ඔබ වෙත ඉදිරිපත් කරන මෙම ලිපි පෙළෙහි අභිලාෂය රසපරීක්ෂක දෙපාර්තුමේන්තුවේ මා ලද අත්දැකීම් ඔබ වෙත පෙළගැස්වීම  වුවද, මෙහි තවත් අරමුණක් ලෙස රජයේ රසපරීක්ෂක දෙපාර්තුමේන්තුව විසින් අපරාධ විමර්ශනයේ දී සිදුකරන කාර්යයභාරය සහ එහිදී අදාළ සෙසු අංශ සමග සහයෝගීව කටයුතු කරන ආකාරය පිළිබඳව පාඨකයාට ප්‍රමාණවත් පැහැදිලි කිරීමක් සිදුකිරීමටද අපේක්ෂා කෙරෙයි.

එමෙන්ම අපරාධ විමර්ශන ක්‍රියාවලියේ දී රස පරීක්ෂකවරයාගේ කාර්යයභාරය, විමර්ශන ක්‍රියාවලියේ දී අනුගමන කළයුතු ක්‍රියාපටිපාටිය සහ මෙම කර්තව්‍යයේ වගකීම සහ වැදගත්කම පිළිබඳව පාඨකයාට යම් වැටහීමක් ලබාදීමට මෙහිදී උත්සාහයක් ගැනීමට ද බලාපොරොත්තු වෙයි.  අනාගතයේ දී මෙම රාජකාරිය ඉටුකිරීමේ ආශාවෙන් ඒ පිළිබඳ හැදෑරීමට යම් කැමැත්තකින් පසුවන්නන් හට මුලික වැටහීමක් ලබාදීම ද මෙමගින් සිදුවනු ඇත.

රසපරීක්ෂක දෙපාර්තමේන්තුව අයත් වන්නේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට(The Ministry of Justice and National Integration ) වන අතර, අපරාධ විමර්ශනයේ දී අධිකරණ ක්‍රියාවලිය සඳහා දායකවීම සහ  විශ්ලේෂණ වාර්තා සැපයීම එහි ප්‍රධාන කාර්යයභාරය වෙයි.

අප දෙපාර්තමේන්තුවේ විශ්ලේෂණ කටයුතු- ආහාර විද්‍යා අංශය (මද්‍යසාර ඇතුළුව) සහ අධිකරණ විද්‍යා අංශය ලෙස පුළුල් විෂය පථ දෙකකට බෙදා ඇත. විවිධ රාජ්‍ය ආයතන (මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාල, ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල, රේගු අධිකාරිය, පරිභෝගික කටයුතු අධිකාරිය, සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුළුව) සහ පොලිසිය ඇතුළු ආරක්ෂක සේවාවන් විසින් ඉදිරිපත් කරන නීතිමය කරුණු හා බැඳුණු ආහාර ද්‍රව්‍යය, පානීය ජලය සහ අපජලය, පාන වර්ග (මත්පැන් ඇතුළුව) සහ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන සාම්පල වල අන්තර්ගතය, සංශුද්ධතාවය විශ්ලේෂණය කර වාර්තා නිකුත් කිරීම ආහාර විද්‍යා අංශය මගින් සිදු කෙරෙයි.

අධිකරණ විද්‍යා අංශය ප්‍රධාන අංශ හතකින් සමන්විත වේ. ඒවා නම්, ප්‍රක්ෂිප්ත විද්‍යා අංශය(Firearms and Ballistics Section ), පුපුරන ද්‍රව්‍ය සහ ගිනි විමර්ශන අංශය (Explosive and Fire Investigation Section ), මත්ද්‍රව්‍ය අංශය (Narcotic drugs and Psychotropic Substances Section ), මස්තු විද්‍යා හා DNA විශ්ලේෂණ අංශය (Serology and DNA Section ), ධුලක විද්‍යා අංශය (Toxicology Section ), සැක කටයුතු ලේඛන පරීක්ෂණ අංශය (Examination of Questioned Documents Section ), විවිධ විශ්ලේෂණ අංශය (Miscellaneous Section ) වේ.

අපි දැන් සාමාන්‍ය අපරාධ විමර්ශනයක් සිදුකිරීමේ දී අනුගමනය කරන ක්‍රියා පිළිවෙළ විමසා බලමු.

අඩක් කා තිබු අඹය

අපරාධයක් සිදුවී ඇතිවිට එය පළමුව වාර්තා කළයුතු වන්නේ අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානය වෙතය. මෙහිදී පොලිස් නිලධාරීන් විසින් මූලික විමර්ශන කටයුතු සිදුකරන අතර, මේ සඳහා විශේෂ පුහුණුව ලත් නිලධාරීන්ගේ(Scene of Crime Officer - SOCO ) සහය ලබාගැනීමද සිදුවේ. අපරාධය පිළිබඳව මහේස්ත්‍රාත්වරයා දැනුවත් කිරීම සහ අපරාධයට අදාළ නඩු භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කිරීමද අදාළ පොලිසියේ කාර්යභාරයකි. විමර්ශ කටයුතු සිදුකිරීම සඳහා අවශ්‍යය අවස්ථාවලදී විශේෂඥ සහය ලබාගැනීම, එනම් - අධිකරණ වෛද්‍ය නිලධාරීන්(JMO), ඇඟිලි සලකුණු පරීක්ෂකවරුන් සහ රජයේ රසපරීක්ෂක නිලධාරීන් කැඳවීමට කටයුතු කිරීම ද පොලීසියේ කාර්යයන්ට අදාළ වේ.  

රජයේ රසපරීක්ෂක නිලධාරීන් කැඳවීම සඳහා අදාළ පොලිස් ස්ථානාධිපතිවරයාගේ ලිඛිත ඉල්ලීමක් හෝ අධිකරණ නියෝගයක්  අනිවාර්යවේ. මෙම අවස්ථාවේ දී රසපරීක්ෂකවරයාගේ කාර්යය වනුයේ අපරාධය වූ ස්ථානය පරීක්ෂාකර, වැදගත්විය හැකි කරුණු සටහන් කර ගැනීම සහ අවශ්‍ය සාම්පල ලබාගැනීමට කටයුතු කිරීමය.

අපරාධ ස්ථාන පරීක්ෂණයේ දී පොලිසිය විසින්(SOCO නිලධාරීන්ද ඇතුළුව) රැස්කරගන්නා ලද සාක්ෂි  සහිත සාම්පල සුදුසු ලෙස අසුරා, සුරක්ෂිතව සංරක්ෂණය කර පසුව අධිකරණයට ඉදිරිපත්කර අධිකරණ නියෝගයක් ලබාගැනීමෙන් පසු රසපරීක්ෂක කාර්යාලයට එම සාම්පල බාර දෙනු ලැබේ.   මෙම බාරදීම සිදු කළයුත්තේ අධිකරණ නියෝගයේ සඳහන් පොලිස් නිලධාරීන් විසින්මය. මෙම අවස්ථාවේදී නිලධාරීන් අනිවාර්යයෙන්ම තමන්ගේ සම්පූර්ණ නිල ඇඳුමින් සැරසී සිටිය යුතු අතර තම අනන්‍යතාවය තහවුරු  කළ යුතුය. රස පරීක්ෂක දෙපාර්තුමේන්තුවට බාර දෙන ”‍ නඩු භාණ්ඩ ”‍ බාර ගන්නා නිලධාරියා, ඒවා විශ්ලේෂණය කිරීමට අදාළ අංශයේ රස පරීක්ෂකවරයකු විය යුතුය. ඔහු නඩු භාණ්ඩ පාර්සලවල, ඇසුරුමේ මුද්‍රාව, භාණ්ඩවල දත්ත නිසිලෙස ඇත්දැයි පරීක්ෂා කර බලා, අධිකරණ නියෝගය පරිදි ඒවායේ ඇති සියලු‍ භාණ්ඩ නිවැරදි නම්, එම නඩු භාණ්ඩ බාරගෙන, යොමු අංකයක් සඳහන් ලදු පතක්  රැගෙන එන නිලධාරියාට නිකුත් කරනු ලබයි.

භාරගත් නඩු භාණ්ඩ අදාළ විශ්ලේෂණ සිදුකර විශ්ලේෂණ වාර්තාව රසපරීක්ෂකවරයා විසින් අධිකරණයට යොමුකරන අතර, වාර්තාවේ පිටපතක් විමර්ශනයට අදාළ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා වෙතද ලබා දෙයි.

විශ්ලේෂණය අවසන් කළ නඩු භාණ්ඩ මුද්‍රා තබා, අධිකරණයෙන් ලබා ගන්නා ලද ඉවත් කරගැනීමේ අධිකරණ නියෝගයක් සමග පැමිණන පොලිස් නිලධාරියකු හට නැවත අධිකරණයට යොමු කිරීම සඳහා බාර දෙනු ලැබේ.

අදාළ නඩුව විභාග වන අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය මත විශ්ලේෂණ වාර්තාව නිකුත් කඝ රසපරීක්ෂකවරයාහට විශේෂඥ සාක්ෂි ලබාදීම සඳහා කැඳවීමක් බොහෝ අවස්ථාවලදී සිදුවිය හැක. මෙහිදී නඩු භාණ්ඩ හඳුනාගැනීම සහ විත්තියේ නීතිඥවරයාගේ හරස් ප්‍රශ්න වලට පිළිතුරු ලබාදීමටද සිදුවිය හැකිය.

රසපරීක්ෂකවරයකු ගේ රාජකාරිය පිළිබඳව මූලික වටහා ගැනීම ඔබට ලබා දීමත් සමග රසපරීක්ෂකවරියක ලෙස අවුරුදු විස්සකට අධික කාලයක මා අත්දකින ලද විශේෂිත විශ්ලේෂණ කීපයක විස්තර මෙම ලිපිපෙළෙන් ඔබ ඉදිරියේ තැබීමට  කැමැත්තෙමි.

රසපරීක්ෂක දෙපාර්තමේන්තුවේ සහකාර රසපරීක්ෂකවරියක වශයෙන් රාජකාරි ආරම්භ කළ මා - මස්තු විද්‍යා අංශයට සම්බන්ධව කටයුතු කළේ එවකට ජාන විශ්ලේෂණ කටයුතු අප දෙපාර්තමේන්තුවේ සිදුකළේ නැත. මනුෂ්‍ය ඝාතන, ස්ත්‍රී දුෂණ, රිය අනතුරු, පහරදීම් සහ සොරකම්  වැනි අපරාධවලට අදාළ නඩු භාණ්ඩ විශ්ලේෂණය කිරීම අප අංශයේ ප්‍රධාන කාර්යය විය. 2014 වසරේදී ජාන විශ්ලේෂණය හඳුන්වා දීමෙන් පසු අප අංශයේ කාර්යභාරය වඩාත් ඉහළ තලයකට පත්විය. ජාන විශ්ලේෂණය මගින් මනුෂ්‍යය ඝාතන, ස්ත්‍රී දුෂණ, සොරකම් වැනි අපරාධ වලට අදාළ අපරාධකරුවන් හඳුනා ගැනීම, නාඳුනන මළසිරුරු හඳුනා ගැනීම, මාතෘත්වය, පීතෘත්වය සනාථ කිරීම ආදී වඩාත් සංකීර්ණ කාර්යයන් රැසක් වර්තමානයේ අප අංශය මගින් ඉටු කරනු ලැබේ.

මා ඔබට ඉදිරිපත් කරන විශ්ලේෂිත නඩු භාණ්ඩ හා බැඳුණු සිද්ධීන් විසඳූ අධිකරණ ක්‍රියාවලි හා බැඳී ඇති අතර, ඒවාට සම්බන්ධ පුද්ගලයන් සහ ස්ථාන අප අතරම පවතින බැවින්, ඒවායේ අනන්‍යතාව සුරැකීම සඳහා මෙහි සඳහන් සියලු‍ම නම් ගම් මනඃකල්පිත බව සලකන්න.  

මා ඔබට ඉදිරිපත් කරන මුල්ම අපරාධ විමර්ශනය එක්තරා නගරාසන්න ගමක වූ සිදුවීමකි. මෙම ගමේ එක නිවසක ජීවත්ව ඇත්තේ මැදිවියේ පසුවූ අවිවාහක කාන්තාවන් දෙදෙනකු පමණි. එක දිනක පාන්දර යාමයේ මෙම නිවසට ඇතුළුවන පුද්ගලයින් දෙදෙෙනක්(මොවුන් අපි අජිත් සහ වසන්ත ලෙස හඳුන්වමු.) නිවසේ භාණ්ඩ සොරකම් කිරීමට සුදානම් වෙද් දී, නින්දෙහි පසුවූ කාන්තාවන් දෙදෙනා අවදි වී තිබේ. මෙහිදී කාන්තාවන් බිය ගන්වා කාමරයක තිබු පුටු දෙකක් මත හිඳුවා, ඔවුන්ගේ අතපය පුටුවලට තබා ගැට ගසා ඇත.  කාන්තාවන්ගේ කටවල් ද බැඳ දමා තිබුණි. ඉන්පසු මෙම පුද්ගලයන් නිවසෙහි තිබු රන් භාණ්ඩ සහ මුදල් රැගෙන නිවසේ පිටුපස දොරින් පිටව ගොස් තිබුණි. කාන්තාවන් හට වෙනත් හිරිහැරයක් සිදුකර නොතිබු අතර, දෑස් බැඳ නොතිබුණු බැවින් අඳුරේ වුවද සොරුන් දෙපළගේ හැඩරුව කාන්තාවන් දෙදෙනා විසින් හඳුනාගන්නා ලදී.   

උදෑසන නිවසේ දොරවල් වසා තිබෙනු අසල්වැසියන්ට දක්නට ලැබුණු බැවින්, ඔවුන් විසින් සොයාබැලීමේ දී ගැටගසා තිබු කාන්තාවන් දෙදෙනා හමුව තිබුණි.