න බැහැ. මේ ක්‍රීඩාවෙදි අපි ගන්න තීරණයත් එකක් තමයි හැම දේම වෙන්නේ. ඇබ්සලින් කරද්දි ප්‍රධාන අවධානය දෙන්න ඕන දිය ඇල්ලේ වතුර ම්ට්ටමට. සෑම විනාඩි පහකට වරක්ම වතුර මට්ටම ගැන සැලකිලිමත් විය යුතුයි. ගොඩාක් දෙනා මේ දේවල් නොදැන ගිහින් අනතුරු වෙච්ච අවස්ථා බොහොයි. White Water Rafting, Canyoning කරනවාට වඩා ඇබ්ලසින් කියන්නේ ඉතාම ත්‍රාසජනකම ක්‍රීඩාවක්. ඇබ්ලසින් කියන්නේ කරන්න් වාලේ කරන්න සුදුසු ක්‍රිඩාවක් නෙමෙයි. කිතුල්ගල ඇබ්සලින් කරන්නේ සඳුන් ඇල්ල සහ මන්නකැති ඇල්ල කියන දිය ඇලි දෙකෙන්.
“අනිත් කාරණය තමයි විදේශිකයන්ට වඩා දේශිය සංචාරකයන් කියන දේ අහන්නෙම නැති නිසා සිදුවන අනතුරු වැඩියි. අපි ඕනැම ක්‍රීඩාවක් කරන්න කලින් ගයිඩ් කරනවා. සංඥා කියලා දෙනවා යන ගයිඩ් එක්ක සම්බන්ධ වෙන්න. මේවා අපේ සංචාරකයන් ගණන් ගන්නේ නෑ. බෝට්ටු යද්දි හෙල්මට් ජැකට් ගලවන්න එපා කියද්දි සමහර අය ගලවලා අනතුරු වෙලා තියෙනවා.”
"මුළු කිතුල්ගලම රැකෙන්නේ සංචාරක කර්මාන්තයෙන්. ඒත් කිතුල්ගල සංවර්ධනය කරන්න කියලා නිසි වැඩපිළිවෙළක් තියෙනවා කියලා දැනෙන්නේ නැහැ. මෑතකදී සංවර්ධනය කරනවා කියලා සඳුන් ඇල්ල වගේ ලස්සන ස්වාභාවික තැනක් විකෘති කළා.
අකිල මෙහි ඇති ත්‍රාසජනක බව සහ අවධානම සම්බන්ධයෙන් එලෙස පැවසීය.
මෙවැනි ව්‍යාපාරයක් ආරම්භ කිරීම හෝ පවත්වාගෙන යෑම පහසු කාර්යයක් නොවේ. White Water Rafting, Canyoning සහ Abseiling වැනි ක්‍රියාකාරකම් සඳහා භාවිත කරන බෝට්ටු, ජීවිතාරක්ෂක කබා, හිස් ආවරණ, ලණු පද්ධති සහ අනෙකුත් ආරක්ෂක උපකරණ සියල්ලම ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත්, ඉහළ මිලක් සහිත උපකරණ වේ. ඒවායෙන් බොහොමයක් විදේශවලින් ආනයනය කළ යුතු බැවින් ප්‍රාග්ධන වියදම තවත් ඉහළ යයි.
"මේ ක්ෂේත්‍රයට එන්න ලොකු කැපකිරීමක් කරන්න වෙනවා. Rafting කරන්න ඕන බෝට්ටු, ආරක්ෂක උපකරණ, හෙල්මට්, ජිවිත ආරක්‍ෂිත කබා වගේ හැම දෙයක්ම ගොඩක් මිල අධිකයි. මම මේ ගමන පටන් ගත්තෙත් ගොඩක් පොඩියට.ඉස්සර මට තිබුණේ ත්‍රීවීල් එකක්. අන්තිමට ඒ ත්‍රීවීල් එක ෆිනෑන්ස් කරලා තමයි මගේ මුල්ම බෝට්ටුවයි හෙල්මට් හතරකුයි ගත්තේ. මේ උපකරණවල මිල තවත් වැඩි වෙලා. ඉස්සරහට තවත් වැඩි වෙයි. කන්ද නගින කඹයට ලක්ෂ තුනහමාරක් විතර යනවා. පිටරටින් ගේන්න වෙන නිසා ලොකු බදු ගෙවන්නත් වෙනවා."

ඇබ්සලින් ක්‍රීඩාවේ යෙදෙන විදේශීය කාන්තාවක්
අකිල නුවන් එසේ පවසයි.
මේ සුන්දර දිය දහරා පිටුපස අද වන විට බරපතළ ඛේදවාචකයක් පවතී. කිතුල්ගල සංචාරක කර්මාන්තයට අද වන විට ‘’කළු පැල්ලමක්’ එකතු වී ඇත්තේ නිසි ප්‍රමිතියක් සහ පුහුණුවක් නොමැති පිරිස් මේ ව්‍යාපාරයට අතගැසීම නිසාවෙනි. මේ පිළිබඳව වොටර් රාෆ්ටින් මාර්ගෝපදේශකයකු වන තවත් තරුණයකු මෙලෙස අදහස් දක්වා සිටියේය,
"අද කිතුල්ගල රාෆ්ටින් කරන තැන් වැහි වැහැලා. මේවා මෙහෙයවන සමහර අයට කිසිම වෘත්තීය පුහුණුවක් Professional trainingනැහැ. ගඟ ගැන, වතුරේ හැසිරීම ගැන, ජල ගැලීම් මට්ටම් ගැන කිසිම වැටහීමක් නැති අය සල්ලි විතරක් බලාගෙන මිනිස්සුන්ව ගඟට දානවා. අපි මේ ගඟට ආදරෙයි. ගඟේ හැසිරීම, වතුර මට්ටම වැඩි වෙන එක, ගංවතුර එන එක ගැන අපිට හොඳ ඉවක් තියෙනවා. සමහර වෙලාවට ආරක්ෂිත ජැකට් (Life jackets), හෙල්මට් පවා ප්‍රමිතියෙන් තොරයි. මේ වගේ වගකීම් විරහිත වැඩ නිසා ජීවිත නැති වුණු අවස්ථාත් තියෙනවා. ඒක කිතුල්ගලටම, මුළු සංචාරක කර්මාන්තයටම නරක නාමයක්."
ස්වභාවධර්මය මත පදනම් වූ කිතුල්ගල සංචාරක කර්මාන්තය දිගුකාලීනව පවත්වාගෙන යාමට නම්, සංවර්ධනය සහ සංරක්ෂණය අතර නිවැරදි සමබරතාවක් පවත්වාගැනීම අත්‍යවශ්‍යය. මන්ද කිතුල්ගල සැබෑ ආකර්ෂණය පවතින්නේ ගොඩනැගිලි හෝ කෘත්‍රිම නිර්මාණ තුළ නොව එහි තවමත් නොනැසී පවතින ස්වාභාවික සුන්දරත්වය තුළය.
"මුළු කිතුල්ගලම රැකෙන්නේ සංචාරක කර්මාන්තයෙන්. ඒත් කිතුල්ගල සංවර්ධනය කරන්න කියලා නිසි වැඩපිළිවෙළක් තියෙනවා කියලා දැනෙන්නේ නැහැ. මෑතකදී සංවර්ධනය කරනවා කියලා සඳුන් ඇල්ල වගේ ලස්සන ස්වාභාවික තැනක් විකෘති කළා. ස්වභාවිකව තිබුණු තැන්වලට වැටවල් ගැහුවා. දිය ඇල්ලට යන්න තිබුණු ස්වාභාවික ගල් වෙනුවට කොන්ක්‍රීට් දැම්මා.අපි අවුරුදු ගණනක් දෙස් විදෙස් සංචාරකයන් එක්ක වැඩ කරලා තියෙනවා. මමත් අවුරුදු හයක් ඔවුන් එක්ක වැඩ කළා. සංචාරකයෙක් ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා අපි දන්නවා. අද ඒ ස්වාභාවික තැන් වෙනස් කරලා විනාශ කරනකොට පිටරට සංචාරකයොම අපෙන් , "ඇයි උඹලා මේ ලස්සන තැන් මේ විදිහට වෙනස් කරන්නේ " කියලා අහනවා. ස්වාභාවික තැනක් ස්වාභාවික විදිහටම තිබුණොත් මිනිස්සු හැමදාම එතැනට එනවා. ඒවා තමයි එයාලා හොයන්නේ. හැබැයි ඒ තැන සාමාන්‍ය කොන්ක්‍රීට් ඉදිකිරීමක් බවට පත් වුණාම ඒකේ තියෙන වටිනාකම නැති වෙනවා. ඒක තේරුම් ගන්න බැරි නිසා අද අපේ ලස්සන තැන් ටිකෙන් ටික විනාශ වෙමින් යනවා. සමහර එළිමහන් ස්ථානවල බලද්දී පේන්නේ අරක්කු බෝතල්, ප්ලාස්ටික් බෝතල්, පොලිතින් කවර විතරයි. කලින් සංචාරකයන් ආසාවෙන් ආපු ලස්සන තැන් අද ඒ තත්ත්වයට පත් වෙලා තියෙනවා.ආරක්ෂාව ගැනත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අද කිතුල්ගලට එන සමහර අය පොඩි ළමයින්වත් අරගෙන හිතුමතේට ගඟට බහිනවා. කිසිම ආරක්ෂක ක්‍රමයක් නැහැ.
කිතුල්ගල දියුණු කරන්න නම් සංචාරක කර්මාන්තය ගැන ඇත්තටම දැනුම තියෙන අයගේ අදහස් අරගන වැඩ කරන්න ඕනේ. සංචාරය ගැන අත්දැකීමක් නැති අයට මේ වගේ තැනක් සංවර්ධනය කරන්න අමාරුයි.

අද කොළඹ වැනි ප්‍රදේශවල ඉඳන් සමහර අය අන්තර්ජාලයේ Facebook Pages, Websites හදාගෙන Booking ගන්නවා. ඊට පස්සේ අඩුම මිලට සේවාව දෙන ආයතනයක් හොයාගෙන ඒ අයට Customerලා යොමු කරනවා. එයාලා අතරින් සමහර අය ගුණාත්මක සේවාවක් දෙනවා. හැබැයි තවත් සමහර අය අඩු මිලට කියලා සේවාව බාගෙට කරනවා.ඒ වගේ තැන්වලට ගිය සංචාරකයෝ දවස අවසානයේ කලකිරිලා යනවා. ඒක අන්තිමටම බලපාන්නේ මුළු කිතුල්ගලටම සහ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට.ඒ නිසා මම හැම සංචාරකයෙක්ගෙන්ම ඉල්ලන දෙයක් තියෙනවා. කිතුල්ගලට එන්න කලින් මිල විතරක් බලන්න එපා. මුලින්ම ඒ ආයතනයේ Location එක බලන්න, Reviews බලන්න, ආරක්ෂව ගැන හොයලා බලන්න. හොඳ, වගකීමක් ඇති ආයතනයක් තෝරගෙන ආවොත් තමයි කිතුල්ගලේ ඇත්තම Adventure අත්දැකීම විඳින්න පුළුවන් වෙන්නේ.
Rafting කරන්න මම සාමාන්‍යයෙන් තෝරාගන්නේ අවුරුදු දහයට වැඩි අය විතරයි. දහයට අඩු දරුවන් ගෙනියනවා නම්, ගඟේ හරිම පහසු, ආරක්ෂිත පොඩි කොටසකට විතරයි.හැබැයි අද සමහර තැන්වල අවුරුදු තුනේ, හතරේ පොඩි දරුවොත් Rafting වලට අරගෙන යනවා. Adventure එකක් කියන්නේ මුලින්ම ආරක්ෂාව තියෙන්න ඕනේ. ඒ නිසා දරුවාගේ වයසත්, ශරීර තත්ත්වයත් හොඳටම සලකා බලන්න ඕනේ. උපරිම වයසක් කියලා නම් තීරණය කරන්න බැහැ. ඒක පුද්ගලයාගේ නිරෝගීභාවය මත වෙනස් වෙනවා. හෘද රෝග තියෙන අය, ගැබිනි කාන්තාවන් වගේ අය නම් අපි මේ ක්‍රියාකාරකම්වලට එකතු කරගන්නේ නැහැ. අපිට Adventure එකටත් වඩා වැදගත් වෙන්නේ මිනිස්සුන්ගේ ආරක්ෂාව"
කිතුල්ගලට දෙස් විදෙස් සංචාරකයෝ වැඩිපුරම ප්‍රිය කරන්නේ ඇයි?
දෙස් විදෙස් සංචරකයන් ආකර්ෂණය වන්නේ රාෆ්ටින් ක්‍රීඩාව නිසාය. 1990 දී බ්‍රිතාන්‍ය ජාතිත පීටර් ස්ටුවර්ට් විසින් විනෝදයත්, ත්‍රාසයත්, ආරක්ෂාවත් සහිතව වෝටර් රාෆ්ටින් ක්‍රීඩාව සඳහා ලොව සුදුසුම ස්ථානයක් යැයි කිතුල්ගල නිර්දේශ කර ක්‍රීඩාව හඳුන්වා දෙනු ලැබිණ. කිතුල්ගල ඇති සුවිශේෂත්වය නම් සෑම ගංගා බැස්මක් අවසානයේදී ම ජලය නිසලව ගමන් කරන ස්ථාන පැවතීමයි. මෙම ස්ථානයේ කිලෝමීටර් පහ හමාරක් ඇතුළත රැපිඩ් හෙවත් බැස්මවල් (සුදු පෙණ වීසි වන කුඩා ඇලි) 7 ක් පවතියි. කිතුල්ගල ආශ්‍රිත කැලණි ගඟේ මෙම කොටස හඳුන්වා දීමේන් අනතුරුව වේගයෙන් මෙම ත්‍රාසජනක අත්දැකීම සංචාරකයන් අතර ප්‍රසිද්ධියට පත්ව ඇත.
මෙහි ඇති සුවිශේෂත්වය නම් ලෝකයේ මෙවැනි ස්වාභාවික පිහිටීම් ඉතා විරල වීමය. කි.මී. පහමාරක් පමණ පුරා රාෆ්ටින් ක්‍රීඩාවේ නිරත විය හැකි අතර විනාඩි 45 ක සිට පැය එක හමාරක් දක්වා කාලයක් තුළ සංචාරකයන්ට මෙම අත්දැකීම විඳගැනීමේ කාලය හිමිවනු ඇත.
1970 දශකයේ අඟ භාගයේදී ඇමෙරිකාව විසින් මෙම ක්‍රීඩාව නිර්මාණය කර ඇති අතර දැනට ලොව පුරා ගංගා 374 ක් ආශ්‍රිතව රාෆ්ටින් ක්‍රීඩාව පවත්වනු ලැබේ. ලෝකය පුරා රටවල් සිය සංචාරක ආකර්ෂණය පවත්වාගෙන යෑමට මෙම ක්‍රීඩාව ප‍්‍රබලව යොදා ගන්නා අතර, මැලේසියාව සහ ඩුබායි යන රටවල් කෘත්‍රිම ගංගා නිර්මාණය කර රාෆ්ටින් ක්‍රීඩාව පවත්වාගෙන යයි. මෙම ක්‍රීඩාවේ නිරත විය හැකි ලංකාවේ එකම ස්ථානය කිතුල්ගලය.
"සංවර්ධනයේ නාමයෙන් කරන අපරාධ නිසා කිතුල්ගල කොන්ක්‍රීට් වනාන්තරයක් වේගන එන්නේ”
අද වන විට මේ සුන්දර කිතුල්ගල ගම්මානයෙන් ඇසෙන්නේ වෙනදා ඇසුණු කුරුලු කූජනය හෝ දිය දහරාවේ සංගීතය පමණක් නොවේ. සංවර්ධනයේ නාමයෙන් සොබාදහම ඝාතනය කරන කොන්ක්‍රිට් වේගන එන වනාන්තරය.
අප සමඟ අදහස් දැක්වූ ගම්වැසියන් සහ පරිසර හිතකාමීන් බලධාරීන්ට එල්ල කරන්නේ බරපතළ චෝදනාවකි.
"විදේශිකයෝ මේ පරිසරයට එන්නේ කොන්ක්‍රීට් පාරවල් බලන්න නෙමෙයි. ඔවුන් එන්නේ මේ තියෙන ගල්කුළු, මඩ පාරවල්, ගහකොළ එක්ක තියෙන වනගත සුන්දරත්වය විඳින්න. හැබැයි අද බලන්න, දේශපාලකයෝ තමන්ගේ කොන්ත්‍රාත් සල්ලි ටික ගන්න, 'සංවර්ධනය' කියලා ගඟ දිගේ උඩහට යන්න පඩි පෙළවල් හදලා. මේ විනාශය කරන්න පටන් ගත්තේ මේ පාලන ආණ්ඩුව ආවට පස්සේ. සංචාරක කර්මාන්තය දියුණු කරනවා කියන්නේ සොබාදහම විනාශ කරලා කොන්ක්‍රිට් තට්ටු දාන එක නෙමෙයි.
මේ විදිහට පාරවල් පඩිපෙළවල් හැදුණාම මිනිස්සු හැමතැනම යනවා, ප්ලාස්ටික්, පොලිතින් දාලා ගඟයි පරිසරයයි දෙකම විනාශ කරනවා. කිතුල්ගල කියන්නේ අපිට තිබුණු ස්වාභාවික නිධානයක්. ඒක අද කොන්ක්‍රීට් වනාන්තරයක් වේගෙන එනවා. මේක මෙහෙම ගියොත් තව අවුරුදු කිහිපයකින් සුද්දෝ කිතුල්ගල පැත්ත පළාතක එන්නේ නෑ..." යැයි ගම්වැසියෙක් දැඩි සංවේගයෙන් යුතුව ප්‍රකාශ කළේය.
කිතුල්ගල පුරවරයේ මේ සුන්දරත්වය අනාගතයටත් සුරැකීම අප සැමගේ වගකීමකි. මන්ද කිතුල්ගල සැබෑ වටිනාකම රැඳී ඇත්තේ එහි ස්වාභාවික පරිසරය තුළය. ඒ සුන්දරත්වයට ආදරය කරමින්, එය ආරක්ෂා කරමින් පැමිණෙන සෑම සංචාරකයකුටම කිතුල්ගල තවත් සුන්දර මතකයක් තිළිණ කරනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd