වෙනත් භෝගවලට සාපේක්‍ෂව කටුපොල් භෝගයට විශාල ජල ප්‍රමාණයක් අවශ්‍යය වේ. ඒ හේතුවෙන් ජල හිඟතාවයක් ඇති වී, ජනජීවිතයට බලපෑම් ඇතිකර භූමිය ද කාන්තාරයක් වීමට මෙම භෝගය හේතු වේයැයි ඇතැම්හු පවසති. එපමණකුදුනොව ​ඔවුහු පහත සඳහන් කරුණුද කියති. 

කටුපොල් වගාකරන ඉඩම් නිසරු වී, පස වැලි බවට ද පත්වෙයි. මෙම භෝගය සමග වෙනත් කිසිම ශාක විශේෂයක් වැවෙන්නේ නැති අතර, එහෙයින් භූමිය නිරාවරණය වී වැස්සට සෝදා පාළු වී යාමක් සිදුවේ. ජෛව විවිධත්වය ද නැතිවී යයි. ඒ සමගම මෙම වගාවල සර්ප ගහණය වැඩිවීම වතු සේවකයන්ට විශාල තර්ජනයක් වී ඇත. විශේෂයෙන්ම වතු සමාගම් ස්වභාවික වනාන්තර කපා ඉවත් කර මෙම භෝගය වගාකරන හෙයින් ශ්‍රී ලංකාවේ වනගහණයට ද මෙම භෝගය විශාල තර්ජනයකි. මෙම සියලුම ආපදා තත්ත්වයන් ඇතිකර මෙම භෝගයෙන් අප ලබාගන්නේ අපගේ ශරීරසෞඛ්‍යයට ඉතාමත්ම අහිතකර තෙල් වර්ගයකි. මෙම තෙල් වර්ගය භාවිත කිරීම හේතුවෙන් අප රුධිරයේ ඇති අහිතකර කොලොස්ටරෝල් මේදය වැඩි වේ. හිතකර කොලෙස්ටරෝල් අඩුවේ. රුධිර සීනි ප්‍රමාණය විශාල වශයෙන් ඉහළ යයි. එපමණක් නොව මෙම තෙල්වල පිළිකාකාරක ද අඩංගුය. ඒ අනුව කටුපොල් ශාකයෙන් ලබාගන්නා තෙල් සමස්ත සමාජයම ලෙඩ කරයි. මීට අමතර වශයෙන් කටුපොල් කර්මාන්තය නිසා තවත් අහිතකර බලපෑම් රාශියක් ඉදිරිපත් කරනමුත් මම මින් නවත්වමි. 

සාරාංශගත කරහොත් කටුපොල් කර්මාන්තය යනු අපගේ පරිසරයටත්, ශරීර සෞඛ්‍යයටත් ඉතාමත්ම බරපතළ අහිතකර බලපෑම් ඇතිකරන විනාශකාරී කර්මාන්තයෙකි. 

මේ ආකාරයෙන් කරුණු ඉදිරිපත් කරමින් ඇතැමුන් ඉල්ලා සිටිනුයේ - දැනට ක්‍රියාත්මක වන කටුපොල් වගා කිරීමට පනවා ඇති තහනම ඉවත් නොකරන ලෙසයි.

කෙසේ වෙතත් දැනුවත්ව හෝ නොදැනුවත්ව අපි සියලු දෙනා පාම් ඔයිල් සැලකිය යුතු ප්‍රමාණයක් භාවිත කරමු. පාම්ඔයිල් අප එදිනෙදා ජීවිතයට අත්‍යාවශ්‍ය ද්‍රව්‍යයකි. අප සියලු දෙනාගේම ගෙවල්වල ඉවුම් පිහුම් කටයුතුවලට අමතරව එදිනෙදා ගන්නා ආහාර ද්‍රව්‍ය සහ වෙනත් ආහාර නොවන ද්‍රව්‍ය රැසක අඩංගු සංඝටකයකි. ද්‍රව්‍යයකි. ගෝලීය මුළු එළවළු තෙල් අවශ්‍යතාවයෙන් සියයට හතළිහක ප්‍රමාණයක් සපයන්නේ කටුපොල් වගාවලින් ලබාගන්නා පාම්ඔයිල් වලිනි. අද ලෝකයේ ඒක පුද්ගල පාම්ඔයිල් භාවිතය වසරකට කිලෝ දහයක් පමණ වෙයි. පාරිසරික සහ සෞඛ්‍ය ගැටලු පාදකකර කටුපොල් වගාව අප රටේ තහනම් කිරීමට උත්සාහ ගන්නා පිරිස් - පාම්ඔයිල් අප රටට ආනයනය කිරීම අත්හිටුවන ලෙස යෝජනා නොකරන්නේ මන්ද යන්න තර්කානුකූල ප්‍රශ්නයකි.දේශීය අවශ්‍යතා සඳහා පාම්ඔයිල් ආනයනය කර අප රට තුළ වෙළෙඳාම් කිරීම ඩොලර් මිලියන ගණනක ගනුදෙනුවක් ය යන්න අප සියලු දෙනා දැනගත යුතුම කරුණකි.

ඕනෑම එළවළු තෙල් වර්ගයක් නියමිත ඇඹරුම් සහ පිරිපහදු ක්‍රම භාවිත නොකර නිෂ්පාදනය කළහොත් අප ශරීර සෞඛ්‍යයට අහිතකර රසායනික ද්‍රව්‍ය එම තෙල්වලට අන්තර්ගත විය හැකිය. මීට උදාහරණ කීපයක් වශයෙන් පොල්තෙල්වල අඩංගු විය හැකි ඇෆලෝටොක්සින්, ෆාම් ඔයිල්වල අඩංගු පායන රසායනික ද්‍රව්‍ය දැක්විය හැක. මෙම අවදානම පැවතියත් නිසි ප්‍රමිතියක් නොමැති එළවළුතෙල් අප රටට ආනයනය කර වෙළෙඳාම් කරන බව වාර්තාගත වී ඇත.

ගාලු දිස්ත්‍රික්කයේ ඇති නාකියාදෙණිය වතුයායේ කටුපොල්  වගාකිරීම ආරම්භ කර ඇත්තේ 1968 වසරේදී ය. වර්තමානයේ එම වතුයායේ හෙක්ටයාර් තුන්දාස් තුන්සීයක(3,300) පමණ භූමි ප්‍රමාණයක මෙම භෝගය වගා කර ඇත. අදට වසර හැටක (60) පමණ කාලයක් මෙම වතුයායේ කටුපොල් වගාව පැවතුණ ද, මෙම භෝගය නිසා එම වතුවල හෝ අවට ගම්වල පදිංචි පවුල්වල ජනජීවිතය අඩාළ වන ලෙස ජල හිඟතාවක් වාර්තා වී නොමැත. කවුරු කෙසේ කිව්වත් මහපොළොවේ යථාර්ථය නම් වතුවල සහ අවට ගම්වල පදිංචි පවුල් බොහොමයක් ඔවුන්ගේ ජල අවශ්‍යතාව සපුරා ගන්නේ මෙම කටුපොල් වගාකර ඇති භූමිවල ඇති ළිං වලිනි. 

කටුපොල් වගාවක ආර්ථික ආයු කාලය වසර තිහක් (30) පමණ වේ. ඒ අනුව වර්තමානයේ නාකියාදෙණිය වතුයායේ නැවත වගාකළ කටුපොල් හෙක්ටයාර දෙදහක් (2,000) පමණ පවතී. එපමණක් නොව එම නැවත වගා ද ඉතාමත් හොඳ වර්ධනයක් සහ ඵලදායිතාවක් ලබා දෙයි. ඒ අනුව ඇතැමුන් පවසන පරිදි කටුපොල් වගාකළ භූමිය නිසරු වී වැලි බවට පත්වී නොමැති බව මහ පෙළොවේ දැකිය හැකි යථාර්ථයයි.

කටුපොල් වගා කෙරුණු භූමිවලද ඒවාගේම එම ගස්වල කඳේද වෙනත් ශාක විශේෂ බහුලව වැවෙයි. මෑතක කරන ලද පර්‌යේෂණ තුළින් නිකුත් කරන ලද පත්‍රිකාවලට අනුව කටුපොල් වගාවල පවතින ශාක විශේෂ ප්‍රමාණයේ සහ ශාක ඝනත්වය වෙනත් වැවිලි භෝගවලට සමානය. එනම් පවතින ජෛව විවිධත්වය සමානය. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරන විට දැකගත හැකි රබර් සහ කටුපොල් වගා හොඳින් නිරීක්ෂණය කළහොත් මෙම දෑ තහවුරු කර ගත හැක.

කටුපොල් වගා කරන ප්‍රදේශ වල ඇති ආරෝග්‍යය ශාලාවලින් ගත් තොරතුරු විශ්ලේෂණයෙන් සර්ප දෂ්ඨ කිරීම් සහ භෝගය අතර සම්බන්ධතාවයක් නොමැති බව වාර්තා කර ඇත.

ශ්‍රී ලංකාවේ කටුපොල් බෝගය බහුලවම වගාකර ඇත්තේ වැවිලි සමාගම් වලින් පාලනය වන රජයට අයත් වතුවලය. මෙම ඉඩම්වල වසර සියයකට පමණ කලක සිට විවිධ වැවිලිබෝග වගා කරමින් පවතී. වැවිලි සමාගම් කටුපොල් වගා කරන්නේද මෙම ඉඩම්වල භෝග විවිධාංගීකරණය/ හුවමාරුව යන ක්‍රම මගින් වන අතර, මේ සඳහා ස්වාභාවික වනාන්තර කපා ඉවත් කිරීමක් කිසිවිටෙකත් සිදු නොවේ. වතු සමාගම් මගින් විශාල භූමි ප්‍රමාණයක් පාලනය වන අතර, ඔවුන්ට කටු පොල් වගා කිරීමට අවශ්‍ය ඉඩම් සඳහා නීතියට පටහැනි ස්වාභාවික වනාන්තර කපා ඉවත් කරගැනීම අනවශ්‍යය ක්‍රියාවකි. 

ගෝලීය පාම් ඔයිල් කර්මාන්තයේ සංවර්ධනයේ ආරම්භක අවස්ථාවලදී මැලේසියාව, ඉන්දුනීසියාව යන රටවල් කටුපොල් වගා කිරීමට ස්වාභාවික වනාන්තර කපා ඉවත්කර ඉඩම් ලබාගෙන ඇත. මේ අරමුණු උදෙසා ස්වාභාවික වනාන්තර හෙක්ට්ටයාර් මිලියන ගණනින් කපා ඉවත් කරන විට පරිසරයට සිදුවන අලාභ හානිය අති විශාල වන අතර, අහිතකර බලපෑම මුළු ලෝකයටම බලපානු ඇත. ස්වාභාවික වනාන්තර ගහනය පහත වැටීම, ජෛව විවිධත්වය පහළ යාම, භූගත සහ පාංශු ජල මට්ටම අඩුවීම, දිය උල්පත් වියළී යාම, පස නිරාවරණය වී සෝදාපාළුවට ලක්වී නිසරුවීම, වායුගෝලයේ හරිතාගාර වායු ප්‍රමාණය වැඩිවීම හා ඉන් මතුවන දේශගුණික විපර්යාස මෙම ස්වාභාවික වනාන්තර කපා ඉවත් කිරීමේ සමහර අහිතකර බලපෑම්ය. මෙම තත්ත්වය යටතේ ගෝලීය පරිසරවේදීන් ස්වාභාවික වනාන්තර කපා කටුපොල් වගා කිරීමට දැඩි විරෝධතාවයක් දියත් කළහ. කටුපොල් වගාවට ගෝලීය වශයෙන් පැවත එන විරෝධතාවට ප්‍රධාන හේතුව ස්වාභාවික වනාන්තර ඒ සඳහා භාවිත කිරීම වන අතර, ඊට ප්‍රතිචාරයක් වශයෙන් අදාළ රටවල්වල ප්‍රතිපත්ති සම්පාදකයෝ කටුපොල් වගා කිරීමේදී පිළිපැදීමට දැඩි ප්‍රතිපත්තිය ඉදිරිපත් කළහ. අප රටේද කටුපොල් වගාව තහනම් කිරීමට ඉදිරිපත් කරන අහිතකර පාරිසරික බලපෑම උක්ත සඳහන් වනාන්තර කැපීමෙන් සිදුවන අහිතකර බලපෑම්ය. නමුත් ශ්‍රී ලංකාවේ කටුපොල් වගා කරනුයේ ස්වාභාවික වනාන්තර කපා ඉවත්කර නොව ආර්ථික ආයු කාලය අවසන් කළ වෙනත් වැවිලි භෝග වගාකර තිබූ ඉඩම්වලය. එම නිසා අප රටේ ප්‍රතිපත්ති සම්පාදකයන් කටුපොල් වගාවට එරෙහි ඉදිරිපත් කරන කරුණු කාරණා තාර්කික ලෙස විශ්ලේෂණය කිරීම වැදගත්ය. එසේම දේශීය පරිසරවේදීන් කටුපොල් වගාව හා සම්බන්ධ කරුණු සමාජගත කිරීමේදී අපට අදාළ සහ නිවරද්‍යය තොරතුරු පමණක් ඉදිරිපත් කිරීමට වගබලා ගත යුතු අතර, ඔවුන්ගේ වෙනත් සැඟවුණු අරමුණු ඉටුකර ගැනීමට රටෙහි සංවර්ධනයට දායක වන ව්‍යාපෘති අඩපණ කළ යුතු නැත. 

ශ්‍රී ලංකාවේ කටුපොල් කර්මාන්තය වර්ධනය වුවහොත් එය ස්වාභාවික රබර් කර්මාන්තයේ පැවැත්මට විශාල තර්ජනයක් බව තවත් විශ්වාසයකි. මෙම තර්කය හේතුවක් කරගත් සමහරු දේශීය කටුපොල් කර්මාන්තයට පවතින තහනම ඉවත් කිරීමට විරෝධය දක්වති. ශ්‍රී ලංකාවේ රබර් කර්මාන්තයට අදාළ තොරතුරු පිරික්සීමේදී පැහැදිලි වන කරුණක් නම් වගාකර ඇති ඉඩම් ප්‍රමාණය සහ රබර් නිෂ්පාදනය සීඝ්‍රයෙන් අඩුවන ප්‍රවණතාවයක් ඇති බවයි.

2019 සිට 2024 යන කාලය තුළදී දේශීය රබර් නිෂ්පාදනය සියයට දාසයකින් අඩුවී ඇත. තවත් පැහැදිලි වන කරුණක් නම් කුඩා ඉඩම් හිමියන්ගේ සහ සමාගම් වතුවල රබර් ඉඩම් ප්‍රමාණය (වපසරිය) පිළිවෙළින් සියයට හතළිස් හයකින් සහ සියයට විසිනවයකින් කින් අඩුවී ඇති බවයි.ඒ අනුව පැහැදිලි වන කරුණක් නම් කුඩා ඉඩම් හිමියන්ගේ රබර් ඉඩම් ප්‍රමාණය සමාගම් වතුවල රබර් ඉඩම් ප්‍රමාණයට වඩා සීඝ්‍රයෙන් අඩුවී ඇති බවයි. ඒ අනුව 2019-2024 කාලය තුළදී දේශය රබර් නිෂ්පාදනය අඩුවීමට කුඩා ඉඩම් හිමියන්ගේ වපසරිය අඩු වීම ප්‍රධාන වශයෙන් හේතුවන්නට ඇතැයි උපකල්පනය කළ හැක. තවද 2019-2024  කාලය තුළදී ශ්‍රී ලංකාවේ රබර් වගා කළ ඉඩම් ප්‍රමාණය සියයට තිස්අටක් පමණ අඩුවන විට නිෂ්පාදනය අඩුවී ඇත්තේ සියයට දහසයක් පමණි. ඒ අනුව පැහැදිලි වන දෙයක් නම් අඩු ඵලදායිතාවයක් සහ අඩු ආදායමක් තිබූ ඉඩම් හිමියන් රබර් වගාවෙන් ඉවත් වී ඇති බවයි. 2019 වසරේ සිට ශ්‍රී ලංකාවේ කටුපොල් වගාව තහනමට ලක්වී තිබුණි. ඒ අනුව වර්තමානයේ රබර් කර්මාන්තයේ පසුබෑමට කටුපොල් භෝගය හේතුවී නොමැති බව පැහැදිලිය. බොහෝ විට රබර් කර්මාන්තයේ පසුබෑමට හේතු වී ඇත්තේ අඩුඵලදායීතාව, ඉහළ යන නිෂ්පාදන වියදම සහ තරමක අඩු විකුණුම් මිලයි.

ශ්‍රී ලංකාවේ රබර් කර්මාන්තය දියුණු කළ යුතුය යන්න අවිවාදයෙන් පිළිගත යුතු කරුණකි. විදේශ විනිමය ඉපයීම, රැකී රක්ෂා බිහිවීම සහ රටේ නිෂ්පාදනය වැඩිකර සංවර්ධනයට දායකත්වයක් ලබාගැනීම අපට ලබාගත හැකි ප්‍රයෝජන කීපයකි. මෙම ඉලක්ක කරා යාමට අප විසින් කළ යුත්තේ රබර් වගා කිරීමට ආයෝජකයින් දිරි ගැන්වීමයි. වර්තමානයේ ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික රබර් වගාකරන ප්‍රදේශවල උද්ගතවී ඇති දේශගුණික විපර්යාසයන් සමග ආයෝජකයන්ට අභියෝග රැසකට මුහුණ දීමට සිදුවී ඇත. පත්‍ර රෝග, මුල් රෝග, පට්ට වියළීම, කිරිකැපීමට ඇති බාධක නිසා ඵලදායිතාවන් සහ ලාභදායිතාවයන් ඉතාමත් පහළ මට්ටමට වැටී ඇත. මෙම තත්ත්වයන් යටතේ රබර් වගාකිරීමට ආයෝජකයන් දිරිගැන්වීමට විකල්ප උපායමාර්ග හඳුන්වා දිය යුතුය.

සාම්ප්‍රදායික රබර් වගා කරන ප්‍රදේශවල මුහුණ දීමට සිදු වී ඇති අභියෝගත් සමගම සාමාන්‍ය ඵලදායීතාවය හෙක්ටයාරයකට වසරකට කිලෝ ග්‍රෑම් හත්සීයක් (700) පමණය. වර්තමාන රබර් මිල කිලෝ එකකට රුපියල් 700 ක් පමණ වන අතර, ඒ අනුව වසරකට රබර් හෙක්ටයාරයකින් ගත හැකි මුලු ආදායම රුපියල් හාරලක්ෂ අනූ දාහකි (490,000/-). මෙම දේශගුණික තත්ත්වයන් යටතේම විකල්ප භෝගයක් වන කටුපොල් වගා කිරීමෙන් වසරකට හෙක්ටයාරයකින් කිලෝ ග්‍රෑම් දාහසය දාහක පමණ ඵලදායිතාවයක් ලබාගත හැක. කටුපොල් වලට වර්තමානයේ කිලෝ ග්‍රෑම් එකකට රුපියල් සීයක පමණ මිලක් ලැබෙයි. ඒ අනුව එම දේශගුණික තත්ත්වයන් යටතේ කටුපොල් හෙක්ටයාරයකින් වසරකට රුපියල් එක් මිලියන හයලක්ෂය (1,600,000/-) ක් පමණ ආදායමක් ලබාගත හැක. නමුත් රටෙහි අතරමැදි කලාපයේ වගා කළ හොත් රබර් වගාවෙන් කටුපොල් වගාවට වඩා වැඩි ආදායමක් ආයෝජකයින්ට ලබා ගැනීමේ හැකියාවක් ඇත. ඊට ප්‍රධාන හේතුව වන්නේ එම කලාපයේ වර්තමාන දේශගුණික තත්ත්වයන් රබර් වලට වඩාත් උචිත වීමයි. 

මේ අනුව අප රටේ ප්‍රතිපත්ති සම්ප්‍රදායකයන් වැවිලි කර්මාන්තය තුළින් රටෙහි නිෂ්පාදනය සහ ආර්ථිකය ඉහළ දැමීමට සිදුකළ යුතුව ඇත්තේ ආයෝජකයන්ට නිසි තාක්ෂණය හඳුන්වාදීම සහ භෝගයට වඩාත් උචිත පාංශු සහ දේශගුණික තත්ත්වයන් සැලකිල්ලට ගෙන භෝග සඳහා ඉඩම් පරිහරණ සැලැස්මක් හඳුන්වා දීමයි.