උද්‍යාන පිවිසුම් දොරටුව

 

සියවස් ගණනාවක් තිස්සේ මේ මිහිපිට පෘතග්ජන බොහෝ දෙනකුට ළඟාවීමට කැමැතිමුත්  බලා සැනසෙන හීනයක් වන්නේ මුළුමහත් ලෝකයම දෑසින් දැකබලා ගැනීමයි. පැරිසියේ අයිෆල් කුලුන පාමුල මොහොතක් නතර වන්නටත්, ඊජිප්තුවේ පිරමීඩ අතරින් ගොස් කාන්තාරයේ වැලි කැට පැගීමටත්, ඉන්දියාවේ ටාජ් මහල දෙස බලා ප්‍රේමයේ මන්දහාසය විඳින්නටත් අවස්ථාවක් ලැබුණහොත් එයට අකැමැති වන්නෝ නොසිටිති. එහෙත් එක රටකට පමණක් ගොස් ලෝකයක් දකින්නටත් රටවල් 130 කට ගියා හා සමාන හැඟීමක් ලබාගැනීමටත් හැකි බව දන්නේ ඉතාම සුළු පිරිසකි. එවන් දුර්ලභ අවස්ථාවක් ලැබෙනවානම් එසේ ලැබෙන්නේද කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලන්නා හා සමානවය. 

එම දුලබ, අමිල අවස්ථාව පසුගියදා මට උදාවූවේ මගේ වෘත්තීය අවස්ථාවකිනි. ඒ චීන රජයෙන් ලැබුණු තෑග්ගකි. ඒ මගේ වෘත්තීය මාධ්‍ය පුහුණු වැඩමුළුවකට සති 3 කට ආසන්න කාලයක් මට චීන රටේ රැඳීමට අවස්ථාව උදාවීමෙනි. චීනයේ ගුවැන්ඩොන් ප්‍රාන්තයේ සෙන්ෂෙන් නගරය යනු ඈත අතීතයේ කුඩා ධීවර ගම්මානයකි. චීනයේ ආර්ථික ප්‍රතිසංස්කරණ සමඟින් සෙන්ෂෙන් නගරය ඉතා වේගයෙන් දියුණු වන්නට විය. 

චීන වැසියන්ට සහ එරටට පැමිණෙන විදේශීය සංචාරකයන්ට මුළු ලෝකයම එකම තැනකදී දැකබලා ගැනීමට අවස්ථාව සලසා දීමේ අරමුණින් සුවිශේෂී උද්‍යානයක් නිර්මාණය කිරීමේ සැලසුම සකස් වූයේ එහෙමය. ධීවර ගම්මානයෙන් උපන් ලෝක පුදුමය වන මෙම තේමා උද්‍යානය වන්නේ නවීන තාක්ෂණයේ සහ සංචාරක කර්මාන්තයේ පාරාදීසයක් බඳු වූ සෙන්ෂෙන් නුවර පිහිටි ලෝක කවුළුවය (Window of the World). පසුගියදා අප කළ චීන සංචාරයේදී අමතක නොවන  සහ විස්මයජනක අත්දැකීමක් එක් කළේ මේ අපූර්ව භූමියයි. චීන රජයේ අනුග්‍රහයෙන් ‘චයිනා ට්‍රැවල් සර්විස්’ සහ ‘ඕවර්සීස් චයිනිස් ටවුන් හෝල්ඩින් කම්පැණි’ යන ප්‍රධාන ආයතනවල ඒකාබද්ධ ව්‍යාපෘතියක් සහ ආයෝජනයක් ලෙස ඉදිවූ උද්‍යානය නිල වශයෙන් මහජනතාව සඳහා විවෘත කරන ලද්දේ 1994 ජුනි 18 වැනිදාය.  උද්‍යානය අක්කර 118ක සුවිශේෂී භූමි භාගයක් පුරා විහිදී ඇති අතර උද්‍යානය සම්පූර්ණයෙන්ම නැරඹීමට අවම වශයෙන් පැය 6-8ත් අතර කාලයක් ගත වන්නේය. යමකු මෙම උද්‍යානයට සෙන්ෂෙන් නුවර මෙට්‍රෝ දුම්රිය පද්ධතියේ  ගමන් කරනවානම් (Shenzhen Metro Line 1 සහ Line 2) ‘Window of the World’ දුම්රිය ස්ථානයෙන්ම උද්‍යානයට  පිවිසිය හැකිය. 

එකම මොහොතක ලෝකයම පෙනෙන මෙම උද්‍යානය හුදෙක් විනෝද උද්‍යානයක් පමණමත් නො ව එය මානව ශිෂ්ටාචාරයේ සහ විවිධත්වයේ අගය කියාපාන ජීවමාන විශ්වකෝෂයකි. ජාති, ආගම් හෝ දේශසීමා භේදයකින් තොරව මුළු මහත් ලෝකයම එකම වහලක් යටට ගෙන ඒමට චීනය දැරූ උත්තම පරිත්‍යාගයකි. මෙම උයනේ විශේෂත්වය වන්නේ රටවල් 130 කට අයත් සංස්කෘති සහ ඒ ඒ රටවල ප්‍රකට ස්ථාන මෙම අක්කර 118 පුරා ප්‍රධාන භූගෝලීය කලාප 5 ක් යටතේ මනස්කාන්ත ලෙස ඉදිකර තිබීමයි. රටරටවල සාම්ප්‍රදායික ගෘහ නිර්මාණ ශිල්පය සහ නව තාක්ෂණයේ සුසංයෝගය උද්‍යානය පුරාම දැකිය හැකිය. උද්‍යානයට ඇතුළු වන දොරටුවේ සිට උද්‍යානයෙන් පිටවන දොරටුව දක්වාම එක හා සමාන හැඟීමක් මසිතට නැගිණි. එනම් චීනය කෙතරම් ලෝක බලවතකු වුවත් ඔවුන් පරිසරයට සොබාදහමට කෙතරම් ආදරය කරනවාද කියාය. උද්‍යානය පුරා ඇති භූගෝලීය කලාප එකිනෙක ඒ ඒ රටවල භූගෝලීය පරිසරයට සමාන ලෙසින් කිසිදු වෙනසක් නොදැනෙන පරිදි ඉදි කර තිබීම අප අමුතුම දිව්‍යතලවලට කැඳවාගෙන යයි. උද්‍යානයේ කිසිදු ස්ථානයක එරට එදාමෙදා දේශපාලන අධිකාරියේ එකදු දේශපාලකයකුගේවත් ඡායාරූප හෝ නාම පුවරුවක්  මගේ නෙත නොගැටුණි.

ලෝක ප්‍රකට නයගරා දියඇල්ල

උද්‍යානයට ඇතුළු වූ විට මුලින්ම හමුවන්නේ ලෝක චතුරස්‍රය සහ ප්‍රවේශ කලාපයයි. උද්‍යානය සිසාරා මුලින්ම දිස්වන්නේ අහස සිඹින අයිෆල් කුලුනයි. සැබෑ කුලුනේ ප්‍රමාණයෙන් තුනෙන් එකක ප්‍රමාණයට ඉදිකර ඇති මෙම ආකෘතිය මුළු උද්‍යානයටම සෙවණ සපයමින් මහා අභිමානයෙන් අප දෙස බලා සිටින්නේ පැරිසියේ පෞරුෂය විදහාපාමිනි. අයිෆල් කුලුන පසුකර වම්පසින් ආරම්භ වන පළමු ප්‍රධාන භූගෝලීය කලාපය වන්නේ ආසියානු කලාපයයි. ජපානයේ ෆූජි කන්ද දෙස බලාගෙන පොපිමලින් සහ චෙරිමලින් වැසුණු පාර දිගේ රතු ලන්තෑරුම් එළිය මැදින් ඉදිරියට ඇදෙමින් කට්සූරා රාජකීය මන්දිරයට ගොඩ වදින්නේ කිමෝනෝවලින් සැරසුණු ජපන් සුන්දර ජපන් යුවතියන්ගේ ජපන් කුඩ යට සෙවණේය. එසේ ඇතුළු වී සදෝ නම් ජපන් සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහ භුක්ති විඳීමටද අවස්ථාව උදා වන්නේය. ඉන්පසු සාජහන් මුම්ටාස් ආදර කතාව සිහිකරමින්  කිරිගරුඩ ටජ්මහල් මන්දිරයට ඇතුළු වූ විට දැනෙන්නේ ඉන්දියාවට පය තැබුවා හා සමාන පරිසරයකි. ටජ්මහලේ ආදර කතාව අසා දෑස නිලුපුල් තෙමාගෙන එළියට පැමිණි අප ඉන්දියාවේ ඔඩිෂා හි පිහිටි සූර්යයාගේ අශ්වයන් 7 දෙනකු ඇදගෙන යන දැවැන්ත රථයක හැඩයෙන් යුතු කොනාරක් සූර්ය දේවාලයට ඇතුළු වන්නේ ඉමහත් භක්තියකිනි.  මහා ප්‍රාකාරයකින් සහ දිය අගලකින් වටවූ කාම්බෝජයේ ඇන්කෝර් වට් සිද්ධස්ථානය තට්ටු 3 කින් සහ උස් කුලුනු 5 කින් සමන්විත මහා මේරු පර්වතයට අප රැගෙන ගියේය. 

තායිලන්තයේ බැංකොක් එමරල්ඩ් බුද්ධ මන්දිරය සහ සිංගප්පූරුවේ සුප්‍රකට මර්ලයන් ප්‍රතිමාව දැකබලාගෙන මා ප්‍රිය කළේ පාරම්පරික  මහා සංස්කෘතියකින් පැවත එන  අපේ පුංචි සිරිලංකාව දැකබලා ගැනීමටය. එහෙත් ආසියානු කලාපය නිමා වූවේ උද්‍යාන භූමියේ වී ඇටයක තරම්වත් ඉඩක් ලංකාවට ඉඩ වෙන් වී නොවීය. යම් හෝ දවසක මෙම උද්‍යානයේ මුතු ඇටයක තරමේ ඉඩක ලංකාවේ නම දකින්නට මම කැමැත්තෙමි. මෙම සුන්දර උද්‍යානයේ ආසියානු කලාපයේ ඓතිහාසික ශ්‍රේෂ්ඨ සංස්කෘති අතර ආසියාවේ වැදගත්ම සහ වටිනාම සංස්කෘතියක් සහිත සිරි ලංකාව ඇතුළත් කිරීමට සුදුසුකම් සපිරෙන තරමටවත් ලෝකයේ වටිනාම සංස්කෘතියක් සහිත මගේ පුංචි රට දියුණු වේවා කියා ආසියානු කලාපයේ සිට මම ප්‍රාර්ථනා කළෙමි. 

මද විරාමයක සුසුමක් හෙළූ මා ඉන්පසු ඇතුළු වන්නේ භූමියේ දෙවැනි භුගෝලීය කලාපය වන සාගර කලාපයටයි. පැසිෆික් සාගර කලාපයේ පිහිටි රටවල සුන්දරත්වය දැනෙමින් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි වරාය පාලමෙන් එගොඩ වූ අප 2007 වසරේ යුනෙස්කෝ ලෝක උරුමයක් වූ ලෝක ප්‍රකට සිඩ්නි ඔපෙරා හවුස් ගොඩනැගිල්ලට පිවිස නාට්‍යාංගනාවන්ගේ  බැලේ නර්තන, සවන් පිරෙන ඔපෙරා සංගීතය සජීවීව රස විඳින්නට තරම් අපගේ දෑස්, කර්ණ පින්කර තිබුණේය. නවසීලන්තයේ රොටෝරුවා නගරයේ දැකිය හැකි මාඕරි ආදිවාසී ගම්මානයට ඇතුළු වූ අපි වනගත පරිසරයක අමුතුම අත්දැකීමක් ලැබු‍වෙමු. ටික දුරක් ඉදිරියට ඇදුණු අපි ලෝකයේ පැරණිතම ශිෂ්ටාචාරයක් සඟවාගත් අප්‍රිකානු කලාපයට ඇතුළු වුණෙමු. ඇතුළු වන පිවිසුම අසල සිටිමින් අප පිළිගත්තේ ඊජිප්තු සංස්කෘතියේ මළවුන්ට අධිපති දෙවියකු ලෙස සැලකෙන ‘අනූබිස්’ නම් කළු පැහැති හිවලාය. පැරැණි අප්‍රිකානු වෙස්මුහුණු එල්ලූ සාම්ප්‍රදායික පිදුරු සෙවිලි කළ වටකුරු නිවාස මැදින් ගමන් කළෙමු. අප්‍රිකානු සාම්ප්‍රදායික මුසිකි සංගීතයට අයත් බෙර වර්ග රාශියක් භූමිය පුරා ප්‍රදර්ශනයට තබා තිබූ අතර ඒවායේ සංගීත වාදකයන්ගේ වාදනයෙන්ද අපගේ සවන් පිනවීය. 

හිම මත ලිස්සායෑමේ ගෘහස්ථ ක්‍රීඩාංගණය

ඊජිප්තුවේ ගීසාහි මහා පිරමීඩ සහ ස්පින්ක්ස් ප්‍රතිමා මැදින් බිත්තිවල ඇති පැරණි ඊජිප්තු හයිරොග්ලිෆික්ස් අක්ෂර සහ භූමිය පුරා සිටින ඔටුවන් සැබෑ ඊජිප්තු කාන්තාරයකට අප ගෙනගියේය. ඉන්පසු බටහිර කලා නිර්මාණ සහ මාලිගා රැසකින් සමන්විත වූ යුරෝපා කලාපයට අපි ඇතුළු වුණෙමු. ප්‍රංශයේ පැරිස් නුවර ජයග්‍රාහී තොරණ සහ වර්සායි මාලිගාවේ උද්‍යාන, එංගලන්තයේ  ලන්ඩන් නුවර බිග් බෙන් ඔරලෝසු කුලුන, බකිංහැම් මාලිගය සහ ස්ටෝන්හෙන්ජ් ගල් කුලුන,  ඉතාලියේ රෝමයේ පිහිටි සුප්‍රකට කොලෝසියම්   රංග පීඨය, වැනීසියේ ඇළ මාර්ග හරහා ගමන් කරමින් පිසාහි ඇලවන කුලුන අසලට ළඟාවුණෙමු. රුසියාවේ  මොස්කව් නුවර ක්‍රෙම්ලිනය සහ සාන්ත බැසිල් දේවස්ථානයේ වර්ණවත් ගෝලාකාර වහල දැකබලාගත් අප ග්‍රීසියේ  ඇතැන්ස් නුවර පෙනී යන පැරැණි පාර්තෙනන් දේවාලය වැඳපුදාගත්තෙමු. ලෝක බලවතකු වූ ඇමෙරිකානු කලාපයටත් ගොඩවැදුණු අප මුලින්ම ගියේ දකුණු ඇමරිකාවේ පේරු  රාජ්‍යයට අයත්, ඉන්කා ශිෂ්ටාචාරයේ අතීත ලෝක පුදුමයක් වන සුප්‍රකට කඳුකර නගරය වන ‘මචු පික්චු’ නගරයටය. අර්ධ කවයක හැඩයට මනරම් ලෙස ගලාහැලෙන ලෝකප්‍රකට නයගරා දිය ඇල්ලේ අසිරිය ඒ ආකාරයෙන්ම විඳගැනීමටත් අවට පරිසරයම සිසිලසකින් නව ජීවයක් ලැබීමටත් අපට දැනිණි. 

ලතින් ඇමරිකානු කලාපයේ මෙක්සිකෝව සහ පේරු රටවලට අයත් පැරැණි මායා, ඇස්ටෙක් හෝ ඉන්කා ආදී ප්‍රාග්-කොලොම්බියානු ශිෂ්ටාචාරයන්ට අයත් අපූර්ව සංස්කෘතිය සහ වාස්තු ශිල්පයේ හැකියාව සියැසින් දුටුවෙමු. ප්‍රධාන භූගෝලීය කලාපවලින් පසු අප ජාත්‍යන්තර වීදිය සහ විනෝදාස්වාද කලාපයට ඇතුළු වූ අතර  පිටත පවතින දැඩි උණුසුම් කාලගුණයෙන් මිදී, සැබෑ හිම කලාපයක අත්දැකීමක් උරුම කරමින් අයිස් මත ලිස්සා යාමේ ගෘහස්ථ ක්‍රීඩාංගණයට ඇතුළු වෙත්ම දැනුණේ දිව්‍ය ලෝකයකට ඇතුළු වූවා හා හැඟීමකි. එම ගෘහ ක්‍රීඩාංගණයේ පඩිපෙළක හිඳගෙන සංචාරකයන් අයිස් මත ක්‍රීඩාකරන ආකාරය අයිස් කොෆි පානය කරමින් දිගු වේලාවක් බලා සිටීමෙන් නිරාමිස සුවයක් අත්වින්දෙමි. දිනපතා සන්ධ්‍යා කාලයේදී උද්‍යානයේ මධ්‍යම රංගපීඨයේදී දැවැන්ත සංස්කෘතික සංදර්ශන, ජපන් චෙරි මල් උත්සව, පැරිස් බියර් උත්සවය, නත්තල් කානිවල්, පොප් සංගීත ප්‍රසංග මෙන්ම ලෝකයේ විවිධ රටවල සාම්ප්‍රදායික ආහාර වර්ග රසවිඳීම සඳහාම වෙන්වූ ආපනශාලා සංකීර්ණ ද උද්‍යානයේ පිහිටා තිබේ. කෘත්‍රිමව නිර්මාණය කර ඇති කුඩා ගංගා, ඇළ මාර්ග සහ පාලම් හරහා ගමන් කිරීමට කුඩා බෝට්ටු සේවාවක් සහ උද්‍යානය වටා යාමට කුඩා දුම්රිය සේවාවක් (Monorail) ද පවතී. කෘත්‍රිම ගිරිදුර්ග අතරින් මහ සද්දෙන් ගමන් කරන මෝටර් වාහන අත්දැකීම මුළු ප්‍රදේශයම දෙදරුම් දෙන්නේ සිනා සාගරයේ ගිලෙමින් යන සංචාරකයන්ට නවමු අත්දැකීමක් එක්කරමිනි. 

මෙම උද්‍යානය පුරා බාහිර පරිසරයේ පවතින උණුසුම් කාලගුණය හේතුවෙන් සංචාරකයන් පත්වන අපහසුතාව වළක්වාලීමට අක්කර 118  පුරාම සිහිල් ජල අංශු මීදුම් විසුරුවන පංකා කලාප සවි කර ඇත. චීනය තම රටේ සංචාරක කර්මාන්තය වෙනුවෙන් කෙතරම් අවධානයක් යොමු කරනවා හා සමානව තම සංචාරකයන්ගේ සුවපහසුව සම්බන්ධ කෙතරම් අවධානයකින් කටයුතු කර ඇතිදැයි යන්නට මෙම මීදුම් පංකා කලාප හොඳම නිදසුනකි.  උද්‍යානයේ සමාප්ත දොරකඩට කෙමෙන් කෙමෙන් මල් මාවතේ ඇවිද යන මට සිහිවූවේ චීනය තම රටේ සංස්කෘතියට පණ මෙන් සලකනවා සේම ලෝකයේ අනෙකුත් රටවල සංස්කෘතිවලට ඒ හා සමාන ගරුත්වයක් ලබාදෙමින් තමන්ගේ රටට පැමිණෙන සංචාරකයන්ට එම සංස්කෘතික අත්දැකීම්වල සැබෑව පෙන්වාදීමට ඔවුන් දක්වන පරිත්‍යාගශීලිත්වයේ තරමය. සෙන්ෂෙන් ලෝක කවුළුවෙන් එකම මොහොතක ලෝකයම දුටුවෙමි.

සසංක චලන ගිම්හාන 
චීන සංචාරයකින් පසු

සංස්කෘතික දෙවියකු සේ සලකන අනුබිස් හිවලා

 

අයිෆල් කුලුන

 

පරිසරය නඩත්තු කරන ආකාරය

 

උෂ්ණත්වය පාලනය කරන මීදුම් පංකා 

 

ජපන් ගෘහයක්

 

ඊජිප්තු පිරමීඩ