
ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් අත්කර දෙමින් අඩුම වයසකින් ලොවම ජයගත් ක්‍රීඩකයකු ලෙස මේසපන්දු ක්‍රීඩක ටාවි සමරවීර හැඳින්විය හැකිය. යන්තමින් අවුරුදු 10 ක් සම්පූර්ණ කර ඇති මෙම ළාබාල ක්‍රීඩකයා, මේ වන විටත් ලෝක මේසපන්දු ශ්‍රේණිගත කිරීම්වල අවුරුදු 11 න් පහළ වයස් කාණ්ඩයේ පළමු ස්ථානය තමන් සතුකරගෙන හමාරය. එහෙත් ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ ඉගෙනුම ලබන ඔහු තවමත් 6 වැනි ශ්‍රේණියට පා තැබුවා පමණි.
හිටපු මේසපන්දු ක්‍රීඩකයකු සහ ක්‍රීඩිකාවක මෙන්ම වත්මන් මේසපන්දු පුහුණුකරුවකු මෙන්ම පුහුණුකාරියකද වන හසිත සමරවීරගේ සහ චේතනා සමරවීරගේ වැඩිමහල් පුතණුවන් වන ටාවි, අවුරුදු 5 ක් තරම් පුංචි වයසකදී මේසපන්දු ක්‍රීඩාවට පිවිසෙන්නේ සිය මවුපියන්ගේ අඩි පාරේ ඉදිරියටම යෑමේ අධිටන ඇතිවය. ටාවිගේ බාල සොහොයුරා වන ටවේන් සමරවීරද මේ වන විට අවුරුදු 7 න් පහළ සහ 9 න් පහළ වයස් කාණ්ඩ යටතේ ආධුනික මේසපන්දු තරග සඳහා සහභාගි වෙමින් සිටියි.
මව සහ පියා පමණක් නොව මේසපන්දුව ක්‍රීඩාවෙන් කැපී පෙනුණු දස්කම් දැක්වූ පරම්පරාවකටම ටාවි හිමිකම් කියන අතර ඔහුගේ සීයා වන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දයා සමරවීරද හිටපු මධ්‍යම පළාත් මේසපන්දු ශූරයෙකි. ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ, රාජ්‍ය සේවා මේසපන්දු සංගමයේ හිටපු සභාපතිවරයකු වන හෙතෙම ආසියානු මේසපන්දු සංගමයේ හිටපු උප සභාපතිවරයෙකුද වේ.
ටාවිගේ පියා අවුරුදු 15 න් පහළ වයස් කාණ්ඩයේ ආසියානු රිදී පදක්කම් ලාභියකු වන අතර වැඩි දුර අධ්‍යාපනය සඳහා ස්කොට්ලන්තයට යෑමෙන් අනතුරුව ඔහු එරට ජාතික මට්ටම දක්වා මේසපන්දු ක්‍රීඩාවේ නියැලී ඇත. මේ වන විට ඔහු පන්නිපිටිය ප්‍රදේශයේ ‘හයි ෆෆෝමන්ස් ටේබල් ටෙනිස් ඇකඩමි’ නමින් මේසපන්දු විද්‍යායතනයක් පවත්වාගෙන යන අතර ශ්‍රී ලංක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමතරව මාලදිවයින්, පාකිස්තාන, ඉන්දීය සහ කැනඩා ක්‍රීඩක ක්‍රීඩිකාවෝද ඔහු යටතේ මේසපන්දු පුහුණුවීම්වල නිරත වෙති.
අවුරුදු 7 න් පහළ, 9 න් පහළ සහ 11 න් පහළ යන වයස් කාණ්ඩවල ආධුනික තරගාවලි සඳහා සහභාගී වීමෙන් අනතුරුව ටාවි, පළමු වරට ජාතික මට්ටමේ තරගාවලියක් ජයගන්නේ අවුරුදු 9 දීය. එම ජයග්‍රහණයෙන් අනතුරුව සිය පියාගේ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ සහ ක්‍රීඩා අමාත්‍යංශයේ අවසරය මත ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් තරගාවලිය සඳහා සහභාගිවීමේ අවස්ථාව ඔහුට හිමිව තිබේ.
ඒ අනුව 2024 වසරේ ජනවාරි මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා තුර්කියේ, කටාර් රාජ්‍යයේ, ලෙබනනයේ, තායිලන්තයේ, ස්ලෝවැකියාවේ, හංගේරියාවේ සහ ඉතාලියේ පැවැති ජාත්‍යන්තර යොවුන් මේසපන්දු තරගාවලි 11 කදී අවුරුදු 11 න් පහළ වයස් කාණ්ඩය යටතේ තරග වැදුණද, එහිදී ටාවිට ජයග්‍රහණය අත්කර ගැනීමට අවස්ථාවක් ලැබී නැත. කෙසේ වුවත් එහිදී ලද ජාත්‍යන්තර අත්දැකීම් සම්භාරයත් සමග 2025 වසර ආරම්භ කළ ඔහු ජයග්‍රහණය පිට ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්කම් දැක්වීය.

ගෙවී ගිය 2025 වසර තුළ ජාත්‍යන්තර යොවුන් මේසපන්දු තරගාවලි 14 කට සහභාගි වූ ටාවි, එහිදී රන් පදක්කමක්, රිදී පදක්කම් 5 ක් සහ ලෝකඩ පදක්කම් 4 ක් දිනාගනිමින් ශ්‍රේණිගත ලකුණු 200 ක් හිමිකර ගැනීමට සමත් විය. එම වසර තුළ සහභාගි වූ සෙසු තරගාවලි 4 න් 2 කදීද අර්ධ අවසන් පූර්ව වටයට පැමිණීමට ඔහුට හැකි විය. එදා මෙදා තුර මෙරට මේසපන්දු ඉතිහාසය තුළ ඕනෑම වයස් කාණ්ඩයක ක්‍රීඩකයකු ලබාගත් ඉහළම ලෝක මට්ටමේ ශ්‍රේණිගත ස්ථානය මෙය වන අතර මෙයට අමතරව ටාවි, ලෝක ශ්‍රේණිගත කිරීම්හි අවුරුදු 13 න් පහළ වයස් කාණ්ඩයේ 11 වැනි ස්ථානයටද හිමිකම් කියයි.
2025 වසරේ පෙබරවාරි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා චෙක් ජනරජයේදී, ජර්මනියේදී, ස්ලෝවැකියාවේදී සහ වෙනිසියුලාවේදී පැවැති ජාත්‍යන්තර යොවුන් මේසපන්දු තරගාවලින්හිදී ලෝකඩ පදක්කම් දිනාගෙන ඇති ටාවි, රිදී පදක්කම් දිනාගෙන ඇත්තේ පිලිපීනයේදී, කොසොවෝ රාජ්‍යයේදී, නොර්වේ රාජ්‍යයේදී, ඉන්දියාවේදී සහ ස්වීඩනයේදී පැවැති ජාත්‍යන්තර යොවුන් මේසපන්දු තරගාවලිවලදීය. ඉතාලියේ ලිග්නානෝ නුවරදී පැවැති ජාත්‍යන්තර යොවුන් මේසපන්දු තරගාවලියේදී සිය පළමු ජාත්‍යන්තර රන් පදක්කම දිනාගැනීමට ටාවි සමත් විය.
එම දස්කම් වලට නිසි ඇගයීමක් ලබා දෙමින් සාන්ත තෝමස් විදුහලේ 2025 වර්ණ රාත්‍රියේදී වසරේ විශිෂ්ටතම ක්‍රීඩා ජයග්‍රාහකහයාට හිමි සම්මානය ටාවිට ලබාදීමට එම විදුහල් කළමනාකාරීත්වය පියවර ගෙන තිබිණ. එම සම්මානයට හිමිකම් කියන විට ඔහු 10 වැනි වියේ පසුවූ බැවින් එදා මෙදා තුර ඉතිහාසයේ සාන්ත තෝමස් වර්ණ රාත්‍රියකදී එම සම්මානය හිමිකර ගත් ළාබාලතම ක්‍රීඩකයා ලෙසද ටාවි වාර්තා අතරට එක් විය.
2024 වසර තුළ ජාත්‍යන්තර තරගාවලි 11 කටත්, 2025 වසර තුළ ජාත්‍යන්තර තරගාවලි 14 කටත් සහභාගි වෙමින් ශ්‍රී ලංකාවට මෙම ජයග්‍රහණය අත්කර දීමට ටාවි සමත් වුවද, ඉන් එක් තරගාවලියකට හෝ සහභාගි වීම සඳහා මේසපන්දු සංගමයෙන් සහ ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අනුමැතිය හැරුණු කොට කිසිදු මූල්‍ය ප්‍රතිපාදනයක් ලබා දී නැතැයි ඔහුගේ පවුලේ උදවිය කියයි. කෙසේ වුවත් ඉකුත් වසරේදී හිමිකරගත් අංක එකේ ශ්‍රේණිගත ස්ථානය තවදුරටත් රැක ගැනීම සඳහා මෙම වසරේදීද (2026) ටාවි ජාත්‍යන්තර මේසපන්දු තරගාවලි රැසකට සහභාගි වීමට සූදානමින් සිටියි.
ශානුක අරවින්ද
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd