“මගේ ජීවිතය කඳු මුදුනකින් ගලා හැළුණු දිය ඇල්ලක් යැයි මම නොකියමි. මගේ දෙපා පිළිගන්නට මුදු සුමුදු වැලි ඇතිරූ මාවතක් තිබුණේ ද නැත. එහෙත් කිසියම් ඉරණම් සහගත සිදුවීම් මාලාවක් හේතුකොට ගෙන උඩරට ගම්මානයක උපන් දැරියක වූ මම 1967 ඔක්තෝබර් මාසයේ පළමුවැනිදා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ ඉහළම සේවාවක් ලෙස සැලකෙන ශ්‍රී ලංකා පරිපාලන සේවයට අවතීර්ණ වූයෙමි.”  

සෝමා කොටකදෙනිය, තම ස්වයං ලිඛිත චරිතාපදානය වන මා ආ මාවත පොතට ඇතුළත් කළ පෙරවදනෙහි මුල් පේළි කීපය ලියා ඇත්තේ එලෙසය. ඇය කාන්තා චරිත අතර ඉතිහාසගතව සිටින්නේ මෙරට  මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ප්‍රථම කොමසාරිස්වරිය සහ ප්‍රථම තැපැල්පතිනිය ලෙසය. මේ දක්වා එවැනි තනතුර දැරූ එකම කාන්තාව වන්නේ ඇයයි. රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ විවිධ තනතුරු දරා ඇති ඇය හැඳින්වෙන්නේ, මෙරට රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ දී යකෙකුටවත් බය නැතුව වැඩ කළ නිර්භීත කාන්තාව ලෙසය. ඇමතිවරුනට හෝ ලේකම්වරුනට බිය නැතිව වඩාත් අපක්ෂපාතීව සහ ස්වාධීනත්වය රැක ගනිමින් කටයුතු කළ නිසාම බොහෝ දෙනා ඇය හඳුන්වන්නේ අයන් වුමන් හෙවත් යකඩ ගැහැනිය ලෙසය. මෙවර විශ්‍රාමික තරු විශේෂාංගයේ ආරාධිත චරිතය වන්නේ රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයෙහි විප්ලවීය වෙනසක් කිරීමට ප්‍රයත්න දැරූ සෝමා කොටකදෙනියයි.

ප්‍ර:  මුලින්ම ඔබගේ පවුලේ විස්තර කියමු ?

අම්මයි, අප්පච්චියි, නංගියි-මමයි. අම්මා ගෘහනියක්. අප්පච්චි පොඩියට ව්‍යාපාර කළා. නංගී හෙදියක ලෙස සේවය කළා.

ප්‍ර: අපි අහලා තියෙන විදිහට ඔබ ඉතා දුෂ්කර ජීවිතයක් ගතකොට ජීවිතය ජයගත් කාන්තාවක්? කැමතියි ඒ අතීතය දැනගන්න?

මම උපන්නෙ කිසිම පහසුකමක් නොතිබුණු බොහොම හිංචි ගමක.  මුළු ගමේම හිටියෙ පවුල් පහළොවක වගේ පිරිසක්. ගමේ නම හන්දෙස්ස වල්ගම, මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවරට අයත් ගමක්. ගමට පහසුකම් නොතිබුණත් අපි ඒ ගැන එච්චර හිතුවෙ නැහැ. ගමේකමට පුරුදුවෙලා හිටියෙ. මුලින්ම ගියේ  ගමේ පාසල වන ලංකාතිලක බෞද්ධ මිශ්‍ර පාසලට. ගෙදර ඉඳලා හැතැප්ම තුනක් විතර දුරක් පයින්ම පාසලට යන්න තිබුණා. කඳු නැගලා ගම මැදින් ගිහින්, වෙල් කුඹුරු, හෙල් පසුකරන් යන්න තිබුණෙ. හරිහමන් පාරක් නොතිබුණු නිසා, අපි ගියේ පාරවල් හොයාගෙන. ඒක දුෂ්කර ගමනකට වඩා ඒ ගමන විනෝදයක් කර ගත්තා. ගමේ හිටියෙත් ඔක්කොම වගේ නෑදෑයෝ. සපත්තු සෙරෙප්පු තිබුණෙත් නෑ. මොන දුෂ්කරතා තිබුණත් අපට හිටියෙ ඉතාම කැපවෙච්ච ගුරුවරු. අද ගුරුවරු ළමයින්ව උනන්දු කරවන්නෙ අමතර පන්තිවලට යන්න. ඒත් ඒ කාලයේ එහෙම නෙවෙයි. පහේ ශිෂ්‍යත්වය කරද්දී අමාරු වැඩ සහ පාඩම් ගැන ගුරුවරු ගෙදරටම ඇවිල්ලා කිව්වා. මගේ අත් අකුරු සකස් කරගත යුතුය කියලා මගේ මව්පියන්ට කියන්න ගුරුතුමා ගෙදරටම ආවා. මේ ළමයා දක්ෂ දරුවෙක්. මෙයා මේ විදිහට පුහුණු කරවන්න කීවා. ගුණතිලක බණ්ඩාර ගුරුතුමා ශිෂ්‍යත්ව විභාගය එනකල් පන්ති තියලා අපට ඉගැන්නුවා. ළමයින්ට ආදරය කරුණාව දක්වමින් උනන්දු කෙරෙව්වා.

ප්‍ර:  කෑම බීම අගහිඟකම් තිබුණෙ නැද්ද?

ගම්වල කෑම බීම හිඟ නෑ. වතුවල කොස් දෙල් පිරිලා, කුඹුරු ඇතුළු හැම දෙයක්ම තිබුණා. අද කාලයේ වගේ කොස් දෙල් විකුණන්න තිබුණෙ නැහැ. ගෙඩි ඉදිලා ගස් යට වැටිලා තිබුණෙ. කෑමට අයත් එච්චර හිටියේ නැහැනෙ. ඒ ජීවිතය අපි දුකයි කියලා හිතුවෙත් නැහැ. ගම්වල හැදුණු ගැහැනු ළමයින් ලෙස අපට තිබුණෙ සීමිත දැනුමක් සහ සීමිත ඇසුරක්.  ඇසුරු කළේ ගමේ ටික දෙනා විතරයි. හැබැයි ගමේ අය නෑදෑයන් වෙච්ච නිසා මට නම් කවදාවත් එයාලගෙ ආශීර්වාද, උනන්දු කිරීම් ලැබුණෙ නැහැ. ගම්පොළ පාසලට ගිය කාලයේදී මට පයින් ගිහින්  බස් දෙකක යන්න තිබුණා. සමහර දාට අපහු එද්දී බස් එක නැවැත්තුවේ නැහැ. මායි තව යාළුවෙකුයි, අපි දෙන්නා පැණිදෙනියෙ ඉඳලා පයින් ආවේ. ගෙදර එද්දී මහ රෑ වුණා. අම්මයි - නංගියි මම එනකල් බලා හිටියා. ඒ වගේ දේ නිසා නැදෑයන් කිව්වෙ ඔය කෙල්ලට ඔච්චර මොකට උගන්වනව ද? මොකද දිසාපති වෙන්නැයැ? කියලයි. ඔය කාට හරි කසාද බන්දලා දෙන්න කියලයි එයාලා කිව්වෙ. 

ප්‍ර:  ඉගෙනුමට දක්ෂ වුණාද?

සාමාන්‍ය මට්ටමින් දක්ෂ වුණා. අනෙක් අයට වැඩිය ඉගෙනීමෙන් ටිකක් කැපිලා පේන්න ඇති.  

ප්‍ර:  ප්‍රාථමික අධ්‍යාපනයෙන් පස්සෙ?

පහේ ශිෂ්‍යත්වය ඒ දවස්වල ඉලක්ක කරලා තිබුණෙ, ආර්ථික අපහසුකම් ඇති දක්ෂ දරුවන් ඉදිරියට ගෙන යාමේ පරමාර්ථයෙන්. අද වාගේ හොඳ පාසලකට යන්න තරගයක් තිබු විභාගයක් නෙවෙයි. ඒ කාලයේ ඒ විභාගයෙන් සමත් වූ පිරිසත් හරිම අඩුයි. මා එක්ක තවත් දෙන්නයි සමත් වුණේ. ඉන් පස්සෙ ගියේ ගම්පොළ මධ්‍ය මහා විද්‍යාලයට.  දැන් එහි නම වික්‍රමබාහු මධ්‍ය මහා විද්‍යාලයයි. 

ප්‍ර:  සා පෙළට මුහුණ දුන්නෙ කොහොම ද?

අද වගේ පරණ ප්‍රශ්න පත්තර කරමින් ටියුෂන් යමින් ලැහැස්තියක් තිබුණෙ නැහැ. පන්තියේ උගන්වපු දේ එක්ක විභාගයට මුහුණ දුන්නා. සා පෙළ පළමු වතාවෙම හොඳින් සමත් වුණා. කොහොමටත් ශිෂ්‍යත්වය පාස් වෙලා හිටි අයට එතැන් සිට සා පෙළ දක්වා විභාග සමත් වෙන්නම සිදු වුණා. නැත්නම් ශිෂ්‍යත්වය කැන්සල් වෙනවා. උසස් පෙළ ලිව්වෙ කලා අංශයෙන් කළෙත් ගම්පොළ මධ්‍ය මහා විද්‍යාලයෙන්. අපේ පාසලෙන් මා ඇතුළුව හතර දෙනෙක් සමත් වුණා. 

ප්‍ර:  ඒ කොයි අවුරුද්දේදී ද?

1962 දී. 

ප්‍ර:  ඔබතුමිය ඉපදුණේ ?

1942 මාර්තු 16 වෙනිදා. 

ප්‍ර:  ඉන්පසුව ?

මාව තේරුණේ පේරාදෙණිය සරසවියෙ ආර්ට් ෆැකල්ටි එකට. 

ප්‍ර:  කොහොමද පේරා එකට ගියාම දැනුණ විදිහ ?

අපේ ගමේ ඉඳලා ලොකු දුරක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට තිබුණෙ නැහැ. ඒත් විශ්වවිද්‍යාලයට තේරීමට පෙර කිසිම දවසක මම එතැනට ගිහින් තිබුණෙ නැහැ. ඉස්සෙල්ලාම යනකොට මට ඒ පරසරය දැනුණෙ ලස්සනම ලස්සන මල් පිපුණ සිහින උද්‍යාන පාරාදීසයක් වගෙයි. දුෂ්කර ගමකින් ඇවිත් හිටිය මම මේ ගිහින් තියන්නෙ දිව්‍ය ලෝකයකට නේද කියලා හිතුණා. අපට ලැබුණ නේවාසිකාගාරයට සිසුන් ගත්තෙ ඉඩ තිබුණ ප්‍රමාණයට විතරයි. මට ලැබුණෙ රාමනාදන් ශාලාවේ එක කාමරයට දෙන්නයි දැම්මෙ. අපේ ජීවිතය ගොඩනඟා ගන්න කෑම බීම ඇතුළු සෑම පහසුකමක්ම ලැබුණා. සමාජයට මුහුණ දෙන හැටි පවා ඉගෙන ගත්තෙ එතැනින්. රැග් එකක් කියලා අමුතුවෙන් දෙයක් වුණේ නැහැ. පාරෙදි පිරිමි ළමයින් හමුවුණාම ඒ අය විහිළු කරගෙන ගියා. මගේ පාසල් ජීවිතය වගේම මා ලැබුව සොඳුරුතම අත්දැකීම සරසවි ජීවිතයයි.

ප්‍ර:  විශ්වවිද්‍යාල ජීවිතයෙන් පසුව ඊළඟට ?

පිටවුණේ 1965 දී. සියල්ල සොඳුරු වුණත් එක් අවාසනාවන්ත දෙයක් වුණා. 

ප්‍ර:  ඒ මොකක්ද?

පත්වීම් නොලැබුණ පළමු කණ්ඩායම වුණේ අපි. හරි නම් පිට වෙද්දීම ගුරු වෘත්තියට අනුයුක්ත කෙරෙනවා. අපිට අවුරුද්දක් යනකල් ලැබුණෙ නැහැ. ඒ අවුරුද්ද ගෙදරට වෙලා නිකම් හිටියෙත් නැහැ, පරිපාලන සේවා විභාගයට පෙනී සිටියා. ඉන් පස්සෙ තමයි 1966 දී ගුරු වෘත්තිය ලැබුණෙ. මුල්ම පත්වීම පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයට. 

ප්‍ර:  ඔබ එහිදී උගන්වද්දී පසු කලෙක රටේ විශේෂිත චරිත වෙච්ච අයත් සිටින්නට ඇති ? 

එස්. බී. දිසානායක හිටියා. මට මතක විදිහට එයා හිටියෙ හතේ හරි අටේ පංතියෙ වගේ. බොහොම කටකාර දඟගාර ශිෂ්‍යයෙක්. මම ඉගැන්නුවෙ.

ප්‍ර:  ගුරු වෘත්තියේ හිටපු ඔබ කොහොමද පරිපාලන සේවයට ආවෙ?   

ගුරු සේවයේ හිටියේ අවුරුද්දයි. මට එහෙම ලොකු අරමුණක් තිබුණෙ නැහැ. ලොකු අනාගතයක් ගැන හිතුවෙත් නැත්තෙ අපේ පවුල්වල එහෙම දැනුම්වත් කිරීමට කෙනෙක් හිටියෙත් නැති නිසයි. පරිපාලන සේවා විභාගයට පෙනී සිටින්න මට උපදෙස් දුන්නෙ මගේ ස්වාමිපුරුෂයා. එයා මට හමුවුණේ විශ්වවිද්‍යාලයේ දී. එතකොට අපි ප්‍රේමවන්තයන්. 

ප්‍ර:  ඔක්කොටම කලින් අපි ඒ ගැන කතා කරමු, සරසවියෙදි බැඳි හාද ගැන?

එයාත් කලා අංශයේ, ආර්ථික විද්‍යා ගෞරව උපාධියක් කළ කෙනෙක්. මම විශ්විද්‍යාලයට ගිහිල්ලා මාසයක් දෙකක් ඇතුළත මට එයා  හමුවුණේ. ඒ අහම්බයම ප්‍රේමයක් වුණා. 

ප්‍ර:  විවාහ වුණේ කොච්චර කාලයකට පස්සෙ ද?

විවාහ වුණේ අවුරුදු හතකට පස්සෙ. එතකොට එයා සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස බැඳිලා හිටියේ. ඒ නිසා වසර තුනක ප්‍රොබේෂන් පීරියඩ් එක යන කල් එයාලට විවාහ වෙන්න බැහැ. විවාහ වුණේ 1969 දී.

ප්‍ර:  මවක් වුණේ කොයි අවුරුද්දේ ද?

1970 දී. අපට පුතෙකුයි දුවෙකුයි ඉන්නවා. 

ප්‍ර:  දුව ගැන රටේ බොහෝ දෙනා දන්නවා. ඇය සමන්මලී කොටකදෙනිය. ශ්‍රී ලංකාව නියෝජනය කළ මලල ක්‍රීඩිකාවක්. පුතා මොනවද කරන්නෙ? 

පුතා වෙසෙන්නේ ඇමරිකාවෙ. එයා IT ඉංජිනේරුවරයෙක්. පුතයි දුවයි දෙන්නම විවාහකයි. දුවගේ ළමයි තුන්දෙනාම උපාධිධාරින්. එයාලා ඉගෙනීමට විදෙස්ගත වෙලා ඉන්නෙ. 

ප්‍ර:  පරිපාලන සේවයට බැඳුණෙ මොන අවුරුද්දෙ ද?

1967දී. 

ප්‍ර:  මුලින්ම දැරූ තනතුර?

1967 බැච් එකෙන් පරිපාලන සේවයට බඳවා ගත්තෙ 75 දෙනයි. එයින් කාන්තාවන් සිටියේ 17 දෙනයි. පළමු පත්වීම මට ලැබුණෙ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට. පරිපාලන නිලධාරිනියක ලෙස. මගේ පරිපාලන ජීවිතයේ ඔහේ අපතේ ගිය කාලයක්. 

ප්‍ර:  එම තනතුරින් අනතුරුව?

සහකාර අලෙවි කොමසාරිස් ලෙස පත්වීම ලැබුණා අනුරාධපුරයට. පොළොන්නරුව සහ ත්‍රිකුණාමලයත් බාර වුණේ මට. ඒක හරිම දුෂ්කර කාලයක්. නමුත් විවාහයෙන් පසුව මගේ ස්වාමිපුරුෂයාට සහකාර පොලිස් අධිකාරි ලෙස අනුරාධපුරයට පත්වීමක් ලැබුණා. අපට නිල නිවාසයකුත් ලැබුණ නිසා මට මගේ රැකියාවට යම්තාක් දුරට පහසුවක් වුණා. නමුත් 71 කැරැල්ල පැවැති නිසා මගේ ස්වාමියාටත් ප්‍රශ්න ආවා. සමහර පොලිස් පවුල්වල අය මරණ තර්ජන නිසා ගෙදර හිටියෙත් නැහැ. අපි යාලුවන්ගෙ ගෙවල්වලත් හිටියා. අනුරාධපුරයේ වසර පහක් හිටියා. 

ප්‍ර:  පරිපාලන සේවයට ඒමට පෙර, එදා ගුරු ජීවිතයේ දී ලැබූ මුල්ම වැටුප මතක ද?

සේවයට බැඳුණු ගමන් ලැබුණේ රුපියල් සීයයි. ඉතිරි ඒවා ගත්තෙ මම ගුරු සේවයෙන් ඉවත් වෙලා පරිපාලන සේවයට ආ පසුවයි. 

ප්‍ර:  පරිපාලන සේවයේ දී ලැබූ මුල්ම වැටුප ?

ආරම්භක වැටුප රුපියල් තුන්සිය ගාණක්. ඔක්කොම එකතු වුණාම රුපියල්  හයසිය ගාණක්. ඒක ඒ කාලයේ හැටියට ලොකු වැටුපක්. 

ප්‍ර:  ඒ විදිහට පරිපාලන සේවයේ ඉහළට ගිය ඔබට අයන් වුමන් කියන නම පට බැඳුණෙ කොයි කාලයේදී ද?

මම පුද්ගලික බස් රථ දෙපාර්තමේන්තුවේ පළමු අධ්‍යක්ෂිකාව ලෙස බැඳීමත් එක්කයි. එතකොට ඒ කාලයේ දී පෞද්ගලික බස්රථ සේවය අයාලේ යමින් තිබුණෙ. එය විනයානුකූල තත්ත්වයකට ගැනීමේ වගකීම තමයි මට පැවරුණේ. මගේ වගකීම කරගෙන යද්දී අභියෝග රැසකට මුහුණ දෙන්න සිද්ධ වුණා. කිසිම විනයක් නැති කොටසක් යම්කිසි විනයානුකූල තත්ත්වයකට ගේන්නෙ කොහොමද කියලා මම කල්පනා කළා. ඒ දවස්වල දාමරික කොටස් අතරට පත්වෙලා තිබුණු අංශයක්. හිතූ හිතූ තැන්වල බස් නැවැත්තුවා. නියමිත බස් හෝල්ට්වත් එයාලට තිබුණෙ නැහැ. ඒ හැම දේකටම විධිමත් පිළිවෙළක් හදාගෙන යද්දී ඒ අංශයේ අය මට බය වෙන්න පටන් ගත්තා. වැඩ පිළිවෙළ හදන්න මමත් පාරට ගියා. පුටුවට වෙලා හිටියේ නැහැ. පර්මිට් දෙන්න මම පාරටම ගියා. බල කරලා පර්මිට් නිකුත් කළා. මගේ කාර් එක එනකොටම ප්‍රයිවට් බස්වල අය මම එන්නෙ කියලා දැනගෙන හිටියේ.

ප්‍ර:  ඒ විදිහට බය නැතුව වැඩ කරන්න ඇත්තෙ සැමියා පොලීසියෙ ඉහළ තනතුරක් දැරූ නිසා වෙන්නැති ?

ඒකත් මට ලොකු හයියක් වුණා. යම්කිසි දාමරික කණ්ඩායමක් එක්ක හැප්පෙද්දී ආරක්ෂාවක් තිබෙන්නත් ඕනෑ. ඒ ආරක්ෂාව මට පොලීසියෙන් ලැබුණා. ඒක වෙන කාටවත් නොලැබුණ විදිහේ පිටුවහලක්. ඒ දිනවල බස් හිමියන් කියලා ජාතියක් හිටියේ නැහැ. බස් හිමියන්ගේ සංගම් ඇති කරන්න ඉලෙක්ෂන් තියන්න ගත්තාම එක එක අය ඇවිත් ඉදිරිපත් වුණා. එතැනදී මැරයන්ගෙන් වගේම දේශපාලනඥයන්ගෙන් පවා කරදර ආවා. 

ප්‍ර:  ඒ වගේ දේට කොහොමද මුහුණ දුන්නෙ?

කුරුණෑගල ඒ විදිහට ඡන්දෙ තියන්න ගියාම මට නිලධාරීන්ගෙන් ලැබුණෙ ලොකු සහයෝගයක්, පොලීසියේ ආරක්ෂාවකුත් ලැබුණා. මාළු වෙ​ෙළඳාමේ සිටි කෙනෙකුත් ඒ ඡන්දෙට ඉදිරිපත් වෙලා හිටියා. ලේකම් කාර්යාලයට ගිය වෙලාවක දී, කුරුණෑගල හිටපු ඇමතිවරයෙක් මාළු මුදලාලිගෙ හිතවතෙක්. මට ආරංචියි මිසිස් කොටකදෙනිය ඡන්දයක් තියන්න යන්නෙ කියලා, ඔන්න ප්‍රශ්න එහෙම ඇති කරගෙන මා ළඟට එන්න එපාය කියලා ඇමති මට කිව්වා. ප්‍රශ්නයක් නෑ මම ඒක තියලා ඉවරයිනෙ කියලා ඒ පාර මම කිව්වා.  

ප්‍ර:  ඒ කියන්නෙ ඔබ ඔබට කැමති විදිහට ද තීන්දු ගත්තෙ?

මට වඩා ඉහළින් සිටි නිලධාරීන්ට අවශ්‍ය වුණේ එයාලා ළඟට ගිහින් අවසර අරගෙන යමක් කරනවටයි. හැබැයි සමහර නිලධාරීන් ඒකට කැමති වුණාට වැඩි දෙනෙක් ඒකට අකමැති වුණා. හරියට වැඩ කළ නිලධාරීන් කැමතියි. සමහර ඇමතිවරු කැමති එයා ළඟට ගිහින් අවසර ගන්න එකටයි. මට කළ හැකි දේ වෙනුවෙන් යමක් කළ හැකි නම් ආයි අමුතුවෙන් අවසර ගන්න අවශ්‍ය නෑ. ඒ නිසා ඒක මගේ ඇජෙන්ඩා එකේ තිබුණෙත් නැහැ. 

ප්‍ර:  පෞද්ගලික බස්රථ දෙපාර්තමේන්තුවේ කොච්චර කල් හිටිය ද?

අවුරුදු තුනහාමාරක් විතර. 

ප්‍ර:  එතැන දී ඇමතිවරුන්ගෙන් එහෙමත් තර්ජන ආව ද?

එතකොට හිටියෙ එම්. එච්. මොහොමඩ් මහත්තයා. එතුමා මගේ රාජකාරි කටයුතු කිසිවකට බාධා කළේ නැහැ. 

ප්‍ර:  පෞද්ලික බස්රථ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකාවගේ භූමිකාවෙන් පසුව?

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරිය ලෙස පත්වුණා. මට යකඩ ගැහැනිය කියන එක රැල්ලක් වගේ හැමෝම කියන්න ගත්තෙ එතැනට ආ පසුවයි. 

ප්‍ර:  ඒකට හේතුව?

මෝටර් රථ දෙපාර්තමේන්තුව මට නම් හැඟෙන විදිහට ඒ කාලයේත් එකයි, දැනුත් එකයි. එදා මම ප්‍රතිසංස්කරණ ගේන්න කටයුතු කළා. ඒකට ඇතුළෙ බොහෝ දෙනෙක් විරුද්ධ වුණා. ඒක හරියට අද මේ ආණ්ඩුව ගෙනැල්ලා තියෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට එරෙහි වුණා වගේ දෙයක්. නිලධාරීන් ඇතුළු හැමෝම පුරුදු වෙලා හිටියේ ඒ පවතින ක්‍රමයට, ඒක එයාලට පහසුවක්, ඒ නිසා කාර්ය මණ්ඩලය වගේම මිනිස්සුත් ඒ ක්‍රමයට අනුගත වෙලා හිටියේ. බල පුළුවන්කාරකම ඇති අය කොහොම හරි වැඩේ කර ගත්තා. බැරි මිනිස්සු අසරණ වුණා. මට ඕනෑ වුණේ ඒ මිනිස්සු වෙනුවෙන් දූෂණයෙන් තොර අලුත් ක්‍රමවේදයක් හඳුන්වලා දෙන්නයි.  ඒ නිසා සියලු බාධක හමුවේ වුණත් මට පුළුවන් විදිහට ක්‍රමවේ ද හඳුන්වලා දුන්නා. එතෙක් තිබූ රියැදුරු බලපත්‍ර පොත වෙනුවට කාඩ් එක හඳුන්වා දෙන්න මුල් වුණේ මම. පොත ඕනෑම කෙනෙකුට මුද්‍රණය කරන්න පුළුවනි. ඒ නිසා ව්‍යාජ රියැදුරු බලපත්‍ර පාවිච්චි කරන අය සිටියා. අන්තිමට ඇතුළෙ සමහර අයයි, කාර්ය මණ්ඩලයෙ අයයි තැරුව්කරුවො වගේ අයයි හැමෝම එකතුවෙලා මට එරෙහිව පෙත්සම් ගැහුවේ මම කාඩ් එකකින් රුපියල් පහක් තියා ගන්නවා කියලයි. නමුත් ඒ සියලු දේට මුහුණ දෙමින් මම නව කාඩ්පත හඳුන්වා දුන්නා. හැබැයි පරීක්ෂණ කණ්ඩායම මාව යවන්න තීරණය කරලා තිබුණා.

ප්‍ර:  එයින් ඔබ කලකිරුණ ද?

ඒ අවස්ථාව මට පුදුම විදිහට දැනුණා. හරිම දේ කරපු මට ඇයි එහෙම වෙන්නෙ කියලා. ඒ හැරත් අල්ලස් කොමිසමට ගිහින් කට උත්තර දෙන්නත් සිදු වුණා. වාහන ප්‍රමිතිය ගැන හිතලා ඩ්‍රයිවින් ස්කූල් පවා ශ්‍රේණිගත කළ මට ලැබුණෙ ඒ වගේ ප්‍රතිඵලයක්. එතකොට හිටියේ ප්‍රේමදාස ජනපතිවරයා. රජ අණින් ආ නිසා මට තනතුර දාලා යන්න සිදු වුණා. ඒ නිසා වෙනත් තැනක තනතුරක් දරන්නත් බැහැනෙ. මාව වැටුප් හා සේවක කමිටුවට දැම්මා. ඒක මගේ අංශය නෙවෙයි. මම පුරුදුවෙලා හිටියේ ෆයිල්වල වැඩ කරන්න නෙවෙයි. ප්‍රායෝගිකව වැඩ කරන්නයි. ටික දවසක් යද්දී ඉඩම් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ලෙස පත් වුණා. පෝල් පෙරේරා ඇමති එක්ක සහ චාලි ජයවර්ධන ලේකම්තුමා එක්කයි මට වැඩ කරන්න තිබුණෙ. ඒ දෙන්නම හරි කෙළින් වැඩ කළ අය. 

ප්‍ර:  එතකොට ඔබ තැපැල්පතිනිය වුණේ කොහොම ද?

මංගල සමරවීර ඇමතිතුමා පත් වුණාම, එයාගේ ලේකම් වුණෙත් චාලි ජයවර්ධන මහත්තයා. එතුමා මගේ වැඩ ගැන දන්න නිසා ඇමතිතුමාට කියලා තිබුණා. තනතුරු දෙකක් තිබුණා. එයින් මම තෝරා ගත්තෙ තැපැල්පතිනිය තනතුර. 

ප්‍ර:  කොහොම ද තැපෑලෙ වැඩ කිරීම?

තැපෑලට ගිය දවසේ ඉඳලා මට සිද්ධ වුණේ, වෘත්තීය සමිති එක්ක ගැටෙන්න. මම  ඒ තනතුරු ගන්නා විට සමහර නිලධාරීන් අතිකාල දීමනා කියලා දාගෙන වැටුප් වගේ හතරපස් ගුණයක් පඩි ගන්නවා. ඒ වෙනුවෙන් ක්‍රමවේද සකස්කරගෙන තිබුණෙ. ඒ වරප්‍රසාද අඩු වෙනවාට ඔවුන් කැමති වුණේ නැහැ. මට ඕනෑ වුණේ තිබුණු ක්‍රමය වෙනස් කරන්න. තැපෑලට ඕනෑ වුණේ තිබුණු ක්‍රමවේදයටම යන්න. එයාලා පිටුපස සිටියෙ වෘත්තීය සමිති. ඒ වරප්‍රසාද අඩුවෙනවට කැමති වුණේ නැහැ. ඒ හින්දා වැඩ වර්ජන කළා. 

ප්‍ර:  ඒ කියන්නෙ වෘත්තීය සමිති කියන්නෙම මහ බොරුවක් ?

වෘත්තීය සමිති නායකයෝ කියලා ඉන්න අය එයාලට අවශ්‍ය විදිහට නිලධාරීන් අන්දවලා තියාගෙන ඉන්නෙ. ඒ අයට වාසි ලැබෙන කල් නිලධාරීන් එක්ක ඉන්නවා. ඔය වෘත්තීය සමිති 17 ම එක්ක හැප්පෙන්න මට සිද්ධ වුණා. මංගල සමරවීර ඇමතිතුමා මම කරන දේ හරි වග දැන ගෙන සිටියා. ඇත්තටම මට අවශ්‍ය වුණේ මේක වාණිජ වශයෙන් දියුණු කරවන්න. ඒ නිසා නොදියුණු රටවල තැපෑල දියුණු කරවන්න ලෝක බැංකුව දුන් මිලියන 40 ක මුදල අරන් දෙන්නත් කටයුතු කරද්දී, ඇමති පවා අනුමත කළත් ඊට ඉහළින් ඒක අනුමත කළේ නැහැ. අපරාදේ ඒ මුදල ලංකාවේ තැපෑලට නැති වුණා.

ප්‍ර:  රාජ්‍ය සේවයේ වර්තමාන තත්ත්වය ඔබ දකින්නෙ කොහොම ද?

රටේ නායකත්වය රාජ්‍ය සේවය හඳුණාගෙන තිබුණත්, රාජ්‍ය සේවකයන් ඒ වෙනස හඳුනාගෙන නෑ. ඒ නිසා ඉහළ තනතුරුවලට නිලධාරීන් පත් කරද්දී රාජ්‍ය නායකත්වය විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුය කියලා මම හිතනවා. ආදායමක් උපයන්න ඕනෑය කියලා කස්ටම් එකට ටාගට් එකක් දීලා තියෙනවනෙ, ඒ විදිහට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවටත් ටාගට් දෙන්න ඕනෑ. රට නැගිට්ටවන්න නම් නිදාගෙන සිටින රාජ්‍ය සේවය අවදිකරවන්න පරිවර්තනීය වෙනසක් වෙනුවෙන් රාජ්‍ය නායකත්වය අවධානය යොමු කළොත් හොඳයි. 

ප්‍ර:  අද ඔබ විශ්‍රාමික දිවිය ගෙවන්නේ සතුටින් ද?

ඔව්. සත පහක අල්ලසක් නොගෙන අපක්ෂපාතීව, නව සංකල්ප එක්ක මම කළ දේ ගැන මට තියෙන්නෙ ලොකු සතුටක්. දූෂ්‍ය නොවුණාම, හිතට එකඟව වැඩ කළාම දැනෙන සතුට වචනයෙන් විස්තර කරන්න බැරි තරම්. මගෙන් උපදෙස් ඉල්ලුවොත් මේ ආණ්ඩුවට පවා කිසිදු වැටුපක් වරප්‍රසාදයක් නැතිව මගේ සේවය දෙන්න වුණත් මම සූදානම්.

සාකච්ඡා සටහන 
සඳුන් ගමගේ