ඔබට මතකද ඒ සිද්ධිය? ඔබ විදෙස් පුවත් ගැන විමසිල්ලෙන් පසුවන කෙනකු නම්, ඔබට එය අමතක වීමේ හේතුවක් නැත. ඒ, 2025 මැයි 26 වැනිදාය. ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, වියට්නාමයේ නිල සංචාරයක් සඳහා පැමිණියේ බිරිඳ බ්‍රිජෙත් ත්‍රොග්නෝව් සමගය. ජනාධිපති සහ බිරිඳ රැගත් නිල ගුවන් යානය, හැනොයි ගුවන්තොටුපොළට ගොඩබෑවේ රාත්‍රියේය. ගුවන් යානය රතු පලස ආසන්නයේ නතර වෙද්දී, රැස්ව සිටි මාධ්‍යවේදීන් සියලු‍ දෙනාගේම කැමරා එල්ල වී තිබුණේ ගුවන් යානයේ කුඩා දොර වෙතටය.එය සජීවීව පුවත් නාළිකා ඔස්සේ ලොව පුරා විකාශය විය. රතු පලසකින් අලංකාර වූ රෝද සහිත පඩිපෙළ ගුවන් යානයේ දොරට ළං කෙරිණ. වියට්නාම් රජයේ බලධාරීන්, වියට්නාමයේ ප්‍රංශ තානාපතිවරයා ඇතුළු සම්භාවනීය අමුත්තන් ද පහළ සූදානමින් සිටියේ මැක්රොන් සහ බ්‍රිජෙත් උණුසුම් ලෙස පිළිගැනීමටය. යානයේ සිටි ගුවන් සේවකයෙක් ඇතුළතින් දොර විවර කළේය. පිටතින් වියට්නාම ගුවන් සේවිකාවක ඔහුට සහාය දුන්නාය. තවත් ගුවන්තොටුපොළ සේවකයෙක් ද එහි විය.

වීඩියෝ කැමරාවල සියල්ල පටිගත වුණු බැවින්, දොර විවර කළ සැණින් ප්‍රංශ ජනාධිපති මැක්රොන් සිටිනු දකින්නට ලැබිණ. කිසිවකු ඔහුට අතුල් පහරක් දෙනු පෙනිණ. අතුල් පහරත් සමග එක් අතක් මැක්රොන්ගේ මුහුණින් අල්ලා, තල්ලු‍ කරනවා ද දකින්නට ලැබිණ. ගුවන් යානයෙහි සිදුවුණු මෙම සිදුවීම් පිටතට පෙනෙනු ඇතැයි ප්‍රංශ ජනාධිපති මැක්රොන් එම අවස්ථාවේදී සිතන්නට නැත. අතුල් පහර එල්ල කළේත්, මුහුණ අල්ලා තල්ලු‍ කළේත් වෙන කවුරුවත් නොව, මැක්රොන්ගේ බිරිඳ බ්‍රිජෙත්ය. එයින් විනාඩි කීපයක් යද්දී, යුවල ගුවන් යානයෙන් පිටවී, සෙමින් පඩි බැස පහළට පැමිණියහ. මැක්රොන්, බිරිඳගේ අත අල්ලා ගෙන යෑමට උත්සාහ කළ ද ඇය ඊට ඉඩ නොදුන්නේ අත ගසා දමමිනි.

ප්‍රංශ ජනාධිපතිවරයා විවාහ වී සිටින්නේ ඔහුගේ පාසල් ගුරුවරියක සමගය. බ්‍රිජෙත් උපත ලැබුවේ 1953 අප්‍රේල් 13 වැනිදා ප්‍රංශයේ අමියන්ස් නගරයේය. ඇය ධනවත් පවුලක තැනැත්තියකි. ඇගේ පවුල පරම්පරා ගණනාවක සිට ප්‍රසිද්ධ, ත්රොග්නෝව් චොකලට් ව්‍යාපාරය පවත්වාගෙන යයි. මැක්රොන් සමග විවාහ වීමෙන් පසු එම ව්‍යාපාරයේ නම වෙනස් විය. ඒ, ත්රොග්නෝව් සහ මැකරොන් චොකලට් යනුවෙනි. මැක්රොන් සමග විවාහ වීමට පෙර, ඇය බැංකුකරු ඇන්ඩ්රේ-ලු‍වී ඕසියර් සමඟ විවාහ වී සිටි අතර, එම විවාහයෙන් ඇයට දරුවන් තිදෙනෙකි. ඒ, පුතකු සහ දියණියන් දෙදෙනෙකි. මේ දරුවන් තිදෙනාගෙන් පුතා ඉංජිනේරුවකු වන සෙබස්තියන් ඕසියර්ය. ඔහු මැක්රොන්ට වඩා වැඩිමල්ය. දියණියන් දෙදෙනා මැක්රොන්ට වඩා වයසින් අඩුය. එක් දියණියක ලෝරන්ස් ඕසියර් ය. ඇය හෘද රෝග විශේෂඥවරියකි. අනෙක් දියණිය නීතිඥවරියක වන ටිෆනි ඕසියර්ය. මැක්රොන් සහ බ්‍රිජෙත්ගේ වයස් පරතරය අවුරුදු 24 කි.

1993 දී මැක්රොන් ප්‍රංශයේ අමියන්ස් නගරයේ පිහිටි පෞද්ගලික පාසලක ඉගෙනුම ලබන විට බ්‍රිජෙත්, මැක්රොන්ට ප්‍රංශ සාහිත්‍යය සහ නාට්‍ය කලාව ඉගැන්වූ ගුරුවරිය වූවාය. මැක්රොන්ට අවුරුදු 15 ක් වෙද්දී, බ්‍රිජෙත් 39 හැවිරිදි තිදරු මවක වූවාය. මෙම සබඳතාවට මැක්රොන්ගේ මාපියෝ දැඩි ලෙස විරුද්ධ වූහ.  බ්‍රිජෙත් සැමියාගෙන් දික්කසාද වීමෙන් පසු 2007 දී මැක්රොන් සහ විවාහ වූවාය. මැක්රොන් 2017 වසරේදී ප්‍රංශයේ ළාබාලම ජනාධිපතිවරයා ලෙස පත්වන විටත්, ඉන්පසු 2022 වසරේදී නැවත ජනාධිපති ධුරයට තේරී පත්වන විටත් ඇය ප්‍රංශ ජනාධිපති ආර්යාව ලෙස ඔහුට ශක්තියක් වූවාය. මැක්රොන් සහ බ්‍රිජෙත්ට දරුවන් නොමැති වුවද, මැක්රොන් බිරියගේ දරුවන් මෙන්ම මුනුබුරු මිනිබිරියන් සමඟ ද ඉතා සමීප පවුල් සබඳතාවක් පවත්වයි.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු (බීබී) ද සමග එක් වී, ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරානයට පහර දුන්නේ ඉකුත් පෙබරවාරි 28 වැනිදාය. යුද්ධය ඔඩුදුවද්දී, ඉරානය ඔවුන්ගේ තුරුම්පුව අතට ගත්තේය. හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීය. හෝමූස් වසා දැමුණු අවස්ථාවේ, ඉරාන විප්ලවීය බළකායේ නාවික බළඇණිවලට පහර දී, බලහත්කාරයෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කළ යුතු බව ට්‍රම්ප් පැවසීය. ඔහු මේ සඳහා බ්‍රිතාන්‍යයෙන්, ප්‍රංශයෙන් මෙන්ම සෙසු නේටෝ සාමාජිකයන්ගෙන් ද උදවු ඉල්ලු‍වේය. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර් සහ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ට්‍රම්ප්ට “බැහැ’ කීහ. ඒ අනුව, ස්ටාර්මර් සහ මැක්රොන් ට්‍රම්ප්ගේ උදහසට ලක් වූහ. කෝපයට පත් ට්‍රම්ප් ප්‍රසිද්ධියේ ඔවුන් දෙදෙනාට අපහාස කරන්නට විය. මැක්රොන් යනු බිරිඳගෙන් ගුටි කන ජනාධිපතිවරයකු බවත්, එය කනගාටුවට කාරණාවක් බවත් ට්‍රම්ප් චෝදනා නැගුවේය. එදා වියට්නාම් ගමනේ දී බ්‍රිජෙත්, මැක්රොන්ට අතුල් පහරක් එල්ල කළේ ඇයි දැයි මේ වනවිට අනාවරණය වී ඇත. ඒ, ප්‍රංශ මාධ්‍යවේදියකු වන ෆොරියොන් තාල්දිෆ් එළිදැක්වූ ඔහුගේ නවතම පොත හරහාය. ෆොරියොන් තාල්දිෆ් යනු ප්‍රංශයේ දේශපාලන රහස්, ඕපාදූප හොඳින් දන්නා මාධ්‍යවේදියෙකි.

තාල්දිෆ්ගේ පොත, ප්‍රංශ බසින් Un couple (presque) parfait  යන නමින් නම් කර ඇත. ඉංග්‍රීසියෙන් එහි අරුතAn (Almost) Perfect Couple  යන්නය. මේ පොත මැක්රොන් සහ බ්‍රිජෙත් ගැනය. මැක්රොන් සහ බ්‍රිජෙත්ගේ පෞද්ගලික ජීවිතයේ හැලහැප්පීම් ගැනය. පොතේ සඳහන් වන ආකාරයට මැක්රොන්, ප්‍රංශ, ඉරාන නිළියක සමග හාදකමක් පවත්වයි. මේ නිළිය ගොල්ෂීෆෙ ෆර්හානීය. එදා වියට්නාම සංචාරයේ දී මැක්රොන් ගුටි කෑවේ ෆර්හානීගෙන් ආ කෙටි පණිවුඩ, බ්‍රිජෙත්ට හසුවුණු බැවින් යැයි තාල්දිෆ්ගේ පොතේ සඳහන් වෙයි. ෆර්හානී සහ මැක්රොන් අතරේ රහස් සම්බන්ධයක් ඇති බවත්, මැක්රොන්, ෆර්හානීට කීකරු බවත් තාල්දිෆ් සිය පොතෙන් අනාවරණය කර තිබේ. 

ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්, හෝමූස් විවෘත කරන්න උදවු දෙන්නැයි ප්‍රංශ ජනාධිපති මැක්රොන්ගෙන් උදවු ඉල්ලද්දී, මැක්රොන් එය ප්‍රතික්ෂේප කළේ මෙම ප්‍රංශ නිළියගේ බල කිරීමට යැයි ද පොතේ සඳහන් වෙයි. ඉරානයට එරෙහි වෙන්න එපා යැයි මැක්රොන්ගෙන් ෆර්හානී ඉල්ලීමක් කර ඇත.

කෙසේ නමුත්, මේ කිසිවක් මැක්රොන් හෝ බ්‍රිජෙත් හෝ ඉලීසේ මාලිගාව හෝ සත්‍යයක් යැයි තහවුරු කර නැත. ඉලීසේ මාලිගාව යනු ප්‍රංශ ජනාධිපති මන්දිරයයි. ප්‍රංශ ජනපතිට කෙටි පණිවුඩ එවන සහ ප්‍රංශ ජනාධිපති සමග රහස් සම්බන්ධයක් පවත්වනවා යැයි කියන ගොල්ෂීෆෙ ෆර්හානී ප්‍රංශයේ ජනප්‍රිය නිළියකි. ඇය සම්මානනීය නිළියක ද වෙයි. ඇගේ වයස අවුරුදු 42 කි. ඇය උපන්නේ 1983 ජූලි 10 වැනිදා ඉරානයේ තෙහෙරාන් අගනුවරදීය. අද ඇය ඉරාන ප්‍රංශ පුරවැසිභාවය හිමි තැනැත්තියකි.

නෙට්ෆ්ලික්ස් හරහා තිරගත වුණු ක්‍රිස් හෙම්ස්වර්ත් ප්‍රධාන චරිත නිරූපණය කරන එක්ස්ට්‍රැක්ෂන් 1 සහ 2 ක්‍රියාදාම චිත්‍රපවලින් ඇය දැක ගත හැක. ඉන්වේෂන් රූපවාහිනී ටෙලි කතාමාලාවට ද ඇය රංගනයෙන් දායක වී ඇත. ෆර්හානී දෙවරක් විවාහ වූ තැනැත්තියකි. ගොල්ෂීෆෙ ෆර්හානී නමින් රංගනයට පිවිසියත්, ගල්ෂිෆ්තේ ෆර්හානීගේ උපන් නම රහවාද් ෆර්හානී ය. ඇගේ පවුලේ සාමාජිකයන් ජීවත් වන්නේ තෙහෙරාන් අගනුවරය.

ලු‍සිත ජයමාන්න
ප්‍රංශ මාධ්‍ය ඇසුරිනි