ධර්මසේන හිමියන් විසින් නිර්මිත සද්ධර්ම රත්නාවලියෙහි අගසව් වතෙහි එන වාක්‍ය ඛණ්ඩයකි මේ.
තල් පක් පොල් පක් ආදිය නිසා තල් පැළ පොල් පැළ ආදිය පවත්නා සේද නැවත තල් ගස් පොල් ගස් ආදිය නිසා තල් පක් පොල් පක් ආදිය පවත්නා සේද...
එහි සරල භාවය මෙසේයි.
...තල් ගෙඩි පොල් ගෙඩි ආදිය හින්දා තල්පැළ පොල් පැළ ආදිය පවතින්නා වාගේ්ත් නැවතත් තල් ගස් පොල් ගස් ආදිය නිසා තල් ගෙඩි පොල් ගෙඩි ආදිය පවතින්නා වාගේත්...
|
අරීසෙන් අහුබුදු |
ගුත්තිල කවෙහි හමුවන පැදියකි මේ.
තිඹිරි පකක් දුන් අඟනක් සඟන
දැක
ඉතිරි සැපත් ලදු ගන රන්
විමානෙක
සපිරි එළඳ පිරිවර ලියොම
දාසෙක
ඉදිරි පිහිට පින් මය ඉන් නොවවු
සැක
(ගුත්තිල - 494)
මේ එහි සරල අර්ථයයි.
සඟ නමකට තිඹිරි ගෙඩියක් පිදූ අඟනකට එහි පින් පල වශයෙන් දහසක් පිරිවර ලියන් සමග අධික සැප ඇති දිව්‍ය විමානයක් පහළ විය. එබැවින් ඉදිරියෙහිදී පිනම පිහිට වන බව සැක නොකරත්වා.
තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමිපාදයාණන් විසින් නිර්මිත කාව්‍යශේඛර මහා කාව්‍යයෙහි මේ මේ පැදිය හමුවෙයි.
තොප ගියකල බැමිණි
අතොබයි පයිය සපැමිණි
කයි නයි විස ගිහිණි
එයින් ගෙට ගිය නසියි ගුරුහිණි
(කා: ශේ: 11 සග: 19පැ.)
එහි සරල තේරුම මෙයයි7.
නුඹ ගෙදර ගිය කල බැමිණිය ඇවිත් මල්ලට අත ඔබයි. එවිට විසකුරු නයා ඇයට දෂ්ට කරයි. එනිිසා ගෙට ගියොත් බිරියට මැරෙන්නට සිදුවෙයි.
මවිසින් මෙසේ සද්ධර්ම රත්නාවලිය, ගුත්තිලය සහ කාව්‍යශේඛරය යන පුරාතන ගද්‍ය පද්‍ය ග්‍රන්ථ ත්‍රිකයෙන් ගද්‍ය නිදර්ශනයක් හා පද්‍ය නිදර්ශන දෙකක් ගෙනහැර පෑවේ ව්‍යවහාර සිංහල භාෂාවට අදාළ එක්තරා ශබ්ද ධර්මතාවක් කෙරෙහි ඔබගේ අවධානය යොමු කිරීමේ අපේක්ෂාවෙනි.
සද්ධර්ම රත්නාවලිය බිහි වූයේ 13වන සියවසේ දඹදෙණි සාහිත්‍ය සමයෙහිදීය. අදින් වසර 800කට පමණ පෙරය. ගුත්තිලය හා කාව්‍යශේඛරය යන කාව්‍ය කෘති දෙකම පහළ වූයේ කෝට්ටේ හෙවත් ජයවර්ධනපුර රාජ්‍ය සමය වන16 වන සියවසේය. එනම් අදට වසර 500කට පමණ පෙරය. එම ත්‍රිවිධ ග්‍රන්ථයෙහිම හමුවන භාෂාව වූකලී තත්කාලීන උගත් නූගත් සාමාන්‍ය ජනයාගේ ශිෂ්ට සම්මත ව්‍යවහාරයම වන්නට ඇති බව නිසැකය. ඊට පටහැනි අශිෂ්ට ව්‍යවහාරයක් දෙකල්හිම විසූ ලේඛකයන් හෝ කවියන් තම රචනාවන් සඳහා භාවිතයට ගනිතියි සිතිය නොහැකිය. එය අවඥාවට භාජන වන හෙයිනි.
දඹදෙණි යුගයේදීත් කෝට්ටේ යුගයේදීත්, පක් ශබ්දය භාවිත වී ඇත්තේ සමාන අරුතක් නගනු පිණිසය. එනම් ගෙඩිය යන තේරුමෙනි. සංස්කෘත භාෂාවේ එන පක්ව ශබ්දයත් පාලි භාෂාවේ එන පක්ක ශබ්දයත් ඉදුණු යන අරුතෙහි වැටේ. සිංහල පක් ශබ්දය එකී සකු බසේ පක්ව සහ පෙළ බසේ පක්ක යන ශබ්ද ද්වය ආශ්‍රයෙන් ව්‍යවහාරයට ආවකි. සිංහල ව්‍යවහාරයේදී එය ඉදුණු නොඉදුණු යන අරුත ඉක්මවා ගෙඩිය යන වෙසෙස් අරුතින්ම භාවිතයට ගොස් ඇති බව යට දැක්වූ උදාහරණ මගින් ඔප්පු වෙයි.
කාව්‍යශේඛර නිදසුන් පැදියෙහි එන පයි ශබ්දය පසුම්බි වාචීය. එනම් පැස , මල්ල යන තේරුම දෙන්නකි.
පයි ශබ්දය සංස්කෘත භාෂාවේ එන ප්‍රසේවික සහ පාලි භාෂාවට අයත් පසිම්බක යන ද්වි ශබ්ද ආශ්‍රිතව සිංහලයට පිවිසුණකි. පසිම්බි , පසිම්බු , පසිඹි යන ශබ්දයෝ දහම් සරණ ග්‍රන්ථයෙහිදී හමුවෙති. හිස් වැස්ම හැඳින්වීම සඳහාද හිස් පයි යන වහර පැරණි සිංහල ග්‍රන්ථවල යෙදී ඇත. මුල් බස්හි ශබ්ද ඇසුරින් පැමිණි පහිය යන ශබ්දය පසුව හ කාර ලෝපයෙන් පයිය බවට පෙරළී ඇත.
ශිලා ලේඛනවල හමුවන පය් ශබ්දයද මුල් බස්හි ආ පාද යන්නෙන් සිංහලයට බිඳුණකි. එහි ඇත්තේ පූජ්‍ය යන තේරුමයි. පූජ්‍ය වූ රාජයා යන තේරුම දෙන රාජ පාද යන්න ශිලා ලේඛන භාෂාවේ යෙදී ඇත්තේ රජ පය් යනුවෙනි. ආර්ය පාද යන අරුත දෙන අයි පය් යන්න මෙන්ම ආචාර්ය පාද යන තේරුම ඇති ඇජර පය් යන්නද යට කී කරුණ සනාථ කරනු පිණිස ශිලා ලේඛන බසින් ගෙනහැර පෑ හැකි තවත් නිදසුන්ය.
අනුරාධපුර , දඹදෙණි හා ජයවර්ධනපුර කෝට්ටෙි යුගවලදී එකී වදන් ඒ අරුතින් ව්‍යවහාරයේ පැවති මුත් අද අප වෙසෙන කොළඹ යුගය වන විට ඒවා අප සිතට නගන්නේ එදා එහි ගැබ්ව නොතිබුණු ව්‍යංග්‍යාර්ථය. එක් කලකදී කිසියම් වචනයකින් ඇඟවුණු තේරුම කාලයාගේ ඇවෑමෙන් අභාවයට ගොස් ඒ වෙනුවට අලුත් අරුතක් පැමිණීම කවර ව්‍යවහාර භාෂාවක වුවද ශබ්ද ධර්මතාවකි. එය කිසි සේත් නොවැළකිය හැකි ජීවභාෂා දෛවයකි. එක් යුගයකදී සභ්‍ය සම්මත වූ දේ තවත් යුගයකදී අසභ්‍ය සම්මත වෙයි. එය සෑම ජීවභාෂාවකටම උරුම වූ දෛව විපාකයක් නොවෙිද? සභ්‍ය අසභ්‍ය වාදීන්ගේ ආධානගාහී සදාචාරත්වයේ අසාරත්වය මෙමගින් මනාව සනාථ වෙයි.
මට මෙවේලේ සනාතන ආංගල ආප්ත වාක්‍යයක් සිහියට නැගෙයි.
"Meanings are in people. Not in words. Words do not transmit meanings ; They mearly "stir up" meanings already present in people."
"තේරුම් ඇත්තේ මිනිසුන් තුළ මිස වචන තුළ නොවේ. වචන මගින් තේරුම් සන්නිවේදනය නොකෙරේ. ඒවා මගින් කෙරෙන්නේ කලින් සිටම මිනිසුන් තුළ තිබුණු තේරුම් අවදි කිරීම පමණි."
අද අපි කඩයකට ගොස් පොල් පක් , දෙල් පක් නොඉල්ලමු. බඩු දාගැනීමට වෙළඳසැල් කවුන්ටරයෙන් පයි නොඉල්ලමු. අව්වට හිස් පයි දාන්නැයි නොකියමු. රජවරුන් රජ පය් නමිනුත් ආචාර්ය මහාචාර්යවරුන් ඇජර පය් නමිනුත් නොහඳුන්වමු.
මා මේ පක් - පයි ශබ්දාර්ථ විපරීතය මෙසේ විවරණය කළේ ඇයි? පැරණි අර්ථය ගිලිහී ගොස් අලුත් අර්ථයක් උකහා ගත් වචනයක් භාවිතයට ගැනීම කරණකොටගෙන මට මුහුණ පාන්නට සිදුවුණු එක්තරා අකරතැබ්බයක් පිළිබඳ ඉකුත් වතට දොරකඩ අස්නක් ලෙසිනි.
ඒ 07 වන දශකයේ මුල භාගයයි. එක්තරා සතියේ දිනක සවස් මානයේ නිදහස් චතුරස්‍රයට නුදුරින් ඇති ශ්‍රී ලංකා පදනම් ආයතනයට අයත් සභා ශාලාවේ සාහිත්‍ය උත්සවයක් පැවැත්වුණි. එය වූකලී මාර්ටින් වික්‍රමසිංහයන්ගේ සාහිත්‍ය සේවාව අගය කිරීම අරභයා සංවිධානය කරන ලද්දකි. අප ඉතා සමීපව ඇසුරු කළ මිතුරෝ සියලු දෙනාම පාහේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ රැස්වීම් ශාලාවට පැමිණ සිටියහ. එවකට ප්‍රකටව සිටි සාහිත්‍යකරුවෝ , නාට්‍යකරුවෝ , සංගීතඥයෝ , කවියෝ , ගීත රචකයෝ බොහෝ දෙනෙක් ඒ අතර වූහ. ළඟින් ඇසුරු කළ අප මිතුරු කැලගේ බිරියෝද එහි සිටියෝය.
සාහිත්‍ය උත්සවය අවසානයේ අපි සියල්ලෝ සභා ශාලාවෙන් පිටවෙමින් සිටියෙමු. කලකින් හමුවීමේ අවස්ථාවක් නොලද ඇතැම්හු සභා ශාලාවෙන් පිට කොරිඩෝරයේ නැවතී අල්ලාප සල්ලාපයේ යෙදෙමින් සිටියහ. අපිද ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ප්‍රධාන දොරටුව ළඟ ඇති පෝටිකෝව යට නැවතී කලකින් නුදුටු මිතුරු පිරිසක් සමග සතුටු සාමීචියේ යෙදී සිටියෙමු.
එවේලේ අරීසෙන් අහුබුදු සූරීන් තම දේවිය (මෙය හෙළ හවුලේ ඇත්තන් 'බිරිඳ' යන අරුතින් යොදන පදයකි.) සඳාවන්ද කැටුව අප දෙසට එනු පෙනුණි. කෘතහස්ත ගීත රචකයෙකු , හෙළ හවුලේ නයුවෙකු , විද්වතෙකු මෙන්ම අප්‍රමාණ ජාති හිතෛෂියෙක්ද වූ අරීසෙන් අහුබුදු සූරීහු එකලද මගේ හොඳ හිතවතෙකි. ඔහු විසින් නාට්‍ය මාලාවක් සේ ගුවන්විදුලියට රචනා කෙරුණු 'ලංකා පුරාණය' නාට්‍යයෙහි මා නිරූපණය කළ වෙසවුණුගේ චරිතය ඔහු තුළ මා කෙරෙහි වෙසෙස් ළැදිකමක් හට ගැන්මේ මූලාරම්භය වී යැයි සිතමි.
කෙළින්ම අප සිටි තැනට පැමිණි අහුබුදුවන් සඳාවන් දෙදෙනා නැවතුණේ මා අසලය. එකල සඳාවෝ රූපත , පැහැපත , යහපත. අහුබුදුවෝද අලකා පුරට අධිපති වෛශ්‍රවණ (වෙසවුණු) හෙවත් කුවේරගේ පුත් නලකූබරයා මෙන් රූබරයෝය. අලුත මා සමග අතිනත ගෙන සිටි මගේ බිරිඳ රම්‍යාද මා ළඟම දැවටෙමින් සිටියාය. අහුබුදුවන් ඉන් පෙර ඇය දැක තිබුණේ නැත. අහුබුදුවෝ එක් වරම මගෙන් මෙසේ ප්‍රශ්න කළහ.
"අමරසිහයෙනි , මේ ඔබේ දෙවැනියද?"
මට එවේලේ දෙවැනිය යන වචනය පැහැදිලිව ඇසුණේ නැත. මට එය කනට වැටුණේ ඇඹෙණිය යනුවෙනි.
"ඔව් අහුබුදු සූරීනී ඒ මා ඇඹෙණිය තමා"
යැයි මම ඔහුට පිළිතුරු දුන්නෙමි. එවේලේ සඳාවෝ හඬ නගා සිනාසී මෙසේ පැවසුවෝය.
"අහුබුදුවන් ඇසුවේ ඒ ඔබේ ඇඹෙණියද කියා නොවේ. දෙවැනියද කියාය."
නියම වචනය පැහැදිලිව ඇසීමෙන් පසු එහි අරුත වටහා ගත් මම යළි මෙසේ පිළිවදන් දුනිමි.
"ඔව් ඔව් අහුබුදු සූරීනි , ඒ මා දෙවැනිය තමා."
අරීසෙන් අහුබුදු සූරීන් සහ ඔහුගේ දේවිය සඳාවන් මාත් මගේ බිරිඳත් සමග මෙන්ම අප සමග සිටි අපගේ අන් හිත මිතුරන් සමගද මඳ වේලාවක් අල්ලාප සල්ලාපයේ පසුවෙමින් සිට අපගෙන් සමු ගැනීමෙන් පසු අපි සියල්ලෝද විසිර යාමට පටන් ගත්තෙමු. මිතුරන් දෙතුන් දෙනෙකු සමග මා හෙමින් හෙමින් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ගේට්ටුව දෙසට ගමන් කළේ නොයෙක් දේ ගැන කතා බහ කරමිනි. එසේ යන අතරතුර පිටුපසින් පැමිණි කිසිවෙකු මගේ පිටට තට්ටු කරනු දැනී මම හැරී බැලුවෙමි. ඒ අන් කිසිවෙක් නොව මෙරට ප්‍රශස්ත නවකතාකරුවෙකුව සිට කලකට පෙර ජන්මාන්තර ගතවුණු කුලසේන ෆොන්සේකාය. එකල ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති සංස්කාරකවරයෙකු ලෙස සේවය කළ ඔහු මගේ කුලුපග මිතුරෙකි. නවකතා කරුවෙකු වශයෙන් ඔහු ප්‍රකට වූයේ පසු කලකය.
මගේ බිරිඳත් මා සමග ගමන් කළ අන් මිතුරන්ගේ බිරින්දෝත් අපට මඳක් ඉදිරියෙන් කතාබහේ යෙදෙමින් ගමන් ගනිමින් සිටියහ. කුලේ මට අතින් සංඥාවක් කොට මා තනිකොට ගත්තේ සෙසු මිතුරන්ගෙන් සමාව අයදිමිනි. කුලේගේ හැසිරීම මා තුළ කුහුල දැනවීය. ඔහු සමග තනිවුණු මගෙන් ඔහු ඇසූ ප්‍රශ්නය නිසා මගේ සිත කීරි ගැසී ගියේය.
" මචං කරූ , ඔය උඹ එක්ක ඉන්නෙ උඹේ Second Wife ද?"
කුලේගේ ඒ ප්‍රශ්නය මට ඇදහිය නොහැක්කක් වුණි. ඔහු එසේ ඇසුවේ ඇයිද යන්න මට සිතාගත නොහැකි විය. ඒ වන විට විවාහ වී වැඩි කලක් පසු නොකොට සිටි මගෙන් කුලේ එසේ ඇසුවේ ඇයි? ඔහුගේ ඒ ප්‍රශ්නය මගේ බිරිඳගේ කන වැටුණේ නම් ඇයට කුමක් සිතෙනු ඇද්ද?
"ඇයි කුලේ මගෙන් එහෙම ඇහුවෙ?"
මම කුහුල් සිතින් කුලේගෙන් ඇසුවෙමි.
"ඇයි අපේ අහුබුදු මහත්තයා එවේලේ උඹේ වයිෆ් පෙන්නලා ඇහුවේ ඒ උඹේ දෙවැනියද කියලා."
මට කාරණය ඔළුවට වැටුණේ එවිටය. මේ මගේ පළමු විවාහය වුවත් මා මුලින්ද විවාහයක් කරගත් තැනැත්තෙකැයි යන හැඟීම කුලසේනයන් තුළ හටගැන්මට මුල් වූයේ අරීසෙන් අහුබුදුවන් භාවිත කළ අර 'දෙවැනිය' යන වදනය. එහෙත් තමා එවේලේ භාවිත කළ 'දෙවැනිය' වදනින් අනිකෙකු සංඛ්‍යා අර්ථයක් උකහා ගනිතියි අහුබුදුවන් තුන් හිතකින් වත් හිතන්නට නැති බව නිසැකය. ඔහු එය වහරට ගත්තේ මා එහි අරුත දන්නා එකෙකු බව ඉඳුරා දත් හෙයිනි. එසේ වුවද මෙකල බැවහර බස මිස පැරණි සාහිත්‍ය වහර නුහුරු කෙනෙකු 'දෙවැනිය' යන්නෙන් දෙවැනි තැනැත්තිය යන සංඛ්‍යාර්ථය උකහා ගැනීම පුදුමයක් නොවේ.
අහුබුදුවන් හෙළ වදන් පෙළහර පෑමෙහි කෙළ පැමිණි බසිසුරෙකැයි සිතා සිටින මගේ බිරිඳට ඔහුගේ මුවෙන් පිටවුණු 'දෙවැනිය' වදන ග්‍රීක් වදනක් වැන්න. එහෙත් මෙකල බැවහර බසින් නවකතා කෙටිකතා ලියන කුලසේන ෆොන්සේකා අප්‍රකට පැරණි හෙළ වදනක් වන 'දෙවැනිය' යන්න සංඛ්‍යාවාචි පදයක් කොට ගැනීම කවර අරුමයක්ද? කෙසේ වුවද අහුබුදුවන්ගේ 'දෙවැනිය' යන යෙදුම මගේ බින්න විවාහය භින්නව යාමට හේතුකාරක නොවුණද අර්ථ විපරීත වචන භාවිතයෙන් එවැනි ව්‍යසන වීමට පවා හොඳටම ඉඩකඩ ඇති බැව් කුලසේනයන්ගේ සාවද්‍ය අර්ථග්‍රහණයෙන් මනාව සනාථ නොවේද?
අරීසෙන් අහුබුදුවන් 'දෙවැනිය' යන්න මගේ බිරිඳ වෙනුවෙන් භාවිත කළේ 'භාර්යා' පර්යාය ශබ්දයක් වශයෙනි. එය සකු බසින් හා පෙළ බසින් බිඳී ආවකි. සංස්කෘත භාෂාවේ මහා කෝෂග්‍රන්ථය වන වාචස්පති අමරසිංහයන්ගේ අමරකෝෂයෙහි 'භාර්යා' අර්ථය අරභයා දක්වා ඇති පර්යාය වචන අතර 'ද්විතීයා' යන්නද වෙයි. පාලි නිඝණ්ඩුවක් වන අභිධානප්පදීපකාවෙහි එය දී ඇත්තේ 'දුතියා' යනුවෙනි. 'දෙවැනි' යනු අර ශබ්ද යුගලය ඇසුරෙන් සිංහලයට ආ වදනයි. ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ රජ කළ 06වන පැරකුම්බා නිරිඳුන් විසින් විරචිත රුවන් මල් නිඝණ්ඩුවෙහි 'සරණ උන් තැනැත්තිය' (භාර්යාව) යන්නට අර්ථ දක්වන තැනෙහි දී ඇති වචන අතර මේ 'දෙවැනි' යන වදනද හමුවෙයි. මේ 'දෙවැනි' යන වදන 'දූතිකාව' යන රූපයෙන් ජාතක පොතේ මෙන්ම වෙනත් පැරණි සිංහල පොත්වලද දැකිය හැකිය. ජාතක කතාවල පුරාණ දූතිකාව ලෙසින් හැඳින්වෙන්නේ කලින් බිරිඳයි. මේ 'දෙවැනිය' වදන ඉංග්‍රීසි භාෂාවේ කතා ව්‍යවහාරයේ එන Better Half යන්නට සමානය.
මහාකවි කාලිදාස ප්‍රණීත සුප්‍රණීත මේඝදූත කාව්‍යයෙහි හමුවන යක්ෂ ගෝත්‍රික භද්‍ර යෞවන සැමියා, තම තනිවුණු කුසුම කෝමල යෞවන බිරිඳගේ චිත්ත සන්තාපය සාතිශය හෘදය සංවේදීව අචිත්ත වලාකුළට හෙළි කළ අවස්ථාවේ කාලිදාසයන් ඇය වෙනුවෙන් ඔහුගේ මුවට නංවන්නේ 'ද්විතීයං ජීවිතං' යන ආමන්ත්‍රණ පදයයි. එහි අරුත 'දෙවැනි ජීවිතය' යනුයි.
තාං ජානිථාඃ පරිමිත කථාං ජීවිතං
මේ ද්විතීයං
දූරීභූතේ මයි සහචරේ
චක්‍රවාකීමිවෛකාම්
ගාඪෝ්ත්කණ්ඨාං ගුරුෂු දිවසේෂ්වෂු
ගච්ඡත්සු බාලාං
ජාතාං මන්‍යේ ශිශිර මථිතාං
පද්මිනීං වාන්‍ය රූපමි
(මේඝදූත පුරාණ සන්නය , ටී.බී. පානබොක්කේ, 22 ශ්. 62 පි.)
"එකටම හුන් මා වෙන් වූ කල්හි, සක්වා ළිහිණියාගෙන් වෙන් වූ සක්වා ලිහිණියක මෙන් තනිවූද , පෙර සේ මුකරි කතා නැතිවූද , ඇය , මගේ දෙවන ජීවිතය බව දැන ගන්න. දැඩි විරහ වේදනාව දරාගත නොහැකිව කල දවස ගෙවන ඇගේ රූපය දැන් හිමෙන් පෙළී ගිය පියුම් විලක් මෙන් විරූපව ඇතැයි සිතමි."
කාව්‍යශේඛර මහා කාව්‍යයෙහිදී අඹුසොඬ මහලු බමුණා තම භද්‍ර යෞවන බිරිඳ ගැන සඳහන් කරන වේලේ මහාකවි තොටගමුවේ සිරි රහල් හිමියන් ඔහුගේ මුවට නංවන්නේ මේ වදන්ය.
මගෙ දිවි වැනි දෙවන
පිය බඳට ගෙයි දැවැටෙන
(11 සග: 64 පැ:)
කාලිදසුන්ගේ 'ද්විතීයං ජීවිතං' යන යෙදුමද , සිරි රහලුන්ගේ 'දෙවන දිවි' යන යෙදුමද සම අරුත්හි වැටේ. අහුබුදුවන්ගේ 'දෙවැනිය' ද එවැනිය.
'දෙවැනිය' වදන පාදක කොටගෙන ලද අපූරු අත්දැකීමෙන් නොබෝ දිනකට පසු සවසක ගෙදර ආ සැණින් මගේ බිරිඳ මට හොඳටම දොස් නගන්නට වූයේ ඇයට අපහාසයක් කළ බව පවසමිනි. අන්ද මන්ද වූ මම කරුණු පැහැදිලි කරන ලෙස ඇගෙන් ඉල්ලා සිටියෙමි. ඇය කිසිවක් නොකියා මා අතට ලංකාදීප පත්‍රයක් දුන්නාය. මම ඇය පෙන්නූ එක්තරා කොලමක් කියවා බැලුවෙමි. එය වූකලී මගේ ගුවන් විදුලි මිතුරෙක් වූ ජයන්ත රෝහණයන්ගේ සති කොලමකි. ව්‍යක්ත නිවේදකයෙක් වූ ජයන්ත රෝහණයන් මගේ 'දෙවැනිය' පිළිබඳ අත්දැකීම තම කොලමෙහි ලියා තිබුණේ ඇති තරම් පලිප්පු දමමිනි. දිනක් ගුවන්විදුලියේදී මා ඒ සිද්ධිය ඔහුට කී බව මතක් වූයේ එවිටය.
ජයන්ත රෝහණයන් ඒ ලිපිය අවසන් කොට තිබුණේ එදා අහුබුදුවන්ගේ 'දෙවැනිය' යන වචනය අසා ගෙදර පැමිණි මගේ බිරිඳ හොඳටම ආවේශ වී ගිනි විජ්ජුම්බරයක් කළ බව පවසමිනි. තම මිතුරියක මගින් ආරංචි වී ලංකාදීප පත්තරයක් ගෙන්නාගෙන අර ලිපිය කියවා බැලූ මගේ බිරිඳ එය තමාට කරන ලද අපහාසයක් හැටියට සැලකීම සාධාරණය. මක්නිසාදයත් , එදා ඇය ආවේශ වී කිසිම ගිනි විජ්ජුම්බරයක් නොකළ බැවිනි. එසේම , ජයන්ත රෝහණයන්ගේ පලිප්පුව නිසා මට බින්න බැස සිටි ගෙදරින් කුඩය , හුළුඅත්ත සහ හැරමිටියද රැගෙන දොට්ට බැසීමට සිදු නොවුණේද මගේ බිරිඳ ගිනි විජ්ජුම්බරකාරියක නොවුණු බැවිනි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd