
ලොව බිහිසුණුම සතා සිංහයා, කොටියා, වලහා, කිඹුලා හෝ අලිඇත්තු නොවෙයි. නයි පොළොංගු නොවෙයි. ලෝකයේ බිහිසුණුම නැතිනම් මාරාන්තිකම සතා ලෙස සැලකෙන්නේ “මදුරුවා”ය. මැලේරියා,බරවා, කහඋණ,සිකා,චිකුන්ගුන්යා සහ ඩෙංගු වැනි රෝගවලට අනුයාත වයිරසය මදුරු දෂ්ටනයෙන් අපට ආසාදනය වෙයි.
මේ වන විට අපි ඩෙංගු වසංගතයට මුහුණ දී සිටිමු. ඩෙංගු වයිරසයෙන් බේරීමට, අවට පරිසරය පිරිසුදුව තබා ගැනීම වැදගත්ය. මදුරුවන් බෝ වීමට ඉඩක් නොතැබිය යුතුය. ඩෙංගු වයිරසයේ ප්‍රභේද 4 කි. එයින් අදහස් වන්නේ කෙනකුට අවස්ථා හතරක දී ඩෙංගු වයිරසය ආසාදනය වීමට ඉඩ ඇති බවය. ඩෙංවී-1 (ප්‍රභේදය1) ඩෙංවී-2 (ප්‍රභේදය2) ඩෙංවී-3 (ප්‍රභේදය3) ඩෙංවී-4(ප්‍රභේදය 4) ආදී වශයෙන් මෙම ප්‍රභේද නම් කර ඇත.
මැලේසියාවෙන් ඩෙංවී-5 නමැති 5 වැනි ප්‍රභේදයක් ද සොයාගෙන ඇති මුත්, එය ප්‍රධාන වශයෙන් වඳුරන් අතර පමණක් ව්‍යාප්ත වන එකක් යැයි සියයට 100 කින්ම මේ වන විට තහවුරු වී ඇත. එබැවින්, මනුෂ්‍ය අපට බලපාන ඩෙංගු වයිරස ප්‍රභේද ඇත්තේ 4 ක් පමණි. යම් පුද්ගලයකුට ඩෙංවී-1 ප්‍රභේදය ආසාදනය වී සුව වුවහොත්, එම ප්‍රභේදයට(ඩෙංවී-1) එරෙහිව පමණක් ජීවිතාන්තය දක්වා ප්‍රතිශක්තිය ලැබෙයි. ඒත් එම පුද්ගලයාටම පසුව වෙනත් ප්‍රභේදයක් (උදාහරණයක් ලෙස ඩෙංවී-2 හෝ ඩෙංවී-3) ආසාදනය වූවහොත්, සිරුරේ ඇතිවන අධික ප්‍රතිශක්තිකරණ ප්‍රතික්‍රියාව නිසා රෝගය අධික ලෙස උග්‍රවීමේ සහ එය මාරකවීමේ අවදානම වැඩිය. ඩෙංවී-2 සහ ඩෙංවී-3 යන ප්‍රභේද, අප ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල උග්‍ර ඩෙංගු තත්ත්වයන් සහ සංකූලතා වැඩිපුර ඇති කිරීමට හේතු වන ප්‍රභේද ලෙස හඳුනාගෙන තිබේ.
වෛද්‍ය විද්‍යාවේ එන්නත් නිෂ්පාදනය වඩාත්ම සාර්ථක වී ඇත්තේ වයිරස මගින් ඇතිවන ආසාදන පාලනය කිරීම සඳහාය. බැක්ටීරියා මගින් සිදුවන ආසාදන සඳහා ප්‍රතිජීවක භාවිත කළ හැකි වුවද, වයිරස සෘජුවම විනාශ කිරීමට ඖෂධ සොයා ගැනීම ඉතා අභියෝගාත්මක බැවින්, වයිරස රෝගවලින් ආරක්ෂා වීමට ඇති හොඳම සහ ප්‍රධානතම මාර්ගය වන්නේ එන්නත්කරණයයි. එන්නත් ලබා දෙන්නේ වයිරසය ආසාදනය වීමට පෙර, එය ආසාදනය නොවී සිටීමටය. ඩෙංගු වයිරස ප්‍රභේද ආසාදනය වීම වැළැක්වීමට හෝ එම ප්‍රභේද ආසාදනය වුවහොත්, මාරක සංකූලතා ඇතිවීම හෝ රෝහල්ගත වීම අවම කිරීමට ද ඩෙංගු මර්දන එන්නත් නිපදවා ඇත. ඩෙංගු රෝගයෙන් ආරක්ෂාවීම සඳහා දැනට ලොව පුරා අනුමත කරන ලද ප්‍රධාන එන්නත් වර්ග දෙකක් පවතී. ඒ, ප්‍රංශ සැනෝෆි පාස්ටර් ඖෂධ නිෂ්පාදන සමාගම මගින් නිෂ්පාදිත “ඩෙංග්වැක්සියා” සහ ජපානයේ තකේඩා ඖෂධ නිෂ්පාදන සමාගම මගින් නිෂ්පාදිත “කියුඩෙංගා” නමැති එන්නත් දෙකය. වෙනත් ඕනෑම එන්නතක් මෙන්ම ඩෙංගු එන්නත් ද ලබා දෙන්නේ රෝගය වැලඳීමට පෙර සිදුකරන පූර්ව ආරක්ෂණ පියවරක් ලෙසය. රෝගය සක්‍රියව පවතින අවස්ථාවක මෙම එන්නත් ලබා නොදෙන අතර, යම් අයකුට ඩෙංගු වැලඳී සුව වූ පසුව නැවත වෙනත් ප්‍රභේදයකින් ආරක්ෂාවීම සඳහා එන්නත ලබා දිය හැකිය.
‘ඩෙංග්වැක්සියා එන්නත ලබාදිය හැක්කේ පෙර ඩෙංගු වැලඳී ඇති බව රුධිර පරීක්ෂාවකින් තහවුරු වූ අයට පමණි. පෙර ඩෙංගු වැලඳී නොමැති අයකුට එය ලබා දී, එම තැනැත්තාට ඩෙංගු වයිරසය ආසාදනය වුවහොත්, එය මාරක විය හැකි බව පැවැසෙයි. කෙසේ නමුත්, දෙවැනි පරම්පරාවේ එන්නතක් කියුඩෙංගා එන්නත එසේ නොවෙයි. දෙවැනි පරම්පරාවේ එන්නතක් යනු ජෛව තාක්ෂණය සහ ජාන ඉංජිනේරු විද්‍යාව භාවිත කරමින්, වඩාත් ආරක්ෂිත සහ නිවැරදි ඉලක්කයකට අනුව නිෂ්පාදනය කරන ලද එන්නත් වර්ගයකි. කියුඩෙංගා ප්‍රතිශක්තිකරණ එන්නත, පෙර ඩෙංගු වැලඳී ඇති සහ නොවැලඳුණු යන දෙපිරිසටම ලබා දිය හැකි වීම විශේෂත්වයකි.

ඉන්දියාව ද වාර්ෂිකව ඩෙංගු වයිරසයෙන් බැටකන ආසියානු රටකි. ඉකුත් 20 වැනිදා ඩෙංගු වයිරසයට එරෙහිව ජපානයේ ටකේඩා ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවා ඇති, සායනික පර් යේෂණවලින් ද සාර්ථක බව පෙන්නුම් කළකියුඩෙංගා නමැති එන්නතට, ඉන්දීය ඖෂධ පාලක ජනරාල්වරයාගේ අනුමැතිය හිමිවිය. ඒ අනුව, කියුඩෙංගා එන්නත, ඉන්දීය වෙළෙඳපොළට නිකුත් කිරීම සිදුවනු ඇත. ඉන්දියාව, ඩෙංගු මර්දන එන්නතකට අනුමැතිය දුන් පළමු අවස්ථාව මෙයයි. අවුරුදු 4 ත් 60 ත් අතර ඕනෑම අයකුට මෙම එන්නත සුදුසු බව ඉන්දීය ඖෂධ පාලක ජනරාල්වරයා මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය.
මීට අමතරව ඩෙංගු මර්දනය සඳහා සායනික අත්හදා බැලීම් රැසක් ලොව පුරා සිදුකෙරෙමින් පවතී. කියුඩෙංගා එන්නත මගින් ඩෙංගු නිසා සිදුවන රෝහල්ගත වීම් සියයට 80 කින් පමණ පාලනය වන බව විශාල සායනික පරීක්ෂණ මගින් තහවුරු වී ඇත. ඊට අමතරව, ඇමෙරිකාවේ ජාතික සෞඛ්‍ය ආයතනය මගින් නිපදවා ඇති ටීවී003/ටීවී005 එන්නත සහ බෙල්ජියම කේන්ද්‍රකොටගත් ජැන්සෙන් ඖෂධ නිෂ්පාදන සමාගම මගින් අත්හදා බලන ජේඑන්ජේ-1802 නමැති ඩෙංගු නාශක ප්‍රතිවයිරස පෙති වර්ගය ද දැනට සායනික පරීක්ෂණවල අවසන් අදියරවල පවතී.
ලෝක මට්ටමින් සලකා බැලීමේදී ඩෙංග්වැක්සියා එන්නත සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය ඖෂධ පාලන අධිකාරිය, යුරෝපා සංගමයේ ඖෂධ පාලන අධිකාරිය අනුමැතිය දී අවසන්ය. ඊට අමතරව මෙක්සිකෝව, පිලිපීනය සහ තායිලන්තය ඇතුළු රටවල් 20 කට වැඩි ප්‍රමාණයක් ද අනුමැතිය ලබා දී අවසන් බව පැවැසෙයි. කියුඩෙංගා එන්නත සඳහා යුරෝපා සංගමය, එක්සත් රාජධානිය, බ්‍රසීලය, ඉන්දුනීසියාව, තායිලන්තය සහ සිංගප්පූරුව අනුමැතිය ලබා දී තිබේ. වසර 7 ක් තිස්සේ ලබාගත් පර් යේෂණ සිදු කිරීමෙන් පසු 2022 වසරේ දී පළමු වරට හඳුන්වා දුන් කියුඩෙංගා එන්නත මේවන විට ලොව පුරා රටවල් 43 ක අනුමත වී ඇති අතර, එන්නත් මාත්‍රා මිලියන 32 කට වඩා බෙදාහැර ඇතැයි ද පැවැසෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්ද ඩෙංගු අධික ලෙස ව්‍යාප්ත වන කලාපවල වයස අවුරුදු 6 ත් 16 ත් අතර ළමුන් සඳහා කියුඩෙංගා එන්නත භාවිත කිරීමට නිල වශයෙන් නිර්දේශ කර ඇත.
ලේ උරා බොන්නේ ගැහැනු මදුරුවන් පමණක් වීම විශේෂ විද්‍යාත්මක හේතුවක් මත පදනම් වූවකි. ගැහැනු මදුරුවාට තම ශරීරය තුළ බිත්තර (ප්‍රජනන සෛල) සාර්ථකව වර්ධනය කරගැනීම සඳහා විශාල ප්‍රෝටීන් සහ යකඩ ප්‍රමාණයක් අත්‍යවශ්‍ය වේ. ලේ යනු එම පෝෂ්‍ය පදාර්ථයන් ඉතා පහසුවෙන් සහ බහුලව ලබාගත හැකි ප්‍රධානතම මාධ්‍යයයි. එම නිසා ගැහැනු මදුරුවා ලේ බොන්නේ ස්වකීය පෝෂණය සඳහා නොව, මීළඟ පරම්පරාව බිහිකිරීමේ ප්‍රජනනික අවශ්‍යතාව නිසාය. පිරිමි මදුරුවා කිසිවිටෙකත් ලේ බොන්නේ නැත. උන්ගේ මුඛ කොටස් සතුන්ගේ සම විද ලේ උරාබීමට හැකිවන සේ සකස් වී නොමැත. ඩෙංගු මදුරුවා යනු ප්‍රධාන වශයෙන් ඊඩීස් ඊජිප්ටයි සහ ඊඩීස් අල්බොපික්ටස් නමැති මදුරු විශේෂ දෙකය. චිකුන්ගුන්යා, සිකා, කහ උණ සහ මායාරෝ රිෆ්ට් වැලි නමැති වයිරස ද මනුෂ්‍ය අපට බෝ කරන්නේ මේ මදුරුවන්ය.
ලුසිත ජයමාන්න
ස්තුතිය - ලෝක සෞඛ්‍ය සංවිධානයට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd