
ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ පමණක් නොව - ඉන්දියාව ඇතුළු ලොව පුරා හින්දු බැතිමතුන් අතරත්, බෞද්ධ ජනතාව අතරත්, අතිශය ගෞරවයෙන් හා භක්තියෙන් වන්දනාමාන ලබන දේවත්වයකි, ශ්‍රී ස්කන්ධ කුමාර දෙවියන් වහන්සේ.
උන්වහන්සේ "කතරගම දෙවියෝ", "මහාසේන දෙවියෝ", "කන්ධ කුමාර", "ස්කන්ධ කුමාර", "කතරගම දේව රාජෝත්තමයාණෝ" යන විවිධ නාමවලින් හැඳින්වෙති. විවිධ ආගම්, විවිධ සංස්කෘතින් සහ විවිධ ජන විශ්වාසයන් තුළ විවිධ අර්ථකථන තිබුණද, ශ්‍රී කතරගම පුදබිම සම්බන්ධයෙන් ඇති භක්තිය හා ගෞරවය සියවස් ගණනාවක් පුරා නොකැඩී පැවතීම සුවිශේෂී කරුණකි.
හින්දු දේව සංකල්පයට අනුව ස්කන්ධ කුමාර දෙවියන් වහන්සේ, ත්‍රිමූර්තියෙන් එක් අයකු වන ශ්‍රී ශිව හෙවත් ඊශ්වර දෙවියන්ගේ සහ ශ්‍රී පාර්වතී දේවියගේ දිව්‍ය පුත්‍රයාණෝ වෙති. එමෙන්ම නුවණ, විද්‍යාව, බුද්ධිය හා මංගල කටයුතු පිළිබඳ අධිපති ලෙස සැලකෙන ශ්‍රී ගණේශ්වර හෙවත් ගණපති දෙවියන්ගේ සහෝදරයා ද වෙති. දේව සේනාවන්ගේ අග්‍ර සේනාධිපතිත්වය උසුලන, අධර්මය විනාශ කොට ධර්මය ආරක්ෂා කරන යුද වීරයකු ලෙසද ස්කන්ධ කුමාර දෙවියන් හඳුන්වනු ලැබේ. එබැවින් බලය, ධෛර්යය, වීරත්වය, ජයග්‍රහණය, ආරක්ෂාව සහ අයහපත දුරු කිරීමේ ශක්තිය උන්වහන්සේගේ ප්‍රධාන ගුණාංග ලෙස සැලකේ.
ලංකාවේ බෞද්ධයන් අතර කතරගම දෙවියන් කෙරෙහි පවතින භක්තිය
ස්කන්ධ කුමාර දෙවියන්ගේ උපත පිළිබඳ පුරාවෘත්ත කිහිපයක් හින්දු සාහිත්‍යයේ සඳහන් වේ. ඒවා අතරින් වඩාත් ජනප්‍රිය කතාවක් ආරම්භ වන්නේ බක්මහ නම් බලගතු අසුරයාගේ කතාවෙනි.
ඊශ්වර දෙවියන් සතුවූයේ මහා බලගතු ගුප්ත මන්ත්‍රයකි. එම මන්ත්‍රය අතට මතුරා යම් පුද්ගලයකුගේ හිස මත අත තැබූ විට, ඔහු ක්ෂණයකින් අළු බවට පත්වන බව පැවසේ. මෙම මන්ත්‍රයේ අසීමිත බලය දැනගත් බක්මහ නම් අසුරයා, විවිධ උපක්‍රම යොදා එම මන්ත්‍රය ඊශ්වර දෙවියන්ගෙන් ඉගෙන ගත්තේය.
කාලය පැමිණි විට තම ගුරුවරයා වූ ඊශ්වර දෙවියන්ම විනාශ කර, උමා දේවිය තමන් සතු කරගැනීමේ අදහසින් බක්මහ අසුරයා එම මන්ත්‍රය අතට මතුරා ඊශ්වර දෙවියන්ගේ හිස මත අත තැබීමට උත්සාහ කළේය. මන්ත්‍රයේ බලය හොඳින් දැන සිටි ඊශ්වර දෙවියෝ එම අනතුර වටහාගෙන පලා යන්නට වූහ.
මෙම සිදුවීම දුටු මහාවිෂ්ණු දෙවියන් ලෝක යහපත වෙනුවෙන් අතිශය අපූරු උපක්‍රමයක් යොදා ගත්තේය. මාර්ගය මැද අතිශයින් රූමත් තරුණියකගේ ස්වරූපයක් මවාගෙන සිටි විෂ්ණු දෙවියන් දුටු බක්මහ අසුරයා, උමාවටත් වඩා සුරූපී යැයි සිතා ඇය කෙරෙහි ආදරයෙන් බැඳී විවාහ වීමට කැමැත්ත ප්‍රකාශ කළේය.
එවිට එම රූමත් තරුණිය, "ඔබගේ ප්‍රේමය සැබෑ නම්, ඔබ කිසිදා මා අත් නොහරින බවට ඔබේ හිස මත අත තබා දිවුරන්න" යැයි කීවාය. කාම රාගයෙන් මත් වූ බක්මහ අසුරයා කිසිදු කල්පනාවකින් තොරව තම හිස මතම අත තැබූ මොහොතේම, තමන්ම ඉගෙනගත් මන්ත්‍රයේ බලයෙන් ක්ෂණිකව අළු බවට පත්ව විනාශ විය.
මේ අතර, බියෙන් පලා ගිය ඊශ්වර දෙවියන් නැවත හැරී පැමිණි විට එම අතිශය සුරූපී තරුණිය දැක සිත් ඇදී ගියේය. උන්වහන්සේද ඇය විවාහ කරගැනීමට කැමැත්ත පළ කළහ. එවිට ඇය, "ඔබේ භාර්යාව වන උමා දේවියගේ අවසර රැගෙන එන්න" යැයි පැවසුවාය.
ඊශ්වර දෙවියන් උමාව වෙත ගොස් අවසර ඉල්ලා නැවත පැමිණෙන විට, එම තරුණිය අසල එක් පුත්‍රයෙක් සිටියේය. "දැන් මම දරුවකු ලැබූ මවක්. එය ඔබේ භාර්යාවට දන්වා නැවත අවසර රැගෙන එන්න" යැයි ඇය පැවසුවාය. ඊශ්වර දෙවියන් නැවත ගොස් පැමිණෙන විට තවත් පුත්‍රයකු උපත ලබා සිටියේය. මෙසේ වරින් වර ගොස් එන සෑම අවස්ථාවකදීම එක් එක් පුත්‍රයා බැගින් උපත ලැබූ අතර අවසානයේ පුත්‍රයන් හය දෙනෙක් එහි සිටියහ.
මේ අපූරු සිදුවීම පිළිබඳ උමා දේවියට සැකයක් ඇති විය. "මෙය මහාවිෂ්ණුගේ දිව්‍ය මායාවක් විය හැකිය" යැයි සිතූ ඇය එම ස්ථානයට පැමිණ පුත්‍රයන් හය දෙනාම දෑතින් එකවර වැළඳ ගත්තාය. ඒකි මොහොතේ දිව්‍යමය ආශ්චර්යයක් සිදුවූ බව පුරාවෘත්තය පවසයි.
පුත්‍රයන් හය දෙනා එක් ශරීරයක් බවට පත් වූ අතර, මුහුණු හයක්, අත් දොළහක් සහිත අති තේජෝමත් දේව කුමාරයෙක් ලෙස ප්‍රකාශ විය. එහෙයින් උන්වහන්සේ "ෂණ්මුඛ", "අරුමුගන්", "ස්කන්ධ", "කාර්තිකේය", "කන්ද කුමාර" සහ "ස්කන්ධ කුමාර" යන නාමයන්ගෙන් ප්‍රකට වූ බව හින්දු පුරාණ ග්‍රන්ථවල සඳහන් වේ.
මෙම පුරාවෘත්තය තුළින් ස්කන්ධ කුමාර දෙවියන්ගේ උපත හුදු සාමාන්‍ය උපතක් නොව, ලෝකයේ යහපත උදෙසා දේව බලයන්ගේ එකමුතුවෙන් සිදු වූ දිව්‍යමය ප්‍රකාශයක් ලෙස අර්ථකථනය කර ඇත. පසුකාලීනව දේව සේනාධිපති තනතුරට පත්වූ උන්වහන්සේ, දේව ලෝකයට තර්ජනයක් වූ අසුර බලවේග පරාජය කිරීම සඳහා තෝරාගත් දේව වීරයා ලෙස ගෞරවයට පත්විය.
එකල සුරයන් හා අසුරයන් අතර පැවති මහා සංග්‍රාමය දීර්ඝ කාලයක් පුරා ඇවිළී තිබිණි. බොහෝ අවස්ථාවලදී සුරයන් පරාජයට පත්වූයේ සූරපද්ම හෙවත් සුරපත්ම නම් අසුර රජුගේ අසීමිත බලය නිසාය. ඊශ්වර දෙවියන්ගෙන් ලැබූ වරප්‍රසාදයක් හේතුවෙන් කිසිවකුට පහසුවෙන් පරාජය කළ නොහැකි තරම් ශක්තියක් ඔහු සතු වූ බව පුරාණ ග්‍රන්ථවල සඳහන් වේ. බලයෙන් මත්වූ සුරපත්ම අසුරයා දෙවියන්ට පමණක් නොව, ඍෂීන්ට, යක්ෂයන්ට සහ මනුෂ්‍යයන්ටද නොයෙකුත් හිංසා පීඩා සිදු කරමින් ත්‍රිලෝකයම භීතියට පත් කළේය.
මෙම අසාධාරණය තවදුරටත් ඉවසිය නොහැකි වූ සූරයෝ, බ්‍රහ්ම දෙවියන් හා මහාවිෂ්ණු දෙවියන් වෙත ගොස් පිහිට ඉල්ලා සිටියහ. ඔවුන් දෙදෙනාද, "මෙම මහා අසුර බලය මැඩපැවැත්විය හැක්කේ ඊශ්වර දෙවියන්ට පමණි" යන අදහසින් සියලු දෙනාම ඊශ්වර දෙවියන් වෙත කැඳවාගෙන ගියහ.
ලෝකයේ යහපත වෙනුවෙන් ඊශ්වර දෙවියන් මෙම ඉල්ලීම පිළිගත්තද, තමා විසින්ම අසුරයන් සමග සටන් කිරීම තම ගෞරවයට නොගැළපෙන බව සලකා, තම දිව්‍යමය නෙත් තුළින් අති ප්‍රබල ගිනිපුපුරු හයක් නිකුත් කළ බව සඳහන් වේ. එම ගිනිපුපුරු ලොව කිසිදු බලවේගයකට දරාගත නොහැකි තරම් දීප්තිමත් වූ බැවින් ඒවා සරවන විල වෙත ගමන් කළේය.
මුහුණු සයක් අත් දොළසක්
එහිදී එම ගිනිපුපුරු හය දිව්‍යමය කුමාරයන් හය දෙනෙක් ලෙස ප්‍රකාශ වූහ. මෙම ආශ්චර්යය දුටු පාර්වතී දේවිය අසීමිත සෙනෙහසින් ඒ කුමාරයන් හය දෙනාම වැළඳ ගත්තාය. ඒ මොහොතේ ඔවුන් එක් ශරීරයක් බවට පත්ව මුහුණු හයක්, අත් දොළහක් සහිත තේජෝමත් ස්කන්ධ කුමාර දෙවියන් වහන්සේ ලෙස ලොවට පහළ වූ බව හින්දු පුරාණය විස්තර කරයි.
යුද්ධයෙන් අනතුරුව ස්කන්ධ කුමාර දෙවියන් වහන්සේ තම වේලායුධය වැඩ සිටි කන්ද හෙවත් හේමකූඨයේ තැන්පත් කර දේව ලෝකය වෙත ගිය බවත්, එහිදී තේවානි අම්මා සමග වාසය කළ බවත් සඳහන් වේ.
කාලයක් ගතවූ පසු නාරද මහා ඍෂීන් විසින් වැදි කුමරියක වූ වල්ලි අම්මාගේ අසිරිමත් රූපලාවණ්‍යය හා ගුණාංග පිළිබඳ කළ වර්ණනා ඇසූ ස්කන්ධ කුමාර දෙවියන්ගේ සිත ඇය කෙරෙහි ඇදී ගියේය. ඒ අනුව උන්වහන්සේ දේව ලෝකයෙන් මනුෂ්‍ය ලෝකයට පැමිණ වල්ලි අම්මා සොයා ගමන් කළ බව ජනප්‍රවාදවල සඳහන් වේ.
ඔරුවකින් දෙවුන්දර වෙරළට පැමිණි උන්වහන්සේ එතැනින් කතරගම ප්‍රදේශයට ළඟා වූහ. වර්තමානයේ සෙල්ල කතරගම ලෙස හඳුන්වන ප්‍රදේශයේදී වල්ලි අම්මා මුණගැසුණු බව ජන විශ්වාසයයි. විවිධ උපක්‍රම යොදාගෙන ඇයගේ සිත දිනාගත් ස්කන්ධ කුමාර දෙවියන් අවසානයේ වල්ලි අම්මා විවාහ කරගත් බවත්, පසුව තේවානි අම්මාද කතරගමට පැමිණ එහි වාසය කළ බවත් සඳහන් වේ.
කතරගම අවට අද දක්නට ලැබෙන වල්ලි අම්මා දේවාලය, තේවානි අම්මා දේවාලය, මුතුලිංග සාමි පිළිබඳ ජනප්‍රවාද සහ කල්‍යාණගිරි බාවා සම්බන්ධ විශ්වාසයන් බොහෝදුරට මෙම පුරාවෘත්තයන් සමග බැඳී පවතී. එම නිසා කතරගම යනු හුදෙක් දේවාලයක් පමණක් නොව, පුරාණ හින්දු සාහිත්‍යය, ශ්‍රී ලාංකේය ජනප්‍රවාද සහ ආගමික සම්ප්‍රදායන් එකිනෙක සම්මිශ්‍රණය වූ අද්විතීය පුදබිමක් බව පැහැදිලි වේ.
එසේම බෞද්ධ සම්ප්‍රදායේ මහාසේන දෙවියන්, කතරගම පුදබිම, කිරිවෙහෙර, වැඩ සිටි කන්ද, සෙල්ල කතරගම සහ පිරිවර කඳු වැටි සය පිළිබඳවද විශේෂ කරුණු රැසක් ඉදිරිපත් කරයි.
බෞද්ධ සම්ප්‍රදාය තුළ කතරගම දෙවියන් පිළිබඳ ඉදිරිපත් වන්නේ තවත් වැදගත් අර්ථකථනයකි. බෞද්ධ විශ්වාසයට අනුව, භාග්‍යවතුන් වහන්සේ ලක්දිවට තුන් වැනි වර වැඩම කළ අවස්ථාවේ කතරගම ප්‍රදේශයට පැමිණ, වර්තමානයේ කිරිවෙහෙර පිහිටි ස්ථානයේ කිහිරි වෘක්ෂයක් මුල රහතන් වහන්සේලා පන්සිය නමක් පිරිවරා වැඩ සිටි සේක.
මහසෙන් දෙවියන්ට පුදබිම බාරදීම
එකල කතරගම ප්‍රදේශය පාලනය කළ මහාසේන නම් දෙව් රජු ඇතුළු පිරිසට බුදුරජාණන් වහන්සේ විසින් ධර්මය දේශනා කළ බවත්, එම ධර්ම දේශනය අසා මහාසේන රජු සෝවාන් ඵලයට පත්වූ බවත් බෞද්ධ ග්‍රන්ථවල සඳහන් වේ. අනතුරුව බුදුරජාණන් වහන්සේ විසින් එම පූජනීය භූමිය සදාකාලිකව ආරක්ෂා කරන ලෙස මහාසේන දෙවියන්ට භාර කළ බව බෞද්ධයන්ගේ විශ්වාසයයි.
එබැවින් මහාසේන දෙවියන් යනු මනුෂ්‍ය රාජයකු ලෙසද, සම්මුති දෙවියකු ලෙසද, සෝවාන් ඵලලාභී විශුද්ධ දේවයකු ලෙසද, පසුව දේවාත්මභාවයට පත් ආරක්ෂක දෙවියකු ලෙසද සලකනු ලබයි. ඇතැම් විද්වතුන්ගේ අදහස වන්නේ කාලයාගේ ඇවෑමෙන් මහාසේන දෙවියන් සහ ස්කන්ධ කුමාර දෙවියන් පිළිබඳ විශ්වාසයන් එකිනෙක මුසු වී, කතරගම දෙවියන් පිළිබඳ අද පවතින ඒකාබද්ධ ජන විශ්වාසය ගොඩනැගුණු බවයි.
කතරගම යනු බුදුරජාණන් වහන්සේ පරිභෝග කළ සොළොස්මස්ථාන අතරින් එකකි. මැණික් ගඟ ඉවුරේ පිහිටි මෙම ඓතිහාසික නගරය රුහුණු රාජධානියේ අග්‍ර නගරයක් ලෙසද ප්‍රසිද්ධියට පත්ව තිබුණි. කිරිවෙහෙර, බෝධීන් වහන්සේ, විහාරස්ථාන, දාගැබ්, ධර්මශාලා සහ දේවාල එකම පුදබිමක් තුළ සමගියෙන් පැවතීම, කතරගම ශ්‍රී ලංකාවේ ආගමික සහජීවනයේ ජීවමාන සංකේතයක් බවට පත්කර තිබේ.
දුටුගැමුණු මහ රජු ඉදිකළ මහ දේවාලය
ජනප්‍රවාදවලට අනුව දුටුගැමුණු මහ රජතුමා කතරගම දෙවියන්ගේ ආශීර්වාදය ලබාගෙන සිය යුද්ධ ජයග්‍රහණයෙන් අනතුරුව මහා දේවාලයක් ඉදිකරවා ඇත. කතරගම දෙවියන්ගේ යන්ත්‍ර එකසිය අටක් තැන්පත් කර, මහ නිධන් වළලා, රන් උළු සෙවිලි කර, රන් කොත් පැළඳවූ විශාල දේවාලයක් ඉදිකළ බවට ජනප්‍රවාද පවතී. වර්තමානයේ පවතින දේවාලය පසුකාලීනව ප්‍රතිසංස්කරණය වූ එකක් ලෙස සැලකුණද, එහි ඓතිහාසික හා ආගමික වටිනාකම අදටත් නොඅඩුව පවතී.
කතරගමට නුදුරින් පිහිටි වැඩ සිටි කන්ද හෙවත් හේමකූඨය ද බැතිමතුන් අතර ඉතා පූජනීය ස්ථානයකි. දක්ෂිණ කෛලාසය, අංජන පර්වතය, සිංහාසන කන්ද සහ මැදුම් හෙලය යන නාමයන්ගෙන්ද හැඳින්වෙන මෙම කන්ද ස්කන්ධ කුමාර දෙවියන් වැඩ සිටි දිව්‍ය ස්ථානය ලෙස විශ්වාස කෙරේ. දුටුගැමුණු කුමාරයාද මෙම කන්දට නිරන්තරයෙන් පැමිණ දේව පූජා සිදු කළ බවට ජනප්‍රවාද රැසක් පවතී.
එසේම සෙල්ල කතරගම ප්‍රදේශය වල්ලි අම්මා සමග ස්කන්ධ කුමාර දෙවියන්ගේ දිව්‍යමය හමුව සිදුවූ ස්ථානය ලෙස සැලකේ. ගණේශ්වර දෙවියන්ගේ උපකාරයෙන් වල්ලි අම්මාගේ සිත දිනාගත් ස්කන්ධ කුමාර දෙවියන් ඇය විවාහ කරගත් බව ජනප්‍රවාද පවසයි. අදද එම ප්‍රදේශයේ වල්ලි අම්මා හා ගණ දෙවි කෝවිල පිහිටා ඇති අතර, බැතිමතුන්ගේ දැඩි ගෞරවයට පාත්‍ර වේ.
වැඩිහිටි කන්ද වටා පිහිටි කඳු වැටි හය පිළිබඳව විශේෂ ජන විශ්වාසයක් ඇත. කඩවර කන්ද, ප්‍රකාශ කන්ද, උමං කන්ද, උයන් කන්ද, කුමාර කන්ද සහ බණ්ඩාර කන්ද යන නම්වලින් හැඳින්වෙන මෙම කඳු පෙළ, දේව සේනාවන් හා පිරිවර දෙවිවරුන් වාසය කළ ස්ථාන ලෙස සලකනු ලැබේ. කතරගම මහා පෙරහර පැවැත්වීමේදී මෙම ස්ථානවලටද ගෞරවය දැක්වීම පුරාණ චාරිත්‍රයක් ලෙස පැවති බව ඉතිහාසය සාක්ෂි දරයි.
වර්තමානයේ කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍යය ශ්‍රී ලංකාවේ විශාලතම ආගමික උත්සව අතරින් එකකි. බෞද්ධ, හින්දු, මුස්ලිම් හා ක්‍රිස්තියානි භක්තිකයන් පවා ආගමික භේදයකින් තොරව මෙම පුදබිම වෙත පැමිණ භාරහාර ඉටු කිරීම, කතරගම පුදබිම ශ්‍රී ලාංකේය සංස්කෘතියේ එකමුතුකමේ සංකේතයක් බව පැහැදිලි කරයි.
අවසානයේ කිවයුත්තේ, ස්කන්ධ කුමාර දෙවියන් පිළිබඳ පුරාවෘත්ත, ජනප්‍රවාද හා ආගමික මත විවිධාකාර වුවද, ඒවායේ මූලික පණිවිඩය එකම එකක් බවයි. එනම් සත්‍යය, ධර්මය, ධෛර්යය, කරුණාව, පුණ්‍යකර්ම සහ යහපත් ජීවිතය ආරක්ෂා කිරීමයි. ශ්‍රී කතරගම පුදබිම අදද ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ සිත් සනසන පූජනීය භූමියක් වන අතර, එය ශ්‍රී ලංකාවේ ආගමික, ඓතිහාසික හා සංස්කෘතික උරුමයේ අමිල රත්නයක් ලෙස සදාකල් වැජඹෙනු ඇත.
තවද පාරම්පරික මන්ත්‍ර තන්ත්‍ර යන්ත්‍ර ශාස්ත්‍රය මූලික කරගෙන බොහෝ යන්ත්‍ර මන්ත්‍ර කටයුතු ස්කන්ධ කුමාර දේවතාවා මුල්කරගෙන කටයුතු සිදු කරන බවත් එහිදී මහා බලසම්පන්න වූ කන්ද කුමාර පෙරලුම මගින් වින බන්ධන කපා ඉවත් කිරීම ද, මහා බලගතු කන්දකුමාර දැහැන මූලික කරගෙන ලෙඩ රෝග වලින් ආරක්ෂාව ළඟා කර ගැනීමද, සිදු කරන අතර බොහෝ දුර්ලභ අවස්ථාවන් තුළදී කන්ද කුමාර මාරණ නාගර ක්‍රම මාර්ගය ඔස්සේ මිනිසුන්ට පවා දරුණු මාරක දඩුවම් ලබා දෙන්නේ කතරගම දෙවි හාමුදුරුවන් වහන්සේගේ ඇති මහා බල ශක්තිය ලොවට පෙන්වා දෙමිනි. අදටත් බොහෝ දෙනා කතරගම වැඳපුදා ගෙන තමාට වී ඇති අසාධාරණකම් මූලික කරගෙන දේවාලය ඉදිරිපිට හඬ හඬා පොල් ගසන්නේ සොර සතුරන්ට දඬුවම් දෙන්න කියාය. අදටත් මහා කතරගම දේවස්ථානේ ඇති අදෘශ්‍යමාන බලශක්තියේ හාස්කම කියා අවසන් කිරීමට පවා නොහැකිය. උතුම් වූ කතරගම දෙවි හාමුදුරුවන් වහන්සේ බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ මහේශාක්‍ය දෙවියන් අතර දෙවි කෙනෙක් වූ කතරගම දෙවියන් බුද්ධ ශාසනය විනාශ කිරීමේ අරමුණින් යම් පුද්ගලයන් විවිධ කුමන්ත්‍රණ සිදු කළද කතරගම දිව්‍ය බලය විසින් එම පුද්ගලයන් වනසා දමන්නේ දහමේ බලයත් කන්ද කුමාර දිව්‍ය ශක්තියත් ලොවට පෙන්වමින්ය.
බොහෝ දෙනා කතරගම දෙවි හාමුදුරුවන් වහන්සේට අවමන් කළද, ඔවුන්ට අදටත් දඬුවම් ලබාදෙන්නේ ස්වභාවධර්මයෙන් ඔවුන්ටවත් සිතාගත නොහැකි පරිදිය, අශුද්ධ චේතනා ඇති බුදුදහම විනාශ කිරීමේ අරමුණින් කවුරුන් හෝ කටයුතු කරයිද එම පුද්ගලයන් අමු අමුවේ වනසා දමන මහා බලගතු ධාර්මිෂ්ඨ දෙවි දේවතාවුන් අතර ප්‍රධානතම සිහසුන ගන්නේ ද කන්ද කුමාර දෙවිහාමුදුරුවන්ය. එදා දුටුගැමුණු රජු සහ එළාර රජු අතර තිබූ යුධ සංග්‍රාමයේදී යුද්ධය දිනා ගැනීමට රන්කඩු ආවේශය නැමැති මහා ආවේශ මන්ත්‍රය භාවිත කර දුටුගැමුණු රජුගේ රන් අසිපතට බල පිහිටුවාදීමත් කතරගම දිවි හාමුදුරුවන් වහන්සේගෙන් ලද දායාදයක් බවටත් රජුගේ ඔටුන්නේ සැගවූ මහා බලගතු යන්ත්‍ර රත්නය ලබා දුන්නේ කතරගම දෙවියන් බවටත් බොහෝ පුරාවෘත්ත සඳහන්වේ.
එම යුද්ධයෙන් දිනූ පසුව කතරගම දෙවියන් කෙරේ එහි ඇති අපමණ භක්තිය හේතු කරගෙන කතරගම රන්දෙවොල ඉදිවූ බවටත් පුරාවෘත්ත වල සඳහන් වෙයි. අදටත් බොහෝ දේශපාලකයන් කතරගම දෙවි හාමුදුරුවෝ වහන්සේගේ බල පිහිටවන ලද දුටුගැමුණු රජ පරම්පරාවට අයිති යැයි සලකන ලද දුටුගැමුණු රජුගේ අසිපත සොයති. බොහෝ ආධ්‍යාත්මික ශක්තියක් ඇති මිනිසුන් පමණක් නොව රටේ ඉහළ පැලැන්තියේ පුද්ගලයන්ද මෙම කඩුව සොයන්නේ එම රජකඩුවේ ඇති බලය ලොවට පාමින් ය. එය බොහෝ දෙනා නොදන්නා වූ රහසකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd