
දයා පතිරණගේ නිසල දේහය අබියසදී...
පසුගිය ජනවාරි 21 වැනි නිකුත් වූ ධර්මන් වික්‍රමරත්නගේ දයා පතිරණ ඝාතනයේ නොදුටු පැත්ත කෘතිය ජනගත කිරීමේ අවස්ථාවේ දී හෙළි වූ කරුණු සම්බන්ධයෙන් මේ වනවිට විවිධ අදහස් ඉදිරිපත් වී තිබේ. දයා පතිරණගේ සම කාලීනයන් වූ නිර්මාල් රංජිත් දේවසිරි, චම්පික රණවක, ගෙවිඳු කුමාරතුංග සහ නීතිඥ විජයදාස රාජපක්ෂද කෘතිය ජනගත කළදා සභාව ඇමතූහ. අපේ කතාබහ එම කෘතියේ අඩංගු කරුණු පිළිබඳවය.
නිර්මාල් රංජිත් දේවසිරි තම කතාවේහි දී තමා දැන් වත්මන් ආණ්ඩුවේ රෙදි සෝදන ඩෝබිවරයෙකු බවත් එදා සමාජවාදී ශිෂ්‍ය ව්‍යාපාරයේ ක්‍රියාකාරීන් අද ආණ්ඩුවේ ඇමතිවරු බවත් තවත් පිරිස් වෙනත් ධනවාදී පක්‍ෂවලට හේත්තු වී ඇති බවත් ප්‍රකාශ කළ විට සභාවේ සිටි පුද්ගලයෙකු එල්ල කළ විරෝධතාවක් හේතුවෙන් පොතේ කර්තෘට මයික්‍රපෝනය අතට ගෙන නිර්මාල් බේරා ගැනීමට සිදුවිය.
“මේ දේශකයන් මගේ ආරාධනයකින් ඇවිත් ඉන්නේ ඔවුන්ට තම නිදහස් අදහස් පළකිරීමේ අයිතිය තියෙනවා” ධර්මන් විරෝධතාව සමනය කළේය.
දයා පතිරණ ඝාතනයෙන් වසර 39 කට පසු එළිදැක්වූ මෙම ග්‍රන්ථය අවධාරණය කරන්නේ සත්‍ය ඉතිහාසය කිසිවකුට හෝ වළලා දැමිය නොහැකි බවය. එය ජලය යට ආයාසයකින් රඳවාගෙන සිටින බෝලයක් වැනිය. මතුවීම එහි ස්වභාවය වන අතර මතුවීම වැළැක්විය ද නොහැකි බව එම ග්‍රන්ථය එළිදැක්වීමේ දී කථිකයන් සපථ කළ කරුණකි.
දයා පතිරණ ඝාතනයේ දී ධර්මන් වික්‍රමරත්න යනු වායුසමනය කළ කාමරයක සැප පුටුවක සිට එය නිරීක්‍ෂණය කළ පුද්ගලයෙකු නොවේ. ධර්මන් ද ඒ අතීතයේ කොටස්කරුවෙක් විය. ධර්මන් ඒ කටුක අතීතය සිහි කරන්නේ මෙසේය.
අතීතාවර්ජනයක්
“මම අතීතය ආවර්ජනය කරමි. ඒ 1986 දෙසැම්බර් 15 වනදා රාත්‍රී 11ට පමණ විය. නිවසේ මාගේ කාමරයට පැමිණි මගේ පියා කීවේ හදිසි දුරකථන පණිවිඩයක් ඔස්සේ යමකු දන්වා සිටියේ හැකි ඉක්මනින් ඔහු අමතන ලෙස බවය. දුරකතන අංකය 038 32224 ය. ඇමතුම ‘%දිවයින’ අධිකරණ වාර්තාකරු කුලරත්න කුලකුරුසූරියගෙනි. ඔහු පදිංචිව සිටියේ පානදුර සාගර මාවතේය. ඇමතුම ගත් විගස කුලරත්න කියා සිටියේ හිරණ තොටුපළ අසල ඝාතනයක් සිදු වී ඇති බවත්, ඔහු සරසවි සිසුවකු බවට සැකකරන බවත් පානදුර සහකාර පොලිස් අධිකාරිවරයා තමන්ට දැනුම් දුන් බවත්ය.
පසුදින උදෑසනම කතුවරයාගේ අනුමැතියෙන් ඡායාරූප ශිල්පියෙකු සමග මම සිද්ධිය වූ ස්ථානයට ගියෙමි. සවස 3ට මහේස්ත්‍රාත් පරීක්ෂණය ඇරඹිණ. කොළඹ සරසවියේ ඇතැම් සිදුවීම් 1984 සිටම පුවත්පතට වාර්තා කළ මා පතිරණ ඝාතනයේ තීන්දුව ලබාදුන් 1994 මැයි දක්වා එම බොහෝ සිදුවීම්වලට එක් වූයෙමි. දශක 4කට පමණ පෙර අසූව දශකයේ සරසවිවල පමණක් නොව රට පුරා පැන නැඟුණු සිද්ධි මාලා පැහැදිලි චිත්‍රයක් සේ මට විද්‍යමානය.
ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයේ ප්‍රථම දේශපාලන ඝාතනය වූයේ දයා පතිරණ ඝාතනයයි. වසර 39 කට පෙර එය සිදු වූ අතර මෙම ග්‍රන්ථයේ සඳහන් වන්නේ පතිරණ ඝාතනය පමණක් නොව ඝාතනයට පෙර සහ පසුව ඒ ආශ්‍රිතව සිදු වූ සිදුවීම් මාලාවය. මෙය ඒ පිළිබඳව ඇත්ත ඇති සැටියෙන් විදාරණය කරන ග්‍රන්ථයකි. එහෙත් පතිරණ ඝාතනය පිළිබඳ පළ වූ පළමු ග්‍රන්ථය මෙය නොවේ. එමෙන්ම අවසාන ග්‍රන්ථය ද මෙය නොවනු ඇත.”

අහිංසකයෙක් ද
මෙම ග්‍රන්ථයේ සඳහන් පරිදි ඝාතනයට ලක් වූ දයාපතිරණ අහිංසක චරිතයක් නොවේ. දයා පතිරණ තම අරමුණ ජය ගැනීම සඳහා ප්‍රචණ්ඩත්වය පරිහරණය කිරීම සාධාරණීයකරණය කළ නායකයෙකි. තම අරමුණ ශුද්ධවන්ත නම් එය දිනාගැනීම සඳහා ඕනෑම ක්‍රමයක් අනුගමනය කිරීමේ වරදක් නැති බව පතිරණගේ මතය විය. ජයවර්ධනපුර වැනි සරසවිවල ජවිපෙ ඇතැම් සිසු කණ්ඩායම් අනුගමනය කළ ක්‍රමවේදය ද එය වේ.
පෞද්ගලිකවම දශක දෙකක් තුළ කළ ගවේශනයේ සහ දශක හතරක් තිස්සේ එක්රැස් කරගත් සටහන් සංසන්දනාත්මක විග්‍රහ කරමින් කළ දුෂ්කර ක්‍රියාවක සත්‍ය ප්‍රතිඵලය පමණක් මෙහි ඉස්මතු කර ඇත. එබැවින් කිසිවක් අතිශයෝක්තියකින් වර්ණනා කර නැත.
මෙම ග්‍රන්ථය 1971 සහ 1986 කැරලි දෙක ගැන ලිඛිත ගවේෂණාත්මක හෙළිදරව්වක් කොට තිබේ. ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) 1965 මැයි 14 ආරම්භයේ සිට මේ දක්වා කැරලි 2කට නායකත්වය දුන්නේය. ප්‍රථම කැරුල්ල වූ 1971 අප්‍රේල් 05 කැරැල්ල මර්දනය කිරීමේ දී සමගි පෙරමුණ ආණ්ඩුව අතින් ඝාතනයට ලක් වූ කැරලිකරුවන්ගේ සංඛ්‍යාව 5,000කට ආසන්නය. එවකට ආණ්ඩුව විසින් ප්‍රකාශ කළ දත්ත අනුව ඝාතනයට ලක් වූ කැරලිකරුවන් සංඛ්‍යාව 1,200 ක් පමණ වේ. එසේම 1971 කැරැල්ලේ දී අත්අඩංගුවට ගෙන පුනරුත්ථාපන කඳවුරු 11 රඳවා සිටි කැරලිකරුවන්ගේ සංඛ්‍යාව 17,953 කි. ඉන් පොදු දේශපාලන සමාව යටතේ භාර වූ සංඛ්‍යාව 4,200 කි.
ජවිපෙ 2 වැනි කැරැල්ල 1986 ඇරඹී 1990න් අවසන් වූ අතර එහි දී ආණ්ඩුවේ ආරක්ෂක අංශ ඇතුළු එයට සෘජු සහ වක්‍ර සම්බන්ධකම් පැවතුණයි කියන අතුරු හමුදා කණ්ඩායම් 13 ක්, ප්‍රා. සංවිධානය සහ ජවිපෙ කැරලිකරුවන් මගින් ද ඝාතනයට ලක් වූ හෝ අතුරුදන් වූ පිරිස මානව හිමිකම් සංවිධානයන්ගේ වාර්තාවලට අනුව 67,652 කි. රජයේ නිල නොවන වාර්තාවලට අනුව ඝාතනය වූ හෝ අතුරුදන් වූ සංඛ්‍යාව 41,813 කි. මෙයින් 6,661ක් ජවිපෙ කැරලිකරුවන් අතින් ඝාතනයට ලක් වූ අතර ජවිපෙ විරෝධි සහ එජාප ආණ්ඩුවේ සහායක කණ්ඩායමක් වූ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් විසින් සෘජුවම දායකත්වය දැක් වූ ප්‍රා. සංවිධානය මගින් ඝාතනය කරන ලද සංඛ්‍යාව 1,222 කි.
දේශප්‍රේමී ඝාතකයන් සහ යූඇන්පී ඝාතකයන් අතර අනෙකුත් නීති විරෝධී ඝාතන කණ්ඩායම් ගැන ද ග්‍රන්ථයේ සඳහන්ව ඇත. කළු බළල්ලු, ප්‍රා, උකුස්සෝ, රාජාලියෝ, කහ බළල්ලු, කොළ කොටි, රතු මකරු, මාපිලා, ගෝනුස්සා, නී කේශර සිංහයෝ, ලේ මාපිල්ලු සහ කළු කොටි වැනි සංවිධාන 13ක් එසේ පැවති බව ග්‍රන්ථයේ සඳහන් වේ.
ස්වාධීන ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරී යුගය වූයේ මේ ග්‍රන්ථයෙන් ගවේෂණයක යෙදුණ දයා පතිරණ යුගයයි. ආණ්ඩුව විසින් පේරාදෙණිය සරසවියේ පත්මසිරි අබේසේකර 1984 ජුනි 19දා ඝාතනය කිරීමෙන් පසු එයට එරෙහිව කොළඹ සරසවි සිසුන් විරෝධතා දැක් වූ අතර එහිදී පොලීසිය තැබූ තවත් වෙඩි පහරකින් 1984 ජූනි 21 කොළඹ සරසවියේ සිසු රෝහණ රත්නායක ද මිය ගියේය.
ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයේ දී කථිකයෙකු වූ චම්පික රණවක පවසා සිටියේ දයා පතිරණ තමන්ට පහර දීමට වරක් පොල්ලක් රැගෙන ආ බවකි.
ධර්මන් විග්‍රහ කරන්නේ ජවිපෙ කටයුතුවලට එරෙහිවන්නන් 2 වන කැරැල්ලේ ද්‍රෝහීන් ලෙස හැඳින් වූ අතර ඔවුන් සමාජයෙන් ඉවත් කිරීමට ද 1986 අවසාන භාගයේ දී තීරණය කෙරුණු බවය. ඒ අනුව ප්‍රථම ඝාතනය බවට පත් වූයේ හම්බන්තොට, මිද්දෙණිය ගෝනදෙණිය මහා විද්‍යාලයේ විදුහල්පති එච්. ජයවික්‍රමය. ඒ 1986 දෙසැම්බර් 5 රාත්‍රී 7ටය.
දෙවැනි ඝාතනය වූයේ කොළඹ, සරසවියේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායකයා වූ මෙම ග්‍රන්ථයේ ගවේෂණාත්මක හෙළිදරව්කරු දයා පතිරණය. එය ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේ ප්‍රථම දේශපාලන ඝාතනය ද විය. සිදු වූයේ ජවිපෙ 2 වැනි කැරලි සමයේ දී එනම් 1986-1989 අතර කාලයේදීය.
දයා පතිරණගේ සම්පූර්ණ නම දයා ආනන්ද පියසිරි හේවාපතිරණය. පදිංචිය මාතර, දීයගහ, පොල්ගස් අද්දර වත්තේය. එය අයත් වන්නේ මාතර දිස්ත්‍රික්කයේ මාතර ආසන්නයේ දියගහ නැගෙනහිර ග්‍රාම සේවා වසමටය. පියා හුංගංගොඩ පතිරණගේ හෙන්ද්‍රික් අප්පුහාමිය. ගොවිතැන් සහ සුළු වෙෙළඳාම ජීවිකා වෘත්තිය විය. මව කරුණාසේන සතරසිංහය. එම දෙපළට දරුවන් සත් දෙනෙකි. පතිරණ වැඩිමලාය. පතිරණ උපත ලැබුවේ 1957 ජූලි 06 කොටිකාවත්තේදීය. දයා පතිරණ මියයන විට 29 හැවිරිදිය.
ශිෂ්‍ය දේශපාලනයේ පළමු ගොදුර
1980 සරසවි ප්‍රවේශයේ දී රුහුණු සරසවියට තේරුණ ද දයා පතිරණ තම මනාපය අනුව කොළඹ සරසවියට සුහද මාරුවක් ලබාගෙන තිබිණ. ඔහු කොළඹ සරසවියට ඇතුළු වූයේ 1981/82 අධ්‍යයන වසර සඳහාය. දයා පතිරණ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ ප්‍රථමයෙන් ක්‍රියාකාරිකයෙකු වී අනතුරුව ලේකම් විය. සභාපති වූයේ 1984/86 කාල වකවානුවේදීය. ස්වාධීන ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයෙකුව සිටිය දී පතිරණ 1982 අධ්‍යාපන ධවල පත්‍රිකාව, 1983 කළු ජූලියේ දී දෙමළ සංහාරය, 1985 පෞද්ගලික විශ්වවිද්‍යාල පනත යන ඉහත ක්‍රියාදාමයන්ට එරෙහිව නිදහස් අධ්‍යාපනය සුරැකීම සඳහා කොළඹ සරසවියේ සිසු විරෝධතාවලට කිහිපයකටම නායකත්වය දුන්නේය. එමෙන්ම 1984 මොණරාගල ගොවීන්ගේ ඉඩම් මෙටා ඉන්ටර්නැෂනල් බහු ජාතික සමාගමට උක් වගාව සඳහා ඉඩම් අත්පත් කරදීමේ රජයේ තීරණයට එරෙහි සටන්වලට සහාය ද පළ කළේය.
වසර 1984 ඔක්තෝබර් මස කොළඹ සරසවියට නවක ශිෂ්‍යයන් ඇතුළු කිරීමේ දී සරසවි පාලන අධිකාරියට අවනත වන බවට කොන්දේසි ඇතුළු පෝරමයක් නවක සිසුන් අත්සන් කිරීමට දීමේ තීරණයට එරෙහිව ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් පතිරණගේ ශිෂ්‍යභාවය වසරකට තහනම් කර තිබිණ. එවකට කොළඹ සරසවි උපකුලපතිව සිටි මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර පොතේ කර්තෘ ධර්මන් වික්‍රමරත්නට පවසා ඇත්තේ පතිරණ විභාගයට නියමිත පරිදි ලියාපදිංචි නොවීම නිසා ඔහුගේ ශිෂ්‍යභාවය 1986 දී අහෝසි වූ බවය.
1986 වකවානුවේ කොළම සරසවියෙහි ශිෂ්‍ය කණ්ඩායම් 3 ක් ක්‍රියාත්මක විය. ඒ දයා පතිරණගේ ස්වාධීන ශිෂ්‍ය සංගමය, ගෙවිඳු කුමාරතුංගගේ නායකත්වයෙන් යුත් විද්‍යා පීඨයේ ජාතික චින්තන කණ්ඩායම {ගෙවිඳු කුමාරතුංග විසින් වසර 39කට පසු දයා පතිරණගේ ඝාතනයේ නොදුටු පැත්ත කෘතිය සභාවේ කතාවක් මේ අතර පැවැත්වීම ද සුවිශේෂත්වයකි) සහ ජවිපෙය. ජවිපෙ සහ ස්වාධීන ශිෂ්‍ය සංගමය අතර ප්‍රථම වරට නිල වශයෙන් විරසකයක් ඇති වූයේ ත්‍රස්තවාදී මර්දන පනත යටතේ වසරකට අධික කාලයක් රඳවාගෙන සිටි යාපනය සරසවි සිසු අප්පුතුරෙයි විමලරාසා නිදහස් කර දෙන ලෙස ඉල්ලමින් 1982 මැයි 14 පන්ති වර්ජනයක් කිරීමට ස්වාධීන ශිෂ්‍ය සංගමයේ තනි මතයට ගත් තීරණයක් සමගය.
ජවිපෙ - ස්වාධීන ගැටුම
කෙසේ වුව ද ජේවීපී සහ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ දයා පතිරණ ඇතුළු නායකත්වය සමග අතර බරපතළම විරසකය අති වූයේ ස්වාධීන ශිෂ්‍ය සංගමය උතුරේ බෙදුම්වාදී දෙමළ සංවිධාන වන ඊ.පී.ආර්.එල්.එෆ්. සහ ප්ලොට් සංවිධානය සමග සබඳතා පැවැත්වීම, සංගමයේ සාමාජිකයන් 5 දෙනෙකුට උතුරේ අවි ආයුධ පුහුණුව ලබා ගැනීම 1985 මැද භාගයේ සිට ආරම්භ කිරීම සහ ප්ලොට් සංවිධානය මගින් 1985 අප්‍රේල් 26 නිකවැරටිය ලංකා බැංකුවට ප්‍රහාරයක් එල්ලකර මුදලින් රුපියල් ලක්ෂ 04ක් සහ රුපියල් ලක්ෂ 56ක් වටිනා ස්වර්ණාභරණ තොගයක් පැහැරගත් කණ්ඩායමට ස්වාධීන ශිෂ්‍ය සංගමයේ අයෙක් සම්බන්ධ යැයි ලැබුණු තොරතුරුත් සමගය.
මේ අතර සරසවියේ උද්ගත වී ඇති ප්‍රශ්නවලට විසඳුමක් වශයෙන් එහි ජවිපෙ ශිෂ්‍ය අංශය 1986 මුල්භාගයේ සිට කොළඹ දිසා ලේකම් ලලිත් විජේරත්න යටතට පැවරිණ. දේශප්‍රේමී ශිෂ්‍ය ව්‍යාපාරය කොළඹ සරසවියේ පිහිටුවීමේ දී 1986 ඔක්තෝබර් 2 වැනිදා ස්වාධීන ශිෂ්‍ය සංගමය විසින් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් සතියකට පමණ පසු දයා පතිරණ ඉවත් කිරීමේ තීරණය ජවිපෙ කැරලිකරුවන් විසින් ගෙන තිබිණ. මෙම ධර්මන්ගේ ග්‍රන්ථයේ හෙළිදරව් කර ඇති කරුණු අනුව දයා පතිරණ ටියුෂන් ගුරුවරයෙකු ද වී ඇත. දයා පතිරණ ඒ වනවිට විශාඛා විදුහලේ උසස් පෙළ පාසල් ශිෂ්‍යාවක වූ තනූජා ධර්මපාල සහ දෙණියායේ පද්මිණි ශ්‍රියාකාන්ති කළුපලගේට සරසවියේ දී අතිරේක විෂය දැනුම ලබා දෙමින් සිටි බව තනුජා ධර්මපාල පවසා ඇත. පතිරණ ඝාතකයන් හඳුනාගැනීමේ පෙරට්ටුවට 1987 ජූලි 17 සහභාගී වූ පිරිස අතර මේ දෙදෙනාද වූහ.
එමෙන්ම මේ වකවානුව වන විට නිමල් සහ උපාලි කොළඹ සරසවියට සිව්වන වරට ද පැමිණියේ ඔවුන්ගේ අරමුණ වූ සංවිධානාත්මකව පැහැර ගැනීමේ කල්ලියකට පතිරණ හෝ ධර්මසිරි කොටුකර දීමටය. තුන්මුල්ල හන්දිය අසල ඔවුන් වෑන් රථය තබාගෙන රැඳී සිටි අතර එහි හෙට්ටිහේවාගේ ජයතිස්ස හෙවත් ගාමිණි කොඩිප්පිලි තන්ත්‍රිගේ මහීපාල, වැලිසර යුස්ටස් දිලිප් චන්ද්‍ර ප්‍රනාන්දු, තිලක් කුමාරතුංග හෙවත් සුදු මල්ලී සමග ආගිරිස් කොස්තා සිටි අතර සාකච්ඡාව තව දුරටත් කරගෙන යෑමට එකඟ වී උපාලි සහ නිමල් සමග පතිරණ සරසවියෙන් එළියට පැමිණියේය. රහීමා හෝටලයේ දී ඔවුහු තේ පානය කළෝය. ශාන්ති විහාර් හෝටලයට මීටර් 25 ක් පමණ දුර තිබිය දී වෑන් රථයක් ඔවුන් අසල නතර කෙරිණ. තමන් සී.අයි.ඩී. එකෙන් යැයි කියාගත් පිරිස පිස්තෝලයක් පෙන්වා 04 දෙනාටම වෑන් රථයට නඟින ලෙසට නියෝග කර ඇත. එසේ පැහැරගෙන ගිය ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායක දයාපතිරණ ඝාතනය කර තිබුණේ බණ්ඩාරගම හිරණ තොටුපොළ අසලදී 1986 දෙසැම්බර් 12දා පස්වරුවේය. ඔහුගේ මළ සිරුර බණ්ඩාරගම පොලිසිය විසින් සොයාගනු ලැබුවේ එදිනම පස්වරු 8.15 ටය.
දයා පතිරණගේ මරණය පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණය හොරණ දිසා විනිසුරු ධම්මික කිතුල්ගොඩ විසින් 1986 දෙසැම්බර් 16 වනදා සවස 3.00ට පවත්වන ලද්දේ ඝාතනය වූ ස්ථානයේදීය. ඝාතනයට ලක් වූ දයා පතිරණගේ දේහය පරීක්ෂා කළ හොරණ දිසා විනිසුරු ධම්මික කිතුල්ගොඩ ඒ පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙසට නියෝගයක් නිකුත් කළේය.
එහිදී හොරණ දිසා විනිසුරු ධම්මික කිතුල්ගොඩ ප්‍රකාශ කළේ මෙම ඝාතනය සරසවි ඉතිහාසයේ ඛේදවාචකයක් බවය. මෙබඳු සාහසික ක්‍රියාවලින් සරසවි සිසුන් මියයෑම ජාතියේ අවාසනාවක් බව එහිදී අවධාරණය කළ දිසා විනිසුරුවරයා මේ ගැන මුළු හදවතින්ම කනගාටුවනවා හැරෙන්නට අධිකරණයට කිරීමට වෙනත් දෙයක් නැති බව කියා සිටියේය.
දයා පතිරණ ඝාතනයේ නුදුටු පැත්ත කෘතිය දොරට වැඩිමේ උත්සවයේදී හිටපු අමාත්‍යවරයෙකු වූ නීතිඥ විජේදාස රාජපක්ෂ සඳහන් කළේ මෙවැනි ගවේෂණ කර සත්‍යය හෙළිදරව් කිරීම රජයක් විසින් සිදු කළ යුතු කාර්යයක් බවය.
ධර්මන් වික්‍රමරත්න ඉතිහාසයේ වැළලි යාමට තිබූ සිදුවීම්, දුර්ලභ ඡායාරූප මෙන්ම තවත් බොහෝ මිථ්‍යාවන් පරදවන තාර්කික කරුණු මේ ග්‍රන්ථයෙන් ලිඛිතව ඉතිහාසගත කොට ඇත.
ධර්මන්ට කරන කෘතගුණ දැක්වීමක් ලෙස ඔහුගේම ප්‍රකාශයක් අවසනට එක්කර සිටිමි.
“බොහෝ දෙනෙකු මේ දක්වා කියවා ඇත්තේ සත්‍ය සිද්ධි වශයෙන් ඉතිහාසයට එක් වී ඇති මිථ්‍යාය. එම මිථ්‍යා විනාශ කිරීමට මා ගත් උත්සාහය වැඩි දෙනා තෘප්තිමත් නොකරනු ඇත. එහෙත් මා මේ ග්‍රන්ථය ලියන ලද්දේ කිසිවකු සතුටු කිරීමට නොවේ. අතීතය පිළිබඳව සැබෑ කරුණු හදාරා එහි අත්දැකීම් ඔස්සේ අනාගතය සකස් කර ගැනීමට පදනම සැකසීම සඳහාය. ඒ සඳහා මෙම පොත උත්තේජනයක් වන්නේ නම් එය ඉමහත් තෘප්තියකි.”
මහින්ද රණවීර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd